IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාතාලයට නැගිටින්න ඉඩ දෙන්න එපා

ලෙයට ලෙය ඉල්ලන මරණයට මරණයම ඉල්ලන අණක් ගුණක් නැති පාතාලයක් යළිත් සිය සුපුරුදු මැරකම ප්‍රදර්ශනය කරමින් සිටින බව අඟවන සිදුවීම් දෙකක් ඉකුත් දා වාර්තා විය. පළමුවැන්න රත්මලාන සොයිසාපුරයෙනි. දෙවැන්න මාතර වැලිගමෙන්ය.

රත්මලාන සොයිසාපුර ආපන ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් කප්පම් ලෙස ඉල්ලා ඇති බවත් එසේ කප්පම් දීම අදාළ ව්‍යාපාරිකයා ප්‍රතික්ෂේප කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. පසුව එම ආපන ශාලාවට කඩාවැදුණු මැර පිරිසක් ආපන ශාලාවට පහරදී අලභහානි සිදුකර සේවකයකුට පහරදී පලා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මැර කණ්ඩායමේ කිහිප දෙනකු ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන සිටියදී නැවතත් ආපන ශාලාව අසලට පැමිණ ඇති මැර කණ්ඩායමක් අවන්හලට ඉවක් බවක් නැතිව වෙඩි තබා පලා ගොස් තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඒ වනවිටත් එම අවන්හලට පොලිස් ආරක්ෂාව සපයා තිබියදීම මෙම වෙඩි තැබීම සිදු කිරීමය. සිද්ධියෙන් අනතුරුව එම පොලිස් නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.මෙම ප්‍රහාරය ඩුබායි රටේ සැඟවී සිටින පාතාල නායකයකු විසින් මෙහෙයවනු ලැබ ඇතැයි පොලිසිය පවසන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

දෙවැනි සිදුවීම වැලිගම  මිරිස්ස ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන හෙට්ටි හේවගේ අමිල ප්‍රසංග හෙවත් සන්ෂයින් සුද්දා නැමැත්තාට වෙඩි තැබීමය. යතුරුපැදියකින් පැමිණි පාතාලයන් දෙදෙනකු අමිල ප්‍රසංග නැමැත්තාට එළව එළවා වෙඩි තබා ඇති අතර ඔහු දුව ගොස් පණ බේරා ගෙන තිබේ. වෙඩි තැබීමෙන් ඔහුගේ එක් අතක් තුවාල වී ඇති අතර පාතාලයන් දෙදෙනාගෙන් එක් අයකු ගම්මුන්ට කොටු වී තිබේ.

මේවා තවත් එක් හුදෙකලා සිදුවීම් ලෙස සැහැල්ලුවට නොගත යුතුය. ගිනි අවි රැගෙන මෙසේ නිදැල්ලේ මහ මඟ ගැවසෙන්නේ නම් ගොදුරු සොය සොයා ගොස් මරා දමන්නේ නම් එම රට සුරක්ෂිත රටක් ලෙස හැඳින්විය නොහැකිය. රටේ ජීවත්වන නිරායුධ ජනයාට පාතාලයේ අනු අංකයක් නැති මූනිස්සම් ඉදිරිපිට දණින් වැටී අභය දානය ඉල්ලා සිටීමට සිදුවන්නේ නම් එම දේශය පතිරූප දේශයක් නොවන්නේය. මරණ බියෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබිය යුතුය. නීතියේ විධානය බල ගැන්වෙන පරිසරයක  පාතාලයේ මැරයන්ට මෙසේ රඟන්නට ඉඩ ලැබෙන්නේ නම් කිසියම් අඩුපාඩුවක් එතැන තිබිය යුතුය.

පාතාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය කුඩුය. එය මහ ධන නිධානයක් පහළ කරවන ආදායම් මාර්ගයකි. එම කුඩු ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමට ඒ ඒ ප්‍රදේශවල අයිතිය ඇති මැරයන් සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ සෑම නගරයක් මෙන්ම ගමක්ද මේ පාතාලයන්ගේ අණසකට යටත්ව තිබූ සමයක්ද වේ. ප්‍රාදේශීය අධිපතිත්වය වෙනුවෙන් ගත යුතු බිලි ප්‍රමාණය කොතෙක් වුවද එම බිලි ප්‍රමාණය ගැනීමට පාතාලයෝ මැළි නොවෙති.

පාතාලයන්ගේ අනෙක් ආදායම් මාර්ගය වන්නේ කප්පම් ගැනීමය. සමාජ ශාලා, ගණිකා නිවාස ඇතුළු අනීතික ව්‍යාපාර කරගෙන යන්නෝ ප්‍රදේශයේ පාතාලයන්ට කප්පම් ලබා දෙති. එමගින් තමන්ගේ  අනීතික ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑමට ඔවුහු සමත් වෙති. කප්පමෙහි රස වැටුණු විට වෙනත් ව්‍යාපාර ස්ථාන වලින්ද, පදික වෙළෙන්දාගෙන්ද  කප්පම් ගැනීමට  පාතාලයෝ යොමු වෙති. එම කප්පම් මුදල් නොගෙවන්නේ නම් ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට ඉඩ නොදෙති. රත්මලානේ සොයිසාපුර අවන්හලේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ ද එයයි.

කිසිවකුට ගැති නොවී, කිසිවකු ඉදිරියේ දණින් නොවැටී ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේ නිදහස තිබිය යුතුය. පාතාලයන්ගේ ගණන්කාරකම් නිසා ව්‍යාපාරික ප්‍රජාව මොනතරම් අපහසුතාවට පත්වන්නේද යන්න ඉකුත් සමයේ හංවැල්ල ප්‍රදේශයෙන්ද ඔප්පු විය.

පොලීසිය මේවා නොදැන සිටින්නේ යැයි සිතිය නොහැක. වාර්තා වූ බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වූයේ පාතාලයන්ගේ  ආරක්ෂකයා පොලිසියම බවය. මෙම පාතාලයන්ට ඉතා දියුණු දේශපාලන සබඳතා  තිබේ. බලයට පත්වන ඕනෑම රජයක් සමඟ සබඳතා ගොඩ නඟා ගැනීම ඔවුන්ට ඉතා පහසු දෙයකි. මෙම දේශපාලන සබඳතා නිසාම පාතාලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පොලිස් නිලධාරීහු මැළි වෙති. පාතාලයන්ට අවශ්‍ය නම් පොලිස් නිලධාරියා තූත්තුකුඩියට හෝ මාරු කර යැවිය හැකි බවට නිදසුන් ඕනෑ තරම්ය.

මෙම තත්ත්වය තේරුම් ගනිමින් පාතාලය අක්‍රිය කරවීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුය. ලැබෙන සෑම හෝඩුවාවක්ම හඹා යමින් අනීතික ක්‍රියා කරන්නවුන් නීතියේ රැහැනට හසු කළ යුතුය. රටක නීතියේ විධානය  බිඳ වැටෙන්නේ නම් එම රටට අත්වීමට ඊටත් එහා ගිය විනාශයක් නැත.



අදහස් (9)

පාතාලයට නැගිටින්න ඉඩ දෙන්න එපා

rambo02 Tuesday, 02 June 2020 07:42 AM

පාතාලයේ අලයි, මුලුයි තියෙන්නේ පාර්ලිමේන්තුවේ.. ඉතින් කොහොමද අදහස් ඉෂ්ට සිද්ද වෙන්නේ...?

:       0       266

RaveendraTuesday, 02 June 2020 08:29 AM

ඔබගේ අදහස් 100% නිවැරදිය. ජලය නොමැති නම් මිනිසාට ජීවත්වීමට නොහැකිය කිව්වා සේ " දියවන්නාව පාර්ලිමේන්තුව නමැති පටිටියේ අනුහසින් මේ සියලුම පාපකර්ම සිදුවෙන බව ළදරුවෙකු වුවත් දන්නා රහසකි.

