IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව

 

අම්බපාලියයැයි ඈ නම් ලද්දීය. ලෝකයේ ඉපැරණිම රැකියාව රන්කහවනු උපයන මාවත බවට පත්කරගත් අම්බපාලියන් උකුසු ඇස් ගෙන, මොනර වෙස්ගෙන අද ද මේ අහසත් පොළවත් අතර සරන්නීය. වැටෙන්නට දී වැටෙන අතකට, නිරුවත වහන් කළ දුහුල් සළුවට, ඈ මොනර කොළ උපයන්නීය: රූසිරි නම් මායාවෙන් වැසුණු දෙතිස් කුණු කය වළඳන්නට දී මහත්වරුන්ට.... නමවත් නොදන්න පිරිමින් සමග යහන්ගත වෙන්නට සැදී පැහැදුණු වෙසඟනයැයි නම් ලද ඈ මාවතක් මාවතක් පාසා වීදිවල මෙන්ම සමාජ ශාලා, සුපිරි ගණිකා නිවාසවල ද හිඳ ඉටුකරන්නේ එකම රාජකාරියකි.

ඒ ලෙයට මසට මිලක් කියමින් පිරිමි සිරුරක ගින්න නිවීමේ රාජකාරියයි. නමුදු ඔවුන්ද ගැහෙන සැලෙන සිතුවිලි උපදින හදවත් ඇති මනුෂ්‍ය කුලකයේම මිනිසුන් නොවේද? පැයට දෙකට ගැහැනු සිරුරු මිල කරන සංස්කෘතියේ නෙතට වහංවුණු කතාන්දරය එන්න කියවන්න අපත් එක්ක.

ගැහැනුන් ගණිකාවන් වෙන්නේ ඇයි? මේ වෙද්දී ශ්‍රී ලංකාවේ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් ගණිකා වෘත්තියේ යෙදෙන පසුබිමක් තුළ ගැහැනුන් ගණිකාවන් වෙන්නේ ඇයි යන්න පිළිබඳව සමාජයීය සාධක ඔස්සේ විමසන්නට සිත්වෙයි.

තරුණියන් මෙන්ම විවාහක දරුවන් සිටින කාන්තාවෝද ගණිකා වෘත්තියට පෙළඹෙති. ගැහැනුන් ගණිකා වෘත්තියට පෙළඹෙන්නට එක් හේතුවක් වන්නේ ඔවුන්ට තම අනන්‍යතාව තහවුරු කර දැක්වීම සඳහා උප්පැන්න සහතිකය හෝ ජාතික හැඳුනුම්පත නොමැතිවීම යන කාරණයයි. සමාජය කෙතරම් නවීකරණය වුවද විවිධ හේතු මත උප්පැන්නය හෝ හැඳුනුම්පත නැති පිරිස් අදටත් සිටිති.

තම අනන්‍යතාව තහවුරු කරන්නට අවශ්‍ය මෙකී සාධක තමා සන්තකයේ නොමැති වූ විට රැකියාවකට තබා අඩුම තරමේ මෙහෙකාර වෘත්තියටවත් පිවිසීම දුෂ්කර වන සමාජ වාතාවරණයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. එහෙත් අඩුම තරමේ දෙවේලක් හෝ කමින් ඔවුන්ද ජීවත් විය යුතුය. මිරිවැඬි සඟලක් නොපැළඳුවත් විලි වහගන්නට ඇඳුමක් පැළඳුමක් ගත යුතුය. තමන් රකින්නට, රැකවරණය සලසන්නට, කන්න අඳින්නට දෙන්නට තමන්ට යැයි කියා කවුරුත් නැති පසුබිමකදී සුළු රැකියාවක් හෝ කරන්නට අවශ්‍ය කිසිදු සුදුසුකමක් නැති පසුබිමකදී ජීවත් වෙන්නට පහසුම මග ලෙස සිරුර විකුණමින් ජීවත්වීමේ මාර්ගය තෝරා ගන්නට ඇතැම් කාන්තාවෝ පෙළඹෙති.

 

 

එමෙන්ම වැඩි කාලයක් හා ශ‍්‍රමයක් වැය නොකර විශාල වශයෙන් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට ගණිකා වෘත්තිය පත්වීමද කාන්තාවන් තම ජීවන වෘත්තිය ලෙස ගණිකා වෘත්තිය තෝරා ගැනීමට පාදකවී ඇති තවත් හේතුවකි.

විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ කාන්තාවන් මසකට උපයන මුදල හා සමාන මුදලක් එක් දිනක පැය කිහිපයක් ඇතුළත උපයා ගන්නට සුපිරි ගණිකා නිවාසවල සිට ගණිකා වෘත්තියේ යෙදෙන ගණිකාවෝ සමත් වෙති. මූල්‍යමය සාධක මිස තම ලිංගික තෘප්තිය ඔවුන්ගේ අපේක්‍ෂාව නොවේ. එහෙත් නැවත වරක් තමා සොයා පැමිණීමේ සිතුවිල්ල තමා හමුවට එන හැම ගැනුම්කරුවකුගේම සිත්හි ජනිත කරන්නට ගණිකාවන් උත්සාහ කරයි.

හැකි උපරිම ලෙස තම ගැනුම්කරුගේ ලිංගික ආශා සන්තර්පනය කරන්නට ඔවුන් වෙහෙසෙන්නේ එබැවිනි. ඒ තම පැවැත්ම තීරණය කරන සාධකය එය වන බැවිනි.

1977 විවෘත ආර්ථිකයට දොර කවුළු විවර වීමත් සමඟ මිනිසුන්ගේ අවශ්‍යතා වඩා සංකීර්ණ විය. ක‍්‍රමයෙන් සිදුවූ සමාජ පරිවර්තනයත් සමග සාරධර්ම පිරිහී ගිය සමාජයක මුදල් කේන්ද්‍රීය සාධකය බවට පත්විය. මුදල් උපයමින් සැප සම්පත් පසුපස හඹායාමේ නොනිත් ආශාවද ගැහැනුන් ගණිකාවන් බවට පත් කළ තවත් හේතුවකි.

එමෙන්ම ගමෙන් නගරයට සංක‍්‍රමණය වන තරුණියන් ඉහළ සමාජයට ප‍්‍රවේශ වීමේ පාලමක් ලෙසද, තවත් විටෙක ආගන්තුක සෙයිලමේ රැුවටිලිකාර මිනිසුන් හමුවේ රැුවැටී අතරමං වීම නිසාද තම රැකියාව ලෙස ගණිකා වෘත්තිය තෝරා ගත්තාය. පවුල් සංස්ථාව තුළ නිසි මව් පිය රැකවරණයක් හා මග පෙන්වීමක් නොමැති වීමද, තම පෙම්වතා වෙතින් පියා සහෝදරයා හෝ ළඟම ඥාතීන් වෙතින් අතවරයට ලක්වීමද තරුණියන් ගණිකා වෘත්තියට පෙළඹීමට තුඩු දෙන තවත් හේතුන් ය.

තවද දරිද්‍රතාව, සහෝදර සහෝදරියන්ට උගන්වමින් මව්පියන් ජීවත් කරවීමේ යුතුකම ඉටුකිරීම, සැමියා ඔත්පල වීම හෝ ඔහු නොසලකා හැරීම නිසා ඇතිවෙන අර්බුදය, දරුවන්ට ඉගැන්වීමේ අවශ්‍යතාව, පීඩාකාරී පවුල් පසුබිම් මත ජීවත්වන තරුණියන් සෙනෙහස සොයා ගොස් මග වරදා ගැනීම යන හේතු මතද ගණිකා වෘත්තියට පෙළඹුණු කාන්තාවෝ සිටිති.

මූල්‍යමය වාසියක් අපේක්‍ෂාවෙන් ලිංගිකත්වය අලෙවි කරන වෘත්තිය හෙවත් ගණිකා වෘත්තියටම අනන්‍ය වූ සංස්කෘතියක් ද නිර්මාණය වී තිබේ.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ගණිකා නිවාස බහුල ලෙස පවතී. ඇතැම් ගණිකාවන් පැමිණෙන  ඕනෑම ගැනුම්කරුවකුගේ අවශ්‍යතා සපුරා දෙන්නට ලෑස්ති වී සිටියත් සුපිරි මට්ටමින් පවත්වාගෙන යන ගණිකා නිවාසවල වෙසෙන ගණිකාවන්ගේ පහස ලබා ගත හැක්කේ විශ්වාසදායී එමෙන්ම සුපිරි මට්ටමේ ගැනුම්කරුවන්ට පමණි. එමෙන්ම ඒ සඳහා අයකරන මුදලද ඉහළ අගයක් ගන්නා අතර ගණිකාවන් සැපයීම, මුදල් අය කිරීම ආදී සියලූ කටයුතු සිදුවන්නේ විධිමත් ආකාරයටය.

