IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


භීෂණ සමයේ කුරුණෑගල

ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

 

 

වයඹ පළාතේ ප‍්‍රධාන දිස්ත්‍රික්කය වූ කුරුණෑගලට උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයද ගිනිකොණින් මහනුවර දිස්ත්‍රික්කයද දකුණින් කෑගල්ල දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් පුත්තලම් දිස්ත්‍රික්කයෙන්ද මායිම් වේ. මධ්‍යම කඳුකරයෙන් ආරම්භවන ගංගාවන් වැඩි ප‍්‍රමාණයක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කන්දකින් ආරම්භ වන ගංගාවන්ද දිස්ත්‍රික්කය හරහා ගලා යයි. ඒ මී ඔය, දැදුරු ඔය, කාරම්බලම් ඔය, රත්මල් ඔය සහ මහ ඔය වශයෙනි.   


කුරුණෑගල සහ ගම්පොල වැනි රාජධානි මෙරට දේශපාලන, ආර්ථික අස්ථාවර තත්ත්වයන් යටතේ පැනනැගුණු රාජධානි වේ. ආගමික සහ ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් මෙම යුගයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි, 19 වැනි සියවසින් පසු ක්‍රි. ව. 1820 කොළඹ සිට කුරුණෑගලටත්, කුරුණෑගල සිට ගලගෙදර දුර්ගය හරහා මහනුවරටත්, මාතලේටත් ඉදිකරන ලද මාර්ග පද්ධතිය නිසා කුරුණෑගල ප‍්‍රචලිත විය. 19 වැනි සියවසේ ආරම්භ වූ පොල්වගාව සහ මිනිරන් කර්මාන්තය නිසා මෙය වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. වසර 1848දී ඇතිවූ මාතලේ කැරැල්ලේ ප‍්‍රධාන කේන්ද්‍රය වූයේද කුරුණෑගලයි.   


ජවිපෙ 2වැනි කැරැල්ලේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිවූයේ ඉතා වැදගත් ස්ථානයකි. එම වකවානුව තුළ ජවිපෙට එක්වූ ක්‍රියාකාරින්ගෙන් වැඩිම පිරිසක් එක්වූයේ හම්බන්තොට, කුරුණෑගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලිනි. විශේෂයෙන්ම කැරලිකරුවන් අතර නිර්භීත සහ ඉදිරියෙන්ම සිටි පිරිස් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයට මුල්තැන හිමිවිය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කුල සංයුතිය අනුව දේවපුර හෙවත් වහුම්පුර හෙවත් හකුරු වංශයට අයත්ය. ප‍්‍රතිශතයක් වශයෙන් වැඩිම කැරලිකරුවන් පිරිසක් දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයෙන් ඉදිරියට පැමිණි අතර ඉන් බහුතරයක් ඝාතනයට ලක්විය. එමෙන්ම පොතුවාපිටිය, මදුරාගොඩ, දෙහිගම, බුළුගොඩ, කටුපොත, රිදීගම, මැල්සිරිපුර, මඩහපොළකන්ද, පොත්තේවෙල, වැවගම, රන්බඩගල්ල, රව්කැටිකන්ද, දියදොර, කවිසිගමුව ඇතුළු ගම්මාන රැසක් ජවිපෙ මූල කඳවුරු බවට පත්වූ අතර කැරලිකරුවෝ මෙම ප‍්‍රදේශ පදනම් කරගෙන වඩාත් සංවිධානාත්මකව ක්‍රියාත්මක වූහ.   


