IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධ්‍යාපනය ආර්ථිකයට බද්ධ කරමු

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ

ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. එම පසුබිමේ විවිධ මාතෘකා ඔස්සේ එළි බසින කතන්දර රාශියකි. රටේ ප්‍රමුඛ අංශ සම්බන්ධයෙන් අපේක්ෂක මට්ටමෙන් දක්වන අදහස් ද සමාජයට ගලා යමින් තිබේ. ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්තිද එළිබසින දින වකවානු ප්‍රකාශයට පත්ව අවසන්ය. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මෙවරද අධ්‍යාපනය ප්‍රධාන මාතෘකාවකි. මෙරට ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යාපනයට දක්වන නැඹුරුව අපට ඇති වටිනාකමකි.

අධ්‍යාපනයට නැඹුරුවී ඉහළින් විභාග සමත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයක් හැටියට කවරාකාරයෙන් ආධාරයක් සහයෝගයක් ලබාදිය යුතුද යන්න සම්බන්ධ කතිකාවක් ගෙවුණු වසර හැත්තෑවක කාලයේ නිර්මාණයවී නැත.

මෙරට තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයකි. යම් අයකිරීමක් කෙරෙන්නේ පශ්චාත් උපාධි සඳහා පමණි. එයද සුළු අයකිරීමකි. කෙසේ වුවත් මේ හේතුවෙන් රටේ සාරක්ෂතාව ඉහළටම පැමිණ තිබේ. එහෙත් අධ්‍යාපනය දියුණු කර රට දියුණු කරන ක්‍රමවේදයකට මෙරට තවමත් නැඹුරුවී නැත. ඉදිරි වසර ගණනාවකදී නිර්මාණය වෙන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකි. මානව සම්පත කළමනාකරණය ද බෙහෙවින් වැදගත්ය. එනිසා ඉදිරියේදී පත්වන  නායකත්වයට රට කළමනාකරණය කිරීමේ හැකියාව තිබිය යුතුය. එසේ නැතිව ඇඟේ හයියෙන් රට පාලනය කිරීමට ඉදිරියේදී හැකියාවක් නැත. ඒ සඳහා බලපාන හේතු විවිධය.

අධ්‍යාපනයට කෙරෙන ආයෝජනය ප්‍රමාණවත් නොවන බව කලක සිට පවතින අදහසකි. එනිසා අධ්‍යාපනයට කරන ආයෝජනය ඉහළ නැංවිය යුතු බවට වසර ගණනාවක සිට වෘත්තිකයන් වශයෙන් අපි ඉල්ලීම් කළෙමු. දැනට අධ්‍යාපනයට වෙන් කෙරෙන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දෙකක පමණ ප්‍රතිශතයකි. මෙය සියයට හය දක්වා වැඩි විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රජාව සහ වෘත්තිකයන් අතර තිබෙන අදහසකි. සියයට හය සාමාන්‍යයෙන් ලෝකයේ තිබෙන දර්ශකයක් වුවද එම ප්‍රතිශතය ලබාදී ඇත්තේ දුප්පත් රටවල්වලටය. ලංකාව වැනි රටවලටද අධ්‍යාපනයට සියයට හයක් ලබාදිය හැකිනම් හොඳය. බොහෝ විට එවැන්නක් ප්‍රායෝගික නොවන්නට පුළුවන. එහෙත් අවම වශයෙන් සියයට තුනක හතරක ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් කළ හැකිනම් අධ්‍යාපනයට යෙදෙන ප්‍රමාණය වැඩිකර මානව සම්පත කළමනාකරණය කරගෙන දැනුම පදනම් කරගත් ආර්ථිකයකට පහසුවෙන් ගමන් කිරීමට අපට හැකියාව තිබේ.

