IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඓතිහාසික ගෝලීය අර්බුදය

(ධම්ම දිසානායක විසිනි)

මෙවර ලිපිය, මේ මොහොතේ ගෝලීය කොරෝනා ව්‍යසනය කේන්ද්‍රීයව මතුවන, නව ලෝක විකල්පයක් පිළිබඳව වන, බුද්ධිමය-මතවාදීමය සංවාදය තුළ මතුවන තර්කවලට දක්වන තවත් ප්‍රතිචාරයකි. එහෙමත් නැත්නම් මැදිහත් වීමකි.

අපේ පාඨකයනි, ඔබද ඉතා සාවධානව මේ කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ මගේ ඉල්ලීමකි.

ලෝකයම අද මුහුණ දෙමින් සිටින්නේ බරපතළ ආණ්ඩුකරණ අර්බුදයකට ය. නොඑසේ නම් සියවස් තුනකට ආසන්න කාලයක් තිස්සේ ලෝක බලවතුන් විසින් මුළුමහත් මානව සංහතිය පමණක් නොව පෘථිවියම තම අණසකට යටත් කරගනිමින් විවිධ උපාය මාර්ග මගින් සඟවා තැබූ මේ වනවිට මතුපිටට පැමිණ ඇති අර්බුදයකට ය. ආර්ථික ආණ්ඩුකරණය, දේශපාලන ආණ්ඩුකරණය, වෙළඳපොළ ආණ්ඩුකරණය, සමාජ ආණ්ඩුකරණය යන ඒවා සමඟ ඒකාබද්ධ වූ ධනපති ගෝලීය ආණ්ඩුකරණ සමස්තයම දැන් වනවිට ඇත්තේ දැවැන්ත සහ ගැඹුරු කළු කුහරයක ය. අර්බුදයක ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි පරිවාර සංවිධාන ධනේශ්වර ගෝලීය ආණ්ඩුකරණයට සහේතුක භාවයක් ලබා දුන්නේය. එහෙත් දැන් ඒ සියල්ල අර්බුදයේ ය.

තවදුරටත් අප මෙය පැහැදිලි කර ගනිමු. මෙම අර්බුදය වනාහි ධනපති ක්‍රමයේ ගෝලීය ආර්ථිකකරණය, ගෝලීය වෙළඳපොළකරණය සහ ඊට අනුබද්ධ ගෝලීය බල ආධිපත්‍යය සඳහා වූ ගෝලීය දේශපාලනීකරණය යන ත්‍රිකෝණමිතික සම්බන්ධයේ ප්‍රතිපලයකි.

ගෝලීයකරණය යනු ධනපති ක්‍රමය නමැති භෞතික - මානසික - කායික වසංගත රෝගයේ රෝග වාහකයෙකි. ඒ අනුව ධනේශ්වර ගෝලීයකරණය යනු මෙවැනි ව්‍යසන සහ අර්බුදවල මාපියන් නොව ඒවා පෘථිවිය පුරා ව්‍යාප්ත කරන වාහකයෝය. ඒජන්තයෝය. තවත් පැත්තකින් බලන විට, මේ අර්බුදය වනාහි, මානව සමාජයේ සියලු‍ අංශ ඒකාධිකාරී ආධිපත්‍යයකට යටත් කරමින් වර්ධනය කළ ධනපති ආර්ථික – දේශපාලන – සමාජ - සංස්කෘතික මොඩලයෙහි පරාජයකි, සංවර්ධන මොඩලයෙහි කඩා වැටීමකි.

සරලව නම් එය ගෝලීය ආණ්ඩුකරණයේ (Crisis of global governance) අර්බුදයකි. ඒ අර්බුදය සියලු‍ රාජ්‍යයන් බරපතළ ආණ්ඩුකරණ අර්බුදයකට ඇද දමා ඇත. ඇත්තටම ලෝක බලවතුන් සහිත රටවලත් අප වැනි රටවලත් පාලකයන් කරමින් සිට ඇත්තේ බල දේශපාලනයම මිස මනාව - සොබාදම් කේන්ද්‍රීය ජාතික ආණ්ඩුකරණයක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ඒත් ටික දෙනෙකුට ය.

