IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත්ට එරෙහිව මුස්ලිම් සමාජය නැගිටියි

27_SLMA_P6_Back    

 

අදින් දින කීපයකට පෙර ශ්‍රී ලංකා තව්ෆීද් ජමාත් (SLTJ) නමැති සංවිධානය කොළඹදී පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයක් මුල්කොටගෙන රට අභ්‍යන්තරයේ කිසියම් ආකාරයක කතාබහක් ගොඩනැගෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ තත්ත්වය හේතුවෙන් සිංහල - මුස්ලිම් ජන ප්‍රජාවන් අතර මෙතෙක් පැවැති සහජීවනයට බරපතළ තර්ජනයක් එල්ල වූ බවත් එමගින් අනාගතයේදී සිංහල - මුස්ලිම් ජාතිවාදී ගැටුම් ඇතිවීමට ඉඩ තිබෙන බවත් සමහරු පැවැසූහ. මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජම්දුයයිතුල් උලාමා ඇතූළු තවත් මුස්ලිම් සංවිධාන විසි ගණනක් එකතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ද ඔවුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවය.


ශ්‍රී ලංකා තව්ෆීද් ජමාත් සංවිධානය මේ ආකාරයට කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට බලපෑ ආසන්නතම හේතුව වී තිබුණේ ජී.එස්.පී. ප්ලස් (GSP+) බදු සහනය නැවත ලංකාවට ලබාදීමට අදාළව යුරෝපා සංගමය ඉදිරිපත් කර තිබූ කොන්දේසිවල සඳහන් වන එක්තරා කාරණයකි. එනම් ශ්‍රී ලංකා කාන්තා මුස්ලිම් විවාහ වීමේ අවම වයස් සීමාව සංශෝධනය කළ යුතුය යන්නයි. එම කොන්දේසියට විරෝධය පළ කරමින් මේ සංවිධානය පැවැත්වූ උද්ඝෝෂණය අතරතුර ජනමාධ්‍යයට අදහස් දක්වමින් එහි මහ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ විවාහවීමේ අවම වයස් සීමාව වයස අවුරුදු දොළහ යන්න අසත්‍යයක් බවත් එවැන්නක් ගැන ඉස්ලාම් ධර්මයෙහි කොතැනක හෝ සඳහන් නොවන බවත් ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් ඒ සඳහා වෙනත් බටහිර රටවල් මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන බවත්ය. අබ්දුල් රාසික් මෙහිදී බොදුබල සේනා සංවිධානය සහ එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය කර්කශ විවේචනයට ලක් කළ අතර ඥානසාර හිමියන් ඇමැතිීම සඳහා ඔහු භාවිතා කළ ඇතැම් වචන ඒ අතර කැපී පෙනිණි.


ඔහු සමඟ කළ සාකච්ඡාවක් එම සතියේ ඉරිදා ලංකාදීපයේ ද පළවිය.


නොවැම්බර් මස 03 වැනි දින මාලිගාවත්තේදී ශ්‍රී ලංකා තව්ෆීද් ජමාත් සංවිධානය පැවැත්වූ උද්ඝෝෂණයේදී මහා සංඝරත්නයට අපහාස වන අයුරින් හා රටේ ජාතික සමගියට ගැටලු ඇති වන අන්දමට අදහස් පළ කිරීම නිසා එම සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. තව්ෆිද් ජමාත් සංවිධානයේ මේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් පිරිසක්ද කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඊට සහභාගි වූ ලියනගේ අබේරත්න ප්‍රියසාද් නමැති පුද්ගලයාද බන්ධනාගාරගත කර තිබේ. ජාතීන් හා ආගමිකයන් අතර අසමගිය ඇති වෙන අයුරින් ක්‍රියා කිරීම හේතුවෙන් අබ්දුල් රාසික් හා අබේරත්න ප්‍රියසාද් යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළද මේ සම්බන්ධයෙන් වෙන කතිකාව යටපත්වීමක් හෝ දුර්වලවීමක් හෝ නොවූ අතර සැරින් සැරේ ඊට අඩුවැඩිය එක් කෙරෙන ආකාරයක් දක්නට ලැබිණි.


අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අතරතුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ කතිකාව තවත් අලුත් වෙමින් ඉදිරියට යන ආකාරයක් පෙනෙන්නට තිබිණි. පසුගිය 18 දින පැවැති අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා තිබුණේ බුද්ධි අංශ ඔස්සේ අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙරට පවුල් හතරකට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙදෙනකු (32) අයි.එස්.අයි.එස්. (ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික් රාජ්‍ය) නමැති ත්‍රස්තවාදී සංවිධානයට එක්වීම සඳහා සිරියාව බලා පිටත්ව ගොස් ඇති බවය. බේරුවල, කල්මුණේ, කල්එළිය හා කුරුණෑගල ප්‍රදේශවල තිබෙන ජාත්‍යන්තර මුස්ලිම් පාසල්වල දේශන පැවැත්වීම සඳහා පැමිණ ඇති ඇතැම් පිරිස් අන්තවාදී දේශනා පැවැත්වීම නිසා බරපතළ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවය. ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන අවධානය යොමු කරමින් ඔහු පවසා තිබුණේ තව්ෆිද් ජමාත්, ජමාත් ඉස්ලාම්, තබ්ලික් ජමාද් හා සුන්නත්වල් ජමාද් යන නිකායන්ට අයත් සංවිධාන 04ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන බවත් ඔවුනොවුන් අතර තිබෙන ආරවුල් නිසා මිනීමැරුම් පවා සිදුව ඇති බවත් ඊට අදාළ බරපතළ සිදුවීම් පහළොවකට සම්බන්ධ තොරතුරු වාර්තාවී ඇති බවත්ය.


අධිකරණ අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයත් සමග මෙම සාකච්ඡාව තවත් වර්ධනය වූ අතර එහිදී අයි.එස්.අයි.එස්. නමැති ත්‍රස්තවාදී සංවිධානයට ශ්‍රී ලංකාවේ ඇති සබඳතා පිළිබඳ (එවැනි සබඳතා තිබේද යන්න ගැන) බොහෝ පාර්ශ්වවල අවධානයට යොමු වූ කාරණයක් විය. මින් පෙර අවස්ථා කිපයකදී ද ලංකාවේ පවුල් කීපයකට අයත් මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයට එකතුවී ඇති බවට දෙස් විදෙස් මාධ්‍ය මගින් කරුණු හෙළිකර තිබිණි. මේ පසුබිමේ එළියට පැමිණි කරුණකින් කියැවුණේ අන්තවාදී ආකාරයට කටයුතු කරන ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් නමැති සංවිධානයට අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායම සමග සබඳතා තිබෙන බවය. මාලිගාවත්තේදී පෑ විරෝධයේ තරම හා බෞද්ධාගමට අපහාස වෙන අයුරින් කතා පැවැත්වීම හේතුවෙන් ජමාදායිතුල් උලමා ඇතුළු තවත් මුස්ලිම් සංවිධාන ගණනාවක විවේචනයට එම සංවිධානය ලක්වීමත් සමග එම සංවිධානයට ඇතැයි කියන අයි.එස්. සබඳතා සම්බන්ධයෙන් වන සැකය වැඩිදියුණුවී ඇති ආකාරයක් ද පෙනෙන්නට තිබේ.


මතභේදයට තුඩු දී තිබෙන මෙම ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් (SLTJ) නමැති සංවිධානයේ මවු ශාඛාව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර  කරගනිමින් ක්‍රියාත්මක වෙන අතර තමිල්නාඩු තව්ෆිද් ජමාත් (TNTJ) නමින් එය හැඳින්වේ. 2004 වසරේ මැයි මස 16 වැනි දින ආරම්භ කර ඇති මෙම සංවිධානයෙහි නායකයා වශයෙන් කටයුතු කරන්නේ පී. ජනුලබ්දීන් (P. Jainulabdeen) නමැත්තාය. ඉස්ලාම් දහම දේශනා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙන අතර ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ක්වේට්, මලයාසියාව, බහරේනය, බෲනෝයි, ඕමාන්, එක්සත් රාජධානිය (බි්‍රතාන්‍යය), ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් රැසක මෙම සංවිධානයට අනුබද්ධිත ශාඛා පිහිටුවා ඇත. මෙම සංවිධානය හා සම්බන්ධ මුළු සාමාජික සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වේ. මෙම තමිල්නාඩු තව්ෆිද් ජමාත් (TNTJ) නමැති සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව හඳුන්වන්නේ ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් (SLTJ) යන නමිනි. රම්සි රසාක් මෙහි නායකයා වන අතර පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අබ්දුල් රසාක් මෙහි මහ ලේකම්වරයාය.


ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයකු ලෙස සැලකෙන සකීර් නාසක් නමැති පුද්ගලයා  සමඟ තමිල්නාඩු තව්ෆිද් ජමාත් සංවිධානය සබඳතා පවත්වන බවට මේ වනවිට තොරතුරු හෙළිවී ඇති අතර ඒ හේතුවෙන් තමිල්නාඩු තව්ෆිද් ජමාත් නමැති සංවිධානයේ කටයුතු සම්බන්ධයෙන්ද ඉන්දියානු ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුවී තිබේ.


මේ පසුබිමේ ලංකාවේ ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් කෙරෙහිද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ.