මුල් වසර කීපයේදී අධ්‍යාපනයට ඉහළ ආයෝජනයක් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

අධ්‍යාපනයට ඉහළ ආයෝජනයක් කරන විට ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට හෝ හතරකට එම ආයෝජනය බෙදී යා යුතුය. පූර්ව ළමාවිය අධ්‍යාපනය ඉන් එකකි. මෙම අංශයේ යම් කළමනාකරණයක් කර ඒ හරහා ඉදිරි පියවරක් තැබිය යුතුය. දැනට ලෝකයේ අනෙක් රටවල් පූර්ව ළමාවිය කළමනාකරණය කරන්නේ කෙසේද? ඒවායේ සිදුව ඇති වෙනස්කම් අවධානයට ගත යුතුය. එවැනි වෙනස්කම් තවමත් මෙරට සිදුව නැත. මේ නිසා මීළඟට පත්වන නායකයකුට සහ රජයකට රට දියුණු කිරීමට අවශ්‍ය නම්  මේ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුමය.

පාසල් අධ්‍යාපනය අනෙක් අංශයයි. පාසල් අධ්‍යාපනයට වාර්ෂිකව සාමාන්‍යයෙන් යොමුවන සංඛ්‍යාව ලක්ෂ තුනහමාරත් ලක්ෂ හතරත් අතරය. එහෙත් ඉහළ විභාගවලදී ඉහළ දස්කම් දක්වන්නේ සීමිත වූ පාසල් සංඛ්‍යාවක සිසුන් පමණි. රටේ ඇති පාසල් සංඛ්‍යාව දස දහසක් පමණය. එහෙත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් වන්නේ පාසල් 200කින් පමණි. රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසුන් බහුතරය නිර්මාණය කෙරෙන්නේ මේ අතරින් පාසල් හැත්තෑවකිනි.

උසස් පෙළ පවතින ඇතැම් පාසල්වලින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් වන්නේ ඉතාම සීමිතවය. එවන් ඇතැම් පාසල්වලින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත්ව නැත. එනිසා පාසල් පද්ධතිය යම් වෙනසකට භාජනය කිරීමේ අවශ්‍යතාව තිබේ. ඒ සමගම පාසල් පද්ධතියෙන් දැනුම පමණක් ලබාදී දැනුම පමණක් මනින විභාග ක්‍රමය දැඩි වෙනසකට ලක් කිරීමේ වුවමනාවක්ද තිබේ. ජාත්‍යන්තර මට්ටමේ විභාග මෙහිදී සැලකිල්ලට ගතයුතුය. එහෙත් ඒවායේ සමානකම් අවශ්‍ය නැත. ළමයින් දැඩි මානසික පීඩනයකට ලක් කරන විභාග ක්‍රමය යම්තාක් දුරකට වෙනස්කර ගැනීම අත්‍යවශ්‍යය.

විභාගවලදී දරුවන්ට තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට මෙරට ඉඩ දෙන්නේ නැත. ගණක යන්ත්‍රයක්වත් විභාගවලදී භාවිතා කිරීමට මෙරට අවකාශකයක් නැත. එනිසා විභාගවලදී යම් ක්‍රමවේදයක් සකසා ගැනීමේ වුවමනාව තිබේ. අවම වශයෙන් තාක්ෂණ විෂය ධාරාව ගණකාධිකරණය, සංයුක්ත ගණිතය ආදී විෂයවලදීවත් ගණක යන්ත්‍ර භාවිතයට ඉඩදී ඒ හරහා තාක්ෂණික දැනුමෙන් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කර ගැනීම කෙරේ අවධානය යොමු විය යුතුය. ටැබ් යන්ත්‍ර ලබාදීමට පෙර කළ යුත්තේ දරුවන්ට ගණක යන්ත්‍ර ලබාදී දරුවන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමය. දැනට කතාවන stem අධ්‍යාපනය නැතිනම් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන අංශවලට වැඩි බරක් තැබීමද වුවමනාය. ඊට අමතරව සමාජ විද්‍යා විෂයවලටද යම් බරක් තැබිය යුතුය. මේ පසුබිමේදී පාසල් අධ්‍යාපන මට්ටමේදී වැඩි ආයෝජනයක් කිරීමට සිදුවන බව පැහැදිලිය. පවතින විෂය නිර්දේශවල අඩුලුහුඬුකම් ඒවායේ බර ප්‍රමාණය සැලකිල්ලට ගෙන ශිෂ්‍යයන්ට හිතකර වන ආකාරය අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ගැනීමට අපට සිදුවනු ඇත. ඒ සඳහා විශාල ආයෝජනයක් කළ යුතුය.

