IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


යාපනේ පොලිසියට බාරදුන් ස්විස් කුමාර් පසුදා වැල්ලවත්තෙන් මතුවෙයි

(සිරාජ් හසීම්)

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයේ නව වැනි විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් පොලිසියට බාර වීමෙන් පසු මුදා හැරියේ ඇයි දැයි උතුරු පළාත බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් තමා විමසූ බවත්, ඔහුට එරෙහිව සාක්කි නැති නිසා පොලිසිය මුදා හැර ඇති බව ලලිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළ බවත්   කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වී පී තමිල් මාරන් මහතා පැවසීය.

පොලිසියේ ඉල්ලීම පරිදි සැකකාර ස්විස් කුමාර් තම වාහනයේ නංවාගෙන යාපනය මූලස්ථාන පොලිසියට රැගෙන ආ බව ද   ඔහු පොලිසිය විසින් මුදා හරිනු ලැබ ඇතැයි තමා දැනගත්තේ ඊට පසු දින ගම්වාසීන් ප්‍රශ්න කරද්දී බව ද    තමිල් මාරන් මහතා කීවේය.

ඔහු  එසේ කීවේ ත්‍රිපුද්ගල විනිසුරු  මඩුල්ලක්  හමුවේ  විභාග කැරෙන විද්‍යා ශිවයෝගනාදන්  සිසුවිය ඝෘතන නඩුවේ  සාක්කි විමසීමේදීය.

නඩු විභාගය   පස් වැනි දිනටත් වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ(04)  සිදු කැරිණි.

සිසුවිය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, පැහැර ගැනීම, අපයෝජනය කිරීම සහ මරා දැමීමේ චෝදනා  ලබා සිටින    බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිතරන්,තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි), පලනි රූපසිංහම් ගුහදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවෝ 09 දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම මත සාක්කි ලබා දුන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම් පී තමිල් මාරන් මහතා මෙසේ ද කීවේය.

‘‘ මම පුංකුඩිතීව් කෙනෙක්. 1974 දී අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන් සමත්වෙලා යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස සමත් පත්වුණා.1976 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරුවා. 1981දී නීතීඥයෙක් විදිහට පත්වුණා. සිවිල් නඩු කටයුතු වෙනුවෙන් මා අධිකරණයේ පෙනී සිටියා.

පුංකුඩිතිව් වල සිදුවුන සිද්ධිය ගැනත්, එය මූලික කරගනිමින් හටගත් තත්ත්වය ගැනත් මම උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ලලිත් ඒ ජයසිංහ මහතා සමඟ මම කතා කළා. 15 වැනි දා ඔහු හා මේ ගැන කතා කරල ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා සිටියා. කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුන්ට විභාගය තිබුණ නිසා විද්‍යා සිසුවියගේ අවසන් කටයුතු වලට මම සහභාගී වුණේ නැහැ.

17 වැනි දා රාත්‍රියේ මම යාපනයට ගියා. 18 වැනි දා මම   යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගියා. මා යන විට  උදේ නවයට විතර ඇති.  එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හිටියා. මම කිව්වා ඝාතනයේ එක් සැකකරුවකු වන ස්විස් කුමාර් තමව අල්ලලා නෑ කියලා. පුංකුඩිතීව්හි තත්ත්වය ගැනත් යළි මෙවන් සිද්ධීන් සිදු  වීමට ඉඩකඩ නොදීම ගැනත් එම ප්‍රදේශයට උප පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගැනත් මම  කතා කළා.  

මෙහිදී මේ නඩුවට අදාළ එක් සැකකරුවෙකු සිටින බවත් ඔහු මෙම අපරාධයේ ප්‍රධාන සැලසුම්කරු බවත් ඔහුව අත්අඩංගුවට නොගත්තේ ඇයිද  යනුවෙනුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා. එවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වා සියලුම දෙනා අල්ලලයි තියෙන්නේ කියලා. ඉන් පසු ඔහු ඒ පිරිසගේ නම් ලැයිස්තුව ගෙන එන ලෙස නිලධාරියකුට දැන්නුවා. නිලධාරියා ගෙන ආ නම් ලැයිස්තුවේ මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර්ගේ නම තිබුණේ නෑ. මේකේ සිවිස් කුමාර්ගේ නම නැහැනේ   කියා මම ඔහුට කිව්වා.

