IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා පදයට ආණ්ඩුව නටාවි

මේ දිනවල පැවැත්වෙන ජිනීවා වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාවට නැංවීමේ ක‍්‍රමවේදයට එරෙහිව ඇමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනා, ජාත්‍යන්තර මැදිහත්වීම් සහ ශ්‍රී ලංකා රජයේ ප‍්‍රතිචාර දැක්වීම පිළිබඳ අද සඳුදා හමුවට අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාය.   ආණ්ඩුව කියන්නේ ත‍්‍රස්තවාදය පරාජය කළ නිසා ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලංකාවට බලපෑම් කරන බවයි. එහෙත් ඇමෙරිකාව මෙරට සිවිල් යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය එරට තහනම් කරමින් මතවාදී තලයේදී ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ ධජය ගෙන කටයුතු කළා. සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සමග ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට එරෙහිව ගෝලීය ව්‍යාපෘති ගෙනගියා. එහෙනම් ආණ්ඩුව කියන විදියට ඇමෙරිකාවට ත‍්‍රස්තවාදය සමග ප‍්‍රශ්නයක් නැද්ද? ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග ලෝකයේ අපි වගේ දුප්පත් රටවලට ඇගිලි ගහන විවිධ ක‍්‍රම තිබෙනවා. යුද්ධයක් තිබෙන තැනක ත‍්‍රස්තවාදී ක‍්‍රියාමාර්ග පාවිච්චි කරනවා. තෙල් තිබෙන තැනක තෙල් ටික ලබාගැනීමට මැදිහත් වෙනවා. ලිබියාව වෙනිසියුලාව බොලිවියාව වගේ තැන්වල ජලය සම්බන්ධ ප‍්‍රශ්නවලට මැදිහත් වෙනවා. ආගම සම්බන්ධ ප‍්‍රශ්නවලට මැදිහත් වෙනවා. ඒක ඒ අයගෙ රාජකාරිය. ඒ අය ඒක කොහොමත් කරන වැඬේ. අධිරාජ්‍යවාදය අපි තේරුම් ගන්න  ඕන ධනවාදය අර්බුදයට ගියපු නිසාම භූමින් යළි අත්පත්කරගැනීමේ සටනක ඒ අය යෙදෙනවා. ඒ අයට වෙළෙඳ පොළවල් අත්පත් කරගන්න දැන් බෑ. ඒකෙ අමුතු මැජික් එකක් නෑ. ඒ කියන්නෙ අධිරාජ්‍යවාදය මේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවට විතරයි මැදිහත්වෙන්නේ කියල එකක් නෙවෙයි තියෙන්නෙ. ඒ අය රනිල් වික‍්‍රමසිංහ මහත්තය යටත් කරගන්නත් මැදිහත් වුණා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයගේ පාලනය යටත් කරගන්න යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩපිළිවෙල ආවා. සමසභාපතිවරු නම් කරලා පත්කළා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සමසභාපතිවරු පිළිගත්තා. යටත් වුණා. ණය දීම හරහා කරන්නෙත් ඒ බලපෑමම තමයි. එතකොට ඇමෙරිකා එක්සත් ජනපදයට රනිල් වික‍්‍රමසිංහ ද මහින්ද රාජපක්ෂ ද කියන එක නෙවෙයි යටත් කළහැකි පාලකයෙක් ද කියන එකයි වැදගත් වෙන්නේ.   