IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිවරණය: ගෝඨාභය: ඇමෙරිකාව

ආණ්ඩුවෙන් ඉවතට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ කණ්ඩායම දෙදරා යාමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශපාලන විචාරකයෝ උපකල්පනය කරමින් සිටිති. දහසය දෙනා අතර මතවාද හතර පහක් තිබෙන හෙයින් හා යම් යම් වැදගත් දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී පොදු එකඟතාවකට ඒමට එම කණ්ඩායමට නොහැකි වීමත් නිසා අර්බුදය වඩාත් උත්සන්න වෙමින් තිබෙන බව ද පැවසේ. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ තවත් කිහිපදෙනෙකුගේ වුවමනාව වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හරහා නැවත රාජපක්ෂ පිලට එකතුවීමටය. එහෙත් තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ හිතවාදීව කටයුතු කරන බව ද පැවසෙන අතර, තවත් අදහසක් වී ඇත්තේ තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ශ්‍රීලනිපයේ කටයුතු කළ යුතු බවටය.

මේ අතර දහසයේ කණ්ඩායම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉකුත් අඟහරුවාදා හමුවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණ ද, හදිසියේම එය කල් දැමීමට සිදුවූයේය. ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවතුන් කිහිපදෙනකුගේ මැදිහත්වීම හා බලපෑම මත එවැන්නක් සිදුවූ බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දහසයේ කණ්ඩායමට දන්වා ඇත්තේ ගෝඨාභය හමුවීමට පෙර බැසිල් හමුවන ලෙසය. “හිටපු ජනාධිපතිවරයා කිව්වා මුලින් බැසිල් හමුවෙන්න කියලා. ඒ සඳහා අපි ඉදිරියේදී දිනයක් වෙන් කර ගන්නවා” යැයි දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් සඳහන් කර තිබිණ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම මන්ත්‍රී පිරිස හා තමා අතර සාකච්ඡාවක් නොපැවැත්වෙන බවය. “දහසයේ කණ්ඩායමට දේශපාලන ස්ථාවරභාවයක් නැහැ. මහින්ද ළඟට යන්නද, මෛත්‍රී ළඟට නැවත යන්නද කියලා මේ අය හිත හිතා ඉන්නවා. ගෝඨාභය හරහා මහින්ද ළඟට යන්න සැලසුමක් තිබුණා. ඒකත් කඩාකප්පල් වුණා. දැන් මේ අයට සිද්ධ වෙලා තියෙන්නේ “මග හිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී” වගේ තත්ත්වයක්” යැයි ද ශ්‍රීලනිප ඇමැතිවරයෙක් පවසා තිබිණ.

කෙසේ වෙතත් ගෝඨාභයට වැඩි පක්ෂපාතිත්වයක් දක්වන චන්දිම වීරක්කොඩි සහ ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න ඉකුත් අඟහරුවාදා පෞද්ගලිකව ගොස් ගෝඨාභය රාජපක්ෂ හමු වූ බව වාර්තා විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ක්‍රියාකාරී වෘත්තීය සමිති ගොඩනැගීමට එම පක්ෂය කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව ගොවි වෘත්තීය සමිතියක් පිහිටුවීම ඉකුත් දා සිදු කෙරුණු අතර, එම අවස්ථාවට බැසිල්, චමල්, මහින්ද යාපා, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ මෙන්ම පළාත් සභාවල හිටපු කෘෂිකර්ම ඇමැතිවරු ද පැමිණ සිටියහ. ගොවි සමිතිය පිහිටවූයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීය. එහිදී එස්.එම්. චන්ද්‍රසේන ගොවි සමිතියේ සභාපති ධුරයට පත් කර ගත්තේය. රටේ පවතින කාලීන ගැටලු පිළිබඳව හා ගොවීන්ගේ සුබසාධනය වෙනුවෙන් විරෝධතා හා ඉල්ලීම් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා එහිදී පොරොන්දු වූයේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහි පළමු රැස්වීම පසුගියදා මාතර දී පැවැත්විණි. උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම රැස්වීම හිතූතරම් සාර්ථක නොවූ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සමහර අයගේ අදහස වී තිබේ. එම නිසාම එහි දෙවැනි පියවර පැවැත්වීම කල්දමන්නට ඔවුන්ට සිදු වූයේය. කෙසේ වෙතත් ආරංචිමාර්ග සඳහන් කළේ “හෘද සාක්ෂියේ නිදහස” මැයෙන් වන එම රැස්වීම නුදුරු දිනකදී මාතලේ නගරයේ පැවැත්වීමට නියමිත බවය.