දෙවැනි කැරලි සමය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන ලේකම්වරුන් වූයේ කලාපය භාරව සිටි දේවබන්ධනගේ පියදාස හෙවත් පියදාස රණසිංහ හෙවත් දුණුවිල, කේ. ඩබ්ලිව්. එස්. අමරසිරි හෙවත් අමරේ හෙවත් නීල් හෙවත් තිලක් හෙවත් ගුණසේකර, රංජිදන් ගුණරත්නම් හෙවත් මහේෂ් හෙවත් අර්ජුන සහ විල්සන් ඇතුළු කිහිපදෙනෙකි. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ කුලියාපිටියේ වීරක්කොඩි, කැටන්දුර අතපත්තු මුදියන්සේලාගේ උපාලි කුමාරවංශ හෙවත් පොඩි උපාලි, ඩබ්ලිව්. ඒ. ජයලත් හෙවත් කුලේල නිමල් ලක්ෂ්මන් හෙවත් ලකී හෙවත් සෝමේ, නිකවැරටියේ කමල් සහ දෙහිවත්තේ කුරේ ඇතුළු පිරිසකි.   

 

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසු කුරුණෑගල ඉඟු‍රුවත්ත වැවගම ගාමිණී සිසිරකුමාරගේ දෙමාපියන් වූ මුතුනායක (54) දයාවතී (50) ද සොහොයුරන්වූ ප්‍රේමකුමාර (28) සහ සරත් කුමාර (15) යන සිව්දෙනා 1987 ජුනි 17 අතුරු හමුදා කණ්ඩායම් මගින් ඝාතනය කිරීමෙන් පසු අවමඟු‍ල් පෙරහැර ගමන්ගත් අයුරු.

කුරුණෑගල පන්නල අවි පැහැරගැනීමේ 1988 නොවැම්බර් 1 ප‍්‍රහාරයට එක්ව ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයෙන් මරණයට පත්වූ කවිසිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ පිටුපස පදිංචි කලින් හමුදා භටයෙකුව සිටි මොරතියේ කරුණාරත්න හෙවත් වීරේ (වමේ) සහ රියදුරෙකු ලෙස ප‍්‍රහාරයට එක්ව සිටියදී ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයකින් මරුමුවට පත්වූ කුරුණෑගල බස් රියදුරු මල්ලවපිටියේ දොරතියාව ගමේ චන්ද්‍රරේ (දකුණේ) මෙහි දැක්වේ. රියදුරු චන්ද්‍රරේගේ පවුල් සාමාජිකයින් ගණනාවක් පසුව අතුරු හමුදා කණ්ඩායම් මගින් ඝාතනය කර තිබිණි.   

 

 

 


මුල් කාලයේ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පියදාස රණසිංහ හෙවත් දුණුවිල යටතේ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කද ක්‍රියාත්මක විය. මධ්‍යම කලාපයට අයත් එම දිස්ත්‍රික්කයන්හි දේශපාලන නායකයා වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකුද වූ පියදාස රණසිංහය. එම කලාපයේ යුද නායකයා වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේද නායකයා වූ සමන් පියසිරි ප‍්‍රනාන්දුය. දේශපාලන ලේකම්වරුන් වූ ඩබ්ලිව්. එස්. අමරසිරි හෙවත් අමරේ නුවර සහ බදුල්ලේද දිසා ලේකම් වශයෙන් කටයුතු කළ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අන්තරේ 1982 සභාපතිවරයාය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකුද වූ අමරසිරි 1989 නොවැම්බර් 10 නෙළුව ලෙව්ගොඩ වත්තේදී ආරක්ෂක අංශ මගින් ඝාතනයට ලක්විය.   


රංජිදන් ගුණරත්නම් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වූ අතර 1985 අප්‍රේල් සිට දෙවරක් මාස 14ක් අන්තරේ කැඳවුම්කරුවෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි. රංජිදන් කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන ලේකම් වූ පසු පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටි ජවිපෙට සම්බන්ධ සිය ගණනක් සිසුහු කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සරසවි වසා දැමීමෙන් පසු කැරැල්ලට පූර්ණකාලීනයින් ලෙස එක්වූහ. එයට හේතුවූයේ රංජිදන්ගේ කැපී පෙනෙන නායකත්වය සහ ඔහුට ඇති ගෞරවය නිසාවෙනි. රංජිදන් ගුණරත්නම්ද විජේවීර ඝාතනයෙන් පසු ජවිපෙ දේශපාලන මණ්ඩලයට එක්වූ අතර පසුව බස්නාහිර සහ සබරගමු කලාපයේ නායකයා විය. රංජිදන් කුරුණෑගලදී 1989 දෙසැම්බර් 13 අත්අඩංගුවට පත්ව කොළඹ ගෙග‍්‍රරි පාරේ තිබූ අපරාධ විමර්ශන අංශයට ගෙන යෑමෙන් පසු 1990 ජනවාරි මස ඝාතනයට ලක්විය.   


දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් අතරින් කැටන්දුර මාහරගම අතපත්තු මුදියන්සේලාගේ උපාලි කුමාරවංශ හෙවත් පොඩි උපාලි හිටපු හමුදා සෙබළෙකි. රිදීගම ඕගොඩපොල පදිංචි ඔහු කැරලිකරුවන් 17 දෙනෙකු සමඟ එක්ව කුරුණෑගල කටුපොත පොලිසියෙන් 1989 අප්‍රේල් 17 අවි පැහැරගැනීමට ගත් ප‍්‍රයත්නයේදී පොලිස් වෙඩි ප‍්‍රහාරයට ලක්ව මරණයට පත්විය. ගිරිඋල්ල පොලිස් වසමේ පදිංචි උපාලි කුමාරවංශගේ මව වන පතිරාජ මුදියන්සේලාගේ මුතුමැණිකා විසින් සහ සොහොයුරා වන ගාමිණී විසින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් එච්. සී. ජේ. මඩවල ඉදිරියේ සිරුර හඳුනා ගන්නා ලදී. කලින් හමුදාවේ සේවය කළ උපාලි වසර 2කට පෙර ඉන් ඉවත්ව ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ අතර මාස 2ක් තිස්සේ ඔහු ආගිය අතක් නොමැති බව මව මුතුමැණිකා මරණ පරීක්ෂණයේදී ප‍්‍රකාශ කළාය. ඔහු අසල තනි කානුවේ නොම්බර් 12 තුවක්කුවක්ද, විදුලි පන්දමක්ද, ඉණේ තිබූ බෑගයේ ටී. 56 සජීවී පතොරොම් 35ක්ද තිබිණි. ඩබ්ලිව්.ඒ. ජයලත් හෙවත් කුලේ පේරාදෙණිය සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සිසුවෙකු වූ අතර ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලැබූවෙකි. නිකවැරටිය කමල්ගේ පවුලේ සාමාජිකයන් සියළුදෙනාම අතුරු හමුදා කණ්ඩායම් මගින් ඝාතනය කළ අතර වසර 2018 වන විට ඔහු ගණේමුල්ලේ පදිංචි ගුරුවරයෙකි.   


කුරුණෑගල දිස්ත්‍රික් කමිටුවේ 1987 ඔක්තෝබර් වන විට දිසා ලේකම් වූයේ අමරසිරි හෙවත් නීල්ය. මහනුවරදී අමරසිරි අත්අඩංගුවට පත්වූ විට එය කලාපය භාර සුමිත් අතුකෝරලට පැවරිණි. පසුව කලාපයේ දේශපාලන නායකයා වූයේ පියදාස රණසිංහය. කමිටුවේ අනිකුත් සාමාජිකයින් වූයේ සඳලංකාවේ පතිරණ, නන්දන, අඹේවෙල නිමල්, ගුණසේකර සහ වීරක්කොඩිය, කුරුණෑගල දිස්ත්‍රික්කය කලාප තුනකට බෙදා තිබිණි. කුලියාපිටිය කලාපයට කටුගම්පල කුලියාපිටිය, බිංගිරිය, දඹදෙණිය, පඬුවස්නුවර සහ පොල්ගහවෙල අයත් විය. කුලියාපිටිය කලාපයේ නායකයා ලෙස 1988 ජුලි 16 දක්වා කටයුතු කළේ උපාලි ජයවීරය. මහව කලාපයට අයත් වූයේ ගල්ගමුව, අඹන්පොල, මහවල නිකවැරටිය, කටුගම්පොල සහ පන්නලය. කුරුණෑගල කලාපයට දොඩම්ගස්ලන්ද, රිදිගම, මාවතගම, දඹදෙණිය, ගිරිඋල්ල, කටුපොත, වාරියපොල සහ කුරුණෑගල අයත් විය. ජවිපෙ කටයුතු මෙහෙය වූයේ කුලියාපිටිය, කිතලව සහ කටුපොත පිහිටි බදුගත් නිවෙස් කිහිපයක සිටය.   


