
ගුරුවරු සහ විදුහල්පතිවරු මේ දිනවල වැටුප් සංශෝධන උදෙසා වෘත්තීය අරගලයක නිරත වී සිටිති. මීට පදනම් වූ කරුණු සහ ගැටළුවේ යථා ස්වරූපය විස්තර කිරීම මෙම ලිපියේ අරමුණයි.
ශ්‍රී ලංකා ගුරු සේවය 1994 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ගුරු සේවය ආරම්භ කිරීමේ ප්‍රධානතම පරමාර්ථය වූයේ කුසලතා වර්ධනය කරගත් වෘත්තීයමය සේවයක් ස්ථාපිත කිරීමය. ගුරුවරුන් ගුරු සේවයෙන් ඉවත්ව යාම වැළැක්වීම සඳහා ඔවුනට ද දීප ව්‍යාප්ත සේවාවක් වූ අධ්‍යාපන පරිපාලන සේවයේ වැටුප් තල නිර්දේශ කරන ලදී. එසේම ගුරු සේවයේ බඳවා ගැනීමේ ශ්‍රේණියේ සිට ඉහළම ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා ගුරුවරුන් විසින් සම්පූර්ණ කළ යුතු සේවාස්ථ පුහුණු හා ප්‍රගුණ කළ යුතු වෘත්තීමය අවශ්‍යතා පිළිබඳව ඉතා සුවිශේෂී ලෙස සේවා ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.
මෙම වෘත්තීය කුසලතා ලබා ගැනීමත්, ඒ ඒ ශ්‍රේණියේ සේවය කළ යුතු වර්ෂ ප්‍රමාණය සම්පූර්ණ කිරීමත් මත උසස්වීම් යෝජනා කර තිබිණි.
නමුත් සිදුවූයේ වෙනත් දෙයකි. අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ට මෙම නිපුණතා ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම පූර්ණ ලෙස සකස් කිරීමට අසමත් විය. ඇත්ත වශයෙන්ම එවකට ලක්ෂ එකහමාරක් පමණ වූ ගුරුවරුන් සියළු දෙනාටම සේවාස්ථ සැසි, ඒ සඳහා අවශ්‍ය මොඩියුල සකස් කිරීම සිදු නොවීය. අඩුම තරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ශක්තිමත් සංවිධානයක් හෝ මේ සඳහා ඇතිකර නොතිබිණි.
ගුරුවරුන්ගේ පක්ෂයෙන් ද සිය නව වැටුප් ක්‍රමය ලබාගත් පසු ඊළඟ ශ්‍රේණියට උසස්වීම සඳහා අවශ්‍ය වෘත්තීමය කරුණු සම්පූර්ණ කිරීමට උනන්දුවක් නොවීය.
එක් ශ්‍රේණියක නියමිත සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරුන්ට ඊළඟ ශ්‍රේණියට උසස්වීම් ඉල්ලා උද්ඝෝෂණ සිදුකරන්නට විය. බලධාරීන් සිදුකළේ එම නිපුණතා ලබා දීමට කටයුතු නොකර ගුරු ව්‍යවස්ථාවේ වගන්ති සංශෝධනය කොට වෘත්තීය සුදුසුකම් නොසලකා සේවා කාලය මත පමණක් පදනම් කරගෙන ඊළඟ උසස්වීම හා වැටුප් තලය ලබා දීමයි. මේ නිසා සිදුවූයේ ගුරු සේවා ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ වෘත්තීය නිපුණතා ලබා නොගෙන වැටුප පමණක් ලබා ගැනීමය.
මීට අමතරව තවත් සිදු නොවිය යුතු කරුණු සිදුවිය. වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ නොකර වැටුප පමණක් ලබා ගැනීමට දේශපාලනඥයන් අධ්‍යාපන ඇමැතිවරුන් හා ඊළඟ මැතිවරණයේ ජය අපේක්ෂා කරන්නන්ට ගුරු වෘත්තිය සමිති සමග එක්වීමයි.
