IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආගමික නායකයෝ කිපෙති

ජනතා විමුක්ති පෙරමුණ හැරෙන්නට විපක්ෂය අනුගමනය කරමින් සිටින නිහඬ පිළිවෙත හමුවේ වුවත්, ආගමික ක්ෂේත්‍රයේ පිළිගත් නායකයින් කිහිපදෙනෙකු සමගම ආරෝවක් ඇතිකර ගැනීමට රජය සමත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ ප්‍රධානී තැන්පත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ අතර ප්‍රධානය. 

උන්වහන්සේ 2019 ජනපතිවරණයේ දී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් ලෙස කටයුතු කළහ. උන්වහන්සේගේ විහාරස්ථානයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව පැවැති අතර, හදිසියේම කිසිදු හේතුවක් නොදන්වාම එය අවසන් කෙරිණ. 


පැමිණ සිටි වෛද්‍ය කාර්යමණ්ඩලය ද එතැනින් නික්ම ගියේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවේ එම එන්නත්කරණ වැඩසටහන නැවැත්වීමට තමා උපදෙස් නුදුන් බවයි. ඒ බව ඇය ප්‍රසිද්ධියේම පැවසුවාය. 

කෝපයට පත්වූ ආනන්ද හිමියෝ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා උණසුම් වචන හුවමාරුවක යෙදී තිබෙන බව දැනගන්නට තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එන්නත්කරණ වැඩසටහන නැවතත් ආරම්භව තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂය නියෝජනය කළ සමයේ අභයාරාමයේ වූ කාර්යාලයක් සිය දේශපාලන කටයුතු සදහා යොදාගත්තේය. මීට පෙර අවස්ථාවක, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් ප්‍රබල ආධාරකරුවෙක් ලෙස කටයුතු කළ ඇල්ලේ ගුණවංස හිමියෝද රජයට එරෙහිව ප්‍රබලව නැගී සිටියෝය.

අගරදගුරු හිමිපාණන්ගේ මතය

ගෙවුණු සතියේ දී, ජනපතිවරණ සමයේ පෙනෙන නොපෙනන අයුරින්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වූ කොළඹ අගරදගුරු තැන්පත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මාධ්‍ය සාකච්ඡාවක දී රජයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළහ. පාලක සන්ධානය දැඩිව විවේචනය කළ උන්වහන්සේ, 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා සංහාරයට වගකිවයුත්තන් ගලවා ගැනීම සදහා කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බවට චෝදනා කළහ. 
පහත දැක්වෙන්නේ උන්වහන්සේ දැක්වූ අදහස්වල සංස්කරණයකි.

“පවතින තත්ත්වය ගැන අපිට ඇත්තටම ලොකු කණගාටුවක් තියෙනවා. එයට හේතුව තිබෙන කාරණා කිහිපයක්ම තිබෙනවා. සමස්තයක් වශයෙන්, මේ රටේ නීතියක් තියෙනවා ද, කියා අපට දැන් විශ්වාසයක් නැහැ. ඒ වගේම මේ රට ගමන් කරමින් සිටින පැත්ත ගැනත් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. ශ්‍රී ලංකාව ස්ථානගතවෙලා තියෙන්නේ ලෝකයේ ඉතාම විශේෂ භූගෝලීය පිහිටුමක. රට ආරක්ෂා කරන බව කියමින් බලයට පැමිණි අය දැන් රජය විනාශය කරා ඇදගෙන යමින් සිටිනවා. මේ ගැන කතාකරන්නට සිදුව තිබීම ඇත්තෙන්ම කණගාටුදායකයි”

“අපගේ හදවත්වල සහ සිත්සතන්වල තිබුණු බලාපොරොත්තු දැන් බිඳ වැටිලා. රට පාලනය කරන්නේ කවුද?, තීරණ ගන්නේ කවුද?, මේ කාරණා ගැන අපිටත් විශ්වාසයක් නැති තැනට දැන් රට පත්වෙලා. අපි මේ කියන්නේ කතෝලිකයන් හැටියට නොවෙයි. මේ රටේ පුරවැසියන් හැටියටයි. කරුණාකරලා මේ විදිහට යමින් ඉන්න ගමන නවත්වන්න. සංවර්ධනය කියන්නේ රටේ සම්පත් විකුණන එක නොවෙයි. සම්පත් විකුණන්න නම් බොහොම පහසු ඇති. ඒත් අපිට තියෙනවා ආත්ම අභිමානයක් වගේම විශ්වාසයක්. රට ආරක්ෂා කරන්නට දේශපාලඥයින්ට වගකීමක් තිබෙනවා. කරුණාකරලා, අපේ රටේ භූමිය වෙනත් රටවලට දෙන්න එපා”

“එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට සැළසුම් කර තිබූ එම්සීසී ගිවිසුමට එරෙහිව අපි විරෝධය දැක්වූ අවස්ථාවේ අපට සහාය දක්වපු රජයේ දේශපාලඥයින්, අද ඒ දෙයම, ඊට වඩා අයහපත් විදිහකට කරමින් සිටිනවා. අපට ඇත්තටම ඒ ගැන ලොකු කණගාටුවක් තියෙනවා. මේ රටේ මහා විශාල කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙනවාය කියා හිටපු නීතිපතිවරයා පවසා තිබෙනවා. ඒ කියන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තිබිලා තියෙනවා. ඒ කුමන්ත්‍රණය කුමක්ද කියා අපි දැනගත යුතු නැති ද? එසේ පවසා තිබෙන්නේ හිටපු නීතිපතිවරයා. හරිනම් ඔහු ඒ ගැන විමර්ශන පවත්වා තිබිය යුතුයි”

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින්ට එරෙහිව පියවර නොගැනෙන තත්ත්වයක් රජය නිර්මානය කර තිබෙනවා. රජය ඒක කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනපති විමර්ශනකොමිසමේ වාර්තාව භාරදුන් පසුව, එම වාර්තාව අධ්‍යනය කිරීමට විශේෂ සය පුද්ගල කමිටුවක් පත්කිරීම හරහා. මේ කමිටුව පත්කළේම, අපට වෙනම නීතියකුත්, ඔවුන්ට වෙනම නීතියකුත්, තිබෙන බව කියන්නට”

“ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ මොකක් ද, ක්‍රියාත්මක නොකළ යුතුව තිබෙන්නේ මොකක් ද කියා තීරණය කිරීම තමයි මේ කමිටුවට පැවරුණු රාජකාරිය. එයින් එක රටක්, එක නීතියක් නිර්මානය වුනේ නැහැ. එයින් කීවේ, ඔබට එක නීතියක්, අපට තව නීතියක් කියායි”

“ජනපති කොමිසමේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා ඇතැම් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගතයුතුව තිබෙන බව. කෙසේවුවත්, එවැනි පියවරයන් තවමත් ගෙන නැහැ වගේම එම නිලධාරීන්ට ආරක්ෂාවත් සළසා දී තිබෙනවා. ඒ වගේම, වාර්තාවේ සදහන් වෙනවා හිටපු ජනපතිවරයාට සහ හිටපු බුද්ධි අංශ නිලධාරීන්ට නීතිය අනුව දඩුවම් කළ යුතු බව. නමුත් මොවුන් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කර නැහැ. නීතිය එක කණ්ඩායමකට එක විදිහකටත් තව කණ්ඩායමකට තව විදිහකටත් ක්‍රියාත්මක වෙනවා”

“ඒ හැරෙන්නට රජය මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා.ඔවුන් යමෙක්ව ඇතුළට ගන්නවා. ටික දවසකින් ඔහුව නිදහස් කරනවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගැනීම සදහා ඔවුන් කරපු දේ අපි දැක්කා. මේක ඔවුන්ගේ ගනුදෙනුවක්. ඔවුන් රට පාලනය කරන්න ඕනේ මෙහෙම ද?”

“යම්තාක් දුරකට ආගමික පසුබිමක් ඇති, විනිවිදභාවයක් හෝ ප්‍රතිපත්තිමය යොමුවක් ඇති හෝ දූෂණයෙන් තොර හෝ පරිපාලන පද්ධතියක් ඔවුන් හදුන්වාදී තිබෙනවා ද? මේ දැන් තිබෙන දූෂිත ක්‍රමය ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ගිල ගනිමින් සිටින්නේ. ඒක දැන් සිදුවෙමින් තිබෙන්නේ වඩාත් බරපතල විදිහට. මැතිවරණයේ දී ඡන්දය භාවිතා කළ යුත්තේ ඇයි කියා අපි අහනවා. ඒ එක්කම පාර්ලිමේන්තුවට 225 දෙනෙක් පත්කරන්නේ ඇයි කියා අපිම අහනවා. අපි ඒ ප්‍රශ්න අසමින් ඉන්නේ අපගෙන්මයි”

“අපේ ඡන්දයෙන් අපි මේ අයව පත්කරගෙන තිබෙන්නේ මේ දේවල් කරන්න ද? එහෙම නම් වෙන්නේ, අපට මැතිවරණ ක්‍රමයක් මොකටද?”

