IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


උපන් බිමට අහිමි සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ  ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන්
නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා
රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා
හැඩකෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ
අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන්
ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා
උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා
මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ
රට හැර යන අපේ ළමයි

ගේය පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය  : විශාරද නන්දා මාලනී
සංගීතය : විශාරද නන්දා මාලනී


කලා විශාරදයෝ සාහිත්‍ය කලාවේ මුඛ්‍ය අරමුණු දෙකක් පෙන්වති.එකක් නමි සමාජ යථාර්ථය නිරූපණය කිරීමයි. මෙහි යථාර්ථය යනු මිනිසා මුහුණපා සිටින දිශාවයි. අනික් කරුණ නමි හැඟීමිවලින් මානව හදවත සුපෝෂණය කිරීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ සහ ස්වර සංරචනයෙන් සුසැදි මේ ගීතය පූර්වෝක්ත කලා අරමුණු දෙකම සාක්ෂාත් කරගෙන ඇතැයි මම විශ්වාස කරමි.

දශක හතරකට වඩා පැරැණි මේ ගීතය 80 දශකයේ කළු ජූලියත් සමඟ සුපිළිපන් දේශපාලන යථාර්ථය සුවිශද කිරීමට ගත් වෑයමකි.මතුපිටින් සරල, සුගම පද මාලාවක් ලෙස පෙනුණ ද  මේ ගීතයේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් දේශපාලන යථාර්ථයක් විද්‍යමානවේ.මහැදුරු සුනිල් ආරියරත්නයන් මෙි ගීතයට විෂය කොට ගෙන තිබෙණුයේ බුද්ධි ගලනය (Brain Drain) යි.

බුද්ධි ගලනය වූකලි දකුණු ආසියාවටම පොදු සාධකයකි.මෙහි මහපොදු සාධකය රටේ ආර්ථික බෙලහීනතාවයි.අසූව දශකයේ ලාංකේය ඉතිහාසයයට අඳුරු පැල්ලමක් එකතු කළ කළු ජූලියත් සමඟ රටේ උගත් බුද්ධිමත් තරුණ විද්‍යාර්ථීහු රට හැර ගියහ.

විවිධ හේතු නිසා උපන් බිම අතහැර දියුණු යැයි සමිමත රටවලට ආකර්ෂණීය වැටුප් අපේක්ෂාවෙන් ඇතැමි වෘත්තිකයෝ සංක්‍රමණය කරති.එහෙත් මවුබිම හැර යන තැනට රටෙි දැන උගත් තරුණ පරපුර පෙලඹුණේ කුමන හේතුවක් අරබයාද ?

නිදහසින් පසු සිරිලක දියුණුවේ මිණිමුතු කිරුළ වැජඹේ යැයි කලාකරුවෝ කල්පනා කළහ.  සුද්දා  යටතේ අභාවයට ගිය ඒ පුරාතන සෞභාග්‍යය නව දේශීය පාලකයන් ප්‍රතිනිර්මාණය කරනු ඇතැයි   කලාකරුවෝ අවංකවම අපේක්ෂා කළෝය. එහෙත් එවැන්නක් සිදු නොවීය.

බ්‍රිතාන්‍යයන්⁣ දේශීය ධනපති පන්තිය වෙත බලය මාරු කළේ තමන් වෙනුවෙන් බෙදා පාලනය කිරීමටය.එහෙත් තටිටු මාරු ක්‍රමයට රට පාලනය කළ දේශපාලනඥයෝ ක්‍රමයෙන් රට අරාජික කළහ.

බහුවාර්ගික, බහුභාෂක, බහුආගමික රටක සිංහලයන් පමණක් ඔසවා තැබීමට ඇතැමි බඩගෝස්තරවාදී  දේශපාලනඥයෝ උත්සුක වූහ. ඔවුහු දෑකුල භේද ද ජාති ආගම් භේද ද ඇවිස්සූහ.

