IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පෞද්ගලික විශ්ව විද්‍යාල බිල්ලකු සේ දැකීම හරිද?

ඕනෑම දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය ගිලිහී විපක්ෂයට වැටුණු විට පහසුවෙන් එල්ලෙන සටන් පාඨ කිහිපයක් තිබේ. “පෞද්ගලික විශ්වවිද්‍යාල මුවාවෙන් රජය අධ්‍යාපනය විකිණීමට හදනවා” එවැනි එක් ‘රෙඩිමේඩ්’ සටන් පාඨයකි. මෙවැනි සටන් පාඨවල එල්ලී සිදුකරන දේශපාලනය විසින් මේ රටේ දියුණුව සම්පූර්ණයෙන් කණපිට හරවනු ලැබ ඇත. දකුණු ආසියාවේ රටවලින් පවා අතමාරුවට ඩොලර් ණය ගැනීමට සිදුවන තැනකට රට තල්ලු‍වීම මේ ඛේදවාචකයේ එක් අනිටු ප්‍රතිඵලයකි.

අප මේ කරුණු සඳහන් කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් රටේ විපක්ෂය ඇතුළු විවිධ සංවිධාන මගින් ගොඩනංවන විරෝධය සැලකිල්ලට ගනිමිනි. කොතලාවල පනත මීට එක් උදාහරණයක් පමණි. මීට පෙර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදීත් ඊටත් පෙර උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය පිහිටුවීමට පිරිසක් උත්සාහ ගත් අවස්ථාවේදීත් මෙවැනිම ආකාරයේ උද්ඝෝෂණ මතුවීමෙන් රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටම සිදුවූයේ බලවත් හානියකි. එම කාලවල විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ බොහොමයක් සිසු සිසුවියන්ට නියමිත කාලය තුළදී තමන්ගේ අධ්‍යාපනය හමාර කර ගැනීමට අවස්ථාව නොලැබුණි. ඇතැම් සරසවි සිසුවියන් උපාධිය ලබද්දී මව්වරු බවට පත්වී සිටියහ. මේ එක් පැතිකඩක් පමණි. බොහෝදෙනාට අමතක වන විපක්ෂ දේශපාලනඥයන් විසින් බලහත්කාරයෙන් අමතක කරවනු ලබන විශේෂ කාරණයක් ද තිබේ.

එම විශේෂ කාරණය මෙරට උසස් අධ්‍යාපනය අහිමිවීම නිසා එතෙර විශ්වවිද්‍යාල කරා වාර්ෂිකව සංක්‍රමණය වන 7000ක් පමණ වන සිසු පිරිස මෙරටින් එතෙරට අදින මුදල් ප්‍රමාණයේ තරමයි. මෙම මුදල කොතරම්දැයි හරිහැටි ගණනය කිරීමට අවශ්‍ය සංඛ්‍යාලේඛන අප සතුව නැත. එහෙත් ඒ සඳහා මෙතෙක් වැයකර ඇති මහා මුදල් සම්භාරය කොතරම්දැයි පැහැදිලි කිරීමට මේ වසරේ එක් උදාහරණයක් ගෙනහැර දැක්විය හැක. මේ වසරේ චීනයේ එක් වෛද්‍ය විද්‍යාලයක් සඳහා මෙරටින් සිසු සිසුවියෝ 40ක් පිටත්ව යාමට සූදානමින් සිටිති. මේ එක් සිසු දරුවකු වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා වැයකළ යුතු අවම මුදල රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව, බෙලරූස්, ජෝර්ජියා, ලැට්වියාව, රුසියාව ආදී රටවලට සහ ඉන්දියාවට සහ බංග්ලාදේශයට ද වාර්ෂිකව යන තවත් සිසු පිරිසක්ද වෙති. මේ සියලු‍ සිසු සිසුවියන්ගේ මවුපියන් ඒ වෙනුවෙන් ගාස්තු ගෙවන්නේ මෙරට මුදලිනි. උතුරු කොළඹ වෛද්‍ය පීඨය පිහිටුවීමට උත්සාහ දැරූ අසූව දශකයේ මුල්භාගයේ සිට මේ වනතුරු රටින් පිටට ඇදී ගිය මුදල් සම්භාරය කොතරම්දැයි මේ අනුව සිතාගත හැකිය.