“ඔවුන් මේ රට පාලනය කරන්නේ මෙහෙම නම්, රට විනාශ වේවි. ගාමිණී පියතුමා පැවසුවා වගේ, මේ නැව සම්බන්ධ සිදුවීම බරපතල ගැටලුවක්. මේ නැව නිසා අපේ ධීවරයින්ට ලොකු අලාභයක් සිදුවෙලා තියෙනවා. වරාය භාර ඇමතිවරයා සහ ඔහුගේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ ගැන හරියාකාර උත්තරයක් තවමත් දීලා නැහැ”

“මේ රටේ ඉන්නේ ආගමානුකූලව ජීවත්වන ජනතාවක්. මේ රට බෞද්ධ ශිෂ්ඨාචාරයෙන් ශක්තිමත් වුනු රටක්. ඒත් හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ කතෝලික ආගමිකයන් මේ රටේ ජීවත්වෙනවා. ඒ නිසා අපි මේ රටේ බොරු සෙල්ලම් පෙන්වන්න ආඥාදායක පාලනයකට ඉඩ දෙන්නේ නැහැ. විනිවිදභාවයක් ඇති, ජනතාවට හිතෛශී රජයක්, ජනතාවගේ පැත්තෙන් බලා තීරණ ගන්නා රජයක්, අපට වුවමනායි. ධනවත් සහ බලවත් රටවල්වල පැත්තෙන් බලා තීරණ ගන්නා පාලකයින් අපට වුවමනා නැහැ”

“අපට සුරපුරයක් වුවමනා නැහැ.ඒ අස්සේ ජනතාවට පොහොර නැහැ. ඔවුන්ට කන්න වුවමනා තරම් ආහාර නැහැ. ගොඩක් දෙනෙක්ට ඔවුන්ගේ මාසික ආදායම අහිමිවෙලා තියෙනවා. කෝවිඩ් එන්නත් ගන්න පවා අපට සල්ලි නැහැ. අපි යාචකයින්ගේ තැනට වැටිලා. රටේ නායකයින්ගේ ක්‍රියාකලාපයන් දිහා බලනකොට, අපට ශාපයක් වැදිලාවත් ද කියා මට හිතෙනවා'

“පරිසරය පවා අපත් එක්ක කෝපයෙන් සිටින්නේ කියා මට සමහර වෙලාවට හිතෙනවා. කරුණාකරලා ඔබේ සිතැඟි වෙනස් කරගන්න. ඔබ ගමන් කරමින් ඉන්න මාර්ගය වෙනස් කරන්න. ඉඩම් සහ සම්පත් විකුණා දමන්නට අපි ශ්‍රී ලංකාව නාගරික සංවර්ධන අධිකාරියට භාරදුන්නේ නැහැ. මැතිවරණයකින් අපි නාගරික සංවර්ධන අධිකාරියක් පත්කරගත්තේ නැහැ” 

“දේශපාලනය හරහා, මේ රට පාලනය කරන්න හැකියාවක් තිබේය කියා අපි සිතූ පුද්ගලයෙක්ව තමයි අපි පත්කර ගත්තේ. ඔහුට එය කිරීමට නොහැකි නම්, ඔහු මත අපි අපේ විශ්වාසය තබන්නේ නැහැ. රට ගමන් කරමින් සිටින මාර්ගය වෙනස් කරන්නය කියා ජනතාව වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා. අපේ රටට ආදරය කරන, ආගමට, සංස්කෘතියට ආදරය කරන සහ පරිසරය සුරකින පුද්ගලයෙක් අපට වුවමනායි. තාක්ෂණික වශයෙන් අපි සංවර්ධනය නොවුනත්, තම තමන්ගේ නිවෙස්වල සියලුදෙනාටම සතුටින් ජීවත්වෙන්න පුලුවන් අවස්ථාව තිබෙන රටක් නිර්මානය කරන්න අපට වුවමනායි. තමන්ගේ ආදායම් මාර්ගය සුරක්ෂිත, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් තමයි ජනතාවට වුවමනා”

“යහපාලනය යැයි, සෞභාග්‍යයේ දැක්ම යැයි කියමින් බලයට පත්වූ සෑම රජයක්ම ජනතාවට ද්‍රෝහී වුනා. ඒ නිසා, මෙම ප්‍රවණතාවයන්ට එකග නොවන ලෙසත්, ඔවුන්ට ආධාර නොකරන ලෙසත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හරි මාර්ගය තෝරාගෙන, මේ රට ගලවාගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. මේ රට නොමග යමින් තිබෙන්නේ. ඒ නිසාම, බරපතල ආර්ථික, ආගමික සහ සංස්කෘතිකමය බලපෑම් අපට එල්ලවීමේ දැඩි අවදානමක් හමුවේ අප සිටින්නේ. අප සියලුදෙනා එක්ව, මේ ගමන වෙනස් කළ යුතුව තිබෙනවා” යයි උන්වහන්සේ කියා සිටියහ. 

