IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට හැදීමට ශක්තිමත් යාන්ත්‍රණයක්


ලෝකයේ අන් කවරද‌ාටත් වඩා භයානක ප්‍රශ්නයකට අපි මුහුණදී සිටින්නෙමු. එනම් කොරෝනා වසංගතයයි. මේ වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉලක්ක කරගත් ආර්ථික අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට ලෝකයේ කිසිදු රටකට හැකිව නැත. මේ ප්‍රශ්නයට රටක් හැටියට මුහුණ දෙන්නේ කෙසේදැයි අපි මුලින්ම බැලිය යුත්තෙමු.

වසර 2000 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව අපනයන සියයට 39.2 කි. ඉන්පසු අපනයන කොතරම් දියුණු වූවා යැයි කිව්වත් 2019 දී එම අගය සියයට 23.1 කි. ලෝකයේ රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපනයන වර්ධනය කළ යුතුය. විදේශ ආයෝජන ලැබිය යුතුය. ආර්ථිකයක ප්‍රගමනය රැඳී ඇත්තේ මෙම කරුණු දෙක මතය. එය මුලින්ම මතකයේ තබාගත යුතුය.

 

දිගු කලක් යුද්ධයට මුහුණ දුන් රටක් වශයෙන් ලබා ගත්තේ සාමාන්‍ය ණයයි. එහෙත් 2009න් පසු වාණිජ ණය අපට ලැබුණි. එද‌ා යම් අමාරු තත්ත්වයක රට පැවැතියත් යම් ආද‌ායම් මාර්ග තිබුණි. ගුවන් තොටුපොළ විවෘතව තිබුණි. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආද‌ායම් ලැබුණි. අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් ද ඉදිරිගාමීව ක්‍රියාත්මක වූවේය. මේ නිසා යුද්ධය පැවතියත් රට යම් තැනක තිබුණි. 2009න් පසු වාණිජ ණය ලබාගෙන ප්‍රධාන වශයෙන් සංවර්ධන ක්‍රියාද‌ාමයට අවතීර්ණ වීමු. ආර්ථිකය  හොඳින් හසුරුවා ගැනීමේ අවකාශය විවෘත වූයේ ද මේ කාලයේය.

 භයානක ත්‍රස්තවාදයකට රට ගොදුරුව පැවැති නිසා සංචාරකයෝ පැමිණීමට අදිමදි කළහ. එකී අභියෝගය ජය ගැනීමට ජාත්‍යන්තරය තුළ විශ්වාසය තහවුරු කිරීමට අපි කටයුතු කළෙමු. විවිධ බාධක මැද ‘අයිෆා’ උත්සවය පැවැත්වීමට පියවර ගත්තේය. බෝම්බ පිපිරුණු රටේ අල්පෙනෙත්තක් බිම වැටුණත් ශබ්දයක් නොනැගෙන තරමට මේ රටේ සාමය ඇති බව ලෝකයට පෙන්නා දීමට එමගින් හැකිවිය. ඒ සමගම විදේශ ආයෝජනවලට රට උපරිමයෙන් විවෘත කළේය. ක්‍රමෝපාය සංවර්ධන පනත සකසා ආයෝජකයන්ට සහන දෙන ගමන් පහසු වටපිටාවක් ඇති කළේය. වරාය නගරය, ෂැංග්‍රිලා ඇතුළු ආයෝජන ගෙන ඒමට හැකි වූයේ මෙකී පියවරවල ප්‍රතිඵල වශයෙනි.

2014 වනවිට ආර්ථික වර්ධන වේගය සියයට 8ක මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබුණි. එම වසරේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 2.1 ක විදේශ ආයෝජන මේ රටට ගෙන ඒමට එද‌ා එම විෂයභාර ඇමැතිවරයා වශයෙන් මට හැකියාව ලැබුණි. එහෙත් ඉන්පසු ඇතිවූ දේශපාලන පෙරැළියෙන් රට කඩා වැටීමකට ලක්වූවේය.

එම තත්ත්වයේ තිබූ රටට කොරෝනාවේ බලපෑමත් සමග අන්ත අසරණ මට්ටමට වැටී තිබේ. එය වසන් කිරීමට කරුණක් නොවේ. මේ ඇත්ත ජනතාවට කිව යුතුය.

ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාව ‘සී’ කාණ්ඩයට වැටී තිබේ. කොරෝනාවෙන් මේ තත්ත්වය තවත් දරුණු කර තිබේ. දිගුකලක් රට වසා තැබීමට සිදුවුණි. රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණව ගියේය. අපනයන පහළ ගියේය. ආනයන සීමා කිරීමට සිදුවිය.

මේ සියල්ල සමග අද රට තිබෙන්නේ අමාරුම තැනකය. අවංකම කතාව එයයි. අද කවුරු ආණ්ඩු කළත් මේ තත්ත්වයට මුහුණ දීම හැර විකල්පයක් නැත. කුමන පක්ෂය බලය හෙබවුවත් යථාර්ථය එයයි.

ගෝඨාභය ජනාධිපතිවරයා කෙරෙහි විශාල විශ්වාසයක් තිබුණි. කොරෝනා වසංගතය නොතිබුණේ නම් මීට වඩා වෙනසක් ඔහු අතින් සිදුවන බව පිළිගත යුතුය.

මෙය යාන්ත්‍රණයකි. මහින්ද රාජපක්ෂ යනු එහි ආකර්ෂණීයත්වයයි. ගෝඨාභය යනු කලින් වැඩක් කර විශ්වාසය තහවුරු කළ පුද්ගලයාය. බැසිල් යනු කළමනාකාරීත්වයයි. පරිපාලනය මෙහෙයවන්නාය. ඒ නිසා මේ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වීමට නම් මෙකී සාධක තුනම තිබිය යුතුය. අලුත් පක්ෂයක් හද‌ා ඉතා කෙටි කාලයකින් රටේ බලය ලබාගත්තේ බැසිල් සාධකයයි. එය ලෝක ඉතිහාසයේම නොවූ විරූ තරම් වූවකි.

අද පවතින ආර්ථික වාතාවරණය සමග පරිපාලනමය වෙනසක් අවශ්‍යය. රටේ කළමනාකාරීත්වය ඉක්මනින් වෙනස් කිරීමේ වුවමනාවක් තිබේ. කළමනාකරණය වෙනස් කිරීමට හොඳ කළමනාකරුවකු අවශ්‍යය. රටේ කඩා වැටී තිබෙන කළමනාකාරීත්වය ගොඩනැගීමකින් තොරව පවතින අභියෝග ජයගැනීම අසීරුය. සෑම කළමනාකරුවකුටම මේ අභියෝග ජයගත නොහැක. එය කළ හැක්කේ අභියෝග ජයගත් දක්ෂ කළමනාකරුවකුට පමණී. බොහෝ දෙනකුගෙන් එක් පුද්ගලයකුට කෙරෙන ඉල්ලීම්වලින් ඒ කවුරුන්දැයි පැහැදිලිය.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව නොයෙක් කතා තිබේ. එද‌ා ගාමිණී දිසානායක මහතාට පාර්ලිමේන්තු ඒමට ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමට කැමැති කරවා ගැනීමට විජේතුංග ජනාධිපතිවරයා පුදුමාකාර වෙහෙසක් ගත්තේය. කිසිවෙක් කැමැති නොවූහ. අවසානයේ ඉතා අමාරුවෙන් මුස්ලිම් මන්ත්‍රීවරයකු ඊට එකඟකර ගත්තේය. මුදල් කුට්ටි ඔහුට ලබා දීමක් ගැන ද එකල කතා තිබුණි. එහෙත් අද එවන් තත්ත්වයක් නැත. සිය කැමැත්තෙන් ඉල්ලා අස්වී මන්ත්‍රී අසුන බැසිල්ට ලබා දීමට කිහිප දෙනෙක්ම කැමැත්තෙන් සිටිති. ඒ නිසා මේවා සම්බන්ධව විවිධ අය සැකසංකා තබාගත යුතු නැත.

