2016 වසරේ දත්ත පදනම් කරගෙන විශේෂඥයන් ඉදිරිපත් කළ අදහසකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40ක පමණ ජනකායක් දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ ජීවිත ගතකරති. මෙය නිල වශයෙන් පිළිගත් දරිද්‍රතා අනුපාතිකය වන සියයට 4 ට වඩා හාත්පසින් වෙනත් තත්ත්වයකි. මේ වන විට කොරෝනා පසුබිම යටතේ ඊටත් වඩා දරුණු මට්ටමට වැටෙමින් රටේ ජනගහනයෙන් සියයට 50කට ආසන්න ප්‍රතිශතයක් දුප්පත්කමෙන් පෙළෙන බව පෙනී යයි.

 මෑත කාලයේ ප්‍රතිපත්ති සම්පාදන වැඩපිළිවෙළවලදී දුප්පත්කම අඩු කිරීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත.

අපනයනය මූලික කරගත් ආර්ථික වර්ධනයක් අරමුණු කරගනිමින් පිටතට යොමුවුණු (බාහිරාවර්තිත) වෙළඳ ප්‍රතිපත්තියක් දරිද්‍රතාව අඩුකිරීම සඳහා අනුගමනය කිරීම ඉතාමත් වැදගත්ය. වියට්නාමය, බංග්ලාදේශය වැනි ආසියාවේ වේගයෙන් වර්ධනය වෙමින් ඉස්මතු වන ආර්ථිකයන් සහිත රටවලින් මේ බව පැහැදිළිව දිස් වේ.

නිල වශයෙන් කරන ලද ඇස්තමේන්තුවට වඩා මෙරට දුප්පත් කම දස ගුණයකින් වැඩි වේ.

 ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ඒක පුද්ගල දරිද්‍රතා අනුපාතිකය වේගයෙන් පහත වැටී ඇත. 2002 දී සියයට 22.7 ක්ව තිබූ එම අනුපාතිකය 2016 දී සියයට 4.1 දක්වා පහත වැටී ඇති බව පෙන්වන්නේ පාරිභෝගික ප්‍රවේශය අනුවයි. මෙම දරිද්‍රතා අනුපාතිකය ගණන් බැලීමේදී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව භාවිතා කර ඇත්තේ ජාතික දරිද්‍රතා රේඛාව නමැති නිර්ණායකයයි.
 සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ  ජනරාලවරයා වූත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ බාහිර ක්‍රියාධරයකු වූත් විමල් නානායක්කාර සූක්ෂම ලෙස කරුණු විග්‍රහ කරන ලිපියකින්, දුප්පත්කම ඇස්තමේන්තු කිරීම සඳහා ජාතික දරිද්‍රතා රේඛාව ඉවහල් කරගැනීමේදී සිදුවන අඩුපාඩු මැනවින් පෙන්වා දී තිබේ.

 ඔහු යෝජනා කරන්නේ ලෝක බැංකුවේ ගෝලීය දරිද්‍රතා රේඛාව යොද‌ාගැනීම (Globel Poverty Line-GPL)  අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ගණනය කරන්නේ නම් ඒක ශීර්ෂ අනුපාතය ඇස්තමේන්තු කිරීමේදී වඩාත් යෝග්‍ය බවය.

ලෝක බැංකුව, තම සාමාජික රටක් දුප්පත්කමේ එළිපත්තට පිවිස ඇත්තේදැයි තීරණය කරනුයේ එම රටේ ඒක පුද්ගල දළ ජාතික ආද‌ායම අනුවය. 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව තම ඒක පුද්ගල දළ ජාතික ආද‌ායම ඩොලර් 4060 ගෙන එමින් ඉහළ මැද ආද‌ායම් (Upper Middle Income Country-UMIC) මට්ටමට (ඩොලර් 3396 සිට ඩො. 12375 ඒ.පු.ද.ජා. ආද‌ායම ඇති රටවල් අයත් වන්නේ මෙම මට්ටමටයි) ළඟා වූයේය. නානායක්කාර කියන පරිදි දෛනික ආද‌ායම ඩොලර් 5.5 ට අඩුවෙන් ලබන ජනයා ගෝලීය දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජනයා ලෙස ගණන් ගැනිණි.
ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ ජාතික ආද‌ායම 2019 දීම ඩො. 4010 දක්වා පහත වැටුණි. 2020 ජූලි වන විට, මධ්‍යම මට්ටමේ ආද‌ායම් මට්ටමේ රටකට වඩා එය පහත වැටුණු නිසා ශ්‍රී ලංකාව  සැනෙකින් පහළ මධ්‍යම මට්ටමේ ආද‌ායම් ලබන රටක් බවට පහත වැටුණේය. (Lower Middle Incom Country (LMIC)

