IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ඥ‌ානසාර හිමිගේ හෙළිදරව්ව

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙන් කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසූහ. 


ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරක් වන තබ්ලික් ජමාත් මතවාදය, වහාබ් වාදය, සලෆි මතවාදය සහ ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙසින් මෙරට තුළ පවතින බවද ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළහ. 


අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු), අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ගැනීම සිදුවිණි. 


එහිදී සාක්ෂි දුන් බොදුබළ සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ. 


අන්තවාදී ඉස්ලාම් මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරින් එකක් වන එනම් දරුණුතම මතවාදය වන ජමාතේ ඉස්ලාම් හෙවත් “ඉහ්වාන්” මුස්ලිම් මතවාදය හරහා පාස්කු ප්‍රහාරයේ සහ්රාන් හෂීම් වැන්නන් බිහිවීම ආරම්භය මෙන්ම සන්නද්ධ වීම දක්වා දුරදිග ගියා. “දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕනැ. ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය” යන්න ඔවුන්ගේ මතය වෙයි. ජාත්‍යන්තර වශයෙන් අයි එස් අයි එස් මෙන්ම අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන අනුගමනය කරන මතයට සමාන මතයක් වන මෙම ජමාතේ ඉස්ලාම් හෙවත් “ඉහ්වාන්” මුස්ලිම් මතවාදය මෙරට උලමා සභාවේ නායකයන් පවා අනුගමනය කරනවා. “වහාබ් වාදය” අන්තර්ගතව ඇති “කිතාබුත් තවුහිද්” ග්‍රන්ථය මේ වන විට දකුණු ආසියාතික, යුරෝපීය හා රුසියාව ඇතුළු රටවල් විස්සක් පමණ තහනම් කර තිබෙන ග්‍රන්ථයක්. එම ග්‍රන්ථය මේ වන විට මෙරට අලෙවි කෙරෙනවා. එසේම, තවත් ග්‍රන්ථයක් වන “තක් වියත් උල් ඊමාත්” නමැති ග්‍රන්ථයේ ද අන්තවාදී ඉගැන්වීම් ඇතුළත්ව තිබෙනවා. එම ග්‍රන්ථය ද මෙරට ග්‍රෑන්ඩ් මර්කස් පල්ලිවල අලෙවි කරනවා. 

 

කොමිසම : ඔබ වහන්සේ සඳහන් කළ ප්‍රධාන මතය දරන්නන් අතුරින් “ඉහ්වාන් මුස්ලිම්වරු” යනු කවුරුන්ද? 

 


ඤානසාර හිමි : ඊජිප්තුවේ “යුසූෆ් අල් කර්දාරී” නම් දැඩි අන්තවාදී මතධාරී නායකයකු කේන්ද්‍ර කොට ගනිමින් තමයි මෙය ක්‍රියාත්මක වන්නේ. මෙම ඉස්ලාම් අන්තවාදී මතය දරන්නන් පිරිසක් විසින් බේරුවල පිහිටි “ජාමියා නලීමියා” නම් ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ද පිහිටුවා ගෙන තිබෙනවා. මෙම “යූසූෆ් අල් කර්දාරී” නම් අන්තවාදී මත දරන නායකයා ඉකුත් 2013 වර්ෂයේ අප්‍රේල් මස 28 වැනි දින මෙරටට පැමිණ මෙරට පුද්ගලයන් තිදෙනෙකු හමුවී තිබෙනවා. (සාක්ෂිකාර හිමියෝ ඡායාරූපයක් කොමිසම වෙත ඉදිරිපත් කළහ) හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මස්සිනා වන මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී නයිමුල්ලා, දැනට කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ඉනාමුල්ලා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එස්.එම්. අමීන් හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් මේ. මෙම “යූසුෆ් අල් කර්දාරී” නම් නායකයා මේ පුද්ගලයන් තිදෙනා හමුවීමෙන් පසු ඉනාමුල්ලා නමැත්තා විසින් අරාබි රටවල ක්‍රියාත්මක වන රජුට උපදෙස් ලබාදෙන සංවිධානයක් වූ “ශූරා සභාව” නම් සංවිධානයක් මෙරට තුළ ආරම්භ කර තිබුණා. එය පිහිටුවීමෙන් පසු මොවුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. (මෙහිදී සාක්ෂිකාර ඤාණසාර හිමියෝ සාක්ෂියට අදාළ තවත් ඡායාරූපයක් කොමිසම වෙත ඉදිරිපත් කරති.


“යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ” යන සංවිධානය විසින් 2015 වර්ෂයේදී යහපාලනය ස්ථාපිත කිරීමට බොහෝ සෙයින් උදව් උපකාර කරමින් කටයුතු කළා. ඉකුත් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉක්මනින් මඟ පෑදුනේ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය නිසයි. 
කොමිසම: මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් ඔබ වහන්සේට මුල් වරට තොරතුරු ලැබුණේ කුමන කාලයක සිටද? 


ඤාණසාර හිමි: ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස එක්තරා දිනෙක තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බළ සේනා කාර්යාලයට මුස්ලිම් තරුණ කණ්ඩායම් හතරක් පැමිණියා. ඔවුන් මා හමුවී කිව්වේ, ‘‘හාමුදුරුවනේ වැඩි කාලයක් යන්න කලින් රටේ ප්‍රශ්න ඇතිවෙනවා මේ වහාබ් වාදය නිසා. මේ ගැන අපිට කතා කරන්න බැහැ. අපේ හත් අට දෙනෙක් මේ වෙද්දි මරා දමා තිබෙනවා. ඒ වගේම අතුරුදන් වෙලත් තිබෙනවා’’ කියලයි. 

 


කොමිසම: ඔබ වහන්සේ හමුවට පැමිණි ඒ පුද්ගලයන් ගේ නම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවාද? 


ඤාණසාර හිමි : මේ වන විට එම තැනැත්තන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවෙලා තිබෙනවා. (මෙහිදී සාක්ෂිකාර හිමියෝ අදාළ නම් කොමිසම වෙත රහසිතව ලබා දුන්හ.) අපේ රටේ ඉස්ලාමීය පෙළපොත් වල එනම් 9 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ඉස්ලාම් පොත්වල ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරි” කියන දරුණු අන්තවාදී නායකයා සම්බන්ධයෙන් වන ඉගැන්වීම් ඇතුළත් කර තිබෙනවා. 13 ශ්‍රේණියේ ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශ පොතෙහි 43, 63, 109 සහ 123 වැනි පිටුවල එය අන්තර්ගතව තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටත් අවස්ථා ගණනාවකදී ලිඛිතව මෙම අන්තවාදී ක්‍රියා පිළිබඳව දැනුම් දුන්නා. 


හිටපු පොලිස්පතිවරයාට අවස්ථා හතරකදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අවස්ථා පහකදීත් මේ බව දැනුම් දුන්නා. ඉකුත් 2012 වර්ෂයේ සිට පාස්කු ප්‍රහාරය දක්වාම කිසිදු රජයක් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඉගැන්වීම් පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු කළේ නැහැ. නමුත් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාටද මම මේ බව දැනුම් දුන්නා. එතුමා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳව විමසීමක් කළා. 


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙයෙවීමෙන් සහ තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදුකරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වෙනවා. එවැනි පාසල් 30කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ස්ථාපිතයි. එම පාසලක නමක් සඳහන් ප්‍රකාශයක් කළොත් ඊට පසුදිනම එම පාසලේ නම වෙනස් කිරීමක් සිදුකරනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයේවත් එවැනි නමක් සොයා ගන්න බැහැ ඊට පස්සේ. 


කොමිසම: ඔබ වහන්සේ එවැන්නක් ප්‍රකාශ කරන්න තිබෙන පදනම කුමක්ද? 


ඤාණසාර හිමි: ඒ හැම පාසලකම ප්‍රධානීන් විදිහට කටයුතු කරන්නේ ඉහ්වාන් මුස්ලිම් මත සහ ජමාතේ ඉස්ලාම් මත දරන අය. ඒ වගේම වහාබ් වාදය සහ සලෆි වාදය මෙම පාසල්වලට මූලික තැන ලබා දෙන්නේ. මෙම පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශවල. අයි එස් අයි එස් ක්‍රියාකාරිකයකු ලෙසින් ශ්‍රී ලංකාවේදී හඳුනාගත් ගලේවෙල පුද්ගලයා ද එම ප්‍රදේශයේ අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙක්. 


