IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වරප්‍රසාද ලත් පන්තියේ වාසනාවන්ත විවාහය

 සෙනසුරාදා රාත්‍රියේ ජනපති නිල නිවසට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වෛවාරණ වර්ණ ගැන්වූ කමිසයකින් සහ එයටම කැපෙන සරමකින් සැරසීගෙනය.

විපක්ෂයේ දේශපාලන නායකයින් හා ජනපති සිරිසේන මහතා අතර පැවැත්වීමට සංවිධානය කර තිබූ හමුවට සහභාගීවීමට පැමිණ සිටි හිටපු ජනපතිවරයාට ඒ සදහා සුදුසු ඇදුමකට මාරු වීමට වේලාවක් නොතිබිණ. ඔහු පැමිණියේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුතුගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමෙන් පසුවය. 

ජනපති සිරිසේන මහතාද, ඔහු ලෙසම විවාහ මංගල උත්සවයකට සහභාගීව පැමිණ සිටි අතර, ඔහු ගොස් තිබුණේ හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා මහතාගේ පුතුගේ විවාහ මංගල උත්සවයටය. එම විවාහ මංගල උත්සවය මුලින් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේය. නමුත් ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

අයිඑස් සංවිධානය ආදර්ශයට ගෙන මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව හෝටලවල කලින් යොදාගෙන තිබූ විවාහ මංගල උත්සව ගණනාවක් අවලංගු කෙරිණ. මෙම තත්ත්වය ප්‍රහාර එල්ල වූ සහ එල්ල නොවූ හෝටල සියල්ලටම පොදු විය. 

විවාහ මංගල උත්සව අවලංගු කළෝ, ඒ වෙනුවට පියවර ගෙන තිබුණේ විවාහට කෙටි උත්සවයක් ලෙස, පවුලේ ළගම හිතවතුන් සමග පමණක් පැවැත්වීමටය. තවත් ඇතැමෙක් විවාහය කල්දැමුවේය. 

අරලියගහ මන්දිරය විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබානොදෙන බවට එක්සත් ජාතික පෙරමුණු රජය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබියදී, මේ ආකාරයට හිටපු ඇමති විජිතමුණි සොයිසාගේ පුතණුවන්ගේ විවාහ උත්සවය අරලියගහ මන්දිරයේ පැවැත්වීමට අවස්ථාව හිමිවුනේ කෙසේදැයි හමුවට එක්ව සිටි බැසිල් රාජපක්ෂ මහතා ජනපති සිරිසේන මහතාගෙන් විමසා සිටියේය. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට අරලියගහ මන්දිරය යොදාගැනීම සමග මතුවූ විරෝධය හමුවේ ඉහත සදහන් කැරුණු ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමට එක්සත් ජාතික පෙරමුණු රජයට සිදුව තිබිණ. 

තමන් සම්පාදනය කරන නීති, තමන්ම දෙන පොරොන්දු, බිඳ දමන්නේද දේශපාලඥයෝය.

ම්ලේච්ඡ මිනිස් සංහාරයක කම්පනයෙන් රටේ ජනතාව තවමත් පීඩා විදිමින් පසුවන අවධියක, ගණනින් 250 ඉක්මන කාන්තාවන්, පුරුෂයින් හා දරුවන් ඝාතනයව තිබෙන වාතාවරණයක, 480කට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලබා ඇතැමෙක් ඉතාම බරපතල තත්ත්වයේ පසුවන අවස්ථාවක, එම පීඩා විදින ජනතාවගේ ජනවරමින්ම ලබාගත් වරප්‍රසාද දේශපාලඥයෝ හැකි ඉහළින්ම භුක්ති විදිමින් සිටිති. 

දරුවන් පාසල්වලට පැමිණීමට බිය නිසා පාසල් වසා දමා තිබෙන අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අවශ්‍යව තිබෙන්නේ අවම වශයෙක් එක් පොලිස් නිලධාරියකු බැගින්වත් පාසල් සඳහා අනුයුක්ත කිරීමටය. ආරක්ෂාව සම්බන්ධයෙන් පැනනැගී තිබෙන වාතාවරණය නිසාම, කතෝලික පල්ලියක, මුස්ලිම් දේවස්ථානයක, හින්දු කෝවිලක තබා පන්සලක හෝ සාමාන්‍ය පරිදි ආගමික වතාවත් පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. නමුත් විශේෂ කාර්යබලකායේ දැඩි ආරක්ෂක රැකවල් මැද පවතින මෙරට අති ගෞරවනීය ගොඩනැගිල්ලක් ලෙස සැළකෙන අරලියගහ මන්දිරය ස්වකීය වුවමනා එපාකම් වෙනුවෙන් යොදාගැනීමට වරප්‍රසාදලත් පන්තියට හැකිය. 