කුරුණෑගල දිස්ත්‍රික්කයට ජවිපෙ අවධානය වඩාත් යොමුවූයේ 1971 කැරලිකරුවන්ව සිට පසුව ඉන් ඉවත්ව ජවිපෙට එරෙහිව 1977 දෙසැම්බර් 12 වැල්ලවත්තේදී ආරම්භ කළ ජනතා සංගමය වෙතය. එහි ප‍්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස අදිසිව ක්‍රියාත්මක වූයේ කුරුණෑගල ඉබ්බාගමුව යකල්ලේ පිහිටි දේවසරණ කේන්ද්‍රය වේ. විජේවීර විසින් 1985දී ප‍්‍රකාශිත දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්දැයි ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ ජවිපෙට එරෙහිව පක්ෂය පාවාදී සතුරන් අතරට පැනගිය පුද්ගලයින් සෙඩෙක් වැනි ජාත්‍යන්තර සංවිධානවල මුදල් විශාල වශයෙන් යොදා ගනිමින් කටයුතු කරන මූලස්ථානය කුරුණෑගල දේවසරණ නම් කතෝලික ආශ‍්‍රමයක රහසිගතව පිහිටා තිබුණ බවකි. දේවසරණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා වූයේ යොහාන් දේවානන්ද පියතුමාය. ඔහුගේ මඟ පෙන්වීම ලබාගත් අය හැඳින්වුයේ පන්මල්ලේ දරුවන් ලෙසිනි.   


ජනතා සංගමයේ සාමාජිකයින්ට සහ හිතවතුන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීම සහ කැරලිකරුවන් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වෙනම කණ්ඩායමක් පිහිටුවා තිබූ අතර එහි නායකයෙකු වූයේ පේරාදෙණිය සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සිසු ලලිත් පද්මසිරි හෙවත් ලලීය. කලක් නාරම්මල කලාපයේ දේශපාලන අංශයේ ක්‍රියාකාරිකයෙකු වූ ලලිත් පන්නල ප‍්‍රහාරයට ද එක්වූ අයෙකි. කුලියාපිටිය ඉලුක්හේනේ පදිංචි ඔහු පොළ භූමියේදී ඝාතනයට ලක්විය. එම කණ්ඩායමේ සන්නද්ධ නායකයා වූයේ හිටපු හමුදා භටයෙකු වූ ලකීය. ජනතා සංගමයට එරෙහි ප‍්‍රහාරයන් පිළිබඳව කටයුතු කිරීමේ අධීක්ෂණය ආරම්භයේදී පැවරී තිබුණේ අම්පාරේ අබේරත්න හෙවත් අමරේටය. කලක් විජේවීරගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ අමරේ වැල්ලවාය පොලිසිය මගින් සියඹලාණ්ඩුවේදී තබන ලද වෙඩි ප‍්‍රහාරයකින් පසුව මරුමුවට පත්විය. දෙවැනි කැරලි සමය නිමාවන විට ජනතා සංගමයේ ක්‍රියාකාරීන් 19ක්ද එහි හිතවතුන් 5ක්ද කැරලිකරුවන් විසින් රටපුරා ඝාතනය කර තිබිණි. ඒ අතර මෙටා ඉන්ටනැෂනල් බහු ජාතික සමාගමට මොණරාගලින් ඉඩම් අක්කර 84,000ක් දීමට රජය ගත් තීරණයට එරෙහිව වෙල්ලස්සේ ගොවි අරගලයට නායකත්වය දුන් එහි ඉදිරිපෙළ නියමුවෙකු වූ ආනන්ද වීරකෝන්ද විය. 