 


● මුස්ලිම් නිකාය හතර මෙන්න
සුන්නි ඉස්ලාම් නිකායන්ට අයත් තවත් එක් සංවිධානයක් වන්නේ තබ්ලික් ජමාත් (Tablighi Jemaal) නමැති සංවිධානයයි. මලයාසියාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙන මෙම සංවිධානය 1927දී ආරම්භ කර ඇති අතර ඒ සඳහා මුල්වී තිබෙන්නේ මුහම්මද් ඉලියාස් නමැත්තාය. ඔහු ඉන්දියානුවෙකි. බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, යේමනය, කිර්ගිස්තානය, රුසියාව, සෝමාලියාව, නයිජීරියාව, කැනඩාව, මෙක්සිකෝව, හොංකොං, ප්‍රංශය හා ජර්මනිය ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක මෙහි ශාඛා ක්‍රියාත්මක වෙන අතර ඉස්ලාම් ධර්මයෙහි ආධ්‍යාත්මික පැතිකඩ කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වීම මෙහි ඇති විශේෂත්වයයි. මේ නිකායට අයත් මුස්ලිම්වරුන් අඩි දෙකහමාරක් පමණ දිගු වන සේ රැවුල වවන අතර මුස්ලිම් කාන්තාවන් සිය මුහුණු ආවරණය කළ යුතුය යන අදහස ඉදිරිපත් කරන්නේද මොවුන්ය. රිස්වි මුස්දි නමැති පුද්ගලයා එහිදී කැපී පෙනේ.


මේ ආකාරයේ තවත් සුන්නි ඉස්ලාම් නිකායක් වන්නේ ජමාත් ඉ ඉස්ලාම් (Jamaat e Islami) නමැති සංවිධානයයි. මෙය ඉස්ලාම් ප්‍රජාවගෙන් මතුවූ දේශපාලන සංවිධානයක් වෙන අතර 1941 වසරේදී මෙය ආරම්භ කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ඉස්ලාම් දේවධාර්මිකයකු මෙන්ම සමාජ දේශපාලන දාර්ශනිකයකු වූ අබුල් අලා මවුදුදි (Abul Alo Maududi) නමැත්තාය. මෙම සංවිධානයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ජමාත් ඉස්ලාම් සංවිධානය  සමඟ ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ජනගහනයෙන් සියයට විස්සක පමණ පිරිසක් සම්බන්ධවී සිටිති.


කාන්තාවන් මුහුණු ආවරණය කිරීමට විරෝධය පළ කරන මෙම සංවිධාන අතර මෙම සංවිධානයද සිටියි.


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන තවත් සුන්නි නිකායික ඉස්ලාම් සංවිධානයක් වන්නේ සුන්නත්වල් ජමාත් (Sunnathwel Jamath) ය. ශ්‍රී ලංකාවේ ජීවත් වන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් නියෝජනය කරන සංවිධානයක් වන මෙම සෙසු ජාතීන් අතර සහජීවනයෙන් ජීවත්වීම අගය කරන සංවිධානයක් වෙන බවද පැවසේ. එමෙන්ම මෙය ලංකාවේ දැනට ඇති ඉපැරණිතම ඉස්ලාම් සංවිධානය ලෙසද සැලකේ.


අධිකරණ අමාත්‍යවරයා මේ සංවිධාන හතර ගැන සඳහන් කරමින් කළ ප්‍රකාශය එනම් මේවායෙහි සාමාජිකයන් අතර පවතින දරුණු ගැටුම් නිසා මිනීමැරුම් පවා සිදුව ඇත යන්න පිළිබඳ අදාළ අංශ සොයා බැලීම වැදගත් වනු ඇත. එවැනිම බරක් තබා අවධානය යොමු කළ යුතු අනිත් කාරණය නම් ඇමැතිවරයාම කී ලංකාවේ පවුල් කීපයක පිරිසක් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධවීම සඳහා සිරියාවට ගිය කතාවයි. ජාතික ආරකෂාව සම්බන්ධ කාරණයේදී ඒ පිළිබඳ සොයා බැලීම ඉතා වැදගත් වනු ඇත.


පෙර සඳහන් කළ ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් මේ දිනවල වාර්තා වන තවත් විශේෂ තොරතුරකින් කියැවෙන්නේ මුස්දි මේනක් නමැති දේශකයා මේ මස 25 වැනි දින මෙරටට ගෙන්වීම සඳහා එම සංවිධානය කටයුතු සූදානම් කර තිබෙන බවය.


