IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඒකාබද්දෙන් කොළඹට මෙහෙයුමක්

විවිධ මත හා අදහස් අනුව විරෝධතා පාගමන ගාල්ලෙන් ආරම්භ කිරීමට තීන්දුවක් ගෙන තිබුණද ඔවුන් එකඟවී සිටියේ ‘හොඳම ක්‍රමයට’ පාගමන හා විරෝධතාවය පැවැත්වීමටය. ඒ අනුව තීන්දුව ස්ථිර එකක් නොවන බවත් වෙනත් අදහස්වලට ඇහුම්කන්දිය යුතු බවටත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ එකඟතාවයකට ද එළඹ සිටියහ. කෙසේ වෙතත් තවත් මතයක් ඉදිරිපත් වී ඇත්තේ මහනුවර සිට එම විරෝධතා පාගමන පැවැත්වීමටය.

ඒකාබද්ධ විපක්ෂයේ තරමක් රැඩිකල් ප්‍රතිපත්තියකින් කටයුතු කරන නායකයකු සඳහන් කර ඇත්තේ ගාල්ලෙන්, මහනුවරින් හා රත්නපුරයෙන් ආදී පැති තුනකින් මහජන ගංගාවක් කොළඹට ගලා ඒමට කටයුතු කළ යුතු බවය. මැතිවරණ කල්දැමීම, ජීවන බර ඉහළ යෑම, දේශපාලන දඩයම සහ රාජ්‍ය දේපොළ විකුණාගෙන කෑම ආදී සටන් පාඨ මෙවර එම විරෝධතාවයේ ප්‍රමුඛ තැනක් ගනු ඇතැයි පැවසේ. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව සම්බන්ධයෙන් එහි නායකයකු කියා ඇත්තේ අපි මේ පාර හොඳට කරනවා. ආණ්ඩුවට දැනෙන විදියට මහ සෙනඟක් කොළඹට ගෙනත් මුළු කොළඹම වටලනවා. අරලියගහ මන්දිරය පැත්තට යන්නත් අපි බලාපොරොත්තු වෙනවා යනුවෙනි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන්ගේ විරෝධතාවයට කෙසේ මුහුණ දිය යුතුදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් එජාපය ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ජාල ඔස්සේ ඒකාබද්ධයේ ක්‍රියාදාමය ගැන ප්‍රවෘත්ති රැස්කරමින් තිබෙන බවද පැවසේ.

මුදල් ඇමති මංගල සමරවීරගේ දැඩි ස්ථාවරය සම්බන්ධයෙන් ඇතැම් ඇමතිවරුන් විරෝධතා දක්වන්නට පටන්ගෙන ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් දුම්රිය වැඩවර්ජනයේදී ඇමති මංගල සමරවීර දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කළේය. ‘එක කණ්ඩායමකට පමණක් පඩි වැඩි කරන්න බැහැ. එහෙම කළොත් තවත් කණ්ඩායම් ගණනාවකම වැටුප් විෂමතා ඇති වෙනවා. එන්ජින් රියදුරන්ට පඩි වැඩිකරන සල්ලිවලින් අපට අලුතින් බස් පනහක් ගන්න පුළුවන්. එහෙම ගත්තත් අපට ලාභයි’ යැයි මංගල කීවේය.

මංගලගේ තද ස්ථාවරය සම්බන්ධයෙන් නිමල් සිරිපාලද සිල්වා, රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම යන ඇමතිවරුන් විරෝධතාවක් දක්වන බවක් පෙනේ. ඔවුන් කටයුතු කරන්නේද එම තීරණය මත බව පෙනේ.
මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම ඇමතිවරුන් මේ වනවිටත් ජනාධිපතිවරයාට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

 