උසස් පෙළ සමත් වන සංඛ්‍යාවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ කී දෙනාද? මේ සංඛ්‍යාව අවම වශයෙන් වසරකින් දෙකකින් යම් ප්‍රතිශතයකින් වැඩිකර ගැනීමේ හැකියාව අපට තිබෙනවාද? ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කිරීමට සිදුවන බව පැහැදිලිය. මේ කටයුත්තේදී ලෝකයේ ඉල්ලුමක් තිබෙන තොරතුරු තාක්ෂණය පරිගණකය විද්‍යාව, හෙද යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉහළ ආයෝජනයක් කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත. විශ්වවිද්‍යාවලින් සහ අනෙක් උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවන සිසුන් ඉහළ මට්ටමකට ගෙන යාමට හැකි වුවහොත් එය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අයටද ප්‍රයෝජනවක් විය හැකිය.

මෙරට උසස් අධ්‍යාපන ආයතනවල ඇති ඇතැම් පාඨමාලා සෑහෙන කාලයකින් වෙනස් කිරීම්වලට ලක්ව නැත. දැනට කෙරෙන්නේ විශ්වවිද්‍යාල මගින් පාඨමාලා හඳුන්වාදී ඒවා දරුවන්ට උගැන්වීමය. එසේ නොකර ලෝක මට්ටම ගවේෂණය කර ඉදිරි කාලයේදී ලෝකයට අවශ්‍ය වන වෘත්ති හඳුනාගෙන ඒවාට අවශ්‍ය උපාධිධාරීන්  මෙරටදී බිහිකළ හැකි නම් අපට අවශ්‍ය ඉලක්ක වෙත පහසුවෙන් ළඟා වන්නට පුළුවන. දැනට අපේ ආර්ථිකය රැඳී පවතින්නේ නුපුහුණු ශ්‍රමය මතය. මැදපෙරදිග යන පිරිස මෙයට උදාහරණයකි. මෙතැනින් උඩට යාමට නම් පුහුණු නිපුණතාවක් ඇති ශ්‍රමිකයන් මත මෙරට ආර්ථිකය රඳා පවතින තත්ත්වයක් නිර්මාණය කරගත යුතුයි. දැනුමෙන් පිරි  පිරිස්වලට විදේශ රැකියා අවකාශ විවර කිරීම අවශ්‍යය. මේ කාරණා දෙස බලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුවිශේෂී වෙනසක් කිරීමේ වුවමනාව තිබේ.

