ගුවන් විදුලියේ ළමා රංග පීඨයෙන් පිය කලා ගමන ආරම්භ කරන  සමන් අතාවුදහෙට්ටි ගුවන් විදුලි හඬ කැවීම්, නිවේදනය හරහා පසුකාලීනව ලේඛකයකු ලෙසත් ගීත රචකයකු ලෙසත් කලා ලොව නමක් දිනා ගැනීමට සමත් විය.

ඔහු සභාවක් ආමන්ත්‍රණය කරන සෑම අවස්ථාවකම එම ස්ථානය එකම රස සාගරයක් බවට පත් කිරීමට ඔහුගේ භාෂා කෞෂල්‍යයට  තිබුණේ අපුර්වතම හැකියාවකි. පසු කාලීනව දේශපාලනය සමඟත් සමීප වන ඔහු ඒ කිසිවක් සිය කලා ජීවිතයට බාධාවක් කර නොගන්නේ එය රැකියාවක් ලෙස පමණක් සළකා කටයුතු කළ නිසාය. දශක ගණනක් පුරා කලා ලොව භුමිකා රැසකටම පණ  පෙවු ඔහු අලුතෙන්ම ස්පර්ශ කරන්නට උත්සාහ දරන මාධ්‍ය වන්නේ  යු. ටියුබ් ආගමනයයි. ඔහු දැනටමත්
‘සමන් 4 යු’ නමින් ඩිජිටල් අවකාශයේ සැරිසරන්නේ නවමු වැඩසටහන් රැසක් සමඟ පෙළහර පාමිනි. කලා ලොවේ නව පෙරළිකාර කටයුත්ත හා විවිධ කලා මතවා ද සමඟ සමන් රසවින්දන හා මෙසේ සම්මුඛ වෙයි.


● ඔබ දශක ගණනාවක පටන් විවිධ භූමිකා ඔස්සේ අප හා සම්මුඛ වුණා. එතැනින් ඔබ්බට යමින්  ‘සමන් 4 යු.’ නමින් ඩිජිටල් අවකාශයේ අපට ඔබ මුණ ගැහෙනවා. මේ නව කලාංගය ඔබ හඳුනා ගන්නේ කොහොම ද?
අප සෑම විටම තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. මීට අවුරුදු 50කට 60ට කලින් සමාජය හා ලෝකය පැවතුණු විදියට නෙවෙයි අද තිබෙන්නේ. අපි කලාවට  ප්‍රවේශ වෙන කොට තිබුණේ පුවත්පත් කීපයක් හා එක ගුවන් විදුලියක් පමණයි. 1990 වෙනකන්ම තිබුණේ එක ගුවන් විදුලියයි. අද අපේ රටේ ගත්තොත් ගුවන් විදුලි නාළිකා ගණනාවක්ම තිබෙනවා. ලෝකයේ තත්ත්වය ගත්තත් ඒ වගේමයි.

1980 ගණන්වල් දී තමයි අපට රූපවාහිනිය වුණත් ලැබෙන්නේ. අලුත් තාක්ෂණයක් පැමිණුනාම අපි ඒ තාක්ෂණය එක්ක බැඳිලා හරඹ කරලා ඒ තාක්ෂණය හරියට ඉගෙන ගෙන සන්නිවේදන කටයුතු ආරම්භ කළාට කිසි වරදක් වෙන්නේ  නැහැ. ඒ නිසා තමයි ඩිජිටල් අවකාශය ජනප්‍රිය වෙනකොට මටත් එය භාවිතයට ගැනීම සුදුසුයි කියලා කල්පනා කරන්නේ. මේ සඳහා මට ගොඩක් දිරිමත් කළ අයෙක් තමයි මහාචාර්ය ධම්මික ගංගානත් දිසානායක. ඔහු තමයි මට මුලින්ම ඒ අදහස දුන්නේ. එහෙත් මම චැනලය පටන් ගන්න අවස්ථාවේ ඔහු ජීවතුන් අතර හිටියේ නැහැ. චැනලය සැලසුම් කරන අවස්ථාවේ ඔහු අසනීප තත්ත්වයේ හිටියත් අවශ්‍ය උපදෙස් ලැබුණා.