‘ඡන්දය එන්න එන්නම ළඟට එනවා. අපට මේ වෙලාවේ ප්‍රශ්න ඇතිකර ගන්න බැහැ. එහෙම වුණොත් වාසිය වෙන තැනකට යනවා. ජනතාවට සහන අවශ්‍යයි. රාජ්‍ය සේවකයන් තරහා කරගෙන වැඩ කළොත් එහි ප්‍රතිවිපාක විඳින්න වෙන්නෙත් අපටම තමයි’ යැයි රාජිත සේනාරත්න ඇමතිවරයා හිතවතුන් කිහිපදෙනෙකු සමග කියා තිබිණ. මේ අතර තවත් ආරංචි මාර්ගයකින් කියවුණේ මංගල සමරවීර ඇමතිවරයාගේ දෙවන අයවැය ලේඛනය යහපාලන ආණ්ඩුවේ ගමන් මඟ යම් වෙනසකට ලක්කරනු ඇති බවය. ‘මේ පාර ජනතාවට සහන දෙන්න ඕනේ. රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩි කිරීමක් කරන්න වෙනවා.’ යැයි මංගල සමරවීර ඇමතිවරයාගේ කටින් කැබිනට් රහස් කිහිපයක් එළියට පැන තිබූ බව ඇමැති මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානතම ව්‍යාපෘතියකි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පනවා තිබුණේ සිය විශ්වාසවන්ත කැබිනට් සගයකු වන මලික් සමරවික්‍රමටය. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මුලසිටම ඇහැගසාගෙන සිටියේය. එහි තිබෙන යම් යම් කොන්දේසි හුවා දක්වමින් ඊට විරෝධය දක්වන්නට පටන්ගත්තේය. මේ අතර මහින්ද රාජපක්ෂ හිතවාදී වෘත්තීය සමිති කිහිපයක්ම සිංගප්පූරු ගිවිසුමට විරෝධය දැක්වීමේ වැඩසටහන් දියත් කළේය. තවත් වෘත්තීය සමිති දේශපාලන පක්ෂග්‍රාහී බවකින් තොරව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිංගප්පූරු ගිවිසුමට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයක නියැලුණේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය වූයේ විදේශ වෙළෙඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවය. ඔවුහු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද කරුණු ඉදිරිපත් කළහ. කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළේය. පාර්ලිමේන්තුවේ පවා ඒ සම්බන්ධයෙන් වාද විවාද හට ගත්තේය. මේ අතර ජනාධිපතිවරයා හදිසියේම තීන්දුවක් ගත්තේය. ඒ අනුව ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට ඉකුත්දා ජනාධිපතිවරයා පියවර ගත්තේය. ජනාධිපතිවරයාගේ පියවර හේතුවෙන් විරෝධතාවය තරමක් සමනය වූයේය.

ජනාධිපතිවරයා පියවර ගන්න කොට ගිවිසුමට අත්සන් කරලත් ඉවරයි. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවකදී අපට ඕන ඕන විදියට කොන්දේසි වෙනස් කරන්න බැහැ. ජනාධිපතිවරයාට ඔය කමිටුව මුලින් දාන්න තිබුණා. එහෙම කළා නම් අත්සන් කරන්න පෙර යම් යම් සංශෝධනවලට එළඹෙන්නත් පුළුවන් වෙනවා. කොහොම හරි කමිටුව වාර්තාවක් ඉන්නත් වෙනස් කිරීමේදී ගැටලු මතුවෙනවා. එහෙම නැත්නම් අපට ගිවිසුම ඉරාදාන්න වෙනවා යැයි එජාපයේ ප්‍රබල ඇමතිවරයෙක් කියා තිබිණ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ රාජ්‍ය පෞද්ගලික සහ වතු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සමග එක්වී ජනතා විමුක්ති පෙරමුණ අලුත් සටනකට අවතීර්ණ වී සිටී. එම වෘත්තීය සමිතිවලට අයත් නායකයන් රැස්කර වැටුප් වැඩිවීමක් ලබාගැනීම සඳහා ඉකුත් සතියේ ජවිපෙ නායකයෝ සාකච්ඡා කළහ. වැඩිවී තිබෙන ජීවන වියදම පදනම් කරගනිමින් වැටුප් වැඩිකර ගැනීමේ සටනක් ආරම්භ කිරීම හා එය ආණ්ඩු විරෝධයක් ලෙස දියත් කළයුතු බවට එහිදී ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ තීන්දු කළහ. මේ වෙනකොට බදුබර, බඩු මිල ඉන්ධන වගේ හැම දෙයක්ම වැඩිවෙලා. ජනතාවට තමන්ගේ වැටුපෙන් ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඒ නිසා ජීවත්වෙන්න පුළුවන් වැටුපක් ඉල්ලන්න ඕනෑ යැයි වෘත්තීය සමිති නායකයන්ට ලාල්කාන්ත කීවේ සාකච්ඡාව ආරම්භ කරමිනි.