දැනට පවත්නා විශ්වවිද්‍යාල 15 සියලුම භෞතික හා මානව සම්පත් අඩුපාඩු මානව සම්පතට උසස් අධ්‍යාපනයට පිවිසීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කරගෙන අධ්‍යයන කටයුතු වෙනුවෙන් විශිෂ්ට මානව සම්පතක් නිර්මාණය කර ගැනීමටද අවශ්‍යය. මේ සියල්ල කළමනාකරණය කර ගැනීමේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පැවරෙනු ඇත. ඒ සමඟම හඳුනාගත් ක්ෂේත්‍ර වෙනුවෙන් අලුතෙන් විශ්වවිද්‍යාල  නිර්මාණය කර ගැනීමද අවශ්‍යය. ක්‍රීඩාව, භාෂාව සහ දේශීය වෛද්‍ය ආදී අංශ වෙනුවෙන් විශ්වවිද්‍යාල ස්ථාපිත කර ගැනීමට අවධානය යොමුකළ යුතුය. ඒවා ස්ථාපිත කරන්නේ කුමන ප්‍රදේශවලද යන්නත් නිශ්චය කර ගැනීම අවශ්‍යය. මේ හරහාද සිසුන් වැඩි පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දොරටු විවර කිරීමට පුළුවන.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවන පිරිසක් ද සිටිති. මෙවන් පිරිසක් ඉලක්ක කර දැනටමත් ඩිප්ලෝමා  සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා පවතී. මෙම පාඨමාලාවලදී දැනට ලබාදෙන සහතිකය වෙනුවට ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් ලබාදිය හැකිනම් නිපුණත්වයක් සහිත පිරිසකට දොරටු විවර කිරීමට පුළුවන. නිපුණත්වය සහිත ඩිප්ලෝමාධාරීන්ට ද අද ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබේ. එනිසා කාර්මික විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල සියල්ලේම ඉදිරි කාලයේදී යම් පරිවර්තනයක්  කර දේශීය  සහ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය වන නිපුණතාවෙන් හෙබි තාක්ෂණවේදීන් බිහිකර ගත යුතුය. මේ හරහා නිපුණතාව සහිත උසස් ඩිප්ලෝමාධාරීන් විවිධ ආයතනවලට බඳවා ගැනීමට පුළුවන. මේ ක්‍රියාවලියද රටක් වශයෙන් ඉදිරියට යාමේදී බෙහෙවින්ම වැදගත්ය.

මේ ආකාරයට දැනුම කේන්ද්‍රකර ගනිමින් නැතිනම් දැනුම පදනම් කරගනිමින් ආර්ථිකය නිර්මාණය කර ගැනීමට ඉහත සඳහන් කළ පියවර කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන යන කාණ්ඩ තුන යටතේ නිශ්චිත වැඩපිළිවෙළක් ඉක්මනින් නිර්මාණය කරගත යුතුය. වසර දෙකකින් පහකින් සහ දහයකින් අපේ ඉලක්කගත තත්ත්වය දෙස බලා දස වසරක අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතිකර ඒ අනුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළොත් දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට ගමන් කිරීමට පුළුවන.

ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් විශ්වවිද්‍යාලවලට ගියවිට ඉහළම දක්ෂතා දක්වති. එයින් හැඟෙන්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමයේ පවතින උසස් මට්ටමය. එහෙත් පාසල්වලත් විශ්වවිද්‍යාලවල ඇතැම් පීඨ හැරුණුකොට තවමත් ලබාදන්නේ දැනුම පමණි. වෘත්තීමය උපාධි නොවන පාඨමාලාවලදී මේ තත්ත්වය විශේෂයෙන් දැකගත හැකිය. දැනුම ලබාදීමට අමතරව දැනුම ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය විශ්වවිද්‍යාල සිසුන්ට කියාදිය යුතුය.

ඒ වගේම වත්මන් විශ්වවිද්‍යාල  ශිෂ්‍යයා සම්බන්ධයෙන් ද දැඩිව අවධානය යොමුකළ යුතු තත්ත්වයක් තිබේ. විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන අපහසුතා සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ විසඳුම් සොයාගත යුතුය. විශේෂයෙන්ම නේවාසිකාගාර හිඟකම වඩා හොඳ කෑම වේලක් විශ්වවිද්‍යාලය තුළදී ලබාදීම මහපොළ ශිෂ්‍යාධාර සාධාරණ මට්ටමකට හැකිනම් ඔසවා තැබීම දෙවැනි සහ තෙවැනි වසර සිසුන්ට නේවාසිකාගාර නොලැබෙන නිසා ඔවුන් දිරි ගැන්වීමකට විශේෂ දීමනාවක් ලබාදීම යනාදිය ඔස්සේ මොවුන් වැඩි වශයෙන් අධ්‍යාපනයට නැඹුරු කිරීමට හැකිය. නිදහස් අධ්‍යාපනය අහිමිවේය යන අදහසක් විශ්වවිද්‍යාල සිසුන් තුළ පවතී. කිසිදු ලෙසකින්වත් නිදහස් අධ්‍යාපනය අහිමි නොවන බව මුලින්ම ඒ අයට වටහාදිය යුතුය. ඒ සමඟම අවශ්‍යතාව ඇති මුදල් යම් පමණට තිබෙන අයට කැමැත්ත අනුව රාජ්‍ය නොවන ආයතනවලට ඇතුළුවී අධ්‍යාපනය ලැබීමේ අවකාශය ස්ථාපිත කළ හැකිය. මෙහිදී තොරතුරු තාක්ෂණය, හෙද කළමනාකරණය යනාදී අංශ තෝරා ගැනීමට වැඩි බර තැබීමක් අවශ්‍යය.