එහෙත් ඇමරිකාව මාර්තු 7 කළ යෝජනාවේ ඇතැම් ඉල්ලීම් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලුව බොහෝ පාර්ශ්ව විසින් මේ ආණ්ඩුවට කරන ලද යෝජනාමයි. එහෙනම් විපක්ෂය හෝ සිවිල් සංවිධාන කියලත් ආණ්ඩුව මේ වැඩ කරන්නැතිනම් ජාත්‍යන්තරව එන මැදිහත්වීමකට අනුව හෝ එය සිදුවීම යහපතක් නෙවෙයිද? මෙහෙමනේ. ඇමෙරිකාව කරන යෝජනාවයි ආණ්ඩුව කියන කරුණුයි අතර තියෙන පරස්පරේ මොකද්ද? දැන් මේ ඇමෙරිකාව අපට අත තියනවාය අපව යටත්තරගන්න හදනවාය අපට බලපෑම් කරනවාය කියලා පෙළපාලි යන උදවිය දන්නවද ඇමෙරිකාව කරන යෝජනාව මොකද්ද කියලා? ඇමෙරිකාව කියන්නේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව වහා ක‍්‍රියාත්මක කරන්න. ඉතින් මහින්ද සමරසිංහ මහත්තය කියන්නෙත් ඒකමයි. අපි ඒ කොමිසම පිළිගන්නවා. ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කරනවා. එතකොට ඇමෙරිකාව කියන එකමයි මහින්ද සමරසිංහ මහත්තයා කියන්නෙත්. වචනවල තාලෙ විතරයි වෙනස්. ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ වැඩක්. අන්තිමට තමන්ටම තමයි ගහල තියෙන්නේ. අද මේ අපේ රටේ මිනිස්සු දේශපේ‍්‍රමයේ නාමයෙන් ඇමෙරිකාවට එරෙහිව පෙළපාලි යනකොට ඒ පෙළපාලියම තමයි ආණ්ඩුවට විරුද්ධ පෙළපාලිය වෙන්නෙත්. මොකද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව කියන එකයි ඔබාමගෙ ආණ්ඩුව කියන එකයි දෙකම එකයි. ඒකෙ පිළිවෙල ගත්තොත් හිලරි ක්ලින්ටන්ල ජී.එල්.පීරිස් මහත්තයලට කියලා මේ ආණ්ඩුව ලවා ඔය එල්.එල්.ආර්.සී කමිටුව පත්කරගත්තා. ඊටපස්සෙ ජනාධිපතිතුමාගෙ කකුල් දෙක ගාව කියවපු ඒකේ යෝජනා මාලාව ජනාධිපතිතුමා එක හඩින් පිළිගත්තා. දැන් ඇමෙරිකාව ඊළග පියවර හැටියට කියනවා ආණ්ඩුව පිළිගත් යෝජනා ක‍්‍රියාත්මක කරන්න කියලා. මහින්ද සමරසිංහ මහත්තයත් කියනවා අපි ඒ යෝජනා ක‍්‍රියාත්මක කරනවාය ඒ නිසා ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාවයක් නැත කියලා. ඇත්තටම අද පත්තරවල තියෙන්නෙ මෙවැනි යෝජනාවක් ගෙනඒමේ අවශ්‍යතාවයක් නැත කියලනේ. ඉතින් අවශ්‍යතාවයක් නැත කියන්නෙම ආණ්ඩුව ජාත්‍යන්තර අවශ්‍යතාවය ඉෂ්ට කරන නිසා අමුතුවෙන් යෝජනා ගෙනඒමේ අවශ්‍යතාවයක් නැහැ කියන එකයි.   මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජිනිවා කොමිසම හමුවේ කළ කරුණු දැක්වීම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හඳුන්වන්නේ දණගැසීමක් හැටියටයි. එතකොට ජවිපෙත් මේ ස්ථාවරයේ පිහිටන්නේ ඒ අර්ථයෙන්ම ද? එතකොට ජාත්‍යන්තර සම්මුතින්වලට අනුව කටයුතු කිරීම ශිෂ්ටසම්පන්න රටක කාර්යය නොවේද? ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේකනෙ. ජාත්‍යන්තර සම්මුතිවලට අනුව කටයුතු කරන එකක් නෙවෙයිනෙ මේ වෙලා තියෙන්නෙ. අධිරාජ්‍යවාදී වුවමනාවට අනුව දණගැසීමනෙ. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒ අධිරාජ්‍යවාදී වුවමනාවට එකගවෙලා යටත්වෙලා ඒක ක‍්‍රියාත්මක කරමින් හැබැයි රටට පෙන්නන්න හදන්නෙ මහා දැවැන්ත දේශපේ‍්‍රමීත්වයක්. රට බේරගත්ත සටන් කරන අධිරාජ්‍යවිරෝධී දේශපේ‍්‍රමී ජාතිමාමක ආණ්ඩුවක් හැටියටනේ පෙනීඉන්නෙ. ඒකනෙ මේකෙ තියෙන නියම විහිළුව. මේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙ රුපියලේ අනිත් පැත්ත. මේ ජාතිමාමක පෙනුම තියෙන පඹයො ටිකකුත් මේ ආණ්ඩුවෙ ඉන්නවනෙ. ඒ අයගෙ රෙදි ගැලවෙනවා මේ වගේ වැඩවලින්. රෙදි ගැලවෙන්න ආවම කට්ටිය බොහොම අමාරුවෙන් කෑ ගහනවා. ආණ්ඩුව ගන්න මේ ක‍්‍රියාමාර්ගවලින් චම්පිකලගෙ වීරවංශලගෙ රෙදි ගැලවෙනවා. ඉතින් නිරුවතින් කෑ ගහනවා. නැති අධිරාජ්‍යවිරෝදයක් නැති දේශප්‍රේමයක් පෙන්නන්න හදනවා. අපට තිබෙන ප‍්‍රශ්නෙ ඒකයි. 27 වෙනිදා මහා දේශපේ‍්‍රමයක් මවාගෙන පෙළපාලි ගියේ ඇත්ත දේශපේ‍්‍රමී හැගීමකින් නෙවෙයි. ආණ්ඩුවේම වැරැදි ප‍්‍රතිපත්තිවලින් වැඩිවෙච්ච ඉන්ධන මිල විදුලි බිල සම්බන්දයෙන් රටේ තිබුණු විරෝධය යටපත් කරන්න. මොකද එහෙනම් ඒ අධිරාජ්‍යවිරෝධී ක‍්‍රියාමාර්ග ජිනීවාවල කළ කතාවලිනුත් පේන්න  ඕන. තඹුත්තේගම ජාතික කොඩිය ඔසවලා වැඩක් නෑ ජිනීවාවල තව එකක් කියලා.   රටට එරෙහිව එන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණත් ඊට පාර කැපූ ආණ්ඩුවටත් එරෙහිව එකවර සටන් කළයුතු බව ජවිපෙ කියනවා. එහෙත් ජීවන වියදම ඉහළ ගිය මොහොතක ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් ගැන වෙනම අර්ථකතනයක් දී ඒ සියල්ලට එරෙහිව ආ ජනතා හඩ වෙනත් දෙසකට හැරෙව්වා නම් ඔබට වැඩකරන්න වෙන්නෙත් එවැනි ජනතාවක් සමගයි? ඉතින් රටේ අභාග්‍ය ඒකනෙ. අනෙක් අතට ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේ ජනතාවගෙම වරද නෙවෙයිනෙ. ජනතාව කොහොමත් තනියම තීන්දු තීරණ ගන්නෙ නෑනෙ. ජනතාව තීන්දු තීරණ ගැනීමට මෙහෙයවනවා. ධනපති මාධ්‍ය තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ජනතාව මෙහෙයවනවා. ජනතාවට දේශපේ‍්‍රමය ඇඟේ තියෙන දෙයක්. තමන්ගෙ රට ගැන තියෙන කැක්කුම වගේම බඩගින්න ගැනත් කැක්කුමක් තියෙනවා. ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නෙත් තියෙනවා. එතකොට ආණ්ඩුව පෝස්ටරේ ගහනවා භූමි තෙල්ද මවුබිමද කියලා. එතකොට භූමිතෙල් වෙනුවෙන් කතා කරන මිනිහා දේශද්‍රෝහියා. මවුබිම වෙනුවෙන් කතාකරන මිනිහ දේශපේ‍්‍රමියා. දේශපේ‍්‍රමියෙක් වෙන්න නම් විදුලි පුටුව ගැන කතාකරන්න. දේශද්‍රෝහියෙක් වෙන්න නම් විදුලි බිල ගැන කතාකරන්න. ඔහොමනෙ ආණ්ඩුව සමීකරණෙ හදන්නෙ. එතකොට රටේ බහුතර ජනතාවගෙ කට වහනව නේ. සැබෑ දේශපේ‍්‍රමය වෙන්න  ඕන විදුලි බිල වැඩිකරන ආණ්ඩුවටත් විරුද්ධ වෙන්න  ඕන. අධිරාජ්‍යවාදී බලවේගවලටත් විරුද්ධ වෙන්න  ඕන. මවුබිම වැදගත්. ඇත්ත. හැබැයි මවුබිමේ ජීවත්වෙන මිනිස්සුත් වැදගත්නෙ. මිනිස්සු බඩගින්නෙ මැරෙනවනම් මවුබිමේ පලේ මොකද්ද? ආණ්ඩුව මෙකද්ද කරන්නෙ ආණ්ඩුව බේරගන්න කියලා ජනතාවට කියනවා. හැබැයි ජනතාව බේරගන්න ආණ්ඩුව එන්නෙ නෑ.   එතකොට අතිමූලික ප‍්‍රශ්නයක් විදියට ඇහුවොත් න්‍යාය පත‍්‍රයෙ එකට එන්නේ මොකද්ද? ජාතික විමුක්තිය ද? ජනතා විමුක්තිය ද? ජනතාවගේ විමුක්තියෙන් තොර ජාතික විමුක්තියක් නෑනෙ. මේ ජාතික විමුක්තියට කතාකරනවා නෙවෙයිනෙ මහත්තයෝ. මේ ආණ්ඩුව තමන්ගෙ එදාවේලෙ විමුක්තියට මේ කතාකරන්නෙ. දැන් මේ ජාතික විමුක්තිය කියල වැරදි අර්ථකතනයක් නම් ගන්න එපා. ජාතික විමුක්තිය නම් මෙහෙම පෞද්ගලිකකරණය කරනවද? අධ්‍යාපනේ විකුණන්න කතාකරනවද? සෞඛ්‍ය විකුණන්න කතාකරනවද? ජාතික විමුක්තියෙ කොහේද තියෙන්නේ ඉඩම් විකුණන එක? ගොවිබිම් ටික විනාශ කරන එක? කැසිනෝ වීදි පටන්ගන්න එක ජාතික විමුක්ති ක‍්‍රියාමාර්ගයක්ය? මේ විකාරනේ.   හරි. එහෙනම් මොකද්ද මේ ටික ජනතාවට තේරුම් කරවන්න පක්ෂයක් විදියට තෝරන ක‍්‍රමඋපාය? අන්න වැදගත් එක. දැන් අපේ රටේ ජනතාව යුද්දෙ ඉවර වුණාම ආණ්ඩුව කරපු සංදර්ශනෙන් ආසියාවේ ආශ්චර්යය ලෝකයේ වේගවත්ම ආර්ථිකය ලෝකයේ වේගවත්ම කොටස් වෙළෙඳපොල කියන මිථ්‍යාවට අහුවෙලා ජනතාව එදා කතා කළේ යුද්ධෙ ඉවර කළා වගේම රට හදන්න පුළුවන් ආණ්ඩුවක්ය මේක කියලා. එතකොට ජනතාව කිව්වෙ ඇගට දැනෙන මොනවහරි වෙනවනේද කියලා. ඒකට ආණ්ඩුව පෙන්නපු දේවල් තමයි හම්බන්තොට වරාය. නොරොච්චෝලෙ බලාගාරෙ. නෙළුම් පොකුණ නාට්‍යාගාරෙ. සූරියවැව ක‍්‍රීඩාංගණේ. අධිවේගී මාර්ග වගේ ඒව. දැන් මිනිස්සු මොකද්ද කියන්නෙ? ඇගට දැනෙන ආණ්ඩුවක්ය කිව්ව ජනතාවගෙ ඇගටයි මොළේටයි දෙකටම දැන් දැනෙනවා මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ ජනතාව රවට්ටනවාය කියලා. ඇයි? වරාය හැදුවා නැව් නෑ. ක‍්‍ර‍්‍රීඩාංගණේ හැදුවා මැච් නෑ. නෙළුම් පොකුණ හැදුවා නාට්‍ය නෑ. නොරොච්චෝලෙ හැදුවා විදුලිය නෑ. එතකොට ආණ්ඩුව මේ ෂෝ එක කළාට මේකෙ බොරුව විතරයි යන්නෙ කියලා ජනතාව දැන් ඇත්ත දන්නවා.  