බොහෝ පාලකයන් බල දේශපාලනයේ සහ ඔය කියන ජාතික ආණ්ඩුකරණයේ වෙනසවත් දන්නේ නැත. අන්තර් මහද්වීපික මිසයිල්, අග්නි මිසයිල්, මිනිසුන් සිරගත කළ මෙට්‍රෝ නගර, අහස සිඹින ගොඩනැගිලි සහ කුළුනු හදපු සහ සඳ තරු ග්‍රහලෝක තරඟයට තරණය කළ අය තම බල පෙරේතකම මිස වෙන කිසිවක් නොතැකූ බව දැන්නම් වටහාගත යුතුමය. පුහු දියුණුවේ මහිමය. තම දෙපා යටින් සිදුවන මහා විපත්තිය ගැන වගේ වගක් ඔවුනට තිබුණේ නැත. එහෙත් දැන් සමස්ත පදනම ම අනතුරේ වැටී තිබේ.

ගෝලීය සහ ජාතික වශයෙන් මුහුණ දී ඇති මේ අර්බුදය විසින් සපයන වැදගත් අවකාශයක් ඇති බවද අප හඳුනා ගත යුතුය. නිසි ලෙස කටයුතු කළහොත් ඒ අවකාශය වනාහි, ගෝලීය වශයෙනුත් ජාතික වශයෙනුත් ඥාන වීමංශාත්මක විඛණ්ඩනයකට මඟ පාදන එකක් ය. එහිදී අප ප්‍රවේශ විය යුතු නව ඥාන මීමංශාව කොරෝනාවලින් පසු ආර්ථික, දේශපාලන, වෙළඳපොළ, තාක්ෂණික සහ සංවර්ධන යනාදී වශයෙන් වූ නව ලෝක සහ ජාතික සුසමාදර්ශ සඳහා හේතුවනවා සේම ඒ මගින් අර කළු කුහරය විනිවිද ගොස් නිසි ලෙස අර්බුදය හඳුනාගැනීමේ රශ්මි දහරා නිර්මාණය කරගත හැකිවනු ඇත. එපමණක් නොව නව ලෝක-ජාතික පදනමක්, රටාවක්, රාමුවක් සහ පිළිවෙළක් නිර්මාණය කර ගැනීමට ඒ හරහා හැකිවනු ඇත.

ඇත්තටම ලෝකය පුරා මානව කේන්ද්‍රීය සහ සොබාදම් කේන්ද්‍රීය නැතහොත් සමස්තයක් ලෙස පෘථිවි කේන්ද්‍රීය අප වැනිම වූ සිතන්නන් කාලයක සිට මතු කළ, පෙන්වා දුන් පවතින ක්‍රමයේ නොගැලපීම සහ නොගැලපීමේ භයානක ප්‍රතිවිපාක තුට්ටුවකට මායිම් නොකළ ගෝලීය ඒකාධිකාර කඩා වැටී ඇත්තේ ඒ ඒකාධිකාර නඩත්තු කළවුන් මතට පමණක් නොව ඔවුන් විසින් අන්ත අසරණ භාවයට පත්කරන ලද පෘථිවිය සහ පෘථිවිවාසී සියල්ලම මතට ය. දැන් මුළු ලෝකයම ආ මඟ වැරදි බව පසක් කර ගනිමින් සිටී. එක්කෝ එවැනි පසක් කර ගැනීමකට අවැසි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. එක්කෝ ගුණකථන නොපවත්වාම පැවති ක්‍රමය මිහිදන් කිරීමට අවැසි පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.

කරු පරණවිතාන මගේ පෞද්ගලික මිතුරෙකි. ඔහු දක්ෂ ලේඛකයෙකි, කවියෙකි, ගී පද රචකයෙකි. පාර්ලිමේන්තුකාරයෙකි. මෑතකදී ඔහු ලිඛිතව ඉදිරිපත් කළ අදහසක් වූයේ, මානව සමාජයට “නිදහස නමැති දායාදය” ප්‍රදානය කළ ලිබරල්වාදය ගුණකථනයක් නොපවත්වාම මිහිදන් කිරීම නුසුදුසු බවය.

