IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආර්ථිකය ලෙඩ ඇඳේ

(ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්)

නීලහරිත අයවැය, රටේ ණය ආර්ථිකයේ තත්ත්වය, මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අයවැය ඉදිරිපත් කළා යැයි චෝදනා කරන්නේ ඇයි යන කාරණා සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.

ප‍්‍රශ්නය:- යහපාලන ආණ්ඩුවේ නීලහරිත අයවැය සම්බන්ධයෙන් ඔබේ අදහස් කෙබඳුද?

පිළිතුර:- ඉතාමත් අර්බුදකාරී පැහැදිලි දැක්මක් නොමැති අයවැයක් හැටියට මේ අයවැය හඳුන්වන්න පුළුවන්. එහෙම කියන්න කාරණා කීපයක්ම තිබෙනවා. යන දිශාවක් ගැන කිසිම ඉඟියක් නෑ. ඉලක්ක මොනවාද කියා පෙන්නා දීලත් නැහැ. සාමාන්‍යයෙන් මුදල් ඇමැතිවරයෙක් අයවැයක් ඉදිරිපත් කරද්දී පසුගිය වසරෙවලදී කළ දේවල් ගැන කතා කරනවා. ලබාගෙන ඇති ජයග‍්‍රහණ, දී ඇති සහන යනාදිය ගැන කියනවා. ඒවගේ එක වචනයක්වත් මේ අයවැයේ දකින්න නැහැ. එහෙම කියන්න දේවල් නැති නිසා කට වහගෙන සිටියා කියලයි මට නම් සිතෙන්නේ.

එහෙම බැලූවාම මේ අයවැයේ තිබෙන්නේ එකම එක දිශාවක් පමණයි. ඒක තමයි බදු ගැසීම, කොහොමහරි බදු ආදායම වැඩිකර ගන්න, බදු ප‍්‍රතිශතය වැඩිකර ගන්න, බදුවල පුළුල් බව වැඩිකර ගන්න පමණක් මේ අයවැයේ කතා කර තිබෙනවා. 2014 දී සියලූම බදු ආදායම්වල එකතුව රුපියල් ටි‍්‍රලියන එකයි.

2018 දී එය රුපියල් ටි‍්‍රලියන දෙකක් බවට පරිවර්තනය කර ගැනීමට යනවා. අයවැයේ සාරාංශය එතැනම තිබෙනවා. කෙරිල තියෙන්නේ ඔච්චර තමයි. කරන වැඩක් ගැන කියලා නැහැ. අලූත් ව්‍යාපෘති ගැන කතාවක් නැහැ. නීල හරිත කියා කියන්න පුළුවන් එකම එක හේතුවක් තිබෙනවා. කොළපාට පක්ෂයකුයි නිල්පාට පක්ෂයකුයි එකතුවී රටට ගේම් එකක් දෙන අයවැය කිව්වොත් නම් හරි.

ප‍්‍රශ්නය:- මේ අයවැයේ අඩංගු දිගුකාලීන වැඩ පිළිවෙළ ඔබලාට පේන්නේ නැතිද? විචාරකයන් පවා එවැනි වැඩ පිළිවෙළක් ගැන කියනවා?

පිළිතුර:- එහෙම එකක් මේ අයවැයේ තිබෙනවා යැයි කවුරු හෝ කියනවා නම් ඒක හොඳට හංගලා තිබෙන රහසක්. මේ අයවැයෙන් එවන් වැඩ පිළිවෙළක් පේන්න නැහැ. රට ගෙනියන්නේ කොතැනටද කියා අයවැයෙන් කියන්න  ඕනෑ මේ මේ ක්්ෂේත‍්‍රවල මේ මේ අරමුණු තිබෙනවා කියා කියන්න  ඕනෑ. විචාරකයන් කොහොම මේ පිළිබඳ විග‍්‍රහයක් ගත්තද කියන්න දන්නේ නැහැ. වෙන වෙන දේවල් එකතු කිරීමත් පමණක් නම් තිබෙනවා. මේ එකක්වත් ඒකරාශී කිරීමක් නැහැ. අතන අරක කරනවා මෙතන මේක කරනවා කියා කියනවා හැරුණුකොට මේ සියල්ල එකට යන ගමනක් නැහැ.

ප‍්‍රශ්නය:x ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ නමින් මේ රටේ අර්ථිකය නංවාලීමට ගෙන ඇති වැඩ පිළිවෙළ පැහැදිලිව තිබෙද්දී එය ඔබලා දකින්නේ නැතිද?

