IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපට ජීවිතය ගැන කියාදුන් මහා ගත්කරු

මෙරට සාහිත්‍ය කෙත සරු අස්වැන්නකින් පෝෂණය කිරීමට මුළු දිවිය කැප කළ කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියාණෝ පසුගියදා අප අතුරින් සමුගෙන ගියහ. නවකතාව, කෙටිකතාව ළමා සාහිත්‍යය මතු නොව සාහිත්‍ය විචාර කලාව වෙනුවෙන් කේ. ජයතිලකයන් දැක්වූ ප‍්‍රබල දායකත්වය මෙරට සමාජයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපනය කරන්නකි. 1943 දී ”වියෝ දසුන” නම් කාව්‍ය සංග‍්‍රහය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසි කේ. ජයතිලක මහතා එතැන් සිට මේ දක්වා රචනා කළ බොහෝ කෘතිවලින් අපට කියා දුන්නේ ජීවිතයයි. පුංචි රාළගේ මරණය, රාජපක්ෂ වලව්ව, පුංචි රාළ, මායා මාළිගා, පිතා මහ, චරිත තුනක්, පියා සහ පුත්තු, අප‍්‍රසන්න කතාවක්, අර්ධ නවකතාවක්, මහල්ලෙකුගේ පේ‍්‍රමකතාව, දෙලොවට නැති අය, අධිෂ්ඨාන, කාලො අයංතේ, පරාජිතයෝ වැනි නවකතාද නොනිමි සිත්තම, අතීරණය, වජිර පබ්බත, එකගෙයි අවුරුද්ද, කටු සහ මල් වැනි කෙටිකතා සංග‍්‍රහද ඒ අතුරින් මෙරට රසික සාමජයට කිසිදා අමතක නොවනු ඇත. බර අඩි තබා සමාජය ඉදිරියෙන් ගමන් කොට ජනතාවට මඟ සළකුණු කළ දැවැන්ත නිර්මාණ කායක් ප‍්‍රදර්ශනය කළ කේ. ජයතිලක ශූරීන් පවත්නා සමාජ දේශපාලන තත්ත්වය මැනැවින් විමර්ශනය කළ අතර ඔහු සතුව පැවැති සමාජ නිරීක්ෂණය මොනතරම් ඉසියුම් එකක් දැයි පුංචි රාළ චරිත තුනක් වැනි නවකතා කියවන පාඨකයාට මැනැවින් ඒත්තු යනු ඇත. ඔහුගේ දැවැන්ත නිර්මාණ කාය තුළින් ප‍්‍රදර්ශනය වූ අනෙක් සුවිශේෂී කාරණය වූයේ භාෂාව හා සංස්කෘතිය කෙරෙහි ඔහු සතුව පැවැති ඇල්ම බැල්මය. ලේඛණ ව්‍යවහාරය වෙනුවට සංස්කරණයෙන් තොර කටවහර පොත පතට ගලපා ගැනීම හැම විටම කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය. කට වහර නිර්මාණයක් කිරීමට තබා දැන්වීම් පුවරුවක් ලිවීමටවත් ඒ හැටියෙන්ම භාවිත කළ නොහැකි බව ඔහු ප‍්‍රකාශ කළේය. කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණන් විශිෂ්ට නවකතාකරුවකු කෙටිකතාකරුවකු ලෙස ප‍්‍රකට වෙතත් ඒ සියල්ල තුළින් මතුව එන දැවැන්ත ප‍්‍රතිරූපයක් තිබේ. එනම් විශිෂ්ට චින්තකයකුගේ මතුවීමයි. දර්ශනවාද අසබඩින්, බුද්ධ චරිතයෙන්, බුද්ධ චරිතයට, කුදුහොත් රචනා, නිරිබත, සංකල්පන, අත්පසුරු වැනි කෘතිවලින් ඒ බව මනාව කියාපායි. සමාජ මතවාද සියල්ල කිරා මැන ඒවායේ සාධාරණ අසාධාරණකම් ජයතිලක මහතා විමසා බැලූවේත් ඒ සියල්ල මැද තම මතය අදීනව