IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුප්පතාගේ සතුරා -මරුවා යතුරු පැදිය

සමාජ ප්‍රශ්න ලෙස අපේ සමාජය දිගු කලක් තිස්සේ දකින්නේ දුප්පත්කම, අපරාධ, සිඟාකෑම, ගණිකා වෘත්තිය යනාදියයි. එහෙත් සංවර්ධනයේ නාමයෙන් කෙරෙන අසීමාන්තික වාහන ආනයනයෙන්ද රියැදුරන්ගේ විනයක් නැති කමින්ද අලු‍ත් සමාජ ප්‍රශ්න උද්ගතව තිබේ. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද ඒ පිළිබඳව රටට කරුණු කියන්නේ වෛද්‍ය සිසිර කෝදාගොඩය. ඔහු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

දැනට ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80කි. ඉන් ලක්ෂ 40ක්ම යතුරු පැදිය. ඒ ලක්ෂ 40න් ලක්ෂ 35ක් පමණම ධාවනය වෙයි. එය ඉතා ඉහළ මට්ටමකි. ලංකාවට ගෙන්වන යතුරුපැදිවල සේම කාර්වලද  අපේ රටට නොගැළපෙන ලක්ෂණ බොහෝ පවතී. බොහෝ යතුරුපැදිවල කණ්ණාඩිය තිබෙන්නේ රියැදුරුගේ ඇස් මට්ටමට පහළිනි. එවිට රියැදුරු කණ්ණාඩිය දෙස බැලිය යුත්තේ හිස පහත් කරගෙනය. ඒ සඳහා ගතවන කාලයේදී අනතුරක් විය හැකිය. ස්වීඩනය, නෝර්වේ වැනි රටවල භාවිතයට නිපදවූ ඇතැම් කාර් දැන් ලංකාවටද ගෙන්වයි. ඒ වාහනවලද යතුරුපැදිවල මෙන් පැති කණ්ණාඩිවල ප්‍රශ්න තිබේ. රියැදුරුට පාරේ දෙපැත්ත මැනවින් දර්ශනය නොවෙයි. ඒ පැති කණ්ණාඩි අපේ රටේ ජනතාවට ගැළපෙන පරිදි වෙනස් කරගැනීමද අපහසුය.

දැනට අපේ රටට ගෙන්වන බස්වලද බරපතළ ප්‍රශ්න තිබේ. බස් ලෙස වැඩි වශයෙන් ගෙන්වන්නේ ලොරි චැසියට බොඩි ගැසූ බස්ය. බස් ලෙස පෙනුනද ඒවා ඇත්තෙන්ම ලොරිය. ඇතැම් බස්වල මගීන්ට එහා මෙහා යාමට ඉඩ නැත. ඇතැම් බස්වල එක පැත්තක ආසන තුනේ ආසන පේළියක් අනෙක් පැත්තේ ආසන දෙකේ ආසන පේළියක් තිබේ. මැදින් තිබෙන්නේ දෙදෙනකුට මාරුවිය නොහැකි තරම් ඉඩකි. ආසන අතර පරතරයද ප්‍රමාණවත් නොවේ. එසේම ආසන පළලින්ද අඩු කර තිබේ. දෙදෙනකුට වාඩිවීමට තිබෙන ආසනයේ දෙදෙනකුට වාඩිවිය නොහැකිය. කෙළවරේ වාඩිවෙන පුද්ගලයාගේ තට්ටම් දෙකෙන් එකක් තිබෙන්නේ ආසනයෙන් එළියේය. වයසක පුද්ගලයන්ට හා අසනීපයකින් පෙළෙන පුද්ගලයන්ට බසයට නැගීමටද අපහසුය. බසයට නැඟීමට තිබෙන පඩි අතර උස ඉතා ඉහළය. එවැනි බස්වලට නැඟීමට සිදුවී තිබෙන්නේ ඉණිමගක නගින විලසිනි.

