IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවට තවත් රට ගෙනියන්න බෑ

ලෝක තෙල් මිල ඉහළ ගියත් ලංකාවේ තෙල් මිල ඊට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ දැමීමේ පසුබිම කුමක්ද? ඒ තුළ ජන ජීවිතය මෙන්ම වර්ජන හා ජන ඝාතන හරහා රට අවුල්වී නිර්මාණය වෙමින් පවතින ව්‍යාකූලත්වය ගැන අප හා කතාබහ කළ මංගල සමරවීරගේ මතවාදයි මේ. ප‍්‍රශ්නය:- ඔබ බලය හා වරප‍්‍රසාද භුක්ති විඳිමින් කමින් බොමින් ආණ්ඩුව තුළ ඉන්නේ නැතුව විපක්ෂයට විසිවීම ගැන මොකද හිතෙන්නේ? පිළිතුර:- 2007 සිට මේ දක්වා වසර 05ක් මම විපක්ෂයේ ඉන්නවා. මම ඉතා තෘප්තිමත්. මරණ තර්ජන අපහාස පවා ආවත් ජනතාව එක්කයි මම ඉන්නේ. මේ ආණ්ඩුව අනුගමනය කරන ජනතා විරොධී හා මේ රට ලෝකය තුළ අනාථ කරමින් යන ගමන ගැන හිතනවිට ආණ්ඩුව එක්ක නොඉඳීම පූරුවේ කළ පිනක්. ඒ වගේම තමාට පෙර රට ගැන හිතන ප‍්‍රතිපත්තිගරුක විපක්ෂයේ පක්ෂ නායකයන් එක්ක ජනතාව වෙනුවෙන් එකට වැඩ කරන්නට ලැබීම භාග්‍යයක්. අද වෙනකොට මම මේ දුර්දාන්ත පාලනය එක්ක හිටියානම් මට මගේ හිත දොස් කියාවි. ආණ්ඩුවේ හැම අයම තනතුරු වරප‍්‍රසාද ලැබුවත් අද ජනතාවට රටට අත්වී ඇති ඉරණම ගැන හිතලා ලැජ්ජාවට පත්වෙලා ඉන්නේ. මම අද එතැන හිටියා නම් ආණ්ඩුවේ හුඟ දෙනකුගේ මෙන් මගේ දේශපාලන අනාගතයත් ඉවරයි. මේ ආණ්ඩුවේ ගසාකෑම් වංචාව හා ඇන්දිලි ජනතාව හොඳට තේරුම් අරන් දැන් ඉන්නේ. තව කතාවක් කියන්නම්. මම ආණ්ඩුවෙන් අයින් වෙලා ඉන්න කාලේ අලෙවි මවුලානා මාව එක්ක එන්න ජනාධිපතිතුමා කිව්වා කියල බලෙන් වගේ මාව අරන් ගියා. අපි එකට රාත‍්‍රී ආප්ප කාලා ක‍්‍රිකට් මැච් බලලා බදාගෙන ඉඹලා වෙන් වුණා. මට ආපසු ආණ්ඩුවට එන්න කියලා සියවරක් කිව්වා. එතකොට ශ්‍රීපති හිරේ දාලයි තිබුණේ. ආණ්ඩුවට එන්න කලින් විසඳගන්න කරුණු තියෙනවා කියලයි මම ගෙදර  ගියේ මට දිවුරුම් දෙන්න දිනයකුත් වෙන්කලා. මගේ මව එතකොට රෝගීව හිටියේ. මොකද කියන්නේ අම්මා කියල මම කිව්වම එතුමිය කිව්වේ ‘‘මම ඔයා ගැන හුඟක් ආඩම්බර වෙනවා’’ කියන වචන ටික විතරයි. ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ විනාශකාරී බවක් ගැන ඔබ කිව්වත් වසර 30ක යුද්ධය නිමාකර රට ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන යමින් සංවර්ධනය වේගවත් කරමින් ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමේ ගමනක යන බව ඔවුන්ගේ විග‍්‍රහයයි....? පිළිතුර:- යුද්ධයෙන් පසු රට ආශ්චර්යක් කරා යනවාය සංවර්ධනය වෙනවාය 8%ක වර්ධනයක් තියෙනවාය කියන්නේ ආණ්ඩුවමයි. ජනතාව එහෙම කියන්නේ නෑ. 