IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ව්‍යවස්ථාවට මඩ ගෑමේ වෑයම

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බරපතළ අයුරින් විවේචනයට ලක්වන ආකාරය මේ දිනවල දැකිය හැක. ජනාධිපතිවරයා පසුගිය දිනක කියා සිටියේ තමන් ජාතක කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමැති සුජාත දරුවා මේ වනවිට අපචාරයට ලක් වී නොමග ගොස් තිබෙන බවය. විරුද්ධ පක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරමින් කියා සිටින්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට බලපා තිබෙන මූලිකම හේතුව එය වන බවය. පසුගිය දිනක ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලයන් ඉලක්ක කරගෙන කරන ලද වැරදි ව්‍යවස්ථා සංශෝධනයක් වන බවය. ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරුන් රාශියක්ම විටින් විට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉහත දැක්වූ ආකාරයේ විවේචන එල්ල කර තිබෙන ආකාරයද මේ දිනවල දැකිය හැකි විය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා නිවැරැදි සහ යුක්තිසහගතද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. මේ පිළිබඳව අවසාන නිගමනයකට එළඹිය හැක්කේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එමගින් ආණ්ඩුක්‍රමය තුළ කරන ලද වෙනස්කම් මොනවාද යන කරුණු විමසා බැලීමෙන්ය. 

ව්‍යවස්ථානුකූල පාලනය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රාජ්‍ය පාලන කටයුතු ක්‍රියාවට නැංවීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍යයම කොන්දේසියක් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැතිව ගෙනයන පාලනය අනිවාර්යයෙන්ම ආඥාදායක පාලනයක් වේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පවත්වාගෙන යාමේ අරමුණෙන් සම්පාදනය කොට ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය යන කඩතුරාවට මුවා වී ආඥාදායක පාලනයක් පවත්වා ගෙන යාමට පසුබිම සලසන්නේ නම් එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වූ කලී සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිරෝධතාවක් වනවාක් මෙන්ම ව්‍යවස්ථානුකූලවාදයේ ද ප්‍රතිවිරෝධතාවක් වේ. මෙම ද්විත්ව ප්‍රතිවිරෝධතා එකම විටකදී නිරූපණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට වර්තමාන ලෝකය තුළ දියහැකි ඉතාම හොඳ නිදර්ශනයක් වන්නේ 1978 වර්ෂයේදී ස්ථාපිත කරන ලදුව මේ දක්වා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.

දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිරෝධතාවක් ලෙස සලකන්නේ එමගින් හඳුන්වා දුන් ජනාධිපති ආණ්ඩුක්‍රමය සෑම අතකින්ම පාහේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට පටහැනිව නිර්මාණය කර ඇති දෙයක් වන බැවිනි. දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමේ උත්තරීතර උපකරණය බවට පත් කරන්නේ ජනාධිපතිවරයාය. 1978 මූලික ව්‍යවස්ථාවේ දැක්වූ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයා සය අවුරුදු නිල කාලයක් සඳහා ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරනු ලැබේ. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වේ. විධායකයේ නායකයා වේ. ආණ්ඩුවේ නායකයා වේ. සන්නද්ධ සේවාවල ප්‍රධාන අණදෙන නිලධාරියා වේ. මෙයාකාරයට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය බලය හා සම්බන්ධ ප්‍රධාන බල මූලාශ්‍ර හතරම ජනාධිපතිවරයා වෙත සංකේන්ද්‍රනය කරනවාට අමතරව ව්‍යවස්ථාදායකය හා අධිකරණය සම්බන්ධයෙන්ද අතිශය වැදගත් බලතල රාශියක් සෘජුව මෙන්ම වක්‍රවද ජනාධිපතිවරයාට පවරා දෙන ආකාරය දැකිය හැක. මෙම බලතල දෙස බලන විට පැහැදිලිවම පෙනී යන්නේ ජනාධිපතිවරයා රාජ්‍යයේ, විධායකයේ, ආණ්ඩුවේ සහ සන්නද්ධ සේවාවල නායකයා වනවා පමණක් නොව ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේද නායකයා වන බවය.  ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කර ගැනීම, නිල කාලය වසර හයකට සීමා කිරීම, නිලය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම, හුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැරසිල්ලක තත්ත්වයට පමණක් සීමා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන වගන්තිය එනම් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ තත්කාලයේ බලපවත්නා නීති මගින් පවරා ඇති බලතල හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන නියමය හැරුන විට වෙනත් සංවරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවුන අතර පැහැදිලිවම පෙනීගියේ මෙම විධිවිධාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගොඩනැගූ සර්වබලධාරී ජනාධිපති විධායකය සංවරණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.

