IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නව මහ බැංකු අධිපතිට කාගේත් සහාය අවශ්‍යයි

අද රට දේශපාලන අස්ථාවරභාවය නමැති රකුසාගේ ග්‍රහණයට පත්වෙමින් තිබේ. අර්බුදයෙන් ගැලවීමට මාර්ගයක් සොයා ගැනීමට නම් රට දේශපාලන වශයෙන් ස්ථාවර විය යුතුය. කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට අලුත් මුහුණු දෙකක් එක්වීම ගිනි ගොඩක් මත සිටින රටට කිසියම් හෝ සහනයක් ලබා දී තිබේ. මහ බැංකුවේ අධිපති වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් මුදල් ලේකම් වශයෙන් කේ.එම්.එම්. සිරිවර්ධන මහතාත් නව පත්වීම් ලැබ සිටින අතර මේ දෙදෙනාම කේෂ්ත්‍රයේ පළපුරුදු කෘතහස්ත වෘත්තීයවේදීහු වෙති. මූල්‍ය කේෂ්ත්‍රයේත් මහ බැංකුවෙත් සෙසු නිලධාරීන් සමග එක්වී රටේ ආර්ථිකය හරි මගට ගැනීමේ වෑයමට මේ දෙදෙනා අත ගසා සිටිති.

රාජකාරි බාරගත් වහාම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දැඩි ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයක් ගෙන තිබේ. මෙරට ජනතාව අතර ප්‍රබල විවේචනයට ලක්වූ මහා පරිමාණයෙන් මුදල් අච්චු ගැසීම පාලනය කිරීමටත් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින උද්ධමනය පහළට ගෙන ඒමටත් ණය නැති භාවය අඩුකර ගනිමින් ඩොලර් සංචිත වර්ධනය කර ගැනීමටත් එම තීන්දු හේතුවෙනු ඇති බවට කිසියම් බලාපොරොත්තුවක් ඇති වී තිබේ. නව මහ බැංකු අධිපතිවරයා වැඩ බාර ගැනීමට පැය කිහිපයකට පෙර රුපියල් බිලියන 119.08ක් නව මුදල් අච්චු ගසා තිබූ බවත් 2021 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා අච්චුගසා ඇති මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.77ක් බවත් මහ බැංකු ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබිණි. එසේම ආහාර ද්‍රව්‍ය උද්ධමනය පසුගිය මාසයේදී 30% දක්වා ඉහළ නැග තිබූ බවද නිල සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි. රටේ මහජනතාව වීදි බැස විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් පුදුම විය යුතු ද?

මුදල් මණ්ඩලය සමග නන්දලාල් වීරසිංහ මහතා පැවැත්වූ ප්‍රථම සාකච්ඡාවෙන් පසුව පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ඒ මහතා ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය සියයට 7කින් ඉහළ දැමීමට තීන්දුවක් ගත් බව හෙළි කළේය. ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයට අනුව එම තීන්දුවෙන් බැංකුවල තැන්පතු ප්‍රමාණය ඉහළ යනු ඇත. ණය ගැනීම් අඩුවී ජනතාවගේ වියදම් පාලනය වීමට ද එය හේතුවනු ඇත. රුපියල දැඩි ලෙස පීඩනයට පත් කරවන ආනයනය අඩුවනු ඇත. මෙවැනි තීරණ පවතින තත්ත්වයේ හැටියට ආර්ථිකයට සේලයින් දීමක් හා සමානය. එහෙත් එය ‘‘ලෙඩා’’ සම්පූර්ණයෙන් සුවවනු ඇති බවට සහතිකයක් නොවේ. ඉදිරියේ දී රටේ ජනතාව දැනටත් වඩා අමාරුකම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ඒ සමග අනතුරු ඇඟවීමක් කර ඇත.