8%ක වර්ධනයක් තියෙනවානම් ජනතාවට නොදැනෙන්නේ ඇයි? මේ ආණ්ඩුවට රාජ්‍ය හා ආර්ථික පාලනය බෑ. ජනමාධ්‍ය වලින් ජනතාව අන්දමින් යන්න විතරයි ආණ්ඩුවට පුළුවන්. මේ රටට තවත් මේ ආණ්ඩුව එක්ක යන්න බෑ. ගියොත් අනාගතයම ඉවරයි. යුද්ධය දිනපු එකේ යම් ගෞරවයක් මහින්ද රාජපක්ෂට අයිතියි. ඒත් එයාගෙ තනි අයිතියට ඒක නතුවෙන්නේ නෑ. චන්ද්‍රිකා, රනිල් ඇතුලූ සියලූ නායකයන් කළ දේවල් යුද්ධය දිනන්න ඉවහල්වුණා. චන්ද්‍රිකා හමුදා ශක්තිමත් කළා. රනිල් එල්.ටී.ටී.ඊය කරුණා හරහා දෙකඩ කරලා ඔවුන්ගේ යුද ශක්තිය නැති කළා. මම විදේශ ඇමති කාළේ යුරෝපා රටවල් 26ක කොටි තහනම් කළා. ඇමෙරිකාවේ, කැනඩාවේත් තහනම් කළා. ඒ වගේම ජෙනරල් ඇතුළු හමුදා කළ කැපවීම තුළයි යුද්ධය දිනුවේ. යුද්ධය නිමවා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රය ඇතිකරලා විශ්වාසය තහවුරු කරලා දේශපාලන විසඳුමකුත් දීලා ලෝකයත් එකතු කරගෙන යෝධ සංවර්ධන පිම්මක් පනින්න තිබුණා. ඒත් මේ පාලකයන්ට  ඒ මොළේ නෑ. විසඳුමක් නොදී ලෝකයට බොරු කියල අන්දන්නයි, උජාරු කතා කියන්නයි ගිහින් අද රට අනාථ කරල තියෙන්නේ. රටට සහාය වෙනුවට අද දේශපාලන හා ආර්ථික තහංචි වැටෙමින් තිබෙනවා. ආයෝජකයෝ එනවා වෙනුවට ඉන්න අයත් යනවා. ආර්ථික තහංචි වැටෙනවා. එජාපය ලබාගත් රු. කෝටි 5000ක විතර ජී.එස්.පී ප්ලස් සහනය රටට අහිමි වුණා. ජනතාව ඔය බොරු ආශ්චර්ය කතාවට රැවටෙන්නෙ නෑ. නිදහසින් පසු 2005 දක්වා ලංකාව ගත්ත ණය මෙන් දෙගුණයක් 2005 ඉඳලා මේ දක්වා මේ ආණ්ඩුව අරන් තියෙනවා. ආසියාවේ වැඩිම විදුලි බිල, දකුණු ආසියාවේ වැඩිම ඉන්ධන මිල, විරැුකියාව, ජනතා මුදල් ගසාකෑම, පවුල්වාදය, නීතිය වල් වැද්දවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මාධ්‍ය මර්දනය කිරීම තියෙන්නේ ලංකාවේ නම් ලෝකය මේ රටට දැන් එරෙහි නම් එහෙම රටක් ආශ්චර්ය කරා යාවිද? කාපට් උඩින් කාපට් දාලා කොමිස් කුට්ටි ලබා ගැනීම රට සංවර්ධනය කිරීමක් වෙන්නෙ කොහොමද? පහුගිය ආණ්ඩු ආරම්භ කරපුවාට නම ගහ ගත්තු එක විතරයි මේ ජනාධිපති කළේ. අධිවේගී මාර්ගය, නෙළුම් පොකුණ, ක‍්‍රීඩාංගණ, වරායවල්, බලාගාර ඊට නිදසුන්. මේවාට සැලසුම් හදලා මුදල් ලබාගත්තේ චන්ද්‍රිකා හෝ රනිල් යුගවලදීයි. ලෝක සහාය අද ලංකාවට නැති නිසා චීනයෙන් ගිනි පොලියට ණය ගන්නා හිඟන තත්ත්වයට මේ රට