 
දේවසරණ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ කණ්ඩායම් සහ පුද්ගලයින්ට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහ ප‍්‍රා. සංවිධානයේ පිරිසක්ද ජවිපෙට එරෙහිව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක විය. උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය තුළ ගොනුවූ කිහිප දෙනෙක්ද මහජන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීන්ගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටියහ.

කැරලිකරුවන් මෙම කණ්ඩායම්වලට ප‍්‍රහාරයන් කිහිපයක් එල්ල කළ අතර වැහැරදී ප්ලොට් සාමාජිකයින් 2ක් ඇතුළු සිව්දෙනෙකු ඝාතනයට ලක්විය. එම ප‍්‍රහාරයට එක්වූ කැරලිකරුවන්ගේ කණ්ඩායමට 9 දෙනෙක් අයත් වූ අතර ඉන් 2ක් ප‍්‍රහාරයට යන අතරමඟ අහඹුවකින් බෝම්බයක් පිපිරී 2ක් මරුමුවට පත්විය. එසේ මරුමුවට පත්වූ කැරලිකරුවන් දෙදෙනා වූයේ නිකවැරටිය නියෝ සහ රිදීගම රම්බඩගල්ලේ වීරසිංහය. මහජන පක්ෂයේ අරමුදල්වලින් සහ ප්ලොට් සංවිධානයේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ ප‍්‍රා සංවිධානයේ පුහුණු කඳවුරක් රිදීපොල ඕගොඩපොල ග‍්‍රාමයේ රන්තැටිකන්ද සානුවේ සති දෙක තුනක් ක්‍රියාත්මක වූවද කැරලිකරුවන්ගේ ප‍්‍රහාර නිසා එයද විසුරුවා හැරීමට සිදුවිය. ශ‍්‍රී ලංකා මහජන පක්ෂය මගින් එහි සාමාජිකයින්ට ආරක්ෂිත කඳවුරු ගොඩනැගීම සඳහා 1988 මැද භාගයේදී නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලගේ මෙහෙයවීමෙන් කුරුණෑගල පල්ලකැලේ ඉඩමක් ටී. බී. විජේසූරිය සහ නිකවැරටියේ ඉඩමක් වයි. පී. ද සිල්වා මැදිහත්ව මිලට ගෙන තිබිණි.   


ප‍්‍රා සංවිධානය සමීපව කටයුතු කළ අයගේ තවත් තිත්පොලක් වූයේ නුවර කුරුණෑගල පාරේ කර්මාන්තපුරට අයත් සිංහලෙන නිවසකි. අක්කර 2ක පමණ භූමි භාගයක පිහිටි එම නිවසේ කාමර 4කි. එය වධකාගාරයක් ලෙසද ක්‍රියාත්මක විය. පළාත් සභා මන්ත්‍රී සමන් තිලකරත්නට කැරලිකරුවන් වෙඩි තැබීමෙන් පසු නිකවැරටිය වෙලේ තරුණයින් ගණනාවක් අතුරු හමුදා කණ්ඩායම් මගින් ඝාතනය කර පුලුස්සා දමා තිබිණි. කුරුණෑගල කැප්පෙටිගල හන්දිය පසුකර මීටර් 50 ක් ගියවිට දකුණු පස පැරණි නිවසකද ප‍්‍රා වධකාගාරයක් ක්‍රියාත්මක විය. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු 1989 මැයි 17 ඝාතනය කිරීම, අලව්ව තුඹුල්ල පන්සලේ උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි 1989 මැයි 18 ඝාතනය කිරීම, මාවතගම කවිසිගම නිවෙස් ගණනාවක් ඇතුළු මංකොල්ලකෑම් රැසක් පිළිබඳව ප‍්‍රා සංවිධානය වගකිවයුතු බව ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අතුකෝරලපුර (කුරුණෑගල) දිසා සංවිධානය 1989 මැයි 27 නිවේදනයකින් කියා සිටියේය. දේශපාලන විරුද්ධවාදීන් මර්දනය සඳහා ගොඩනගා ඇති ආර්.ඩී.එෆ්. එස්ටී.එෆ්, අයි. ඕ.ටී (ප්ලැටුන් පොලිසිය) එන්.ඒ. 7 සහ එන්. ඒ. ආර්, ඇතුළු සියලු අතුරු හමුදා කණ්ඩායම් නිරායුධ කර විසුරුවා හරින ලෙස ද එමගින් ඉල්ලීමක් කර තිබිණි.   