නිසි ප්‍රමිතියට සහ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට අනුව මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිකිරීමට දොර හැර තිබුණා නම් මේ රටේ නිදහස් අධ්‍යාපනයට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අසීමිතව තවත් පහසුකම් සැලසීමට එම මුදල් යොදවා ගැනීමට හැකියාව තිබුණි. ඒ මුදල් රටේ ඉතිරි වූවා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළු කරගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම පහසු වන්නට ඉඩ තිබිණි. එපමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා විවෘත වන පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා භූගෝලීය වශයෙන් ඉතාම හිතකර පිහිටීමක් ඇති අපේ රටට එම විශ්වවිද්‍යාල විදේශ විනිමය උපයා ගැනීමේ උල්පත් බවට හරවා ගැනීමට ද පහසුවෙන්ම හැකියාව තිබිණි. එහෙත් මේ රටේ අවස්ථාවාදී කුහක, මජර දේශපාලනය හේතුවෙන් අද මුළු රටම දුක් විඳිමින් සිටී. මේ තත්ත්වයට මෙරට මෙතෙක් බලයට පත් හැම ආණ්ඩුවක් සේම එක් එක් අවස්ථාවලදී තරග බිමෙන් එළියේ සිටිමින් ආණ්ඩුවලට පන්දම් ඇල්ලූ දේශපාලන පක්ෂ ද එක සේ වගකිව යුතුය. අඩුම තරමින් දැන්වත් මේ තත්ත්වය වෙනස් කිරීමට තරම් දේශපාලන ධෛර්යයක් ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන්ට නොමැති නම් එය අපේ රටේ අවාසනාවක් මිස අන් කිසිවක් නොවේ.

මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට වරම් ලැබුවත් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවලට සුදුසුකම් නොලැබී යන එහෙත් ඉහළම ලකුණු මට්ටම් අතර සිටින සිසු දරුවන්ට ඇති එකම විකල්පය විදේශ රටවල විශ්වවිද්‍යාලවල පිහිට පැතීම පමණි. මුදල් හදල් ඇති මවුපියන් තම පෞද්ගලික ධනය ඒ සඳහා වැයකරන අතර එතරම් හැකියාවක් නැති මවුපියන් කරන්නේ තමන්ගේ කිසියම් දේපළක් හෝ විකුණා මුදල් සොයාගැනීමය.

තමන් පදිංචිව සිටින එකම නිවෙස පවා උකස් කර එතෙර විශ්වවිද්‍යාලවලට තම දරුවන් යැවූ මවුපියන් පිළිබඳව ද අපි අසා ඇත්තෙමු. එය පදනමක් නැතුව හුදු දේශපාලනය පමණක් හේතුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීමේ ඛේදවාචකයේම හරස්කඩකි. එසේම මෙරටදී උගුර ලේ රහ වනතුරු ඒවාට විරුද්ධව කෑගසන ඇතැම් දේශපාලනඥයන්ගේ දරුවෝ ද එතෙර අධ්‍යාපනය ලබන බව සුප්‍රකට රහසකි.

අප අදහස් කරන්නේ අවිචාරවත් ලෙස නිසි ප්‍රමිතියට නැති පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට පිහිටුවීමට ඉඩදිය යුතු බව නොවේ. අප මේ හඬ නගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ද නොවේ. උසස් අධ්‍යාපනය හමුවේ ලකුණක දෙකක අඩුවක් හේතුවෙන් සියල්ල අහිමි වන සිසු දරුවන් වෙනුවෙනි. එසේම රටේ ජාතික ධනය ඉවත ඇදී යාම වළක්වාගෙන විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට ද එය සාර්ථක ක්‍රියාමාර්ගයක් බැවිනි. දේශපාලන මඩගොහොරුව තුළ රැඳී සිටිමින් මේ ගැටලු‍වට කවදාවත් විසඳුමක් සොයාගත නොහැක. එයින් පිටතට ඇවිත් ලොවේ සෙසු රටවල් මේ ගැන ක්‍රියාකරන ආකාරය විමසා බැලීම පමණක් යථාර්ථය තේරුම් ගැනීමට ප්‍රමාණවත් වනු ඇත.