බැසිල් රාජපක්ෂ මහතාට පිළිතුරු දෙමින් ජනපති සිරිසේන මහතා සදහන් කළේ විජිතමුණි සොයිසාට අරලියගහ මන්දිරය ලබාදෙනවා හැරෙන්නට කළ හැක්කක් නොතිබුණු බවය. විවාහ මංගල උත්සවය එම දිනයේ නොපැවැත්වුනේ නම් සුභ වේලාවක් එළැඹෙන තෙක් තවත් වසර කිහිපයක් බලා සිටීමට සිදුවන්නට තිබුණු බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. 

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව සැළකීමේ දී ඔවුන් මේ ගෙවමින් සිටින අවාසනාවන්ත හෝරාව එළැඹ තිබෙන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවේ. තමන් නියෝජනය කිරීමට ඔවුන් තෝරා පත්කරගත් දේශපාලන නායකයෝ, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, සාමාන්‍ය දැනීම මොට බුද්ධි නිලධාරියෝ, ඔවුන්ගේ විශ්වාසය බරපතල ලෙසම විනාශ කළහ. නමුත් අමාත්‍යවරුන්ට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ඒ පිළිබද වගේ වගක් නැත. 

රාජ්‍ය සම්පත් හිතපුරා භුක්තිවිදීමට අවස්ථාව තිබෙන හෙයින් වද වන්නේ කුමකට ද?, ඇතැමෙක් අමතර ආරක්ෂාව පවා ඉල්ලා සිටියේය. 

වැදගත්ම කරුණ වන්නේ විපක්ෂයේ දූත පිරිස හා පැවැති විනාඩි 50 ක් පමණ වූ සාකච්ඡාවට ජනපතිවරයා සහභාගීවූයේ තනිවම වීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙක් ඔහු සමග පැමිණ නොසිටියේය. 

මහින්ද රාජපක්ෂ, ජී.එල්.පීරිස්, මහින්දානන්ද අලුත්ගමගේ, සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම සමන්විත වූ අතර, දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය), සහ තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය), යන මහත්වරු ද හමුවට එක්ව සිටියහ.

ජනපතිවරයා හමුවීමට ප්‍රථම විපක්ෂ දේශපාලන නායකයෝ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දී ජනපතිවරයා හා පැවැත්වීමට යන සාකච්ඡාවේ දී අනුගමනය කළ යුතු උපාය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ. 

කෙටි අහාරයක් ලෙස සැන්විචස් සපයා තිබූ එම සාකච්ඡාව අතරතුර, විමල් වීරවංශ හාස්‍යජනක ලෙස අදහස් දක්වමින්, පුලුවන් තරම් කන්න, එහෙ ඔය මුකුත් දෙන්නේ නැහැ යැයි කීවේය. ඔහු කී දෙය සැබෑවක්ම විය. ජනපතිවරයා සමග පැවැති හමුවෙන් පසුව ඔහු සිය මිතුරෙකු හා අදහස් දක්වමින්, තමා කී දෙය ඒ අයුරින්ම සිදුවූ බවත්, පවසට තේ එකක් තබා වතුර වීදුරවක් හෝ නොලැබුණු බවත්, පවසනු ඇසිණ.

ජනපති කමිටු වාර්තාව

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව මේ වන විට තමා අතට ලැබී තිබෙන බව ජනපති සිරිසේන මහතා සාකච්ඡාවේ දී අනාවරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් එම කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන පත්මසිරි ජයමාන්න යන මහත්වරුය.

අප්‍රේල් මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ජාතික ව්‍යසනයට අදාළ හේතු සහ පසුබිම විමසා බැලීම එම කමිටුවේ කාර්යභාරයයි. ජනාධිපති ලේකම් කාර්යාලයට අනුව වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිවක් ජනපති සිරිසේන මහතා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් හා හෙළි කර නොමැත. වෙනත් ආරංචි මාර්ගවලින් සදහන් කෙරුණේ කමිටු වාර්තාවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට දැඩිව චෝදනා නඟා තිබෙන බවය.