 

 

කුරුණෑගල ඇතුළු මධ්‍යම කලාපයේ දිස්ත්‍රික්ක 5ක දේශපාලන නායකයා වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වලස්මුල්ල වරාපිටියේ උපන් දේව බණ්ධනගේ පියදාස හෙවත් පියදාස රණසිංහ හෙවත් දුණුවිල, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරුන්ව සිටි කේ. ඩබ්ලිව්. එස්. අමරසිරි හෙවත් අමරේ හෙවත් නීල් හෙවත් තිලක් හෙවත් ගුණසේකර, රංජිදන් ගුණරත්නම් හෙවත් මහේෂ් හෙවත් අර්ජුන, කැරලිකරුවන් විසින් පැහැරගත් විශාලතම අවි තොගය වූ ගිනිඅවි 226 ලබාගත් 1988 නොවැම්බර් 1 සිදුවූ පන්නල ප‍්‍රහාරයේ නායකයා වූ කුරුණෑගල මැල්සිරිපුර පදිංචි හමුදාවේ හිටපු කෝප‍්‍රල් ජයන්ත සිරිපාල හෙවත් පීටර් හෙවත් නන්දන, කුරුණෑගල දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක වූ ප‍්‍රා සංවිධානයට එරෙහිව මෙහෙයුම්වල කැරලිකරුවන්ගේ නායකයෙකු වූ පේරාදෙණිය සරසවියේ ශ‍ාස්ත‍්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසු ලලිත් පද්මසිරි මෙහි වමේ සිටය. මෙම සියළු දෙනාම ඝාතනයට ලක්විය.   

 

වමේ සිට කැරලිකරුවන් 1988 සැප්තැම්බර් 26 ඝාතනය කළ අධ්‍යාපන සේවා ඇමැති කුලියාපිටියේ ලයනල් ජයතිලක, කැරලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වූ වයඹ මහ ඇමැති කටුගම්පල ගාමිණී ජයවික්‍රම පෙරේරා, අත්අඩංගුවට ගත් සැකකරුවන්ට වධබන්ධන දුන් බවට චෝදනා එල්ලවූ ප‍්‍රදේශය භාර යුද හමුදා ආඥාපති කර්නල් ජානක පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක, කොබෙයිගනේ එවකට සිටි පොලිස් ස්ථානාධිපති විසින් රවටා දූෂණය කර ගැබිනියක් වූ පසු 2වැනි කැරැල්ලට මුවාවී 1989දී ඝාතනය කර පුළුස්සා දැමූ කොබෙයිගනේ අවුරුදු කුමාරිය වූ 19 හැවිරිදි නිලංකා මාලිනී වේ.   