පාර්ලිමේන්තු සැසිවාරය අලුතින් ආරම්භ කෙරෙන විට කාරක සභා සාමාජිකයන්ද පත්කර නැවත අලුත් කළ යුතුය. ආණ්ඩුව තීන්දු කර තිබුණේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ අනෙකුත් කමිටුවලට කලින් පත්වී සිටි සාමාජිකයන්ම පත් කිරීමටය. එහෙත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊට කොක්කක් ඇද්දේය. “රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරය මට දෙන්න, ඒක මට කරන්න පුළුවන්” යැයි බන්දුල ලසන්ත අලගියවන්නට කීවේය. ලසන්ත අලගියවන්න ශිෂ්‍යයකු අවධියේ බන්දුල ගුණවර්ධනගේ ගෝලයෙකි. එහෙත් ගෝලයා මෙවර ගුරුතුමාට එකඟ වූයේ නැත. “රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස වැඩ කළේ මම. නැවතත් ඒ ධුරය මටම දෙන්න ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා” යැයි ලසන්ත අලගියවන්නට ගුරුසිත නොරිදෙන පරිද්දෙන් ප්‍රකාශ කළේය. මේ අතර බන්දුල හිතවතුන් පිරිසක් සමග කියා ඇත්තේ “ඡන්දයකට ගියා නම් කොහොමටත් අපට ඡන්ද අඩුයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලසන්තට ඡන්දය දේවි, ඒ නිසා මම අදහස අයින්කර ගත්තා” කියාය.

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ද පුද්ගලයන්ගෙන් සහ ඔවුන්ගේ සමාගම්වලින් මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරු හා ලබා නොගත් බව කියන මන්ත්‍රීවරුන් දිගින් දිගටම කතානායකවරයාට කරුණු දක්වමින් සිටිති. මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට නිසි පියවරක් ගන්නා ලෙසටය. පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට කතානායකවරයාගේ අවධානය යොමු කර තිබෙන බවය. ඒ අනුව තවත් දින කිහිපයක් යනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට කතානායකවරයා කටයුතු කරනු ඇතැයි ද පැවසේ.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ආණ්ඩුවේ වැඩි පිරිසකගේ එකඟතාව පළවී තිබේ.

එහෙත් ජනාධිපතිවරයාත්, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාත් ඇතුළු ආණ්ඩුවේ පිරිසකගේ මතය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය ද නව ඡන්ද ක්‍රමය යටතේ ම පැවැත්වීම වඩාත් හොඳ බවය. “සමහරු කියනවා අලුත් ඡන්ද ක්‍රමය හොඳ නැහැ කියලා. ඒක සත්‍යම නොවෙයි. මෙවර ජනතාව ඡන්දය භාවිත කළ ආකාරය නිසා ගැටළුසහගත තත්ත්වය වැඩිවුණා. එහෙම නැතුව පැරණි සමානුපාතික ක්‍රමයට වඩා අලුත් ඡන්ද ක්‍රමය හොඳයි. ජනතාවට කරදරයක් නැහැ. සල්ලි නාස්ති වෙන්නෙත් නැහැ.” යැයි ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි. ඒ අනුව විෂය භාර ඇමැතිවරයා ලෙස ෆයිසර් මුස්තාපා අලුත් ඡන්ද ක්‍රමය වෙනුවෙන් තවමත් පෙනී සිටින බවක් පෙන්නුම් කරයි. එහෙත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරුන් දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු බහුතරයකගේ මතය වී ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය ද පැරණි ක්‍රමයටම පැවැත්වීම වඩාත් යහපත් වන බවය.

