IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේශපාලන අර්බුදයේ ගිනිසිළු

කස්තුරි

[email protected]

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුණු තුන එකිනෙකට ගරුකිරීම රටක ප්‍රගමනයට අත්‍යවශ්‍යය. මේ වනවිට එක් ප්‍රශ්නයක් අරඹයා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බරපතළ තත්ත්වයක් උද්ගතව තිබේ. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින අර්බුදය විසඳීමේ වගකීම අධිකරණය මත පැටවී තිබේ. ඒ නිසා අධිකරණය ද ඊට මැදිහත් වී තිබේ. මේ ගැටලුකාරී තත්ත්වය නිසා රට තව තවත් අගාධයකට ඇද වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉකුත් 26 වැනි දා රාත්‍රියේ හිටපු අගමැතිවරයා තනතුරෙන් ඉවත් කර අලුත් අගමැතිවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

අලුත් දේශපාලන තත්ත්වය හේතුවෙන් ව්‍යාකූලතාවයක් හට ගැනුණු තැන ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ වැඩි ගණනක විරෝධය පළවිය. ජනාධිපතිවරයාගේ පියවරට සහාය දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය පමණි. ඒ අනුව අධිකරණ ක්‍රියාදාමය ගැනීම එම පක්‍ෂ කටයුතු කළේය. අධිකරණ ක්‍රියාවලිය නිම නොවූවද ඉකුත් 14 වැනි දින යළිත් පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායක කරු ජයසූරිය පියවර ගත්තේය. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධය මැද කතානායක කරු ජයසූරිය අගමැති මහින්ද රාජපක්‍ෂට සහ ඇමැති මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට කටයුතු කළේය. ගාලගෝට්ටි නීතිතර්ක විතර්ක හා බාධා මැද විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව පසුව කතානායකවරයා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. එම තීන්දුව කතානායකවරයා බදාදා පස්වරුවේම ජනාධිපතිවරයා වෙත යැව්වේය.

අවසානයේදී ජනාධිපතිවරයාට කළ යුතුව තිබුණේ ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමය. ඒ හැර වෙනත් යමක් ඔහුට නැතැයි දේශපාලන විචාරකයෝ තර්ක මතු කළෝය. එහෙත් විධායක ජනාධිපතිවරයා තවත් කුමන හෝ දේශපාලන තුරුම්පුවක් ඉදිරියේදී ගනු ඇතැයි ද ඔවුහු සැක පහළ කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විදේශ රටවල අවධානය මුල සිටම පැවතියේය. බටහිර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවට සමීප ඉන්දියාව වැනි රටවල් ද අභ්‍යන්තරික වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් වෙමින් සිටින බව දේශපාලන විචාරකයෝ පවසති. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරු ද ඒ පිළිබඳව ඉකුත් දා විවිධ ප්‍රකාශ සිදුකළහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගැනීම පිළිබඳවද විදේශ රටවල් විශේෂ උනන්දුවක් දක්වා තිබිණ.

ඉකුත් සඳුදා සහ අඟහරුවාදා යන දින දෙකේම විදෙස් ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ, මාධ්‍යවේදීහු සහ තානාපති අංශ නිලධාරීහු කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියහ. එපමණක් නොව පාර්ලිමේන්තු රැස්වීම පැවැති ඉකුත් බදාදා දිනයේදීද විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු රැසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව ඇමරිකාව ද සඳහන් කර තිබිණ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ පිළිබඳව සඳහන් කළේය.

එපමණකින් නොනැවතුණ ඇමරිකාව අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළේය. පාර්ලිමේන්තුව කල් තැබුණ අවස්ථාවේදී ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණේ “පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසය”. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේ මෙසේය.

“දේශපාලන අර්බුදය උග්‍රකරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ විශ්වාසදායී හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරුකළ යුතු බව අපගේ විශ්වාසයයි”.

මේ අතර ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත එලියට් එංගල්ගේ මූලිකත්වයෙන් යුත් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවා තිබිණ. “ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින අර්බුදය පිළිබඳව සිය අවධානය යොමු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ අධිපත්‍යයට ගරුකරන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව නව විදේශ කටයුතු ඇමැති ආචාර්ය සරත් අමුණුගම ඉකුත් දා කොළඹ තානාපති නිලධාරීන් දැනුම්වත් කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට ආරාධනා කළ තානාපතිවරුන්ගෙන් කිහිප දෙනෙකුම පැමිණ සිටියේ නැත.

ප්‍රංශය, ඇමරිකාව, ඇතුළු බටහිර ප්‍රධාන පෙළේ රටවල් ද ඇතුළු රටවල් 8ක තානාපති නිලධාරීන් එම සාකච්ඡාව වර්ජනය කළ අතර කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් එම සාකච්ඡාවට යවා තිබුණේ කනිෂ්ඨ නිලධාරියෙක් බවද විදේශ ජනමාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණේය. ඒ පිළිබඳව දේශපාලන මතධාරීන් සඳහන් කර තිබුණේ නව ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා විදේශ රටවල් එවැනි පියවරක් ගෙන තිබූ බවය.