(LMIC සීමාව ඩො. 1036/ඩො. 4045) නානායක්කාර පුරෝකථනය කළ ආකාරයටම එවිට අප සිටින්නේ  සුඩානය සහ ඇල්ජීරියාව යන රටවල මට්ටමේය. එහිදී අද‌ාළ වන්නේ ගෝලීය දරිද්‍රතා රේඛාවේ ඒකපුද්ගල දෛනික ආද‌ායම වූ ඩො. 3.20 සීමාවයි.

ඉහළ මධ්‍යම ආද‌ායම් ලබන රටකට අයත්වන ගෝලීය දරිද්‍රතා රේඛාවේ ඩොලර් 5.5 ඒක පුද්ගල දෛනික අ‌ාද‌ායම හා සස‌ඳ‌ා බැලූ විට නානායක්කාර පවසන ආකාරයට 2019 දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40.4 ක් සිටියේ දරිද්‍රතා මට්ටමින් පහළය. මෙම ප්‍රමාණය වර්තමානයේ ශ්‍රී ලංකාව දරිද්‍රතාව සම්බන්ධයෙන් සිටිනා තත්ත්වය ලෙස ද සැලකිය හැකිය. ඒක පුද්ගල දළ ජාතික ආද‌ායම ගෝලීය දරිද්‍රතා රේඛාව අනුව බැලූ විට දැන් ඉහළ ආද‌ායම් ලබන රටක මට්ටමෙන් පහළ මධ්‍යම ආද‌ායම් ලබන මට්ටමකට වැටුණ ද එය වර්තමාන දරිද්‍රතා මට්ටම ලෙස සැලකිය හැකි වේ.
 ඒ අනුව බැලූ විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළ මට්ටමේ ජීවත් වන සැබෑ ප්‍රතිශතය නිල සංඛ්‍යා ලේඛනය වූ සියයට 4.1 නොව එමෙන් දස ගුණයක් බව පැහැදිලි වේ.


දරිද්‍රතාව අඩුකිරීම සඳහා අපනයනය මූලික කරගත් වර්ධනයක්
 දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය (වැඩි) වේගවත් කිරීම දුප්පත් කමෙන් මිදීමේදී ඉතා වැදගත් වේ. මෙකී වර්ධන වේගය වැඩි කිරීම ප්‍රධාන වශයෙන් කළ හැක්කේ විදේශ වෙළඳ‌ාම පුළුල් කිරීම මගිනි. මේ මගින් දුප්පත් රටවලට වෙළඳපොළ අවස්ථා උද‌ාවීම මහා පරිමාණ ආර්ථික වාසි ලබා ගැනීම, ආයෝජන ගලා ඒම, තාක්ෂණය සාරවත් ලෙස යොද‌ා ගැනීම, ඵලද‌ායිතා වර්ධනය ආදියට අවකාශ සැලසේ.
 පසුගිය දශකවලදී රැකියා අවස්ථා වර්ධනයත් දරිද්‍රතාව අඩු කිරීමත් ලෝපුරා හේතුවූයේ විවෘත වෙළඳ‌ාමේ වැඩිවීම ලෙස හඳුනා  ගැනිණි. විශේෂයෙන් දේශීය වෙළඳපොළ ඉතා කුඩා වූ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය උද‌ාකර ගැනීමේදී අපනයන වැඩි කිරීම තීරණාත්මක ලෙස බල පෑවේය. අපනයනය මගින් දේශීය නිෂ්පාදකයන්ට අන්තර් ජාතික වෙළඳපොළට පිවිසීමේ අවකාශ සැලසේ. ඒ මගින් ආර්ථිකයේ පරිමානානුකූල පල ලබාගත හැකිය. (පරිමාවට අනුව වැඩිවෙන හොඳ ප්‍රතිඵල)