මීළඟට වැටුප පිළිබඳ සළකා බලමු. වෘත්තීමය සේවාවක් ඇතිකිරීම සඳහා ලබා දුන් එවකට ඉතාම ඉහළ වැටුපක් වූ ගුරු සේවයේ වැටුප නිසා සමස්ථ රාජ්‍ය සේවයම ඒ පිළිබඳව උනන්දු විය. පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, ඉංජිනේරු සේවය වැනි දීප ව්‍යාප්ත වෘත්තීමය සේවාවන් හා සමාන වැටුපක් ලබාගත් ගුරුවරුන් සිය වෘත්තීය කුසලතා වර්ධනය කර නොගෙන වැටුප පමණක් ලබා ගැනීම රාජ්‍ය සේවය තුළ සාකච්ඡාවට බඳුන් විය.
ඒ අනුව 1997 වර්ෂයේදී සිය වාර්තාවේ නිකුත් කළ බී.සී. පෙරේරා වැටුප් කොමිෂන් සභාව ගුරු වැටුපට ද කිසිදු සංශෝධනයක් එකතු කළේ නැත. ඊට හේතුව වූයේ ඒ වන විටත් ගුරුවරුන් ඉහළ වැටුපක් ලබමින් සිටීමයි. එසේම ගුරු සේවය ස්ථාපිත කිරීමේදී සමස්ථ වැටුප් ව්‍යූහය නොසලකා හැර සමස්ථ රාජ්‍ය සේවයටම බලපෑම් ඇතිවන සේ වැඩි වැටුප් තලයක පිහිටුවීමයි. ගුරුවරු වැටුප් විෂමතාවය පිළිබඳ අරගලය ආරම්භ කරන්නේ මෙතැන් සිටයි. තම වැටුප ද 1997 වැටුප් සංශෝධනය අනුව සංශෝධනය විය යුතු බවට ඔවුහු තර්ක කළහ. තර්කය සාධාරණ වුව ද එය සමස්ත වැටුප් ව්‍යූහය හා සළකා බැලීමේදී ප්‍රායෝගික නොවන නිසා මේ පිළිබඳව විසඳුම් ලබාදීමක් ද සිදු නොවීය. 1994 ගුරු සේවයේ වැටුප නිර්ණය කිරීමේදී සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය නොසලකා කටයුතු කිරීම මෙම ගැටළුවට ප්‍රධාන හේතුවයි.

එක් වකවානුවකදී රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප මෙන් දසගුණයක වැටුපක් අග්‍රවිනිශ්චයකාරවරයාට හිමිවිය. 2006 වර්ෂයේ සිට සිදුකරන ලද වැටුප් සංශෝධනයේදී රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප මෙන් හතරයි දශම පස් ගුණයක වැටුපක් අමාත්‍යාංශ ලේකම්වරුන්ට හිමි විය. අප සළකා බැලිය යුත්තේ මෙම පහළම ශ්‍රේණියත් ඉහළම ශ්‍රේණියත් අතර ගුරු වෘත්තිකයාට හිමි වැටුප් ස්ථානය කුමක් ද යන්නය. එය අනිවාර්යෙන්ම දීප ව්‍යාප්ත සේවාවල වැටුපට වඩා අඩු වැටුපක් විය යුතුය. එසේ නොමැති නම් අනෙකුත් වෘත්තීමය සේවාවන්වලට වැටුප් විෂමතා ඇතිවිය හැකිය. රජය අද මුහුණ දී ඇති ප්‍රධාන ගැටළුව වන්නේ ගුරු සේවයේ වැටුප සමස්ථ වැටුප් ව්‍යුහයට බලපෑමක් ඇති නොවන සේ සංශෝධනය කළ යුත්තේ කෙසේද යන්නය.
රාජ්‍ය සේවයේ වැටුප තීරණය කරන ප්‍රධාන සාධක කිහිපයකි. අධ්‍යාපන සුදුසුකම්, බඳවා ගැනීමේ ක්‍රමවේදය (තරඟ විභාගයක් ද නැද්ද යන වග) වෘත්තීයමය සුදුසුකම් මේ අතර ප්‍රධාන තැනක් ගනී. රාජ්‍ය සේවයේ එකිනෙකට වෙනස් රැකියා සිය ගණනක් පවතින නිසා ඒ අනුව වැටුප් ඝණ විශාල සංඛ්‍යාවක් තිබිණි. මේ තුළ වැටුප් විෂමතා තුලනය කිරීම සඳහා වැඩි පරාසයක් සැලසී තිබිණි. නමුත් 2006 වර්ෂයේ රජයේ වැටුප් සංශෝධනය සඳහා පත්කරන ලද කොමිෂන් සභාව මෙම සිය ගණනක් වූ වැටුප් තල අඩු ඛාණ්ඩ ගණනකට ඇතුළත් කරන ලදී. උදාහරණ ලෙස පොලිස් පරීක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් එකම ඛාණ්ඩයකට ඇතුළත් කර ඇත. මේ අනුව විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීම් පොලිස් පරීක්ෂකවරුන්ටත්, පොලිස් පරීක්ෂකවරුන්ගේ වැටුප් සංශෝධන විදුහල්පතිවරුන්ටත් බලපෑම් කරයි. ඒ නිසා වැටුප් ඛාණ්ඩ සංශෝධනය කිරීම ද වැටුප් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට බාධාවකි.