මේ තත්ත්වය නැති කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බස් පමණක් ධාවනයට යෙදවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තියක් සකසා එය නීතිගත කිරීමට දැන් අපි කටයුතු කරමින් සිටිමු. ඒ සඳහා වන ගැසට් නිවේදනය ළඟදීම නිකුත්වීමට නියමිතය. එය නීතිගත වූ පසුව ඉහත දෝෂ සහිත බස් මින් ඉදිරියට ධාවනයට එක් කළ නොහැකිය. මගී ප්‍රවාහනය සඳහා අවසර පත්‍රය නිකුත් කරද්දී මින් ඉදිරියට අවසර දෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බස්වලට පමණකි. එවැනි බස් 2000ක් ගෙන්වීමට සැළසුම් කර තිබෙන අතර දැනටත් එවැනි බස් 10ක් රජයෙන් ගෙන්වා ලංගමට දී අන්තර් පළාත් අතර ධාවනය වෙයි. ඉන්දියාවෙන් ගෙන්වූ ඒ වොල්වෝ බස්වලට මගීන්ගෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ධාවනය කෙරෙන බස්වලට ප්‍රමිතියක් නීතිගත කළේ මාර්ග ආරක්ෂාව තහවුරු කර පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු හෙයිනි. පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකර මාර්ග ආරක්ෂාව තහවුරු කළ නොහැකිය. දැනට අප රටේ අවුරුද්දකට පදිකයෝ 770ක් පමණ මිය යති. එයට බලපා තිබෙන හේතු කීපයකි. රියැදුරන්ගේ නොසැලකිල්ල එකකි. නීති නොපිළිපැදීම තවත් හේතුවකි. පදිකයන් අතින්ම වන වැරැදි තවත් හේතුවකි.

පදිකයන් එතරම් පිරිසක් මිය යාමට හේතු සොයා ගැනීමට අපි සමීක්ෂණයක් කළෙමු. මොනරාගල, යාපනය, මඩකළපුව වැනි දිස්ත්‍රික්කවල පදික මරණ ඉහළ ගොස් තිබෙන අතර ඊට හේතු වී තිබෙන්නේ ඒ දිස්ත්‍රික්කවල පාපැදි භාවිතය ඉහළ මට්ටමක පැවැතීමය. රටේ බොහෝ ප්‍රදේශවල ඇතැම්විට ප්‍රධාන නගරවල පවා පදික වේදිකා නැත. ඒ නිසා පදිකයාට ගමන් කිරීමට සිදු වන්නේ මහ පාරේය. එය පදිකයා අනතුරේ හෙළීමකි. මාර්ග සංඥා සහ සලකුණු සෑම තැනකම නිසි ලෙස ස්ථාපිත කර නොතිබීමද බරපතළ කාරණයකි. බස් නැවතුම් පොළවල් ළඟම පදිකමාරු ඇති කිරීම (සුදු ඉරි ගැසීම) ඊට එක් උදාහරණයකි. එසේ වූ විට බස් නවත්වන්නේ සුදු ඉරි මතය. එසේ වූ විට පදිකයන් අනතුරක වැටීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළය. එවැනි තත්ත්වයන් නැති කිරීමට අවශ්‍ය පියවර යෝජිත ජාතික සුරක්ෂිතතා කොමිසමෙන් ගැනීමට නියමිතය.

රිය අනතුරු සම්බන්ධයෙන් සලකා බලනවිට නිල වශයෙන් එළිදකින සංඛ්‍යා දත්ත වැරැදිය. පොලිසියට යම් යම් සීමා මත අනතුරු සම්බන්ධ තොරතුරු ලබාගත හැකිය. රෝහල් පොලිසිය, මරණ පරීක්ෂණ හෙවත් අධිකරණ වෛද්‍යවරයා හරහා පොලිසියට තොරතුරු වාර්තා වෙයි. ඒ ලෙස පොලිසියට වාර්තා වන්නේ මරණ හා අනතුරු සම්බන්ධව සියලු‍ තොරතුරු නොවේ. එහෙත් රිය අනතුරුවලට ලක්ව රක්ෂණ වන්දි ලබාගන්නා සංඛ්‍යාව අවුරුද්දකට අට ලක්ෂ පනස් දහසක් (850000) නව ලක්ෂයත් අතර වෙයි. ඒ වන්දි ගෙවන හෝ ලබාගන්නා සංඛ්‍යාව පමණකි. සියලු‍ අනතුරුවලට වන්දි නොගෙවන හෙයින් ඇත්ත රිය අනතුරු සංඛ්‍යාව ලක්ෂ නවයටත් අධික බව ඉන් අනාවරණය වන සත්‍යයයි. සාමාන්‍ය අනතුරුවලට ලක්වන අය රෝහල් ගතවී මුදල් ලබා ගනිති. ඒ කිසිවක් පොලිසියට වාර්තා නොවෙයි. අනතුරු ලක්ෂ නවයකට වැඩි ගණනක් වන්නේ මාර්ග නීති කඩ කිරීම හේතුවෙනි. ඉන් අනාවරණය වන්නේ මාර්ග නීති කැඩීම අතින් අපේ රට ඉතා ඉදිරියෙන් සිටින බවය.