එම දෙදෙනගෙන් සහ, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන, මෙරට බුද්ධි ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානය වන ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී ධූරය හොබවන සිසිර මෙන්ඩිස් මහතාගෙන් කමිටුව දැඩිව ප්‍රශ්න කර තිබේ. අතුරු වාර්තාව මේ වන විට වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතාට යොමු කර තිබෙන අතර, ජනපතිවරයා සිටින්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම සදහා මෙම පුද්ගලයන් කඩකර තිබෙන නීති සම්බන්ධයෙන් ඔහුගේ නිර්දේශයන් ලැබෙන තෙක්ය. මේ අතරවාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයන් සටහන් කරගනු ඇත.

මෙරට බුද්ධි ක්ෂේත්‍රයේ, විශේෂයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එක් එක් අංශ අතර උද්ගතව තිබෙන ගැටුම්, ආරක්ෂක අංශවල ඉහළම තලයන්හි දැඩි අවධානයට ලක්ව තිබේ. 

පෙර අවස්ථාවක වාර්තා කැරුණු ආකාරයට, ශ්‍රී ලංකාව අයිඑස් හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක ප්‍රහාරයට නතුවීමට ඉඩ තිබෙන බවට වූ බුද්ධි වාර්තා රැසක් එක්වනම සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. අනතුරුව පැමිණියේ රාජ්‍ය බුද්ධි අංශයේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෞද්ගලිකවම ජනපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් කළ බව සදහන් වූ වාර්තාය. මෙය ජනපතිවරයා තරයේම ප්‍රතික්ෂේප කරන කාරණයකි. 

දැන්, ජංගම දුරකතන යොදාගෙන පටිගත කරන ලදැයි සැක කෙරෙන, වර්තමානයේ රටේ පවත්නා තත්ත්වයට අදාළ සංවාද රැගත් හඬපට විශේෂයෙන්ම තෝරාගෙන, ඒවා ප්‍රසිද්ධියට පත්කර තිබේ. මේ හමුවේ නැඟෙන වැදගත්ම පැනය වන්නේ අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක එක් එක් පාර්ශවයන් රජයේ උසස්ම තලයන් වෙත ඇගිල්ල දිගු කැරෙන සෙල්ලමක නිරතව සිටින අතරවාරයේ, ඔවුනොවුන්ගේ අවශ්‍යතාවයන් උදෙසා රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමේ නියැළී සිටින්නේ ද යන්නයි. 
නවීන පන්නයේ උපාංග සමගම ජංගම දුරකතන ද රහසේම තැන් තැන්වලට ගෙනයාමට ඔවුන් කටයුතු කර ඇත. මෙය අතිශය භයානක තත්ත්වයක් බව අමුතුවෙන් නොකිවමනාය. ගැටලුව වන්නේ මෙම තත්ත්වයත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ කළ අනතුරු ඇගවීම් සේම නොසළකා හැරෙනු ඇති ද යන්නය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් සමග පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණ ද ඉස්මතු විය. එහිදී අදහස් දැක්වූ ජනපතිවරයා, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන ඉංග්‍රීසි භාෂාවෙන් යුත් වෙබ් අඩවියක හිමිකරුවා මේ පසුපස සිටින බවත්, තමාට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියාම අනතුරු ඇඟවීමක් කර තිබූ බව එම වෙබ් අඩවිය හරහා වාර්තා කර තිබුණේ ඔහු බවත්, පැවසුවේය.

එම පුවත ගොතනු ලැබූ, සම්පූර්ණ අසත්‍යයක් බව ජනපතිවරයා අවධාරණය කළේ ය. අඟහරුවාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙලේ අමාත්‍යවරයෙක් ද, ජනපතිවරයාට මෙසේ රාජ්‍ය බුද්ධි සේවයෙන් තොරතුරු ලැබී තිබෙන බව පැවසූ අතර, නමුත් තමා මෙය සඳහන් කරන්නේ නොනිල වශයෙන් බව කියා සිටියේය. එහෙත් ඔහු පැවසූ දෙය පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ගෙනවිත් තිබූ හඩපටිගත කිරීමේ යන්ත්‍රවල හොදින්ම පටිගත විය. 

ජනපති සිරිසේන මහතා අනතුරුව ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන සිංහල වෙබ් අඩවියක් ගැන ද සදහන් කරමින්, ඉතාම පහත් බස්වහරක් යොදා ගනිමින් තමාට එහි පහර ගසා තිබෙන බව පැවසුවේය. මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ තහනම් කර තිබෙන අතර, බි්‍රතාන්‍යයේ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මකවන බැවින් එයට එරෙහිව පියවර ගැනීමේ හැකියාවක් නැත. ඔවුන් බොහෝ අවස්ථාවල කටයුතු කරන්නේ එරට නීති ද උල්ලංඝණය වන අයුරිනි.

