IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?

පරිවර්තනය  - කෝවිද ගුණසේකර

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි

මෙම ලිපියේ ‘‘හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිත කර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය‘‘ යනුවෙන් නිවැරදි විය යුතුය. මේ සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ඇතුළත්වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ පිළිබඳව මහින්ද අමරවීර ඇමැතිවරයාට අපෙග් කනගාටුව පළ කරමු.

පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්ඡා කැරිණ.

එම කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට එම සාකච්ඡා අවසානයේ දී තීරණය විය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව වූයේ ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වුවත් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ගනුදෙනුවක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීම හමුවේ එම සාකච්ඡාව වෙනතක යොමුවිය.

එතැනින් නොනැවතුනු ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැගී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සිතාමතාම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි ද ඔහු කීවේ ය.

පසුගිය සතියේ මෙන් මෙම සතියේ ද කැබිනට් මණ්ඩලයේ පැවැතියේ නොසන්සුන්කාරී වාතාවරණයකි. අගමැතිවරයාගේ අදහස වූයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම සුදුසු බවය. පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ දී ඔහු ඒ සම්බන්ධයෙන් වූ ලියැවිල්ලක් ද ඉදිරිපත් කළේ ය. කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම අරභයා කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් “සුදුසු තීරණයක්“ බලාපොරොත්තු වන බව එහි සඳහන් විය.

එකඟතාවයක් ඇති කරගැනීමේ අරමුණින් අගමැති වික්‍රමසිංහ එක් අවස්ථාවක දී කියා සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තමන් යටතට ගත හැකි බවය. එහෙත් ජනපති සිරිසේන එය ප්‍රතික්ෂේප කළේ ය.

ලේකම් කාර්යාලයේ ධුර කාලය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් වූ අතර, ඒ දක්වා එම කාර්යාලයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සීමාසහිත වගකීමක් අගමැති ලේකම් කාර්යාලය ද සතුව පැවැතින. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවය කළවුන්ට වැටුප් ගෙවීම සිදුවූයේ එම පුද්ගලයින් මින් පෙර සේවය කරමින් සිටි දෙපාර්තමේන්තුවලින් වුව ද, අගමැති ලේකම් කාර්යාලය මැදිහත්ව අවදානම භාර ගැනීමේ දීමනාවක් ලෙස, එම පුද්ගලයින්ට හිමි වූ අමතර දීමනාවලින් හරි අඩක්ම ගෙවීමට කටයුතු සලස්වා තිබිණ.

එයට අමතරව කාර්යාලයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ද ගෙවීම් සිදුකළේ අගමැති ලේකම් කාර්යාලය මැදිහත්වය. එහෙත් මාස කිහිපයක සිට අගමැති ලේකම් කාර්යාලය සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අතර සබඳතා ක්‍රමයෙන් බිඳවැටෙමින් පැවැති තත්ත්වයක් හඳුනාගත හැකි විය. පරීක්ෂණයක් පවත්වන ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලය, පොලිස්පතිවරයාට යොමුකරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් අගමැති ලේකම් කාර්යාලයේ එක්තරා නිලධරයකු අනවශ්‍ය අතපෙවීමක් සිදුකිරීම එයට හේතුව බව පැවැසින.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය අගමැතිවරයා යටතට ගෙන ඒමට අකැමැත්ත ප්‍රකාශ කරමින් ජනපති සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ එසේ කළහොත් තවදුරටත් චෝදනාවලට මුහුණදීමට අගමැතිවරයාට සිදුවනු ඇති බවය. මහජන පැමිණිලි භාර ගැනීමට සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට හැකියාව ඇති ස්වාධීන රාජ්‍ය ආයතන කිහිපයක්ම පවතින හෙයින් මෙවැනි කාර්යාලයක් තවදුරටත් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහස විය. සිදුවීම් එකක්, දෙකක් තෝරාගැනීම හැරෙන්නට වෙනත් කිසිවක් දූෂණ මර්දන ලේකම් කාර්යාලය සිදුකර නොමැති බවට ද ජනපතිවරයා චෝදනා කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එකවර වසා දමනවාට වඩා ක්‍රමානුකූලව එහි කාර්යයන් සීමා කිරීම වඩා සුදුසු බව පැවසුවේ ය. එසේ කළහොත් චෝදනා නැගීමට හෝ විවේචනය කිරීමට හෝ කිසිවෙකුටත් අවස්ථාව නොලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද විදේශ අමාත්‍යවරයා සමග එකඟ විය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තමා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පිළිබඳ සොයා බැලූ බව ද, එම විමර්ශනවලට අදාළ චෝදනා ගොනුකර ඇත්තේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යැයි එහිදී සොයාගැනීමට හැකි වූ බව ද, කියා සිටියේ ය. සුනාමි සමයේ විදේශයකින් ලැබුණු විශේෂ රථයක් අවභාවිත කළේ යැයි ෆවුසිට ද, තමන් හෙබවූ අමාත්‍යංශයේ රැකියාවක් තම දියණියට ලබාදුන්නේ යැයි ජයරත්නට ද, චෝදනා නැගී තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සිරිසේන පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වීම නිසාවෙන්ම ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන බවය.