කොමිසම: මෙරට තුළ ෂරියා විශ්වවිද්‍යාල ඇති බවට ඔබ වහන්සේට තොරතුරු ලැබී තිබේද? 


ඤාණසාර හිමි: මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයකුගේ නමින් හෝ ආගමික නායකයකුගේ නමින් නම් කර නැහැ. එවැනි පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ”මලික් අබ්දුල්ලා” යන සෞදි අරාබි රජකුගේ නමින් මෙරට තුළ විශ්වවිද්‍යාලයක් ඉදිකළා. එහි ෂරියා නීතිය උගන්වන්නේ නැහැ කියලා ඒ අය කිව්වත්, ෂරියා නීතිය ඉගැන්වීම සඳහා එහි වෙනම පීඨයක් ස්ථාපිත කරලා තිබුණා. එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත් ඒක නවත්වන්න බැරිවුණා. ඒත් මේ විරෝධතා නිසා ‘මලික් අබ්දුල්ලා’ යන නම ගලවා දැමීමට හැකිවුණා. මේ වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතිනවා. ඒ වගේම අබ්දුල් රාසික් නමැති පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බිකාස් නමැති අධ්‍යාපන ආයතනය තුළ ද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදුකරනවා. එසේම, විදේශයන්හි සිට අන්තවාදීන් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරීම සඳහා මෙරට තුළ තවමත් නිසි ක්‍රමවේදයක් නැහැ. 


අයි එස් ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශය බාරව සිටි පුද්ගලයා බවත් ඔහු තරුණයන් අයි එස් සංවිධානයට බඳවා ගැනීම සඳහා මෙරට කඳවුරු ගණනාවක් පවත්වා ඇති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සාක්ෂි ලබාදෙමින් පැවසූහ. 


ලෝක මුස්ලිම් තරුණ සංවිධානය (WAMY) හෙවත් වාමි සංවිධානයේ සභාපති සුඩාන ජාතික ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා විකිලීස් වෙබ් අඩවියට අනුව ලෝක ත්‍රස්තවාදියකු බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය සාක්ෂිය දෙවැනිවරට කොමිසම හමුවේ ලබාදෙමින් ඊයේ (15) පැවසූහ. 


මෙම (WAMY) වාමි සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ අංක 658/3/1/1 මහවිල උද්‍යානය කොළඹ 09 නැමැති ස්ථානයේ බවත්, එය 1997 නොවැම්බර් 12 වැනිදා අංක AN43 යටතේ ලියාපදිංචි කර ඇති බවත් ඥාණසාර හිමියෝ සිය සාක්ෂියෙන් සඳහන් කළහ. 
වාමි සංවිධානයේ මෙරට ශාඛාවේ අධ්‍යාපන අංශය බාරව කටයුතු කළ ඉෂාක් නැමැත්තා, අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සිටියදී සිරියාවේදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා වන නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයා වන බවද ඥානසාර හිමියෝ සිය සාක්ෂියෙන් පැවසූහ. 


මෙහිදී වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දුන් ඥානසාර හිමියන් මෙසේ පැවසූහ. 


තබ්ලික් ජමාද් සංවිධානය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර මූලාරම්භය ඇතිවුණේ ඉන්දියාවේ. තබ්ලික් කියන්නේ ඉස්ලාමය පතුරවා හැරීමයි. ගෙයින් ගෙට ගිහිල්ලා ඉස්ලාමයට කැඳවීම තමයි ඒ අයගේ අරමුණ. මේක ලංකාවේ විශාල ප්‍රදේශවල පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මහනුවර තිබුණා සුෆී ධර්මය ඇදහූ පල්ලිය අද තබ්ලික් අය පාවිච්චි කරනවා. ජමෙයිතුල් උලමා සංවිධානයේ බාගෙට බාගයක් තබ්ලික් ජමාද් අය. බොහොම අහිංසක විදිහට ලංකාව තුළ ආගම අදහන අය රැඩිකල් කරන්නේ මේ තබ්ලික් ජමාද් අයයි. තබ්ලික් ජමාද් එකේ මෙරට නායකයා වගේ ඉන්නේ රිස්ෆි මුක්ති නමැත්තායි. රටේ මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා කියලා දොරටු විවර වුණේම රිස්ෆි මුක්තිගේ ඇතැම් ක්‍රියා නිසා. එයා හලාල් ක්‍රමය ඇතිකිරීම නිසා තමයි සමාජ බෙදුම්වාදය ඇතිවුණේ. එයා මේ මතවාදය ඇති කළා විතරක් නොවෙයි සාමකාමී මුස්ලිම් සමාජය බෙදුම්වාදයට පත්කිරීමට ඔහු පළමු පියවර තැබුවා. 


රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය - උලමා සභාවේ තබ්ලික් ජමාද් නියෝජනය වෙන්නේ කොහොමද? 


ඥාණසාර හිමි : උලමා සංවිධානයේ සාමාජිකයන් වශයෙන් 40 ක් විතර ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. මුලින්ම අපිත් එක්ක සාකච්ඡාවට ආ පිරිස කිව්වේ මහසම්ප්‍රදායට අනුව හිටපු සුෆී මුස්ලිම් අයට කිසිම ඉඩක් නෑ එහි කියලා. 


ඊටත් උඩින් තමයි සුෆී සභා පිහිටුවාගත්තේ. මේ උලමාවරුන්ගේ ආගමනය වුණේ 1980 අගභාගයේදී. සවුදි තානාපති කාර්යාලය බිහි වුණාට පස්සේ වහාබ් සලෆි මතවාද මෙන්ම සල්ලිත් අරගෙන තමයි මේ අය ආවේ. 1990 දවටගහ පල්ලියේ පිටු 4ක ලේඛනයක් තිබ්බා. එය අවුරුදු 80 ක මවුලවිවරයකු ලියපු එකක් ‘‘මම දැන් වයසයි. මට තවත් මැද පෙරදිග එන අය දෙන අන්තවාදී අදහස් දරාගන්න බෑ.’’ කියලා ඔහු ලිපිය ලියලා ගිහින් තියෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරයෝ තව ලේඛනයක් මට බාර දුන්නා. කාත්තංකුඩියේ සොහොනක් සම්බන්ධයෙන් වූ එකක් සාම්ප්‍රදායික සුෆි මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට වර්තමාන උලමා සභාව ඉඩදීලා නැහැ කියලා ඒ ලිපියේ සඳහන් වෙනවා. 


තබ්ලික් ජමාද් මතවාදය ආරම්භ වුණේ ඉන්දියාවේ එහි නිර්මාතෘ වන්නේ ඉල්ලියාස් කියලා කෙනෙක්. එය ලෝකේ පුරා විහිදුවා ඇත්තේ “තලෙයිබාන්’’ කියන සංවිධානය. මේ “තලෙයිබාන්” අය බාමියන් බුදු පිළිම පවා විනාශ කළා. මේ සංවිධානයේ මෙරට ශාඛාව “මර්කස්” නමින් කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්වල පිහිටුවා තිබෙනවා. “නීඩා”, “සම් සම් ෆවුන්ඬේෂන්” ආදි සංවිධාන තමයි මේ අයගේ යටතේ තියෙන්නේ. මේ ඔක්කෝම ඉන්නේ එකම වැඩපිළිවෙළක. 


රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය - අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමට හරවා ගන්නේ කොහොමද? 


ඥානසාර හිමි : ඔව්. මුස්ලිම් වර්ලීගයේත් ඒක සඳහන් වෙනවා. මේකට කියන්නේ “දව” කිරීම කියලයි. පබ්ලික් ජමාද් අය තමයි මේ දේ කරන්නේ. ගස්තු ආගමික ප්‍රචාරය තමයි මොවුන් කරන්නේ. ගෙයින් ගෙට ගිහින් ආරාධනා කිරීම. 