පුංකුඩිතීව් ජනතාවත් පොලිසියත් අතර හමුවක් සූදානම් මම පුංකුඩිතීවි යන්න සූදානම් වුණා. එවිට මාත් එක්ක යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ශ්‍රීගජන් කියල කෙනෙකුයි තවත් පොලිස් නිලධාරියකුයි සිවිල් ඇඳුමෙන් එක්කන් යන්න කියල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වා. ඒ අනුව මම ඔවුන් සමගින් පුංකුඩිතීව් වලට ගියා.    සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනා සමගින්   මම පුංකුඩිතීව් හි ජනතාව හමුවුණා.  සිද්ධිය ගැන දන්නා සිසුන් දෙදෙනෙකු ඉන්නා බවට තොරතුරක් ලැබුණා. එම සිසුන් දෙදෙනා ගැන සොයාගෙන අපි පුංකුඩුතිව් මහා විද්‍යාලයට ගොස්  විදුහල්පති හමු වුණා. මේ ළමයින් දෙදෙනා 13 වැනි දා සිට පාසල් නොපැමිණි බව විදුහල්පතිවරයා කිව්වා.

මම විදුහල්පතිවරයා සමඟ කතා කරමින් සිටිනා අතරේ පිටත සිටි  ශ්‍රීගජන් කියන උප පොලිස් පරීක්ෂකවරයා කා සමඟදෝ  දුරකතනයෙන් කතාකරමින් හිටියා. මම ඔහු ළඟට ගියාට පස්සේ මේ නඩුවට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසියට බාරවෙන්න සූදානමින් ඉන්නවා කියලත් ඔහුට ආරක්ෂාව දෙන්න පුළුවන්නම් ඔහු පොලිසියට බාරවීමට සූදානම් බවත්  පොලිස් නිලදාරියා මා සමඟ කිව්වා.  ඉක්මනටම පොලිස් වාහනයක් ගෙන්නල ඔහුව පොලිසියට බාරදෙමු කියා  මම කිව්වා. මෙම සැකකරු පොලිස් වාහනේ අරන් යනවා  කියන්නේ බුද්ධිමත් වැඩක් නොවෙයි  සැකකරුව අපේ වාහනේ ගෙනයමු කියා උප පොලිස් පරීක්ෂකවරයා කිව්වා. මමත් ඒකට එකග වුණා.

අපි යන විට  ස්විස් කුමාර්ගේ පවුලම ඉස්සරහට ආවා . අපි ගිය වාහනයේ මමත්, මගේ දුවත්, පොලිසියේ අයත් සිටි නිසා ඉඩ කඩ මදි වුණා. අනිත් වාහනයත් ප්‍රමාද නිසා  මම දුවව පුංකුඩුතිව් සර්වෝදයට ගෙනිහිං දාලා නැවත ආවා.  ඉන් පසු   ස්විස් කුමර්, ඔහුගේ බිරිඳ , දරුවා සහ  බිරිඳගේ මව වාහනයට නග්ග ගත්තා. නග්ගාගෙන අපි යාපනයට ආවා. ඇවිත් ඔවුන්ව යාපනය මූලස්ථාන පොලිසියට බාර දුන්නා. ඔවුන්ව ගොස් බාර දුන්නේ පොලිසියට උදව් කිරීමේ අරමුණෙනුයි.  ඉන් පසු මම පුංකුඩිතිව් සර්වෝද ගොඩනැගිල්ලට ගියා.

අපරාධ අඩු කිරීම ගැන මහජනයා දැනුම්වත් කරන වැඩසටහනක් තබමු කියා මම ලලිත් ජයසිංහට කළ යෝජනාව අනුව පසු දින එනම් 19 වැනි දා දා පුංකුඩිතීව් ජනතාවත් පොලිසියත් අතර හමුවක් පැවැත්වුණා.    මුලින්ම ප්‍රදේශවාසීන් 40ක් 50ක් හිටියත් පසුව දෙතුන් සියයක් පැමිණියා. 