රිය අනතුරුවලින් මියයන අයගෙන් සියයට 75ක්ම දුප්පත්ය. ඔවුහු අඩු ආදායම්ලාභීයෝය. ස්වයං රැකියා කරන්නෝය.

රෝහල් පොලිසිය හා අධිකරණය මරණ පරීක්ෂණ ඔස්සේ පොලිසියට වාර්තා වන්නේ අවුරුද්දකට වන රිය අනතුරුවලින් 37,000ක් තරම් අඩු සංඛ්‍යාවකි. අප ඉහතදී සඳහන් කළේ අවුරුද්දකට රිය අනතුරු ලක්ෂ නවයක් පමණ වන බවය. ඒ ලක්ෂ නවයෙන් පොලිසියට වාර්තා වන්නේ මාරක අනතුරු පමණකි. අනෙක් සියල්ල රක්ෂණ වන්දි හේතුවෙන් යටපත් වෙයි. පොලිසියට වාර්තා වන අනතුරු 37,000න් තුන් දහස් එක සියයක් (3100) පමණ දෙනා ජීවිතක්ෂයට පත් වෙති. මීට වසර 20කට පමණ පෙර වාහන අනතුරු නිසා පැය තුනකට වරක් එක් අයකු මියගියත් දැන් එය පැය තුනකට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව තවත් 12 දෙනෙක් පමණ ආබාධිත වෙති. රිය අනතුරුවලින් මිය යන තුන් දෙනකුගෙන් එක් අයෙක් යතුරුපැදිකරුවෙකි. දෙවැනි තැන හිමිවී තිබුණේ ත්‍රිරෝද රටවලටය. ත්‍රිරෝද අනතුරුවලින් මියගිය පිරිස දෙවැනි වූයේ යතුරුපැදි අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවටය. එහෙත් පසුගිය 2018 වසරේදී ඒ දෙවැනි තැන හිමිවූයේ පදිකයන්ටය. එය සංඛ්‍යාත්මකව 770කි.

ලෝකයේ අනාරක්ෂිතම වාහන ලෙස හඳුන්වන්නේ යතුරුපැදි හා ත්‍රිරෝද රථය. යතුරුපැදි අනතුරුවලින් බහුතරයක් මිය යන්නේ මොළයට වන හානිවලිනි. එසේ මිය යන බහුතරය වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයෝය. ඒ මරණවලට බලපාන්නේ හිස් වැසුම්ය. ලක්ෂ දෙක තුනකට යතුරු පැදියක් මිලදී ගත්තත් පාවිච්චි කරන්නේ රුපියල් දෙතුන් සියයක් වටිනා බාල හිස්වැසුම්ය. ප්‍රමිතියකින් තොර ඒ හිස්වැසුම් පැළඳගෙන සිටියදී අනතුරක් වුවහොත් ඇතැම්විට ඒ හිස්වැසුමේ ගාන්චුව බෙල්ලේ හිරවෙයි. නැතිනම් හෙල්මටය ගැලවී විසිවී මොළයට හානි සිදුවෙයි. මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ ඒ නිසාය. එහෙත් අප දිගින් දිගටම කළ ප්‍රචාරණ කටයුතු නිසා දැන් බොහෝ අය ප්‍රමිතියෙන් යුතු හිස්වැසුම් භාවිතයට පෙළඹී සිටිති. ඒ අනුව 2018 සිට ඒ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ටික ටික අඩුවෙමින් පැවැතීම අපට සතුටු විය හැකි කාරණයකි. 2018 ජනවාරියේ සිට අගෝස්තු 30 වැනිදා සහ 2019 ජනවාරියේ සිට අගෝස්තු 30 වැනිදා අතර කාලය සසඳා බලනවිට ඒ මරණ සංඛ්‍යාව 29කින් අඩුවී තිබේ. එය සුළු සංඛ්‍යාවක් වුවත් අපට සැනසිය හැකි කාරණයකි.