එපමණක් නොව ඔවුහු මේ භේද අවිකොට ගෙන සුළුජාතික හා ආගමික කණ්ඩායම් මර්දනයට ද වධබන්ධනයට ද ලක් කළහ. ඇතමෙක් ව්‍යාජ දේශප්‍රේමීත්වයක් ආරෝපණය කර ගනිමින් සිංහලයා ගොනාට ඇන්ද වූහ.උතුරේ සහ දකුණේ සිවිල් අරගලවලට හේතුභූත වූයේ ද මේ අපරිණත දේශපාලන හැසිරීමයි.

මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින්   පසුගිය කාලේ තරුණ පිරිසක් නිර්පාක්ෂික අරගලයක් පවා දියත් කළහ.ඒ තුළින් කිසියම් දේශපාලන ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගත්ත ද අරගලයේ සැබෑ අරමුණු ජයග්‍රහණය කළා දැයි අපි නොදනිමු.

රටේ මැද පන්තිය පැතු දේශපාලන ක්‍රම වෙනස (political system change ) නමි ඉන් සිදු නොවීය. අමනෝඥ දේශපාලනඥයෝ   තවදුරටත් රට අගාධයට ඇද දමමින්, කටමැත දොඩවමින් යෙහෙන් වැජඹෙති. මහපොළොවේ දේශපාලන යථාර්ථය එසේය.

අපි  මුලින්ම   ගීතයේ ස්ථායි කොටස විමසා බලමු.

සරුංගලේ  වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට
යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ.

පාට සවි කඩදාසියෙන් හැඩ වැඩ කළ ලස්සන සරුංගලයක් ඉහළ බොල් අහස් කුස වලාකුළු පිරිමදිමින් නිදහසේ පාවෙයි. නිසංසලේ වරල් සලමින් උඩු ගුවනේ සැරිසරන මේ සරුංගලේ  හැදුවේ කවුද? මෙි සරුංගලේ ලස්සනට නිර්මාණය  කළේ වෙන කවුරුවත් නොව  අපේ රටේ පීඩත පන්තියේ ජනතාව.මෙහිදී  රචකයා අපේ ළමයි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නෙ ඒ දුප්පත්  අහිංසක ජනතාවටයි.එහෙත් අද ඒ සරුංගලේ මවුබිම, නැදිමයිලන් අතහැර එතෙර බලා යන්න හදයි.මෙහිදී රචකයා අසන්නෙ "උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ " යනුවෙනි.තම මවුරට තරමි සුන්දර තැනක් මිහිපිට කිසිදු පුද්ගලයකුට නැතැයි කීම මුසාවක් නොවේ. එහෙත් අපි තවමත් තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි. වසර 74 කට පසු අප කවර නමි සමාජයක් ද නිර්මාණය කොට ගෙන තිබෙන්නේ ? මෙි සරුංගලේ  සංකේතාර්ථය කුමක්ද? ඒ තමයි විද්‍යාර්ථීයා.

මේ විද්‍යාර්ථීහු වෙන කවුරුවත් නොව ඈත ගමි දනව්වල දුප්පත් මවුපියන්ගේ අහිංසක දරුවෝ. නිදහස් අධ්‍යාපනයෙන් ඇස් පාදගෙන  සරසවි වරමි ලබා ගමි දොරෙන් එළියට පැමණ ඉණිමඟේ ඉහළට ගිය මේ දරුවෝ   අද උපන් බිම අතහැර වෙනත් රටකට තම ශ්‍රයමය, දැනුම විකුණන්න යති. මේ වූකලි කවර නමි අභාග්‍යයක්ද?එහෙත් රට වළපල්ලටම ගොස් ඇත්නම් ඔවුන්  වෙන කුමක් කරන්නද? උපන් බිම හැරගිය පමණින් ඔවුනට විතරක්  ඍජුවම දොස් කිව හැකිද ? ඊට වෙනත්  වගකිවයුත්තන් සිටිත්ද? සිටි නමි ඔවුහු කවරහුද?