 එම සාකච්ඡාවේදී ලාල්කාන්ත අමුතු කතාවක් කීවේය.

මේ ආණ්ඩුව පත්වුණේ 2015 ජනවාරි 8 වැනිදා. 2015 අවුරුද්දෙ පෙබරවාරි මාසයේ ජීවන අංකය වෙලා තිබුණේ 108.9 ක්. මේ වෙනකොට ජීවන අංකය 126.5 ක් වෙලා. මේවා අපි කියන දේවල් නොවෙයි සංඛ්‍යා ලේඛනවල තියෙනවා. ඒ අනුව ජීවන අංකය 17.6 කින් වැඩිවෙලා. මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ රුපියල් 5649.60 කින් ජීවන වියදම වැඩිවෙලා. ලාල්කාන්ත සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් කීවේ කොපමණ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න ඕනෙද කියන තීරණයකට එළඹීමටය. ඒ අනුව පැය කිහිපයක් පුරා පැවැති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයෝ මූලික පියවරක් ලෙස තීන්දු කිහිපයකට එළඹියහ. ජනාධිපති, අගමැති සහ මුදල් ඇමතිවරයාට මේ බව දන්වා ලිපි යැවීමටත් වැටුප් වැඩිකර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත් සැප්තැම්බර් මාසයේදී කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමටත් එහිදී තීන්දු කෙරිණ.

මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය අතර ගැටලුවක් හේතුවෙන් ජනතාවට අසාධාරණයක් වන බවට ඉකුත්දා කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට සභාපති සුනිල් හඳුන්නෙත්ති පියවර ගෙන තිබිණ. විදුලිබල මණ්ඩලයෙන් මහජන උපයෝගීතා කොමිසමට එල්ලවන බලපෑම් ඇමතිවරයාටවත් පාලනය කරගත නොහැකි වී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරාද වරක් චෝදනා කර තිබිණ. කෙසේ වෙතත් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත්තේ විදුලිය මිලදී ගැනීමේදී විශාල ලෙස කොමිස් මුදල් එහි නිලධාරීන්ට ලැබෙන්නේද එසේ මුදල් ලැබෙන්නේ නම් එම මාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමටය. එම විමර්ශන කටයුතු කෝප් කමිටුව මේ දිනවල ආරම්භ කර තිබේ.
පළාත් සභා මැතිවරණය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතින අතරේ එක්සත් ජාතික පක්ෂයේ අලුත්ම අදහස වී ඇත්තේ පැරණි ක්‍රමයට හෙවත් සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට තීරණයක් ගෙන තිබිය දී එජාපය හා ආණ්ඩුවට සම්බන්ධ සුළු දේශපාලන පක්ෂ, එජාපයත් සහ ඒකාබද්ධ විපක්ෂයත් පැරණි ක්‍රමයටම ඡන්දය ඉල්ලා සිටීම නිසා අර්බුද රැසක් ඉස්මතුවී තිබේ. තත්ත්වය මෙසේ තිබිය දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලනඥයන් පිරිසක් කොළඹ දී හදිසි රැස්වීමක් පැවැත් වූහ. එහි අරමුණ වූයේ වයඹ පළාත් සභාවට තරග කිරීම සඳහා මහ ඇමති අපේක්ෂකයකු තෝරා ගැනීමය. වයඹ පළාත් සභාවේ මීළඟ මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ඇමති ජයරත්න හේරත් සුදුසු යැයි පිරිසක් යෝජනා කරද්දී තවත් පිරිසක් කියා සිටියේ ඩී.බී. හේරත් ඊට සුදුසු බවය. වයඹට හොඳ ශක්තිමත් නායකයෙක් දාන්න ඕනේ. වයඹ පළාත මුළු රටටම තීරණාත්මක සාධකයක්. ඒ නිසා පළාතේ ගෞරවය රැකගන්නත් එක්ක පළපුරුදු කෙනෙක් මහ ඇමති කරන එක හොඳයි’ යැයි එහි දී සාකච්ඡා කෙරිණ.
මීට අමතරව මහ ඇමති ඩී.බී. හේරත් මහ ඇමති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් පසුවන බවට ද ඉකුත් දිනවල ආරංචි පැතිර ගොස් තිබිණ. කොළඹ පැවැති විශේෂ සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ඩී.බී. හේරත්ට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව සලසා දීමටය.

