IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීමේ ව්‍යාජ රංගනයේ කතාන්දරය

 

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරියාව සිටි වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ඔහුට මරණ තර්ජන ඇති බවට හුවා දැක්වීමට කළ රඟ දැක්වීමක් බවට පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් විසින් සවිස්තර තොරතුරු අනාවරණය කරගෙන ඇත.


වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම රඟ දැක්වීමට හවුල්වූ නළුවන් එහි තිරපිටපත, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ අය ගැන ද මේ පරීක්ෂණවලදී පොලිසිය කරුණු කාරණා අනාවරණය කරගෙන ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.


මේ සයිටම් නාටකයේ නළුවන් නිෂ්පාදනය අධ්‍යක්ෂ සහ තිරපිටපත ලියූ පුද්ගලයා ද ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශ අතහැර පලාගොස් පොලිසිය සමඟ කට්ටි පනිමින් සිටිති.


මේ විගඩම් නාඩගමේ නළුවන්ට නිෂ්පාදකට, අධ්‍යක්ෂ හා තිරපිටපත ලියූ අයට ද හැමදාමත් පොලිසිය සමග කට්ටි පනිමින් සිටීමට නම් නොහැකි බව ලියා තැබිය යුතුය.


වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබී යැයි කියන සිද්ධියට සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගත් ටීනා යන අනවර්ථනාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙහි ඇත්ත කතාව හෙළිකර ගැනීමට පොලිසියට හැකිවිය.


මෙතැන් සිට පෙළ ගැස්සෙන්නේ රටක් කැලඹූ සයිටම් නාඩගමේ ඇත්ත කතාව හෙළි වූ ආකාරය ගැනය.


සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ට කිසියම් පුද්ගලයෙක් ගිනි අවියක් ළඟ තබාගෙන සිටින බවට ඔත්තුවක් ලැබී ඇත.


පොලිස් කණ්ඩායමක් ඔහු සොයාගොස් අත්අඩංගුවට ගත්තේ මිලිමීටර් 9 වර්ගයේ බ්‍රවුනින් පිස්තෝලයක් හා උණ්ඩ 02ක්, 3.8 වර්ගයේ රිවෝල්වරයක් හා උණ්ඩ 03ක් ද සමඟය.


ඔහු වෙන කවුරුවත් නොව නිරෝෂන් හෙවත් ටීනා නමැත්තාය.


ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුවන ටීනා කොළඹ ප්‍රදේශයේ එවකට සිටි පසු කාලයක ඝාතනයට ලක්වූ ප්‍රබල දේශපාලනඥයකුගේ කාර්යාලයේ සේවය කළ අයෙකි.


මෙකී දේශපාලනඥයා සමඟ සමීප ඇසුරක් පවත්වමින් ටීනා වසර 08ක පමණ කාලයක් ඔහුගේ කාර්යාලයේ සේවය කර ඇත.
මොහුට සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් නඩු අධිකරණයේ විභාගවන අතර අධිකරණයේ විභාගවන නඩුවලට පෙනී නොසිටීම නිසා වරෙන්තු පවා නිකුත්කර ඇති අයෙකි.


හෙරොයින්වලට පවා තදින්ම මොහු ඇබ්බැහිවී සිටින අයෙකු බව පොලිසිය දැන ගත්තේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය.


වසර 16ක පමණ කාලයකදී මව්පියන්ට හොරා ඇඹිලිපිටියේ ගෙදරින් පලා එන ටීනා කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් ජීවිකාව ගෙනගොස් ඇත.


දේශපාලනඥයා ළඟ සේවයට යන්නේ ගරාජයේ සේවය කරමින් සිටින අතරවාරයේ එකී දේශපාලනඥයාගේ වාහන අලුත්වැඩියා කිරීමට පැමිණි ආ කිහිප දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවය.


නගර සභාවක හිටපු මන්ත්‍රීවරයෙක් සමග ද ටීනා කිට්ටු සම්බන්ධතා පවත්වාගෙනගොස් ඇත්තේ කාලයක සිටය.


සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතාට වෙඩි තැබුවේ තමන් බව ටීනා පවසා ඇත්තේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේය.


ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වෙඩි තැබීමට පැමිණි අනෙක් පුද්ගලයා ගැනද තොරතුරු අනාවරණය කළා පමණක් නොව වෙඩි තැබීමට ආ හොන්ඩා වර්ගයේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගැනද කියා ඇත.


රංජියා නමින් හැඳින්වෙන අයකුට අයත් යතුරුපැදියක් ඉල්ලාගෙන ආ බවද ටීනා පොලිසියට පවසා තිබේ.


වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුව බාර දුන්නේ තිලා නමින් හැඳින්වෙන පුද්ගලයෙක් බවත් මුදල ලක්ෂ දෙකක් පමණක් වන බවත් ටීනා පොලිසියට පාපෝච්චාරණය කර ඇත්තේ ගිරවෙකු මෙන් යැයි කියති.


වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය ගිනි අවි රැගෙන ආවේ සුදු මහත්තයා යනුවෙන් හැඳින්වෙන අයෙක් බවත් ඔහු ප්‍රාඩෝ රථයකින් කඩුවෙල ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකකට පැමිණ එම අවි බාරදුන් බවත් පවසනු ලැබවේද වෙන කවුරුත් නොව ටීනා නමින් හැඳින්වෙන පුද්ගලයාය.


අපේ වෙපන්වලින් දොස්තර මහත්තයාට වෙඩි තියන්නට ලක්ෂ 02ක් ඕනෑ කිව්වා. අපේ වෙපන්වලින් නොවේ නම් මේ වැඬේට ලක්ෂයක් හොඳටම සෑහෙන බව කිව්වා. ඊට පස්සේ තමා සුදු මහත්තයා කියා කෙනෙක් සුදුපාට ප්‍රාඩෝ එකකින් කඩුවෙල පැත්තේ තියන රෙස්ටුරන්ට් එකට වෙපන් දෙකකුත් අරගෙන ආවේ යැයි ටීනා පොලිසියට කළ පාපෝච්චාරණයේ සඳහන් වන බව කියති.
වෛද්‍යවරයාට වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුව සුදු මහත්තයා බාර දුන්නත් ඇයි එහෙම වෙඩි තියන්න හේතුව අපිට කිව්වේ නැහැ. අපි සුදු මහත්තයා කියන කෙනාගෙන් ඒ ගැන අහන්න ගියෙත් නැහැ. ඒ ගැන අපට අහන්න තරම් වුවමනාවක් තිබුණෙත් නැහැ.


අත්අඩංගුවට ගත් ටීනාගෙන් පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම හමුවේ එසේ කියා ඇති බව ද දැනගැනීමට ඇත.


සයිටම් වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය ගැන කරුණු අනාවරණය කරගත් පොලිස් කණ්ඩායම ඒ පරීක්ෂණවල ප්‍රගතිය බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට දැනුම් දෙනු ලැබීය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මුණසිංහ මහතා පෙන්වා දුන් සැකයට තුඩු දෙන යම්කිසි කරුණු කාරණා ඔස්සේ තවදුරටත්  මේ ගැන පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා) කී දේවල් සත්‍ය බව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිලධාරීන්ට පැහැදිලිවම පෙනීගොස් ඇත.


ටීනා කියන පුද්ගලයා පොලිසිය නොමග යවා පරීක්ෂණ කටයුතු වෙනතකට යොමුකර වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය වෙනත් පැත්තකට යොමු කිරීමට ඉතා සූක්ෂම ලෙස කටයුතු කර ඇති බව පොලිස් කණ්ඩායම සනාථ කර ගත්තේය.


මුලින්ම ටීනා පොලිසියට කියා ඇත්තේ පට්ටපල් බොරුය.


සුදු මහත්තයෙක් ගැන මුලින්ම කිව්වත් එවැනි කෙනෙක් නෙමැති බව පොලිසිය හෙළිකරගත්තේ ඔහුගෙන් දෙවැනි වරට කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.


වෙඩි තැබීමට ගිය පුද්ගලයෙක් ගැනද ඔහු කියා තිබූ අතර ඔහු වෙන කවුරුවත් නොව අතුරුගිරිය ප්‍රදේශයේ සැලුන් එකක් තුළදී වෙඩිකා මියගිය පාතාල නායකයෙකි.