මුස්ලිම් ආගමට හරවා ගත් 8000ක පිරිසක් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය වසර 05ක කාලය තුළ තමයි මේ ආකාරයට නම් වෙනස් කරපු අය ගැන අපට තොරතුරු අනාවරණය වුණේ. නම් වෙනස් කළාම ඒවා පත්තරවල පළ කරන්න ඕනැනේ. අපි ඒක දැක්කේ පත්තරවලින්. සිංහල පත්තරවල නම් වෙනස් කිරීමේ ඒවා දාපු එකට අපි දැඩි ලෙස විරුද්ධ වුණා. ඊට පස්සේ මේ අය එම දැන්වීම් දෙමළ පත්තරවල දාන්න පටන් ගත්තා. 
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රචනා කළ “අල්ජිහාඩ් අල්කයිඩා ග්‍රන්ථය” වගේම “අඩසඳ කළුවර” කියන ග්‍රන්ථයෙනුත් මේ අන්‍යාගමිකරණය හඳුනා ගන්න පුළුවන්. මැද පෙරදිග සේවයට ගිය බොහෝ පිරිසක් අපට කතා කරලා තියෙනවා. යම් අවස්ථාවකදී වරදක් කරලා අහුවුණොත් ඒ කියන්නේ සුළු වැරැදි විශේෂයෙන්ම වෙසක් කාඩ් එකක් ළඟ තබා ගත්තත් ඒ රටවල හැටියට වරදක් නේ. එහි පොලිසිය වගේ ඉන්න “මුල්ලවර” අපේ මිනිසුන්ට කියන්නේ “උඹලාට මේකෙන් බේරෙන්න ඕනෑ නම් ඉස්ලාමික් වෙයල්ලා” කියලා. ඉතින් අපේ මිනිස්සු බහුතරය මේකට යටවෙලා. තබ්ලික් ජමාද් මතවාදය කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් අයට විරුද්ධ අයයි. සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් බුදුපිළිම කැඩුවේ නැහැ. ප්‍රශ්න ආවත් සාකච්ඡා කරලා ඒවා විසඳාගත්තා. සලෆි, තබ්ලික් ජමාද්, තවුහිද් ජමාද් යන අය පිළිම වන්දනා කරන්නේ නෑ. “සුෆී” මුස්ලිම් මිනිස්සු ඒක කළා.“දර්ගා කියන්නේ සොහොන්. සුෆී මුස්ලිම් අය ඒක ඇදහුවා. බේරුවල වැලිගම සහිරා විද්‍යාලයේ විශාරද ආචාර්ය එම්.ආර්. මොහොමඩ් කියන අධ්‍යාපනවේදියා අපට ලියුමක් එවනවා. වර්ෂය 2020 පෙබරවාරි 7 දි. ඔහු එහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. “සාහිඩ් සුහයි නමැත්තා පාසලට ගෙන්වලා වහාබ් වාදය’ ව්‍යාප්ත කිරීමේ දේශනා පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු‍ ආයතනවලට රාජ්‍ය ආයතනවලට ආදිය දැනුම්දීලාත් තියෙනවා. 


‘‘වාසිල් මුන්සිල්’’ යන අන්තවාදී අදහස් තියෙන දෙන්නාට පාසල තුළ නිදහසේ හැසිරෙන්න දීලා කියලත් ඒ ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙනවා. මුස්ලිම්වරයකු හඳුනා ගන්නේ කොහොමද? යුද සමයේ අපි දැක්කේ නෑ මුස්ලිම් කාන්තාවෝ මුළු ඇඟම වහන ඇඳුම් බුර්කාව වැනි ඒවා අඳිනවා. බහුතරය පිරිමි රැවුල වැවුවා දිගට මේක තමයි “වහාබ්’’ ක්‍රමය. මේ පුංචි රට රැක ගන්න නම් අපි මේ පිළිබඳව වෙනමම කොමිසමක් පත් කරන්න ඕනෑ. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු භාවනා කරනවා. සොහොන්වලට යනවා. ඒත් අපි කතා කරන මේ සංවිධානවලට අදාළ අයගේ මතය ඒක නෙමෙයි. මේක ලබාගන්න සටන් කරන්න. එතකොට තමයි කන්‍යාවියෝ ලබන්න පුළුවන්. මේ ඔවුන්ගේ මතය. 