“දන්නැති කතා කියන්න එපා” ජනපති සිරිසේන හඬ නැගීය. ෆවුසි හා ජයරත්න යන දෙදෙනාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකර ඇත්තේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය බව ඔහු පැවසුවේ ය. මේ අවස්ථාව වන විට කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන්ගේ තීරණය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට විය. නියමිත පරිදි එය වාර්තාගත කැරිණ.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

“අපට ලැබුණු පැමිණිලි කාණ්ඩ වශයෙන් ගත්තහම රාජ්‍ය අමාත්‍ය ෆවුසි සහ හිටපු අමාත්‍ය ජයරත්න සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අපේ කිසිම සම්බන්ධයක් නැති බව මට පැහැදිලිවම කියන්න පුලුවන්. ඔය කියන කාලයේ අපිට මේ දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණෙත් නැහැ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එක්ක සම්බන්ධතා තිබුණෙත් නැහැ.“

කාර්යාලය පවත්වාගැනීම සඳහා රජයෙන් යෙදවූ රුපියල් ලක්ෂ 650ක මුදලක් නිකරුණේ නාස්ති කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එරෙහිව නැගූ චෝදනාවට ද ඔහු පිළිතුරු දුන්නේ ය.

“අගමැතිවරයාගේ ඉල්ලීමකට, කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අපට වෙන්වූයේ රුපියල් ලක්ෂ 75ක මුදලක් විතරයි. නමුත් එක මාසයකට අපි රුපියල් ලක්ෂ 12කට වඩා වැය කළේ නැහැ.“