 

 

නීතියේ රැහැනට කොටු නොවෙන ක‍්‍රමවේද ඔස්සේ ආරක්‍ෂිතව එම ගණිකා නිවාස පවත්වාගෙන යන අතර ගණිකා නිවාසයේ පාලනය ගෙනයන තැනැත්තා හෝ තැනැත්තියගේ සැලසුම් අනුව ගණිකාවන් සැපයීම, මුදල් අයකිරීම, අයකරන මුදලින් ප‍්‍රතිශතයක් ගණිකාවට ලබා දීම ආදිය තීරණය වෙයි.
වීදි ගණිකාවන් ලෙස සලකන සාමාන්‍ය මට්ටමේ ගණිකාවන්  ඕනෑම මට්ටමක පුද්ගලයකුට තම පහස ලබාදෙන අතර කොළඹ හතරවැනි හරස්වීදියේ නාටාමිවරුන් දවල් කාලයේ බඩු ප‍්‍රවාහනය සඳහා භාවිත කරන කරත්තය රාති‍්‍රයේදී ඇතැම් වීදි ගණිකාවන්ගේ සයන බවට පත්වෙයි.

දුටු පමණින් මේ ගණිකාවන්ය යන්න හඳුනා ගැනීම සඳහා ගණිකාවන්ටම අනන්‍ය වූ බාහිර සාධකද පවතී. ඇඳුම් අඳින ආකාරය හා විශේෂිත වර්ණ, මුහුණ හා හිසකෙස් හැඩ ගැන්වීමේ ක‍්‍රම විශේෂයෙන්ම තොල් ආලේපන සඳහා භාවිතා කරන වර්ණ, ලේන්සුව, කුඩය තබා ගන්නා ආකාරය අනුව ලබා දෙන සංඥා, පළඳින ඇතැම් ආභරණ විශේෂයෙන්ම පහසුවෙන්ම වීදි ගණිකාවන් හඳුනා ගැනීමට උපකාරීවන සාධක වෙයි.

තම කැමැත්ත අනුවම තම වෘත්තිය ලෙස ගණිකා වෘත්තිය තෝරා ගන්නා කාන්තාවන් ද සිටින්නීය. අසාමාන්‍ය කාමුක ආශා නිසා ඔවුන් එසේ ගණිකා වෘත්තිය තෝරා ගන්නා අතර එසේ ගණිකා වෘත්තිය තෝරා ගත් පිරිස 1%ක් තරම් අඩු ප‍්‍රතිශතයක් ගනී.

ගණිකා වෘත්තියේදී තමා වෙතට පැමිණෙන පුද්ගලයා තම අවශ්‍යතා තමාට රිසි පරිදි ඉටුකර ගැනීම සඳහා කවර ක‍්‍රමයක් අනුගමනය කළද, එය කොතෙක් පීඩාකාරී වුවද එය ඉවසා සිටින්නට ගණිකාවන්ට සිදුවෙයි. ඒ එකී ගනුදෙනුව අන්‍යෝන්‍ය විශ්වාසය ආදරය හා බැඳීම මත සිදුවෙන ගනුදෙනුවක් නොව හුදෙක් මුදල් මත සිදුවන වාණිජමය ගනුදෙනුවක් වන හෙයිනි.