 දළ ජාතික නිෂ්පාදනය වැඩිකර ගැනීමටත් දුප්පත් කම අඩුකර ගැනීමටත් අවස්ථාව උද‌ා වූ රටවල් නම් ඉහළ අපනයන වර්ධන වේගයක් ලබාගත් රටවල් බව ලෝ පුරා සාක්ෂි වලින් සනාථ වේ.


 තාක්ෂණ සහ නවීකරණය අතින් ශ්‍රී ලංකාවේ පසුබෑම
 මේ වන විට ශ්‍රී ලංකාව හමුවේ ඇති ජයගැනීමට දුෂ්කර වූ අභියෝගය වන්නේ රටේ අපනයන වර්ධනය වේගවත් කොට දරිද්‍රතාව අඩුකිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ වර්ධනයක් ඇතිකර ගැනීමය.
ශ්‍රී ලංකාවේ අපනයන අංශය තාක්ෂණ අඩුවෙන් භාවිතා කොට නිෂ්පාදනය වන භාණ්ඩ කිහිපයකට සීමා වී තිබේ. විශේෂයෙන් ඇඟලුම් අපනයන වීම සිදුවන මුත් තාක්ෂණය ඉහළින් භාවිතාකොට, එකතු කළ අගය වැඩි වටිනාකම ගෙන එන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා ජෛව තාක්ෂණික නිෂ්පාදන, නැගෙනහිර ආසියානු රටවල මෙන් අපනයනය කිරීමට අප සමත්වී නැත. මෙසේ සිදුවී ඇත්තේ තාක්ෂණය හා නවීකරණය අතින් රට තවමත් පසුගාමී තත්ත්වයක පසුවීම නිසාය.

මේ සම්බන්ධයෙන් ඍජු විදේශ ආයෝජනවලට ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකළ හැක්කේ රට තුළට එන විදේශ ආයෝජන මගින් අපනයන වර්ධනය කරන අතරතුර එහිදී නිෂ්පාදන කටයුතු උදෙසා නවීන තාක්ෂණය ද උපයෝගී කර ගැනීම වැඩි වෙන බැවිනි. එහිදී විදේශ වෙළඳපොළ ඉඩ ප්‍රස්ථාද වැඩි වේ.

 නැගෙනහිර ආසියානු රටවල ආර්ථිකයන් සාර්ථක වීම පිටුපස ඇති ප්‍රධාන බලවේගයක් ලෙස ඍජු විදේශ ආයෝජන රටවල් තුළට ගලා ඒමත් වෙළඳ පොළ විවෘත වීමත් බව දැකිය හැකිය. මීට අද‌ාළ මෑත කාලීන උද‌ාහරණ ඉන්දියාව, චීනය, වියට්නාමය, බංග්ලාදේශය ඇසුරෙන් පෙනේ. මෙම රටවල් බාහිර දෙසට නැඹුරු වුණු ආර්ථික ක්‍රමෝපාය අනුගමනය කරන්නට ගත්තේ ශ්‍රී ලංකාවට පසුවයි. මෙම රටවල අපනයනය මූලික කරගත් ආර්ථික වර්ධනය සිදු වූ නිසා මිලියන ගණනක් ජනයාට දරිද්‍රතාවෙන් ගොඩ ඒමට හැකි විය.

