IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලක්ෂයෙන් බැඳි පියලි හුවමාරු වෙන කතරගම බස්නායක නිලමේ නිලවරණය

 

මහ ඡන්දය අවසන් වී උණුසුම යෑමටත් පෙර නැවතත් ඡන්ද උණුසුමක ගිනි පුපුරු කතරගම පුදබිමෙන් දැල්වීමට නියමිතය. එනම් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 12 වැනි බස්නායක නිලමේවරයා තෝරා පත් කරගැනීමේ නිලවරණය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා විසින් ලබන 22 වැනි දින ලබාදීමත් සමගය.   


දේශපාලන බලධාරීන්, ධනකුවේරයන් ආදීහූ කතරගම පුදබිමේ බස්නායක නිලවරණය සඳහා මේ වනවිටත් ඡන්ද හිමි විහාරස්ථාන හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනා හමුවී ඡන්ද ලබාගැනීමේ අරමුණ ඇතිව මේ දිනවල සැරිසරමින් සිටිති.   


කතරගම දේවාලයේ බස්නායක නිලවරණය සඳහා ඡන්දදායකයන් ගණන 17කි. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය, ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, වැඩිසිටිකන්ද රාජමහා විහාරස්ථානය, සෙල්ල කතරගම මහසෙන් රාජමහා විහාරස්ථානය, කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා, බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ මොණරාගල දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනා මෙම ඡන්දදායකයෝ වෙති.   


අප රටේ පමණක් නොව දෙස් විදෙස් බැතිමතුන්ගේ පවා ගෞරවයට පාත්‍ර වූ ප්‍රධාන බස්නායක නිල දෙකකි. එනම් මහනුවර දියවඩන නිලමේ තනතුර සහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක යන නිලයයි. එලෙස ජනතාවගේ ප්‍රසාදයක් ඇති වීමට හේතුව වී ඇත්තේ උතුම් කතරගම දෙවියන් වෙනුවෙන් දිවයිනේ පිහිටි දුටුගැමුණු රජතුමා ඉදි කළ ලංකාවේ පැවැත්වෙන පැරැණිම පෙරහර මංගල්‍යයන් පවත්වමින් ඉර හඳ දක්වා පුද පූජා තැබීම සිදු කිරීම නිසාවෙනි.   


 බැතිමතුන් පැමිණිය ද නැති වුව ද දේශීය ගරු බුහුමන් දක්වමින් අඛණ්ඩව කතරගම දෙවියන්ගේ පූජා කටයුතු සිදු කරන ලොව පිහිටි එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය ද වීමයි.   

 

 


බස්නායක නිලමේ තනතුරේ ඉතිහාසය   


කතරගම දේවාලයේ ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් හා දේව රහස් රැගෙන පරම්පරාවෙන් පැවැත එන කපු පරපුර අතරින් ප්‍රධාන කපු මහතා සතු සුවිශේෂිත වූ කතරගම දේවාලයේ නොපෙනෙන චාරිත්‍ර රැසකි. ඇතැම් දේවල් දුටුගැමුණු රජතුමාගේ රජ අණ අනුව අදටත් සිදුවන්නේ කිසිවකුට දැනගත නොහැකිවය. ඒවා පිය පුතු පරම්පරාවෙන් කතිකාවත් ලෙස පවත්වාගෙන යන රහස් වේ.   


ජනතාවට දැනගත හැකි තොරතුරු පමණක් ලංකාදීපයට ලබාදීමට කැමැති වූ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා පැවැසුවේ කතරගම දේවාලයේ සිදු කරන සෑම දෙයක්ම දුටුගැමුණු මහ රජතුමාගේ රජ අණ අනුව සිදු කරන බවයි. මේ සම්බන්ධව දේව මාලිගයේ සන්නස් මගින් දැනුම්වත් කර ඇති බව ද ඔහු පවසයි.   


එළාර රජතුමා විසින් වසර 44ක් මේ රට පාලනය කළ අතර මෙරට සිංහල දේශයක් ලෙස නැවත එක්සේසත් කළේ ක්‍රිස්තු පූර්ව 161-137 වන සියවසේ මෙරට පාලනය කළ දුටුගැමුණු මහ රජතුමාය. එළාරගේ පාලනය අතුගා දමා සිරිලක එක්සත් කිරීමේ අරමුණ ඇතිව යුද්ධයට යෑමට පෙර කතරගම දෙවියන් හමුවේ සිදු වූ බාරය ඔප්පු කිරීම පිණිස වර්තමාන කතරගම දේවාලය ඉදිකර ඉර හඳ පවතිනා තුරු දේවාලයේ පූජා කටයුතු සිදු කිරීම පිණිස කපු පරපුරක් ද උසස් කුලයකින් පත්කරන ලදී.   