කුමන ගුණ කථනද? එහෙත් පරණේ වැනි අපගේ මිතුරන්ට අනුව ධනපති ලිබරල් ආර්ථික - සමාජ ක්‍රමය මිහිදන් කළ යුත්තේ ‘ලිබරල් ප්‍රතිමාන’ ගැන ගුණකථන පැවැත්වීමෙන් අනතුරුවය. එහෙත් එහිදී අප අමතක නොකළ යුත්තක් ඇත. ධනපති ක්‍රමය භාවිතා කළ ලිබරල් අයිසින් තවරණ, එකී මොඩලයට එරෙහිව දැවැන්ත ක්‍රියාවලියක නිරතව සිටි සමාජවාදී ව්‍යාපාරවලින් උපුටාගත් ඒවාය. එසේම අර්බුදයට යාමට ඉඩ ඇති තම මොඩලය ආරක්ෂා කර ගැනීමේ දිය අගල්ය. පසුව, සමාජය සඳහා වූ ලිබරල් ප්‍රදානයන්ය යනුවෙන් හංවඩු ගැසූ නිදහස, සමානාත්මතාව, මානව අයිතීන්, සාධාරණත්වය, යුක්තිය, අධ්‍යාපන සහ සෞඛ්‍ය අවස්ථා, යනාදිය සහ තවත් බොහෝ දෑ සමාජවාදී ව්‍යාපාරවල පුරෝගාමීන් නිර්මාණය කළ, මතුකළ සහ සමාජය තුළ පැලපදියම් කිරීමට ශ්‍රමය සහ ජීවිත කැපකළ ඒවාය.

ෆුරියර්, මෝර්, ඕවන්, සිමොන් වැනි සංකල්පීය මත සැකසූ සමාජවාදීන්ද මාර්ක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි වැනි ක්‍රියාකාරී-අරගලකාරී සමාජවාදීන්ද ඒ සඳහා වූ නිසි ගුණකථනවලදී නම් සඳහන් කළ යුතු පුරෝගාමියෝ වෙති. සරල උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු.

 බැංකුවක තැන්පත් කළ මුදල ඒටීඑම් මැෂිමකින් ගත්විට ඒ මැෂිම හෝ බැංකුව සඳහා ගුණකථන පැවැත්විය යුතුද? ලිබරල් යැයි කියාගත් මානව සාරධර්මද, සමාජවාදී ව්‍යාපාරවලින් කොපි කරගෙන, ධනපති ක්‍රමයේ පැවැත්මට තැන්පත් කරගෙන සිටි සහ සිටින ඒවා මිස ඒවා ඔවුන්ගේ ප්‍රදාන හෝ නිර්මාණ නොවන බව අපගේ මිතුරන් තේරුම් ගත යුතුය. ඒවා ඔවුන්ගේ නොව අපේය.

තවත් අතකින් බලන විට, මුල්කාලීන ලිබරල් ප්‍රතිමාන ධනපතීන්ගේ පැවැත්ම සඳහා පමණක් ධනපතීන් ඒවා රාජාණ්ඩුවලින් බලහත්කාරයෙන් ලබාගත් බව ඇත්තකි. එහෙත් ඒ සහ අනෙකුත් පසුකාලීන ප්‍රතිමාන සමාජ ගතවුණේ සාමාන්‍ය ජනයාගේ සහ ඔවුන්ට මග පෙන්වූ ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවල, ප්‍රබල ක්‍රියාකාරිකයින්ගේ සහ නායකයන්ගේ ශ්‍රමය සහ රුධිරය කැප කිරීම්වල අනුහසින් මිස ධනපති ලිබරලු‍න්ගේ ප්‍රදාන හැටියට නම් නොවේ. ඉතින් ගුණකථන කුමකට ද?