එවන් ක්‍රියාවලියක් ඔස්සේ රටේ අධ්‍යාපනය ඉහළ තැනකට ඔසවා තබන්නට පුළුවන. කෙසේ වුවත් ඉදිරි වසර පහක කාලයේදී අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් විය යුතුය. එසේ වුවොත් සැවොම බලාපොරොත්තු වන නව සහශ්‍රකයේ දැනුම පදනම් කරගත් ආර්ථිකයට මේ රට හැරවීමට පුළුවන. ඒ ඔස්සේ රටේ ආර්ථිකය දියුණු වනු ඇත. එම පසුබිමේදී ජනතාවට වැඩි වැඩියෙන්  සහන සැලසීමට හැකිය. දැනටම යෝජනාවී ඇති ආකාරයට සියයට 8ක් දක්වා වැට් බද්ද අඩු කිරීමට හැකියාවක් තිබේනම් වේතන මත අය කෙරෙන බදු ඉවත් කිරීම යනාදී අංශ වෙත යොමුවිය හැකිය. මෙවන් පියවරවලට යාමට හැකි වුවොත් ඉදිරි කාලය ජනතාවට රට ගැන හැඟීමෙන් ගත කිරීමට පුළුවන.

විශ්වවිද්‍යාලවලට ඇතුළුවන පිරිස සහ උසස් ඩිප්ලෝමා  සඳහා සුදුසුකම් ලබන පිරිස හැරුණු විට තවත් පිරිසක් ඉතිරි වෙති. මේ පිරිස සම්බන්ධයෙන්ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අවධානය යොමුවිය යුතුය. දැනට ඇතැම් පෞද්ගලික ආයතනවලින් ලබාදෙන උපාධියට රජය හරහා වටිනාකමක් ලබාදිය හැකියි. ඒ ඔස්සේ ඉදිරියට යාමට හැකියාව තිබේ. ඒ වගේම සාමාන්‍ය පෙළ අසමත් වන අයද සිටිති. වෘත්තීය පුහුණුව බොහෝ විට වැදගත් වන්නේ මේ පිරිසටය.

වෘත්තීය පුහුණුවට වෙනම අමාත්‍යාංශයක්ද තිබේ. වෘත්තීය පුහුණුව ලබන අයගේ සහතිකයට ඉහළ වටිනාකමක් ලබාදිය යුතුය. රජයක් වශයෙන් මේ අංශය අලෙවි කරගත් ක්‍රමය ප්‍රමාණවත් නැත. වෘත්තීය පුහුණු ආයතනවලින් ලැබෙන සහතිකයට කර්මාන්ත ක්ෂේත්‍රයේදී ඉහළ වටිනාකමක් ඇති බව ජනතාව අතර ජනප්‍රිය කළ යුතුය. සාධාරණ වැටුපකට රැකියාවේ යෙදිය  හැකිය යන මතය වෘත්තීය පුහුණුව ලබන්නන්ට වටහා දිය යුතුය. රාජ්‍ය අංශයේ කුඩා ප්‍රමාණයකටත් කර්මාන්ත හා සේවා අංශවල වැඩි පිරිසකටත් රැකියා අවස්ථා තිබෙන බවට විශ්වාසය සමාජයේ ගොඩනඟන්නට පුළුවන. ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ හැකිය. සන්නාමකරණයට රජයක් වශයෙන් ආයෝජනය කෙරෙන්නේ නැත. යම් ගැටලු පවතින්නේ ඒ නිසාය. යම් නවීකරණයක් ඔස්සේ බොහෝ ප්‍රශ්න විසඳාගත හැකිය.