මෙයත් පට්ටපල් බොරුවකි. මේ කියන පාතාල නායකයා සමීර මහතාට වෙඩි තැබීමට ගොස් නොමැති බවට ද පොලිසිය තහවුරු කර ගත්තේ වැඩිදුර පරීක්ෂණ පවත්වාය.


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ සහ රහස් පොලිසියේද සේවය කර අත්දැකීම්බහුල අපරාධ විමර්ශන හා පරීක්ෂණ කටයුතු මෙහෙයවන දක්ෂතා පෙන්වා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සැකකාර ටීනා පොලිසියට කර ඇති ප්‍රකාශවල ඇති පරස්පරතා අඩු ලුහුඬුකම් හා සමහර පිළිගත නොහැකි කරුණු ඇති බව පෙනී ගොස් ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිලධාරීන්ට පෙන්වාදී ඇත.

 


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මුණසිංහ මහතා සැක සහිත ඒ තැන් එකිනෙක පෙන්වා දෙමින් මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි (අපරාධ හා බුද්ධි තොරතුරු) මහතා යටතට පවරනු ලැබීය.


නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද අපරාධකරුවන් අල්ලාගැනීමට පරීක්ෂණ මෙහෙයවා දක්ෂතා පෙන්වා ඇති නිලධාරියෙකි.


පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ මහතාගේ මෙහෙයවීම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක එදිරිසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් යළි පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වාදුන් කරුණු කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි.
වෛද්‍ය සමීර මහතාට වෙඩි තැබීයැයි කියන සිද්ධිය සැබෑවටම සිදුවූවක් නොව එය හරිම අපූරු රඟ දැක්වීමක් බවට පොලිස් කණ්ඩායම කරුණු කාරණා සාක්කි හා සාධක සහිතව තහවුරු කර ගත්තේය.


කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නගර සභාවක හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ රියැදුරා මේ රඟ දැක්වීමට ලොකු කාර්ය බාරයක් ඉටුකර තිබෙන බවත් මෙහි මහමොළකරු හිටපු නාගරික මන්ත්‍රීවරයා බවත් අප වැඩිදුර පරීක්ෂණවලින් හෙළි කරගත්තා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් හෙළිකළේය.


පොලිසියට අසුවී මෙහි වගකීම බාරගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත්තේ වෙන කවුරුවත් නොව හිටපු නාගරික මන්ත්‍රීවරයාය.
පොලිසියට අසුවූ පසු වෛද්‍ය සමීර මහතාට වෙඩි තැබුවේ තමා විසින් බවට බොරු පාපෝච්චාරණයක් කිරීමට අවැසි උපදෙස් ලබාදී ඇත්තේ ද මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා විසිනි.


හෙරොයින් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවී සිටින ටීනාට ලක්ෂ දෙකක මුදලක් දෙන්නම් කියා ඔහු මේ වැඬේට පොලඹවාගත් බව කියන හිටපු නාගරික මන්ත්‍රීවරයා කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසකදී රැයක් පහන් වනතෙක් එම වෙඩි තැබීම පිළිබඳව පොලිසිය ප්‍රශ්න කරනවිට ඒ ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු ආකාරය ගැන කිහිප වතාවක්ම කියාදී ඇත.


ටීනා පොලිසියට අසුවූ විට අවශ්‍ය සියලු සැලසුම්කර ඇත්තේද හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් බවට පොලිසිය මේ වනවිටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.


ඒ ටිනාද දැනුවත්වය.


සයිටම් ආයතනයේ විධායක නිලධාරියාට වෙඩි තැබූ වෙඩික්කරු කඩුවෙල ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකක වෙපන් එක්කම ඉන්නවා කියා පොලිසියට දුරකථන ඇමතුම් ලබාදීමට කටයුතු කර ඇත්තේද මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා යැයි පැවැසුවේද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.


පොලිසියට ටීනා කොටුකර දීමට ප්ලෑන් කළ දවසේ රෑ කඩුවෙල රෙස්ටුරන්ට් එකට ඒකේ නැවතීමට පහසුකම් ලබාදී ඇත්තේද හිටපු නාගරික මන්ත්‍රීවරයාගේ රියැදුරාය.