කාදිනල් හිමිපාණන්ගේ කෝපය ඇවිළීමට හේතුවක් වී තිබෙන්නේ මෑතක දී, මෙතෙක් දිගහැරෙමින් පැමිණි සිදුවීම් කිහිපයක් වෙනතක ගමන් කිරීමට යන බව පෙනෙන්නට ගැනීමෙනි. 

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා, පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවී යැයි පැවසුවේය. ඇමරිකාවේ ෆෙඩරල් බුද්ධි බියුරෝව (එෆ්බීඅයි) පවා මේ බව තහවුරු කර තිබෙන්නේ යැයි ඔහු කීවේය. කෙසේවුවත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය කරුණු කාරණා වශයෙන් ගත්විට වැරදි බව තහවුරු වූ අතර, නිල වශයෙන්ම අනාවරණය කරගෙන තිබෙන ඇතැම් කරුණු වෙනත් අතකට යොමුකරවීමේ උත්සාහයක් පවතින්නේ ද? යැයි සැකයක් මතුවිය. එවැනි තත්ත්වයක උද්ගතවුවහොත්, රටේ ප්‍රතිරූපයට, විශේෂයෙන්ම ගෝලීය කතෝලික ප්‍රජාව අතර, බරපතල හානියක් සිදුවනු ඇතැයි රජයේම ඇතැම් කොටස් බියපත්ව සිටිති.

කෝවිඩ්-19 මර්දන කටයුතු අපිළිවෙලයි

මෙවැනි අදහස් දැක්වීම් සහ විවේචනයන් සිදුවෙමින් පවතින්නේ මෙරට කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දන කටයුතු තවමත් නිසි අයුරින් හැසිරවෙන්නේ නැතැයි දිනෙන් දිනම ජනතා විරෝධය ඉහළ යමින් තිබෙන පසුබිමකය. රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල ද, මෙයටම අදාළය. 

කෝවිඩ්-19 වසංගත මර්දන කටයුතු අරබයා ගෙවුණු සතියේ මෙම තීරුවෙන් මතු කැරුණු ප්‍රධාන කරුණකට, එනම් පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව පහත දැමීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පිළිතුරක් ලබා දුන්නේය. පසුගිය සිකුරාදා ජනපති ගෝඨාභය රාජපක්ෂට එම සංගමය ලිපියක් යොමුකළ අතර ගෙවුණු සති දෙකක කාලයේ දී සිදුකැරුණු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව කැපී පෙනෙන අයුරින් පහත හෙළා ඇති බවක් හදුනාගන්නට තිබේ යැයි එහි සදහන් කර තිබිණ.

මෙවැනි ව්‍යායාමයකින් සිදුවන්නේ ආසාදිතයන්ගේ ප්‍රමාණය හඳුනාගැනීම සංඛ්‍යාත්මක ලෙස පහත යාමය. එනිසාම ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ සැබෑ ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවකි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිවරයාට යොමුකළ ලිපියේ මෙසේ ද, සදහන් විය.
සිදුකර තිබෙන පීසීආර් පරීක්ෂණවලින් බහුතරයක් නික්මයාමට පෙර සිදුකැරෙන පීසීආර් පරීක්ෂණ බව අපි දනිමු. එවන් පීසීආර් පරීක්ෂණ හරහා සමාජයේ වෛරසය පැතිරී තිබෙන ප්‍රමාණය මැනගත නොහැකිය. ප්‍රගාමීව පීසීආර් පරීක්ෂණ සිදුනොකරන තාක්කල්, නික්මයාමට පෙර සිදුකැරෙන පීසීආර් නියැදි විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රතිඵලයන් අඩු මට්ටමක පවතිනු ඇත්තේ, වෛරසය සමාජයේ වේගයෙන් පැතිරෙමින් පවතින විටෙකදීය. 