සටහන
චමින්ද මුණසිංහ



අදහස් (14)

අධ්‍යාපනය ආර්ථිකයට බද්ධ කරමු

H.M.Navaratne Banda Wednesday, 23 October 2019 01:33 PM

ඔබ කියන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ලංකාවේ තිබේද? ඒ මොනවද? මා දන්නා අන්දමට එවැනි ඒවා නැත. අර බොහෝදෙනා කියන අධ්‍යාපන කඩ නම් තැනින් තැන ඇත. ඒවාට විශ්වවිද්‍යාල කියලා අපේ විද්‍යාලවලට අපහාස කරන්නට එපා...

:       8       2

chandima Wednesday, 23 October 2019 07:41 PM

ඔය ඔක්කොම මතක් වෙන්නේ රටේ ආර්ථිකේ වලපල්ලට ගියාට පස්සෙනේ, රට ගොඩ නගන්න හැකි සෑම සම්පතක්ම ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා අලුතින් පාඨමාලා සාදා වැඩපිළිවෙලවල් සදන්නට පෙර රටේ ඇති සම්පත් නිසි ලෙස යොදා ගන්නවනම්? උදාහරණයක් ලෙස විදේශ රටවල් වලින් ලැබුණු ශිෂ්‍යත්ව මත අධ්‍යයනයන් හදාරා ආපසු පැමිණි උගතුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට හවුල් කර නොගෙන කොන්කර දමන මෙන්ම රටේ ධනය පුද්ගලික ධනය වුනත් රටේ මුදල් බව ධනාත්මකව සිතන්න විදේශ වලට ගෙවා විදේශික විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරා ඇති දරුවන් කොන්කර දමන වෘත්තීය සංවිධාන රටට කරන හානිය කොපමණද?

:       0       7

lalithm Thursday, 24 October 2019 03:32 AM

මොනවා කිව්වත් උපාධි අපේක්ෂකයින් මූල්‍යමය ගිවිසුමක් මගින් ඔවුන්ට යන වියදම අනාගතයේ ගෙවන ක්‍රමවේදයකට යන්න ඕනේ. එතකොට නිකම් දෙන නිසා විනාශකරගෙන යන අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මීට වඩා හොඳ තත්වයකට පත්වෙනවා. හේතුව ගෙවන්න තියෙනවා නම් හැකි ඉක්මනින් එළියට යන්නත් රැකියා මාර්ගවලට යොමු වෙන්නත් වෙනවා. තව ව්‍යාපෘති සඳහා දායකත්වය මීට වඩා වැඩි වෙනවා (මූල්‍යමය වාසි ලැබුණොත්). දැන් වෙන්නේ වර්ජන තර්ජන කරකර කාලය කාදමන එක විතරයි. මහජන බදුමුදල් මේ විදියට විනාශ කරන්න ශිෂ්‍යයින්ට හෝ වෙන කාටවත් අයිතියක් නැහැ. අනික පාඨමාලා පිළුණුවුණු ඒවා...