පිළිතුර:x ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’’ කිව්වාම සාමාන්‍යයෙන් විදේශ ආයෝජකයන්ට ලංකාවට පැමිණ ආයෝජනය කර රටේ ආර්ථිකය නංවා ඒ අයටත් යම් වාසියක් ලබාගන්න පුළුවන් කියන අදහස තිබෙනවා. ඊට අමතරව ලංකාවෙ අයටත් ආයෝජනය කර, ගනුදෙනුකර යම් වාසියක් ආර්ථිකයටත් තමන්ටත් ලබාගත හැකිබව කියැවෙනවා. මුලින්ම අපි ලංකාවෙ ආයෝජකයන් ව්‍යපාරිකයන් ගැන බලමු. ආයෝජකයන් මුලින්ම බලන්නේ මොනවාද? ණයක් ලබාගැනීමේදී පොලී අනුපාතය මොන මට්ටමේද බලනවා. දැන් මේ රටේ පොලී අනුපාතය කීයද?

බැඳුම්කර වංචාව නිසා 2014 තිබූ පොලී අනුපාතයට සාපේක්ෂව අද පොලී අනුපාත සියයට හැටකින් වැඩිවී තිබෙනවා. සියයට දහයක පොලියක් ගෙවූ අයෙක් අද අඩුම වශයෙන් සියයට 16 ක් 17 ක් 18 ක් ගෙවනවා. නිවාස ණය පොලිය සියයට 18 ක් පමණ වෙලා. සමහර තැන්වල සියයට 20 ට පොලිය නැගලා. යතුරුපැදියක් ගන්න ලීසිං පහසුකමක් ගන්නවිට පොලිය තිබුණේ සියයට දොළහට. දාහතරට අද එය සියයට 24 යි. සියයට 26 යි. ණයකාඞ් පොලී අනුපාත සියයට 34 ට 36 ට නැගලා. මේ වගේ වාතාවරණයක් යටතේ කාටද එන්ටප‍්‍රයිස් කරන්න පුළුවන්. ව්‍යපාරයක් කරන්න පුළුවන් කාටද? අවදානම දරුණු ලෙස වැඩිවෙලා.

යම් භාණ්ඩයක් ආනයනය කළ අයකු මුහුණ දෙන තත්ත්වය මොකද්ද? එදා ඩොලරයක මිල රුපියල් 130 යි. අද එය රුපියල් 155 යි. මේ ආකාරයට සෑම පැත්තකින්ම බරපතළ තත්ත්වයක් තිබෙනවා. අලූත් බදු නිසා අලූත් ව්‍යාපාර කිරීම අපහසුවී තිබෙනවා. මේ රටේ සේවා නියුක්තිය 2014 සිට 2016 වනවිට 4,76,000 කින් අඩුවී තිබෙනවා.

රටේ පවතින තත්ත්වය ඒකෙන්ම තේරෙනවා. රටේ යථාර්ථය  ඕක තමයි. එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා කිව්වට දේශීය වශයෙන්නම් ආයෝජනයට යොමුවන වාතාවරණයක් නැහැ. තුන් හතර දෙනෙක් දියුණුවෙලා ඇති. අනෙක් අයනම් දියුණුවී නැහැ.

අනෙක් පැත්තෙන් බලද්දී පිටරටින් එන්නේ කවුද? අද විවෘත කරන සියලූම ව්‍යාපෘති අපේ කාලයේ ආරම්භ කළ ඒවා. ෂැංග‍්‍රිලා විවෘත කළේ කවුද? එක් අලූත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවාද? ඒ නිසා මේ අය කරන බොරුව ජනතාවට වැටහෙනවා. මේ පසුබිම යටතේ ආකර්ෂණීය ලේබල් අලවා ගත්තට මහපොළොවේ එහෙම දෙයක් නැහැ.

ප‍්‍රශ්නය:- ඔබලා මොනවා කිව්වත් මේ අයවැයෙන් ජනතාව මත පීඩනයක් පටවා නැහැනේද?

පිළිතුර:- ඔය කතාව මුදල් ඇමැතිවරයා කියනවා. ඒ වගේම ආණ්ඩුවේ අනෙක් අයත් කියනවා. හැබැයි ජනතාව එහෙම කතාවක් කියන්නේ නැහැ. ජනතාව මත පීඩනයක් නැති බව කියන්න  ඕන ජනතාවයි. අද ත‍්‍රිරෝද රථයක ගියත් බස් රථයක ගියත් දුම්රියක ගියත් ජනතාව කියන්නේ මොකද්ද? ජීවත් වෙන්න අමාරුයි කියලයි කියන්නේ. ජනතාවගෙන් මේ ගැන අහලා බලන්න. එතකොට ඔය පීඩනය සම්බන්ධයෙන් කියාවි. එයට වගකිව යුත්තේ කවුද කියලත් කියාවි. දේශපාලනඥයන්ගෙන් මේ වගේ කරුණු සම්බන්ධයෙන් විමසලා වැඩක් නැහැ. රටේ ජනතාවගේ හද ගැස්ම දන්නේ නැති අයගෙන් විමසුවොත් කියාවි අද ජනතාවට කිසිම පීඩනයක් නැහැ කියලා. රටේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියා ඇතැම් අය කියන්නේ ඒ නිසයි. ජනතාව සතුටෙන් ඉන්න බව කියන්නෙත් ඒ නිසයි. මේ අය මොනවා සිතාගෙන සිටියත් ජනතාව මුහුණදී සිටින පීඩනයේ තරම ජනතාව දන්නවා.