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් වැඩිම පිරිසක් බිහිවූයේ දොඩම්ගස්ලන්ද ආසනයෙනි. දිස්ත්‍රික්කය තුළ මියගිය දහස් ගණන් කැරලිකරුවන් අතරින් වැඩිම පිරිස අයත් වූයේද දොඩම්ගස්ලන්දටය. බොහෝ දෙනා පවුල් පිටින් ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධ වූහ. ගොකරැල්ල පොලිස් වසමට අයත් මදුරාගොඩ ග‍්‍රාමයේ පමණක් ඝාතනයට ලක්වූ තරුණයින්ගේ සංඛ්‍යාව 300කට ආසන්නය. මේ කැරැල්ලට සම්බන්ධ වූ එවන් පවුලකි. වමේ සිට මදුරාව රජයේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. සුවාරිස් සහ ඔහුගේ බිරිඳ අයි. ඩී. මොයිසාය. එම දෙපලට දූ පුතුන් 9කි. දෙවැනි කැරැල්ලේ ඉදිරි පෙළ නියමුවන් ලෙස සිටියදී ඝාතනයට ලක්වු එම දෙපලගේ පුතුන් වන අනුරාධපුර දිස්ත්‍රික් කලාපීය නායකයෙකු වූ 1989 මාර්තු 29 කැබිතිගොල්ලෑව මුල්ලගහවැවදී ඝාතනයට ලක්වූ විමල් (44) හෙවත් පොඩි විමල්, කුරුණෑගල දිස්ත්‍රික් වෘත්තීය අංශයේ නායකයෙකු වූ රාගෙදර මිනිරන් පතලේ සේවය කළ 1988 සැප්තැම්බර් 21 මදුරාවලදි ඝාතනයට පත්වූ විල්බට් (41) සහ කඳුපලාන රජයේ විදුහලේ ගුරු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන අංශයේ කලාපීය නායකයෙකු වූ 1988 ජුලි 10 ඝාතනයට පත්වූ ජයම්පති (32)ය.   

 

 

 


අත්අඩංගුවට ගත් සැකකාර කැරලිකරුවන්ට කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා හමුදා කඳවුරුවලදී සහ පොලිස් ස්ථානවලදී දැඩි වධ බන්ධනවලට මුහුණ දීමට සිදුවිය. පැල්වෙහෙර යුද හමුදා කඳවුර, වැහැර යුද හමුදා සහ පොලිස් රැඳවුම් කඳවුරු, කුලියාපිටියේ විජයබා කඳවුර, නිකවැරටිය පොලිස් උපසේවා පුහුණු මධ්‍යස්ථානය, පොල්ගහවෙල පොලිසිය ඉන් ප‍්‍රධාන තැනක් ගනී. ඒ පිළිබඳව චෝදනා එල්ල වූයේ ප‍්‍රදේශය භාර යුද හමුදා ආඥාපති කර්නල් ජානක පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලකටය.   


කර්නල් ජානක පෙරේරාගේ අණ යටතේ ක්‍රියාකළ සෙබළුන් සියයකට අධික පිරිසක් සිටි කුරුණෑගල වැහැර යුද හමුදා කඳවුරේදී තිරස්චීන වධබන්ධනයට ලක්ව ඝාතනයට පත්වුණු සිය ගණනකගේ ඉරණම පිළිබඳව ඇසින් දුටු සාක්කිකරුවෙකුගේ ප‍්‍රකාශයක් ආසියානු මානව හිමිකම් කොමිසම මගින් 2001 ජුනි මාසයේ ප‍්‍රකාශයට පත්කර තිබිණි. ගල්ගමුව, ගිරිඋල්ල, මාවතගම, රිදීගම, පොල්ගහවෙල ආදී ගම්වලින් ගෙන එන ලද තරුණයින් දෙපයින් එල්ලා බොලොක්ක ආධාරයෙන් ගිනිමැලවලට පහත් කරමින් කරන ලද වධ හිංසාවන් ගැන ඔහු විසින් කරන ලද අනාවරණයේ මෙසේද සඳහන් විය.   


‘‘මා සිටි කාලය තුළ 400ත් 500ත් පමණ වූ සිරකරුවන් පිරිසක් රාත්‍රී කාලයේ රැගෙන ගිය අතර ඔවුහු යළි නොආහ. මරා දැමූ ඔවුන්ගේ සිරුරු අවට ප්‍රසිද්ධ ස්ථානවල දැමූ බවට සැක නැත.   