මූල්‍ය අර්බුදවලින් පසු බලසම්පන්න ආර්ථිකයක් බවට පත් වූ බංග්ලාදේශය
කාලයක් මූල්‍ය අර්බුද වලින් පෙළුණ රටක් ලෙස හංවඩු ගැසී තිබුණු බංග්ලාදේශය, දුප්පත් රටකට විචක්ෂණශීලී ආර්ථික ප්‍රතිපත්ති වලින් ආසියා පැසිෆික් කලාපයේ වඩාත් වේගයෙන් වර්ධනය විය හැකි රටක් ලෙස වෙනස් විය හැකි බව පෙන්වා දෙන කදිම නිදර්ශනයකි. දකුණු ආසියාවේ අලුත් ආර්ථික සවිමතකු වන බංග්ලාදේශය පසුගිය වසර කිහිපයේ සියයට 6 ක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් රඳවාගෙන තිබේ. එකී වර්ධන වේගය අත්පත් කරගෙන ඇත්තේ අංශ තුනක් ඔස්සේය. කෘෂිකර්මාන්තය, රෙදිපිළි හා ඇඟලුම් සහ විදේශගත ශ්‍රමිකයන් ගේ ප්‍රේෂණ එම ක්ෂේත්‍ර තුනයි.

 බංග්ලාදේශයේ අපනයනය මූලික කරගත් ආර්ථික දියුණුව පෝෂණය වූයේ විදේශ ආයෝජන ලිබරල් කරණයට ලක් කිරීම නිසාය. එහිදී විදේශ ආයෝජනවලට නීතිමය ආරක්ෂාව, නිර්ලෝභී මූල්‍යමය දිරිදීමනා, යන්ත්‍ර ආනයනයේදී වාසි සැලසීම්, සීමාකරණයට ලක් නොවූ  හැරයාමේ ප්‍රතිපත්ති සහ ලාභාංශ බෙදීමේ පූර්ණ හිමිකම ආදී පහසුකම් සළසා තිබේ.

 බංග්ලාදේශය විචක්ෂණශීලී ලෙස මූල්‍ය කළමනාකරණය කර ඇත්තේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5-4 මට්ටමක රඳවා ගෙනය. උද්ධමන පීඩනය අවමකොට තබා ගැන්මටද එය උපකාරී විය. එසේම ඒ මගින් විනිමය අනුපාතිකය ස්ථාවර කොට තබා ගැනීම අපනයනවලට ද හිතකර ලෙස බලපෑවේය.

 අපනයනය මූලික කරගත් ආර්ථික වර්ධනය නිසා බංග්ලාදේශයට, ජනගහනයෙන් සියයට 40 ක්ව තිබූ දරිද්‍රතා ප්‍රතිශතය සියයට 14 දක්වා අඩුකර ගත  හැකි වූයේය. ඊට සමාන්තරව අනෙකුත් අංශද ප්‍රගතියක් අත්කර ගැනුණි. සමාජ දර්ශක වූ ළදරු මරණ අනුපාතිකය, මාතෘමරණ අනුපාතිකය, මන්දපෝෂණය, පාසල් අධ්‍යාපනය සහ වැඩිහිටි සාක්ෂරතාව හිතකර ලෙස වර්ධනය වූයේය.


 විදේශ වෙ​ෙළඳ තන්ත්‍රයේ අවධි (අදියර)
ශ්‍රී ලංකාව නිදහස ලැබුණු ද‌ා පටන් කාලයෙන් කාලයට අන්තරාවර්තික වෙළඳ ප්‍රතිපත්ති හා බාහිරාවර්තික වෙළඳ ප්‍රතිපත්ති අතර දෝලනය වූයේය. එම නිසා ස්ථාවර ලෙස අපනයනය  මූලික කරගත් මාර්ගයක යමින් දරිද්‍රතා මට්ටම පහත තබා ගන්නට අසමත් විය.