ඇතැම් පිරිස් ප්‍රකාශ කරන්නේ අදාළ පුද්ගලයා අන්තවාදියකු වන බැවින් ඔහු ලංකාවට ගෙන්වීම අනතුරුදායක විය හැකි බවත් එබැවින් රජය මැදිහත්වී එම පුද්ගලයාගේ පැමිණීම නතර කළ යුතු බවත් ය. ශ්‍රී ලංකා ජම්දුයියතුල් උලමා ඇතුළු තවත් සංවිධාන කීපයක් ඔහු මේ රටට ගෙන්වීම සඳහා අනුග්‍රහය දක්වන බවද ඔවුහු ප්‍රකාශ කළහ. 


මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම් යළිත් වරක් වාර්ගික ගැටුම් ඇති නොවන තැනට වැඩ කිරීම ඳහා සියලු පාර්ශ්ව කල්පනාකාරී විය යුතු බවය. මන්ද වාර්ගික ගැටුම් නමැති සුව කිරීම අපහසු තුවාල නිර්මාණය වීමෙන් ඒවා පෑරීමෙන් ප්‍රතිවිපාක අප රට දශක තුනකට අධික කාලයක් තිස්සේ අත්දැක ඇති නිසාය.

 


“තමිල්නාඩුවෙ -මේනක්” කියන පුද්ගලයා ආවොත් නැති ප්‍රශ්න ඇතිවේවි. 
එම්. ඒ. මතීන් 
SLD_20161127_A006-4
සාම ක්‍රියාකාරී
තව්ෆිද් ජමාත් සංවිධානය මේ මාසෙ 25 වැනිදා ලංකාවට ගෙන්නන්න හදන මේනක් කියන පුද්ගලයට ඉන්දියාවේ ඉන්න සාකීර් නායක් කියන ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයත් එක්ක සම්බන්ධකම් තියෙනවා. සාකිර් නායක් කියන පුද්ගලයා ත්‍රස්තවාදයට උදව් කරන කෙනෙක් කියලා  ඉන්දියාවේ අධිකරණයෙනුත් තීන්දු කරලයි තියෙන්නෙ. එහෙනම් ලංකාවේ රජය ඒ වගේ පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරන කෙනෙක් රටට එන්න හදනවා නම් ඒක වළක්වන්න ඕනෑ. මේ ගැන රටේ අගමැතිතුමා කිව්වා, අධිකරණ ඇමැතිතුමා කිව්වා වහාම මේ පුද්ගලයා රටට එන එක නවත්තන්න ඕනෑ. මේ පුද්ගලයා රටට ගෙන්වන එකට අනුග්‍රහය දක්වන්නෙ ජම්දුයියතුල් උලමා සංවිධාය. සුන්නත්වල් ජමාද් සංවිධානය විතරයි මේ පුද්ගලයා රටට එන එක ප්‍රතික්ෂේප කරන්නෙ. මේ වගේ කෙනෙක් රටට එන එකෙන් වෙන්නෙ නැති ප්‍රශ්නයක් ඇති වෙන එක විතරයි. සාකිර් නායක් කියන ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයත් එක්ක සම්බන්ධකම් පවත්වන මේ වගේ කෙනෙක්ගෙ දේශන ලංකාවේ මුස්ලිම් ජනතාවට ඕනෑ නෑ. මේ මේනක් කියන කෙනාට මැලේසියාවට යන්න තහනම් කරලා තියෙන්නෙ. අපි කියන්නෙ මෙයා ලංකාවෙත් තහනම් කරන්න ඕනෑ කියලයි. 

 


තව්ෆිද් ජමාත් කියන්නෙ අන්තවාදී සංවිධානයක්
අසාත් සාලි 
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී
SLD_20161127_A006-2
ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් කියන්නෙ අන්තවාදී සංවිධානයක්. මේ රටේ මුස්ලිම් ජනතාව සිංහල, දෙමළ ජනතාවත් එක්ක බොහොම සුහදව ජීවත් වෙනවා. නිදහස ලබන වෙලාවෙ ඉඳලා මේ ජාතීන් තුන අතර තිබුණු සාමය තමයි අද වෙනකන් තියෙන්නේ. නමුත් අද අලුත් කට්ටියක් බිහිවෙලා සිංහල ජාතියට විරුද්ධව කටයුතු කරන. මේ අය එන්.ජී.ඕ. (රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්) කට්ටිය. මම දකින විදියට මේ සංවිධාන කටයුතු කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ පැවැත්ම වෙනුවෙන්. මොකද එතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ තමයි බොදුබල සංවිධානය, සිංහල රාවය වගේ සංවිධාන හැදුවෙ. මේ තව්ෆිද් ජමාත් සංවිධානය හැදුවෙත් ඒ කාලේ. අපිට මතකයි මේ තව්ෆිද් ජමාත් සංවිධානයේ කට්ටිය ජිනීවා ප්‍රශ්නෙ රටට ආපු වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් මුස්ලිම් කාන්තාවනුයි ළමයිනුයි අරගෙන කොටුව දුම්රියපොළ ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කළා. පැහැදිලිවම මේ තව්ෆිද් ජමාත් සංවිධානය පිටිපස්සෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එදා හිටියා වගේම අදත් ඉන්නවා කියා මා හිතනවා. 