පොලිසිය පවසන ආකාරයට ජීප් රථයකින් ගොස් ටීනා කැඳවාගෙන කඩුවෙල රෙස්ටුරන්ට් එකට පැමිණ ඇත්තේද හිටපු නාගරික මන්ත්‍රීවරයාගේ රියැදුරාය.


රෙස්ටුරන්ට් එකේ නවාතැන් ටීනාට සපයා ඇත්තේ එහි කළමනාකාරවරයාට නාගරික මන්ත්‍රීවරයාගේ රියැදුරාගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙනි.


කෑමබීම ඉඳුම්හිටුම් පමණක් නොව ටීනාට රාත්‍රියක් ගත කිරීමට ගණිකාවක් ලබාදී ඇතැයි කියන්නේ හිටපු නාගරික මන්ත්‍රීවරයාගේ රියැදුරාය.


ගණිකාව රැගෙන ඇවිත් ඇත්තේ කුබෝටා කියන නමින් හැඳින්වෙන ත්‍රිරෝද රථ රියැදුරෙක් විසින් බවට ද තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇත.


මේ සියලුම දේවල් ඉටුකර ඇත්තේ හිටපු නාගරික මන්ත්‍රීවරයා ලබාදුන් උපදෙස් අනුව බව පොලිසිය කියයි.


හිටපු නාගරික මන්ත්‍රීවරයා සහ වෛද්‍ය සමීර සේනාරත්න මහතා අතර කාලයක් තිස්සේ සිටම කිට්ටු ඇසුරක් තිබී ඇති බව අනාවරණයවීමත් සමඟම පොලිස් පරීක්ෂණ නව මගකට යොමු විය.


පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකරගෙන තිබෙන ආකාරයට වෙඩි තැබීමට සිදුවූ දින උදේ සයිටම් විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතා හිටපු නාගරික මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් හමුවී ඇති අතර හිටපු නාගරික මන්ත්‍රීවරයා එදිනම දහවල් කාලයේ සයිටම් ආයතනයට ගොස් වෛද්‍ය සමීර මහතා මුණගැසී පැමිණ ඇත.


ටීනා නමැත්තා මෙම සිද්ධියට සම්බන්ධ බව කියා පොලිස් පරීක්ෂණ නොමග යැවීමට කලින් තවත් අයෙක් ද මේ සඳහා යොදා ගැනීමට හිටපු නාගරික මන්ත්‍රීවරයා දැඩි උත්සාහයක නිරතව සිට ඇත.


හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින සැකකරුවකු මුණ ගැසීමට එම බන්ධනාගාරයට නාගරික මන්ත්‍රීවරයාගේ රියැදුරා ත්‍රිරෝද රථ රියැදුරෙකු වන දීපා යනුවෙන් හැඳින්වෙන අයෙක් ඇතුළු කිහිප දෙනෙක්ම ගොස් තිබේ.


ඒ තිලා යනුවෙන් හැඳින්වෙන අයෙක් මුණ ගැසීමටය. තිලාගේ සහෝදරයෙක්ද ඔහු බැලීමට මේ අවස්ථාවේ බන්ධනාගාරයට පැමිණ සිටියේය.


අහක යන ලෙඩ බොරුවට දාගන්න කැමැති නැහැ කියා තිලා නමැත්තා මෙහිදී ඔහු හමුවීමට බන්ධනාගාරයට ගිය අයට කියා ඇති බවද සඳහන්ය.


තිලාගේ මවද පොලිසියට කියා තිබුණේ පුතාට ලක්ෂ පහක් දෙන්න කතා කළා. ඒත් පුතා වැඬේ ප්‍රතික්ෂේප කළා. මා හරහා පුතා කැමති කරවා ගන්නත් උත්සාහ කළා. මමත් කැමැතිවුණේ නැහැ කියාය.


පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිලා රඳවාගෙන ඇති බන්ධනාගාරයට ගොස් ප්‍රශ්න කිරීමේදී මේ සියලු තොරතුරු හෙළිකර තිබේ.