පංකුඩිතිව් ප්‍රදේශයේ පොලිස් මුර පොළත් දමන බව සහ අපරාධ අඩු කිරීමට සාමාන්‍ය වැසියන්ගේ සහයෝගය අවශ්‍ය බව මම කිව්වා.    ඒ සමඟම පිටිපස්සේ හිටපු මහජනයාගෙන් කෙනෙක් කිව්වා  අපි ඊයේ අල්ලාගත්ත ස්විස් කුමාර් වැල්ලවත්තේ ඉන්නවා කියලා.  එහෙම වුණේ කොහෙම ඇහුවා.   මම තමයි මේකට වගකියන්න ඕනෑ කියා මිනිස්සු කෑගැහුවා.  ඒ වෙලාවෙයි මම දැනගත්තේ සිවිස් කුමාර් මුදා හැරලා කියලා. ස්විස් කුමාර් බාර වෙන කම් ඔහු කවුරුන්ද කියා මා දැනගෙන හිටියේ නැහැ. මම ඇහුවා ලලිත් ජයසිංහගෙන් යාපනය පොලිසියට බාර දුන්   සිව්ස් කුමාර් වැල්ලවත්තේ ඉන්නේ කොහොමද  කියලා.  සාක්ෂි කිසිවක් නොමැති නිසා පොලිසිය විසින් ඔහුව මුදා හැර ඇතැයි   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මා සමඟ ප්‍රකාශ කළා..

ඉන් පසු මේක ලොකු ගෝෂාවක් බවට බවත් වුණා. මිනිස්සු   අපිට යන්න නෑ. මාව ප්‍රාන ඇපයට තියාගත්තා.  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මාව කොහොම හරි කයිට්ස්වල නාවික හමුදා කඳවුරට යොමු කළා. මමයි දුවයි එහේ ඉඳලා පහුවදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ  නිවසට ආවා. එහේ ඉඳලා එයා දුන්නු ආරක්ෂාව එක්ක වවුනියාවට එනකං ආවා. ඉන් පසු මගේ වාහනයේ කොළඹ ආවා. ‘‘  

සභාපති විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා - පොලිසිය සොයන සැකකරුවෙකු ඔබට අයත් වාහනේක ගෙන යන්න බැහැ කියල ඔබ නීතීඥයෙක් වෙලත් දන්නේ නැද්ද?

සාක්ෂිකරු -  මම පොලිසිය කරන ලද ඉල්ලීමකට එකඟවෙලයි සැකකරුව වාහනේට නග්ග ගත්තෙ.

විනිසුරු මඩුල්ල - පුංකුඩිතීව් කියන්නෙ කයිඩ්ස් කොට්ටාසයේ පොලිසියක්. කුමන හේතුවකටද සැකකරුව යාපනය පොලිසියට බාරදුන්නෙ ?

සාක්ෂිකරු - මගෙත් එක්ක ආව පොලිස් නිලදාරින් දෙන්නා යාපනය පොලිසියට අනියුක්ත දෙන්නෙක්. ඔවුන් වෙත බාරවුන නිසා යාපනයට ගෙන ගියා .

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වී.පී.තමිල්මාරන්ගේ සාක්කිය එතැනින් අවසන් විය.

 

නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම   19 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින  කයිඩ්ස් හිටපු  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්වින්ටස් පෙරේයිරා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි දෙමින් මෙසේ ද පැවසීය.

‘‘2015 මැයි මස 13 වනදා මම නිවාඩු ගොස් සිට යළි  රාජකාරියට පැමිණියා. පාසල් ගිය තම දියිණිය නිවසට නොපැමිණි බව කියමින් එදින රාත්‍රි 08.40ට විතර විද්‍යා දැරියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී  කයිඩ්ස් පොලිසියට පැමිණිල්ලක් සිදුකළා. ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකිරීමට උප පොලිස් පරීක්ෂක අනෝසියස්ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමකට බාරදුන්නා. පුංකුඩිතීව් ආලඩි මංසන්දිය අසල සිසුවියකගේ මලසිරුරක් තිබෙන බවට පසුදින එනම් 14 වැනි දා  උදෑසන 119 ඇමතුම හරහා තොරතුරක් ලැබුණා. ඒ ගැන මම පොලිස් ස්ථානයට දැනුම් දුන්නා.