කෙසේ වුවද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙඩි පිටින්ම සම්මත කරගැනීමට ඉඩදිය යුතු යැයි අපි නොකියමු. එම පනතේ විධිවිධාන සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කරුණු කීමට, වගකීමට ආණ්ඩුව බැඳී සිටී. එහිදී ජනතාව තුළ කිසිදු සැකයක් ඇතිවීමට ඉඩක් නොතැබිය යුතුය. පසුගිය සතියේ බෞද්ධ උපදේශක සභාව හමුවූ අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බාධක ඉවත් කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ අර්ථය කුමක්දැයි මෙරට ඇතැම් විද්වත්හු ප්‍රශ්න කරති. එසේම මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කිසිදු පනතකින් කිසිදු අගතියක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද එම විශ්වවිද්‍යාල පාලනයට සහ ශිෂ්‍ය අයිතිවාසිකම්වලට පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් මගින් කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)

 



අදහස් (7)

පෞද්ගලික විශ්ව විද්‍යාල බිල්ලකු සේ දැකීම හරිද?

බද්රානි Tuesday, 20 July 2021 03:30 PM

ඇත්තම කියනවා නම්, ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය තවදුරටත් බිල්ලෙකු නොවේ. ඔය කියන "ගෝනි බිල්ලා" මවන්නේ පෞද්ගලික "වෛද්‍ය විද්‍යාල" මෙරට ඇතිවේ යයි සිතන "මර බියයි". විදේශ රටවල විශ්ව විද්‍යාල වලට අනුබද්ධ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට නොමැති විරෝධයක් සයිටම් හා කොතලාවල ආයතන වලට ඇති වුනේ මෙන්න මේ හේතුව නිසයි. තමන්ට අවශ්‍ය පරිදි, අඩුතරමේ තමන්ගේ මුදලින්වත් අධ්‍යාපනය ලැබීමට නොහැකි ලංකාවේ දරුවන් කොතරම් අවාසනාවන්තද? ප්‍රමිතිය පිළිබඳ නිසි නියාමනයක් කිරීම රටක පාලන අධිකාරියට සුළු දෙයකි. නමුත්, ලංකාවේ, බංකොලොත් දේශපාලන කල්ලි, හා වෘත්තීය සමිති හා වෙද මාෆියා කල්ලි විසින් නොමග යවන සමාජයකට අනාගත පැවැත්මක් තියෙයිද? අවසානයේ මොල සෝදා, සමාජයට මුදා හරින සමාජ වෛරයකින් හෙබි, උගත් යයි සිතාගෙන සිටින විකෘති මනසක් සහිත ලෝකල් බක පණ්ඩිතයින්ගෙන් රටටවත්, ලෝකයටවත් සෙතක් නැත. මම මේ කියන කතාව, රෝහලකදී, රාජ්‍ය ආයතනයකදී, හා සමස්ත ලාංකික ආයතන තුළම ඔබට අත් විඳීමට සිදුවෙන අශිෂ්ඨ ජවනිකාවයි.

:       0       239

Sarasi Tuesday, 20 July 2021 06:20 PM

හැම දේශපාලකයාම එහෙම තමයි. මහින්දත් අනික් පැත්තේ ඉන්නකොට කෑගැහුවේ ඔහොම තමයි. ඒවාම තමයි දැන් හොඳ දෙයක් වුණත් අනික් අයත් කරන්නේ... සජිත් නම් මෙලෝ තේරුමක් නැතිව කෑ ගහනවා. ජනාධිපතිතුමා විතරයි කෙලින් වැඩක් කරන්න හිතන්නේ තමන්ට මතු බලාපොරොත්තු නැතිව...