මේ අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන පියුමාල් හේරත් ජයරත්න හේරත්ගේ පුත්‍රයාය. ඔහු කුරුණෑගල රන්තලිය හෝටලයේ ඉකුත් දා පැවැති ප්‍රිය සම්භාෂණයක දී හිතවතුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇත්තේ අප්පච්චි මහ ඇමතිධූරයට තරග කරනවා නම් මම ඉල්ලන්නේ නැහැ. අප්පච්චිට උදව් කරනවා. මට පී.එච්.ඩී. එකට සූදානම් වෙන්නත් තියෙනවා කියාය.

රිචඞ් පතිරණගේ දස වැනි ගුණ සමරු උත්සවය පසුගිය 10 වැනිදා පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම ගුණ සමරුවට ආ මහින්ද පිළිගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසිනි. විජේපාල කලක් රිචඞ් පතිරණගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
‘අපේ සර්ගේ උත්සවයට ආපු ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා’ විජේපාල මහින්ද පිළිගනිමින් පැවසීය. උත්සවය අවසානයේදී රමේෂ්, මොහාන්, විජේපාල සමඟ කතාකරමින් සිටින අතරතුර මහින්ද රිචඞ් සම්බන්ධ අතීත දේශපාලන කතා සිහිපත් කළේය. එසේම අධ්‍යාපන ඇමතිවරයකු ලෙස රිචඞ්ගෙන් සිදුවූ සේවය ද මහින්දගේ ඇගයීමට ලක්විය.

‘ඒක හරි. අපිටත් මතකයි අපේ සර් ඒ කාලේ වැඩ කරපු හැටි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කිව්වොත් වෙන දෙයක් මතකවත් නැහැ. ඒ තරම් කැපවීමකින් වැඩ කළා.’ විජේපාල ද පැවසීය. ‘දැන් කොහෙද ඒ වගේ ඇමැතිවරු. දැන් ඉන්නේ කොහොම හරි තියෙන දෙයක් විකුණලා අතපිහදාගන්න බලන අයනේ’ රමේෂ් කීවේය.

‘දැන් ඉන්න අධ්‍යාපන ඇමැතිට අධ්‍යාපනයට වඩා කරන්න වැඩ තියෙනවානේ. ළමයින්ගේ දේවල් සොයා බලලා කරන්නේ නැතුව වෙන වෙන ව්‍යාපෘති කරන්නනේ එයාලට ඕනේ’ මොහාන් පැවසීය.