අර ඇගට දැනෙන වැඩ කරනවාය කියල කිව්ව ජනතාවම දැන් බඬේ පාර ගහන ආණ්ඩුවයි කියනවා. ක‍්‍රම දෙකක් තියනවනෙ. අපි උගන්නන්නත්  ඕන. ජනතාව අත්දැකීමෙනුත් ඉගෙනගන්න  ඕන. ක‍්‍රම දෙකක් තියෙනවනෙ. ඉතින් අත්දැකීමෙන් ඉගෙනගන්නකොට ගෙවන්න වෙන වියදම වැඩියි කියාදෙනකොට ඉගෙනගන්නවට වඩා. කරන්න දෙයක් නෑ. ඒත් අපි කියාදෙන්න එපැයි. අපි මේ වෙනකොට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පටන් අරන් තියෙනවා. ජනහමු පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුවේ නාස්තිකාර ප‍්‍රතිපත්ති නිසා ඉහළ යන ගාස්තු අඩු කරන්න කියලා මහජන පෙත්සමක් ආරම්භ කරල තියෙනවා. ජනතාව තෝරගන්න  ඕන නිවැරැදි ක‍්‍රියාමාර්ග. ඉතින් අපි විශ්වාස කරනවා ඒ දේ තෝරගන්න නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්. ඊට සූදානම්. අද වෙනකොටත් රටේ පීඩාවට පත්වෙච්ච ගොවි ජනතාවට ධීවර ජනතාවට කම්කරු ජනතාවට වැඩ කරන ජනතාවට තරුණ ශිෂ්‍ය කාන්තා මේ හැමදෙනාටම නායකත්වය දීලා සංවිධානාත්මකව මෙහෙයවීමේ හැකියාව අපි පක්ෂයක් හැටියට පෙන්නල තියෙනවා.   ජ.වි.පෙ යනු  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රමුඛ හවුල්කරුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප‍්‍රමුඛ පාර්ශ්වය ඉවත් වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. ඇයි ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරයේ කටයුතුවලින් පසුගියදා එහි කැඳවුම්කරු ඇතුළු පිරිස අස්වුණේ? මොකද්ද මේ අවුල? මම දන්න විදියට නම් අවුලක් නෑ. ඔය සන්ධානෙ අවුලක් නෙවෙයි ඔය කියන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂයක් හැටියට අපි පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරනවා. ඔය කියන්නේ එකේක පුද්ගලයන්ගෙ අවුල් ටිකක්. සරත් ෆොන්සේකා මහතාගේ නිදහස පිළිබඳ ප‍්‍රශ්නයත් රටේ සියලුම දේශපාලන සිරකරුවන්ගේ නිදහස පිළිබඳ ප‍්‍රශ්නයත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයත් එකට ඇලිල තියෙන්නේ. අද ලෝකෙටම ඉතාම පැහැදිලියි සරත් ෆොන්සේකා මහතා නිරපරාදේ නිකරුණේ සිරගත කරලා දේශපාලන පළිගැනීමකට ලක්කරනවා කියලා. මොකද ආණ්ඩුව අපරාධ කරන අයට නිදැල්ලෙ ඉන්න අනුග‍්‍රහය දක්වනවා. හොඳම උදාහරණෙ අපි දන්නවා කහවත්තේ ඝාතනය අවසානෙ හෙළිදරව් නූනා නම් භූතයෙක්ගෙ පිට යන්නෙ. එවැනි සාපරාධී ඝාතන භූතයින්ගෙ පිට ගියාට ඒ භූතයින් අවසානෙදි ඉන්නෙ දේශපාලකයන්ගෙ ආශිර්වාද අනුග‍්‍රහය රැකවරණය ඇතුව දේශපාලකයන්ගෙ ගෙවල් ඇතුළෙ. ඒ අයට නඩුත් නෑ මුකුත් නෑ. ජනාධිපතිවරණෙදි තමන්ගෙ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වීමේ වරදට සරත් ෆොන්සේකා මහතා නිරපරාදෙ දඩුවම් විඳිනවා. ඒක යුක්තිය පිළිබඳ ප‍්‍රශ්නයක් දැන් තියෙන්නේ නීතිය පිළිබඳ ප‍්‍රශ්නෙකට වඩා.   