පත් කර හමාරයි. ඉන්ධන මිල 40% කින් මේ තරම් ඉහළ දාපු රටක් ලේකයේ නෑ. මේ පාලකයෝ පරිපාලනය දන්නේ නෑ. සැලසුමක් නෑ. යුද ජයෙන් පසුව රට හදන්න ජනතාව ලබාදුන් බලය පාවිච්චි කළේ තමන්ගේ බලය තහවුරු කරන්නයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ ස්වාධීන කොමිසන් සභා එනම් 17 අහෝසි කරලා 18 ගෙනැත්  ඕනෑ වතාවක් ජනපති කම ඉල්ලීමට රටේ සියලූ බලය තම පවුල සතු කරගත්තා. ජනතාව අද විඳවන්නේ ඒ ඒකාධිපතිත්වයේ ආදීනවයි. බුරුමය පවා අද ඒකාධිපතිත්වය අත අරිනවා. ලංකාව ඒකාධිපතිකම බදාගන්නවා. බුරුමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිවීම ඇරඹීමත් එක්ක මුළු ලෝකයම ඔවුන්ගේ සහායට ඇවිත් ඉඳීමම මේ ආණ්ඩුවට පඩමක්. ලංකාව ලෝකයේ කොන්වෙලා. අපි හිඟන කඳවුරේ ඉන්නේ. මේ රටේ ප‍්‍රධානීන් අද ජාත්‍යන්තර කණකොකෙක්ගෙ තත්ත්වයට වැටිලා. කණකොකා යනු අවාසනාවේ සංකේතයක්. ඔවුන් ලිබියාවට, මාලදිවයිනට, ඉරානයට, පාකිස්ථානයට ගියා. ඒ රටවල් හා නායකයින් ඉවරයි. අනිත් අය මෙයාලට එන්න කියන්නත් බයවෙලා කියල ආරංචියි. ලංකාවට සහාය දුන් රටවල් අපේ හතුරන් වෙලා අද ඉන්නේ. ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් තුළ යෝජනා සම්මත කරන්න හදන්නේ මේ රටේ පරණ මිතුරු රටවලූයි. මේ ආණ්ඩුව ඒ අපරාධයේ වගකීම බාරගන්න  ඕනෑ. වැඩ බැරි ආණ්ඩුව සියල්ල අනාගත්තට අපට කමක් නෑ. ඉන් රටත් ජනතාවත් හිරවීමයි අපට ගැටලූව වෙන්නේ. ප‍්‍රශ්නය:- සියයට අටක ආර්ථික වර්ධනයක් රට තුළ තිබෙන බව ආණ්ඩුව කිව්වත් එය සාක්කුවට නොදැනෙන බවයි ජනතාව කියන්නේ. රටේ ආර්ථිකය ආණ්ඩුව කියන තරමට ශක්තිමත් නම් පොරොන්දුවූ රු. 2500 පඩි වැඩිවීම හෝ ලබා නොදීම ගැනත් යුද්ධයෙන් පසු දෙනවා කී ජනතා සහන නොදීමත් ගැන ඔබ මොකද කියන්නේ. පිළිතුර:- යුද්ධයට දිනකට කෝටි ගණන් වැය වුණා. අද ඒ මුදල් වලින් සහන නොදෙන්නේ ඇයිද ඒ මුදල් කෝ කියලත් අපි අහනවා. මොකද පාරවල් වගේ බොහෝ දේවල් හදන්නේ රට උගස් කරල ණය අරගෙන යි. ජනතාව අධික ජීවන බරින් නොමරා මරනවා. ඒත් රු. 2500ක සොච්චමක්වත් දෙන්න ජනතාව ගැන අනුකම්පාවක් ආණ්ඩුවට නෑ. තුන්වේල කන්න  ඕනෑ පාලකයන් විතරද? ජනතාවට සහන දිය යුතු පසුබිමක ඉතිහාසයේ නොවූ ලෙස ඉන්ධන මිල වැඩි කළා. ලෝක තෙල් මිල අනුව තාමත් පෙට්රල්, ඞීසල්, භූමිතෙල් ලීටයක් රු. 