තව්ෆිද් ජමාත් සංවිධානයත් එක්ක මේ රටේ මුස්ලිම්වරු ඔක්කොම නෑ. වැඩිම වුණොත් 5000ක් ඇති සාමාජිකයො. ඒ සංවිධානෙ කෙනෙක් පත්තරේකට දීලා තිබුණු සාකච්ඡාවකදි කියලා තියෙනවා ශාඛා 90ක් එයාලට තියෙනවා කියලා. මම අහන්නෙ ඒ විදියෙ ශාඛා 90ක් කොහෙද ඇරලා තියෙන්නෙ? ඒවට කොහෙන්ද සල්ලි ලැබුණෙ? කියලා. අපිට කෝටි ගණන් මුදල් ලැබෙනවා කියලා මේ සංවිධානයෙ අය කියන වීඩියෝ අපි ළඟ තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නෙ මේ ගැන පරීක්ෂණ පවත්වන්න කියලා. ඒ ගොල්ලො කියන තවදෙයක් තමයි ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගෙන් සීයට අනූ නවයයි දශම නවයක්ම ඉස්ලාම් ධර්මය ගැන දන්නෙ නැති නිසා ජනතාවට ඒ ගැන කියලා දෙන්න ඒගොල්ලො ඇවිල්ලා ඉන්නවා කියන එක. අපේ මුතුන් මිත්තො හොඳට ඉස්ලාම් දහම අදහලා අනෙකුත් ජාතීන් එක්ක සහෝදරත්වයෙන් ජීවත් වුණා. අපිට මුස්ලිම් කියලා කියනවට වඩා අපි කැමැති වෙන්නෙ සිංහල මුස්ලිම් කියලා කියනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් කියන සංවිධානය එදා කොළඹදී හැසිරිච්ච විදිය අපි කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ජම්දුයියතුල්ලා උලමා සංවිධානෙදි අපි මේ ගැන රැස්වීමක් තව සංවිධාන 23ක සහභාගිත්වයෙන් තියලා ඒ හැසිරීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයකුත් නිකුත් කළා. ඉස්ලාම් ආගමේ හැටියට ඒගොල්ලන්ට එහෙම හැසිරෙන්න බෑ. ජම්දුයියතුල් උලමා සංවිධානය කිව්වා මේ සංවිධානයේ වැඩ කටයුතු දිහා අපි අවුරුදු පහළොවක් තිස්සේ බලන් හිටියා. ඉදිරියේදී මේක ගැන තීන්දුවක් ගන්නවා කියලා.


ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් කියන මේ සංවිධානයේ ලොක්කගෙ නම බී.ජේ. එයා ඉන්නෙ තමිල්නාඩුවෙ. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවෙලා ඉන්න කාලේ ඒ පුද්ලගයව ලංකාවට ගෙන්වන්න හදපු වෙලාවෙ මමයි අලෙවි මවුලානා මහත්තයයි රණවිරාජා මහත්තයා හම්බවෙන්න ගිහින් කිව්වා මේ පුද්ගලයා රටට ගෙන්නුවොත් ලොකු විනාශයක් වෙනවා කියලා. ඒක එදා අපි නැවැත්තුවා. මේ ආණ්ඩුව ආවට පස්සෙත් එයාව ලංකාවට ගෙන්නන්න හැදුවා. අපි ආරක්ෂක ලේකම්තුමා හම්බවෙලා ඒක කොහොම හරි නතර කළා. ඊට පස්සෙ මේ සංවිධානෙ කට්ටිය මටයි ආරක්ෂක ලේකම්තුමාටයි විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පැමිණිල්ල ප්‍රතික්ෂේප කළා. ඒ විදියට අපි මේ සංවිධානයෙ වැඩකටයුතුවලට විරුද්ධව වැඩ කරලා තියෙනවා. ජම්දුයියතුල් උලමා සංවිධානයටත් අපි කිව්වෙ මේ අය ගැන තීන්දුවක් ගන්න කියලා. මුස්ලිම් ජාතික සංවිධාන කීපයක් රටේ තිබුණත් ඒ හැම එකක්ම වගේ ජම්දුයියතුල් උලමා සංවිධානෙ කියන දේට ඇහුම්කන් දෙනවා. අනිත් සංවිධාන ඔක්කොම එකමුතුව යන්න හදන කොට මේ සංවිධානෙ අය තනියමයි යන්න හදන්නෙ. තනියම ෂෝ පෙන්නන්නෙ මේ ගොල්ලො දේශපාලන අරමුණු අනුව කටයුතු කරන නිසා. මොකද මේකෙ අය ගෝඨාභය රාජපක්ෂ එක්ක ඉන්නෙ. 