මම කොහොමත් අලුත් තාක්ෂණය වැළඳ ගන්න කැමති කෙනෙක් ඕනෑම අලුත් දෙයක් ඉගෙන ගැනීම මම මගේ ආගම කරගෙන ඉන්න කෙනෙක්. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි මම ඩිජිටල් අවකාශය ඒක  හරහා කරන්න ඕන කියන නිගමනයට එළැඹෙන්නේ. අවුරුදු දෙක හමාරකට කලින් මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තා. එතනින් පස්සේ මං මගේ සම්පූර්ණ කාලය යෙදුවේ මේ වෙනුවෙන්.


● යු. ටියුබ් හරහා විවිධාකාරයේ වැඩසටහන් අද ක්‍රියාත්මක වෙනවා. ඔබ මෙහිදී එක් අන්තයකට සීමා නොවී වැඩසටහන් විවිධාංගිකරණ කිරීමට උත්සාහ දරා තිබෙන බවක් පේනවා.
මම මගේ යු. ටියුබ් නාළිකාව පටන් ගන්න කලින් ලෝකයේ හා ලංකාවේ යු. ටියුබ් නාළිකා පිළිබඳ කිසියම් සමීක්ෂණයක් කළා. එහි දී ලංකාවේ යු. ටියුබ් නාළිකා පිළිබඳ කෙරුණු සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ මට සෑහීමකට පත්වීමට නොහැකි වුණා. ලෝකයේ ගත්තොත් ඉතාම වැදගත් කරුණු සාකච්ඡා කරන යු. ටියුබ් නාළිකා තිබෙන බව මට හැඟී ගියා. ඒවා අතිශයින්ම ජනප්‍රිය බව මම තේරුම් ගත්තා. ලංකාව ගත්තොත් ලංකාවේ යු. ටියුබ් නාලිකා 90% කටත් වඩා ජනප්‍රිය වෙලා තිබෙන්නේ දේශපාලන, වල්පල්, ඕපා දුප, මඩ ගැසීම්, අවලා ද, ලිංගිකත්වය පේමන්ඩ් එකේ දමා විකිණීම වැනි දේවල් වලින්. ඒ අතර තුර නාළිකා සීමිත ප්‍රමාණයක් හරවත්  ගමනක යෙදී සිටිනවා. සංගීත, සුපශාස්ත්‍ර, ප්‍රවෘත්ති ආදී සමහර නාලිකාවල ඒ හරවත්භාවය මම දකිනවා. සමහර හරවත් දේ කතා කරන නාලිකා ජනප්‍රිය නෑ. අපට දැනුමක් උකහා ගත හැකි නාළිකා තිබෙන්ණේ ඉතාම සීමිතව බව මම තේරුම් ගත්තා.  
අපි කණ්ඩායමක් විදියට තේරුම් ගත් කාරණය තමයි ඕපාදුප මඩ ගැසීම් වලින් තොරව නාළිකාවක් පවත්වා ගෙන යනවා කියන එය අභියෝගාත්මකයි කියන එක.

අපි කල්පනා කළා අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට පුළුවන් තාක්කල් මේ නාළිකාව පවත්වාගෙන යනවා කියලා. සමන් 4 යු. නාළිකාව ජනප්‍රියත්වය අරමුණු කර ගනිමින් පවත්වාගෙන යන නාළිකාවක් නොවේ. අපි ගුණවත්භාවය, රසවත් භාවය, හරවත්භාවය, බලවත්භාවය පදනම් කරගෙන තමයි නාළිකාව පවත්වාගෙන යන්නේ.