96කට ආසන්න මුදලකට දෙන්න පුළුවන් වුණත් ආණ්ඩුව මේ මිල වැඩි කළේ නාස්තිය හා ගසාකෑම නිසා ඇතිවූ ආණ්ඩුවේ මුදල් අර්බුදය ජනතාව පිට පටවන්නයි. ඉන්ධනවල සියලූ බර ජනතාව පිට පැටෙව්වත් මැති ඇමැතිවරුන්ට දෙන රු. ලක්ෂයක විතර මාසික ඉන්ධන වලින් එක ලීටරයක් කපා දැමීමෙ නෑ. එජාප 2001 ආණ්ඩුව කාලෙ ඍණ ආර්ථිකය තිබූ වෙලාවේ එජාප අගමැති රනිල් හා සියලූ ඇමතිවරු ගත්තේ මන්ත‍්‍රී වැටුපයි. ඉන්ධන පැත්තෙන් සොච්චමයි. ජනතාව මේවා තේරුම් ගන්න  ඕනෑ. ඉන්ධන මිල ඉහළ දාලා නිසා බස් ගාස්තු, ගෑස්, විදුලි බිල සියලූ ආහාර හා භාණ්ඩ සේවා ඔක්කොම ඉහළට යනවා. පලා මිටියේ ඉඳන් සියලූ බර ජනතාවට පටවපු ආණ්ඩුවේ ක‍්‍රියාවට එරෙහිව අපි රට පුරා ජනතාව පෙළගස්වනවා. තම දරුවන්ගේ අනාගතය ගැන හිතලා හෝ මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසීම කාගේත් වගකීමයි. මේ පාලකයන් රටට උරුම කළේ නාස්තිය, වංචාව, ඇන්දිල්ල හා බඩගින්න විතරයි. මිග් 27 හොර ගනුදෙනුව කරන්න එපා කියල අපි එදා කෑගහුවා. මිහින් ලංකා හෙවත් මහින්ද ලංකා ගුවන් සේවයෙන් අද දශලක්ෂ 13000ක් රටට පාඩුයි. ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකන් පවරා ගෙන දැන් රු. දශලක්ෂ 22000ක් පාඩු කරලයි තියෙන්නේ. කෝටි 3500 ක් ණයට අරන් හදපු හම්බන්තොට වරායේ ගලක්. නැව් එන්නේ නෑ. චන්ද්‍රිකා යුගයේදී දශම ගණනක පොලියට කුඩා ණයක් අරන් එතැන නැව් වලට තෙල් ගහන තැනක් හදන්න මම වරාය ඇමති ලෙස ගිවිසුමක් ගැහුවා. ගල තිබුණත් නැව ඈතින් තියලා බට වලින් තෙල් ගහන්න තිබුණ මෙයාලගෙ හීන මානය නිසා රට උගස් කරලා ණය අරන් මෙයාලා ලොකු වරායක් හැදුවා. මාළු බෝට්ටු වලට විතරයි එන්න පුළුවන්. ගල කඩන්න වරාය හදපු මුදල වගේ තව මුදලක් වැයවේවි කියලත් කියනවා. ගල කඩන කොට වරායේ පදනම දෙදරාවි කියන සැකයත් තිබෙනවා. තව ණය කන්දක් අරන් නොරොච්චෝලේ හැදුවා. ඒකත් හිටලා. මුල් වරට වරාය අධිකාරිය පාඩු වුණේ මේ ආණ්ඩුව කාලයේයි. මේ ආණ්ඩුවට කාලෙන් කාලෙට ඇතිවෙන ආශාවල් සංසිඳවන්නත් රටේ මුදල් විනාශ කළා. හින්දි නළු නිලියන් එක්ක ඇතිල්ලී ඇතිල්ලී ඉන්න ආසාවට අයිෆා කියලා කෝටි කීයක් නැති කළාද? පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල හම්බන්තොටට ගේන්න දශලක්ෂ 150 ක් වැය කළා. ප්ලේන් පුරවල සෙනග ගෙනිච්චා. කෝටි 18000 ක් ඒකට වියදම් කරන්න සූදානම් වුණා. ඒත් රටේ පිනට ඒක ලංකාවට ලැබුණේ නෑ. ක‍්‍රිකට් ක‍්‍රීඩාව හා ඒ ආයතනය නැත්තටම නැති කළා. ලෝක කුසලානයේ අවසන් තරඟයට බලපෑම් කළ බවට දේශපාලකයන්ට විශාල චෝදනාවකුත් එල්ල වුණා. මේ රටේ ක‍්‍රිකට් මරලා රගර් උස්සන්න කට්ටියකට අවශ්‍ය වී තිබෙනවා. මේ අය රූපවාහිනියත් බංකොලොත් කරලා. රූපවාහිනියට තිබූ ලොකුම ආදායම වූ ක‍්‍රිකට් මැච් පෙන්වීම එතැනින් අයින් කරලා වෙනත් නාලිකාවකට ලබාදී තිබෙනවා. ඒකෙ පෙන්නන මැච් රටට පේන්නෙත් නෑ. රජයේ රූපවාහිනී කුලූනු ඒ නාලිකාවට නොමිලේ පාවිච්චි කරන්න දීමත් ඉතා වැරදියි. දැයට කිරුලට රු. දශලක්ෂ 21800ක් නැතිකරලා ඒකට ගෙනියපු ජංගම වැසිකිලි වලට විතරක් රු. දශලක්ෂ 700ක් වියදම් කරලලූ. ජනතාව තවත් පමා වුණොත් මේ රට කාලයි මෙයාල නවතින්නේ. ඒ වැසිකිලි මුදලින් පමණක් රටේ ගම් 700කට ලක්ෂ 10 ගානේ ලොකු සංවර්ධනයක් කරන්න තිබුනෙ නැද්ද? ජනාධිපති රට යනකොට ප්ලේන් පුරවල 300ක් විතර ගෙනියන්නේ කාගේ සල්ලි වලින්ද? ඒ තැන්වලට ආමෙරිකාවේ ජපානයේ නායකයෝ එන්නෙ 5-6 දෙනෙක් එක්කයි. පරණ ශ්‍රීලනිප අය ඉන් කළකිරිලා ලැජ්ජාවට පත්වෙලා අසහනය පිටකරන්නෙ කොයි මොහොතද කියල බලාගෙන ඉන්නවා. බොහෝ ඇමතිවරුන්ට බෝඞ් එක විතරයි. මේ කානිවල් එකට විරුද්ධ වන අය සුදු වෑන් වලින් උස්සනවා. වෙඩි තියල මරනවා. ඒ පහත් වැඩ කරන්නෙත් ජනතා මුදල් හා රටේ දේපල යොදවලයි. මේ තත්ත්වය මේ විධියටම ඉදිරියට යනවට ජනතාව කැමතිදැයි දැන් තීන්දු කරන්න වෙනවා. රටේ පාලනය නොතේරෙන නිසා ආණ්ඩුව දැන් රුපියල පා කළා. සියලූ දේ දරාගන්න බරි ලෙස මිල ඉහලටම  යාවි. ජනතාව මේවා තේරුම් ගන්න  ඕනෑ. ප‍්‍රශ්නය:- ජාත්‍යන්තරව අද ලංකාවට එල්ලවන දේශපාලන හා ආර්ථික සම්බාධක ගැන හිටපු විදේශ ඇමති ලෙස ඔබේ විග‍්‍රය කුමක්ද? පිළිතුර:- විදේශ අමාත්‍යාංශය කියලා වැඩක් නෑ කියල මම කියන්නේ එතැන හිටපු ඇමති ලෙස වගකීමෙනුයි. පළපුරුදු නිලධාරීන්ගේ වෙනුවට වටේ ඉන්න කිසිදෙයක් නොදන්න හෙංචයියන් කියන දේවල් එතැන වෙන්නේ. රාජතාන්ත‍්‍රික බව නොදත් අය තානාපතිවරු හ ඉහළ තනතුරුලාභීන් වෙලා ඉන්නකොට රට අනාථවීම අරුමයක්ද? අනික් පැත්තෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය තුළ රට තනි වෙලා. ලෝකයේ හිඟන කඳවුරට මෙයාල රට තල්ලූ කරල ලෝකයේ නීති හා සම්ප‍්‍රදායන්ට යන්නට පවා පටහැනිව ක‍්‍රියා කරන නිසා රට අනාථ වෙලා ඉන්නේ. බුරුමය ඒකාධිපතිකමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යමින් ලෝකය හා බද්ධ වෙන කොට ලංකාව ඒකාධිපතිත්වයට තල්ලූ කරලා ලෝකය තුළ තව තවත් තනි කරන්නයි ආණ්ඩුව හදන්නෙ. ලංකාවට විරුද්ධව ලෝකයම නැගී සිටින්නේ ඒ තුළයි. ස්වාධීන රටක් කියල අපට ලෝක