:       0       155

wicky Tuesday, 02 June 2020 08:07 AM

මොවුන්ට අනුබල දෙන්නන්, මොවුන් ආරක්ෂා කරන්නන්, මොවුන්ගෙන් ඉතා පහත් වැඩ ගන්නන් කව්ද යන්න අපි හැමෝම දන්නවා. දැඩි දඬුවම් දිය යතු වන අතර, මර්දනය සඳහා විශේෂ කාර්ය බලකායට සම්පුර්ණ බලය පැවරිය යුතුයි...

:       0       92

Raveendra Tuesday, 02 June 2020 08:57 AM

අපගේ මෙම අදහස් වැඩි පිරිසක් අමානුෂික අදහස් ලෙස අර්ථකථනය කරනු ඇත. පාතාලය නමැති නිවට බියගුලු වීරයන් දුටු තැන වෙඩි තබා මරාදැමීම කළ යුතුයි. නොඑසේ නම් අල්ලාගෙන උපරිම තොරතුරු එක්රැස් කර ඇඩ්රස් මකාදැමීම කළ යුතුමයි. නීතිය නමැති මකුණු දැල ඉදිරියට ගෙන එ්මෙන් සිදුවන්නේ, අතේ පැලවෙන බොරු තර්ක විතර්ක ඉදිරියේ නීතිය නමැති මකුණු දැල කැඩී සුනුවිසුනුවී ගොස් මෙම පාපතරයන් සියලු චෝදනාවලින් නිදොස් කර මුදාහරින ලදී යන්නය. එබැවින් අප නැවත වරක් සඳහන් කරන්නේ " මෙම බියගුල්ලන්ව අමු අමුවේ මරා දැමීම කළ යුතුබවයි..".

:       0       1540

amila Tuesday, 02 June 2020 09:57 AM

මොවුන්ට අනුබල දෙන්නන්, මොවුන් ආරක්ෂා කරන්නන්, මොවුන්ගෙන් ඉතා පහත් වැඩ ගන්නන් කව්ද යන්න අපි හැමෝම දන්නවා. දැඩි දඬුවම් දිය යතු වන අතර, මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට සම්පුර්ණ බලය පැවරිය යුතුයි.

:       0       91

siri Tuesday, 02 June 2020 10:34 AM

"අපට දර දිය අදින අය හැර" කීවා නම් තමා නිවැරදි...

:       108       3

රසික Tuesday, 02 June 2020 11:19 AM

මෙතන විශේෂයක් තිබෙනවා. මේ අවස්ථා 3ම වෙඩි තියපු කෙනාත් වෙඩි කාපු කෙනාත් දෙන්නම කරන්නේ කුඩු ව්‍යාපාරයි.

:       0       59

Kasthuri Tuesday, 02 June 2020 11:04 PM

හිටපු හමුදාපති කෙනෙකුගේ පාතාල හමුදාවකුත් ඉන්නවා නේ. ඉතින් කොහොමද මේවා නවත්තන්නේ? පුහුණුව සහ ආයුධ සපයන්න කොතරම් පහසුද කියලා මේකෙන්ම පෙනෙනවා.

:       0       30

Rata Perata Wednesday, 03 June 2020 06:39 AM

'පාතාලය එපා' කියලා මේ කතුවරයා ලියන්නේ හරියට මොකුත් දන්නේ නැති බබෙක් වගේ... අඩුගානේ පාඨක අදහස් බලන්න. පාතාලේ ආරම්භය රටේ ඉන්න සහ හිටපු නායකයන් කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා. මේ විදියට දෙපැත්ත බේරාගෙන පත්තර රස්සාව කරනවට වැඩිය හොඳයි, ගිහින් කුලී වැඩක් කරගෙන ජීවත් වෙනවා.

:       0       50

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 327 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 943 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2455 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2695 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 795 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 318 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site