අලුත් කොස්සකින් හොඳින් අතු ගෑවෙනවා සේ ධුරය භාරගත් වහාම මහ බැංකු අධිපතිවරයා තද තීන්දු කිහිපයක් ගැනීම යහපත් බව අපගේ ද වැටහීමය. මහ බැංකුව ස්වාධීනව සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන මහජනතාවට සත්‍යය නොසඟවන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යන බව ද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. මෙවැනි ප්‍රකාශයක් කිරීම පහසු වුවද රටේ සෑම තීන්දුවක්ම දැඩිව දේශපාලනීකරණයට ලක් වෙමින් තිබෙන පසුබිමක මේ වචනය කොතරම් දුරකට යථාර්ථයක් බවට පත්කර ගත හැකි වේද යන්න ප්‍රශ්නයකි. ඇත්ත වශයෙන්ම ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය තුළ දේශපාලනීකරණය වූ ආයතනයක් බවට පත්වීම රටේ ආර්ථිකය මේ තරම් විනාශයකට යොමුකළ එක් ප්‍රධාන හේතුවක් බව විද්වත් පිරිසකගේ මතයකි. ඒ පිළිබඳව රජයට කළ අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගැනීම මහා ඛේදවාචකයකට රටම අද ඇද දමා තිබේ. නව මහ බැංකු අධිපතිවරයා මේ පසුබිම පිළිබඳ යථාඅවබෝධයකින් කටයුතු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

බ්‍රේක් නැතිව පල්ලම් බහින වාහනයක තත්ත්වයට පත්ව තිබෙන රටේ ආර්ථිකයට තමා මුලින්ම කරන්නේ එය විනාශ වී යාමකට පෙර බ්‍රේක් සවි කිරීම බව ද ඒ මහතා කියා තිබිණි. මුදල් අමාත්‍යාංශයේ ද සහාය ලබා ගනිමින් සකස් කෙරෙන මූල්‍යමය සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් මගින් ආර්ථිකයේ පවතින එම අසාධ්‍ය තත්ත්වය ආපසු හරවා ගැනීමට හැකිවනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කරයි. නිසි වෙලාවේ දී අවශ්‍ය තීන්දු නොගැනීම හේතුවෙන් බරපතළ තත්ත්වයට පත්ව තිබෙන ආර්ථික පීඩාව තව කාලයක් දරාගෙන සිටීමට ජනතාවට සිදුවනු ඇති බවට ද ඒ මහතා අනතුරු අඟවයි. ඒ පිළිබඳව නිසි පරිදි ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමය

ආර්ථික පීඩනය දැනිය යුත්තේ මහජනතාවට පමණක් නොවන බව මෙහි දී පැහැදිලිව කිව යුතුය. රටේ ජනතාව කෑම බීම හිඟවී පෝලිම්වල රස්තියාදු වෙද්දී මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමත් ජනතාවට නැති විශේෂ වරප්‍රසාද රිසිසේ භුක්ති විඳීමත් ජනතාවගේ දැඩි කෝපයට හේතු වී තිබේ. වාහන 18ක් තනිව භාවිත කරන ඇමැතිවරයකු ගැන ද පසුගියදා මාධ්‍ය හරහා අනාවරණය විය. කෙසේ වුව ද මේ වන විට භාණ්ඩාගාරය මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඉල්ලා අස් වූ සියලු අමාත්‍යවරුන් පරිහරණය කළ වාහන, නිවාස, ගෘහ උපකරණ සහ කාර්යාල උපකරණ වහාම පවරා ගන්නා ලෙසය. එය  එලෙසම ඉටුවිය යුතුය.

ආර්ථිකය තවදුරටත් කඩා  වැටුණොත් වීදි බැස සටන් කරන විරෝධතාකරුවෝද බලලෝභීව කටයුතු කරමින් කෙසේ හෝ බලයේ රැඳී සිටීමට උත්සාහ කරන සහ බලය ඩැහැ ගැනීමට කටයුතු කරන සියලු දේශපාලනඥයෝද රටේ සාමාන්‍ය  ජනතාව ද පරාජය වනු ඇත. එය වළක්වා ගනිමින් රටේම යහපත සඳහා නව මහ බැංකු අධිපතිවරයාට සියලු දෙනාගේ සහාය ලැබිය යුතුය.

(***)



අදහස් (0)

නව මහ බැංකු අධිපතිට කාගේත් සහාය අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 63 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 337 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 107 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 294 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 908 5

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 201 1

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site