ප‍්‍රශ්නය:- එහෙම නම් ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න මොනවාද කියලා කෙළින්ම කියන්න?

පිළිතුර:- ජනතාවට කිසිම ව්‍යාපාරයක් කරගෙන යන්න බැරි තරමට බදු දෙගුණ කරලා. රුපියලේ අගය සියයට 17 කින් අවප‍්‍රමාණය කරලා. මුලින් කිව්වා වගේ පොලී අනුපාත සියයට හැටකින් වැඩිකරලා. ජනතාවට තිබෙන සියලූ යටිතල පහසුකම් අර්බුදකාරී තත්ත්වයට පත්කරලා. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැහැ. රටේ තිබෙන ප‍්‍රශ්න විසඳන්නේ නැහැ.

භාණ්ඩ හා සේවා මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා. සාලාවේ නිවාස කැඩුණු අයට වන්දි ගෙවා නැහැ. ගංවතුරෙන් පීඩාවට පත්වූ අයට නිසි සහන ලබාදී නැහැ. නියඟයෙන් පීඩා විඳි අයට සහන දුන්නාද? විශ‍්‍රාම වැටුප් දෙනවා කියූ රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් නැහැ. ගොවීන්ට තිබූ පොහොර සහනාධාරය කප්පාදු කරලා. මේ සෑම පැත්තකින්ම ජනතාව පීඩාවට පත්වෙලා. මේ ආණ්ඩුවට මේ ප‍්‍රශ්න විසඳන්න බැරි බව දැන් ජනතාව දන්නවා. ඒවගේම තමන්ට මේවා කළ නොහැකි බව ආණඩුවත් දන්නවා.

අවුරුදු තුනකට ආසන්න කාලයක් පළාත් පාලන ඡන්ද කල්දැම්මා. දැමිය හැකි සෑම වෙට්ටුවක්ම එතැනදී ආණ්ඩුව දැම්මා. දැන් යම් කොළ එළියක් පත්තුවී තිබෙනවා. කොළේ වහලා ගහලා පළාත් සභා ඡන්දයත් කල්දැම්මා. මේවා මෙහෙම කරන්න හේතුවක් තිබෙනවා. මේවාට මුහුණදීමට තමන්ට නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගෙන තිබෙනවා. ජනතා මතය මොකද්ද කියන එකත් මේ අය දන්න කාරණයක්. බැලූමක් වතුරයට තෙරපාගෙන දිගුකාලයක් තියාගන්න බැහැ.

ප‍්‍රශ්නය:- බදුවැඩි කළා කියා ඔබ චෝදනා කරනවා. එහෙත් අයවැයෙන් බදු වැඩි කළේ නැහැනේද?

පිළිතුර:- වැඩි දෙයක් බලන්න  ඕන නැහැ. අයවැයේ සාරාංශය බලන්න. රජය බලාපොරොත්තුවන බදු ආදායම පැහැදිලිව එහි සඳහන් වෙනවා. 2018 වසරේදී රුපියල් බිලියන 2039 ක් බදු ආදායමෙන් බලාපොරොත්තු වන බව පැහැදිලිව එහි කියා තිබෙනවා. රුපියල් බිලියන 1050 සිට රුපියල් බිලියන 2039 ට බදු ආදායම වැඩිකර ගන්න විට එය දෙගුණයකට ආසන්නයි. විවිධ ක‍්‍රමවේදවලින් ගන්නේ මේ මුදලයි. මේ මුදල සම්පූර්ණයෙන් ගන්නේ ජනතාවගේ සාක්කුවෙන්.

වෙන කවුරුවත් මේ මුදල් දෙන්නේ නැහැ. තිබෙන සෑම බද්දක්ම වැඩි කරලයි මේ මුදල සොයාගන්න යන්නේ. මෙහෙම බදු එකතු කර රටේ සංවර්ධන වැඩක් කරනවා නම් ප‍්‍රශ්නයක් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව බදු මුදල් ගෙන බලාගාර, වරාය, ගුවන්තොටුපොළ, මාර්ග ඉදිකළා. උතුරු පළාත සංවර්ධනය කළා. මේවා සාධාරණ ද අසාධාරණ ද කියන එක පැත්තකින් තියන්න. හැබැයි ඇහැට පේන්න මේවා කළා.