 ඇතැම් විට එවැනි ප්‍රතිපත්ති වෙනස්වීම් එක්සත් ජනපදයේ ජාතික ආර්ථික පර් යේෂණ බියුරෝවේ (NBER) න්‍යායාත්මක රාමු භාවිතා කොට සංකල්පීයකරණයට භාජන කළ හැකිය. එම ආයතනය විසින් විදේශ වෙළඳ‌ාම නිදහස්කරණය කිරීමට අද‌ාළව කරන ලද අධ්‍යයන පෙළක් ඈන්ක්‍රෑගර් සහ ජග්දිශ් බග්වාති ගේ මෙහෙයවීමෙන් 1976 දී සිදුකරනු ලැබීය. රටක ලිබරල්කරණ ක්‍රියාමාර්ගය ඔවුහු දවස් 5කට බෙද‌ා දැක්වූහ. එම අවධි හරහා විදේශ වෙළඳ‌ාම දැඩි පාලනයකට නතුකර ගැනීමේ සිට නිදහස්කරණය දක්වා වෙනස් වෙන ආකාරය පනත සඳහන් වගුවේ ආකාරයට පැහැදිලි කොට තිබේ.
 NBER  අධ්‍යනය සිදුකරනු ලැබුවේ විවිධ රටවල විවිධ වෙළඳ තන්ත්‍ර මගින් උකහාගත් අත්දැකීම් අනුසාරයෙනි. ඉන්දියාව, ඝානාව, පිලිපීන දූපත්, දකුණු කොරියාව සහ චිලී රට මෙකී අධ්‍යයනයට පාදක වූ අතර නිදහස් වෙළඳ‌ාමෙන් සැලසෙන වාසි උදෙසා එම රටවල් සාක්ෂි එමට ලැබිණි.


 ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ‌ාම පීඩනයට ලක්වීම
 1977 දී ශ්‍රී ලංකාව II  වැනි අවධිය වූ (NBER වර්ගීකරණය අනුව) දැඩි නීතිරීති යටතේ හා විනිමය පාලන නීති යටතේ පැවැති වෙළඳ‌ාම III අවධියට මාරු වූයේය. එහිදී විදේශ වෙළඳ‌ාම සහ විනිමය ලිබරල්කරණයේ පළමු අදියරට පැමිණියේය. එවක පටන් ලිබරල්කරණ (නිදහස්කරණ) ක්‍රියා පිළිවෙළ තියුණු වූයේය.

 1994 දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ VIII  පරිච්ඡේදය (Article VIII) යටතේ වූ නීතිමය බැඳීම්වලට ශ්‍රී ලංකා රජය එකඟ වූයේය. ඒ අනුව ගෙවුම්ශේෂය යටතේ වූ ජංගම ගිණුම්වලට අද‌ාළ සියලු සීමාකරණයන් ඉවත් කරනු ලැබිණි. එම ගනුදෙනුවලට අනුකූලව ශ්‍රී ලංකා රුපියලේ අගය නිදහසේ වෙනස් වීමට ඉඩ සැලසිනි. මෙය NBER වර්ගීකරණයේ V වැනි අවධියට මාරු වෙමින් වෙළඳ‌ාම ලිබරල් කරණය උදසා තැබූ ප්‍රධාන පියවරකි.

කෙසේ වුවද ලිබරල් කරණයේ ගතික බව පැවතියේ කෙටි කාලයකි. ජනවාර්ගික අර්බුදය, ගෙවුම් ශේෂ අපහසුතා, සර්ව ආර්ථික අස්ථාවර භාවය, බහිරව සිදුවූ වෙළඳ‌ාමට අද‌ාළ වෙනස්වීම් නිසා නිරන්තරයෙන්ම විවිධ වර්ගයේ සීමාකරණ වෙළඳ‌ාම උදෙසා පනවනු ලැබුවේය. එම නිසා රට නැවත I සහ II  වැනි අවධිවලට කාලයෙන් කාලයට පල්ලම් බැස්සේය.