තිලා මේ වැඬේට කැමති කරවා ගැනීමට නොහැකි වූ නිසා නාගරික මන්ත්‍රීවරයා පසුව ටීනා කැමැති කරවාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිණි.


සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වෛද්‍ය සමීර මහතා කැඳවා ප්‍රශ්න කළේ ටීනා නමැත්තා අත්අඩංගුවට ගත් දිනයේදීමය.


පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ප්‍රශ්න කිරීම්වලදී මෙම රඟ දැක්වීම ගැන බොහෝ වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවය.


වෛද්‍ය සමීර මහතා ගමන්ගත් මෝටර් රථයට ඔහුට කිසිදු හානියක් නොවන ආකාරයට වෙඩි තැබිය යුතු ආකාරය ගැන උපදෙස් ලබාදී ඇත්තේද අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් බවට තොරතුරු පොලිසිය හෙළිකර ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමට සොයන නාගරික මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු ද නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටියද පාතාල කණ්ඩායමක් විසින් එල්ලකරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේද 2001 වසරේදීය.


වෛද්‍ය සමීර මහතාට වෙඩි තැබීමක් කළ බවට හුවා දැක්වීම කළ රඟපෑම සැලසුම් කළ මහ මොළකරු ලෙස සැලකෙන හිටපු නාගරික මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනෙක් පදිංචි ප්‍රදේශ අතහැර පලාගොස් සිටින්නේ ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සොයන නිසාය.


මෙම නාඩගමේ බොහෝ තොරතුරු දන්නේ හිටපු නාගරික මන්ත්‍රීවරයා නිසා ඔහු අත්අඩංගුවට ගත් පසු මේහා සම්බන්ධ තවත් කරුණු හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.


මේ සයිටම් නාඩගම රඟ දැක්වීම පසුපස තවත් අදෘෂ්‍යමාන හස්ත තිබුණේද කියන එක එවිට හෙළිවනු නොඅනුමානය.
ඉදිරි දිනකදී නැවතත් වෛද්‍ය සමීර මහතා කොළඹ - පිටකොටුවේ පිහිටි සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක්කිරීමට නියමිතව තිබිණි.


මේ වෙඩි තැබීමේ රංගනය හා බැඳුණු තවත් යම් යම් කරුණු ඔහුගෙන් ප්‍රශ්නකර හෙළිකර ගත යුතු නිසා මෙසේ නැවතත් ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍ය වී ඇත.


වෛද්‍ය සමීර මහතා සයිටම් ආයතනයේ දරන නිලයෙන් වහා අස්විය යුතු බවට මරණීය තර්ජනය කරමින් එවා තිබූ ලියුම් හා දුරකථන ඇමැතුම්ද මෙම සයිටම් නාඩගමේම එක් කොටසක් බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.


පොලිසිය පවසන ආකාරයට මේවාද එක්තරා සැලැස්මකට අනුව සිදුකළ බොරු පැමිණිලිය.


නූල් බෝලයක්සේ පටලවා සත්‍ය වසං කිරීමට යොදවා තිබූ සියුම් කූඨ උපක්‍රම අනාවරණය කර ගැනීමට හැකිවූයේ මේ සම්බන්ධව පරීක්ෂණ මෙහෙය වූ උසස් පොලිස් නිලධාරීන්ගේ හා පරීක්ෂණ සිදුකළ සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා බව මෙහිලා විශේෂයෙන්ම සටහන් කර තැබිය යුතුය.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය, මග පෙන්වීම් යටතේ මුලසිටම මෙම පරීක්ෂණ කටයුතු සිදුවිය.
වෛද්‍ය සමීර මහතා ඔහු දැරූ තනතුරින් තාවකාලිකව ඉවත් කළ බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර ක්‍රියාමාර්ග ගන්නා බවද වෛද්‍ය ප්‍රනාන්දු මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර ඇත.


මීට අමතරව තනතුරුවලින් ඉල්ලා අස්වීම සඳහා වෛද්‍ය සේනාරත්න මහතා විසින් ලිපියක් ලබාදී තිබෙන බවද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන්කර තිබේ.



අදහස් (0)

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීමේ ව්‍යාජ රංගනයේ කතාන්දරය

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 182 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 43 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 74 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 26 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site