එහෙත් අද වෙන්නේ මොකද්ද? බදු ආදායම දෙගුණ කළානම් කරන වැඩත් දෙගුණ වෙන්න  ඕනෑ. ඒවුණාට මොකුත් වෙන්නේ නැහැ. එහෙම නම් මේ සල්ලිවලට වෙන්නේ මොකද්ද? බිලියන ගණන් කුලී ගෙවන ගොඩනැගිලිනම් තිබෙනවා. මේවායෙන් ප‍්‍රයෝජනයක් තිබෙනවාද?

ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව ණය, බදු ගන්නේ රාජපක්ෂ කාලයේ ගෙන ඇති ණය ගෙවා රට එයින් නිදහස් කරගන්නයි. ඒ වැරැදිවල පව් ගෙවන්නේ මේ ආණ්ඩුව. වෙනත් වැඩක් කරන්නේ කොහොමද?

පිළිතුර:- ණය, බදු අරගෙන රාජපක්ෂලාගේ ණය ගෙවනවා නම් ඒ ණයවලට වෙන්නේ මොකද්ද? ඒ ණය ඉවර වෙනවා. අවුරුදු තුනක් තිස්සේ එහෙම දෙයක් වෙලා නම් නැහැ. හැබැයි හැමදාම රාජපක්ෂලාගේ ණය ගැන කියනවා. ඒ වගේම ණයත් ඉහළ ගිහින්. රාජපක්ෂලා ගත්ත ණයවලින් කරපු වැඩ තිබෙනවා. මේ අය ගත්ත ණයවලින් කළේ මොනවාද? රාජපක්ෂලා ගත් ණය තවම තිබෙනවා නම් මේ අය ණය අරන් තිබෙන්නේ ඒ ණය ගෙවන්න නෙමෙයි. මේ අයගේ වැඩවලටයි.

එදාගත් ණයත් මේ අයගත් ණයත් දෙකම තිබෙනවා නම් කරපු දෙයකුත් නැත්නම් ගත්ත ණයවලට කර තිබෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවට දැන් අවුරුදු තුනක්. දැන් මේ ආණ්ඩුවත් පරණයි. මේ පරණ ආණ්ඩුව කරපු දෙයකුත් නැහැ. ඉතුරු වෙච්ච මුදලකුත් නැහැ. ගෙවපු ණයකුත් නැහැ. කරල තියෙන්නේ හැම දෙයක්ම වැඩි කිරීමයි. හැම දෙයක්ම රාජපක්ෂ පිටේ පටවන්න දැන් බැහැ. දැන් තිබෙන්නේ සිරිසේන - වික‍්‍රමසිංහ ආණ්ඩුවක්. මේ අය ගත් ණයවලට කිසිම ප‍්‍රතිලාභයක් රටට නැහැ කියන එක පැහැදිලිව පේනවා.

ප‍්‍රශ්නය:- රටේ උද්ධමනය යම් ඉහළ යාමකට පත්ව තිබෙනවා. මේ පිළිබඳ ඔබට ඇති පැහැදිලි කිරීම මොකද්ද?

පිළිතුර:- මම මහ බැංකු අධිපති වනවිට උද්ධමනය තනි ඉලක්කමේ තිබූ වැඩිම කාලය මාස 23 යි. කිසිවිටෙක සියයට දහයකට අඩු උද්ධමනයක් දිගින් දිගටම අපට තිබිලා නැහැ. මම අයින්වී යනවිට වසර හයක කාලයක් තිස්සේ උද්ධමනය මැදි තනි ඉලක්කමේ පවත්වාගෙන සිටියා. මේ ආණ්ඩුව බාර ගත්තේ ඒ වගේ ආර්ථිකයක්. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 28 ත් 60 ත් අතර ගණනකට අඩුවීම මේ ආණ්ඩුවට වාසියක් වුණා. මේ වාසියත් එක්ක 2015 දී උද්ධමනය සියයට 1 ට අඩුවුණා. එය මේ අයගේ හපන්කමක් නිසා නෙමෙයි. ලෝක තෙල්මිල අඩුවීමේ වාසිය ලැබුණා. ඒ ගැන අපට සතුටුයි.

ඊට පසුව කරගත් දේවල් නිසා විශේෂයෙන් බැඳුම්කර වංචාව, රුපියල අවප‍්‍රමාණ කිරීම හරහා උද්ධමනය වැඩිවී අදවනවිට එය සියයට 8.6 කට වැඩිවෙලා. මේ වසර අවසන් වනවිට ඇතැම් විට සියයට 10 ට උද්ධමනය වැඩි වෙන්නත් බැරි නැහැ. ආර්ථික කළමනාකරණයේ තිබෙන දුර්වලකමයි මෙයින් පේන්නේ. මේ නිසා විශේෂයෙන්ම පොලී අනුපාත තවත් වැඩි වෙනවා. ඒක සැමටම ලොකු ප‍්‍රශ්නයක්. ඒ සමඟම රුපියලේ අගයත් තවත් පිරිහීමේ ඉඩ තිබෙනවා.