:       1       26

de silva Thursday, 24 October 2019 07:43 AM

ඔය ඔක්කෝටම කලින් පාර්ලිමේන්තු පනතක් ගෙන එන්න ඕනේ පාසල් සහ විශ්ව විද්‍යාල තුළ දේශපාලනය, නවකවදය සම්පූර්ණයෙන් තහනම් කරලා, ඒවා කරන මිනිසුන්ට අවුරුදු 3කට නොඅඩු සිර දඬුවමක් නියම කරන්න ඕනේ... ඊට පස්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් හදල් ඇති දෙමවුපියන්ගෙන් ගාස්තුවක් අයකරන්න ඕනේ, දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට එම ගාස්තුව රජය මගින් ගෙවලා ඔවුන් රැකියාකරන කොට ඒවා රජයට අයකරගන්නා වැඩ පිළිවෙලක් සකස් කරගන්න ඕනේ... ඔවුන් විදේශ රැකියා සඳහා පිටරට යනවා නම් මෙම මුදල් රජයට ගෙවන්න ඕනේ... මෙම ගාස්තු ගෙවලා ඉවර වෙනකම් රැකියාව කරනකොට වර්ජනවලට සහභාගි වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ... මෙහෙම කළාම රටේ විශ්ව විද්‍යාල වැඩි වැඩියෙන් ඇතිකරලා කරලා තිබෙන ඒවායේ ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්... මේවට වියදම් කරන්නේ කම්කරු අපේ සීනි 250න්, පරිප්පු ටිකෙන් ආණ්ඩුවට ගන්න බදු සල්ලි, අපේ බදු සල්ලි නිකරුනේ විනාශකරනවට හෝ එම සල්ලිවලින් ඉගෙන ගෙන පිටරට ගිහින් කොටසක් ලොකු රැකියා කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරනවට අපි විරුද්ධ වෙමු...

:       1       9

Priyanthi Wijesinghe Thursday, 24 October 2019 09:26 AM

ඔබතුමාගෙ අදහස් නම් ගොඩාක් වටිනවා. එත් අපේ යල් පැනපු දේශපලන නායකයන් බලයට පත්වුනහම පොරොන්දු අමතක වෙනවා. බලය ගැන විතරයි හිතන්නෙ රට ගැන, ඉදිරි පරම්පරව ගැන නොවෙයි. බලය ගන්නකන් විතරයි රටට ආදරේ. මම දන්නවා ඔබතුමා නායකත්වය දුන්න විශ්වව්ද්‍යාල පිඨවල නවකවදය සම්පුර්නයෙන් නැතිකල බව. ඔබතුමාට කිසිදු පනතක් නැතිව එය කලහැකිනම් අන්කුත් පිඨවල කල නොහැක්කේ මන්ද, අපේ රටේ සියල්ල දේශපාලනික වෙලා, ඒකයි. නැවත රට හදන්න නම් මුල් ළමාවිය සිට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කලයුතු බවයි මගෙ අදහස. එතකොට තව අවුරුදු 15 කින් ප්ස්සෙ නව අකල්ප වෙනසකින් රටට සැබැවටම ආදරේ කරන දරුවො මෙරට ගොඩනගයි.

:       9       23

Sagara Friday, 25 October 2019 05:07 PM

මහාචාර්යතුමා, ඔබතුමා ඇයි මේ වෙලාවේ මේවගේ දේවල් කථා කරන්නේ? දැනට වසර 10ක් විතර ඔබතුමා පීඨාධිපතිවරයෙක්... ඇයි මෙතුවක් කල් මේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්න බැරි වුනේ... ඔබ ඊළඟ උපකුලපති වෙන්න තමයි මේ සංදර්ශණය පවත් වන්නේ.... ඇයි ඔබතුමාගේ ලොක්කට තාම එන්ටර් වෙන්න බැරිවුණාද? රටේ කොතරම් සල්ලි ප්‍රමාණයක් විශ්ව විද්‍යාල විසින් නාස්ති කරනවද? කී දෙනෙක් වැඩට එන්නේ නැතිව ලක්ෂ ගණනින් පඩි ගන්නවද? මහාචාර්යවරු කීදෙනෙක් ටියුෂන් ප්‍රසිද්ධියේ කරනවද? කී දෙනෙක් කොම්පැනි දාගෙන විශ්වවිද්‍යාලයෙන් වැටුපුත් ගන්නවද? ඔබලා කී වතාවක් රටේ මුදල් වියදම් කරමින් රට යනවද? ඒවා වහගන්න රජයේ විගණකාධිපතිටත් වාහනයක් දීලා තියෙන්වා නේද? ඒක නිසා ඔබලා ප්‍රථමව ආදර්ශමත් වන්න. අන්න ඊට පස්සේ රට වැසියා පිළිගනිවී. ඔබලා කියන දේවල් සත්‍යයයි කියලා...