අද ගුරු සේවයේ වැටුප් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඉහත දැක්වූ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. රටේ සමස්ත වැටුප් ව්‍යූහයක් සේවාවන් අතර වැටුප් අනුපාතයත් නොසළකා ගුරු වැටුප් පමණක් වැඩි කළ නොහැක.
වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගුරු සේවය ‘සංවෘත්ත සේවාවක්’ කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටිති. ඇත්ත වශයෙන් ගුරු සේවය දැනටමත් සංවෘත්ත සේවාවකි. ඔවුන් සිය දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථානමාරු කරන්නේ හෝ වෙනත් දෙපාර්තමේන්තුවල සේවකයන් ගුරු සේවයට ඇතුළත් කරන්නේ හෝ නැත. වෘත්තීය සමිති විශ්වාස කරන්නේ ‘සංවෘත්ත සේවාවක්’ බිහිවීම තුළින් තමන්ට අවශ්‍ය පරිදි වැටුප් වැඩිකර ගත හැකි බවයි. එය මිථ්‍යා විශ්වාසයකි.
රටක වැටුප් ව්‍යුහගත රාමුවෙන් පිටතට ගොස් කිසිම සේවාවක වැටුප් වැඩිකළ නොහැක.
රජය විසින් වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවා ඇත්තේ රජයේ සේවයේ වැටුප් සමාලෝචනය කොට කාලීන ගැටළුවලට පවත්නා ව්‍යූහය තුළ විසඳුම් ලබා දීමටයි. සමහර අවස්ථාවල වැටුප් කොමිෂමේ නිර්දේශ නොසලකා පසුගිය රජයත් කටයුතු කර ඇති නිසා වැටුප් ව්‍යුහය තුළ විෂමතා ඇතිවී ඇත. කෙසේ වෙතත් ගුරු සේවයේ වැටුප් විෂමතාවය සඳහා පිළිතුරු ලබාගත යුත්තේ වැටුප් කොමිෂම ප්‍රධාන කරගෙන පමණි.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවත්, ගුරු වෘත්තිකයනුත් සිය වගකීම් 1994 වර්ෂයේ සිට නිසි පරිදි ඉටුකර නොමැති නිසා මෙම තත්ත්වය උදා වී ඇත. ගුරු වැටුප් වැඩි කරන්නේ නම් අනිවාර්යෙන්ම සමස්ත රාජ්‍ය සේවයේම වැටුප සංශෝධනය කළ යුතුය. ඒ නිසා මෙම ගැටළුවට අතරමැදි විසඳුමක් සොයා ගැනීම රජයේ හා වෘත්තීය සමිතිවල වගකීමකි.
ගුරු සේවයට එක් අසාධාරණයක් සිදු වී ඇත. ඒ 1997 වැටුප් සංශෝධනයේදී ඔවුන් නොසලකා හැරීමයි. මෙයට හොඳම විසඳුම වන්නේ 1994 වර්ෂයේ ගුරු සේවයට නව වැටුපක් ලබා දීම සංකල්පමය වශයෙන් නොසලකා හැර (1994 දී වැටුප් වැඩි වූ බව නොසළකා) 1997 දී සමස්ථ රාජ්‍ය සේවයටම කරන ලද වැටුප් සංශෝධනයට ගුරුවරුන්ද ඇතුළත් කොට ඊට අනුරූපව ගුරු වැටුප් සංශෝධනය කිරීමයි. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවයට අනුරූපිතව ගුරු වැටුප ද සංශෝධනය කරගත හැකි වේ. එසේ නොමැතිව දැඩි නොසැළකිලිමත් බවකින් 1994 වර්ෂයේ ලබා දුන් වැටුප් තල අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් ප්රශ්නය තවත් උග්‍ර වේ. ගුරු සේවයේ අපේක්ෂිත ‘වෘත්තීය සේවාවක්’ පිහිටුවීමේ අරමුණ ඉටු නොවීම නිසා 1994 වැටුපට අනුරූපව වැටුප් සංශෝධන ඉල්ලීම සාධාරණ නොවේ.