මෑත කාලීන ආනයන පාලනය
කොරෝනා වසංගත තත්ත්වය හේතුකොට ගෙන රටේ ගෙවුම් ශේෂ තත්ත්වය පසුගිය වසරේ සිට නරක අතට හැරුණේය. එම තත්ත්වය අපනයනවලටත් සංචාරක ව්‍යාපාරයටත් අහිතකර බලපෑම් ඇති කළේය. මේ වසරේ ඩො. මිලියන 6 දක්වා වැඩි වූ ණය ගැති බව සමග විදේශයන්ට කළයුතු ගෙවීම් පිළිබඳ ගැටලුව උත්සන්න වූයේය. බොරතෙල් සහ වෙනත් වෙළඳ භාණ්ඩවල ගෝලීය වෙළඳපොළ මිල ඉහළ යාමෙන් ගෙවුම් ශේෂ තත්ත්වයට තවදුරටත් පීඩනය එල්ල වූයේය. විදේශ සේවකයන් එවනු ලබන ප්‍රේෂණ මුදල් අඩුවීම නිසා ගෙවුම් ශේෂ අර්බුදය තවදුරටත් උග්‍රවූයේය.
මෙම පසුබිම යටතේ හටගත් ගෙවුම් ශේෂ අසීරුතා නිසා පසුගිය වසරේ පටන් අත්‍යවශ්‍ය නොවූ භාණ්ඩ කිහිපයක් උදෙසා ආනයන සීමාකරණ පැනවීමට රජයට සිදුවිය. සීමාකරණ පැනවූ භාණ්ඩ අතර මෝටර් රථ සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ විය.

 මෙම ආනයන සීමාකරණය ආර්ථික ක්‍රියාකාරකම් වලටත්, දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයටත්, දරිද්‍රතාව අඩුකිරීමේ ක්‍රියාවලියටත් අහිතකර බලපෑම් ඇති කරයි.


ණය භරිත වීමේ අවද‌ානම හුවමාරු ණය ගැනීමෙන් නොසලකා හැරීමට ලක්වීම
ගෙවුම් ශේෂ අවශ්‍යතා කඩිනමින් පිරිමසා ගැනීම උදෙසා රජයට, චීනයේ Peoples Bank වෙතින් පසුගියද‌ා ඩොලර් මිලියන 1.5 ක හුවමාරු ණයක් ලබාගත හැකි විය. තවත් ඩොලර් මිලියන 1.1 ක හුවමාරු ණයක් (Swap) ලබා ගැනීම උදෙසා ඉන්දියාව සමග රජය සාකච්ඡා කරන බවට ද වාර්තා විය. මෙම ණය ලබා ගනුයේ ණය ස්ථාවරව තබා ගැනීමේ කටයුතු උදෙසා සහ සංවර්ධන ආධාර යටතේය.
 මෙම හුවමාරු ණය ලබා ගැනීම් වනාහි ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩඒමට යොද‌‌ාගන්නා තාවකාලික පිළියම් වේ. විශේෂයෙන් ණය භරිත වීමේ අවදානම පවතිද්දී මෙම හානිද‌ායක සර්ව ආර්ථික ගැටලුවලින් ගොඩ එන්නට ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීම අතිශය වැදගත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඈතින් තබා ගැනීම
චීනයෙන් ලැබුණු හුවමාරු ණය නිසා අතිශය උද්ද‌ාමයට පත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ රජයට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නැතිව කටයුතු කළමනාකරණය කරගත හැකි බවයි.

ඇත්ත වශයෙන්ම අභියෝගය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුරණ්ඩුසහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම නොව සාර්ව ආර්ථික අස්ථාවරභාවයට පිළියම් යොද‌ා ගැනීමය. ආසියානු මූල්‍ය අර්බුදය පවතින විට දැඩි සර්ව ආර්ථික ගැටලුවලට මුහුණ පෑ මැලේසියාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් තොරව කටයුතු කිරීමට හැකියාව තිබිණි.

 එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස් වේ. අයවැය හිඟය ඉහළ මට්ටමක පැවැතීම, අස්ථාවර ණය ගැති භාවය, ගෙවුම් ශේෂ අර්බුද, මන්දගාමී ආර්ථික වර්ධනය ඒ සියල්ලටත් වඩා දරිද්‍රතාව පැවතීම යන කරුණු නිසා අප මැලේසියාවෙන් වෙනස් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තක සිටියදී අපගේ මුල් ඇදුණු ගැටලු කිසිවකුගේ සහායක් නොමැතිව අපටම විස‌ඳ‌ාගත හැකි නම් එය වඩා හොඳ තත්ත්වයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවනු ලබන කොන්දේසි වලට අනුව සර්ව ආර්ථික මූලික ගැටලු, නිශ්චිත ලෙස පවරණ ලද දිනකට පෙර නිවැරදි කරගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරේ බැඳීමක් නොමැතිව මෙම වැරදි අපටම නිවැරදි කරගත හැකිය.