ප්‍රධානතම බුද්ධි ආයතනයෙන් මේ ආකාරයට රහස්‍ය තොරතුරු නිදහස් වීම පොදු ආරක්ෂාවට කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. මෙම ආයතනය පවිත්‍ර කර, වෘත්තිමයභාවයෙන් උසස් තැනකට ගෙන ඒම ජනපතිවරයාගේ වගකීමකි. පෞද්ගලික ප්‍රතිලාභ සලසා දෙන්නෙමැයි පවසමින් තවදුරටත් දරමින් සිටින තනතුරේම රැඳී සිටීමට ඉඩ සළසාදෙන වත්මන් ක්‍රියාවලිය නැවත ඇගයීමකට ලක්කළ යුතුම වේ. දැනට මේ සම්බන්ධයෙන් කිසිවෙකුගේවත් අවධානය යොමුව නොමැති අතර, රටේ බුද්ධි අංශයේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම තරම් භයානක අවස්ථාවක් තවත් නැත.

රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධන තමන් වෙත පෞද්ගලිකව සිදුකළ බව සදහන් දැනුම්දීම ඇතුළත් වෙබ් ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කර තිබෙන බව ජනපතිවරයා පැවසුවේය. තමාට තවත් අපහාස කරමින් තවත් අදහස් එයට එක්කර, බෙදා හැරීම සදහා සකස් කළ පිටපත් 1000 ක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සොයාගැනීමට හැකිවූ බව ද ජනපතිවරයා කීවේය. මෙම පිටපත් මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගෙනවිත් තිබෙන්නේ ප්‍රමුඛ පෙලේ එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරයකු යටතේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් සතුව රාජකාරි හැදුනුම්පත් ද තිබී ඇත. බෙදා හැරීම සදහා සකස් කර තිබූ ලිපිවල, දිවයින පුරා පන්සල්වල ලිපිනයන් සදහන්ව තිබී ඇත. ජනපතිවරයා මෙය හදුන්වාදුන්නේ ජාතිවාදී අරගල ඇවිලවීම අරමුණු කරගත් ක්‍රියාවක් ලෙසය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා, ලිපි බෙදාහැරීම පසුපස සිටින්නේ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව පැවසුවේය. මෙම ව්‍යායාමයේ අරමුණ වන්නේ පසුගිය මාස කිහිපයේ ජනපතිවරයා ගොඩනගාගත් ප්‍රතිරූපය විනාශ කිරීම යැයි පැහැදිලි කළ ජයසේකර මහතා, කිරිඇල්ල අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයේ නිලධාරීන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසුවේ ය. පොලිස් ආරංචි මාර්ග අනුව ඔවුන්, සම්පත් කුමාර, දනූශ ප්‍රියදර්ශන හා තක්ෂල වීරසේන යන අය වේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් නොදක්වන බව කිරිඇල්ලගේ මාධ්‍ය ලේකම් සමීල වනිගසේකර මහතා පැවසුවේ . කතාබහට තුඩු දී තිබෙන වෙබ් අඩවිය සම්බන්ධයෙන් විමසා බලන ලෙස තමා උපදෙස් දී තිබෙන බව සදහන් ප්‍රකාශයක් පසුව ලක්ෂ්මන් කිරිඇල්ල නිකුත් කළේ ය.

“මඩ ගැසීමට හෝ, ජාතිවාදය කුළුගැන්වීමට හෝ රාජ්‍ය විරෝධී අදහස් ඇවිලවීමට හෝ, කිසිදු අරමුණක් නැත. ගැටලුව ඇත්තේ වගකිවයුත්තන් දැනුම්වත් කිරීමට බුද්ධි නිලධාරීන් කටයුතු කළා ද යන්න පිළිබද පමණකි” යයි එහි වැඩිදුරටත් සදහන් විය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක තැන වන ජී.එල්.පීරිස් මහතා ජනපතිවරයා අමතමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා මෙරට ප්‍රහාර දියත් කිරීමේ අවදානමක් පවතින බවට කල්තියාම අනතුරු අගවා තිබුණු බව පැවසුවේය. ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය හා සමාන ප්‍රහාර ගණනාවකින් බැටකා තිබෙන තුර්කිය, අයිඑස් සංවිධානය තහනම් කළ පළමු රටද වේ. 50 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද, ඔවුන් රහසිගතව ක්‍රියාත්මක වෙමින් සිටින බව ද, තුර්කි තානාපතිවරයා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන බව ජනපතිවරයා පැවසුවේය. හමුව පුරාවටම ඔහු විපක්ෂයේ දේශපාලන නායකයින් මතුකළ කරුණු සම්බන්ධයෙන් සටහන් තබාගනු දැකගත හැකිවිය.