:       10       36

pro.liyanageTuesday, 29 October 2019 07:32 AM

මම මේ බව මුලින්ම කිව්වේ දැනට අවුරුදු 10කටත් කලින්... එතකොට ඔහේ බඩ ගානවා. දැන් එනවා බණ කියාගෙන....

:       2       0

sagaraThursday, 31 October 2019 06:21 AM

ඇත්ත කියනකොට මල පනිනවා. හොඳ නැද්ද පීඨයට වෙලා ඉගැන්නුවා නම්. ඒක කරන්නේ නැතුව අදාළ නැති වැඩ ඔක්කෝම කරනවා. දැන් ඉතින් උගන්වන්න දැනුමත් නැතිවෙලා ඇතිනේ.

:       2       5

samanSaturday, 02 November 2019 05:23 PM

ඔබ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ සිටිනවා අවුරුදු 10 ක් විතර. ඇයි ඔය තරම් උපකුලපති පුටුවට කෑදර කමින් ජිවත් වෙන්නේ? වෙනත් කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නෑ. ඔයාගේ ලොකු උන්නැහෙත් එහෙමයි. බෙල්ල කපලා හරි තමන් දන්නේ නැති දේවල් කියවලා හරි තනතුරු ලබා ගන්න හදනවා. ලැජ්ජා නැතිව දේශපාලකයන්ට සර් කියාගෙන යන බව බොහෝ අය දැකලා තියෙනවා. ළමයින්ට හරියට උගන්වනවා නම් නීති ගරුකව ඉන්න කියා දෙනවා නම් ඉබේම අධ්‍යාපනය ආර්ථිකයට බද්ධ වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අගෞරව කරන්න එපා.

:       0       4

kamal Saturday, 26 October 2019 06:18 AM

අධ්‍යාපනය ආර්ථිකයට බද්ධ කරලා ආර්ථිකේ තියෙන ලෙඩ ටිකත් අධ්‍යාපනේටත් බෝ කරමු. අනේ දවල් හීන...

:       1       1

Kumara Tuesday, 29 October 2019 09:18 AM

අනේ මෙතුමාට මේ ටික දන්නේ මතක්වෙලා තියෙන්නේ පීඨාධිපති පුටුවේ නිදාගෙන ඉදල දැන් තමයි නැගිටල තියෙන්නේ

:       1       2

Himal Tuesday, 29 October 2019 10:37 AM

මෙතන ප්‍රතිචාර දාන සමහරු දන්නෙ නෑ නවක වද පණතක් තියෙනවා කියලා.අනෙක මෙයාගෙ පීඨෙ නවක වදය නැත්තෙ මෙයාගෙ වැඩ්ඩේක් නිසා නොවෙ.

:       5       12

දිසානායක Monday, 04 November 2019 07:11 AM

ආර්ථිකය අධ්‍යාපනය එක්ක කොච්චර බද්ධ කළාද කිව්වොත් මෙතුමා කිසිදු ආයෝජනයක් නොකර විශ්ව විද්‍යාලවල ළමයි ගාන විශාල ලෙස වැඩි කළා. පසුගිය අවුරුදු නමය තුළ එතුමා ජපුර විද්‍යා පීඨයේ සිදුකලේ ඒකයි.

:       0       0

M.D.C.S Damayanthi Friday, 10 March 2023 04:01 PM

අධ්‍යාපනය හා ආර්ථික සංවර්ධනය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පැහැදිලි කරන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 246 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 214 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site