පසුදා සෙනසුරාදා දිනයක් වූ බැවින් මහින්ද සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල්, චන්දිම, ජෝන්, තිලංග, සුමේධා, සුදර්ශනී එදින කාල්ටන් නිවසට පැමිණ සිටියේ මහින්ද මුණ ගැසීමටය. එම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු හෙළිදරව් කෙරුණේ නැත.

එහෙත් සාකච්ඡාව නිමවා එළියට පැමිණි චන්දිම මාධ්‍යවේදීන්ට කීවේ තිබෙන ගැටලු නිරාකරණය කරගත් බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවී කටයුතු කිරීමට සූදානම් බවත්ය.

වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වැනිදා නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති සියයක පමණ නියෝජිතයන් සහභාගී වූ එම රැස්වීමට දිනේෂ්, වාසු, කොල්ලුරේ, ලොකුගේ ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

“අපි ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තනි තනිව සටන් කරලා වැඩක් නැහැ. එකට එකතු වෙලා සටන් කළ යුතුයි”_ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ නදීර මනෝජ් පෙන්වා දුන්නේය.

“ඒ කතාව ඇත්ත. මේ වගේ මර්දනකාරී පසුබිමක අපි හුදකලා සටන් කරන්න ගියොත් පරදිනවා. සියලු_ බලවේග එකතු කරගෙන එක සටනක නියැළුණොත් ආණ්ඩුවට අපිව පරද්දන්න බැරි වෙනවා”_ වාසු පැවසීය.
“එහෙම මධ්‍යස්ථානයක් තිබුණොත් මේ සටන් මෙහෙයවන්න වගේම ජයග්‍රහණය කරන්නත් පහසුයි. අපි තනි වෙලා ඉන්නකොට ආණ්ඩුවට අපිට ගහන්න ලෙසියි. අපි එකතු වුණොත් ආණ්ඩුව වුණත් අත දාන්න ඉක්මන් වෙන්නේ නැහැ”_ ඩලස් පැවසීය.

“මේ වගේ ආණ්ඩුවලට එරෙහිව කටයුතු කරන කොට සියලු දෙනාම එකතුවෙන් කටයුතු කරන එක තමයි ලොකුම හයිය”_ ලොකුගේ කීවේය.
“මමත් අවුරුදු ගණනාවක් වෘත්තිය සමිති එක්ක වැඩ කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල මර්දනකාරී වැඩපිළිවෙළ මම හොඳාකාරව දන්නවා. හොඳින් බැරි නම් නරකින් හරි වෘත්තිය සමිති පරාජය කිරීම තමයි එයාලගේ එකම අරමුණ. ඒ හින්දා අපි එකට එකතු වෙලා ඉමු. එකතු වෙලා ඉන්න කොට ආණ්ඩුවට අපිව මර්දනය කරන්න ලේසි නැහැ”_ මහින් ද පැවසීය.
“ආණ්ඩුවේ දැන් එකම අරමුණ රාජ්‍ය ආයතන ටික විකුණලා දාන එකයි. ඒ නිසා අපි විකුණන්න නියමිත ආයතනවලට ගිහින් විරෝධය පාමු”_ දිනේෂ් කී කතාවට කාගෙත් අනුමැතිය ලැබුණු අතර ඒ අනුව තීන්දු කෙරුණේ ලබන සතියේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගොස් විරෝධය පෑමටය.

මේ අතර මෙම සාකච්ඡාවට එක්ව සිටි මහින්ද කහඳගමගේ වලියක් ඇද ගත්තේ ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා සමඟය. කහඳගමගේ කීවේ තමන් රිමාන්ඞ් කරවීමට දායක වූ අයත් මෙම සාකච්ඡාවට පැමිණ සිටින බවය. එවැනි අය සමඟ එකට කටයුතු කළ නොහැකි බවත් ඔහු පැවසීය.