එහෙත් එය ඒ ආකාරයෙන් සිදුවන සෙයක් පෙනෙන්නට නැත. හුවමාරු ණය ගැනීමේදී අපට නිවැරදි විය යුතු බවට කොන්දේසි පැනවෙන්නේ නැත. මෙහිදී සිදුවන්නේ බලධාරීන් අතින් වඩාත් අවශ්‍ය දේ වූ ප්‍රතිපත්ති සංශෝධන නොකර මගහැරීමයි.

එම නිසා සාර්ව ආර්ථික ආකූල ව්‍යාකූලභාවය නොවිසඳී ඉතිරි වෙමින් රටේ ආර්ථික වර්ධනයට හානිකර බලපෑම් ඇතිවීම දිගටම සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ජනගහනයෙන් අඩක් දෙනා දරිද්‍රතාවට පත්වේ. ඔවුනට මූලික මිනිස් අවශ්‍යතා හෝ නොමැතිව පීඩාවට පත්වන්නට සිදුවේ.


 දරිද්‍රතාව අවම කිරීම උදෙසා අත්‍යවශ්‍ය ක්‍රමෝපාය
වර්තමාන සීමාකරණය සහිත වෙළඳ ප්‍රතිපත්තියට අද‌ාළ පියවර පදනම් වී ඇත්තේ අන්තරාවර්තිත (ඇතුළතට නැඹුරු වූ) ප්‍රවේශයක් තුළය. ඒ මගින් බලාපොරොත්තු වී ඇත්තේ ගෙවුම්ශේෂ අසීරුතා විසඳ‌ා ගැනීමය. කෙසේ වුවද එම පියවර අපනයන මූලික වර්ධනයටත්, දරිද්‍රතාව අඩු කිරීමටත් අනර්ථකාරී ලෙස බලපෑම් කරනු ලබයි.

එසේ වුවද දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින මෙරට ජනගහනයෙන් සියයට 50ක් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු විසඳ‌ා ගැනීමට අපනයන මූලික ආර්ථික වර්ධන පිළිවෙතක් අත්‍යාවශ්‍යය. වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ද දුප්පත් කම අවම කිරීමේ අවශ්‍යතාව මුළුමනින්ම වාගේ නොසලකා හැර තිබේ.

වෙළඳ සීමාකරණයේ සිට ලිබරල්කරණය කරා මාරුවීම
අවධිය    වෙළෙඳ ප්‍රතිපත්ති වර්ගය
I    ගෙවුම්ශේෂය හිඟය අවම කිරීම සඳහා ප්‍රධාන ආනයන
    සීමාකරණ හඳුන්වාදීම.
II    ආනයන තහනම් කිරීම, ඉහළ බදු පැනවීම්, ආනයනවලට
    ඉහළ දඩගැසීම් මගින් පාලනය සහ නියාමනය සිදුවීම.
III    ආනයන සහ විනිමය පාලනයන් අවප්‍රමාණය කිරීම් ඉවත්
    කිරීම ආරම්භ කිරීම
IV    තවදුරටත් ආනයන පාලනය ලිහිල් කිරීම.
V    විදේශ වෙළඳ‌ාම සහ විනිමය මුළුමනින් නිදහස් කිරීම,
    ජංගම ගිණුම් පරිවර්තනය පහසුකිරීම
මූලාශ්‍රය NBER අධ්‍යයන (1978)

 

2021 මාර්තු 16 Daily FT පුවත්පතේ පළවූ
Poverty Reduction needs to be prioritised
with cohesive export-led growth policy framework

(***)
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