නීති හා සම්ප‍්‍රදායන්ට ගරු නොකර නටන්න බෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ඊට එරෙහිව නැගිනවා. මේ අයට ඒක තේරෙන්නෙ නෑ. ලිබියාවට, සිරියාවට, ඊජිප්තුවට වුණේ ඒක. ප‍්‍රශ්නය:- ඔබ මොන විග‍්‍රහ මේ ආණ්ඩුව ගැන දැක්වූවත් මෙතෙක් තිබූ ඡුන්ද දිනුවේ ආණ්ඩුවයි. ඒකට හේතුවුණේ ආණ්ඩුවේ හැකියාවට වඩා එජාපය ඇතුළේ අරගලද? පිළිතුර:- ආණ්ඩුවේ හැකියාව හෝ ඔවුන් ජනතාව කළ සේවයට වඩා එජාප ඇතුළේ අනවශ්‍ය අරගල නිසා විශාලම වාසියක් ආණ්ඩුවට ලැබුණා. එජාප නායකත්වය හා පක්ෂය පැත්තෙන් දැන් ඒ අවුල ඉවරයි. ඒ ශක්තිමත් බව පක්ෂයට ඇති කරන්න නම් විනයක් සහිතව සංවිධානයවී ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. විනයක් නැතුව හැම කෙනාටම  ඕන විදියට පක්ෂයක් නෙවෙයි කුඩා පෙට්ටි කඩයක්වත් කරන්න බෑ අපේ හැමෝම ජනතාව පෙලන ප‍්‍රශ්න වලින් ඔවුන් බේරා ගන්න අවංකව කැමති නම්, සැබෑවට ආණ්ඩුවට විරුද්ධ නම්, මේ වෙලාවේ ජනතාවගේ නහයට උඩින් වතුර යන නිසා එකමුතුව ආණ්ඩුව පරාජය කරන්න පෙළගැසිය යුතු යි. එසේ නොවන අය ජනතාව අතරේ නන්නත්තාර වේවි. නායකයා කියන දේ මිසක් පක්ෂයක හැමෝම කියන දේ කරන්න බැහැ. ආණ්ඩුව යන මේ ජනතාද්‍රෝහී ගමන නිසා ඉතා ඉක්මනින් රනිල් වගේ කෙනෙකුගෙ වටිනාකම ජනතාවට වැටහේවි. ලෝකය හරහා ආර්ථික කුණාටුවක් හමා යනවා. රාජපක්ෂ ආණ්ඩුවේ නොහැකියාව තුළ හා ඔවුන් ලංකාව ලෝකය තුළ අනාථ කිරීම නිසා රට ආර්ථිකය හා දේශපාලනික ලෙස අනාථ වේවි. එවැනි පසුබිමකදී මේ රටට  ඕනෑ ආර්ථික අභියෝග වලින් රට ගොඩගත හැකි හොඳ ඔළුවකුයි. එවැනි හොඳ ඔළුවක් හා පිරිසිදු දෑතක් රනිල්ට තියෙනවා. වාමාංශික නායකයන් පවා අද රනිල් ගේ වැදගත්කම කියන්නේ ඒ තුළයි. එජාපයේ අපිත් ඒක තේරුම් ගන්න  ඕනෑ.

මාතර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

ආණ්ඩුවට තවත් රට ගෙනියන්න බෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 255 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 407 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 231 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 634 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 749 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2847 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1500 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site