:       0       16

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 July 2021 06:44 PM

විශ්ව විද්‍යාලවලට ලකුණක් දෙකක් අඩුවූ සිසුන්ගේ පැත්තෙන් බලනා විටදී, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීම සාධාරණ යැයි සිතේ. විරුද්ධ පක්ෂයේ සිටිනා විට මෙවැනි පණත් වලට විරුද්ධ අය, තමන්ගේ රජයකදී එයට විරුද්ධ වීම පසෙක තබා එය ක්‍රියාත්මක කිරීමට වෙරදරයි. ඒවා රටේ දේශපාලනයේ තිබෙන පිළිකුල් බවට නිදසුන්ය. නිසි ප්‍රමිතියකින් යුතු රටට වැඩදායී පෞද්ගලික විශ්ව විද්‍යාලවලට අප කැමතිය. ඒවායින් රටට සේවයක් මෙන්ම, පිටරට ඇදීයන මුදල් සම්භාරයක් රටට ඉතිරි වෙයි. ඒත්, නීති විභාගය හොරට ලියනවා යැයි කියැවෙන, රටේ පරිපාලනයට හමුදා නිලධාරීන් වැඩි වැඩියෙන් පත්වෙන, නිසි අධ්‍යාපනයක් නැති දේශපාලකයින් පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ ගැන කෙසේ විශ්වාසයක් තබන්නෙමුද? යකාගේ හැටියට විමානේ කීවාක් මෙන්, ඔවුන්ගේ ක්‍රියාවන්ද, අරමුණු වනුයේ ඔවුන්ගේ පටු පක්ෂග්‍රාහී නුවණ මතයි. ඒ වැනි, අත්දැකීම් අඩු, බුද්ධි මට්ටමෙන් අඩු, කපටි කෛරාටික මිනිසුන්ගේ ක්‍රියාවන් කෙරෙහි කෙසේ විශ්වාසය තබන්නෙම්ද?

:       1       157

bandara Tuesday, 20 July 2021 07:16 PM

භද්‍රානි මහත්මියනි, ඔබගේ අදහසට තවත් එක් දෙයක් එකතු කිරීමට අදහස් කරමි. එවන් මොල සෝදාගත් උපාධිදාරින් සේවය කරන රාජ්‍ය සේවය හැමවිටම ඉතාම පසුගාමී, හීනමානයෙන් පෙලෙන රාජ්‍ය සේවයකි. ඉතින් කුමන නායකයින් මහජන ඡන්දයෙන් පත්කර ගත්තද, ඔවුන්ගේ අදහස් ක්‍රියාත්මක කිරීමේදී ගැටළු ඇතිවීමට හේතුව මෙයයි. ඉතාමත් තරඟකාරී, කාර්යක්ෂම, පුද්ගලික අංශයක් සහ ඇල්මැරුණු, පසුගාමී රජ්‍ය සේවයක් හිමිවීමට හේතුව මෙයයි...

:       0       44

විශ්ලේෂණය Tuesday, 20 July 2021 07:38 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පයේ වරදක් නැහැ. ඒත් රජයේ විශ්ව විද්‍යාලවල සැවොම වැරදි ආකල්ප ඇති අය යයිද ඔවුන්ගේ දැනුම යාවත්කාලීන නැතැයි පැවසීම අසත්‍යයක් වන්නේ දැනට ලොව පුරා රටවල්වල උසස්ම ගණයේ රැකියා කරන විද්වතුන් ගණනය කිරීමෙනි. එමෙන්ම අප රටේ සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල හිමිකරුවන් ව්‍යාජ ආචාර්ය උපාධි සහ වෛද්‍ය උපාධි භාවිතා කරමින්ද අනුබද්ධ විශ්ව විද්‍යාලවලට ගෙවිය යුතු මුදල් වංචා කරමින් එහි ඉගෙන ගන්නා දරුවන්ගේ මුදල් ගසා කන්නේ දේශපාලකයින් ඉදිරියට දමා බව ඔවුන්ද නොදන්නවා විය හැකියි. මෙම වංචනිකයින්ගේ පෞද්ගලික විශ්ව විද්‍යාල සියලු එවැනි වශ්ව විද්‍යාල අපකීර්තියට පත්කරන අතර රජයේ නිසි නියාමනයක් නොමැතිකමද, සමහර දෙමාපියන්ට ගුණාත්මක අධ්‍යාපනයට වඩා තම දරුවා දුර්වල වී හෝ උපාධිය ලබාගත යුතුයි, යන වැරදි ආකල්පය නිසා මෙම විශ්ව විද්‍යාල ජනතා විශ්වාසය නැතිව යන තත්වයට පත්වීමට ඉඩ ඇත.