අවුරුදු 20ත් 30ත් අතර තරුණයන් ජීවිතවලින් සමුගැනීම බරපතළ කාරණයකි. රටේ සංවර්ධනයට ඒ වයසේ තරුණයන්ට දිය හැකි දායකත්වය සුවිශාලය. ඒ තරුණයන් මිය යාමෙන් රටේ ආර්ථිකයට තරුණ ශ්‍රමය නැතිවීමෙන් හානිවන අතර දරුවන් ඒ තත්ත්වයට ඇති දැඩිකොට පෝෂණය කළ මවුපියන් මානසිකව කඩා වැටීමෙන් ඔවුහු රෝගී වෙති. එසේම ඔවුනගේ ශ්‍රම ඵලදායකත්වය ද පහළ යයි. එහි අවසාන බලපෑම එල්ලවන්නේද රටේ ආර්ථිකයටය. දරුවන් අහිමිවීමෙන් මවුපියන්ට රැකවරණය නැතිවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නේ සමාජ ප්‍රශ්නය. ඒ සමාජ ප්‍රශ්නවලට පිළියම් යෙදීමට රජයටද හැකියාවක් නැති බව දැන් ප්‍රදර්ශනය වෙයි.

යතුරු පැදිවලින් වැටී මොළයට හානි වන පුද්ගලයන්ට සාමාන්‍ය ශල්‍යකර්මයක් කිරීමටත් අවම වශයෙන් රුපියල් ලක්ෂ 15ක් පමණ වැය වෙයි. සංකීර්ණ සැත්කමකට ලක්ෂ 35ක් 40ක් පමණ වැයවෙයි. දහසකට එවැනි සැත්කම් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා වන වියදම රුපියල් කෝටි ගණනකි. විශාල වියදමක් දරා සැත්කම් කළ පසුත් ඔහු මිය ගියහොත් හෝ දිගු කාලීන අබ්බගාතයකු වුවහොත් ඒ වියදම්ද ඵල රහිතය. එසේ වීම රජයට සේම පවුලටද විශාල අර්බුදයකි. රිය අනතුරුවලින් මිය යන සෑම දහ දෙනෙකුගෙන්ම හත් දෙනෙක් (7/10) අඩු ආදායම්ලාභී පියවරු වෙති. දුප්පත් පවුල්වල පියවරුන් මෙසේ රිය අනතුරුවලින් අකාලයේ මරුමුවට පත්වීම නිසා සෑම වසරකදීම පවුල් 1800ත් 2000ත් අතර ගණනක් අසරණ වෙයි.

පියා අකාලයේ මිය ගිය පසු ඒ දරුවන් ජීවත් කරවීමේ වගකීම පැටවෙන්නේ මවගේ කර මතය. දරුවන් පෝෂණය කිරීම සඳහා ඇය යම් රැකියාවක නිරතවීමට ගියහොත් පියාගේ රැකවරණය අහිමි වූ ඒ දරුවන්ට මවගේ රැකවරණය ද අහිමි වෙයි. එවිට ඒ දරුවෝ විවිධ අපයෝජනවලට සේම අපචාරවලටද ගොදුරු වෙති. ඇතැම් දරුවෝ මත්ද්‍රව්‍ය භාවිතයටත් එතැනින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් යොමුවෙති. ඇතැම්විට මවද එවැනි කටයුතුවලට පෙළඹෙයි. අවසානයේ මවට සේම දරුවන්ටද බන්ධනාගාරගතවීමට සිදුවෙයි.