යම් ආණ්ඩුක්‍රමයක විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බලතල කාණ්ඩ තුන තනි පුද්ගලයකු අත ඒකරාශි කර තිබේනම් සහ තනි පුද්ගලයකු විසින් එම බලතල තම අභිමතය පරිදි ක්‍රියාවට නංවන්නේ නම් එවැනි ආණ්ඩුක්‍රමයක් හඳුන්වන්නේ ආඥාදායක ආණ්ඩුක්‍රමයක් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ප්‍රජාතන්ත්‍රවාදී ආවරණයට මුවා කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නිර්මාණය කළේ එවැනි විධායකයක්ය. නව ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වී නොබෝ දිනකින්ම එහි ආඥාදායක ස්වරූපය පැහැදිලිවම දැකගත හැකි වූ අතර ඒ යටතේ බලයට පත් වූ ජනාධිපතිවරුන් සියලු දෙනාගෙන්ම පෙනීගියේ කිසිදු ආකාර පැකිලීමකින් හා බියකින් තොරව ජනාධිපති තනතුරේ බලතල තමන්ගේ පෞද්ගලික අභිමතය අනුව ක්‍රියාවට නංවන බවය. මෙහි ප්‍රතිඵලය වූයේ රට භයානක ආඥාදායක පාලන ක්‍රමයක් කරා අනුක්‍රමයෙන් ගමන් කිරීමය. මෙයාකාරයට වර්ධනය වෙමින් ආ ජනාධිපති විධායක ආඥාදායකත්වය යම් ප්‍රමාණයකට හෝ පාලනය කිරීමේ අරමුණෙනුයි 2001 වර්ෂයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගෙනඑනු ලැබූයේ. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන ලද මූලික වෙනස්කම් හතරක් විය. එයින් පළමුවැන්න වූයේ අධිකරණයේ සහ රාජ්‍ය සේවයේ ව්‍යවස්ථාපිත පත්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා භුක්ති විඳිමින් සිටි අසහාය බලය සීමා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමය. දෙවැන්න වූයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට අතිරේක බලතල ලබා දෙමින් එම කොමිෂන් සභා දෙක වඩාත් සවිබලමත් කිරීමය. තුන්වැන්න වූයේ පරිපාලන අභියාචන විනිශ්චය සභාව නමින් නව ආයතනයක් පිහිටුවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ පොලිස් කොමිෂන් සභාවේ තීන්දු හා තීරණ වලට එරෙහිව ඉදිරිපත් වන අභියාචනා විසඳීමේ බලය පවරා දීමය. සිව්වැන්න වූයේ පොලිස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභා දෙකක් පිහිටුවීමය. මෙම සංශෝධන අතුරින් ඉතාම වැදගත් එක වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමය. හේතුව ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස විධායක බලතල ක්‍රියාවට නැංවීම එමගින් සෑහෙන ප්‍රමාණයකින් සංවරණය කිරීමය. 