ඉදිරිපත් කොට සිටියේත් මධ්‍යස්ථ පිළිවෙතක පිහිටාය. ඇතැම් ආගමික සංකල්පවලට නූතනයේ ලබාදී ඇති හැඩරුව ඔහු ඉතාමත් පරිස්සමින් ලිහා ජනතාවට අවබෝධ කරදීමට වෙහෙස වූ සැටි අපට සිහිපත් කළ හැකිය. ඔහු වරින් වර ලියා පළ කළ කෙටි ගද්‍ය රචනා නිර්මාණ (මේවා කවියැයි හඳුන්වනවාට ජයතිලක මහතා කැමැත්තක් නොදැක්වීය) බොහොමයකින් අප මුලින් දැක්වූ විශිෂ්ට චින්තකයකුගේ රූප කාය මැනැවින් මතුව එන්නට විය. ඒවා කෙටි ගද්‍ය රචනා වුවත් එයින් මතුවන චින්තන දහරාව සුළු පටු නොවේ. මේ ”සංකල්පන” කෘතියට ඔහු ලියන එවැනි නිර්මාණයකි ”ගිය අවුරුද්දේ වපුරන්නට තිබූ බීජ රාශිය එදා නොවපුලෙමි දැන් මට ඉතා හොඳ පොළොවක් ඉතා හොඳ දේශගුණයක් ලැබී ඇත ඒ බිමෙහි ඉතා හොඳ පොහොර යොදා ඒ බීජ වපුළෙමි නිසි ලෙස ජලය ඉස්සෙමි ඒත් ඒවා පුරෝහණය නොවීය. සම්පත්  ඕනෑ තරම් තිබියදී අවස්ථාව අපතේ හැරීමෙන් අප ලබන පරාජය මොනතරම්ද යන වග ඉසියුම්ව පාඨකගත කරන ආකාරයත් මෙහි දැනේ. චින්තනීය වශයෙන් පොහොසත් එවැනි කෙටි ගද්‍ය රචනා සහිත නිර්මාණ කෘති කිහිපයක්ම ජීවිතයේ සැඳෑ සමයේදී පවා රචනා කරමින් ජයතිලක මහතා කියා සිටියේ දීර්ඝ වශයෙන් ලිවීම වෙහෙසකර වූ තැන එවැනි කෙටි නිර්මාණ කළ බවයි. එහෙත් ඒවායින් ධ්වනිතවන චින්තනීය සංකල්ප කිසි විටෙක ලඝු නොවීය. කේ. ජයතිලක මහතා අප අතුරින් වියෝවුවත් ඔහු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවකු බව අවධාරණය කළ හැක්කේ ඔහු මෙරට සාහිත්‍යයේ තීරණාත්මක යුගයක නියෝජනයක් වූ බැවිනි. ස්වෝත්සාහයෙන්ම නැගී සිටිමින් පියවරින් පියවර තම නිර්මාණ කාර්යය පොහොසත් කරගත් ජයතිලක මහතාගෙන් මෙරට වත්මනේ මෙන්ම අනාගත සාහිත්‍යකරුවන්ටත් විචාරකයන්ටත් ලබා ගත හැකි ආදර්ශ බොහොමයකි. ඇතැම් කලාකරුවන් විවිධ වාසි තකා දේශපාලකයන් පසුපස යද්දී, ඔවුන් කියන කරන  ඕනෑම දෙයක් අනුමත කරද්දී කේ. ජයතිලක ලේඛකයාණෝ කිසි විටෙකත් දේශපාලකයන් පසුපස නොගියහ. ඒ වෙනුවට ඔහු හැමවිටම පාහේ සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු තදින් විශ්වාස කළ එක් කරුණක් වෙයි. එනම් ලේඛනය, සාහිත්‍ය නිර්මාණකරණය යනු ආශ්චර්යයෙන් කෙටි මාර්ගවලින් පාදාගත හැකි දෙයක් නොවන බවය. ස්ථිර නිවහනක් නොමැතිව පයින් පාරේ ඔබ මොබ යන තැනැත්තා ඊළඟ සතියේ ලොතරැයි දිනුමකින් මෝටර් රථයක සුවිසල් මන්දිරයක හිමිකාරයකු විය හැකි වුවත් හෝ සාමාන්‍ය පුද්ගලයකුට මැතිවරණයකින් පසු දේශපාලකයකු වන්නට හැකි වුවත් එවැනි කෙටි මාර්ග කිසිවකින් ලේඛකයකු විය නොහැකි බව ජයතිලක මහතා හැම විටම පාහේ අවධාරණය