උපදෙස් - වැලිසර ළය රෝහලේ උරස් කුහර පිළිබඳ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ

අලුත්ම දත්ත වාර්තා අනුව කාන්තාවන් අතර පෙණහලු පිළිකා රෝගීන් හඳුනා ගැනීමේ වර්ධනයක් ඇතිබව පෙන්නුම් කරනවා. පිළිකා රෝගී කාන්තාවන් අතර සිදුවන මරණවල තෙවැනි ස්ථානය මේ වනවිට පෙණහලු පිළිකාවට ලැබී තිබෙන අතර  මෙම අකල් මරණ වළක්වාගත යුතුම යැයි අප විශ්වාස කරනවා. කාන්තාවන් පමණක් නොවෙයි පිළිකා රෝගීන් අතරද දෙවැනි තැනට මරණ සිදුවීමට පෙණහලු පිළිකා  හේතුවී තිබෙනවා. මේ සටහන පෙණහලු පිළිකාව පිළිබඳවයි.

 

පෙළහලු පිළිකාව මොනවගේද?  

පෙණහලු පිළිකා යනු පෙණහලු එකක හෝ දෙකෙහිම පාලනයකින් තොරව අසාමාන්‍ය සෛල වර්ධනය වීමයි. එය ලෝකයේ වඩාත් සුලභ පිළිකාවලින් එකක්.

අවදානම් අය කවුද?

අපේ රටේ පෙණහලු  පිළිකා වැඩිපුරම දකින්න ලැබෙන්නෙ පිරිමි පුද්ගලයින් අතරයි. ඔවුන් අතර දෙවැනියට තිබෙන පිළිකාවත් මෙයයි. පළමුවැන්න මුඛ හා හනුක පිළිකාවයි. කාන්තාවන්  අතරත් මේ වනවිට පියයුරු සහ ගැබ්ගෙල පිළිකාවට පසු වැඩිම  පිළිකාව පෙණහලු පිළිකාවබවට පත්වෙමින් තිබෙනවා.

වයස බලපානවද?

පෙණහලු පිළිකා රෝගීන් වැඩිපුරම දකින්න ලැබෙන්නෙ අවුරුදු 40 න් පසු  අවුරුදු 70 වනතෙක්  පුද්ගලයින් අතරයි. රෝගීන් අතර බහුතරයක් සිටින්නෙ අවුරුදු 50 - 70 අතර අයයි. වර්තමානයේ අවුරුදු  40 – 50 අතර පුද්ගලයින්  පෙණහලු පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනීමේ ප්‍රවණතාවකුත් දකින්න ලැබෙනවා. එය ඉතාම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.

සැක හිතෙන ලක්ෂණ

නොනවතින කැස්ස (සති දෙකට වඩා)

පපුවේ වේදනාව (නිරන්තර පපුවේ අපහසුතාව, සමහර විට උරහිසට හෝ අත දක්වා විහිදෙයි)

හුස්ම ගැනීමේ අපහසුතාව

කැස්සෙන් රුධිරය පිටවීම

පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුව හෝ දුර්වලතාව

හේතුවක් නොමැතිව බර අඩුවීම

නිතර නිතර ශ්වසන ආසාදන ඇතිවීම(බ්‍රොන්කයිටිස් හෝ නියුමෝනියාව)

කාටද පෙන්වන්න ඕනෑ?

ඉහත රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා නම්  ඔබේ පවුලේ වෛද්‍යවරයාට පෙන්වා මූලික ප්‍රතිකාර ගන්න.  එහෙත්  එයින් සුවයක් නොලැබුණේ නම්  ඉක්මනින්ම ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනෑ. ලංකාවේ හැම පළාතකම ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. 

හඳුනාගන්නෙ කොහොමද?

පෙණහැල්ලේ  තිබෙන ගැටලුවක් හඳුනාගන්න මූලිකවම යොදාගන්නෙ එක්ස් කිරණ පරීක්ෂාවයි. එය ඉතා ඉක්මනින් කළ හැකි පරෙස්සම් සහගත පරීක්ෂාවක්. ලංකාවේ ඕනෑම රෝහලකින් කරගත හැකි පරීක්ෂණයක්. සමහර අවසථාවලදී සීටී ස්කෑන් පරීක්ෂාවට ඉක්මනින්ම රෝගියා යොමු කරනවා. ඊට හේතුව පපුවේ  සීටී ස්කෑන්  පරීක්ෂණයක් කිරීම මගින්  පෙණහලු පිළිකාව පූර්ව අවස්ථාවේදීම ඉතා පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.  ඒවගේම සමහර අවස්ථාවලදි කැමරාවක් යැවීම මගිනුත් පෙණහලු පිළිකාව හඳුනාගන්න පුවවන්

සුව කරන්න අපහසුද?  