කෙසේ වුවද නොබෝදා පැවැති පළාත් පාලන මැතිවරණය අවිචාරවත් වූ හැටි හැම පක්ෂයක්ම දනී. තරග නොකළ අයත් පත් කෙරෙන අද පවතින ක්‍රමයට එරෙහිව මුළු රටම නැගී සිටියේය. ඒ ඡන්ද සියය දෙසීය ගත් අයත් මන්ත්‍රී වරම් ලැබූ නිසාය.

කෙසේ වෙතත් මේ වනවිට 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. ඒ අනුව අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්විය යුතුය. එහෙත් අලුත් ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම කල්දැමීමට හෝ අලුත් පනත සංශෝධනය හෝ අවලංගු කිරීම හෝ සිදුවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුවය. අලුත් ඡන්ද ක්‍රමයට අදාළ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම හිතාමතාම ආණ්ඩුව මඟහැර තිබේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සියලු පක්ෂ නායකයන්ටත් තද ලියුමක් යවමින් සඳහන් කර තිබුණේ මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක් බවය.

එම නිසා තවදුරටත් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බව ද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා එම ලිපියෙන් අවධාරණ කර තිබිණ. ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ දැනට විසුරුවා හැර තිබෙන සහ ලබන මාසයේදී නිල කාලය නිමා වන පළාත් සභාවලට අදාළ මැතිවරණය දෙසැම්බර් හෝ ජනවාරි මාසයේදී පැවැත්වෙනු ඇති බවය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඉකුත් දා පැවැති හමුව සම්බන්ධයෙන් විවිධ කතා මාධ්‍ය ඔස්සේ ඉකුත් දා පළ වී තිබිණ. ඒ අතර ප්‍රබල ලෙසම පළවී තිබුණු මතය වූයේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරයා පැවසූ බව කියන කතාවක්ය. දේශපාලන කරලියේ ඉතා උණුසුම් ලෙස එම කතාව පැතිර ගොස් තිබිණ. “ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල සහායක් නොලැබෙන බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් හිටපු ජනාධිපතිවරයාට පැවසූ බවක් එම කතාවල සඳහන් වී තිබිණ. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය එම කතා ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේ වෙතත් ඇමෙරිකන් තානාපති කාර්යාලය මේ ගැන මුණිවත රකී. එය සත්‍යයක් ද, එසේ නැතහොත් එය අසත්‍යයක් දැයි ඔවුහු නොකියති. එහෙත් හිටපු ජනාධිපතිවරයා හෝ ඒකාබද්ධ විපක්ෂය හෝ ඒ සම්බන්ධයෙන් තවමත් කිසිම ප්‍රකාශයක් කර නැත.

මේ අතර වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක ඉකුත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට අභියෝගයක් ඉදිරිපත් කළේය. “ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරලා හෝ අයින් කරලා හෝ තිබෙනවා නම් ඒ ගැන ජනතාවට පෙන්වන්න කියලා මම ගම්මන්පිලට අභියෝග කරනවා. උදය ගම්මන්පිලට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය විදියට කතා කියන්න. එයා කියලා තියෙන්නේ ඕන අවස්ථාවක ගෝඨාභයගෙ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළ හැකි බවයි. අපිත් නීතිය දන්නවා” යැයි ද නවීන් ප්‍රකාශ කරයි. “සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසියෙකුට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන්න බැහැ. අපට ආරංචි හැටියට ගෝඨාභය මහත්තයා ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම පිළිගන්නවා නම් ඇමෙරිකාව සහතිකයක් නිකුත් කරනවා. අපි කැමැතියි රාජපක්ෂ මහත්තයාටයි, ගම්මන්පිල මහත්තයටයි කියන්න කරුණාකරලා ජනතාවට ඒ සහතිකය පෙන්වන්න කියලා” යැයි නවීන් කියන්නේය.