කළේය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය රත්න, සාහිත්‍යශූරී ආදි සම්මාන හා උපාධි ආදියෙන් එතුමා පිදුම් ලැබුවේ ඔහු තම දිවිය ලේඛනය වෙනුවෙන්ම කැප කිරීමට බුහුමන් පිණිසය. ඒ අතර රසික-පාඨක ජනතාවගෙන් ජයතිලක මහතා ලද ගෞරවය, බුහුමන මේ සියලූ සම්මාන අභිබවා යන බව නොකියාම බැරිය. වී කරල කිරි වදින විට බිමට නැමෙන්නේ යම් සේද තමා ලේඛකයකු, විචාරකයකු, චින්තකයකු ලෙස ජන ගරු බුහුමනට ලක්වන විට ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණෝ සැබැවින්ම නිරහන්කාර වූහ. ඔහු තම නිර්මාණකාය විශාල අතුපතර විහිදුවාලූ කල අක්මුල් සිඳ නොගත්තේය. තම ලේඛනය පෝෂණය වීමට බොහෝ ධෛර්යය සැපයූ කිරිඳිවැල කන්නිමහර අමතක කළේ නැත. ඔහු තම නිවෙස දුවා දරුවන්ට පාඨකයන්ට මහත් අත්වැලක් සපයන පුස්තකාලයකට පිරිනැමුවේ ලේඛකයකුගේ අද්විතීය භූමිකාව නිරූපනය කරමින්ය. ඔහු ගමට කෙතරම් ළෙංගතු මුල අමතක නොවන සොඳුරු මිනිසකුද යන වග ඔහුගේ රචනා කියැවීමෙන් සාධනය වනු ඇත. ජයතිලකයන් පිිළිබඳ මේ අසම්පූර්ණ කෙටි සටහන නිමවීමට පෙර ඔහු ”දින සටහන්” කෘතියට ගම ගැන ලියා ඇති සටහනක් උපුටා දක්වනු කැමැත්තෙමි. ”අද අපි ගමට ගියෙමු. ලංකාවේ කිසිම තැනකදී නොදැනෙන නිදහසක් හා සුවයක් ගෙරදී දැනෙයි. කිඹුල්වත් පුරය දෙසින් හමන සුළඟත් සුවදායක බව බුදුහුද පවසා ඇත. කෙනකුගේ ළමා කාලය කොතෙක් ආස්වාදය කළත් නිමාවට පත් නොවන කොටසකි. එමෙන්ම ඒ පිළිබඳ මතකයද ලේසියෙන් මැකී යන්නක් නොවේ. මා ලියා ඇති බොහෝ නිර්මාණාත්මක කෘතීන්ට ආභාසය ලබා ඇත්තේ බාල කාලයෙනුත් ඒ බාල කාලය ගත කළ ගමෙනුත්ය. ඒවාට ජීව ගුණය සපයන ලද්දේ මේ ගෙදර, මේ වතුපිටි, මේ ඇළ දොළ, කුඹුරු ගහකොළ විසින් නොවේද?” දින සටහන්- කේ. ජයතිලක

කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණනි. ඔබට නිවන් සුව!



අදහස් (2)

අපට ජීවිතය ගැන කියාදුන් මහා ගත්කරු

නිත්‍යා Saturday, 12 January 2013 03:54 PM

ඔබ මේ සමාජයට කර මෙහෙය ඉතා වටිනවා. ඔබට නිවන් සුව (ස)

:       0       3

Monday, 27 November 2023 07:25 PM

ඔබට නිවන් සුව...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 19 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 209 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 156 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 218 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 747 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site