ජනතා විමුක්ති පෙරමුණ කාලයක් තිස්සේ යුක්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවට කරන ලද යෝජනා ද ඇතුළත්වයි ජාත්‍යන්තර යෝජනා මේ මොහොතේ එන්නේ. එතකොට ජ.වි.පෙ එය අධිරාජ්‍යවාදී අතපෙවීමක් හැටියට නම් කරමින් ජාත්‍යන්තරයට දෙන්නේ අපේ ප‍්‍රශ්න අපි විසඳාගන්නම් යන පණිවුඩය ද? අපි ඉතාම පැහැදිලිව කියනවා. මේක වරද්දන්න එපා. අධිරාජ්‍යවාදීන්ගේ ජාත්‍යන්තර මැදිහත්වීමුත් වැරදියි. එවැනි මැදිහත්වීම්වලට ඉඩ හදන ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගත් වැරදියි. අධිරාජ්‍යවාදී ක‍්‍රියාමාර්ග නිසා හැබැයි ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග නිවැරදිත් නෑ. අධිරාජ්‍යවාදී ක‍්‍රියාමාර්ග නිසා ආණ්ඩුවේ සියලු පව්වලට කර ගහලා ආණ්ඩුව බේරගන්න කියන  ඕන තැනක ජනතා විමුක්ති පෙරමුණ නෑ. යුද්දෙ ඉවර වෙලා මැයි 27 වැනිදා අපි ජනතා විමුක්ති පෙරමුණ ඔය උගත් පාඩම් කොමිසමේ තියෙන යෝජනාම ආණ්ඩුවට ඉදිරිපත් කළා. කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් මේ ප‍්‍රශ්නෙට මැදිහත්වෙන්න කිව්වා. ඉතින් ආණ්ඩුව ඒවා තඹදොයිතුවකට ගණන් ගත්තෙ නැතුව අවසානෙදි ලෝකෙ පුරාම තියෙන කුණු ගොඩවල් ටික එකතු කරගෙන දැන් කෑවෝ කෑවෝ කිව්වට හරියන්නෙ නෑ. කන්න කලින් අපි කිව්වා ගත යුතු ක‍්‍රියාමාර්ග. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට දැන් ඇතිවෙලා තිබෙන ප‍්‍රශ්නෙදි පැහැදිලි ස්ථාවරයක හිඳිමින් කතාකරන්නට අයිතියකුත් තියෙනවා. ඒකට කොන්දකුත් තියෙනවා. අධිරාජ්‍යවාදී වුවමනාවට දැන් මේ වෙන දේවල් වෙන්න පුළුවන් කියලා අපි කලින් දැකපු පක්ෂයක්.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (0)

ඇමෙරිකා පදයට ආණ්ඩුව නටාවි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 180 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 132 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 210 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 219 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 722 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 967 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site