රජයේ පාර්ශ්වය ද ගුරු සේවයේ නිලධාරීන් ද සිය වගකීම් නොසලකා හැර ඇති නිසා වඩාත්ම යෝග්‍ය වන්නේ අතරමැදි විසඳුමකට එකඟ වීමයි. එසේ නොමැති නම් 1994 ගුරු සේවා ව්‍යවස්ථාවේ කොන්දේසි ප්‍රකාරව වෘත්තීය අවශ්‍යතා සම්පූර්ණ කර ඇති අයට පමණක් 1994 වැටුපට අනුරූපී වන සේ වෘත්තීය දීමනාවක් ගෙවීමයි.
ලියුම්කරු අදහස් කරන විසඳුම වන්නේ 1994 දී ගුරු සේවයේ වැටුප වැඩිකළ බව නොසලකා 1997 සමස්ථ රාජ්‍ය සේවය ලබාදුන් වැටුප ගුරුවරුන්ට ද ලබාදී මුල් ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් වෘත්තීය නිපුණතා සම්පූර්ණ කළ අයට පමණක් ‘වෘත්තිය දීමනාවක්’ ගෙවීමයි. එවිට සමස්ථ ගුරු සේවයම ගුරු වෘත්තිකයන් බවට පත්වීමට අවශ්‍ය දැනුම හා නිපුණතා වර්ධනය කර ගනු ඇත.
නිමල් බණ්ඩාර
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1997 න් පසුව පැවති සෑම රජයක්ම ගුරු වැටුප් විෂමතා ගැටලුවට විසදුමක් ලබා දී නොමැත. මේ අවස්ථාවේ අනිවාර්යෙන්ම මෙයට විසදුමක් ලැබිය යුතුය. ඒසේ විසදුමක් නොලැබීමෙන් සිදු වන්නේ ඉදිරියටත් වර්ජන ඇති වී දරැවන්ගේ අධ්‍යාපනය බිද වැටීමයි. රජයටත් ගුරුවරුන්ටත් පිලිගත හැකි මට්ටමේ විසදුමක් ඉතා ඉක්මනින් අවශ්‍යයි.
මුලු රටේම ඒ වගේම මුලු ලෝකයේම බෝවන රෝගයක් පැතිර යන වෙලාවක, රටට ලැබෙන ආදායම් මාර්ග අඩුවෙලා තියෙන වෙලාවක.., මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණය කරන එකම රට ශ්‍රී ලංකාව
1997 සිට ගුරු වැටුප් විෂමතාව වෙනුවෙන් අරගල ගණනාවක් කර ඇත. එහෙත්, ළමයින් අසරණ වීම, දේශපාලන හිතවත් කම් වැනි හේතුන් නිසා ඒවා බිඳවැටිණි. මෙවර, මාර්ග ගත ක්‍රමය ක්‍රියාත්මක වීම පදනම් කොට සටන ඇවිලවීමට හැකිවූයේ සමාජයේ පවතින රාජ්‍ය විරෝධී තත්ත්වය ද නිසාය. ප්‍රමාණවත් තරමට සාකච්චා වලට භාජනය නොකොට ගහෙන් ගෙඩි එන්නාසේ ඉතා කඩි නමින් විවිධ අණ පනත් සම්මත කර ගැනීමට රජය දැරූ වෑයම සහ ඇතැම් දේශපාලකයන්ගේ නොමනා ප්‍රකාශ ගින්නට පිදුරු දැමීමක් විය. වෘත්තීය නිපුනතා ක්‍රමයක් විධිමත්ව බලධාරීන්ට ස්ථාපිත කිරීමට නොහැකිවීම කනගාටුවකි. ඒ ගැන කැපවීමට වඩා පුද්ගලිකව තමාගේ හෝ රජයේ හෝ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මාස කිහිපයක් වැනි ඉතා කෙටි කලකින් ලොකු තනතුරු වෙනස් වීම/කිරිම මෙවැනි දෑ වලට මහත් බාධාවකි. අධ්‍යාපනයේ පමණක් නොව සෑම ක්ෂේත්රයකම යම් පද්ධතියක් ගොඩ නැගෙන්නේ ද නැත. රජයේ වියදමින් ඉහල නිලධාරින් දේශීයව හෝ විදේශීයව හෝ ලබා ගන්න පරිචය හා දැනුම එම ක්ෂේත්රයට ලැබෙන්නේ නැත. එකට ප්‍රධාන හේතුව වන්නේ ටික දවසකින් ඔවුන් එතන නොමැති වීමයි. වෙනත් තැනකට මාරු වීම හෝ මාරු කිරීම හෝ ව්ශ්රාම යාමයි.