17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවූයේ චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිනියගේ දෙවන ධුර කාලයේදීය. ඇයගේ ධුර කාලය අවසන් වූ 2005 වර්ෂයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වන අතර පැහැදිලිවම පෙනීගියේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි ඔහුගේ කැමැත්තක් නොමැති බවය. ඔහුගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය කළේ ඔහු වඩාත් කැමැත්ත දක්වන්නේ බලයට මිස ප්‍රජාතන්ත්‍රවාදයට නොවන බවය. මේ හේතුවෙන් 17 වන ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොසලකා හරිමින් ක්‍රියා කිරීමට ඔහු පෙළෙඹන අතර පැහැදිලිවම පෙනීගියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අඩපණ කිරීමට ඔහු චේතනාන්විතවම කටයුතු කරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත්කිරීම සිතාමතාම මගහැරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුලුමනින්ම අක්‍රීය තත්ත්වයකට පත්වන අතර 2010 වර්ෂයේදී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරන තෙක් ගතවූ කාලය තුළ එක් අග්‍ර විනිශ්චයකාරවරයෙක්, නීතිපතිවරුන් දෙදෙනෙක්, ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිශ්චයකරුවන් හත් දෙනෙක්, අභියාචනාධිකරණයේ විනිශ්චයකරුවන් අට දෙනෙක්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් විසි දෙනෙක්, පොලිස්පතිවරුන් තිදෙනෙක්, විගණකාධිපතිවරුන් දෙදෙනෙක් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙක් (තාවකාලික) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ස්වකීය අභිමතය අනුව හිතුවක්කාරී ලෙස පත්කරනු ලැබූහ. 2010 වර්ෂයේදී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීමෙන් පසුව 17 ව්‍යවස්ථා සංශෝධනය අභාවයට යන අතර ඉන් පසුව දැකිය හැකි වූයේ 1978 මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජේ. ආර්. ජයවර්ධන ස්ථාපනය කළ ආඥාදායකත්වය පවා ඉක්මවා යමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අධි ආඥාදායකත්වයක් කරා පාලන ක්‍රමය මෙහෙයවමින් සිටින බවය. මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ රටේ ස්වාධීන රාජ්‍ය සේවය බිඳ වැටීමය. දෙවැන්න වූයේ අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමය. තුන්වැන්න වූයේ විධායකයේ ග්‍රහණයට ව්‍යවස්ථාදායකය හසුවීමය. සිව්වැන්න වූයේ ස්වාධීන මැතිවරණ සඳහා ඉඩකඩ ඇහිරී යාමය. පස්වැන්න වූයේ දූෂණය ඉහළ යාමය. අවසාන වශයෙන් මේ සියල්ලේම  ප්‍රතිඵලය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අභාවයට යාමය. 2015 ජනවාරි මාසයේ පැවැත්වුණ ජනාධිපතිවරණයේදී දේශපාලන වේදිකාවේ මුල්තැන් ගත් ප්‍රබල මාතෘකාවක් වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ගොඩනඟනු ලැබූ මෙම අධි ආඥාදායක පාලන ක්‍රමයෙන් රට මුදා ගෙන රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ස්ථාපිත කිරීමය. 