සුපිරි ගණිකා නිවාසවල ලාංකික කාන්තාවන් මෙන්ම විදේශීය කාන්තාවෝද සේවය කරති. විශේෂයෙන්ම චීන, රුසියානු, තායි, පිලිපීන කාන්තාවන් ශ්‍රී ලංකාවේ ගණිකාවන් ලෙස සේවය කරයි. ඒ හැරුණු විට ඉන්දියානු හා බංග්ලාදේශ කාන්තාවන්ද ලංකාවේ සුපිරි ගණිකා නිවාසවල සේවයට එක්වී සිටින්නීය.
සුපිරි මට්ටමේ ගණිකා නිවාසවලට දැඩි ආරක්‍ෂාවන් යොදා ඇත. ගණිකා නිවාසයට පැමිණෙන්නන් දුර තියා හඳුනා ගන්නට, පැමිණෙන්නන් සම්බන්ධයෙන් සැකයක් මතු වුවහොත් නීතියෙන් ගැලවීම සඳහා පලා යන්නට රහස් මාර්ග හා ක‍්‍රම ඔවුන් කල්තියාම සැලසුම් කර ඇත. මේවායෙහි ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර ඒ පිළිබඳව නිරන්තරයෙන් නිරීක්‍ෂණ කටයුතු සිදුකෙරෙන අතර ගණිකා නිවාසය තුළට ඇතුළු වන්නන්ද එහි සිටින ආරක්‍ෂක නිලධාරීන්ගේ විශේෂ පරීක්‍ෂාවට ලක් කෙරේ.

 

 

සුපිරි ගණිකා නිවාසවල සිටින ගණිකාවන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 හා 35 අතරෙහි පසු වන්නන් වෙයි.

ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, මැති ඇමැතිවරුන්, ක‍්‍රීඩකයන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන්, උසස් පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් මෙම සුපිරි ගණිකා නිවාසවල නිත්‍ය සාමාජිකයන් බවට පත්ව ඇති වාතාවරණයක් දක්නට ලැබේ.

ඇතැම්විට මේ ගණිකාවන් එක් දිනකට පුද්ගලයන් 15 ක් 20ක් සමග යහන් ගත වෙයි. අද වෙද්දී නගරයෙන් පිටස්තර ග‍්‍රාමීය පෙදෙස්වල ඉදිව ඇති නවාතැන්පොළවලද ගණිකාවන් සැපයීම පුළුල් ලෙස සිදුකරයි. ඒ අලූත්ම ක‍්‍රමවේදයක් ඔස්සේය.

ගම්බද තරුණියෝ හා කතුන් මෙම නවාතැන්පොළවල්වල ගණිකාවෝ ලෙස කටයුතු කරති. නවාතැන්පොල ආදායම් අඩු නිසා ඔවුන්ගේ එක් පරමාර්ථයක් වන්නේ එය ගොඩනැගීමට යෙදවූ ප‍්‍රාග්ධනය නැවත උපයා ගැනීමය. ඒ සඳහා ඔවුහු මෙම ගණිකා ව්‍යාපාර පවත්වති.  තම සේවය ලබාදී තමාට හිමි මුදල ලබා ගැනීමෙන් පසු ඇය නැවත තම සුපුරුදු ජීවිතයට යයි. මෙවැනි ගණිකාවන්ගේ ප‍්‍රවාහනය සැපයීමට එම නවාතැන්පොළ හා සම්බන්ධ ත‍්‍රීවිල් රියදුරන් හා ගණිකාවන් සැපයීමේ බ්‍රෝකර්වරුද සිටින අතර ඔවුන්ට ද එමගින් මුදලක් ලැබේ.

නගරබද රැුකියා කරන ඇතැම් තරුණියෝ තම දිවා ආහාර විවේකය සඳහා ලැබෙන පැයක කාලය ගණිකා වෘත්තිය සඳහා යොදවමින් අමතර ආදායමක් උපයා ගන්නට පුරුදු වී සිටිති. එමෙන්ම උදේට කාර්යාල ප‍්‍රවාහන සේවා වාහනයකින් පැමිණ දවස පුරා ගණිකා නිවාසයක සේවය කර සවසට කාර්යාල නිමාවෙන වේලාවට එම වාහනයේම නිවෙස්වලට යන ගණිකාවෝද සිටිති. තම දියණියගේ, පෙම්වතියගේ, බිරියගේ රැුකියාව මෙය බව ඔවුන්ගේ පවුල්වල උදවිය පවා නොදනිති.

සුපිරි ගණිකා නිවාසවල පැකේජ ක‍්‍රමයටද ගණිකාවන්ගේ සේවය ලබාගත හැකිය. පැයකට රුපියල් හාරදහස, පන්දහස, හය දහස, පහළොස් දහස දක්වා වූ මිල ගණන්වලට මේ පැකේජ ක‍්‍රමය යටතේ ගණිකාවන් විකිණෙයි. සම්පූර්ණ රාති‍්‍රයක් ඇය හා ගත කිරීමට නම් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කළ යුතුය.