කෙසේ වුවද ගම්මන්පිල මහතා ද මීට උත්තර දී ඇත. ගම්මන්පිල මහතා ඒ ස්ථාවරයේ දැඩිව සිටී. ඔහු ඒ සම්බන්ධයෙන් කළ විග්‍රහයක් බ්‍රහස්පතින්දා එනම් ජූනි 14 වැනිදා ලංකාදීප පත්‍රයේ පළවිය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන කරළිය තවදුරටත් රත්වෙමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණට ඇතැම් පාර්ශ්ව විශේෂයෙන් විමල් වීරවංශ චෝදනා කරනුයේ “මේක රනිල්ගෙ වුවමනාවට ගෙනාපු එකක්. මාසයක් රනිල්ට බලය ලැබෙනවා කියලත් කතාවක් යනවා” යැයි කියමිනි. එක්තරා නීතිඥයෙක් ඉකුත්දා ඒ පිළිබඳව විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසා සිටියේය. “ගොඩක් අය පරණ පුරුද්දට රනිල් පටලවා ගන්න හදනවා. විස්ස පාස් වුණොත් ඒක ක්‍රියාත්මක වන්නේ 2020 වසරෙන් පස්සෙ. විස්ස ක්‍රියාත්මක වීමත් සමඟ 2020 පෙබරවාරි මාසෙ 8 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි යෝජනා කරනවා. ඒත් දැන් තියන ආණ්ඩුව 2020 සැප්තැම්බර් වෙනකල් තියෙනවා. ඒත් විසිවන සංශෝධනය නිසා 2020 වසරෙ පෙබරවාරි මාසයේදී ඒ කියන්නේ මාස හතකට කලින් ආණ්ඩුව අවසන් වෙනවා. ඒක රනිල්ට පාඩුයි.” යැයි විජිත හේරත් පැහැදිලි කළේය.

“එතකොට විස්ස නිසා මහින්දටයි මෛත්‍රීටයි මොකද වෙන්නේ” යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විමසා සිටියේය. “මූලික වශයෙන් අපි පුද්ගල සාධක ගැන හිතුවේ නැහැ. එහෙත් මේකෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වාසියක් තියෙනවා කියලා කාට හරි තර්කයක් ගොඩනගන්න පුළුවන්. මොකද ඊළඟ පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත්වෙනකල් මෛත්‍රීට විස්සෙ ප්‍රතිපාදන අනුව ජනාධිපති පුටුවෙ ඉන්න පුළුවන් එහෙම නැත්නම් 2020 ජනවාරි 9 වැනිදා මෛත්‍රී ගෙදර යන්න ඕනේ. එතකොට මහින්ද රාජපක්ෂගෙ පැත්තෙන් බැලුවොත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්දට රටේ නායකයා වෙන්නත් බැහැ. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. මොකද රටේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් ජනාධිපති නිසා. එහෙත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්.

මොකද විසිවැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයා නිසා. එහෙම නම් කාටහරි කියන්න පුළුවන් මේක මහින්දගේ උවමනාවට හදපු එකක්ය කියලත්. විජිත හේරත් කරුණු පැහැදිලි කළේය. විජිත හේරත්ගේ කරුණු පැහැදිලි කිරීමට අනුර දිසානායක ද සම්බන්ධ වූයේය. “විස්ස සම්මත කර ගැනීමට පළමු වටයේදී තුනෙන් දෙකක බලයක් ඕනේ. ඒ කියන්නේ මන්ත්‍රීවරු 150ක්. එතකොට අපට ඉන්නේ මන්ත්‍රීවරු 6යි. මේක අභියෝගයක් තමයි. අපිට 2001 හිටියේ මන්ත්‍රීවරු 10යි. ඒ වෙලාවේ 17 වැනි සංශෝධනය සම්මත කර ගත්තා. අපට මතකයි එදා මන්ත්‍රීවරු 223ක් 17 වැනි සංශෝධනයට සහාය දුන්නා. එදා පාර්ලිමේන්තුවේ අරාජික තත්ත්වයක් තිබුණා. අපි ඒක ප්‍රයෝජනයට ගත්තා. අද පාර්ලිමේන්තුවේ සංයුතිය බැලුවම එජාපයේ 106යි මහින්දට 54යි. ටී.එන්.ඒ. එකට 16යි. මෛත්‍රීගේ 23යි. දොරකඩ 16යි. එතකොට දේවානන්දත් ඉන්නවා. මේ තත්ත්වය අපට පාවිච්චි කරන්න පුළුවන්.” යැයි අනුර කීවේය. 