2015 ජනාධිපතිවරණය වූ කලී එක් අතකින් බලනවිට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආඥාදායක පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පැවති අරගලයක් වූ අතර එයින් අවසාන වශයෙන් ජයග්‍රහණය කළේ මෛත්‍රීපාල=රනිල් වික්‍රමසිංහ නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණය. මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙසයි යහපාලන ආණ්ඩුව විසින් 2015 අප්‍රියෙල් 28 දින 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නංවන්නේ. සංශා්ධනය මගින් ඇතිකළ ප්‍රධාන වෙනස්කම් මෙසේය.

1. තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය හඳුන්වා දීම
2. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06 සිට 05 දක්වා අඩු කිරීම
3. එක් පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම
4. මියයාමෙන් හෝ වෙනත් ආකාරයකින් ජනාධිපති නිලය හිස්වුවහොත් වැඩබලන ජනාධිපති තනතුරක් පිළිබඳ ප්‍රතිපාදන හඳුන්වා දීම
5. ජනාධිපතිවරයා වෙත අතිරේක වගකීම් පැවරීම සහ ව්‍යවස්ථාවෙන් සහ තත්කාලීන නීති මගින් පවරා ඇති බලතල හා කාර්ය ක්‍රියාවට නැංවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම
6. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීම හෙවත් ජනාධිපතිවරයාගේ ක්‍රියාවකට එරෙහිව නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ප්‍රතිපාදන සැලසීම
7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීම සහ එමගින් කොමිෂන් සභා             සඳහා සාමාජිකයන් පත්කිරීම, උසස් රාජ්‍ය නිලධාරීන් පත්කිරීම සහ ඉහළ අධිකරණ වල විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා භුක්ති             වින්ද අසීමිත බලය සීමා කිරීම    
8. කැබිනට් මණ්ඩලයේ සංයුතිය පිළිබඳ උපරිම සීමාවක් නියම කිරීම
9. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05 ට සීමා කිරීම සහ අලුතෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් වසර හතර හමාරක් ගතවීමට ප්‍රථමයෙන් විසුරුවා හැරීමට නොහැකි වන සේ සීමා පැනවීම 
10. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම
11. හදිසි පනත් පිළිබඳ ප්‍රතිපාදන අහෝසි කිරීම
12. විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම හඳුන්වා දීම
13. මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන කොමිෂන් සභාවල බලතල වැඩි කිරීම
14. විදේශයක පුරවැසිභාවය දරන අයට ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කිරීම

මෙම වෙනස්කිරීම් මගින් උත්සාහ ගත්තේ එක් අතකින් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල සීමා කිරීමය. අනෙක් අතින් රාජ්‍ය පාලනයේ විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමය. අවසාන වශයෙන් පුරවැසියන් සවිබල ගැන්වීමය. මේ සෑම දෙයකින්ම උත්සාහ ගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් පවත්වා ගෙනගිය ආඥාදායක පාලනයෙන් රට සහ ජනතාව මුදවා ගෙන ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය යළි ස්ථාපිත කිරීමය. එසේනම් මෙම උත්සාහය වැරැදි එකක් ලෙස හඳුන්වන්නේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. පවතින ලොකුම වැරැද්ද වන්නේ එමගින් සිරිසේන ජනාධිපතිවරයාට හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීමට නොහැකි වන සේ සීමා බන්ධන පනවා තිබීමය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ජීවත් වනතාක්කල් ජනාධිපති තනතුරේ රැඳී සිටීමට තිබූ ආශාව හා තණ්හාව ව්‍යවර්ථ කිරීමය. ඇමරිකානු පුරවැසියකු වීම හේතුවෙන් ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති වීමට ඇති සිහිනය බිඳ වැටීමය. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ මගින් අමාත්‍ය තනතුරු ලබා ගැනීමට නොහැකි වීමය. මේ අනුව බලන විට පෙනී යන්නේ තාත්තාගේ අවකල්ක්‍රියා හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමැති දරුවාගේ සුජාතභාවය නැතිව ගොස් ඔහු අවජාතක දරුවෙකුගේ තත්ත්වයට පත්ව තිබෙන බවය. එසේවූවද 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගොඩනැගූ ආඥාදායකත්වය නමැති අකීකරු දරුවාට වඩා 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බිහිවූ අවජාතක දරුවා වඩාත් හොඳ බව අවසාන වශයෙන් කිව යුතුය.



අදහස් (2)

ව්‍යවස්ථාවට මඩ ගෑමේ වෑයම

Lakmal Sunday, 10 March 2019 09:03 AM

කෙසේවෙතත් එක දෙයක් අසමි. ඔබ සුදු හුණු ගාන 19 වැනි සංශෝධනය 2001-2004 ආණ්ඩුව කාලේ තිබුණේ නම් අද මේ රට ඇත්තේ කොතැනද?

:       0       0

rasikaSunday, 10 March 2019 10:59 AM

19 වැනි සංශෝධනය තිබුණේනම් එම වකවානුවේ අයහපත් ලෙස රටට බලපානු ඇතැයි ඔබ සැක කරන කරුණු මොනවාදැයි දැනගැනීමට අපද කැමති හෙයින් මෙහි සඳහන් කරන්නේ නම් මැනවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 118 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 222 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 340 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 68 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 521 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 285 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site