බොහෝ සුපිරි ගණිකා නිවාසවල විදේශීය ගණිකාවන් සඳහා පැයකට අයකරන මුදල රුපියල් හත් දහසේ සිට දහසය දහස දක්වා මුදලක් වෙයි.
එමෙන්ම නිත්‍ය ගනුදෙනුකරුවන් බවට පත්ව ඇති ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇතැම් සුපිරි ගණිකා නිවාසවල විශේෂ පැකේජ ක‍්‍රමද ක‍්‍රියාත්මක වෙයි. මේ ඇතැම් පැකේජ රුපියල් ලක්‍ෂ පහේ සිට ලක්‍ෂ පහළොව දක්වා වූ පැකේජය.

එමෙන්ම වෙළඳපොළේ මිල අධික රෙඞ් ලේබල්, ෂිවාස් රීගල්, බකාඩි, ටිකිලා, වොඞ්කා, බ්ලැක් ලේබල් ආදී මත්පැන් වර්ගද මෙම සුපිරි ගණිකා නිවාසවලදී ගනුදෙනුකරුවන්ට මිලදීගත හැකි අතර ඇතැම්විට මේවා තීරුබදු පවා නොගෙවමින් හොරෙන් ගෙන්වූ ඒවාය.
පැකේජ ක‍්‍රමයට ගණිකා සේවය ලබා ගනිද්දී ගනුදෙනුකරුවන් කිහිප දෙනකුට එක් ගණිකාවක් ලබාගත හැකිය. අවශ්‍ය සියලූ පහසුකම්ද ලබාගන්නා පැකේජය අනුව සැපයේ.
 

(ගණිකා වෘත්තියේ තවත් තොරතුරු ලබන සතියට)

 

සටහන සංජීවිකා සමරතුංග

 



අදහස් (0)

නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව

උපේක්ෂා Monday, 29 April 2013 12:43 PM

කසුන්ගේ කතාව හරි.(නදී)

:       0       0

විමල් Sunday, 28 April 2013 05:17 PM

අතරමැදියන් කාන්තාව සූරාකනවා. නරකද නිතිගත කළොත්? (නි)

:       0       0

වෙනුර Friday, 03 May 2013 01:14 PM

මේ අය‍ගේ නොම්මර තිබුණොත් අපිට පුළුවන් වැඩි විස්තර කතා කරලා හොද ලිපියක් හදලා එවන්න (නි)

:       0       0

නිමල් Friday, 03 May 2013 01:16 PM

සමහරුන් උපතින්ම ලිංගිකත්වයට දැඩි ආසාවක් දක්වනවා.සමහරු නැතිකමට,මුදල වැඩිකමට ආසාවට මේකට යොමුවෙනවා. මා දන්නා හැටියට කිසිම ආගමික නායකයෙක් මෙය වැරදියි කිවුවත්, නවතා දමන ලෙසට බල කලේ නැහැ.මෙය කවදාවත් කාටවත් නවත්වන්න පුළුවන් වෙන එකකුත් නැහැ. කළ යුතු එකම දෙය ලෙඩ රෝග බෝවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. (නි)

:       0       0

සේරම් Friday, 10 May 2013 07:45 PM

මේවා නීති ගත කරපු රටවල් ගොඩක් තියෙනවා. ඒ රටවල මෙම ගණිකාවන් වෛද්‍යවරුන්ගෙන් ගත් සහතික ළඟ තබා ගෙන ඉන්නේ. පාරිභෝගිකයාට ලෙඩ රෝග නොවැලදෙන්න. ඒ රටවල රජයෙන් නීති ගත කරලා තියෙන්නේ.(නදී)

:       0       0

ගමගේ Monday, 29 April 2013 08:30 AM

මෙවැනි ලිපි පළකිරීමෙන් සමාජය එවැනි දේ සදහා යොමුවීම වළක්වන්න බැහැනේ. අපේ සාරධර්ම රැකගන්න නීති සකස් කිරීම දේශපාලකයන්ගේ යුතුකමක් (නි)