හඳුනා ගැනීම කල් ගියොත් සුව කිරිම අපහසු යි. පිළිකාව පළමු හෝ දෙවැනි අදියරේ තිබෙන  විට  හඳුනා ගතහොත් ශල්‍යකර්ම මගින් ඉවත් කර සුව කරන්න පුළුවන්.  සාමාන්‍ය පුද්ගලයෙක් වගේම ආයුෂ විඳින්නත් පුළුවන්.  තුන්වැනි සහ හතරවැනි අදියරේදී හඳුනාගතහොත් සුව කිරීම ඉතාම අපහසුයි. නමුත් එයටත් ශල්‍ය  සහ  විකිරණ ප්‍රතිකාර සිදු කරනවා. 

වළක්වාගන්න පුළුවන්ද?

පෙණහලු  පිළිකාවට ප්‍රධානම හේතුව දුම්පානයයි. දුම්පානය වැළැක්වීමට  අපේ රටේ ඕනෑ තරම් නීති තිබෙනවා. නමුත් දුම්පානය කරන පුද්ගලයින් තවමත් සිටිනවා. දුම්පානය කරන පද්ගලයා  පමණක් නොවෙයි අවට සිටින පුද්ගලයින්ද අවදානමට ලක්වෙනවා. විශේෂයෙන් නිවෙසක දුම්පානය කරන පුද්ගලයෙක් සිටින විට නිවෙසේ සිටින අනෙක් සියලුදෙනාම අක්‍රිය දුම්පානය නිසා පීඩාවට පත්වෙනවා.   මේ නිසා ඔවුන්ද පෙණහලු පිළිකා අවදානමට ලක්වෙනවා. මේ නිසා දුම්පානය තමන් පමණක් නොවෙයි පවුලේ  අනෙක් පුදගලයින්ද පෙණහලු පිළිකා අවදානමට ලක් කරනබව සිහි තබාගන්න.

ඊ සිගරට් ද පෙණහලුවලට සුදුසු නැහැ. ඒ පිළිබඳව සිදු කරන ලද සමීක්ෂණවලින් පවසන්නේ ඊ සිගරට්වලින් පිට කරන වාතය පවා පෙණහලු පිළිකා අවදානම වැඩි කරනබවයි.

තවත් සමහර පුද්ගලයින්ට රැකියා ආශ්‍රිතව විෂ දුම් වර්ග ආඝ්‍රාහණය වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයින්  ආරක්ෂිත ක්‍රම භාවිත කිරීම අත්‍යවශ්‍යයි.

පරිසර දූෂක කාරකවලත් පෙණහලු පිළිකාවට සෘජු බලපෑමක් තිබෙනවා.  පරිසරය සුරැකීම තනි පුද්ගලයෙකුට තනිවම කළහැකි දෙයක් නොවෙයි. එය සමාජයක් විදියට කළ යුතු යි. එහෙත් තනි තනිව හෝ පරිසර සුරැකීමට ඔබට කළහැකි දෑ කිරීමට පසුබට වෙන්න එපා.

පෙණහලුවලට සුදුසු එකම වාතය පිරිසුදු වාතය පමණයි. 

සැකයක් ඇත්නම්

වයස අවුරුදු  55 – 80අතර වයස් කාණ්ඩයේ  අයට පෙණහලු පිළිකා අවදානම වැඩි බැවින් දියුණු රටවල එම වයස් කාණ්ඩයේ පුද්ගලයින්ට ලොඩෝ CT ස්කෑන් පරීක්ෂාව සිදු කරනවා. මෙය අපේ රටේත්  රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත් සිදු කරනවා. මේ නිසා එම වයස් කාණ්ඩයේ  ඕනෑම කෙනෙකුට සැකයක් ඇත්නම්  ලොඩෝ CT ස්කෑන් පරීක්ෂාවට යොමු වී පෙණහලු පිළිකා අවදානමක් අත්දැයි පරීක්ෂා කරගන්න පුළුවන්. 

පවුලේ ඉතිහාසය බලපානවද?

පවුලේ  අයෙකුට පෙණහලු පිළිකාවක් සෑදී ඇත්නම් අන් අයටත්  එහි යම් අවදානමක් තිබෙනවා.  එබැවින් සුදුසුම දේ කල්  නොයවා  පෙණහලු පිළිකාවක් ඇත්දැයි පූර්ව පරීක්ෂණ සිදු කර ගැනීමයි. එහෙත්  පෙණහලු පිළිකාවට එකම හේතුව ජාන බලපෑම නොවනබවත් මතක තබාගන්න.

වැලිසර ළය රෝහල

ශ්වසන රෝග සඳහා ලංකාවේ තිබෙන එකම ජාතික රෝහල වැලිසර පිහිටි ළය රෝහලයි. මෙහි උරස් කුහර පිළිබඳ  විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සිව්දෙනෙක් සේවය කරන අතර ඔවුන්ගේ මූලිකත්වයෙන්  මෙහි වසරකට ශල්‍යකර්ම තුන්දහසකට වැඩි ප්‍රමාණයක් සිදු කරනවා. මෙම ශල්‍යකර්මවලින් 90෴ක් පමණම පෙණහලු පිළිකා  සම්බන්ධ ශල්‍යකර්මවීම අවාසනාවක්.

උදේශිකා නෙලුම්දෙනිය