:       44       73

බද්රානිTuesday, 20 July 2021 09:44 PM

සමාජ "විශ්ලේෂණය" පසෙකලා ඔබගේ මොළය පිළිබඳ කිසියම් විශ්ලේෂණයක යෙදෙනවා නම්, එය ඔබගේ අනාගතයට යහපතක් වේවි. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල, රජයේ විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු බොහෝ දෙනෙකු සේවය කරනවා. මුදල් ගෙවා අධ්‍යාපනය හදාරන සිසුන් ඔවුන්ගෙන් උපරිම ඵලය නෙලා ගන්නවා. දේශපාලනය, නවකවදය සහ දූපත් මානසිකත්වය එතන නැහැ. විපරීත උපාධි කාරයෙකු වෙනුවට, යහපත් ආකල්ප වලින් හෙබි උගතෙකු උසස් අධ්‍යාපන ආයතන තුළින් බිහි කිරීමයි අප කළයුතුව ඇත්තේ. විවිධ මාෆියා කල්ලි විසින් විශ්ව විද්‍යාල දරුවන් නොමග යැවීමේ අනිසි ප්‍රති විපාක අපි ජාතියක් වශයෙන් බුක්ති විඳිමින් සිටිමු. මම මේ කොතලාවල ඇතුළු පෞද්ගලික අධ්‍යාපන ආයතනවල මව්පියන්ගේ මුදලින් ඉගෙන ගන්න දරුවන්ගෙන් ඉල්ලන්නේ... උපාධිය සම්පූර්ණ කළ වහාම යුරෝපය, ඇමරිකාව හෝ වෙනත් රටකට ගොස් ඔබගේ සේවය ශිෂ්ඨ මිනිසුන් වෙසෙන රටකට ලබා දෙන්න. එවිට ඔබට ඔවුන්ගේ රටවලින් නියම ප්‍රතිලාභය ලැබී ඔබගේ අනාගතය සුරක්ෂිත කරගත හැකිවේවි. මේ ලංකා භූමිය ගැලපෙන්නේ, පිස්සු, විපරිත මනසක් සහිත නූගතුන්ට පමණයි...

:       0       0

gamunu Thursday, 22 July 2021 06:32 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකොට පෞද්ගලික විශ්ව විද්‍යාල සහ රජයේ විශ්ව විද්‍යාල අතර පරතරය නැති කිරීමට නම් විශ්ව විද්‍යාල විෂය නිර්දේශය සමව තබාගත යුතුවේ. එක සමාන විභාග පැවැත්විය යුතුවේ. එසේ නොව්නහොත් දක්ෂයන් රටින් පිටවීම සහ නැවත රටට පැමිණීමක් නොමැත. රජයේ විශ්ව විද්‍යාල තුලට ඇතුලත් වීමේදී සමහර අවස්ථාවල දක්ෂයන් හට එක ලකුණක් හෝ දෙකක් අඩුවන අවස්ථා ඇත. එවිට ඔවුනට රජයේ විශ්ව විද්‍යාල තුලට ඇතුල් වීමට නොහැකිනිසා ඔවුන් රටින් පිටවේ. එමනිසා රට තුල පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකොට රටින් පිටවන දක්ෂයන් රට තුල රදවා ගැනීම සහ කෝටි ගණනක මුදල් රට තුල රදවා ගත හැකිවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 64 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 68 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 205 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 457 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 528 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 91 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1625 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site