 දේවාලයේ ප්‍රධාන නිලය සඳහා දුටුගැමුණු මහ රජතුමාගේ මාමා කෙනකු ප්‍රධාන මහා බෙත්මේ ලෙස (වර්තමාන බස්නායක නිලය) පත්කර රජතුමාට අයත් ගොඩමඩ ඉඩකඩම් අක්කර 90,000ක් දේවාලයට ලබා දී දේවාලයේ පැවැත්ම පිණිස රාජකාරිකරුවන් 552 දෙනකු පත්කළ බවයි.   


මෙසේ පත් වූ බස්නායක නිලය පිය පුතු පරම්පරාවෙන් සහ සහෝදරයාගෙන් සහෝදරයාට හිමිවෙමින් පැවැති ආ අතර අප රට අල්ලාගත් විජාතිකයන් රුහුණු මහා කතරගම දේවාලයේ ඇති වස්තුව ඩැහැගැනීමට මාන බැලුවත් එසේ වෙන්නට ඉඩ නොදී මහා බෙත්මේ නිලමේ සහ කපු මහතුන් සිය පූජනීය වස්තු සුරැකීමෙන් ඒවා බේරා ගෙන තිබේ.   
අතීතයේ අවසන් වරට අප රට අල්ලාගත් ඉංග්‍ර්‍රීසින් හට විහාරස්ථාන, පල්ලි, දේවාල වහකදුරු විය. රටේ ජනයා ඕනෑම කටයුත්තක දී එකතු වූයේ විහාරස්ථාන හා දේවාලය වෙතයි. මහනායක හිමිවරුන්, කපු මහතුන්, බස්නායක නිලමේවරුන් රට ආක්‍රමණය කළ විජාතිකයින් එළවා දැමීමට පුරෝගාමී වූ හේතුන් මුල් කරගෙන සුදු අධිරාජ්‍යවාදීහු විහාරස්ථාන හා දේවාල තමන් නතුවට ගැනීමට මාන බලමින් සිටියෝය.   


මේ අනුව 1905 දී එවකට සිටි ආණ්ඩුකාර ශ්‍රීම් තොම්සන් විසින් දේවාල විහාරගම් පනත් ව්‍යස්ථාවක් සාදවාගෙන දේවාල පාලනය කිරීමට කටයුතු කළ බව සඳහන් වේ.    
1989.7.18 වැනි දින දී ධර්මදාස බණ්ඩා මහතා කතරගම ඇසළ මංගල්‍යයේ ගමන් ගන්නා විට දී ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් පෙරහරට බෝම්බ ගසා විශාල හානියක් කළ අතර මෙම බෝම්බයට ගොදුරු වී ජීවිත 13ක් අහිමි වී පුද්ගලයන් 105 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරන්නට විය.   


මෙම සිද්ධිය මුල් කරගෙන එවකට සිටි ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විශේෂ කැබිනට් අනුමැතියක් ගෙන දේවාල විහාරස්ථාන සඳහා බස්නායක නිලය සඳහා කිසිදු දේශපාලනඥයකුට ඉදිරිපත් වීමට නොහැකි ලෙස පනතක් සම්මත කරන ලදී. මේ සමඟ දේශපාලනඥයන්ට නිලමේ ලෙස ඉදිරිපත් වීමට නොහැකි වුවත් දේශපාලනඥයන්ගේ ඥාතීන් හිතවතුන් මෙම තනතුරට පත්කිරීම පිණිස ක්‍රියා කරන ලදී.   


මේ අනුව ධර්මදාස බණ්ඩා මහතාගෙන් පසුව 1990 දී ගුණපාල හේරත් මහතා ධර්මදාස බණ්ඩා මහතාගේ සහයෝගයෙන් පත්විය.   


රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලය සඳහා දැඩි තරගයක් ඇති කිරීමට පුරෝගාමී වූ නිලමේ වන්නේ ගුණපාල හේරත් මහතාය. දේවාලයේ වැඩි මාසවලින් ලබාගත් අසීමිත දානය උපයෝගී කරගනිමින් රථවාහන, තේ වතු වැනි දෑ මිල දී ගැනීම මුල් කරගෙන බස්නායක නිලමේවරයකු සතු වන දේපොළ ගැන සිතා මෙය දුටු පිරිස් මෙම නිලයට පොරකෑම එතැන් සිට සිදු වූ බව කතරගම ජනයා පවසති.   