මහින්ද පසුගිය සෙනසුරාදා ගම්පහ බලා ගියේ ඉඹුල්ගොඩ වීරයා යැයි විරුදාවලී ලත් එස්.ඩී. බණ්ඩාරනායකගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. පිළිරුව ඉදිකර තිබුණේ ඉඹුල්ගොඩය. එස්.ඩී. බණ්ඩාරනායකගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක පසුගිය කාලයේ මෛත්‍රී පාර්ශ්වයට සහය දක්වමින් සිටිය ද ඔහු දැරූ ආසන සංවිධායකකම සති කිහිපයකට පෙර මෛත්‍රී විසින්ම ඉවත් කර තිබුණි. 


මෙම උත්සවයට සහභාගි වීම සඳහා ප්‍රසන්න රණතුංග කලින්ම පැමිණ සිටි අතර ඒකාබද්ධයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් ද ප්‍රසන්න සමඟ වූහ. 


ප්‍රසන්න දුටු එක් ව්‍යාපාරිකයකු “ආ මන්ත්‍රීතුමා එන්න ඉස්සරහට, දැන් ඉතින් යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපිව මතක් වෙලා තියෙන්නේ”යැයි කීවේ ප්‍රසන්නට පිටුපසින් සිටි සුදර්ශනී දෙස ද බලමිනි. ව්‍යාපාරිකයාගේ කතාව ඇසුණු පණ්ඩු ප්‍රසන්නට සුදර්ශනීව ඇහෙන් පෙන්වීය. 

“ඕවා ගණන් ගන්න එපා. අපි එයාලා එන එකට අකමැති නැහැ. නොමඟ ගිය අය යහමඟට එනවා දකින්න තමයි අපිත් කැමැති. හැබැයි එන අය කෙලින් එන්න ඕනේ වංගු ගහන්නේ නැතුව” ප්‍රසන්න ඇඟට පතට නොදැනී කීවේය. 

ඉකුත් ඉරිදා සවස මහින්ද කරන්දෙණිය බලා ගියේ ඝාතනයට ලක් වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට අවසන් ගෞරව දැක්වීමටය. මේ දිනවල රට පුරා යහමින් පැතිර යමින් තිබෙන පාතාලයේ ගොදුරක් බවට පත්වීමට උප සභාපතිවරයාට සිදුව තිබුණි. 

රමේෂ් පතිරණ සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් ද සමඟ සම්පත් අතුකෝරාළ ද මෙම අවස්ථාවට සහභාගීව සිටි අතර මහින්ද ඇතුළු පිරිස සාකච්ඡා කළේ ද පාතාල ලෝකයේ හිස එසවීම සම්බන්ධයෙනි. 

“අපේ ආණ්ඩුව තිබුණ කාලෙ නම් සර්ලට පින්සිද්ධ වෙන්න පාතාල ලෝකය මර්දනය වෙලා තිබුණා. අද චණ්ඩි පාට් දාන පාතාලයෝ සේරම හිටියේ මර බයේ රටින් පැනලා. හැබැයි මේ ආණ්ඩුව ආවා විතරයි සේරම ටික ආපහු ලංකාවට ඇවිත් වැඩ පෙන්වන්න පටන් ගෙන” සම්පත් පැවසීය.