1994 සිට අඛණ්ඩව වසර 25 ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කළෙමි. එදා සිට මේ දක්වාම අත්දුටු කාරණයක් තිබේ. යථාර්ථය ඇස්පනා පිට පැවැතියත් ඇතැම් දේශපාලනඥයෝ එයට මුහුණ නොදෙති. එය අවබෝධ කර නොගනිති. ජනතාවට ඇත්ත නොකියති. ලෝකය සමග ගනුදෙනු නොකර අපට පැවැත්මක් නොමැති බව මොවුහු හොඳ‌ාකාරව දනිති. යුරෝපයට, ඉන්දියාවට දොස් පවරමින් මොවුන් සැම විට උත්සාහ කරන්නේ තමන්ගේ ඡන්ද ආරක්ෂා කර ගැනීමටය. ඇතැම් අය ජාතිවාදී ස්වරූපයෙන් කතා කරන්නෝය. තවත් අය මෙරට ඇති දේපල සම්බන්ධව ව්‍යාජ අයිතිය මවාපාමින් කතා කරති. එද‌ා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිකරන විට පුදුමාකාර විරෝධයක් තිබුණි. අද ඒවායේ අයිතිය ඇත්තේ කාටද?

කොළඹ තරු හෝටල් එද‌ා විදේශිකයන්ට අයිතිව තිබුණ ද අද ඒවා අයිති මේ රටේ අයට බව මේ අය නොදන්නවා නොවේ. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන විට මහා ඝෝෂාවක් නගමින් විරුද්ධ වූ ඇතැම් දේශපාලනඥයන් බටහිර ජැටිය දෙන විට නිහඬය. මේවායෙන් පෙන්නන්නේ බොරු දේශප්‍රේමයකි. බොරු වීරත්වයකි. ඒනිසා මේ යථාර්ථය අවබෝධ කරගත යුතුය.

1970 දී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ගත් තීන්දු නරක නැත. ආර්ථිකය කඩා වැටී තිබූ එකල සිරිමා බණ්ඩාරනායක, ඇන්.ඇම්. පෙරේරා ගත් ව්‍යාපාරය දිගටම මෙරට ක්‍රියාත්මක වූවා නම් අද ලංකාව තිබෙන්නේ මේ තත්ත්වයේ නොවේ. ඇන්.ඇම්. යනු ‘වොෂින්ටන්වලදී මැරෙන්න නොලැබේවා යැයි’ වේදිකාවලදී ප්‍රාර්ථනා කළ අයෙකි. එහෙත් 1970 ආර්ථික අර්බුදය හමුවේ ඔහු වොෂින්ටනයට ගියේය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවී සාකච්ඡා කර රටේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමටය. එහෙත් අදත් අපේ ඇතැම් අය මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට විරුද්ධ වෙති. ලෝකයේ සෑම රටක්ම පාහේ මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා බව රහසක් නොවේ. දියුණු රටක් වන චීනය ලෝක බැංකුව සමග ගනුදෙනු කරමින් සිටී. ලෝකයේ යථාව එයයි.

ලංකාව හමුවේ ණය කන්දක් තිබේ. එය ප්‍රධාන අභියෝගයකි. වසර 2000 දී වියට්නාමයේ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපනයන සියයට 59.1 කි. 2019 වනවිට එම අගය සියයට 106.8 දක්වා වැඩිකර ගැනීමට ඔවුහු සමත්වූහ. මේ තත්ත්වයට ඔවුන් ගියේ ආයෝජනයට ලිහිල් පරිසරයක් නිර්මාණය කිරීමෙනි.

මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් වෙනත් රටවලින් ණය ලබාගත්තද ඔවුහු පරිවර්තනයට මුහුණ දුන්හ. සමාජවාදී රටක් වන වියට්නාමය අද ඉහළ මට්ටමේ සිටින්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ නිසා පවතින අර්බුදය හමුවේ අප ද ගතයුතු තීන්දු රාශියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ඉන් එකකි. මූල්‍ය අරමුදල විශේෂඥ වෛද්‍යවරයකු හා සමානය. අපට ඇති ලෙඩේ කුමක්දැයි ඔවුහු කියති. කළයුතු දෑ පහදා දෙති. ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටුණු පසු එය නිවැරැදි කරගැනීමට කිසිවක් නොකරන්නේ නම් තවත් ණය ගැනීමට හැකියාවක් නැත. එවිට රට ඉදිරියට ගෙන යාමට ද නොහැක. ඒ නිසා ආර්ථිකය හැසිරවීමේදී අමාරු තීන්දු රාශියක් ගැනීමට බැසිල් රාජපක්ෂට සිදුවන බව පැහැදිලිය. ඒ අමාරු තීන්දු ගෙන රටේ පරිවර්තනයක් කරගත යුතුය. ඒ නිසා ඔහුගෙන් ජනප්‍රිය තීන්දු බලාපොරොත්තු විය නොහැක. මූල්‍ය අරමුදලට ගොස් ඔවුන්ගේ සහතිකය ගත් පසු ලෝකයේ අනෙක් රටවලින් අපට ණය ලබාගත හැකිය.