 


ඉස්ලාම් දහමට විරුද්ධව කටයුතු කරන මේ සංවිධානය ගැන තීන්දුවක් ගන්නවා.
ෆයිසාල් ෆාරුක්
මාධ්‍ය ලේකම්, ශ්‍රී ලංකා ජම්දුයියතුල් උලමා සංවිධානය

ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් සංවිධානයේ අය එදා කොළඹදී හැසිරුණ විදිය ප්‍රතික්ෂේප කරමින් ජම්දුයියතුල් උලමා ඇතුළු සංවිධාන විසිතුනක් එකතුවෙලා නිවේදනයක් නිකුත් කළා. එයාලා ඉදිරිපත් කළේ මුස්ලිම් සමාජයේ අදහස නෙවෙයි කියන එක ගැන අපි ඒ නිවේදනයේ දක්වලා තිබුණා. තව ආගමක් හෝ ශාස්තෲවරයෙක් නිග්‍රහ කරලා කතා කරන්න අපේ ආගමෙන් ඉඩක් නෑ. වුස්දි මේනක් කියන කෙනාව මේ සංවිධානයේ අය ලංකාවට ගෙන්නන්න හදනවා කියලා කිව්වට ඒක අපි හරියටම දන්නෙ නෑ. අනිත් එක තමයි ඒ පුද්ගලයට මේ සංවිධානය එක්ක කිසිම සම්බන්ධයක් නෑ.


වුස්දි මේනක් කියන පුද්ගලයා ලෝකයේ ප්‍රසිද්ධියට පත්වුණ කෙනෙක්. එයා අන්තවාදී මත දරන පුද්ගලයෙක් නෙවෙයි. එයා මුස්ලිම් පූජකවරයෙක්. ඒ නිසා එයා මේ වගේ අන්තවාදී විදියට කටයුතු කරන අයට සහාය දෙන්නෙ නෑ. මීට කලින් මේ සංවිධානෙ අයගෙ නායකයා වෙත බී.ජේ. කියන පුද්ගලයව ලංකාවට ගෙන්නන්න හදපු වෙලාවෙ අපි ඊට එරෙහිව ප්‍රකාශකයකුත් නිකුත් කළා. එයාට ලංකාවට එන්න ලැබුණෙත් නෑ. මේ සංවිධානය මේ විදිහට ඉස්ලාම් ධර්මයට පටහැනි විදියට කටයුතු කරන නිසා එයාලා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න එක ගැන දැනට සාකච්ඡාවක් තියෙනවා. 

 


ඔය කියන විදිහෙ ආගමික අයිතිවාසිකම් කප්පාදුවක් ලංකාවෙ නෑ.
මොහොමඞ් ෆයිසාල්
SLD_20161127_A006-3
සාම ක්‍රියාකාරී 
ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් සංවිධානයේ කටයුතු පිළිබඳ විවේචනය කරන මුස්ලිම් සාම ක්‍රියාකාරිකයකු වන මොහොමඞ් ෆයිසාල් දක්වන අදහස මෙසේය.
ප්‍රශ්නය : ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත් සංවිධානයෙ ක්‍රියාකලාපය පිළිබඳ බොහෝ අය විවේචනය කරනවා. ඔබ ඒ සංවිධානයේ ක්‍රියාකලාපය විග්‍රහ කරන්නෙ මොන විදියටද?


පිළිතුර : ඕනැම ආගමක මතවාදී ගැටුම් තියෙනවා. බෞද්ධාගමේ ධර්ම සංඝායනා ඇතිවුණෙත් ඒ නිසානෙ. ඒ වගේ විවිධ අදහස් දරන අය ඉස්ලාම් ආගමෙත් ඉන්නවා. ඒ හැම කණ්ඩායමක්ම කියන්නෙ තමන් තමයි නියම විදියට ඉස්ලාම් ආගම අදහන්නෙ කියලා. තව්ෆිද් ජමාත් කියලා කියන්නෙ ඒ වගේ එක කණ්ඩායමක් විතරයි. ඉතාම සුළු පිරිසක් තමයි ඒකෙ ඉන්නෙ. ලංකාවෙ ඉන්න මුස්ලිම් ප්‍රජාවෙන් සීයට එකක් වගේ පිරිසක් තමයි ඒ සංවිධානය නියෝජනය කරන්නෙ. ලංකාවේ උත්තරීතර මුස්ලිම් කවුන්සලය වෙන ජමියතුල් උලමා සංවිධානයේ කීමවත් අහන්නැතුව මේ තව්ෆිද් ජමාත් සංවිධානය වෙන වෙන සංකල්ප ඉදිරිපත් කරමින් කටයුතු කරනවා. එයාලා වගේ වෙන වෙන සංකල්ප මත පිහිටලා කටයුතු කරන තවත් මුස්ලිම් සංවිධාන තිබුණාට ඒ සංවිධාන මේ තව්ෆිද් ජමාත් සංවිධානය වගේ එළියට ඇවිල්ලා ගැටුම් ඇති වෙන විදියට වැඩ කරන්නෙ නෑ.