කයිඩ්ස් පොලිසියේ සිට ආලඩි හන්දියට කිලෝමීටර් 22ක් දුරයි. මළසිරුර ආලඩි හන්දියේ සිට මීටර් 200න් විතර ඇතුළට වෙන්නයි තිබුණේ. එම ප්‍රදේශයට යෑමට ඇත්තේ පස් පාරක්. එය ජනාවාස නොමැති පැත්තක්. මේ පාරට වල්ලවන් පාර කියලත් කියනවා. අපි එතනට යන විට අපගේ පොලිස් ස්ථානය යටතේ තියෙන කුරික්කට්ටුවාන් මුරපොලේ ස්ථානාධිපති ඇතුළු නිලධාරිනුත් එම ස්ථානයට පැමිණ සිටියා. සිසුවියගේ මව සොහොයුරා සහ ගම්වාසීන් ද පිරී සිටියා.

සිරුර හමුවුණ තැනට  මීටර් 10ක් 15ක් විතර මෙහා තිබී සිසුවියගේ සපත්තුවක් සොයා ගත්තා. එම සපත්තුව තිබුණ තැනත් පසුකරන් අපි සිරුර හමුවුණ තැනට ගියා. සිරුර හමුවුණ තැනට මීටර් 8ක් විතර ඈතින් සිසුවියගේ අනිත් සපත්තුවත් හමුවුණා. සිරුර සොයා ගැනිමට පෙර දිනයේ එම ප්‍රදේශයට වැසි ඇදහැලී තිබුණා.

අනතුරුව අපි අධිකරණ වෛද්‍ය නිලධාරී,  කයිඩ්ස් මහේස්ත්‍රාත් සහ  හදිසි මරණ පරීක්ෂකවරයා  දැනුම්වත් කළා. ඔවුන් පැමිණි පසු සිසුවියගේ සිරුර ආවරණය කර තිබූ සුදු රෙද්ද ඉවත් කරමින් පරීක්ෂණ සිදුකළා. සිසුවියගේ දෙපා අංශක 180ක් දෙපසට දිගහැරල ගස් දෙකක ගැටගහලා තිබුණා. මුහුණ සහ ශරීරය ඉදමී තිබුණා. ඇස්, ස්ත්‍රීලිංගය සහ පපුව ප්‍රදේශය යමක් ගැවී තිබුණා. ඊට කූබි වහලත් හිටියා.

සිසුවියගේ හිසකෙස් නිල්වෙලා තිබුණා. කොණ්ඩය දෙපසට කර පීරා කොණ්ඩය ගොතන රිබන් පටියෙන් දෑත් දෙක පිටුපසට කර බැද තිබුණා. කොන්ඩය ඇදලා ගසක ගැට ගසා තිබුණා. සිරුර අසලම ඇයගේ පාසල් බෑගය, බයිසිකලය, කුඩය තිබී හමුවුණෘ. දේහය මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත රැගෙන ගියා.

අනතුරුව දෙමළ භාෂාව කතා කරන පොලිස් කොස්තාපල් ගෝපි විසින් සිසුවියගේ මවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා. මවගේ ප්‍රකාශයට අනුව 14 වැනි දා ම සවස පුංකුඩිතීව් ප්‍රදේශයේම පදිංචි බූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංහම් ජයක්කුමාර් සහ බූබාලසිංහම් තවක්කුමාර් කියන තුන්දෙනා  අත්අඩංගුවට ගත්තා. අපි ගිහිං ඔවුන්ගේ නිවාස සෝදිසි කරන විට කහ සහ කළු පාට ටී ෂර්ට් එකක් හමුවුණා. ඒ ටීෂර්ට් එක පිටිපස්සෙ ලේ පැල්ලම්, මඩපැල්ලම් තැවරී තිබුණා. එම ටීෂර්ට් එක ගැන සැකයක් මතුවුන නිසා එය නඩු භාණ්ඩයක් වශයෙන් පොලිසිය බාරයට ගත්තා.

තවක්කුමාර් නැමැත්තාගේ නිවසේද කළ සෝදිසියකදී පැල්ලම් තැවරුණු ෂර්ට් එකක් හොයා ගත්තා. පසුදින එනම් 15 වරනි දා  සැකකරුවන් තුන්දෙනාම කයිඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. සිසුවියගේ අවසන් කටයුතු සිදුකෙරුනේ 15 වැනිදා. ඒ නිසා එම ප්‍රදේශයේ පාසල්, වෙළදසැල් ආදිය වසා දමා සිසුසිසුවියන් සහ මහජනතාව මහපාරට බැහැල විරෝධතා සිදුකළා. මේවගේ විරෝධතා දෙකක් සිදුවුණා. මේ නිසා එම ප්‍රදේශයේ උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබුණා.