පාර්ලිමේන්තුව විසුරුවාහැර මහා මැතිවරණයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශාල මත ගැටුමක පැටලී සිටියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමට පැය කිහිපයකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ජනාධිපති කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. ඉක්මනටම පැමිණ ජනාධිපතිවරයා හමුවන්නැයි එම දුරකතන පණිවුඩයෙන් කියැවිණ. ඒ අනුව සිකුරාදා රාත්‍රී අටට පමණ මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයාගේ නිලනිවසට ගියේය. එහි යනවිට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සහ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද ජනාධිපතිවරයා සමඟ සිටියේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්නුවේය. ඒ අවස්ථාවේ ඔහු පුදුමයට පත්වූවද ජනාධිපතිවරයා ඉදිරියේ අදහස් ප්‍රකාශ නොකිරීමට වගබලා ගත්තේය.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ නාමයෝජනා කැඳවීම ඡන්දය පැවැත්වෙන දිනය ද සඳහන් වී තිබුණේය. දේශප්‍රිය දින වකවානු ගණන් හදා බැලූ අතර ඒවා යොදා තිබූ ආකාරයේ ගැටලුවක් නොතිබූ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව මහින්ද දේශප්‍රිය දුරකතනයෙන් මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන්ට විශේෂ පණිවුඩය දැනුම් දුන්නේය. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඒ වනවිට යාපනයේ සිටි අතර ජනාධිපති නීතිඥ නලින් අබේසේකර කොළඹ සිටියේය. මහින්ද දේශප්‍රියගේ පණිවුඩය ඇසීමෙන් ඔවුහු කලබලයට පත් වූහ.

පසුවදා එනම්, සෙනසුරාදා කොමිසම රැස්වූ අවස්ථාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර මත ගැටුමක් හට ගත්තේය. අවසානයේදී කොමිසම තීරණය කළේ මැතිවරණ කටයුතු සඳහා සහභාගී නොවීමටය. ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට බලය පැවරීමට තීන්දු වූ අතර ජනාධිපතිවරයාගේ මැතිවරණය කැඳවීමේ ලියවිල්ල පදනම් කර ගනිමින් ඔහුටම ඡන්ද කටයුතු කරගෙන යෑමට තීන්දුවිය. එහෙත් එම බලය පැවරීමේ ලියවිල්ල පවා මහාචාර්ය රත්නජීවන් හූල් අත්සන් නොතැබීය. අනෙක් සාමාජිකයන් දෙදෙනා පමණක් අත්සන් තැබූ අතර මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමේ කටයුතු මගහැර සිටීමට එය උපක්‍රමයක් කර ගත්තේය.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කල්තියාම අනුමාන කර තිබිණ. එහෙත් කොමිසමේ සාමාජික හූල් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ඇතැයි කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දැන සිටියේ නැත. මහාචාර්ය හූල් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පුරවැසියකු ලෙස පමණක් නොව මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ද ලෙසය. දේශපාලන මෙන්ම නීති විශාරදයන්ද පෙන්වා දී තිබුණේ එය තරමක් සුවිශේෂ තත්ත්වයක් බවය.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන අවස්ථාව දැකබලා ගැනීමට ඉකුත් සඳුදා සහ අඟහරුවාදා පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු බහුතරයක්ම ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබුණ අතර ඒ පිළිබඳව නීතිඥයෙක් තවත් නීතිඥයෙකුගෙන් කරුණු විමසීමක් කළේය. “අද මුළු දියවන්නාවෙම කට්ටිය මෙතනට ඇවිල්ලා” යැයි ඔහු සිනා සෙමින් පිළිතුරු දුන්නේය.

මේ අතර ඉකුත් සඳුදා පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටි හිටපු ඇමැති ගයන්ත කරුණාතිලක අසුනක වාඩි වී සිටියේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමීන් දයාශ්‍රී උසාවියට පැමිණිය ද ඔහුට අසුන් ගැනීමට අසුනක් තිබුණේ නැත. ඔහු ගයන්ත කරුණාතිලකගේ කණට කොඳුරා යමක් කීවේය. ඔහු කීවේ තමන්ට අසුනක් අවශ්‍ය බවය. ගයන්ත නිහතමානීව ගෝමීන්ට අසුන පිරිනැමුවේය. එහෙත් ගෝමීන් දයාශ්‍රී අසුනෙක් නැඟිට විටින් විට එළියට ගියේය. එළියට යන හැම අවස්ථාවකම අසල හිටගෙන සිටි ගයන්ත කරුණාතිලක අසුන් ගත්තේය. නැවත ගෝමීන් පැමිණි විට ඔහුට ආසනය දුන්නේය. අවස්ථා කිහිපයකදීම එලෙස කටයුතු කළ ගයන්තට එය තරමක අපහසු දෙයක් වන්නට වූයේය.