●  ඔබ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පියෙක් හා හඬ කැවීම් ශිල්පියෙක්. නිවේදකයෙක්, මෑත කාලීනව ගත්තොත් සමහරු ජනමාධ්‍ය කලාවේ යම් කිසි පරිහානියක් පිළිබඳ කතා කරනවා.  ඔබ තරුණ පරම්පරාවේ පරිහානිය දකින කෙනෙක්ද? නැතිනම් වෙනත් අදහසක් ද තිබෙන්නේ.
සාම්ප්‍රදායික මධ්‍යයේ එක පොදු දුර්වලතාවයක් මා දකිනවා. මේ මාධ්‍ය තුළ කටයුතු කරන සමහර අයට දැනුම නැහැ. ඒ අයට දැනුම නැති බව ඒ අය දන්නේවත් නැහැ. දැනුම ලබා ගන්න ස්ථානත් නැහැ. ඒ පරිපාලන අංශවල ඉහළ ඉන්න අයත් දැනුම පිළිබඳ අවබෝධයක් නැති අය. තමන් ඉන්නේ හරි තැන කියලා හිතාගෙන තමයි ඒ අය කටයුතු කරන්නේ. වෙන රටවල් එක්ක සංසන්දනය කරන කොට අපේ මාධ්‍ය ඉහළ මට්ටමක නැහැ. පහළ මට්ටමක තමයි තිබෙන්නේ. ඒ අතරතුර අතරින් පතර දැනුම තිබෙන අයත් සිටිනවා. සමස්තය අරන් බැලුවොත් දැනුම පිළිබඳ තිබෙන නොදැනුම නිසාමයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. මාධ්‍ය කියන එක ගැන විතරක් නෙමෙයි මේකෙන් කළ හැකි දේ පිළිබඳවත් අවබෝධයක් නැහැ. මාධ්‍ය හැසිරවීම ගැන අවබෝධයක් නැහැ. ඔවුන් සිතාගෙන සිටිනවා ඔවුන් හරි කියලා.


●  ලංකාවේ ජනප්‍රිය  සංගීතයේ යම් සලකුණක් තැබූ සුනිල් පෙරේරා ගායන ශිල්පියා මරණයට පත්වුණා ඔහුගේ මරණයෙන් පසු සම්භාව්‍ය විචාරකයන් පවා ඔහුගේ ගීත අගය කරමින් කතා කරනවා අප දුටුවා. සුනිල් පෙරේරාගේ ගායන භාවිතාව ඔබ දකින්නේ කොහොම ද?
ඒ ගායකයා ජනප්‍රියද? නැද්ද? කියන එක නෙමෙයි ප්‍රශ්නය. ඔහු ගායකයෙක්ද? නැද්ද? කියන එකයි. අපස් ස්වර ගයන් නැතිව නිසි ස්වරස්ථානවල ඔහු ගයනව නම් එය තමයි ගායකයකුගේ මූලික ලක්ෂණය. අපස් ස්වරය කියන්නේ මොකක් ද, ස්වර ස්ථානවල පිහිටුවලා ගායනා කරන්නේ කොහොම ද කියලා බොහෝ අය දන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට සිංදු කියන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. සුනිල් පෙරේරා කියන්නේ ඉතාම දක්ෂ ගායකයෙක්. සුනිල් ගැන වගේම කතාබහක් මීට පෙරත් ඇති වුණා ජෝතිපාල මරණයට පත්වුණු වෙලාවේ. ඇද වැටුණු සංස්කෘතික බලකොටුව නමින් සරත් අමුණුගම මහතා විචිත්‍ර පත්‍රයට ලිපියකුත් සම්පාදනය කළා.


●  ඔබ ඔය අදහස් කරන්නේ විදග්ධ සහ පීචං ලෙස බෙදන ඒ බෙදුම් රේඛාව වැරදියි කියන එක නේද?
ඒ බෙදුම් රේඛාවට මම විරුද්ධයි. අපේ රටේ යම් යම් කලා මාධ්‍ය පරිහානියට ලක්වෙන්න හේතුව ඒකයි. මම ගායකයෙක් පීචං කියලා ගණන් ගන්නේ ඔහුට ගායනය බැරි නම් නිසි ස්වර ස්ථාන වල නොපිහිටා ගයනවා නම්. නිසි ස්වර ස්ථානවල පිහිටා ඔහු ගයනව නම් ඔහු විදග්ධයි. ඒ නිසා ඒවා අනුව ඉරක් ගහන එක වැරදියි.