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම කාර්යාලය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් භාවිතා කෙරී ඇත්තේ කෙසේදැයි විස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩලය දැන් සූදානම් වෙමින් සිටින අතර, එහි කටයුතු පිළිබද දැනුම්වත් ආරංචිමාර්ගයක් සඳහන් කළ ආකාරයට, කාර්යාලය මෙසේ වසා දමා තිබෙන්නේ වත්මන් රජයේ සිටින බලවත් හා කතාවට දක්ෂ දේශපාලනඥයකු (පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙක් ද වන) සිදුකර තිබෙන සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදීය.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.
“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය, දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණු එකක් නොවෙයි. දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ලියැකියැවිලි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබාදීම විතරයි එහි කාර්යභාරය වූයේ. වංචාවට එරෙහිව පියවර ගැනීමේ බලය හිමි ආයතන 14ක්ම තියෙනවා.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය තියෙනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම ජනපති විශේෂ කාර්ය බලකායක් ඇතුලු තවත් ආයතන කිහිපයක්ම ඒ වෙනුවෙන් තියෙනවා. විගණකාධිපතිවරයා, අපරාධ බුද්ධි විමර්ශන බියුරෝව, මුල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය, අන්තරායකර ඖෂධ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි ඒකකය, කොළඹ අපරාධ ඒකකය, කෝප් කමිටුව යන ආයතනත් දූෂණ මර්දනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි තවත් දූෂණ මර්දන ඒකකයක් පවත්වාගැනීමේ තේරුමක් නැහැ කියා තීරණය කර තිබෙන්නේ.“
සේනාරත්නගේ තර්කය, රජයේ ස්ථාවරය වන නිසාම, එසේ නම් මෙවැනි ආයතන ගණනාවක් තිබිය දී, දූෂණ මර්දන ලේකම් කාර්යාලයක් පිහිටැවූයේ ඇයි ද යන පැනය නැගීමට මග පාදයි. මෙවැනි කාර්යාලයක් ඇති කිරීමට වුවමනා වූයේ අද එවැන්නක් අවශ්‍ය නොමැත යැයි කියන කලුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. පැමිණිලි ගොනු කිරීමට වුවමනාව තිබූ පාර්ශ්වයන්ට ඉහත සඳහන් කළ ආයතන ඕනෑම එකක් වෙත යෑමේ පහසුව තිබුණ ද, මෙවැනි ලේකම් කාර්යාලයක් ඇති කෙරුණේ, රජය බලයට පත්වූ දිනයේ සිට නැවත නැවතත් සඳහන් කළ පරිදි වංචා හා දූෂණ මර්දනය කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදීමට අවැසි වූ බැවින්ය. ඒ නිසාම, දැන් එවැනි කාර්යාලයක් අවශ්‍ය නැතැයි ස්ථාවරය වෙනස් කරගැනීමට රජය කටයුතු කර තිබීම හමුවේ පිළිතුරුවලට වඩා මතුවන්නේ පැනයන්ය.
“සුළු සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන්න පොලිසිය තියෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට සිදුවෙලා තිබුණේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න. ලේකම් කාර්යාලයේ කටයුතුවලට වසරකට රුපියල් ලක්ෂ 122.6 බැගින් වෙන් කෙරුණා. 2015 දී රුපියල් ලක්ෂ 260කුත්, 2017 දී රුපියල් ලක්ෂ 260කුත් සහ මෙම වසරේ ජූනි දක්වා ගෙවුණු මාස හයේ දී රුපියල් ලක්ෂ 120කුත් බැගින්, රුපියල් ලක්ෂ 650ක මුදලක් මෙම කාර්යාලය වියදම් කර තිබෙනවා” යැයි සේනාරත්න වැඩිදුරටත් කිීවේ ය.

2015 වසරේ ජනවාරි මස 21 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ කැබිනට් පත්‍රිකාවෙන්, මෙවන් කාර්යාලයක් ඇතිකිරීමේ වැදගත්කම සඳහන් කර තිබේ. එහි කාර්යභාරය ලෙස “බරපතළ වංචා, මුල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම“ දක්වා තිබෙන අතර, මේ හමුවේ රජයේ කැබිනට් ප්‍රකාශක සේනාරත්නගේ, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණක් නොවේ යන ප්‍රකාශය අතිශයින් නොමග යවනසුළුය. පදනමක් නොමැති මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ රජයේ කටයුතු කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය තව තවත් වියැකී යාම පමණකි.

වික්‍රමසිංහගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමින්ම, තවත් තීරණ රැසක්ම ගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළේය. එලෙස ගැණුනු තීරණයක් මෙවැනිය.

