ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමත්හු අද 21 ඉදුල් අල්හා නම් වූ හජ් උත්සවය සමරමින් සිටිති. හජ් යනු ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් පහෙන් පස් වැනි මෙන්ම වැදගත් වගකීමක් ද වේ. ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනයට සහභාගිවීමට අවසර ඇත්තේ සීමිත පිරිසකට පමණි. කෙසේ වුවත් ලොව පුරා මුස්ලිම් ජනතාව මහත් බැතියෙන් හජ් උත්සවය සමරති.

ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූයේ ලොව මුල්ම මිනිසා වූ ආදම් නබි තුමන් බිහිවූ දා පටන්ය. ආදම් (අලෙයි) තුමන්ගෙන් පටන් ලොව මානව ශිෂ්‍ටාචාරය ආරම්භ වූ බව ඉස්ලාමය කියයි. ලොව මුල්ම මිනිසා ආදම් තුමන් බිහි වූයේ ස්වර්ගයේ සිට ඍජුවමයි. ඉන් පසු එතුමන්ගේ ඉල ඇටයෙන් හව්වා තුමිය බිහි කර ඔවුන් දෙදෙනා පවුල් ජීවිතයට යොමු කරනු ලැබු අතර ඔවුන්ගෙන් බිහි වූ දරුවන්ගේ මේ මිනිස් සමාජය පැවත එන බව ස්ලාමය කියයි. එදා පටන් ඇරඹුණු ඉස්ලාමය මුහම්මද් නබි තුමන්ගෙන් සර්ව සම්පූර්ණ කොට අවසන් කළ බව ද ඉස්ලාමය කියයි.

එතැන් පටන් මුහම්මද් නබිතුමන් දක්වා නබිවරුන් හෙවත් වක්තෘවරුන් එක් ලක්ෂ විසි පන්දහසක් පැමිණි බවත් ඒ අතුරින් වැදගත්ම 25 දෙනකුගේ නම් සඳහන් කරන බවත් ශුද්ධ වු කුරානය සඳහන් කරයි. මෙලෙස ලොවට බිහි වූ නබිවරුන් අතර වැදගත්ම නබිවරයකු වන ඉබ්‍රාහිම් නබිතුමන් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඉස්ලාමය වෙනුවෙන් කළ පරිත්‍යාග හා බැඳුණු සිදුවීම් මෙම හජ් වන්දනය හා බැඳී පවතී.

ඉස්ලාම් දහම මෙන්ම නබි මුහම්මද් තුමන් ද බිහි වූ සව්දි අරාබියේ ශුද්ධ වූ මක්කම හා මදීනා නගර කේන්ද්‍ර කරගෙන හජ් වන්දනය සිදු කරනු ලබයි.

ඉස්ලාම් ධර්මය ප්‍රධාන වගකීම් පහක් පදනම් කර ගෙන සිය ඉගැන්වීම් සිදු කරයි. එහි පළමුවැන්න විශ්‍වාසයයි. අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබිතුමන් පිළිබඳ විශ්වාසයයි. දෙවැන්න පස්වේල් සලාතයයි. සකාතය සහ රාමලාන මාසයේ උපවාසය සුරැකීම තෙවැනි හා හතරවන වගකීම වන අතර පස්වැන්න මෙම මාසයේ හජ් වන්දනය ඉටු කිරීමයි. මෙයින් වගකීම් දෙකක් අනිවාර්ය වනුයේ යමක් කමක් ඇති පුද්ගලයන්ට පමණි. හජ් වන්දනය ද යමක් කමක් ඇති පුද්ගලයන් ඉටු කළ යුතු වගකීමකි. හජ් වන්දනය ඉටු කිරීම සඳහා සව්දි අරාබියට යාමට සහ ඒමටත් එහි අවශ්‍ය වියදම් සඳහා සහ තමන් නැවත පැමිණෙන තුරු තමන්ගේ යැපෙන්නන්ට අවශ්‍ය වියදමට මුදලුත් තිබේ නම් හජ් වන්දනය අනිවාර්ය වේ.

හජ් වන්දනය හා බැඳුණූ සියලු සිදුවීම් ඉබ්‍රාහිම් නබිතුමන්ගේ සමයේ එතුමන් විසින් කරන ලද උත්තරීතර පරිත්‍යාගයක් පදනම් කරගෙන සිදු කරන බැවින් හජ් උත්සවය පරිත්‍යාගයේ උත්සවය ලෙස ද හැඳින් වේ.

මක්කා නගරයේ පිහිටි දේවස්ථානය ලොව ඉදි වූ පළමු දේවස්ථානය ලෙස ඉස්ලාමය සඳහන් කරයි. තම ජීවිත කාලයේ එක් වරක් හෝ එහි ගොස් වැඳ පුදා ගැනීම සහ ඉබ්‍රාහිම් නබි තුමන්ගේ ජීවිතය හා බැඳුණු සිදුවීම් සිදුවූ ස්ථාන දැක බලා ගැනීම මෙම හජ් වන්දනය සඳහා යෑමේ ප්‍රධාන අරමුණ වේ.

ශුද්ධ වූ කහ්බා දේවස්ථානයට සහ මදීනා නගරයට ගොස් හජ් වන්දනය ඉටු කිරීමේ දී ඉටු කළ යුතු වැදගත් කරුණු රැසක් පවතී.