මේ හා සමානවම, පසුබිම මට්ටමින් සහ භූගෝලීය පිහිටුම මට්ටමින් කැරෙන කාණ්ඩ ගත කිරීමකට මෙම පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵලයන් ලක් නොකෙරුණහොත්, විශ්ලේෂණය නොකෙරුණහොත්, එම පරීක්ෂණ පදනමේ සිට සිදුකරන තීන්දු තීරණ ගැනීම් සහ නිගමනයන්ට එළැඹීම් සම්පූර්ණයෙන්ම වැරදි වන්නට බොහෝ සේ ඉඩ තිබේ.

බරපතල මට්ටමේ අනාවරණ

සායනික සහ විද්‍යාගාර මට්ටම්හි විශේෂඥයින් ඇසුරින් සම්මුඛ පරීක්ෂණයන් සිදුකර තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉතා බරපතල මට්ටමේ අනාවරණ කිහිපයක්ම සිදුකර ඇත. ඒවා පහත පරිදිය.

වසංගතය පැතිරගොස් තිබීම නිසා එල්ලව තිබෙන පීඩනයේ වැඩි බර මේ වන විට ප්‍රධාන රෝහල් සහ සියලුම වාට්ටු මත පැටවී තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දී ඇත. රෝහල් සහ වාට්ටු මේ වන විට වෛරසය ආසාදනයව රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ගෙන් පිරී ගොස් ඒවායේ උපරිම ධාරිතාවය ද ඉක්මවා ගොස් තිබේ. ඒ අතරවාරයේ ඇඳන් හෝ රැදී සිටීමට නිසි ස්ථාන නොමැතිව සිටින කෝවිඩ්-19 රෝගීහුද මෙම රෝහල්වල සහ වාට්ටුවල සිටිති. 

දැඩි සත්කාර ඒකකවලින් ලැබෙන තොරතුරුවලට අනුව දැනට වෙන්කර තිබෙන දැඩි සත්කාර ඇදන් 82 ට අමතරව, එවැනි විශේෂිත දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීහු 70 දෙනෙක් පමණ සාමාන්‍ය දැඩි සත්කාර ඒකකයන්ගේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම තත්ත්වය හමුවේ කෝවිඩ් නොවන රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම දුෂ්කරව ඇත. මීට අමතරව තවත් රෝගීන් 500 කට වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් ප්‍රතිකාරයන්ට යොමුකර තිබේ.

ගෙවුණු සති කිහිපයේ හදුනාගත් ආසාදිතයන් ප්‍රමාණයන් එකිනෙක සංසන්දනය කර බැලීමේ දී පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වන රෝගීන් ප්‍රමාණය එක සමාන මට්ටමක පැවැතිය ද එසේ රෝගීන් තහවුරු වීමේ අනුපාතය නොවෙනස්ව හෝ ඇතැම් අවස්ථාවල ඉහළ තත්ත්වයක හෝ පවතින බව විද්‍යාගාර විශේෂඥයෝ පවසති. 
රෝහල්වලට දරාගත නොහැකි තරමට ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව මෙම තොරතුරුවලින් තහවුරු වේ. 

අපේක්ෂා කළ පරිදිම, රට අගුලුලෑමෙන්, සෞඛ්‍ය සේවා පද්ධතියට සිදුව තිබෙන බලපෑම පැහැදිලි ලෙස හදුනාගැනීමට තවත් කල්ගතවිය යුතුය. එනිසා, මෙම අවස්ථාවේ රට විවෘත කළහොත් වෛරසය තව තවත් ව්‍යාප්තව ආසාදිතයන් ගණන තව තවත් ඉහළ ගොස් රටේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වනු ඇත.

යථාර්තය සැඟවීම

කෝවිඩ්-19 වසංගතය රටට කරමින් සිටින හදිය සම්බන්ධයෙන් වන නිවැරදි තොරතුරු හෝ ජනතාවට නොලැබේ. සංඛ්‍යාලේඛණවලින් යථාර්ථය සැඟවිය නොහැකිය. පහත දැක්වෙන්නේ ඊට උදාහරණ කිහිපයකි.

කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්ත වෙමින් පවතින බව මුල්ම වරට හදුනාගැනුනේ පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදාය. ඒ මෙරට සංචාරයට පැමිණි චීන ජාතික සංචාරක පිරිසකගෙනි. එතැන් සිට පසුගිය සිකුරාදා අලුයම 6 දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත වාර්තාවී තිබෙන මුලු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 195,844ක් වේ. මෙම ගණනින් තවමත් සක්‍රීය මට්ටමේ සිටින ආසාදිතයන් ගණන 31,839ක් පමණක් වේ.