ඉන් පසු බස්නායක නිලමේවරුන් ගණනාවක් පත්වුව ද ඩී.පී. කුමාරගේ මහතා පත් වූ පසු කතරගම දේවාලයේ කපු මහතකුගෙන් මහා දේවාලයේ උදෑසන පූජාව නවතා දුටුගැමුණු රජතුමාගේ කාලයේ පටන් ඇති දේවාලයේ දොරේ යතුර ලබා ගැනීම මුල් කරගෙන කුමාරගේ මහතා සමග කතරගම ජනයා සහ කපු මහතුන් අතර අර්බුදයක් සිදුවිය. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් වැඩම කර මෙම රණ්ඩුව බේරා ගැනීමට මැදිහත් නොවන්නට එදින මරණයක් පවා සිදුවෙන්නට ඉඩ තිබුණි.   


 බස්නායක නිලමේ සතු කතරගම කාර්යභාරය   


 රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයකු සතු කාර්යභාරයන් ලෙස දේවාලයට ලැබෙන පුඳ පඬුරු පෙට්ටිවල ආදායම් ගණන් කර රජයට පෙන්වීම, සේවකයන් පාලනය, අලි ඇතුන් නඩත්තු කිරීම, කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් සංවිධානය කිරීම, දේවාලයට අයත් ගොඩමඩ ඉඩකඩම්වල බදු මුදල් එකතු කිරීම සහ කපු මහතුන් වෙත මාස වෙන් කර ලබාදීම යනාදිය දැක්විය හැකිය.   


අලුතින් පත්වෙන බස්නායක නිලමේවරයා ද මහා දේවාලය වෙත කන් විද නව වැඳුම් වැඳ දිවුරා දේවාලයේ මාලිගාවට ගැනීම සිදුකරයි. ඒ සම්බන්ධව වැඩි දුර අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා එහි ආරම්භය පිළිබඳව මෙසේ පැවැසීය.   


“ඡන්ද ක්‍රමයකින් පැවැත එන ප්‍රථම බස්නායක නිලමේ වූ බී.ජී. කටුගහ මහතා දේවාලයට පැමිණි පසුව දේවාලයට එදා සිටි බාස් අප්පු කියන කපු මහතා ගෙවද්දවා බස්නායක නිලමේ දේවාලයේ ඇතුළු මාලිගාවට ගියාට පස්සේ නිලමේට අයිති කිසිම දෙයක් කරන්න රාජකාරියක් නැති බව තේරුම් ගත්තා. පසුව කටුගහ නිලමේවරයා යකඩ සේප්පුවක් ගෙනත් දුටුගැමුණු මහ රජතුමා ලබාදුන් පෞරාණික මාල 9ක් මෙම යකඩ සේප්පුවට දමලා යතුර අරගෙන ගියා. එදා සිට තමයි බස්නායක නිලමේ පෙරහරට ඔය මාල අරන් දෙන්න, දේවාලයේ මාලිගයට ඇතුළු වීම සිද්ධ වූයේ.”   


 සොමීපාල ටී. රත්නායක මහතා පැවැසුවේ, “දේවාලයේ ඇති ඇතුළු කට්ටලයේ තේවාව රාජකාරි කපු මහතුන්ට පමණයි කරන්න පුළුවන්. පිට කට්ටලයේ රාජකාරි තමයි බස්නායක නිලමේ යටතේ පවතින්නේ. අපි කරන්නේ දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය අණ ඉටුකරන එක. පත්වෙන නිලමේවරයාට බැහැ පුද පූජාවන් සඳහා අපිට උපදෙස් දෙන්න. කතරගම දේවාලයේ කුළ මල අනුව සම්ප්‍රදායන් පවතිනවා. අදත් හේවිසි අය එම රාජකාරිය කරන්නේ අතුපන්දළම යට පමණයි. චන්ඩාල කුලේ අය වැලි මළුවට පමණයි එන්නේ. දේවාලයට උසස් කුලයෙන් එන නිලමේවරයකු පත්කිරීම වැදගත්. නැත්තම් දෙවියන් උදහස් වෙනවා. ඒක රටට හොඳ නැහැ. මේවා දුටුගැමුණු රජතුමා විසින් පැනවූ නීති. නැත්තම් දෙවියන් අපකීර්තියට පත්වෙනවා. බුදුන් වහන්සේ වුණත් බුද්ධත්වයට පත්වෙන්න පෙර කාලය, දීපය, දේශය, කුලය බලලා තමයි උප්පත්තිය ලැබුවේ” යනුවෙන් සොමීපාල ටී. රත්නායක මහතා පැවැසීය.   


මේ වනවිටත් දේශපාලනඥයන්ගේ හිතවතුන් හා ධනපතියන් කිහිපදෙනකු ඡන්ද හිමියන් වෙත හොර රහසින් යමින් එමින් පවතී.   