ණය බරින් බංකොලොත් රටක් බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තවදුරටත් අතීතයේ තිබුණු  සුන්දර සිරිබර සිරිලක නොවෙි.වත්මන් ශ්‍රී ලංකාව ආර්ථික අහේනියෙන්, උද්ධමනයෙන්, දරිද්‍රතාවෙන්, මන්දපෝෂණයෙන් පෙළන බංකොලොත් රටකි.භාණ්ඩාගාරය හිස්, අසමත් රාජ්‍යයක, දේශපාලන පල් හොරුන් වැජඹෙන පාර්ලිමේන්තුවක, කුඩිඩන් පාතාලයන් රජ කරන සමාජයක ලෝකයට හතරඅතේ ණය වෙච්ච රටක් තවදුරටත් ඉන්න හිතෙන රටක් නොවෙයි.

උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ යැයි මෙහිදී සුනිල් ආරියරත්නයෝ අපෙන් අසති. උපන් බිමේ  තතු මෙසේ නමි අපි කුමක්  කරන්නෙමුද ? වෙනත් රටකට ගොස් හෝ ජීවිතය සුඛිත මුදිත කරගැනීම යුක්ති යුක්ත නොවේද? වසර 74 ක කුජීත දේශපාලනයේ ශේෂ පත්‍රය මෙයයි. දියුණුවක් පේනතෙක් මානයක නැත. සැමතින්ම රට අගාධයේය.

සරුංගලේ බට පතුරෙන්
නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා
රැලිකෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා
හැඩකෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ
අපේ ළමයි තාම බිමයි

බට පතුරු කපා, ලාටු උලා, කොළ අලවා මේ සරුංගලේ හැඩ කළේ අපේ ළමයි. සරුංගලේ  නමැති මේ  විද්‍යාර්ථීයාට උගවන්නේත් නැණස පාදන්නේත් සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින්  නඩත්තු වන ගුරුවරුන්. සරුංගලය උඩ අරින්න නූල් පන්දුව  දුන්නෙත් එකී පීඩත පන්තියේ ජනතාවම නොවේද ? සරුංගලේ වෙනුවෙන් අරගල කළේත් ගුටි කෑවේත් මිය ගියේත් ඒ දුප්පත් අහිංසක ජනතාවම නොවේද? එහෙත් පීඩත පන්තියේ ජනතාව ආදරෙන් නිර්මාණය කළ මේ  සරුංගලය අද නූල කඩාගෙන සත් සමුදුරින් එහා වෙතත් රටක ගොසිනි.

සරුංගලේ නුඹ වෙනුවෙන්
ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා
උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා
මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ
රට හැර යන අපේ ළමයි

යුරෝපීය රටවල රස්සා කරන ඇතමෙක්  අහස සූරන මාලිගවල සුරසැප විඳිති. එහෙත් අර පීඩත පන්තියේ ජනතාව හරියට ඉන්න හිටින්නවත් නැති කටුමැටි ගෙයක, පැල්කොටයක  එදාවේල සරිකර ගන්න තාමත්  මහපොළොව සමඟ ඔට්ටු වෙති.  නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළාගත් මේ පිරිස කොහේ හෝ දියුණු රටක සුදු කරපටි රැකියාවල (White Collar Jobs) නිරත වූවද  ඉක්මනින්ම තමන් උපන් මවුබිම, සමාජ පන්තිය අමතක කරති. ඇතමෙක් අධ්‍යාපනයේ හිනිපෙත්තට ගිය ඉණිමඟට පයින්  ගසති.

සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් ඔවුහු යහමින් හමිබ කළ ද එකුදු  ඩොලරයක් ලංකාවට නොඑවති. විදේශ විනිමය මත ආර්ථිකය රඳා පවතින රටකට එසේ කිරීම කෙතරම් දුරට සදාචාරාත්මක දැයි අපි නොදනිමු. එ⁣හෙත් අතීතයේ සිට වර්තමානය තෙක් අනවරතයන් සිදුවන මේ  බුද්ධි ගලනය හේතුවෙන් රට තවදුරටත් ප්‍රපාතයට තල්ලුවීම නමි වැළැක්විය නොහැකිය.