මේ ඝාතනයට සම්බන්ධ තවත් පස්දෙනෙකු ගැන මට තොරතුරු ලැබුණා. ඒ අනුව 17 වැනි දා මහාලිංගම් සසිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,පලනිරූපසිංහම් කුගනාදන්, සිවදේවන් දුෂාන්තන්, ජෙයතරන් කෝකිලන් කියන පස්දෙනාවත් අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත්ත අයව කුරික්කට්ටුවාන් පොලිස් මුරපොලට ගෙන ගොස් එහිදී ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ අවස්ථාවේදී ගම්වාසීන් ලී, පොලු අරන් ඇවිත් පොලිස් මුරපොල වටකරගත්තා. ගම්වාසින් සැකකරුවන් ඔවුන් වෙත බාරදෙන්න මොවුන්ව ඔවුන්ට මරන්න ඕන කියලත්  ඝෝෂාකර සිටියා. ඒ නිසා මම කාරෙයිනගර් නාවික හමුදා කදවුරේ අණදෙන නිලදාරිවරයා සම්බන්ධකරගෙන ඔහුගේ සහායෙන් අධිවේගී බෝට්ටුවක් (වෝටර් ජෙට්) ගෙන්නගෙන සැකකරුවන්ව කයිඩ්ස් මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ගෙනයන්න උත්සහා කළා. ගම්වාසීන් කයිඩ්ස් පොලිසියද වටකර ඇති බවට එවිට  මට තොරතුරු ලැබුණා. මේ නිසා ත කඩිනමින් සැකකරුවන්ව කාරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත අරන් ගිහින් එහේ ඉඳන් වඩුකෝඩෙයි පොලිසියේ සහාය ඇතිව යාපනය මූලස්ථාන පොලිසිය වෙත ගෙන ගියා. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේ යාපනය මූලස්ථාන පොලිසියේදියි.

පසුදින එනම් 18 වැනි දා  මට මහරගම අධිකරණයේ වෙනත් නඩුවක සාක්ෂි ලබා දීම යෙදී තිබුණු නිසා මා එහි ගියා.  මෙම සිද්ධියේ තවත් සැකකරුවකු යාපනය මූලස්ථාන පොලිස් බාරයේ සිටිය දී පලා ගොස්  වැල්ලවත්තේ සැඟව සිටිය දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව    මට 20 වැනි දා අපේ පොලිස් ස්ථානයේ රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු දැනුම්දුන්නා .  සැකකරුගේ  ස්විස්කුමාර් කියලත් කියුවා. මම නව වැනි සැකකාරයා ගැන දැනගත්තෙත් එවිටයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා - සිරුර අසලින් හමුවුණ බයිසිකලය, පොත් බෑගය, ඉරුණු පාසල් ඇදුම්, රිබන් පටිය, ගෙල පටිය, හඳුනාගන්න පුළුවන්ද?

සාක්කිකරු - පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා -  නව වැනි විත්තිකරු හඳුනාගත හැකිද?

සාක්කිකරු -  මම ඔහුව අත්අඩංගුවට ගත්තෙ නැහැ. අධිකරණයට ඉදිරිපත් කළෙත් නැහැ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සැකකරු අත්අඩංගුවට ගන්න   රිපෝට් එක ෆැක්ස් මගින් වැල්ලවත්ත පොලිසියට යවන්න කියල කියුවත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු නැතැයි දන්වල මම රිපෝට් එක යැව්වෙ නැහැ.

විනිසුරු මඩුල්ල -   මේ සාක්ෂිකරුගේ සාක්ෂි දුන් ආකාරය දෙස මේ වෙනකල්ම අවධානයෙන් බලා සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ගේ සාක්ෂි මෙහෙයවීමට බාධා නොකළ යුතු නිසයි    නිහඬව සිටියේ. මේ සාක්ෂිකරු ආරම්බයේ සිටම නව වැනි සැකකරු ගැන විමසන විටදී ඊට පිළිතුරු දෙන්න අකමැත්තක් දක්වනවා. අධිකරණයත් නොමඟ යවනවා. තමන්  සහ නව වැනි සැකකරු අතර යම් ප්‍රශ්නයක් තිබෙනවාද?  