එහි තවත් පැත්තක්ද තිබේ. දරුවන් ජීවත් කරවීමේ අරමුණින්ම ඇතැම්විට මව ගණිකා වෘත්තියට යොමුවෙයි. ඇයගේ ඇසුර පතා එන ඇතැමුන්ට ඇයගේ දැරියන්ද බිලිවිය හැකිය. සැමියා නැති වැන්දඹු කාන්තාවන් බිලීබා ගැනීමට උත්සාහ දැරීම අපේ සමාජයේ සාමාන්‍ය හා සුලභ පිළිවෙතක්ව තිබේ. මව සේම දියණිවරු ද ගණිකා වෘත්තියට පිවිසීමෙන් ඒ පවුල් සම්පූර්ණයෙන්ම විසිරෙයි. නීතියට අනුව ගණිකා වෘත්තියේ යෙදීම අපරාධයකි. ඇය ඒ තත්ත්වයට ඇද දැමීමද අපරාධයක් බව මගේ පිළිගැනීමයි. ඊට වගකිවයුත්තේ සමාජය සහ රජයයි. එහෙත් රජයටද කළ හැකි දෙයක් නැති වෙයි. කළ හැකි දෙයක් නැතැයි අහක බලාගැනීම රජයකට සුදුසු නොවේ. මේවා බරපතළ සමාජ ප්‍රශ්න ලෙස සැලකිය යුතුය. දුප්පත් පවුල් 2000ක් වසරක් පාසා පියාගේ රැකවරණය නොමැතිව අන්ත අසරණවීම බරපතළ ඛේදවාචකයකි. තිස් අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධයෙන්වත් සමාජයට මෙවැනි විනාශයක් සිදුවී නැත. එහෙයින් රිය අනතුරුවලින් පියවරුන් මියයාම හේතුවෙන් අසරණ වන පවුල් සම්බන්ධයෙන් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් මීට වඩා අවධානය යොමු කළ යුතුය. මෙයට ක්ෂණික පිළියම් නැති බව අපිදු පිළිගනිමු. එහෙත් දිගු හා මධ්‍යකාලීන පිළියම් තිබෙන බව අපි දනිමු.

ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීහු මේ සම්බන්ධයෙන් සංවේදීව සිටිති. එහෙත් ඔවුනට ප්‍රතිපත්ති සැකසීමේ බලයක් නැත. ඒ බලය ඇත්තේ මැති ඇමැතිවරුන් අතය. නිලධාරි තන්ත්‍රයට ඉහළින් දේශපාලකයන් සිටින නිසා මේ සමාජ ප්‍රශ්න හමුවේ සංවේදී නිලධාරීහුද ගොළු වී සිටිති. මෙහි අනෙක් පුදුමය වන්නේ අපේ රටේ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාඥයන් පවා මේවා සමාජ ප්‍රශ්න ලෙස තේරුම් නොගැනීමය. අවබෝධ කර නොගැනීමය. ඇත්තෙන්ම එය පුදුමයකට වඩා ඛේදවාචකයකි. සමාජ විද්‍යාඥයින් මේවා සමාජ ප්‍රශ්න ලෙස තේරුම් ගතහොත් මේ ප්‍රශ්න ඇතිවීමට හේතු වී තිබෙන රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රබල මතවාදයක් සමාජයෙහි ඇති කළ හැකිය. එය එසේ වුවහොත් ප්‍රතිපත්ති සම්පාදකයන් ද මේ දෙස දැනට වඩා ඇස් හැර බැලීමට පෙළඹෙන බව මගේ විශ්වාසයයි.

සාකච්ඡා සටහන
ගුණසිංහ හේරත්



අදහස් (15)

දුප්පතාගේ සතුරා -මරුවා යතුරු පැදිය

dhanush Wednesday, 16 October 2019 04:55 AM

ධාවනය වන වාහන වලින් අඩක්ම යතුරුපැදි නම්, යතුරුපැදි සඳහා ප්‍රමුකථා මංතීරු, වෙනමම අඩුවියදම් පටු මාර්ග නොතනවන්නේ ඇයි ?

:       67       129

saminda Wednesday, 16 October 2019 05:53 AM

හොද අදහස් ටිකක් රජයේ ඇමතිලට පෙනේවිද කියලා තමයි සැක

:       11       130

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 16 October 2019 07:21 AM

මේවගේ ලිපියක් කියවා තේරුම් ගැනීමට බැරි ඇමතිවරු බොහෝය. නිලදාරීන්ට කල යුතු දේ කිරීමට ඇමතිවරු ඉඩ නොදෙති.

:       1       92

Ajith Dasanayake Wednesday, 16 October 2019 10:39 AM

මුලින්ම මැති ඇමතිවරුන්ටත් සිවිල් ජනතාවට වගේ පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන්න.මාර්ග තදබදයක රහ දැනෙන්න ඕන. එතකොට ඉබේම රට දියුණු වෙයි.

:       0       122

චිත්‍රානන්දThursday, 17 October 2019 12:08 AM

අපි හැමෝම හරිම පටු මානසිකත්වයකින් කටයුතු කරන්නේ.ඇයි අපි මැති ඇමතිවරුන්ට දොස් කියන්නේ.මෙතන වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ යතුරු පැදි ගැන.ඉතින් අපි තනි තනිවම අපේ වැරදි හදාගන්නේ නැතිව අනිත් අයට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ.