හරියට ප්‍රතිපත්තියක් සකස් නොකල දේශපාලකයන් හා පරිපාලනයට සම්බන්ධ අයට දොස් නොකියා ගුරුවරුන්ටත් එක්ක වරද පටවන්නේ තනිකරම කඩේ යාමක්
මම මුලින්ම ලිව්වා මේ ගැන, කොවිඩ් අවස්ථාවේ මෙම වර්ජනය කලොත් රටටම කොවිඩ් අනතුර වැඩි වීමක් වන නිසා නිහඩව සිට පසුව වර්ජනය කරන්න කියා
වෘත්තීය ගුරුවරුන් වීමට ගුරුවරුන් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බව සත්‍යයකි. වඩා හොඳ වැටුපක් ලබා ගැනීම සඳහා ඔවුන් අවශ්‍ය උපාධි සහ ඩිප්ලෝමා සම්පූර්ණ කළ යුතුය. කෙසේ වෙතත්, ලාංකීය අනුව බලන කල නම්, ගුරුවරුන්ගේ වැටුප මේ සමාජය තුළ ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බව පෙනේ. එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. ඔවුන් මේ රටේ උද්ධමනයට මුහුණ දෙන්නේ කෙසේද?
වෘත්තීය ගුරුවරුන් වීමට, ගුරුවරුන් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බව සත්‍යයකි. වඩා හොඳ වැටුපක් ලබා ගැනීම සඳහා ඔවුන් අදාළ උපාධි හා ඩිප්ලෝමා සම්පූර්ණ කළ යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, අනෙක් රැකියා හා සසඳන විට ගුරුවරුන්ගේ වැටුප ඉතා අඩු බව පෙනේ. එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි.
රට හැම අතින්ම අවදානම් තත්වයක තිබියදී ඔවුන් කරන අරගලය සාධාරණයක් නොමැත.
මෙම ලියුම්කරු ගුරුවරුන්ගේ වැටුප ගැන නොදන්නා බව පෙනී යයි.
චෙක් පත් වලින් වැටුප් ගෙවන දින වල මගේ ගුරු මිත්‍රයෙක් වැටුප් චෙක් පත බැංකුවේ තැන්පත් කිරීමට යාමේදී කවුන්ටරයේ සිට ඇත්තේ ලඟදි පත්වීම් ලද ගෝලයෙක් . ගුරුතුමාගේ වැටුප මෙතරම් අඩුද කියා ඔහුත් පුදුමයට පත්ව තිබේ.
ලියුම්කරුගේ ප්‍රකාශය අනුව ගුරුවරුන්ද මෙහි වැරදිකාර පාර්ශ්වයට යොමු කර ඇත. එය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි . මක්නිසාදයත් රජය විසින් (අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත) ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතා මට්ටම් ළඟා වූ පසු ඉහළ වැටුප් තල වලට යෑමට හැකි පරිදි ක්‍රමවේදයක් සකස් කළ යුතු විය. මා හිතන්නේ ඒ අනුව හිටපු අධ්‍යාපන ලේකම්වරයා වශයෙන් ලියුම්කරුද ලියුම්කරුද වගකිව යුතු කාරණයකි.
ගුරුවරුන්ගේ මෙම ගැටළුව රට තුළ ඉහළ බලපෑමක් ඇති කර තිබේ. ශිෂ්‍ය ලෝකය හැරුණු විට නිතිපතා ගමනාගමන බාධා කිරීම් සහ එමඟින් ආර්ථිකයට ඇති වන බලපෑම සහ සාමාන්‍ය ජනතාවට සිදුවන බාධා බරපතල ය. කිසිදු කණ්ඩායමක වැටුප් වැඩි කිරීමට නොහැකි තත්ත්වයක් දැන් රට තුළ පවතී.