එසේම ලිබරල් වාදය විසින් දායාද කරන ලදැයි කියන ‘නිදහස’ මහපොළොවට, මිනිසුන්ට, අපා දෙපා සිව්පා බුහුපා සතුන්ට, අහසේ පියාසලන කුරුළු කොබෙයියන්ට, ගහකොළට, අහසට, මුහුදට, හුළඟට, ඇල දොළට, ගංගාවලට, විල් සහ පොකුනුවලට තවමත් නොලැබුණේ ඇයිද යන්න අපගේත් අප මිතුරන්ගේත් විමසුමට ලක් විය යුතුමය. ධනපති භාණ්ඩ සහ සේවා වෙළඳපොලේ විකිනෙන්නට ඇති නිදහස මිස ඒ කල්දේරමේ තැම්බෙන්නට ලැබුණු නිදහස මිස පොදු ජනයාට ද ලැබුණු නිදහසක් නොමැත. ධනපති ක්‍රමයේ පැවැත්මට අවැසි වහල් සහ සිරගත ‘නිදහසක්’ මිස, මුළුමහත් මානව සමාජයත් සොබාදහමත් විනාශයෙන් විනාශයට ගෙන යෑමේ අඥාන මෝඩ නිදහසක් දායාදයක් මිස ලැබුණු හරයාත්මක සහ ප්‍රගතිශීලී නිදහසක් හෝ දායාදයක් නොමැති බව අප තේරුම් ගත යුතුය.

මෙවැනි පසුබිමක ස්වදේශිකවාදය යනු කළු කුහරයක් නොවේ. එය මානව-සොබාදම් කේන්ද්‍රීය නව ලෝක රටාවක් සඳහා වූ සාර්ව දැක්මක් ය. ඒ දැක්මේ ක්‍ෂුද්‍ර පදනම ග්‍රාමවාදය ය.

අප නව ආණ්ඩුකරණයේ පළමු පියවර තැබිය යුත්තේ ගම සංවිධානය කිරීමටය. ස්වදේශිකවාදය යනු හුදකලාවාදයක් ද නොවේ. එය ස්වයංපෝෂිතවාදයකි. පෝෂිත රටවල් ලෙස, රටකට රටක් ගැති නොවන නව ගෝලීය සන්දර්භයක් තුළ ලෝක සම්බන්ධතා නඩත්තු කරන අලු‍ත් මාර්ග සිතියමකි. බල දේශපාලනය ද්විතියික කොට, අර මාර්ග සිතියම මත පදනම්ව, දේශීය ආණ්ඩුකරණය ප්‍රමුඛ කළහොත් එය පවතින ධනපති ගෝලීය ආණ්ඩුකරණයේ ඓතිහාසික අර්බුදයෙන් අතාර්කික වන පැවති ලෝක පිළිවෙළ සහ සමාජ-ආර්ථික-දේශපාලන රාමුව වෙනුවට, නව ලෝකයක් ගොඩ නගා ගැනීමට අපට උපකාරී වනු ඇත යන්න මගේ අදහසය. ඒ සඳහා පාර්ලිමේන්තුකාරයන් කෙසේ වෙතත් මහජන සමාජය විසින් බල දේශපාලනය සහ ජාතික ආණ්ඩුකරණය අතර වෙනස, සහ සම්බන්ධය මනාව තේරුම් ගත යුතුය.



අදහස් (9)

ඓතිහාසික ගෝලීය අර්බුදය

Asanka Friday, 10 April 2020 04:09 PM

විශිෂ්ට විශ්ලේෂණාත්මක ලිපියක්. පැහැදිලිව ගෝලීයකරණය කියන්නේ ධනපති ව්‍යාපාරිකයන් පිරිසකට තමන්ගේ භාණ්ඩ සහ සේවාවන් විකුණාගැනීම සදහා අවශ්‍ය වන හිස් ඔලු සහිත මිනිස්සු ටිකක් අතිකරගැනීමට හැදූ උගුලක්. ඔය කොයි තරම් තාක්ෂණිකව ඉහළට ගියා කිව්වත් ඔය සේරම පාලනය වෙන්නේ ඉහළ ධනපතීන් කිහිප දෙනෙක් හරහා.