:       82       12

ajith dasanayakeMonday, 21 October 2019 04:19 AM

චිත්‍රානන්ද මහත්මයා අපි තනිතනිව වැරදි හදාගත යුතුය. මම එකඟ වෙනවා. මම කියන්නේ ලංකාවේ මාර්ග තදබදයට එක හේතුවක් තමයි මේ අැමැතිවරුන්ගේ ගමන.. එයාලට රටේ ඇවිදින්න වෙනම නීතියක් ඇයි?

:       0       37

lion kumara Wednesday, 16 October 2019 01:42 PM

ඉත‌ා හොඳ අදහසකි. මෙය ලංකාව තුළ ක්‍රියාත්මක වුණොත් හොඳයි.

:       1       15

Bind Nine Wednesday, 16 October 2019 07:12 PM

යතුරු පැදි අනතුරු වලට මූලික හේතුව බාල යතුරු පැදි... බී.එම්.ඩබ්ලිව්., හොන්ඩා වැනි ඉන්දියන් නොවන ලොව උසස්ම වර්ගයේ ආරක්‍ෂිත යතුරු පැදි මහජනයාට තහනම් කර ඇති ලොව එකම රට ශ්‍රී ලංකාවයි. මුලින්ම ඉන්දියන් යතුරුපැදි තහනම් කර ජනතාවට පරිගණක මගින් පාලනය වන යතුරු පැදියක් ධාවනයට අවසර දියයුතුයි. නමුත් ඒවා වෙන්නේ නැත. මන්ද ඉන්දියන් බයිසිකල් කම්පැනිකාරයන් එක්ක ඩීල්ය. ඇත්තටම ලක්ෂ 3කට යන ඉන්දියන් බයිසිකලයක සැබෑ මිල රුපියල් 75,000ක් පමණය. ජනතාවට අවසර දුන්නොත් ලක්ෂ 3 හමාරේ සිට කෝටි එකහමාර දක්වා පරිගණක මගින් පාලනය වන හදිසි බ්රේක් කිරීමකදී පාලනයෙන් ගිලිහී නොයන ඉතාමත් ආරක්‍ෂිත මහාමාර්ගයේ ධාවනය සඳහා නිපද වූ ජර්මන්, ඉටැලියන්, ජැපනීස් බයිසිකල් ඕනෑතරම් වෙළඳපලේ ඇත. මාර්ග තදබදයටද එය කදිම විසඳුමකි. මන්ද බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් පදින්නෙකු බී.එම්.ඩබ්ලිව් එක හා සමාන තාක්ෂණයෙන් පහසුකම් වලින් යුතු යතුරුපැදියක් ධාවනයට පැකිලෙන්නේ නැත. උදාහරණයකට යුරෝපයේ, ඇමෙරිකාවේ BMW මෝටර් රථ හිමිකරුවන් බොහොමයකට BMW යතුරුපැදිද ඇත.

:       1       65

lalithm Thursday, 17 October 2019 03:08 AM

යතුරු පැදි අනතුරකින් අකර්මන්‍ය වන ජීවිත හා තුවාලකරුවන් සඳහා රජය කරන වියදම් බලපුවාම යතුරු පැදි පාලනය කලයුතු බව පැහැදිලියි. හොඳම දෙය නම් හැකිතාක් දුම්රිය ව්‍යාප්ත කිරීම. සැහැල්ලු දුම්රිය මාර්ග වටරවුම් ක්‍රමයට ජාලගත කලොත් තදබදය නැතිවී රට නිකන්ම දියුණු මාවතකට එනවා නියතයි. අධිවේගී මාර්ග හොඳ ධනවතුන්ට විතරක් බව අපේ මිනිසුන්ට තේරෙන්නේ නැති එක කණගාටුවක්. චන්ද කාලෙ ඇහෙන දෙයක් තමා අපි අධිවේගී මාර්ග හැදුව කියන එක. ඒත් අපි දුම්රිය මාර්ග පද්ධතියක් හැදුව කියන්න හෝ හදනවා කියන්න පුළුවන් වෙන අපේක්ෂකයෙක් පහලවුන දාට අපි දියුණු ජාතියක් වෙනවා. දැනට තියෙන දුම්රිය මාර්ග ආදී වාසීන්ට මිස නවීන ලෝකයට ගැලපෙන්නේ නැහැ. දෙයාකාරයකින්. දුම්රිය සේවකයින්ගේ මානසිකත්වයෙන් සහ දුම්රියේ සීමිත ව්‍යාප්තිය නිසාවෙන්.