:       0       0

බසීර් Sunday, 28 April 2013 07:03 PM

ඈත අතීතයේ ඉඳලම තිබුණ දෙයකුත් නම්, කාටවත් ප්‍රශ්ණයකුත් නෙවෙයි නම්, ආර්ථිකයටත් හොඳ නම් ඇයි එය "නීතියෙන් තහනම්" කරලා තියෙන්නෙ? මගේ දැනුමේ හැටියට මෙය පෙරදිග අනුමත රැකියාවක්. ඉන්දියාව ඇසුරෙන් බිහිවුනු කිසිදු ආගමක තහනම් කරලා නැහැ. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 29 April 2013 08:51 AM

බසීර්, මම හිතන්නේ ඔයා ඔය දේ අනුමත කරනවා නම් ඔය රස්සාව ඔයාගේ ගෙදර සහෝදර සහෝදරියන්ටත් කරන්න දෙන්නකෝ. එතකොට ඔයාගේ ආර්ථිකයටත් හොදයිනේ. සමාජය පිරිහීමට ප්‍රධාන හේතුවක් වන ගණිකා වෘත්තිය නීතිගත කරන්න යැයි ඉල්ලමින් ඉන්න ඔයාලා වගේ මිනිස්සු නිසා තමයි මේ ගැටලුව මේ තරම්ම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මධුසංඛ Friday, 03 May 2013 07:44 AM

හොද ලිපියක් (නි)

:       0       0

ජෝයි Sunday, 28 April 2013 10:55 AM

කොහොමද වැඩේ...? පුරාජේරුකාරයෝ අපි උතුම් යැයි කියන්නේ මේවගෙන්ද? (නි)

:       0       0

නිත්ති Saturday, 04 May 2013 12:38 PM

මේ ලිපියේ තියෙන කරුණු වර්තමානයේ සිදුවෙමින් පවතින දේවල්. නමුත් මෙවැනි දේවල් බටහිර පංතියේ ඉන්න අයට ගැලපුනාට අපේ ලංකාවට ඔබින දෙයක්නම් නෙමේ. ඒ නිසා මෙවෙනි දේවල් ලංකාවෙන් සම්පුර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. මේ වගේ සමාජ විරෝදී ක්‍රියාවන්ට උඩගෙඩි දෙන අයට විරුද්දව රටේ තියෙන නීති දැඩිකරන්නත් ඕනේ.(නදී)

:       0       0

චන්ද්‍ර Wednesday, 29 May 2013 06:48 AM

සුරාව සුදුව සහ ස්ත්‍රිය පරාබවයට මාර්ග.මේවගෙන් සමාජයට වෙන හානියේ සීමාවක් නැහැ.මේවා නවත්වනවට වැඩ්ය කුඩා කාලයේ සිටම පෞරුෂ වර්ධනය කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලොත් වටිනවා. (නි)

:       0       0

සමන් (මුලතිව්) Sunday, 28 April 2013 11:04 AM

කාලින වශයෙන් ඉතාම වැදගත් ලිපියක්. ඉදිරි‍යට තවත් මෙවැනි ලිපි මාලාවක් ඉදිරිපත් කරන්න (නි)

:       0       0

නිලන්ත Monday, 29 April 2013 09:24 AM

කැසිනෝ වලටත් වෙනම ප්‍රෙදේශයක් වෙන්කරන්න යන එකේ දාමුද කැළණිය පැත්තෙන් වෙනම ප්‍රදේශයක්.(නදී)

:       0       0

මාධවී Wednesday, 29 May 2013 06:58 AM

මුල්‍යමය සාධක මිස ලිංගික තෘප්තිය නොවේ.අපරාදේ මෝඩ සල්ලලයන්ගේ සල්ලි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 30 April 2013 09:53 AM

මුරුගන්, බසීර් කියලා තියෙනවා" ඈත අතීතයේ ඉඳලම තිබුණ දෙයකුත් නම්, කාටවත් ප්‍රශ්ණයකුත් නෙවෙයි නම්, ආර්ථිකයටත් හොඳ නම් ඇයි එය "නීතියෙන් තහනම්" කරලා තියෙන්නෙ? " ඇත අතීතයේ ඉදල තිබුන පලියට මේක හොද රැකියාවක්ද? අනික කාටද මේකෙන් හොදක් වෙන්නේ? මුරුගන් ඔය සමාජ විද්‍යාව ගැන මට කියන්න කලින් ඔයා කියවන්න. සමාජ විද්‍යාවට අනිවාර්යයෙන් ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම අවශ්‍යයි. ඒ සදහා තමයි විවාහය වැනි සමාජ සම්මත ක්‍රම තියෙන්නේ. සමාජ විද්‍යාවේ කොතනද කියල තියෙන්නේ ගණිකාවන් මගින් එය සපුරා ගැනීම සුදුසුයි කියලා (නි)