●  ඔබ කාලයක පටන් දේශ දේශාන්තරවල සංචාරය කරමින් පොත පත රචනා කළා. කොරෝනා නිසා තාවකාලිකව ඒ කටයුත්තටත් විරාමය තබන්න සිදුවී තිබෙනවා. ඒ අතීත මතක සිහිපත් කරද්දී කවරාකාරයේ හැඟීමක් ද තිබෙන්නේ.
දැන් ඇත්තටම කොරෝනා හැදුණ වගේම තමයි ඉන්නට සිදුවී තිබෙන්නේ. සංචාරකයකුට ඇවිදින්න නැති වුණාට ඒක දුෂ්කර කාලයක්. ඇවිදින්න හැකි වූ විගස නැවතත් ඒ ගමන පටන් ගන්න බලාගෙන සිටිනවා.


●  අතීතයේ යම් යම් ස්ථාන පිළිබඳව පණ පිහිටුවා සංචාරක ලේඛකයා පාඨකයාට කරුණු ගෙන ආවා. අද රූප මාධ්‍යයෙන් දකින ආකාරයට එය පරිවර්තනය වී තිබෙනවා. මේ මාධ්‍ය දෙකේ වෙනස ඔබ දකින්නේ කොහොම ද?
ඒක පොත පත රචනා කරන කෙනෙකුට ලොකු අභියෝගයක්. නව මාධ්‍ය එක්ක සංචාරක ලේඛකයකුට ලොකු අභියෝගයක්. වීඩියෝ තාක්ෂණයෙන් කියන්න බැරි දේ ලේඛකයා සොයාගෙන යා යුතුයි. අනිත් ක්ෂේත්‍රවල ලේඛකයන්ටත් වඩා සංචාරක ක්ෂේත්‍රවල ලේඛකයන්ට මුහුණදීමට සිදුවන අභියෝග වැඩියි.

 
●  ඔබ කලක් රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. අපි ඒ කාලේ දුටුවේ නැහැ ඔබ අනවශ්‍ය ආකාරයට චිත්‍රපට තහනම් කරනවා හෝ වාරණය කරනවා. වාරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අපි කටයුතු කළ අවුරුදු පහක කාලයේ කිසිම කලා කෘතියක් වාරණය කරලා නැහැ. ඒ කාලේ කිසිම සංස්කෘතියකට ආගමකට හානි කර දේවල් පෙන්නුවා කියලත් කිසිම චෝදනාවක් එල්ල වෙලත් නැහැ. එතන දී අපි අනුගමනය කළ ප්‍රතිපත්ති 100% ක් නිවැරැදි කියලා ඔප්පු වෙනවා. කලා කෘති වාරණය අර්ථ ශුන්‍ය ක්‍රියාවක්. දැන් හැම කෘතියක්ම බිහි වෙන්නේ  ඩිජිටල් මාධ්‍යයෙන්. ඩිජිටල් මාධ්‍යයට වාරණ පණවන්න බැහැ. එතනින් ඔබ්බට ගිය ඉහළ ක්‍රමවේදයක් පාවිච්චි කළ යුතුයි. කලා කෘති ප්‍රදර්ශනය කිරීමේ දී. මං ඉදපු කාලේ රැගුම් පාලක පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරන්න කෙටුම්පත් සකස් කළා. එය දැන් අවසාන අදියරට පැමිණ තිබෙන්නේ. රැඟුම් පාලක මණ්ඩලයක් වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය පනත සකස් කරලා තිබෙන්නේ.  


●  මලක් වුණේ ඇයි නුඹ මට, කවුරුත් එන්නැති කවුරුත් දන්නැති, ඉරි තැලුණු වලා, කවුරුන්ද ඔබ මගේ වැනි ඔබ රචනා කළ ගීත කීපය ගත්තත් ඒවා කිසියම් අනන්‍යතාවයක් සහිත රහ ගීත බවට අනාගතයට ඉතිරි වී තිබෙනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?
මට ඒ ගැන මුකුත් කියන්න බැහැ. රසික ප්‍රජාව ඒක බාර ගත් විදිය, කල් ඉකුත් නොවන කලා කෘතියක් කරන්න පුලුවන් නම් ඒක තමයි වැදගත්කම. කාලයත් සමඟ ඒ කලාකෘතියේ රසය දියාරු වෙනවානම් වැඩක් නැහැ. කාලයක් පවතින කලා කෘතියකට දායකවීම තමයි මගේ සතුට.


(*** සංවාද සටහන - අමිල චින්තක ගමගේ)