‘උද්ධමනය වැඩිවීමේ අපේක්ෂාව’ නිසා උද්ධමනය තවත් වැඩි වෙන්න පුළුවන්. මේ සියලූ අවදානම් මතුව තිබෙන්නේ රජයේ අදුරදර්ශී වැඩ පිළිවෙළ නිසයි. මේ රටේ ආර්ථිකය පිරිහෙනවට මම කැමැති නැහැ. එදා අපි මේවා ගැන සංවේදීව කටයුතු කළා. එහෙත් අද කාටවත් එහෙම අවශ්‍යතාවක් ඇතිබවක් පේන්න නැහැ. මේ අයට අවශ්‍ය එදාවේල ගෙනියන්නයි. වගකිවයුතු කිසිවෙක් මේ කාරණය සම්බන්ධයෙන් කතා කරනවා පේන්න නැහැ. විසඳුම් නැති පසුබිමක මේවා තවත් උග‍්‍ර වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- මූල්‍ය අරමුදලේ කොන්දේසි මත අයවැය ඉදිරිපත් කළා කියන චෝදනාව ඔබ ඉදිරිපත් කරන්නේ මොන පදනමකින්ද?

පිළිතුර:- මූල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට එකඟවන කොන්දේසි සඳහන් ලිපියක් ඉදිරිපත් කරනවා. අදාළ ණය දෙන්නේ ඒ ලිපිය මතයි. අපේ කාලයේත් ඒ ලිපි දුන්නා. ඒ ලිපි මූල්‍ය අරමුදලේ සහ මේ රටේ වෙබ් අඩවියේ තිබෙනවා. රටට අවාසිවන කිසිදු කොන්දේසි ඒ ලිපිවල අපි දුන්නේ නැහැ. මේ ලිපි  ඕන කෙනෙකුට බලන්න පුළුවන්. එහෙත් මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ණය ගන්න විටත් ලිපියක්දී තිබෙනවා. ඒ ලිපියත් මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ තිබෙනවා.

සියලූම කොන්දේසි එහි තිබෙනවා. බදු වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය වාණිජකරණය, රාජ්‍ය බැංකු වාණිජකරණය යනාදී සියල්ල එහි සඳහන්. මේවා නොකළොත් ණය නොදෙන බව මූල්‍ය අරමුදල කියා තිබෙනවා. එනිසා ණය ගන්න මූල්‍ය අරමුදල කියන දේ මේ අය කරනවා. ඒ ගනුදෙනුව සාර්ථකව සිදුවෙමින් පවතිනවා.

වෙන රටක් ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේදී යම් ශක්තියක් තිබෙන්න  ඕන. පිරිහුණු තත්ත්වයක් යටතේ යම් යම් ඉල්ලීම් කරන්න බැහැ. එහෙම වුණාම අනෙක් අය කියන පදේට නටන්න වෙනවා. අද මේ ආණ්ඩුවට සිදුව තිබෙන්නේ එයයි.

ආර්ථිකය තිබෙන්නේ ලෙඩ ඇඳේ. අද සෑම ලෙඩක්ම ආර්ථිකයට වැළඳිලා. විවිධ අංශවලින් විදහා දැක්වෙන්නේ එම ලක්ෂණයි. ප‍්‍රශ්න උග‍්‍රවන විට වෙනත් අයට ඇඟිල්ල දිගු කිරීම ආණ්ඩුව පුරුද්දක් කරගෙන තිබෙනවා. ප‍්‍රශ්න විසඳන්න හදන්නේ ඒ ක‍්‍රමයටයි. එයින් ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප‍්‍රශ්න යටපත් කිරීමයි මේ අය කරන්නේ.

(සාකච්ඡා චමින්ද  මුණසිංහ)



අදහස් (27)

ආර්ථිකය ලෙඩ ඇඳේ

sena Tuesday, 05 December 2017 09:12 AM

තමුන්නාන්සේලා මරන්නම හදපු ලෙඩාලු නොවැ මේ කට්ටිය ඔය ලෙඩ ඇදේ තියාගෙන බෙහෙත් කරනවා කියන්නේ.

:       228       546

Chula SeneviratneWednesday, 06 December 2017 07:41 AM

ඇත්ත, මෙයාගේ කාලේ මහා බැංකු වාර්තාව හැදුවේ මහින්දට ඕන විදියට, ඒසියන් ට්‍රිබියුට් සඟරාවේ ඇත්ත දත්ත තිබුණා... ලංකාවේ ආර්ථිකය ගැන.. මෙයාගේ කාලේ , මෙයා දැන් බයිලා ගහනවා.