 


ප්‍රශ්නය : ඔය සංවිධානයේ ලේකම් ඇතුළු පිරිසක් එදා කොළඹ ඇවිල්ලා හැසිරුණු විදිය ගැන විශාල විවේචනයක් තියෙනවා. මුස්ලිම් සමාජය ඒ වගේ දේවල් අනුමත කරනවද? 
පිළිතුර :
පැහැදිලිවම වැරැදියි. කොළඹට ඇවිල්ලා ඒ විදියට හැසිරුණා විතරක් නෙවෙයි ඊට පස්සෙ ඒ අය සම්මන්ත්‍රණයකුත් තිබ්බා. නමුත් ඒවාට විරුද්ධව මුස්ලිම් සමාජයේ වගේම සමාජයේත් මාධ්‍යයෙන් විරෝධයක් මතු වුණා. ලංකාව ඇතුළෙ ඒ අය කියන විදිහේ ආගමික අයිතිවාසිකම් කප්පාදුවක් නෑ. ලංකාව ඇතුළෙ පැහැදිලි ආගමික නිදහසක් තියෙනවා. මුස්ලිම් ප්‍රජාව නිදහසේ තමන්ගේ ආගමික හා ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා. ඒ නිසා එළියට බැහැලා උද්ඝෝෂණය  කරලා ආගමික නිදහස සඳහා අරගල කිරීමේ කිසිම අවශ්‍යතාවක් මේ රටේ නෑ.

 


ප්‍රශ්නය : එහෙම නම් ඒ සංවිධානය මේ විදියට හැසිරෙන්නෙ බලගතු හස්තයක් ඒ පිටුපස තියෙන නිසාද?
පිළිතුර :
ඒගොල්ලො පිටිපස්සෙ දේශපාලන බලවතුන් ඉන්වද? ඉන්නවා නම් ඒ කවුද කියන එක ගැන අපිට අවබෝධයක් නෑ. නමුත් ඒ සංවිධානය ලංකාවේ උත්තරීතර ඉස්ලාම් කවුන්සලය එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නෙ නෑ. ඉන්දියාවේ ඉන්න බී.ජේ. කියන කෙනෙක් එක්ක තමයි මේ සංවිධානයේ සම්බන්ධකම් පවත්වන්නෙ. මේ ගොල්ලන්ගෙ ගියපාර තිබුණ සමුළුවට එයාව ගෙන්නන්න හැදුවත් එයාට වීසා ලැබුණෙ නෑ. කොහොම වෙතත් කියන්න තියෙන්නෙ මේ සංවිධානයේ හැසිරීම ලංකාවෙ සමස්ත මුස්ලිම් ප්‍රජාවට කැළලක් කියලයි. 

 


ප්‍රශ්නය : එහෙම නම් ඇයි ඔය සංවිධානය ගැන උත්තරීතර ඉස්ලාම් කවුන්සිලය කිසිම පියවරක් ගන්නෙ නැත්තෙ?
පිළිතුර :
මේ සංවිධානය එළියට බැස්ස ගමන්ම ජමියතුල් උලමා සංවිධානය ඒ විදියට හැසිරෙන්නෙ එපා කියලා ප්‍රකාශයක් කළා. ඒ අයට සාකච්ඡාවකටත් කතා කළා. බුදුහාමුදුරුවන්ට අපහාස කිරීමට එරෙහිව මීට කලින් පවරපු නඩුවකුත් රාසික්ට තියෙනවා. ඊට පස්සෙ කොළඹදී එයා අර විදියට හැසිරුණාට පස්සෙ එයාගෙ නීතිඥයා ඇවිත් උලමා සංවිධානය එක්ක සාකච්ඡා කරලත් තියෙනවා. අබ්දුල් රසාක් කියන්නෙ බීකොම් උපාධියක් තියෙන මනුස්සයෙක්. එයා කියනවා නම් ඉස්ලාම් දහම උගන්වනවා කියලා ඒක විහිළුවක්. ඒ සංවිධානය වටේ ඉන්නෙත් තරුණ පිරිසක්.

 


ප්‍රශ්නය : ඒ සංවිධානය හරහා එළියට එන්නෙ ප්‍රචණ්ඩ මුහුණුවරක් නෙවෙයිද?
පිළිතුර :
ඒ සංවිධානයෙ ඉන්නෙ රැඩිකල් අදහස් දක්වන කණ්ඩායමක්. ඒ අයගෙ ප්‍රචණ්ඩකාරී හැසිරීම අපි අනුමත කරන්නෙ නෑ. මොකද ලංකාවෙ මුස්ලිම් ජනතාව අතීතයේ ඉඳලම සිංහල ජනතාවත් එක්ක සහයෝගයෙන් ජීවත් වුණා. මේ සංවිධානයේ අය එක එක දේශපාලන පෙළඹවීම් උඩ ප්‍රචණ්ඩකාරී විදියට හැසිරුණාට සාමාන්‍ය මුස්ලිම් ජනතාව කවදාවත් ඒ විදියට හැසිරිලා නෑ. 

 


ප්‍රශ්නය : මුස්ලිම් කාන්තාවන්ගෙ විවාහවීමේ වයස් සීමාවට සීමා පැනවීමක් නොකළ යුතුයි කියලත් ඒ අය කියනවා.
පිළිතුර :
ලංකාවෙ මුස්ලිම් නීතිය තියෙන්නෙ විවාහය සම්බන්ධයෙන් විතරනෙ. ඒ නිසා තමයි ඔය කාරණය හයිලයිට් වෙන්නෙ. මුස්ලිම් ගැහැනු දරුවන් අවුරුදු දොළහෙදි වැඩිවියට පත්වුණාට පස්සෙ කසාද බන්ඳලා දෙන්න ඕනෑ කියලා ඉස්ලාම් ධර්මයේ කොතනකවත් සඳහන් වෙලා නෑ. එකම සුදුසුකම වැඩිවියට පත්වීම. මම මේ රටේ අවුරුදු හතළිහක් තිස්සෙ ජීවත් වෙනවා. වයස අවුරුදු දාසයට අඩු ළමයෙක් කසාද බැඳලා තියෙනවා කියලා මට නම් ආරංචි වෙලා නෑ. 

 


ප්‍රශ්නය : අධිකරණ ඇමැතිතුමා පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කරලා තිබුණා ලංකාවේ පවුල් හතරකට අයත් පුද්ලයන් තිස් ගානක් අයි.එස්. සංවිධානයට බැඳිලා තියෙනවා කියලා. ඒ වගේම මේ තව්ෆිද් ජමාත් සංවිධානයට අයි.එස්. සංවිධානය එක්ක සම්බන්ධකම් තියෙන බවටත් චෝදනා නැගෙනවා. මේවා බරපතළ කාරණා නෙවෙයිද?
පිළිතුර :
අධිකරණ ඇමැතිතුමා අයවැය  විවාදය අස්සෙ අයි.එස්.අයි.එස්. සංවිධානය ගැන පරණ කතාවක් ඇදලා ගත්තෙ. පැහැදිලිවම සිංහල ජනතාව කුපිත කරන්න.

 


ප්‍රශ්නය : ඇත්තටම ඒ සංවිධානෙට බැඳුණු ලංකාවෙ තරුණයො නැද්ද?
පිළිතුර :
අයි.එස්. කියන්නෙ අවි ගත්ත ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක්නෙ. ඒ වගේ ප්‍රචණ්ඩ මානසිකත්වයක් තියෙන කීප දෙනෙක් ඒ අනුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. මම දන්න විදියට ලංකාවේ සියලුම ඉස්ලාම් නිකායික නායකයො කියල තියෙනවා අයි.එස්. සංවිධානය ඉස්ලාම් ආගමික සංවිධානයක් විදියට පිළිගන්නෙ නෑ කියලා සහ ඒකට කිසිම සම්බන්ධයකුත් නෑ කියලා. නමුත් අපිට ආරංචිවෙලා තියෙනවා අපේ රටේ තරුණයො කීප දෙනෙක් සිරියාවට ගියා කියලා. නමුත් ඒ ගිහින් තියෙන්නෙ අයි.එස්. එකට එකතු වෙන්න නෙවෙයි අසයිලම් හදා ගන්න.

dffh

 



අදහස් (0)

ශ්‍රී ලංකා තව්ෆිද් ජමාත්ට එරෙහිව මුස්ලිම් සමාජය නැගිටියි

රුවන් දිනුක Wednesday, 30 November 2016 05:22 AM

කාලින හොද මාතෘකාවක්. තව දේවල් කියවා දැනගන්න (බ)

:       1       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 01 December 2016 12:31 AM

1948 සිට අද දක්වා ලංකාව පිරිහුනේ ජාතිවාදය නිසා නොවේද? (නි)

:       0       0

ඇන්ජෙලෝ Monday, 05 December 2016 09:28 AM

අපි මේ අසාද් සාලිල සමග එකට ඉස්කෝලේ සමගියෙන් හිටපු කට්ටිය (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 131 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 121 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 407 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 644 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 653 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 114 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site