ඒ අතර කුර්බාන් කිරීම ද එකක් වේ. කුර්බාන් කිරීම යනු ඉස්ලාමය මගින් සඳහන් කර ඇති සතෙකු කපා එම මස් දන්දීමයි. හජ් වන්දනය සඳහා යන අය මක්කම දී මෙම කුර්බාන් කිරීම සිදු කරන අතර හජ් වන්දනය සඳහා නොයන පීරිස් තම තමන්ගේ නිවෙස්වල දී තනිවම හෝ සාමුහිකව මෙම කුර්බානය සිදු කරති.

කුර්බාන් කිරීම සඳහා අනුමත සතුන් වනුයේ ඔටුවන්, ගවයන්, බැටළුවන් සහ එළුවන්ය. එම සතුන් අතුරෙන් ඔටුවන් සහ ගවයන් කුර්බාන් කිරීමේ දී හත් දෙනකු දක්වා පිරිසක් එක්ව සාමුහිකව කළ හැකි නමුත් බැටළුවන් සහ එළුවන් දන් දීමේ දී තනිවම සිදු කළ යුතු බවද ඉස්ලාමය කියයි. ඇතැම් පිරිස් හඳුන්වන ආකාරයට මෙම බිලි පූජාවක් නොවේ. මෙමගින් කුර්බාන් කරන සතුන්ගේ මස් දිළිඳු ජනතාව සඳහා බෙදා දීම සිදු කරනු ලබයි.

ලෝකය පුරා වෙසෙන මුස්ලිම් ජනතාව අතුරින් වසරකට ලක්ෂ හතළිහකට ආසන්න පිරිසක් මක්කා නගරයට ගොස් හජ් වන්දනය ඉටු කරති. අපේ රටේ ද වාර්ෂීකව විශාල පිරිසක් හජ් වන්දනය සඳහා යාම සඳහා සූදානමින් සිටිය දී සව්දි අරාබියෙන් අපට ලැබෙන අවස්ථා ප්‍රමාණය ඉතා අඩුවීමත් ඇතැම් ධනවත් පුද්ගලයන් කිහිපවරක්ම හජ් වන්දනයට යාමත් නිසා සියලු දෙනාටම හජ් වන්දනය සඳහා යෑමට අවස්ථාවක් හිමි නොවෙයි.

හජ් වන්දනය සමග බැඳුණු සිදුවීම් රැසක්ම පවතී. එයින් බොහොමයක්ම බැඳී පවතිනුයේ ඉබ්‍රාහිම් නබිතුමන්ගේ සහ පවුලේ සාමාජිකයන් අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ කැප කිරීම් පදනම් කර ගෙනයි. දීර්ඝ කාලයක් කන්නලව් කර ලබා ගත් තම එකම දරුවා සහ දරුවාගේ මව වන හාජරා තුමිය ජල පොදක් නැති කාන්තාරයේ තනි කර එන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉබ්‍රාහිම් නබිතුමන්ට අණක් ලැබිණ. දෙවියන් වහන්සේගේ අණක් බැවින් දෙවරක් නොසිතාම  ඉබ්‍රාහිම් නබිතුමෝ කාන්තාරයේ සිය දරුවා සහ බිරිඳ තනි කර දමා පැමිණියහ. ටික වේලාවක් යද්දී කුඩා ඉස්මයිල් කුමරු ජලය ඉල්ලා හඬ නැගූ අතර මවු හාජරා තුමිය ඒ අසල තිබූ සෆා සහ මර්වා නම් වන කඳු දෙක අතර ජලය සොයා දිව ගිය බව සඳහන්ය. ඒ කන්දටත් මේ කන්දටත් දිව ගියද ඒත් ජල බිඳක් එහි නොවීය. ටික වේලාවකින් දරුවාගේ හැඬීම නැවතින. මවු හාජරා තුමිය දරුවා සිටි දෙස හැරී බැලුවාය. පුදුමයකි. දරුවාගේ දෙපා මුලින් අති විශාල ජල උල්පතක් ගලා යන්නට විය. ‘සම් සම්’ නමින් හඳුන්වන එම ළිඳ අදත් මක්කා නගරයේ දක්නට තිබෙන අතර එම ළිඳේ ජලය බීම හජ් වන්දනය සඳහා යන සෑම කෙනෙකුගේම යුතුකමක් ලෙස ද සැලකේ.

හජ් වන්දනය සඳහා යාමෙන් මුස්ලිම් ජනතාව අපේක්ෂා කරනුයේ සහෝදරත්වය සහ සාමයයි. ලෝකයේ නන්දෙස සිට පැමිණෙන ජනතාව එකම භූමියේදී එක්වීම මගින් සමගිය සහ සාමය ඇතිවේ. ඒ වගේම ඉස්ලාමය වෙනුවෙන් මෙයට වසර දහස් ගණනකට පෙර ඉබ්‍රාහිම් නබි තුමන්ගේ සහ එතුමන්ගේ පරිත්‍යාගයන් දැක සිහි කර ගැනීමෙන් ඉස්ලාම් භක්තිකයන්ට තමන් තුළත් එවන් පරිත්‍යාගශීලි සිතුවිලි වර්ධනය කර ගැනීමට ඉවහල්වේ. කෙසේ නමුත් හජ් වන්දනය ඉටු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිති. එම අවස්ථාව සෑම මුස්ලිම් බැතිමතෙකුටම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ඔබ සැමට ඊද් මුබාරක්...!!!

​(*** මොහොමඩ් ආසික්)