මා කඳවුරට ගෙනවිත් මාස කිහිපයකට පසු එහි සිටි සියලුම රුඳවියන් ලොරියකට පටවා පිටතට රැගෙන යනු ලැබිණ. තමන් මරා දමන්නට රැගෙන යතැයි සිතූ ඇතැම්හු සිහි විසඥ වූහ. අපව මහ වනයකට රැගෙන ගොස් රෑ වනතෙක් එහි රඳවා හිඳ රාත්‍රියේ පෙරළා කඳවුරට රැගෙන එනු ලැබිණ. මා පසුව දැනගත් පරිදි ඊට හේතුවී තිබුණේ ඒ දිනයේ කඳවුර නිරීක්‍ෂණයට ජාත්‍යන්තර රතු කුරුස නියෝජිතයන් පැමිණීමයි. වැහැර කඳවුරේ වධදීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරි ජයනෙත්තිට ද බරපතළ චෝදනා එල්ල විය.   
නිකවැරටිය හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි තරුණයින් 20 දෙනෙකුට පහරදී මරා පුලුස්සා දැමූ බවට නිකවැරටිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. එම සිරුරු පාදෙනිය බිම්බෝම්බය පිපිරීමෙන් පසු එම වළට දමා තිබූ බව කියති. ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ පොතුහැර මාවත උඩුපිටිය ගම්මානයේ තරුණයන් 20 දෙනෙකුද ඝාතනයට පත්විය.   


කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැරලිකරුවන්ට වධදීම් පොලිස් ස්ථාන ගණනාවකම නිලධාරීන් අතින් සිදුවිය. ගොකරැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ආර්. ඒ. ධර්මසේන සහ කොස්තාපල් ජී.ජී. දිසානායක, ගලිගමුව පොලිසියේ සැරයන් අබේකෝන් සහ ගිරිඋල්ල පොලිසියේ සැරයන් බණ්ඩාරට ඒ පිළිබඳ චෝදනා එල්ල විය. එලෙස චෝදනා ලැබූ ගිරිඋල්ල පොලිසියේ නිලධාරියෙකු ප‍්‍රතිකාර ලබමින් දඹදෙණිය රෝහලේ සිටින විට කැරලිකරුවන් විසින් ඔහු ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කළේය. රෝහලට ඇතුළු වූ කැරලිකරුවන් කිහිප දෙනෙකු අදාළ රෝගියාගේ හකුදෙක ළඟින් දැලිපිහියෙන් කපා හිස ඉවත්කර ගෙනයන ලදී. මේ පිළිබඳව චෝදනා ලැබුවේ කොළඹ වෛද්‍යපීඨයේ සිසුවෙකු සහ පේරාදෙණිය ඉංජිනේරු පිඨ සිසුවෙකි. කැරලිකරුවන් අතර ගිරිඋල්ල ඔපරේෂන් ලෙස පසු කලෙක ප‍්‍රචලිත වූයේ මෙයයි. කටුපොත පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගත් පසු වෙඩිතබා මරණයට පත්කර මහජනයාට බලාගැනීමට කඩපොළ අසල ගසක එල්ලා තැබීමට ප‍්‍රථම පොලිස් ජීප් රථයක පසුපස ගැටගසා නගරයේ වීදි දිගේ ඇදගෙන යනු ලැබීය.   
මහමග ගමන් ගත් ගිලන් රථයකට කැරලිකරුවන් විසින් වෙඩිතැබූ නිසා එහි ගමන් ගත් ගැබිනි මවක් වූ ආර්. ක්‍රිෂ්ණම්මා කුරුණෑගල වයිරන්ගමදී 1989 අප්‍රේල් 05වැනිදා ඝාතනය වූ අතර ඉන් දෙදිනකට පසු එම ස්ථානයේ මහව පොලිසියේ රඳවාගෙන සිටි තරුණයෙකුගේ සිරුරක් ටයර් 3ක් දමා පුලුස්සා තිබිණි. කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී පියසෝම උපාලි ඝාතනයට කැරලිකරුවන් 1989 මැයි 06 කුලියාපිටිය පල්ලියපිටියේ හරන්තිපොලදී ප‍්‍රයත්නයක් දැරූ අතර එහිදී රියදුරු හෘදයාබාධයකින් මිය ගියේය. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)  

 

 



අදහස් (0)

භීෂණ සමයේ කුරුණෑගල

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3115 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1434 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site