:       0       10

Ajithkumar Friday, 18 October 2019 04:49 AM

ඉතා වටිනා කරුණු ගණනාවක් අන්තර්ගත ‍මෙවන් ලිපි අද ‍ලෝකයට වඩාත් සුදුසුය. අවාසානව නම් ‍‍මෙය කියවා ‍තේරුම්‍‍ ගෙන පිළිපදින අය අඩුය. මෙවන් කරුණු කියවන අය ‍නෙමෙයි අනතුරුවලට භාජනය වන්‍‍නේ. ‍යතුරුපැදි, බස් රථ, කුලී රථ සහ ‍ලොරි පදවන අයට ‍මෙවන් ලිපි කියවීමට අවස්ථාව අඩුය. ඒ ව‍ගේම කියවන්නට ඔවුන් අකැමතිය. පාසල් විෂයමාලාවට ඇතුලත් කළත් කමක් නැත. සමාජ සංවර්ධනය සීඝ්‍ර මානව පරිහානියට යන වර්තමාන‍යේ, ඒවා ‍වෙනස් කරන යාන්ත්‍රණ සහ වැඩසටහන්ද ඒ හා සමානව සීඝ්‍රගාමීව ගමන් කළ යුතුය. විනය බලහත්කාර‍යෙන් ‍හෝ ඉ‍ගෙන්විය යුතුය. තවද ‍මෙමවන ලිපි සිංහල කියවන්නට ‍නොහැකි අයට ‍දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පළ‍වේ නම් ඉතා ‍හොඳය.

:       0       19

nandana Friday, 18 October 2019 10:37 AM

වාහන සංඛ්‍යාව ලක්ෂ 80 ක් වුවත්, රටේ මාර්ග පද්ධතියේ විශාල වැඩිවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ, ඊට හේතුව නම් එවැනි දේ සඳහා රටේ මුදල් නොමැති වීමයි. මුදල් හිඟ වීම නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඇනහිට ඇති බවට පුවත් පළවුණා. අද සිදුවන බොහෝ රිය අනතුරු වලට මුලික හේතුව නම් අධික වේගය සහ මත්පැන් බාවිතයයි. මේ කරුණු දෙකම රියදුරාට පාලනය කල හැකි දේවල් බැවින්, මේ රිය අනතුරු බොහොමයකට වගකිව යුත්තේ වාහන පදවන රියදුරන්මයි.

:       0       2

Arjuna Samarasinghe Saturday, 19 October 2019 10:59 AM

අාදායම් බලපත්‍රය ගන්න විට එ් සමග මෙම ලිපියේ කොපියක් සෑම දෙනාටම ලබාදීම අනතුරු රාශියක් අවම කිරීමට අනිවාර්යයෙන්ම හේතුවේ. හැකි ඉක්මණින් එය කිරීමට උත්සාහ ගන්න. දැනුවත් වීම වටී...

:       0       7

Sisili Bisili Sunday, 20 October 2019 12:20 PM

ඉතාම අගෙයි. බොහොම ස්තුතියි මේ කරුණු මතුකළාට...

:       0       0

Kumar Tuesday, 22 October 2019 01:47 AM

මම කුඩා කලෙත් යතුරුපැදියට කිව්වේ මග මරුවා කියලයි. ඒ දවස්වල දුප්පත් අයට මග මරුවෝ ගන්න වත්කමක් තිබුනේ නැහැ. දැන් ලංකාවේ ගම්බද ළමයි පාසල් යන්නෙත් යතුරු පැදිවලින්. බොහෝ අවස්ථාවල යතුරු පැදි අනතුරට ලක්වන්නෙ පදින කෙනාගෙ නොසැලකිල්ලෙන්. මම ඉන්න රටේත් යතුරපැදි අනතුරු සිදුවෙන්න මාර්ග නීති පිළිපදින්නේ නැති නිසයි.

:       0       2

Nivantha Muthukumarana Tuesday, 29 October 2019 02:50 AM

ඉතාම හොද ලිපියක් ලෙස ම මෙය දකිමි. සමාජය දැනුවත් කෙරීම අවශ්‍යයි. සංවාද අවශ්‍යයි. මගේ ප්‍රසාදය පුදකරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 113 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 92 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 186 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 376 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 381 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 120 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site