බොහෝ රසිකයන් අවිඥානිකව රස විඳ ඇති මේ ගීතය කිසිදා සංකල්පීය විචාරයකට භාජනය වී නැත. එබැවින් එබඳු විචාරයක් දැන් අවශ්‍යය. බුද්ධි ගලනය වැනි සමාජයේ ප්‍රබල ගැටලුවක් පිළිබඳ කිසිදු සංවාදයක් නොමැති සමයක සිය දුරදක්නා නුවණින් ගීතයකින් හෝ එබඳු කතිකාවක් ගොඩනැගීම ගැන මහැදුරු සුනිල් ආරියරත්නයන්ට අපි ස්තුතිවන්ත වෙමු.

මේ ගීතය පුරාවට ව්‍යාංගාර්ථ මතුකරමින් වක්‍රෝත්තිය රැකීමට මහැදුරු ආරියරත්නයන් යත්න දැරූව ද අවසන් පැදි පෙළෙන් එය ගිලිහී ගිය බවක් පෙනේ. කවියක් පවා පරිපාකයට පත්වන්නේ එහි ඇති ධිවනිතාර්ථපූර්ණ ගුණය සුවිශද වීමෙනි. වාච්‍යාර්ථය ඉක්මවා ගිය තැන ධිවනිය උපදියි.

සරුංගලේ නුඹ වාගෙයි
රට හැර යන අපේ ළමයි

පූර්වෝක්ත වාක්‍ය දෙකත්  පොල්ලෙන් ගැසුවාක් මෙන් නොකියා වක්‍රෝත්ති⁣යෙන්ම කිව්වේ  නමි ගීතයේ පරිපූර්ණත්වයට වඩාත් උචිත යැයි ද මම සිතමි. කෙසේ වූවද  මේ  ගීතය වෙනුවෙන් මහැදුරු සුනිල් ආරියරත්නයන් වැය කළ ⁣නිර්මාණ ශ්‍රමය අගය කළ යුතුය.මේ  සා ඔහුගේ දේශපාලන අරමුණ උදාරය. සරල පද වැලකින් සංකීර්ණ සමාජ දේශපාලන යථාර්ථයක් විස්මිත අයුරින් ඔහු අප හමුවේ දිග හරියි. නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ පෞරුෂය ද ඊට දෙස් දෙයි.
 

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ



අදහස් (6)

උපන් බිමට අහිමි සරුංගලේ

randil Monday, 05 September 2022 01:55 PM

මෙවන් නිර්මාණ සදාකාලිකය...

:       1       6

Samantha yahampath Monday, 05 September 2022 02:50 PM

ඔබ ඉතාම හොඳ ගීතයක් තෝරගෙන තියෙන්නේ... ඇත්තෙන්ම ඒ ගීතය පිළිබඳ ඔබේ විවරණය ඉතාමත් අපූරුයි. ඒ විවරණය ගීතයට ඉහළම සත්කාරය ලබාදී තිබේ. ඔබගේ භාෂාව හැසිරවීම ඉහළයි. එයින් බොහෝ දේ අපට ඉගෙන ගන්න පුළුවන්. ඔබේ විවරණය අලුත් අයට හොඳ පාඩමක්. ඒ නිසා ඉතාම වටිනවා..