:       83       202

BamunuarachchiThursday, 07 December 2017 12:36 AM

ඉතින් එකේ වරදක් තිබෙනවාද? එමනිසා ආර්ථිකය අඩාල උනාද? රටේ අනාගතයේ රටට මොකක්ද කරන්න යන්නේ කියන එක දන්නේ රටේ ජනාදිපති මිසක් බැංකු අධිපති නොවෙයි. මහින්දට ආර්ථිකය ගැන අවබෝදයක් තිබුන නිසා තමයි කබ්රාල් මහතා මහින්ද මහතාගෙන් උපදෙස් ගත්තේ. ආර්ථිකය ගැන අවබෝදයක් තිබුන නිසා තමයි මහින්ද මහතා පැට්‍රල් මිල අඩු නොකළේ, රු. 3000 පමණක් පඩි වැඩිකළේ. ආර්ථිකය ගැන මුකුත් නොදන්නා නායකයෝ බැංකු පරිපාලනය විදේශිකයකුට දුන්න. දීල යාලු මිත්‍රයෝ සියලු දෙනාම එකතුවෙලා බැකුව මංකොල්ල කාලා රට අගාදයකට දැම්මා.

:       203       107

maheshikaFriday, 08 December 2017 06:17 PM

කවුරු අයවැය හැදුවත් යුද්දෙකුත් කරලා දිනලා රටේ මිනිස්සු හාමතේ නොමැරී ජීවත් වුණානේ. රටේ මාර්ග පද්ධතියක් දියුණු කළානේ. විදේශිකයෝ ලවා මහ බැංකුවේ සල්ලි මුට්ටිය අඩියටම සූරාගෙන කෑවේ නැහැනේ.

:       0       0

Lankikayek Tuesday, 05 December 2017 11:10 AM

රජයේ සේවකින් වසයෙන් ඔබ සියලුදෙනාම වග කිව යුතුඉ මේ ආර්ථික කඩවෙටිමට.

:       7       109

siri Tuesday, 05 December 2017 06:29 PM

අපි දන්නේ නැත්ද? සී ෂෙල්ස් වල බැංකුව ඇරියේ ආර්ථිකය ගොඩගන්න නේ....

:       0       52

palitha Wednesday, 06 December 2017 03:11 AM

ඕවට වග කියන්න ඕන අය තමයි ඔය දැන් නින්දෙන් ඇහැරිලා ඉන්නේ. තව ටිකක් ඉන්න ළඟදීම කැඳවුම් එනවා.

:       59       124

KUMARA Wednesday, 06 December 2017 03:44 AM

මට මේක කියවද්දී නින්ද ගියා. හීනෙන් පෙණුන මහින්ද මහතාගේ ඔඩොක්කුවෙන් බැහැලා කියන ඒවා කියලා ...

:       48       108

BamunuarachchiThursday, 07 December 2017 12:55 PM

මහින්ද මහතාට දොස් කියන අය හරි හමන් තර්කයක් මහින්ද මහතාට විරුද්ධව කරනවාද? නැහැ කව්රුත් කියන්නන් වාලේ කියන දෙයක්.. මේ ගොල්ලොත් කියනවා හැරෙන්නට අපට උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් අහන්නේ නැත. ඔඩොක්කුවෙන් බැස්ස ඔඩොක්කුවට නැග්ග වගේ දේවල් කියනවා හැරෙන්නට මහින්ද මහතා මේදේ කළා... වැරදියි කියලා කෙලින් කියන කෙනෙක් නැත.

:       104       45

පිටිගල මිලානෝ Wednesday, 06 December 2017 01:34 PM

මෙයා තවත් හොරෙක් විතරයි. මේ ගොල්ලෝ දන්නා ආර්ථික විද්‍යාව...!

:       2       52

BamunuarachchiThursday, 07 December 2017 12:44 AM

පිටිගල මිලානෝ ඔබ තරම් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික විද්‍යාව දන්නේ නැති බව අපි දන්නවා.

:       50       2

priyaSaturday, 09 December 2017 07:29 AM

බමුණුආරච්චි මහතා වෙත, ආර්ථික විද්‍යාව හොඳට දන්නා අය තමා හැමදේම අහුනොවන්න වෙනස් කරන්න දන්නේ. ඔය කබ්රාල් මහත්තයා මහබැංකු අධිපති වෙලා ඉන්නකොට පාර්ලිමේන්තුවට කී පාරක් කැඳෙව්වද ප්‍රශ්න කරන්න. මොකද වුණේ ආවද? දැන් නම් පාර්ලිමේන්තුවට ඇවිත් දැන් වෙලා තියන දෙය ගෙන කතාකරන්න සුදානම්. ඒ වගේම බන්දුල ගුණවර්ධන කියන්නෙත් හොඳ ආර්ථික විද්‍යා ඔස්තාර් කෙනෙක්, මමත් එතුමාගෙන් ඉගෙනගෙන තියෙනවා. එයාගේ විදියට රුපියල් 2500ක් ඇති ජීවත්වෙන්න. ඔස්තාර්ලා ආර්ථික විද්‍යාව නවන හැටි තමා ඔය.