“මේක ඕවා ගැන කතා කරන වේලාවක් නෙමෙයි. අපි කවුරුත් මහන්සි වෙන්නේ ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුවක් හදන්න නම් අපි කැමැති අය විතරක් එකතු කරගෙන බැහැ. ඒකට ආණ්ඩු විරෝධී සියලු_ පාර්ශ්ව එක වේදිකාවකට ගේන්න ඕනේ. එතැන අපි කැමැති අය වගේම අකැමැති අයත් ඉන්න පුළුවන්. හැබැයි අපි පෞද්ගලික කෝන්තර අමතක කරලා එකමුතුව වැඩ කරන්න ඕනේ. නැතුව මේ සටන දිනන්න බැහැ”_ මහින්ද දිර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම 14 වැනි දා විජේරාම පෙදෙස් නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මෙම හමුව තීරණාත්මක හමුවක් බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නම් ස්වාධීන වනවාද? නැද්ද? යන අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබුණු නිසාය.
සාකච්ඡාව ආරම්භ වීමට පෙර පවිත්‍රා, මහින්දානන්ද, සී. බී., ප්‍රසන්න ඇතුළු පිරිසක් මහින්ද සමඟ ඇතුළු කාමරයක සුහද කතාබහක නියැළෙමින් සිටියහ. ඒ අතරතුර මහින්දට හිතවතකුගෙන් ඇමතුමක් ලැබුණේය. ඇමතුම දුන් කෙනා ප්‍රශ්න කළේ මහින්ද සී.අයි.ඩී එකට කැඳවා තිබෙනවා ද කියාය.

“නැහැ මට නම් එහෙම කැඳවීමක් ලැබිලා නැහැ”_ මහින් ද කීවේය.

“කීත් නොයාර්ට පහරදීම ගැන ප්‍රකාශයක් ගන්න ඔබතුමා කැඳවලා තියෙනවා”_ හිතවතා පැවසීය.
“මම නම් එහෙම එකක් දන්නේ නැහැ. එහෙම කැඳවීමක් ලැබුණා නම් අපි යනවා. රාජපක්ෂලා ඕවට බය නැහැ. මම සී.අයි.ඩී. එකට උත්තර දෙන්න ඕනේ වෙලාවක ලැහැස්තියි”_ මහින් ද පැවසීය.

දුරකතනය විසන්ධි කළ මහින්ද එහි සිටි කාර්ය මණ්ඩලයේ අයගෙන් ප්‍රශ්න කළේ සී. අයි. ඩීයෙන් කැඳවීමක් ලැබුණා ද? කියාය. එහෙත් කාර්ය මණ්ඩලය කීවේ එවැනි ඇමතුමක් නොලැබුණු බවය. මහින්ද යළිත් වතාවක් දුරකතනය ගෙන සී.අයි.ඩී.යේ ප්‍රධානියකුට ඇමතුමක් ගත්තේය.

“ඔයාලට මගේ ප්‍රකාශයක් ගන්න ඕනේකමක් තියෙනවා ද? මහින්ද ඇසුවේය.

“ඔව් සර්. හැබැයි අපිට ඔබතුමාගෙන් වෙලාවක් ලැබුණේ නැහැ”_ ප්‍රධානියා කීවේය.
“මට නම් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. මම මේ රටේ නීතියට ගරු කරනවා. ඕනේ වෙලාවක මම ප්‍රකාශයක් දෙන්න සූදානම්. මම ඕනේ වෙලාවක ඒවට උත්තර දෙනවා. දැන් කවද්ද මම එන්න ඕනේ. මට සිකුරාදා නම් උදේ 10ට එන්න පුළුවන්”_මහින් ද පැවසීය.

රංජන් කස්තුරි



අදහස් (1)

ඒකාබද්දෙන් කොළඹට මෙහෙයුමක්

rohana Monday, 20 August 2018 12:53 PM

රුපියල් 1000ට බත් පැකට් එකයි. දුන්නම ඕනෙ තරම් කට්ටිය ගෙන්න ගන්න පුළුවන්.

:       38       108

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3722 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10955 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1860 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site