“මුදල් විශුද්ධිකරණය සහ වෙනත් නීති විරෝධී ආකාරවලින් සිදුවන මුදල් ගනුදෙනු හා බැඳී තිබෙන දූෂණවලට, කිසියම් ප්‍රදේශයක භෞමික සීමාවට පමණක් සීමා නොවී, ලොව සියලුම ආර්ථිකයන්ට බලපෑම් එල්ල කිරීමේ සමත් සංක්‍රාන්තිමය හැකියාවක් තිබෙන හෙයින් ද, එවැනි දූෂණ මර්දනය කිරීම සඳහා අන්තර්ජාතිකමය වශයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීමේ කාලීන අවශ්‍යතාවයක් මතුව තිබෙන හෙයින් ද, මුල්‍ය අංශයේ නොයෙක් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හැකි වන පරිදි රජයේ නිලධාරීන්ගේ සහ නියාමන ආයතයන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා, ඉන්දියා තැන්පතු බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය වැනි අන්තර්ජාතික ආයතනයන්ගේ සහය ලබාගැනීම සඳහා අගමැතිවරයාට අවසරය හිමිවිය.“
දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ද එදින කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය.

මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන්නේ යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව හමුවේ එක්සත් ජාතික පක්ෂය අතිශය අපහසුතාවයට පත්විය. කැබිනට් මණ්ඩල හමුව පැවැති අඟහරුවාදා සන්ධ්‍යාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය.

කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනුම්වත් ආරංචිමාර්ගයක් අදහස් දක්වමින් කියා සිටියේ, වුවමනාවෙන්ම විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, මෙහිදී මතුකළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැයි එම ආරංචිමාර්ගය කීවේ ය. ඉදිරියට යාමට ඇති එකම මාර්ගය වංචා හා දූෂණ මර්දනය කරමින් ඉදිරියට යන මාර්ගය පමණක් බව ජනපතිවරයා අවධාරණය කර ඇත. මේ බව ජනපතිවරයා හා සමීප ආරංචිමාර්ගයක් ද සනාථ කළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ.

මෙවර පක්ෂ සංවත්සරය මහා පරිමානයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සංවිධානය කරමින් සිටින අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පක්ෂ සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ ජනපති සිරිසේනය.

ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යළිත් ආරම්භ කිරීමටය. එය මාර්ගයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්කකර ගත් බලවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම ඔහුගේ අරමුණය. අනතුරුව පක්ෂයේ සැළැස්ම වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය නියැළී සිටියේ මේ කටයුතුවල නම්, සිරිසේනගේ චෝදනාව හමුවේ, දෙපාර්ශවය අතර බෙදීම තවත් පුළුල්ව ඇත.
කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයක දී එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැළසුම්වලින් කොටසක් අනාවරණය විය. පක්ෂය මේ දක්වා ලබාගෙන ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජනතාව අතරට යෑම සම්බන්ධයෙන්, පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.

මෙම වසර අගභාගයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත්, ඔහු කීවේ ය. ඖෂධ මිල පහත දැමීම, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ දැමීම, ගම්මානවල පැහැදිලි වෙනසක් ඇතිකරමින් සිදුවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය.
පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැ

මැතිවරණ පැවැත්වෙන බව අගමැති වික්‍රමසිංහ පැවසුව ද, ඒකාබද්ධ විපක්ෂයේ මතය වන්නේ මෙම වසරේ දී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් රජයට නොමැති බවය. පළාත් පාලන ආයතන සඳහා පත්වන ජනතා නියෝජිත සංඛ්‍යාව 9000 සිට 4500 දක්වා අඩු කිරීමටත්, ඔවුන් තෝරාගැනීම කේවල සහ සමානුපාතික යන ක්‍රම ද්විත්වයම යටතේ සිදුකිරීමටත්, හැකිවන පරිදි පවත්නා නීති සංශෝධනය කිරීමට රජය සැළසුම් කර ඇත. කාන්තා නියෝජන අනුපාතය ඉහළ දැමෙන ක්‍රමවේදයක් ඇති කිරීමට ද නියමිතය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

“අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ. අපි අපේ පදනම පැහැදිලිව ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. මේ යෝජනාවලින් ඉදිරිපත් කර තිබෙන සංශෝධන ඒ පරිද්දෙන් ක්‍රියාත්මක කරන්න තවත් මාස දෙකක් තුනක් ගතවෙනවා. එතකොට පළාත් පාලන මැතිවරණය කොහොමත් ලබන අවුරුද්දට කල් යනවා. අපි මැතිවරණ කොමිසමේ නිලධාරීන් එක්ක කතා කළා. ඔවුන් පැහැදිලිව කියා සිටියා මේ වසර් දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව. මොකද ඒ මාසයේ පාසල්වල විභාග ඇතුලු වසරාවසන්න ක්‍රියාකාරකම් පැවැත්වෙන නිසා.“ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේ ය.

ආදායම් ඉහළ දැමීමේ අරමුණින් හඳුන්වාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙස අගමැති වික්‍රමසිංහ තම පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ ය. පාසල් වෑන් රථ හිමිකරුවන් සඳහා ද මෙවැනි ණය ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත අතර, ඒ යටතේ රුපියල් ලක්ෂ 40ක ණය මුදලක්, සියයට 3.5ක පොළී අනුපාතියක් යටතේ වසර පහක් ඇතුළත ගෙවීමට පහසුකම් සලසා දෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රට වර්තමානයේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය සහ රටට ලැබෙමින් තිබෙන ආයෝජනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ය. මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කැරුණු දේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව ද දැනුම්වත් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහාය. වික්‍රමසිංහ, මෙම වසරේ දී තම දේශපාලන දිවියේ 40 වැනි කඩඉම සමරයි. පසුගිය දා පැවැති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ඉන්දියා නලු නිළියන් සහ ගායක ගායිකාවන් ද මෙම සංදර්ශනයට සහභාගී කරගැනීමට සැලසුම් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවිය පිළිඹිඹු කැරෙන ඡායාරූප දැක්මක් මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද නැවත නැවතත් ප්‍රකාශ කර සිටිය ද, එම සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති කොමිසම පවත්වමින් සිටින විමර්ශනයෙන් අනාවරණය වෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය.

එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්ශන කටයුතු අවසන් කිරීම සඳහා කොමිසමේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. වහාම එම දීර්ඝ කිරීම ලබාදෙන ලෙසත්, එය රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය.
තනිව යන්නට කැමති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතී. මෙය පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දක්වමින් තමාට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ඉවත්ව රාජපක්ෂ සමග එක්වීමට තමන්ගේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.

“ඔබට අගමැති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට බැහැ කියන එක මත පමණක් පිහිටා අපට රජයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමත් නැතිනම් බරපතළ මට්ටමේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය.

විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක  කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නවතා දැමිය යුතුව තිබෙන බවයි. එය සාධාරණ නොවන බව ඔහුගේ මතය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය.

බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය. 2020 දක්වා රජය ගෙනයන බවට ජනපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය හා මෙය ගැළපෙන්නේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම කාලය මෙය බව පැවසුවේ ය.
සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ දී සිටින්නේ කුමන හෝ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දී බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී විසඳා ගත යුතුව තිබෙන්නේ ඔවුන් හා සාපේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය.

කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය. මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැරයා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ.

මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.

මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කරන ලෙසද ඔහු එම විමර්ශන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. තෝරාගත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මේ සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ අතර, ආරාධනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය.

නීතිපති දෙපාර්තමේන්තුවට යැවුණු ලිපිගොනු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනවලට අදාළව, එම දෙපාර්තමේන්තුව නගන චෝදනාව වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කැරෙන විමර්ශන තොරතුරු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවෙන් අවසන් තීරණයක් ලැබීමේ ප්‍රමාදයයි. එම විමර්ශන තොරතුරු ඇතුළත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් පිළියෙල කර ඇති අතර, පහත දැක්වෙන්නේ ඒ අතරින් වැදගත් යැයි සැලකිය හැකි විමර්ශන කිහිපයක තොරතුරුය.

පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 14
2015 ජනවාරි මස 10 වැනිදා අලුයම් සමයේ දී අරලියගහ මන්දිරයේ දී සිදුවුනේ යැයි කියන කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් වන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව -නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 ජනවාරි 27
අංකය සීආර් - 108 2015
පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4
වරාය අධිකාරියේ හිටපු සභාපති බන්දු වික්‍රමමුණිගේ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මැයි 5
අංකය සීආර් - 1 271 2015
පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 14
ජනපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන්ව තිබෙන රථවාහන සම්බන්ධයෙන් වන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 ජූනි 1
අංකය සීආර් - 1 1 16
පැමිණිලි කළ දිනය - 2015 මාර්තු 11
රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මාර්තු 11
අංකය සීආර් - 1 91 2015
පැමිණිලි කළ දිනය - 2015 ඔක්තෝබර් 13
ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු වරායේ තිබී සොයාගත්, අවි හා උණ්ඩ ගබඩා කර තිබූ එම්.වී. ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධයෙන් වන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 පෙබරවාරි 2
අංකය සීආර් - 1 08 2016
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිතාකර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 ජූලි 21
අංකය - සීආර් 1 ඒම්සී සීඑෆ්ටී 5 2016
පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සජිත් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය
පැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 සැප්තැම්බර් 13
අංකය සීආර් - 01 ඒම්ල් සීඑෆ්ටී 12 16

පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ නිලධරයෙක් සඳහන් කළ ආකාරයට පැමිණිලි ලිපිගොනු 80කට ආසන්න ප්‍රමාණයක් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. තවත් ලිපිගොනු විශාල ප්‍රමාණක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු වෙත ද යවා ඇත.

විමර්ශන වාර්තා යොමු කළ ද, තීරණයක් ලබාදීමට ප්‍රමාද වන්නේ එම විමර්ශන වාර්තා බොහෝම



අදහස් (3)

ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?

Deepal Nirosh Monday, 17 July 2017 08:42 AM

දූෂණ මර්ධනය කුමක් වුවත් මේ ලිපියෙන් තව දුරටත් පැහැදිලි වෙන සත්‍ය වැදගත් කාරණාව නම් ජනාධිපති ආණ්ඩු ක්‍රමය වෙනස් නොවන බවයි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මේ රජය 2020 තෙක් පවත්වා ගැනීමට යොදා ගන්නා මෙවලමක් පමණයි. 2020ට පෙර ව්‍යවස්ථා සංශෝධනත් නැහැ.

:       12       90

saman Monday, 17 July 2017 12:21 PM

මෙම ලිපිය කියවීමේදී හැඟී යන්නේ ජනපති සිරිසේන මහතා තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා සියලු ප්‍රයත්න දරන බවයි. ඒ සඳහා ඔහු සියලු පාර්ශව වලට පහර දෙමින් ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියා කරමින් සිටින බවයි. නමුත් ඔහුට අමතක වී ඇති කාරණය තව වසර 2 1/2 ක් තුල ඔවුගේ ධුර කාලය අවසන් වන බවත් ඊට පෙර තම බලතල යුතු ලෙස යොදාගතහොත් ඉන් පසුවට ඒවාට පිළිතුරු සැපයීමට සිදුවන බවත්ය. මන්දයත් බලය යනු සදාකාලික මෙවලමක් නොවන නිසාය.

:       13       449

sachith Wednesday, 19 July 2017 08:45 AM

අපිට කන්න දෙනවනම්, අපිට බොන්න දෙනවනම් අපිට... මොන කෙන්ගෙඩියද තව ඕනේ කියන්නේ. ඔන්න ඕක තමයි යථාර්තේ. දෙගොල්ලොම මිනිස්සුන්ව දෙපැත්ත බෙදලා මෙයාලා සාමයෙන් සමගියෙන් කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1110 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 849 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2267 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2136 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3671 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1589 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site