ඒ නිසා ඔහු අසුන සම්පූර්ණයෙන්ම අතහැර උසාවි පරිශ්‍රයෙන් ඉවත්ව ගියේය. මේ අතර උසාවි පරිශ්‍රයට පැමිණ සිටි එජාප ආධාරකරුවෝ පිරිසක් උදය ගම්මන්පිලට විරෝධය පෑහ. මේ අතර වාසුදේව නානායක්කාරට ද එජාප ආධාරකරුවෝ හූ කියන්නට වූහ. කේන්තියට පත් වාසුදේව පරුෂවචනයෙන් ඔවුන්ට බැණ වැදී ඉවත්ව ගියේය.
ඉකුත් 14වෙනිදා පෙරවරු 8.30ට කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමට පක්ෂ නියෝජිතයෝ සියලු දෙනාම පැමිණ සිටියහ. “   ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවාදැයි” ජවිපෙ නායකයා විමසීය.

ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවසීය. අනතුරුව තම පක්ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බවද පක්ෂ නායක රැස්වීමේදී අනුර දිසානායක දැනුම් දුන්නේය. එදින සභාවේ න්‍යාය පත්‍රය තීරණය කිරීම මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සිදුකළ යුතු බවද තීරණය විය. මේ අතර පක්ෂ නායක රැස්වීම අවසන්වී එළියට එන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ඇමතිවරයෙක් අනුරට කියා සිටියේ “ඔයාලට පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවල විශ්වාසභංගය ගේන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා” ලෙසය. 

14වෙනි දින පෙරවරුවේ විජිත හේරත්ගේ සහ අනුර දිසානායකගේ අත්සනින් විශ්වාසභංගය කතානායකවරයාට බාරදෙනු ලැබීය. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු සභාව ගාලගෝට්ටියක් වූ අතර පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත වූ නිසා ජවිපෙ නායකයා විසින් විශ්වාසභංගය කියවීය. අනතුරුව එය විවාදයට ගත යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු එයට ඉඩ නොදුන්හ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිහිටුවාගත් ආණ්ඩුවට බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලබාගත නොහැකි බව හැඟී යන බව කතානායකවරයා ප්‍රකාශයට පත්කළේය. මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් සම්මත කළ අතර වැඩිදුර කටයුතු සඳහා මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් යොදා විශ්වාසභංගය තහවුරු කළේය. විශේෂත්වය වූයේ මහින්ද රාජපක්ෂට සහය පළකළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාසභංගයට අත්සන් කිරීමය. 

14 වෙනිදා රාත්‍රියේ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට කතානායක කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කතානායකවරයාට ජවිපෙ නායකයාට ලබාදිය යුතු පණිවිඩයක් ගැන කීමට ලැබුණ ඇමතුමකි. “ජනාධිපතිතුමා මට කතා කළා. හරිම සැහැල්ලුවෙන් කතා කළේ. පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න ඕනෑ කිව්වා. අනුරටත් කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.” කතානායකවරයා විජිතට කීය. විජිත හේරත් අනුරට ඇමතුමක් ලබාදුන් අතර අනුර ඒ මොහොතේ සිටියේ විශේෂ රූපවාහිනී වැඩසටහනකය. මේ බව විජිත හේරත් විසින් ටිල්වින් සිල්වාටද දැනුම් දුන්නේය. මේ අතර රාත්‍රියේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට පිළිතුරු ලිපියක් යොමු කොට තිබිණි. එයින් කියැවුණේ අගමැති පත්කිරීමට කතානායකවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බව ඇතුළු තවත් කරුණු කිහිපයක්ය.

මෙම ලිපියෙන් අනතුරුව ජවිපෙ නායකයෝ ජනාධිපතිවරයාගේ රැස්වීමට සහභාගි නොවීමට තීරණය කළහ. “දැන් කුමන්ත්‍රණයේ ඉතිරි පියවරත් පටන් අරගෙන තිබෙන්නේ. දැන් රටේ නීති, ව්‍යවස්ථා, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මෛත්‍රීපාල සිරිසේනට අදාළ නැහැ. එයාගේ කතා අහන්න ගිහින් වැඩක් නැහැ. උවමනාව හොඳමටම පැහැදිලියි.” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ නායකයා කියා සිටියේය.



අදහස් (1)

දේශපාලන අර්බුදයේ ගිනිසිළු

saman Friday, 16 November 2018 06:17 AM

ගෙදර ගියොත් අඹු නසී , මග හිටියොත් තෝ නසී, කිව්වලු.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 105 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 194 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 337 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 64 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 516 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 279 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site