ඒ නිසා අවශ්‍ය ප්‍රතිව්‍යූහගතකරණයට අප සූද‌ානම් විය යුතුය. මේවා කිරීමට හරියට තීන්දු ගත හැකි කෙනකු අවශ්‍යය. පරිපාලනය නිසිලෙස මෙහෙයවමින් කැපවීමෙන් වැඩකරන කෙනකු වුවමනාය. බිම්මට්ටමේ තත්ත්වයේ පටන් අවබෝධයක් ඇති අයකුට මිස වෙනත් කෙනකුට මේවා කළ නොහැකිය. බැසිල්ට එකී සුදුසුකම් තිබේ.

අද පවතින තත්ත්වය අනුව ඉහත පියවර ගතහොත් යම් වෙනසක් කළ හැකිය. සිටින තත්ත්වයෙන් ගොඩ යාමට අවශ්‍ය අත්තිවාරම දමා ගන්නට පුළුවන. පවතින අර්බුදයෙන් ගොඩයාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් එයින් ගොඩයන අත්තිවාරම දමා ගැනීමට තීන්දු ගැනීමට හොඳ කශේරුකාවක් අවශ්‍ය මොහොතක රට තිබෙන බව පැහැදිලිය.

ජනාධිපතිවරයා කියන ආකාරයට සියලු දෙනාට කොරෝනා එන්නත දුන් පසු සියයට 70 ක සියයට 80 ක අවද‌ානමෙන් මිදෙන්නට පුළුවන. ඒ නිසා අපේ පළමු කාර්ය විය යුත්තේ එයයි. දෙවනුව අවශ්‍ය ප්‍රතිව්‍යූහගතකරණයට සූද‌ානම් විය යුතුය. එහිදී ජනතාවට ඇත්ත පහද‌ා දිය යුතුය.

2020 රටේ ජාතික ආද‌ායමෙන් සියයට 81 ක් වැය වී ඇත්තේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටය. තවත් සියයට 70කට වැඩි ගණනක් ණය පොලී ගෙවීමට වැය වී තිබේ. ආද‌ායමෙන් සියයට 150ක් මේ කාරණා දෙකට වැය වී හමාරය. මෙයින් සියයට 50ක් පියවා ගන්නේ ණය ගැනීමෙනි.

මේ ක්‍රියාවලිය දිගුකාලීනව කළ නොහැක. දැන් අපි එහි උපරිමයට පැමිණ සිටින්නෙමු. ඒ නිසා ප්‍රතිව්‍යූහගතකරණයකට ගොස් ආද‌ායම් වැඩිකර වියදම් අඩුකර විදේශ ආයෝජන ලබාගත හොත් ලංකාව යම් පමණකට යථා තත්ත්වයට පත්කිරීමට පුළුවන. එය කිරීමට බැරිකමක් නැත. අවශ්‍ය සම්පත් තිබේ. අවශ්‍ය වන්නේ ජනතාවට ඇත්ත පහද‌ා දී යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක කිරීමය. ජනතාව සමග දේශපාලකයන්ද මේ කටයුත්තට කැපවිය යුතුය. එසේ නොවුණොත් රට අමාරුවේය.