සිදුව තිබෙන විශාලතම පසුබෑම බුද්ධි අංශයට සුදුසුකම් නොලත් සහ අත්දැකීම් විරල පුද්ගලයින් බඳවා ගැනීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසුවේය. පසුගිය වසර 4 පුරාවටම ඔවුන් අකර්මන්‍යව සිටි බව කියා සිටි ඔහු, විවිධ රටවල පුද්ගලයින් ගණනාවක් වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටින බව ද කීවේ ය.ඔවුන් වහාම පිටුවහල් කළ යුතුව ඇතැයි ඔහු පැවසුවේ ය.

විපක්ෂ දූත පිරිස පැමිණියේ අයිඑස් ත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්දේසි විරහිතව ජනපතිවරයාට සහාය දැක්වීමට බව බැසිල් රාජපක්ෂ කියා සිටියේය. මෙය ජනපතිවරයා හා ඔහුගේ පක්ෂය සමග අත්වැල් බැඳගැනීමකින් තොරවය. ඒ සදහා පළමු පියවර වන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පණත ඉවත් කරගැනීම බව ඔහු පැවසුවේය. මෙම පණත එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමෙන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමෙන්තු කාරකසභාව හමුවට පැමිණවීමට නියමිතය.

ප්‍රතිත්‍රස්ත පණත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ එය අදියර වශයෙන් ක්‍රියාවට නැංවිය යුතුය  යන පැහැදිලි අවබෝධය මත බව ජනපතිවරයා පැහැදිලි කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කරමින් තිබෙන පීඩනය නිසාවෙන් එය වහාම සම්මත කරගැනීමේ වුවමනාවක් අගමැති වික්‍රමසිංහ මහතාට තිබූ බව ඔහු විපක්ෂ දේශපාලන නායකයන් ඉදිරියේ අනාවරණය කළේ ය. කෙටුම්පතෙහි අන්තර්ගත ආන්දෝලනාත්මක කාරණා තවදුරටත් විමසුමට ලක්කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පතකරන ලෙස විපක්ෂ නායක මහින්ද ඉල්ලා සිටියේය. පණත පවත්නා ස්වරූපයෙන් පාර්ලිමේන්තුවේ සම්මත නොවිය යුතුව තිබෙන බවට ජනපතිවරයා ද එකග විය.

“අපි ඉන්නේ විපක්ෂයේ. අපි අපේ ස්ථාවරය වෙනස් කරගන්නේ නැහැ. නමුත් මෙය ජාතික අර්බුදයක්. ඒ මත පිහිටා අපි අපේ සහාය ලබා දෙනවා. නමුත් එයින් අපි ඔබට සහාය දක්වන බවක් අදහස් වන්නේ නැහැ” යයි බැසිල් රාජපක්ෂ මහතා කීවේය. 
ප්‍රතිත්‍රස්ත පණතින් තනි පුද්ගල නිදහසට, මාධ්‍ය නිදහසට, සහ වෘත්තිය සමිතිවල අයිතිවාසිකම්වලට බාධා පැමිණවෙන බව පෙන්වාදුන් ජී.එල්.පීරිස් මහතා, එක්සත් ජාතීන් තෘප්තිමත් කිරීමට රටේ ජාතික වුවමනාවක් පාවා නොදිය යුතු බව අවධාරනය කළේය. එය නොවිය යුත්තක් බව පවසා සිටි ඔහු, මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ජනපති සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවා නිකුත් කර තිබූ බුද්ධි තොරතුරු තම අවධානයට යොමු නොකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට දැඩි සේ දොස් පැවරූ බව ජනපතිවරයා කීවේය. ප්‍රහාරයෙන් පසුව සිදුවූ ඇතැම් හාස්‍යජනක සිදුවීම් මෙම අවස්ථාවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කළේය. මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පහත දැමීම, ත්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි කිසිත් නොදන්නා ඇමරිකාවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකගේ ඡායාරූපය ප්‍රසිද්ධ කිරීම ඒ අතර ප්‍රධාන විය.