:       44       54

Prasanna Perera Friday, 10 April 2020 06:59 PM

හුඟක් මේ වගේ ලිපි දකින කොට, මට මතක් වෙන්නේ, ක්‍රිෂ්ණ මුර්ති තුමා නිතර කියන දෙයක්. වචන වල ගම්‍ය අර්තියක් නොමැත (වර්ඩ් ඉස් නොට් ද තින්ග්). සීතල යුද්ධය අවසන් වීමන් පසු හටගත් ජාත්‍යන්තර සංකුලතා, කොරෝනා වලට වඩා දහස් ගුණයක් විනාශකාරීයි. මේ විනාශකාරීත්වය අපේ ජීවිතයේ එදිනෙදා අංගයක් බවට පත්වෙන තරමට සාමාන්‍ය උනා. අද පීඩනයට පත්ව ඇත්තේ මනුෂ්‍යත්වයයි. මනුෂ්‍යත්වය, අන්තවාදයට යටවී පිරිහුණු ලොවක ඉතිරිවන්නේ කුමක්ද. අවුරුදු 75 කට වැඩි එකසත් ජාතීන්ගේ ව්‍යාපාරය හා ලෝක බැංකුව හා ලෝක සෞඛ්‍ය සංවිධානය අපට ඉතිරි කල දෙය කුමක්ද? අපි කියන විදියට වැඩ කරපල්ලා, නැත්නම් මුදල් දෙන්නේ නෑ, ට්‍රම්ප් ප්‍රසිද්දියේ කියන විට, මේ සංවිධාන ඇත්තටම ඇමෙරිකාවේ ශාඛා සමීති නොවේද. බලවතුන් ලෝකය බෙදාගෙන අවසන් නෑ තාම. අද තියෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ තිබුණු බල අරගලය තරම් ප්‍රාථමික තත්වයක්. ඉස්කෝලේ චන්ඩියා වටේ හැමෝම එකතු වුනා. බලය නිසා යාළුවන් ඇතිකර ගැනීමේ න්‍යාය මත, ලෝක බල තුලනය අද තීරණය කරනවා. ජාත්‍යන්තර මානව හිමිකම් තීරණය වෙන්නේ, යාළුකම මත. අතිශය සංකීරණ තාක්ෂණය අත්පත් කර ගැනීම තව දුරටත් බලයේ සාධකයක් නොවේ.

:       54       260

darshana Saturday, 11 April 2020 05:18 AM

මටනම් මේ ඒ මුකුත් තේරුනේ නැ.

:       0       139

NuwanSunday, 12 April 2020 05:53 AM

නොතේරුණු බව වැටහුණු ඔබ ප‍්‍රඥාවන්තයෙකි... ඒ බව පිළිගැන්වීමම උතුම් දෙයක්... ජයවෙවා...

:       0       17

rana Saturday, 11 April 2020 05:57 AM

ධනවාදයට බැන බැන එක පස්සේ දුවමු, දේශපාලකයට බැන බැන ඔවුන් පස්සේ දුවමු , බැරිවෙන අන්තිම මොහොතේ පන්සලට දුවමු. ඔය ලිපි ලියන ඇයො තමන් ගෙවන දිවිය සහ අදහස් අතර ඇති පරස්පර වය හඳුනාගෙන තමන් නොවන කතිකාවකට පෙරට එන්න. ඔබමවන ලෝකය ඔබේ දරුන්වන්වත් ජිවත් නොවෙන බව තේරුම් ගන්න. ඔබට අනුව අපි තවමත් යා යුත්තේ ඇවිද , හැම නවීන සොයගැනිමක්ම ධනවාදීද? අද ඔබ සිතන රටවල තරම් ධනවදිය කොහෙවත් නැත , ඔබත් සිදු කොරන්න අහිංසක මිනිසුන්ට සිහින ලොවක් මවාදී ඔවුන් මුලා කිරීමෙන් ඔබගේ අදහස් මුදුන් පත් කර ගැනීමේ තැතක් නේ ?