මේ සඳහා ලංකවේ ප්‍රධාන විහාරස්ථානවලට අයත් නායක හිමිවරුන් මගින් අදාළ පුද්ගලයන් තමන්ට ඡන්දය ලබා ගැනීම පිණිස ඇවිටිලි කරමින් යම් යම් බලවතුන් විහාරස්ථාන කරා එවන බව ද දැනගන්නට ඇත.   


බස්නායක නිලයට ඡන්දය දෙන ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ ​වෙන අයුරු ද ඉතාම සූක්ෂම ලෙස සිදුවේ. මේ සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ ද යටින් ලේකම්වරුන් හමුවීම සිදු කරති.   


බස්නායක නිලය සඳහා අවශ්‍ය ඡන්ද 9කි. කුමන හෝ විහාරස්ථානයකින් නම් යෝජනා වන අතර තවත් විහාරස්ථානයකින් හෝ කොටබෝව බස්නායක නිලමේ විසින් හෝ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ විසින් එය ස්ථිර කිරීම සිදුවේ.   


එවිට ඡන්දයක අවශ්‍යතාව ඇති වුවොත් පමණක් ප්‍රාදේශිීය ලේකම්වරුන් ඡන්දය ලබාදීම සිදුකරති.   


පසුගිය 2015 දී පැවැති ඡන්දයේදී ඩී.පී. කුමාරගේ මහතා නිතරගයෙන් පත්වීම එක් ප්‍රාදේශීිය ලේකම්වරයකු හට රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළින් වැඩිම මුදලකට අනුව සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි.  


මෙම ඡන්දයේ දී ඉදිරිපත් වෙන නිලමේ අපේක්ෂකයාගේ නම යෝජනා කිරීම සහ එය ස්ථිර කිරීම වැදගත් වේ. දෙදෙනකුගේ නම් යෝජනා වුවහොත් පමණක් ඡන්දයක් විමසනු ලබයි. ඉදිරිපත් වෙන අනෙකුත් අපේක්ෂකයන් ඊට පෙර දින තරගයෙන් ඉවත් වන්නේ ඔවුන්ට තම තනතුර සඳහා අධික ලෙස වියදම් කිරීමට නොහැකි වීම නිසාය.   
කතරගම දේවාලයේ බස්නායක නිලමේ තෝරා පත් කරගැනීමේ තීරණාත්මක ඡන්ද දෙකක් වන්නේ කතරගම කිරිවෙහෙර සහ ශ්‍රිී අභිනවාරම විහාරස්ථානය භාරකරුවා සතු ඡන්ද වේ. මේ සම්බන්ධව අදහස් දැක්වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කළේ, “කතරගම දේවාලයේ බස්නායක නිලයට පත්වෙනවා කියන්නේ දැල්වෙන ගිනි ගොඩකට පැනීම හා සමානයි. පත්වෙන්න එන නිලමේ රාජ්‍ය බලයක් සහිත ඇති හැකි අයකු වීම වැදගත්. දැන් ඉස්සර නිලමේවරුන්ට හිමි වූ වැඩි වාසි නැහැ. මුදල් ඇති අයකු පත් නොවූවොත් වැඩ කරන්න අපහසුයි. කපු මහතුන්ගේ සහායෙන් කතරගම දේවාලයේ පරිපාලනය කරන්න පුළුවන් අයකු ආවොත් පමණයි මගේ ඡන්දය ලබාදෙන්නේ. බොහෝ අය පැමිණියා, මා කාටවත් කිසිම කැමැත්තක් ලබාදුන්නේ නැහැ. කතරගමට සේවයක් කරමින් දේවාලයේ උන්නතියට සේවයක් කරන්න බැරි අය ඉදිරිපත් වෙන්න එපා.” යනුවෙන්ය. 

 
(තොරතුරු මූලාශ්‍රයන් - කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා සොමීපාල ටී. රත්නායක මහතා සමග කළ සාකච්ඡාව. රාජකීය පණ්ඩිත වැවහමන්දුව චාචිස්සර හිමි, ග්‍රන්ථ - දේවාල ආඥා ගම් පනත, සුදු අධිරාජවාදී සටහන්, කතරගම දේවාලයේ පුරාණ නඩු තීන්දු ලේඛන, කපු පරපුර සතු ලේඛන හා දේවාල ඉතිහාස සටහන් පොත පත තුළින්)   

 

 

සටහන හා ඡායාරූප
කතරගම කේ.ඩී. දේවප්‍රිය



අදහස් (0)

ලක්ෂයෙන් බැඳි පියලි හුවමාරු වෙන කතරගම බස්නායක නිලමේ නිලවරණය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3137 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 27 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1435 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 441 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site