සාක්ෂිකරු -  නැහැ.

විනිසුරු මඬුල්ල  -  තමන්ගේ පොලිස් ස්ථානය යටතේ ඇති ප්‍රදේශයක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මේ නිසා ඒ පළාතේ නොසන්සුන්කාරී තත්වයකුත් ඇතිවුණා. ඒ සිද්ධියේ ආරම්භක පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිලධාරියා අට දෙනෙකු අත්අඩංගුවට ගත්තා. නව වැනි සැකකාරයා ගැන කිසිදු තොරතුරක් නැහැ. සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තමන්ගේ ප්‍රදේශයේ ලොකුවම ප්‍රශ්නයක් ඇති විට මහරගම මහේස්ත්‍රාත් අධිකරණයේ  සාක්ෂි දෙන්න කියල ගිහිං තියෙනවා. එහේ ගිහින් සාක්ෂි දුන්නද ?  

සාක්ෂිකරු - නැහැ. මට මම සාක්ෂි දෙන්න යන අතරවාරයේදී මගේ ඉහළ පොලිස් නිලධාරියා කඩිනමින් ආපසු පැමිණෙන්න කියල නියෝග කළා. මේ නිසා මම සාක්ෂි දෙන්න ගියේ නැහැ .

විනිසුරු මඩුල්ල -  තමන්ගේ ඉහළ නිලධාරියා ළඟ තිබුණු සැලකිලිමත්භාවය තමන්ට නැහැ. තමන්ගේ පොලිස් බල ප්‍රදේශයේ මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන කොට තමුන් යනවද සාක්ෂි දෙන්න. තමන් වගකීම් පැහැර හිරින්නෙක්නේ. තමන්ගේ වගකීම් පැහැර හැරීමේ ක්‍රියාව නිසා තමයි කෝපයට පත්වූවන් එකතුවෙලා යාපනය අධිකරණ සංකීර්ණයටත් පහර දුන්නේ.  සැකකරුවන් කයිඩ්ස් අධිකරණයට ඉදිරිපත් නොකර යාපනය අධිකරණයට ඉදිරිපත් කරනවා කියල පැතිරිලා ගිය ආරංචි නිසයි කෝපයට පත්වූවන් අධිකරණයටත් පහරදුන්නේ .  තමුන්ට ස්ථාන මාරුවක් ලැබුනේ කවද්ද?

සාක්ෂිකරු - 2015.මැයි මස 22 වනදා (සිසුවිය ඝාතනය වී සතියකට පසු)  

සාක්කිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිශ්චිතවම මහරගම අධිකරණයේ සාක්කි ලබාදීමක් සඳහා ගොස් ඇතිද යන්න තහවුරුකර ගන්නා ලෙස අධිකරණය උසාවි ලේඛකාධිකාරීට නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරා  මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරුන් වන නාගරත්නම් නිශාන්ත, ලක්සිරි ද සිල්වා සහ මාලනී විග්නේෂ්වරන් යන මහත්ම මහත්මීහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

1,2,3,5,6 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ මහින්ද ජයරත්න සහ සුරංග බාලසිංහ යන මහත්වරුන් ද ,05 වැනි  විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතා ද, 4,7,8,9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් සින්නරාසා කේදීස්වරන් මහතාතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ වියදමින් පත්කළ රජයේ නිතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

 



අදහස් (1)

යාපනේ පොලිසියට බාරදුන් ස්විස් කුමාර් පසුදා වැල්ලවත්තෙන් මතුවෙයි

de silva berlin Saturday, 08 July 2017 03:00 PM

එ්කනේ එයාට " ස්විස් කුමාර් "කියන්නේ මුදල් තිබෙනවා නම් ඕනෙම වැඩක් කරලා ගොඩ යන්න පුළුවන්... පෙරකදෝරු මහත්තුරු කියන කතා විශ්වාස කරන්න අපහසුයි. එකත් එකටම මේ පෙරකදෝරු මහත්තයා මෙයාට කොළඹ යන්න උදවු කරලා තිබෙනවා. ඔහුට හොඳ කුට්ටියක් ලැබෙන්න ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 116 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 102 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 352 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 574 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 625 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 105 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 284 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site