කෙසේවුවත්, මෙම වසරේ මැයි මස 1 සිට 31 දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත, ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන්නේ බරපතල ලෙසය. මෙම කාලය ඇතුළත, කෝවිඩ්-19 ආසාදිත මරණ 806ක් වාර්තාවී තිබෙන අතර, ආසාදිතයන් වූ සංඛ්‍යාව 78,718කි. 

මේ අනුව ගත්විට, වසංගත තත්ත්වයේ ඉතාම අයහපත් කාලසීමාව ගෙවී තිබෙන්නේ මෙම වසරේ මැයි මාසයේ බව පැහැදිලිය. තවදුරටත් පැහැදිලි කරගතහොත්, මෙම කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සමස්ත කෝවිඩ්-19 මරණවලින් 54% ක්ම සිදුව තිබෙන්නේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 42% ක්ම වාර්තා කරමිනි. 

දෛනික කෝවිඩ්-19 මරණ අනුපාතය 26 ක මට්ටමේ පවතින අතර, දෛනිකව නිල වශයෙන් තහවුරු කැරෙන ආසාදිතයන්ගේ ප්‍රමාණයේ සාමාන්‍ය අගය 2539 ක මට්ටමේ පවතී. පවත්නා තත්ත්වය අනුව, ජූනි සහ ජූලි මාසයන්වල තත්ත්වය මෙයටත් වඩා බරපතල විය හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. 

එන්නත් ලබාගන්න මංගලගෙන් දුරකතන ඇමතුමක්

ඇස්ට්‍රාසෙන්කා එන්නත් මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් එතරම් ප්‍රකට නොවූ පුවතක් වන්නේ, ඒ අරබයා හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා ඔහුගේ මිතුරියක වන සමන්තා පවර්ට දුන් දුරකතන ඇමතුමකි. 

ඔහු ඇයට එසේ ඇමතුමක් දී තිබෙන්නේ ශ්‍රී ලංකාවට එරටින් එන්නත් ලබාදීමේ වැඩකටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා සිටින ලෙස රජයේ එක් මූලාශ්‍රයන් ඔහුගෙන් උදක්ම ඉල්ලා සිට ඇති බැවිනි. 

ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයෙන් ඇස්ට්‍රාසෙන්කා එන්නත් ලක්ෂ 6ක් ලැබීමට නියමිතය. එරට පෙර පැවැති බැරක් ඔබාමා පරිපාලනය යටතේ, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සේවය කළේ සමන්තා පවර්ය. එනිසාම ඇයට සැළකිය යුතු බලයක් හිමිව තිබිණ. වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ද, එක්සත් ජනපද බලධරයින්ගෙන් එවැනිම ඉල්ලීමක් සිදුකර තිබිණ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සමරවීර මහතා ප්‍රතික්ෂේප කළ ද ඔහු එසේ කළේ එන්නත් හිඟය නිසා අපහසුතාවයන්ට පත්ව සිටින ජනතාවට උපකාරයක් ලෙස යැයි සමරවීර මහතාට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේය.

වර්තමාන කෝවිඩ්-19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගැනීමේ දී, ඉතා බරපතල කාරණයක් වන්නේ බලධරයින් සම්පූර්ණ විනිවිදභාවයක් ඇතිව ජනතාවට කරුණු ඉදිරිපත් කර නොමැති බව දැන් අනාවරණයව තිබීමය. එනිසා, වසංගත මර්දනය කටයුතු කෙරේ ජනතා විශ්වාසය කොතරම් දුරකට සෝදාපාලුව තිබෙන්නේ ද යත්, ඇතැම්හු දැන් නිල වශයෙන් ඉදිරිපත් කැරෙන සංඛ්‍යාලේඛණ පවා ප්‍රශ්න කරති. 

පොදුවේ සියලුමදෙනා ඒවා විශ්වාස කරන්නේ නැත. 

එක්සත් ජනපදය පසුගියදා එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කළ අතර එක්සත් රාජධානියත් දැන් එම පියවරම ගෙන තිබේ. ඔවුන් මෙරට බිම් මට්ටමේ යතාර්ථය ගැන වඩා හොදින් දන්නා සෙයකි. පාලක සන්ධානයේ නායකයින් මේ වන විට සිටින්නේ කෝවිඩ්-19 මර්දන කටයුතුවල අඩුලුහුඩුකම්වල සහ විදේශ සබදතා පවත්වාගැනීමේ අඩුලුහුඩුකම්වල විපාකයන් අභිමුඛයේය.