“අපි අපේ කොන්දේසි විරහිත සහාය ලබාදෙනවා. නමුත් අඩත්තේට්ටම් කරන්නේ, චූදිතයන් වෙලා ඉන්නේ, අපේ ආධාරකරුවන්“ යයි ඔහු කීවේය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඔහු දැක්වූ අදහසක් නිසා අත්අඩංගුවට ගැනීම ඔහු එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව විය. විමල් වීරවංශ ද මේ හා සමානවම අදහස් දැක්වූවේ ය.

 

 



අදහස් (7)

වරප්‍රසාද ලත් පන්තියේ වාසනාවන්ත විවාහය

sandy123 Wednesday, 08 May 2019 08:30 AM

කියන්න දෙයක් නැහැ. මේ හැමෝම වරප්‍රසාද ලත් පන්තියේ උදවිය. අපිනේ ලයිසන් දුන්නේ...

:       0       203

RaveendraWednesday, 08 May 2019 02:02 PM

sandy123 මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මේ " හරකුන්ට " මේ ලෝකයේ තියෙන සියලුම ජඩ වැඩ කිරීමට අවසර, බලපත්‍ර දුන්නේ මේ අප සියල්ලන්ම නොවේද?

:       0       177

ranilThursday, 09 May 2019 06:12 AM

මහින්දානන්ද අලුත්ගමගේ, සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම සමන්විත වූ අතර, දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය), යන මහත්වරු ද හමුවට එක්ව සිටියහ. මාරු සෙට් එකනේ කමිටුවට ගිහිල්ලා තියෙන්නේ

:       326       412

චන්ද දායකයා Wednesday, 08 May 2019 07:16 PM

ඇත්තෙන්ම අපි මෙහෙම ජඩකම් කරන්න ලයිසම් දුන්නෙ නැහැ. හැමදාම අපිව රවටලා බලය අරන් තමයි ජඩකම් කරන්නෙ.

:       3       21

chandima Friday, 10 May 2019 01:50 PM

මේ පිරිස ක්‍රමක්‍රමයෙන් සිංහල මිනිසුන්ගේ ප්‍රජා අයිතිය සියතට ගනිමින් කල වින්නැහිය නිසා අද අපි වෙනුවෙන් කතා කිරීමට අපේ නියෝජිතයෙකු නැතිව තිබෙනවා. එයින් නොනැවතී බලයට කෑදරව රට විදේශයන්ට විකුණමින් අන්‍යාගමිකයින්ට රට තුළ තවත් රටක් ගොඩනැගීමට අනුබල දෙමින් සිටිනවා. එහි එක ප්‍රතිඵලයක් ලෙස පසුගියදා විශාල ලේ වැගිරීමක් සිදුවුණු පසුවත් තවත් උගුඩුවන් ලෙස ඇස්, කන් පියාගෙන මුනිවත රකිනවා. අද ශ්‍රී ලංකාව තුළම ශ්‍රී ලංකාවේ නීතිය වෙනුවට වෙනත් ආගමික නීති පද්ධතියක් පිළිපදින, වෙනත් විවාහ ක්‍රමයක් අනුගමනය කරන, ජාත්‍යන්තර සහ සාමුහික කටයුතුවලදී මතවාදය අනුව වෙනත් රටවලට සහය දක්වන කොටසක් බිහිවී තිබෙනවා. මේ වරප්‍රසාද ලත් උගුඩුවන් සිය බලලෝභය නිසා ඔවුන්ගේ ඇවෑමෙන් පසුව සිංහලයින්ට සිංහල දේශයක් නැති කරනවා සිකුරුයි. අනේ අපටත් සවුන්සන් සුකී වැනි නායිකාවක් ලැබුණා නම්...

:       0       21

Pannipitiye Dharmarama theroSaturday, 11 May 2019 10:47 AM

ජුනියස්ලා තමයි මේ වසර 50 කින් ලංකාව සිංහලයන්ගන් මුදවාගෙන මුස්ලිම් අයට ලබාදෙන්න කුමන්ත්‍රණය කරන්නේ. අතීතය ගැන කියවා බලන්න.

:       1       3

Leel Saturday, 11 May 2019 03:10 AM

"සිදුව තිබෙන විශාලතම පසුබෑම බුද්ධි අංශයට සුදුසුකම් නොලත් සහ අත්දැකීම් විරල පුද්ගලයින් බඳවා ගැනීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසුවේය." සදුසුකම් නැති දේශපාලකයෝ ඉන්නකොට අායෙ මොන කතාද?

:       44       47

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 106 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 88 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 183 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 371 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 381 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 120 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site