:       0       0

මීනා Thursday, 09 May 2013 08:59 PM

මේකෙන් පෞද්ගලිකව හා සමාජයට සිදුවෙන හානිදායක දේවල් පිළිබදවත් කිවුවොත් හොදයි. විශේෂයෙන්ම සමාජ රෝග පිළිබදව.(සත්‍ය දත්ත හා සංඛ්‍යා ලේඛන අනුව). (නි)

:       0       0

ෂහීඩ් Thursday, 02 May 2013 08:32 AM

බසීර්, ඔයා ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයෙක් වෙන්න බැහැ. කරුණාකරලා නම වෙනස් කරගන්න (නි)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 30 April 2013 09:58 AM

මුරුගන්, ලිංගික අවශ්‍යතවයන් ගණිකාවන් මගින් සපුරා ගත යුතුයි කියලා සමාජ විද්‍යාවේ නැහැ. ගණිකා ඇසුර නිසා මුලින්ම කඩා වැටෙන්නේ පවුල් සංස්ථාව. පවුල් සංස්ථාව විනාශ වීම යනු සමාජ පිරිහීමක ඇරඹුමයි. කරුණාකර ඔබතුමා සමාජ විද්‍යාව හොදින් කියවා බලන්න. සමාජයට මෙහි ඇති අහිතකර බව එහි හොදින් පැහැදිලි කර තියෙනවා. (නි)

:       0       0

මුරුගන් Monday, 29 April 2013 03:11 PM

කසුන්, සමාජ විද්‍යාව කියලා විෂයක් තියනවා කියලා දන්නවද? අහලවත් තියනවද? අඩුම ගානේ ඔබ කියවීමට පුරුදු කෙනෙක් නම් ටිකක් කියවලා බලන්න මේ දේවල් විද්‍යාත්මකව විස්තර කරන විදිය. බසීර් මහතා හෝ මේ ලිපියේ කියන්නේ මේවා කියන්නේ අනුමත කරන්න නොවේ. (නි)

:       0       0

නීල් Wednesday, 01 May 2013 01:23 PM

පිරිමි ගණිකාවන්ටත් තැනක් දෙන්න ඕනෑ නේද ? (නි)

:       0       0

ප්‍රියන්ක Friday, 31 May 2013 07:18 PM

අල්විස් ගේ අදහස හොදයි (නි)

:       0       0

ප්‍රසාත් Sunday, 28 April 2013 03:21 PM

කරුණාකර තව විස්තර දෙන්න. (නි)

:       0       0

චමින්ද නානායක්කාර Sunday, 05 May 2013 08:22 AM

ලංකාව සුවිශේෂී සංස්කෘතියකට හිමිකම් කියන රටක්. ලෝකේ හැම දෙයක්ම මේකට ගැලපෙන්නේ නැහැ. වෙඩින් එකෙන් පස්සේ රෑට හනිමුන් යන බව හැමෝම දන්නවා. ඒත් කවුද ඕක හැමොටම පෙනෙන්න එළිපිට කරන්නේ. ගෙරි මස් කෑවට බෙල්ලේ එල්ලගෙන කෑමේ සිරිතක් අපි ළඟ නැහැනේ. නේ ද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 April 2013 06:13 PM

ඉතාම හොඳ ලිපියක් (නි)

:       0       0

අල්විස් Sunday, 28 April 2013 07:46 AM

මගේ අදහස නම් මෙවැනි දේවල් දැකීමෙන් සමහර දෙනා මෙයට ඇබ්බැහි වීමට බොහෝ ඉඩ තියෙන බවයි. මේ ගැන නොදන්නා බොහෝ අය ඉන්නවා. මෙය නොදැන සිටීම සමාජයට බොහොම හිතකර වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 143 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 112 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 198 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 203 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 670 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 930 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site