:       1       6

AB Monday, 05 September 2022 09:11 PM

ශ්‍රී ලංකාව නිදහසින් පසු ජාතීන් අතර අරගල, දෙවරක්ම මතුවූ තරුණ අරගල සහ 80 දශකයේ මුල් කාලයේ ඇතිවූ ජාතිවාදී අරගලය අවසන් වූයේ රට බෙදා වෙන්කර ගැනීමට සටන් කළ යුද්ධයක් දක්වා ගමන් කිරීමෙනි. මේ සියලු කාරණා ඇතිවූයේ දේශපාලන බල තණ්හාව නිසාවෙනි. මේ සියලු දේශපාලන ක්‍රියාවලින් අතරේ නිදහස් අධ්‍යාපනයෙන් උගත්, බුද්ධිමත් පිරිස රටින් පිටවීම ආරම්භ විය. පක්ෂ දේශපාලනය, ජාතින් අතර අසමගිය, ආගම් සහ විශේෂයෙන්ම එක්ව කටයුතු කරනු වෙනුවට සෑම ජාතින් අතරම බලයට තිබෙන්නා වූ තණ්හාව නිසා වර්තමානයේ රටට අත්ව තිබෙන ඉරණම කණගාටුදායක වේ. අධ්‍යාපනය යනු රටේ අනාගත ආර්ථිකය වේ. නමුත් ලංකාව නොමිලයේ අධ්‍යාපනය ලබාදුන්නද අධ්‍යාපනය ලබා පිටවන්නාවූ පිරිසෙන් ප්‍රයෝජන ගැනීමට, රටට සේවය කිරීමට ලංකාවේ අවස්ථාවන් නිර්මාණය නොවීම මත සහ පැවැති රජයන් අසමත්ව තිබීම නිසා නිදහස් අධ්‍යාපනයෙන් පිටවන පිරිසෙන් වඩාත් ප්‍රයෝජන ගනු ලබනුයේ වෙනත් රටවල් වේ. මෙ සියල්ලටම දේශපාලකයින් පමණක් නොව ලංකාව ලෝකය සමග ගනුදෙනු කිරීමට විරුද්ධ වන දූපත් කණ්ඩායම්ද වගකිව යුතුවේ...

:       0       3

yamuna Tuesday, 06 September 2022 09:44 AM

මේ දරුවන් රටේ රඳවා ගැනීමට රටට වුවමනාවක් නැතිනම් ඔවුන්ගේ නික්ම යෑම අකැමැත්තෙන් වුවත් කරන්නට සිදුවී ඇත. එය හැදූ වැඩූ දෙමව්පියන්ගේද කණගාටුවට කරුණක්...

:       0       2

sam Tuesday, 06 September 2022 04:20 PM

අපිනම් මේවා අහන්නේ දන්නේ පොඩි කාලේ ඉඳන්...!

:       1       0

Samanmalli Tuesday, 06 September 2022 08:27 PM

සාහිත්‍ය විචාරය හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට ගැඹුරු දැනුමක්, විචාර බුද්ධියක් අවශ්‍යයි. මේ ගීතය පිළිබඳ ඉදිරිපත් කර තිබෙන විචාරය ද ගැඹුරුයි. එහි ඇති දේශපාලනය ඔබ නිවැරැදිව වටහාගෙන විචාරය ඉදිරිපත් කර තිබෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සොඬින් නෙළුම් මල ගෙනියන
2024 අප්‍රේල් මස 23 35 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද අතුල අදිකාරිගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන් ද යුතු මෙි ගීතය වත්මන් කාන්තා


කවුරුවත් නෑ
2024 අප්‍රේල් මස 16 69 0

හේමසිරි කුලතුංගයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිස්ගේ කර්ණරසායන ස්වර මාධූර්යෙන් ද ප්‍රේමසිරි කේමදාාසයන්ගේ මියුරු මියැසියෙන් ද සු


පැණි කුරුල්ලනේ
2024 අප්‍රේල් මස 07 211 0

ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝ


නින්ද නැති රැයේ
2024 අප්‍රේල් මස 01 261 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප


කුඩාගමෙි මද්දහනේ
2024 මාර්තු මස 25 348 0

ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂ


වියෝ වූ පසුවයි දැනෙන්නේ
2024 මාර්තු මස 18 453 0

බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site