:       0       2

Bamunuarachchi Thursday, 07 December 2017 12:47 AM

මෙතන අදහස් දමන අයගෙන් මම අහන්නේ මහින්ද මහතාගේ ආර්ථිකයෙන් ඔබ අපිට උන ආර්ථික පරිහානිය මොකක්ද. දැන් ඉන්න අයගෙන් රටට උන ආර්ථික වාසියක් මොකක්ද?

:       40       31

Saman Thursday, 07 December 2017 02:55 AM

බිසවගේ නෑකමට අධිපතිකම ලැබුනේ.. අනේද කියන්නේ...? කරපු එකම දේ නාමල් එක්ක කෝච්චි පැද්ද එකයි..

:       51       43

BamunuarachchiThursday, 07 December 2017 12:45 PM

මොන කතාවක්ද ඔය... මෙතන අපි කතා කරන්නේ කබ්රාල් මහතා කියන "ආර්ථිකය ලෙඩ ඇඳේ" කියන අදහස මිසක් කාගේවත් බිසවක් ගැන නොවෙයි.

:       47       1

BamunuarachchiThursday, 07 December 2017 01:05 PM

"බිසවගේ නෑකමට අධිපතිකම ලැබුනේ." අර රටටම අයිති නැති එකෙකුට අධිපතිකම දුන්නාට කමක් නැහැ මේ රටේම පුරවැසියෙක් වන බිසවගේ නෑයාට අධිපතිකම දීම වැරදියි. දැන්නම් මෙයා අධිපතිකම අරන් කරපු වැරැද්ද මොකක්ද? මුහුණට මුහුණලා කරන වාදයක් නම් ළඟට ඇවිත් ගහන්න ඕනෑ කියන ගොන් කතාවලට...

:       83       74

rohan perera Thursday, 07 December 2017 03:42 AM

බැලුව කවුද කියන්නේ කියලා.?

:       0       58

Muah Thursday, 07 December 2017 06:21 AM

ඇයි ඇලෝසියස් එක්ක ගේම දෙනකොට ආර්ථිකය හොඳට තිබුණද?

:       0       38

BamunuarachchiThursday, 07 December 2017 01:00 PM

ආර්ථිකය හොඳට තිබුණද නැද්ද කියන එක බලා ගන්න තිබුණා බැංකු පොලියෙන්. ආර්ථිකය නරක නම්, උද්ධමනය වැඩිනම් බැංකු පොලිය ඉහල යනවා. මේ දේ කරන්න කලින් තැන්පත්කරුවෙකුට ලැබුණු පොලිය 7.5% ඇලෝසියස් එක්ක ගේම දුන්නට පසුව තැන්පත් කරුවෙකුට ලැබුණු පොලිය 11.5 යි. එතකොට හිතා ගන්න ණය පොලිය කොපමණද කියා? කියලා. දන්නා මගුලක් කතා කරනවා හලෝ.

:       69       3

Bamunuarachchi Thursday, 07 December 2017 12:49 PM

ඇයි සී ෂෙල්ස් වල බැංකුව අරින්න මහින්ද මහතාට තහනමක් තියනවාද? මෙගේත් පිටරට බැංකුවල සල්ලි තිබෙනවා.

:       53       1

V.warnakulasuriya Thursday, 07 December 2017 11:48 PM

මෙතුමාගේ ප්‍රකාශයට අනුව " බැලුමක් දිය යට තෙරපාගෙන දිගු කලක් පවතින්නේ නැත." 2015 ජනවාරි ආණ්ඩු පෙරළියත් සමඟ මෙතුමා පැත්තකින් තියමු කියන එක සාධාරණද, අසාධාරණද කියන දේ අපි දුටුවෙමු. මෙතුමාගේ සොහොයුරියත්, අර්ජුන් මහේන්ද්‍ර හිටපු මහබැංකු අධිපතිවරයත් අර්ජුන් ඇලෝෂියස් මහතා සමඟ පැවති සම්බන්ධතාවයන් බලන විට කබ්රාල් මතාගේ වචනයෙන්ම කියනවා නම් මේක " කොළපාට පක්ෂයකුයි, නිල්පාට පක්ෂයකුයි එකතුවී නිතරම රටට ගහන ගේමක් කිව්වොත් හරිය." හිටපු අය බාගෙන කෑවා. දැන් අය ඉහගෙන කනවා. කොටසක් හොරකම දන්නවා. කොටසක් සොරකම් කිරීම නොදනී. මේ ගේම මෙහි ප්‍රතිචාර දක්වන සමහර වියත් ගොඩ පෙරකදෝරුවන් තේරුම් නොගැනීම නිසා මේ කියන බැලුම සදාකාලිකව උඩ යට පවතිනු ඇත.

:       0       0

Udarath PhD Tokyo University Friday, 08 December 2017 08:38 AM

රවුම් දර්ශනයට අනුව වැඩ කරන්න ඕනෑ..