මෙම තත්ත්වය වහාම නිවැරදි කරගත යුතුව ඇත. එසේ නොවුනහොත්, එයට වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ ද, ජනතාව ඉදිරියේ බලවත් අපහසුතාවයකට පත්වීමට සිදුවනු ඇත්තේ ද, රටේ නායකත්වයටය. 

වැරදි නිවැරදි කෙරෙන තෙක්ම හානිය තවදුරටත් සිදුවනු ඇතැයි ද, ජනතාව අතර පවතින නොසන්සුන්තාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද සදහන් කළ යුතුමය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර



අදහස් (17)

ආගමික නායකයෝ කිපෙති

Alfred Friday, 11 June 2021 07:25 AM

අගරදගුරුතුමනි, යාපනේ බිශොප්වරු එල්.ටී.ටී.ඊ එක වෙනුවෙන් පෙනී ඉන්නේ ඇයි කියලා පහදන්න පුළුවන්ද?. ඇයි ඔබ වහන්සේලා ඒ ගැන දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ..?

:       21       158

සෙනෙවිරත්න Sunday, 13 June 2021 04:12 PM

එල්.ටී.ටී එක ඉවර කළා කියලා නේද මේ කියන්නේ? අපට නම් මෙහෙම දෙයක් නොපෙනේ.

:       20       3

සෙනෙවිරත්න Friday, 11 June 2021 10:38 AM

රජයට මරණ සැඟවිය නොහැකි බැවින් එය සමානුපාතික ක්‍රමයට නිවේදනයක කරයි. රෝගීන් ගණන සැඟවිය හැකි වුවද ඉන් වන්නේ රෝගීන් සහ මරණ අනුපාතය ඉන්දියාවට වඩා ඉහළ යාමයි. කළ යුතුව ඇත්තේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්වීම පමණි. එ්ක බොරුවක් වැසීමට අයහපත් බොරු වැපිරිය යුතුයි. ඉන් ජනතාවත් රටේ තීන්දුව ගන්නා අයත් නොමඟ යාම වැළැක්විය නොහැකිය. එන්නත්කරණය සම්බන්ධයෙන් තවම නිසි ප්‍රතිපත්තියක් නැත. ඒවාට වන විවිධ මැදිහත්වීම් ගැන ජනාධිපතිතුමා දක්වන විරෝධය යන්තම් කෙඳිරියක් පමණි. තදින් පියවරක් ගෙන රටේ අසරණ ජනතාව දීනයන් ලෙස හෝ තුන්වැනි පන්තියට අයත් පුරවැසියන් ලෙස සැලකීම නතර කළ යුතුයි...

:       32       16

sachithFriday, 11 June 2021 12:42 PM

දාන්නම් අශ්වයා පැනලා ගිහින් ඉවරයි..!!!

:       10       3

ජයන්ත Friday, 11 June 2021 12:01 PM

යහපාලනේට දුන්නා අපි රැවටුණා. ‌ගෝඨාට, මහින්දලාට දුන්නා. ඒත් අපිමයි රැවටුනේ. මීළඟට ජවිපය හට අවස්ථාවක් දී බැලීම තමයි කරන්න ඉතිරිවෙලා තියෙන්නේ.

:       483       440

nandaFriday, 11 June 2021 03:43 PM

ඉතින් ඒ අයට අවස්ථාවක් තිබුණානේ 88/89 කාලයේ.

:       254       282

ආරොන්Monday, 14 June 2021 08:26 PM

අපට තවත් කියුබාවක් වීමට අවශ්‍ය නැත.

:       0       0

Pat Friday, 11 June 2021 12:26 PM

දහම දන්නෙත් නැහැ. දේශපාලනය දන්නෙත් නැහැ.

:       130       96

genegodaFriday, 11 June 2021 03:02 PM

ඒකනේ ඉස්සරහින්ම ඉන්දවාගෙන අපේ හාමුදුරුවනේ කියකියා පච කෙළින්නේ...!!! 

:       117       307

නිහාල් Friday, 11 June 2021 07:13 PM

හිට්ලර් ඉල්ලපු කට බිම උලාගන්න හිතෙනවා ඇති...

:       87       116

Ranjeth Friday, 11 June 2021 07:54 PM

කාදිනල් හිමියනි, එක රටක් එක නිතියක් කරන කම් අපි විරෝධතා දක්වමු...