 අපට ණය දී ඇති රටවල් සමග සාකච්ඡා කර ණය ගෙවීම දිගුකාලීන ක්‍රමයකට සකසාගත යුතුය. ඇතැම් විට පොලිය අඩුකර ගැනීමට ගෙවීම් කල් දමා ගැනීමට හැකි විය යුතුය. මේවා නොකළොත් ශ්‍රේණිගත කිරීමේ ‘සී’ කාණ්ඩයට වැටී බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇත. ඇතැම් අය මයික්වලට පුරසාරම් දොඩවති. ගැලරියට කතා කරති. එසේ නොකර ජනතාවට ඇත්ත පහදා දී වියදම් අඩුකර ගන්නා ක්‍රමවේද වෙත යොමුවිය හැකිය. ජීවන වියදම් ප්‍රශ්නය නිවැරැදිව වටහාගෙන ජනතාවට අනවශ්‍ය බර නොපටවා කැපවීමෙන් ඉදිරියට ගියොත් ඉලක්ක වෙත ළඟා විය හැකිය. බැසිල් රාජපක්ෂ වැන්නකුගෙන් මේ මොහොතේ අපේක්ෂා කරන්නේ එවැන්නකි. ප්‍රශ්න උග්‍ර වී ආණ්ඩුව අපහසුතාවට පත්වන විට බලය අල්ලා ගැනීමට තවත් අය මාන බලමින් සිටිති. කාට වුවත් එසේ බලය අල්ලාගෙන රට ඉදිරියට ගෙන යාමට නොහැක. ඒ නිසා අද තිබෙන්නේ පවතින අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයයි. එයට මුහුණ දිය හැක්කේ සියයට සියයක් කැපවීමෙන් අවශ්‍ය කටයුතු කිරීමෙනි. මූල්‍ය අරමුදල ලවා මේ රටට වෛද්‍ය පරීක්ෂණයක් කරගත යුතුය. ලෙඩේ සඟවා තබා ගැනීම තවදුරටත් ප්‍රායෝගික නැත.

මූල්‍ය අරමුදලට යායුතු නැති බව ඇතැම් දේශපාලකයෝ කියති. විදේශ රැකියා ආද‌ායම් බිලියන දහයක් පමණ අපේක්ෂා කළ ද එය බිලියන හතරකට පමණ පහළ බසින බව පැහැදිලිය. ඉතිරි බිලියන හය පියවා ගන්නේ කෙසේද? ශ්‍රේණිගත කිරීම පහළ වැටුණොත් විදේශ ආයෝජන ලබා ගැනීම අපහසුය. ඒ නිසා වරාය නගරය ඉක්මනින් ආයෝජනයට සූදානම් කර අවශ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතුමය. රට යා යුත්තේ එතැනටය. දේශපාලන යාන්ත්‍රණය පරිපාලන යාන්ත්‍රණයට සම්බන්ධ වීම ඊට අවශ්‍යය. බැසිල් වැන්නකුගේ අවශ්‍යතාව දැනෙන්නේ එතැනදීය. එසේ නැතිව දැන් පවතින තත්ත්වය අනුව විශ්මකර්ම වැඩ කිරීමේ හැකියාවක් නැත. චීන ජනපති මෙරට මුදල් ඇමැති පුටුවේ වාඩි වුවත් රටේ පවතින තත්ත්වය අනුව මහා පෙරැළි කළ නොහැක. අවශ්‍ය වන්නේ අභියෝගයට මුහුණ දිය හැකි වාතාවරණය සකස් කිරීමය.

අද රටේ ඩොලර් හිඟයක් තිබේ. එය සැඟවිය යුක්තක් නොවේ. මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව එතැනදී හොඳින්ම ඉස්මතු වන්නකි. මූල්‍ය අරමුදල දෙන්නේ මෙරට සංචිත ශක්තිමත් කරන ණය පහසුකමකි. ඔවුන් ව්‍යාපෘතිවලට ණය දෙන්නේ නැත. ප්‍රතිව්‍යූහගතකරණය අවශ්‍ය වන්නේ ද විදේශ සංචිතය ශක්තිමත් කිරීමටය. වහා ක්‍රියා කළයුත්තේ පවතින මහා අර්බුදයට මුහුණදීමටය.

ජී.එස්.පී. සහනය තවත් කාරණාවකි. කෙසේ වුවත් එම සහනය පවතින්නේ 2023 දක්වා පමණි. ඉන්පසු එය ඉබේම අහෝසි වනු ඇත. එවිට අපේ විදෙස් ආද‌ායම් තවත් පහළ බසිනු ඇත. එනිසා අද සිට සූද‌ානම් විය යුත්තේ එවැනි අභියෝගවලට මුහුණ දීමටය. ලෝකය වෙනස්වන විට සමාජවාදී රටවල් වෙනස් වූ ආකාරය අපට ආදර්ශයකි. චීනය, වියට්නාමය, රුසියාව අද සිටින්නේ කොතැනද? ඒ දෙස බලන විට තවදුරටත් ළිංමැඩි මානසිකත්වයෙන්  කතා කර කර සිටීම ප්‍රායෝගික නැත.