:       0       0

chula Seneviratne Friday, 08 December 2017 10:03 AM

බමුණුආරච්චි මහතා, ඔබ මට පිළිතුරු දීලා තිබුණා. මහබැංකු වාර්තාව මහින්දට ඕනෑ විදියට හදන එකේ වරදක් නැහැ කියලා. එ්ක සෙන්ට්‍රල් බෑන්ක් රිපොර්ට් එකේ මූලික අරමුණ සහමුලින්ම උල්ලංඝනය කිරීමක්. අනික මහින්ද ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවේ. ඔහු විභාග ලියපු හැටි (සා.පෙළ පවා) පහුගිය කාලෙක වීක් එන්ඩ් පේපෙර් එකක තිබුණා. සී බී රිපෝර්ට් එක කියන්නේ පසු ගිය මුදල් වර්ෂයේ රටේ ආර්ථික තත්වය පිලිබඳ වාර්තාවක්, එ්ක සත්‍ය දත්ත මත පදනම් වීම මිස මවාපෑමක් නොවේ. ඔබතුමා අය-වැය මේ සමග පටලවා ගන්න එපා.

:       0       8

sunil Saturday, 09 December 2017 04:42 AM

ලෙඩෙක් කලාට පස්සේ ලෙඩා ඇඳේ මිසක් වෙන කොහේ ඉන්නද? අර කැරිබියන් දූපත්වලට සොමියට ට්‍රිප් ගිහින් කරේ එල්ලිලා නටනකොටත්, මෙහෙම හිතුණද ලෙඩා තවම ලෙඩ ඇඳේ කියලා?

:       0       2

sunil Saturday, 09 December 2017 04:45 AM

එතකොට අර ග්‍රීසියේ බොන්ඩ් අරගෙන ඒවා රටට පාඩු වෙනකොටත් ලෙඩා හිටියේ සොමියේ නට නටද? අපි තවම මැරිලා ඉපදුනේ නැහැනේ !!

:       0       2

Chandra Sunday, 10 December 2017 02:52 AM

ලැබුණු තොරතුරු අනුව ආර්ථිකයටත් කොම්පියුටර් ජිල්මාට් දාලා. ඒ දත්තත් මකලා දාලා. හැම අවුරුද්දෙම හොද ආර්ථික වර්ධනයක් තිබුනා. හැබැයි ප්‍රවෘත්ති වලට විතරයි. දැන් අපි ආපසු ගෙවනවා. ඉපදුන පොළොවේ අපි අනාත වෙලා ඉන්නේ.

:       0       2

viddya sri shanthikumara Sunday, 10 December 2017 04:49 AM

මෙතුමා කතා කරන්නේ හරියට හැම දෙයක්ම හරියට ඉටු කරාපු මහත්තයෙක් විදියටනේ.... එතුමා රනිල් මහත්තය එක්කනේ පටන් ගත්තේ එතකොට... අවසන් උනේ මහින්ද මහත්තය එක්ක ... රටට පෙන්න වැඩ කල තමයි ... ණය අරගෙන.... නමුත් ණය ගෙවන්න අදායමක් ඒ කරපු දේවල් වලින් ලැබුනද..........වරක් අපිට ඇහුන මත්තල ගුවන් තොටුපලේ වාර්ෂික අදායම 15000 යි රුපියල් කියල.... ඉතින් ගත්ත ණය ගෙවන්නේ ඒ අදායමෙන්ද .. එක නම් මොන උප්පර වට්ටියකින් හරි ඒ කරපු දේවල් වලින් අදායම හොයන්න යන්නේ ... පටු දේශපාලනේ මහින්ද මහත්තය එක්ක ඉදිද්දී ලබපු කොමිස් ගැන නොහිතා... තමන්ගේ උගත් බුද්ධිමත් දැනුම රටේ නායකත්වයන් එක්ක එකතු කරගෙන. රටේ ප්‍රශ්න විසදන්න හැදුවනම්... කොච්චර වටිනවද ..... වැදගත් වෙන්නේ එක පුද්ගලයෙක් ගැන සිත සිටීමද ... රටේම පොදු පුරවැසියන් ගැන සිතීමද ... රටේ මිනිස්සුන්ගෙන් ජීවතේ අමාරුකම් ගැන අහල බලය එහෙට මෙහෙට හුවමාරු වෙනකල් ඉන්න එක නෙවෙයි මේ වගේ වැදගත් මහත්තුරුන්ගෙන් වෙන්න ඕනේ.... පොදුවේ හැමදෙනාටම ගැලපෙන ක්‍රම විදි එක්ක ජනතාවට සහන දෙන්න පුළුවන් ආකාරයට පාලන ක්‍රමයට සම්බන්ධ පුද්ගලයෝ එකතු කරගෙන ඒ අදහස් ක්‍රියාවට නංවන් වැඩ සටහන් නේද.......

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 23 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 40 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 91 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 350 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 457 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 83 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site