:       4       39

nilantha thissera Saturday, 11 April 2020 05:58 AM

දනේශ්වර, එසේත් නැත්නම් නව ලිබරල් ක්‍රමය තුල තම ආත්මීය තෘප්තිය ලබමින් තමන්ගේ පැවැත්ම සදහා පමණක් ඉහත ක්‍රම සදහා විරුද්දවන අවස්ථාවාදීන්ගේ මෙවැනි ලිපි වලින් මේ මිනිස් සත්වයා හට සේදුවී ඇති අර්බුදය විග්‍රහ කලයුතු නැත. මන්ද යත් මෙවැනි සිදුවීම් වෙන කිසිවක් නොව පරිසරයේ සමතුලිත තාවය ඇතිකිරීම සදහා පරිසරය විසින්ම ඇතිකරන ස්වබාවික වාරණයක් මිස ආර්ථික , දේසපාලන, ප්‍රපංචයක් නොවේ.

:       0       25

Champa Saturday, 11 April 2020 05:31 PM

ඔබ "නව ආණ්ඩුකරණයේ පළමු පියවර ලෙස ගම සංවිධානය කිරීම" කියලා කිව්වේ මොකක්ද? ආණ්ඩුකරණය ලෝකෙට හඳුන්වා දුන්නේ ධනවාදී රටවල් නෙමෙයි. ඔබේ ලිපියෙන් කියන්න හදන දේ අනේ මට තේරෙන්නේ නැහැ. ඒ හින්ද සමාවෙන්න ඕනේ ඔබේ ලිපිය ගැන නෙමෙයි මට තේරෙන ගෝලීයකරණය මම ලියන්නද මෙහෙම. (1). ගෝලීයකරණය අද කාලේ වැඩිපුරම භාවිතා වෙන වචනේ වුනාට මේක පටන් ගත්තේ අවුරුදු දහස් ගණනක් ඈත අතීතයේ ධනවත් බලවත් පෙරදිග රාජධානි පැවතුනු කාලේ. ඉපැරණි ගෝලීයකරණයේ ව්‍යාප්තියට ලංකාද්වීපයෙන් ලැබුණු දායකත්වය අවාසනාවට ඉන්දියාවට බැර කරලා තියෙනවා. උදා: රාමායණය, සෘග්වේදය. දිග වැඩියි ලියන්න. (2). ගෝලීයකරණයේ කොටස් තුනක් තියෙනවා. (a) දේශපාලනමය ගෝලීයකරණය {උදා: එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනිත් යුරෝපා, වෙළඳ, සෞඛ්‍ය සංවිධාන, ලෝක බැංකුව, IMF} (b) ආර්ථික ගෝලීයකරණය {සම්පත් හුවමාරුව. අද පවතින විදිහට ධනවත් රටවල (අපරදිග) තාක්ෂණය තුන්වෙනි ලෝකයේ රටවලට අලෙවි කිරීම සහ තුන්වන ලෝකයේ (පෙරදිග) රටවල ස්වභාවික සම්පත් ධනවත් රටවලට අලෙවි කිරීම. නමුත් ඇත්තටම තාක්ෂණයේ මූලාරම්භය පෙරදිග. (c). සංස්කෘතික ගෝලීයකරණය {බටහිර ධනවත් රටවල සංස්කෘතිය තුන්වන ලෝකයේ රටවලට බලෙන් තල්ලු කිරීම}

:       0       32

duminda Sunday, 12 April 2020 03:22 PM

ලිපියේ අරමුණ පැහැදිලි නෑ. අපි වවලා අපි හදලා. මේ රැල්ලෙන් අයින් වෙලා. ප්‍රයෝගික නෑ.

:       31       21

rasika Sunday, 19 April 2020 11:24 AM

සංවර්ධනය, ගෝලීය, ලෝක ගම්මනය, නව ලෝක ආඥාව තව මොනවද අඩු. අනුන්ගේ ඉලක්ක පස්සේ දුවලා කාටද හරිගියේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1137 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2769 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 716 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site