(*** සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (9)

රට හැදීමට ශක්තිමත් යාන්ත්‍රණයක්

Chris Monday, 05 July 2021 01:16 PM

මේ වනවිට රාජ්‍ය අංශයේ ප්‍රධාන ආයතන 1200ක් පමණ තිබෙන අතර, ඒවා යටතේ කුඩා ඒකක 30,000 ක් පමණ වේ. අපගේ ශ්‍රම බලකායෙන් 15%ක් පමණ එනම් මිලියන 1.2ක් දෙනා රාජ්‍ය අංශයේ සේවය කරති. දැනට මෙරට කැබිනට් ඇමැතිවරු 30 දෙනෙක් හා රාජ්‍ය ඇමැතිවරු 40 දෙනෙක් සිටිති. වගකීම් එකිනෙකා වෙත හරස්ව වැටෙන (එකම වගකීම දෙදෙනෙකු වෙත වැටෙන) අවස්ථා බොහෝය. දකුණු අත කරනා දේ වම් අත දන්නේ නැත. අමාත්‍යාංශ මට්ටමේ සහ ආයතන මට්ටමේ එකම වගකීම දරන තනතුරු තෝරා නායකත්වය විසින් ඒවා අවම කළ යුතුයි.

:       1       17

පප්ප Monday, 05 July 2021 06:55 PM

මේ යෝදයා දැන් නිකම්ම නිකම් ගොබිලෙක්..., බැසිල්ගෙන්වත් ගොඩයන්න තමයි දැන්බලන්නේ...

:       1       41

සිල්වියාThursday, 08 July 2021 04:44 PM

ඒකට තමා එනවා කියලා ආරංචිය ලැබුණුදා සිටිම කිලිටි හෝදන්න පටන් ගත්තේ... මීයක් කඩන්නේ අතලෙවකන්නම නොවෙයි නේද?

:       0       0

janahitha Tuesday, 06 July 2021 01:59 AM

පුළුවන් තරම් රට ගොඩගැනීමට දේශපාලන තීන්දු ගත යුතුයි. මන්ත්‍රීවරුන්ට සැප වාහන ආනයනය කර ආණ්ඩුව ශක්තිමත් කළ යුතුය. තම පරපුර වෙනුවෙන් අධ්‍යක්ෂක තනතුරු ඇති කළ යුතුය. ඔන්න ඕකයි තත්වේ..

:       0       0

මාතර අපී Tuesday, 06 July 2021 07:36 AM

අපි ඔයාට කී වතාවක් ඡන්දෙ දුන්නාද? ඔහේගේ පුතා දිනවන්න අපි කොච්චර මහන්සි වුණාද? ඒත් ඒ වගේමයි. අපිට කිසිදෙයක් කළාද? නුඹලා දිනවන්න අපි කරපු කැපවීමට අපිට මඩු වලිගෙන් තලන්න ඕනෑ...

:       0       44

බමුණු. Tuesday, 06 July 2021 08:31 AM

අනුන්ට ළිං මැඩි මානසිකත්වයෙන් කටයුතු කරනවා යැයි කියා කියන ඇතැම් බක පණ්ඩිතයන්ගේ කෙරුවාව මේ රටේ බොහෝ දෙනා දන්නවා.තමන් ගෙම්බෙකු මෙන් ඒ මේ පැතිවලට පැන මඩිය තරකර ගත් ආකාරය අද අමතකවී ඇති බවයි පේන්නේ.ඒවා ජනතාවට හොඳහැටි මතකයි.මහා ප්‍රාඥයන් මෙන්, උපදේශකවරුන් මාර්ගයෙන් කටපාඩම් කරගෙන ලැබූ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දැන් හෝ වටහාගත යුතුය.

:       0       28

කොම් Tuesday, 06 July 2021 01:41 PM

අර කොරෝන මර්ධන බලකායෙ ඉදලත් මොකද්ද උණ සෙතෙ........මගුලක් කියවනවනෙ ඉතිම්

:       0       27

Deepal Nirosh Tuesday, 06 July 2021 06:46 PM

ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න මිස වෙන මොකටද?

:       0       0

ajntha paris Wednesday, 07 July 2021 09:00 PM

මෙච්චර ඇමැතිකම් කළේ වෙන රටකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 248 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 59 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site