“ඒක ඇත්ත. යහපාලන ආණ්ඩුව ඇවිත් ගෙවුණ අවුරුදු තුනට දකුණේ පාතාලයේ  ශීඝ්‍ර වර්ධනයක් වුණා. දැන් හැමතැනම මිනීමරුම්. දකුණේ මිනිසුන්නට නිදහසේ ජීවත් වෙන්න තිබුණු ඉඩත් යහපාලන ආණ්ඩුව නිසා නැති වුණා” රමේෂ් පැවසීය.

“පාතාලය මර්දනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෝ සේරම පාතාලයට යටින් උදව් කරන නිසයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගේ හොඳම යාලුවෝ ටික තමයි ඔය පාතාලයේ රජවෙලා ඉන්නේ. ඒ හින්දා පොලිසියටත් වෙලා තියෙන්නේ සද්ද නැතුව ඉන්නයි”මහින්ද පැහැදිලි කළේය.
“සර්ගේ කතාව හරි. පොල් ගෙඩියක් ඇහිලු_වත් ජීප් එකෙන් ඇවිත් ගහලා බැනලා රිමාන්ඞ් කරවන පොලිසිය පාතාලයෝ ඉස්සරහා පුදුම විදියට නිශ්ශබ්දයි. පාතාලේ අයත් දන්නවා පොලිසියෙන් කිසිම කරදයක් නැහැ කියලා. ඒ හින්දා හිතුමනාපෙට මිනිස්සුන්ට වෙඩි තියනවා” මොහාන් පැවසීය.

එදින සවස තංගල්ල බලා පිටත්ව ගිය මහින්ද ගම් ප්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වී කොළඹ බලා ආවේ කැලණියේ සංවිධාන කර තිබුණු ඉෆ්තාර් උත්සවයකට සහභාගි වීම සඳහාය. එහෙත් හදිසි අසනීප තත්ත්වයක් නිසා මහින්දට එයට සහභාගි වීමට නොලැබුණි. මහින්ද දුරකතනයෙන් උත්සවයට සහභාගී වූවන්ට සුබපැතුවේය. බැසිල්ට ද උත්සවයට සහභාගී වන්නට නොලැබුණේ කොන්දේ අමාරුවක් නිසාය. 

අඟහරුවාදා සවස පහට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වූයේ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම, සුදර්ශනීගේ පරාජය සහ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. බැසිල් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය. 

“මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ගැන මතවාදයක් වපුරන්නට උත්සාහ ගනිමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පක්ෂ කිහිපයක එකතුවෙන් හැදුණ දෙයක්. ඒ පක්ෂ අතර විවිධ මතවාද තියෙනවා. ඒ මතවාද කලින් ප්‍රකාශයට පත් වුණාම තමයි ඒකාබද්ධය බෙදිලා කියලා ආණ්ඩුව දේශපාලන වාසියක් ගන්න හදන්නේ.
 ඒ නිසා අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ. මොන මතවාද තිබුණත් අපි හැමදාම තීන්දු ගත්තේ හැමදෙනාම එකතු වෙලා සාකච්ඡා කරලයි. ඒ නිසා අපි මේ කාරණය ගැන මීට වඩා කල්පනාකාරී විය යුතුයි” මහින්ද පැහැදිලි කළේය.  

“ආණ්ඩුවෙන් එළියට බැස්ස 16 දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියනවා මහින්ද මහත්තයට උදව් කරනවා කියලා. තවත් සමහරු කියනවා පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරන් මෛත්‍රී ගාවට යනවයි කියලා. අපි අවුරුදු ගාණක් දුක්විඳලා හදාගත්තු මේ බලවේගය විනාශ වෙන්න දෙන්න බැහැ.

අපි ඒ අය එනවට විරුද්ධ නැහැ. හැබැයි එනවා නම් සියලු දෙනාම එක මතයක් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. විපක්ෂයට එනවා කියලා ඇවිත් මෛත්‍රී එක්ක දේශපාලනයක් කරන්න උත්සාහ ගන්නවා නම් අපිට ඒකට ඉඩ තියන්න බැහැ.

 



අදහස් (0)

ජනපතිවරණය: ගෝඨාභය: ඇමෙරිකාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 68 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 68 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 172 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 343 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 371 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 111 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site