:       118       55

NANA Saturday, 12 June 2021 10:34 AM

ඔක්කොම හරි... ඒත් මම දන්නේ නැහැ විදේශ ආයෝජන වලට එරෙහි වන්නේ ඇයි කියලා... ඒක නැතිව අපට බේරෙන්න බැහැ...

:       7       106

sumudu Saturday, 12 June 2021 04:27 PM

ජවිපෙට වයිර කිරීමේ විපාක ජනතාව බුක්ති විදිමින් සිටී ..දැන් විසදුමක් නැහැ. ජනතාවට තියෙන්නේ පවුල් පිටින් බෙල්ලේ වල දාගැනිමයි ...

:       97       59

Chandrasiri Seneviarthme Sunday, 13 June 2021 06:35 AM

මේ ආණ්ඩුව සමග රණ්ඩු කරන වෙලාවක්ද? ගොන් තීරණ නිසා රටටම රණ වරෙන්තුව ලියැවෙමින් පවතින හෙයින් විපක්ෂය කළ යුත්තේ විශේෂඥ මතය අනුව තත්වය කළමනාකරණය කිරීමට බල කිරීමයි...

:       41       8

P. Kamal Monday, 14 June 2021 06:57 AM

මට පෙනෙන ආකාරයට අනාගතය නිසිලෙස යාමනය කළ හැකි නායකත්වයක් රජයේ හෝ විපක්ෂය තුලින් නොපෙනේ. දැනට පවතින රජයේ මුදල් මංකොල්ලකෑමේ සහ තමන් සහ තම පවුල් අතරත්, තම හිතවතුන් අතරේත් බෙදාගැනීමේ ක්‍රමවේදය, තම පවුල තුළම අනාගත බලය තබාගැනීමේ අරමුණින් සූක්ෂම ලෙස කිරීම, ඒ සඳහා රටේ ජනතාව ගොනුන්ට ඇන්දීම, රටේ ජනතාව ගැන ඡන්ද කාලයට පමණක් බොරුවට කතාකිරීම විනා ඔවුන්ගේ අනාගතය සහ රටේ අනාගතය ගැන බොරු කතාහැර වෙන කරනු ලබන දෙයක් නැති බවත් ඒ පිළිබඳව කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නැතිවීම දැනට පාර්ලිමේන්තුවේ සිටින සැමගේ අවශ්‍යතාවයයි. ඔවුන්ගෙන් වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන් සියල්ලම ඉවතට දමා රට තුළ සිටින ජාති හිතෛෂී උගත්, අවංක සහ වැදගත් නව නායකත්වයක් තෝරා ගතයුතුව ඇත. මෙතෙක් කල් පාර්ලිමේන්තුව තුල සිට කිසිම දෙයක් නොකළ හැකි වූ සියල්ලම මින් ඉදිරියට තෝරා ගතහොත් ලංකාවට තවත් අවුරුදු 100 කටවත් අනාගතය සිහිනයක් පමණක් වනු ඇත. හොරකම් සහ ගසකෑම් මගින් රටේ ජනතාවගේ මුදල් බිලියන වලින් ගසා කෑ සියලුම කුහක වංචනිකයන්ගෙන් ඒම මුදල් බලෙන් අයකර රට විසින් ගෙවිය යුතුව ඇති බිලියන ගණන්වල ණය මුදල් ගෙවා අසරණ රට වැසියන් ණයබරින් මුදවිය යුතුයි.

:       0       0

vidya Monday, 14 June 2021 08:19 AM

ඉතින් හාමුදුරුවනේ, මැදගොඩ හාමුදුරුවන්ට පත්තරයක් දීලා පාරට ඇරියා නම් ගාණක් එකතු කරගෙන එන්නත් ගේන්න තිබුණනේ..

:       0       0

R Sugathadasa Monday, 14 June 2021 01:40 PM

දේශපාලනය කිරීමට යමෙක් භික්ෂුවක් වී බැතිමතුන් දෙන දානය මත ජීවත් විය යුතු බව ධර්ම ග්‍රන්ථ තුනෙහි සඳහන් වන්නේ කොතැනද? භික්ක යන වචනයේ තේරුම උපත් හා මරණ නැවත නැවත චක්‍රයට ඇති බිය දුරු කිරීමයි. පැවිදි වන විට ඔවුන් පවසන්නේ සියලු දුක් වේදනා වලින් මිදී නිර්වාණය අවබෝධ කර ගන්නා බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 123 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 248 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 348 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 76 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 524 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 288 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site