යුද ජයග්‍රහණයෙන් පස්සේ යුද අපරාධ සම්බන්ධයෙන් අපට සහායට හිටියේ තබ්ලික් නිකාය පාලනය කරනු ලබන මැදපෙරදිග රටවල් මෙරට එක්කරා නායකයෙක් උලමා සභාවට දැනුම් දෙනවා. අපට ආගමික සහායක් ඕනෑ කියලා අන්න හොඳ අවස්ථාවක් කරගත්තා දේශපාලන හයිය යටතේ මේකට එන්න. ගලේවෙල, කලාවැව, ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලි අපි දැකලා තියෙනවා. මේ ඔක්කෝම එකතු කරගන්න එක තමයි තබ්ලික් ජමාද් කළේ. 
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ - ඔබ වහන්සේ සඳහන් කළ මෙරට දේශපාලන නායකත්වය කවුරුන්ද? 


ඥානසාර හිමි : ඔහු තමයි විල්පත්තුව කැපුවේ නම හෙළි කරන්න බෑ. 
ඕනෑනම් මම නම ලියලා දෙන්නම්. නැතිනම් මට ආයෙත් හිරේ යන්න වෙයි. 
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය - මුස්ලිම් පල්ලි තුළ මේ මතවාදය ප්‍රචාරය කරන යම් යම් වැඩසටහන් ගැන ඔබ වහන්සේ දැනගෙන හිටියාද? 


ඥනසාර හිමි : දුප්පත් අයට උදව් උපකාර කිරීම, ලේ දන්දීම් ආදී සමාජ සේවා වැඩසටහන් මගින් මොවුන් තබ්ලික් ජමාත් මතවාදය ක්‍රියාත්මක කිරීමට පල්ලි හරහා පියවරගෙන තිබෙනවා. 


කිංස්බරි හෝටලයට බෝම්බ තිබ්බෙත් ඒ වගේ කෙනෙක්. මේ අය සෑම බ්‍රහස්පතින්දාවකම “මර්කස්’’ කියන දේශන පවත්වනවා. (ලේ දන්දීමේ ක්‍රියාවෙහි යෙදෙන ඡායාරූපයක් කොමිසමට ඉදිරිපත් කරයි. 


කාත්තංකුඩි ප්‍රදේශයේ ලේ දන්දීමේ ව්‍යාපාරයක ඡායාරූප 2016 වර්ෂයේ ගත්ත එකක්. එහි සිටින්නේ ‘‘සහ්රාන්” හලාල් සිද්ධිය වෙලාවේ “ලේ දන්දීමේ” ක්‍රියාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අය කිව්වා අපි ලේ දෙන්නේ නැහැ කියලා. කොහොම හරි එතැනදී මම අල්ටකියාව කියන වචනය කිව්වා කියලා මට නඩු දැම්මා. අල්ටකියාව කියන්නේ රැවටීම, බොරුකීම, වැනි දේවල්. ඔවුන් සාමන්‍යයෙන් ලේ දන් දෙන්නේ නෑ. අපි ප්‍රශ්න කළාට පස්සේ ඔවුන් “ලේ දන් දෙන්න” ගත්තා. එයාලා ලේ දෙන්නේ නෑනේ. 


අපි හලාල් සිද්ධිය කාලේ දී මේක ප්‍රශ්න කරද්දි තමයි මේ සහ්රාන් ‘ලේ දෙන්න’ ගත්තේ. ඔවුන් ඒකෙන් අදහස් කළේ ‘‘අන්තවාදී’’ කියන මතය අතුගා දමා සාමාන්‍ය ජනතාව අතරට යෑමට තමයි මේ සමාජ ක්‍රියාකාරකම් කළේ. 


රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා - තවුහිද් ජමාද් මතවාදය සම්බන්ධ වන්නේ තුමන මතවාදයට ද? 
ඥානසාර හිමි : තවුහිද් ජමාද් හි නිර්මාතෘ “අබ්දුල් වහාබ්” ඒක සවුදියේ නිර්මාණය වුණේ. එයින් නිර්මාණය වූ ත්‍රස්ත සංවිධානය ‘‘අල් කයිඩා” අල්ලා මුළු මහත් සමාජයේම මුලින් සිටිය යුතුයි. 


අල්ලා හැර අන් කිසිවකු නැමදුම් නොලැබිය යුතුය. මේ තවුහිද් ජමාද් කියන එකේ තේරුමයි. 
ලංකාවේ තවුහිද් ජමාද් සංවිධානය කොච්චර රැඩිකල්ද කියලා කියනවා නම් මේ අය නබී තුමාටවත් ගෞරව කරන්නේ නෑ. එකම දෙවි අල්ලාහ් පමණයි. මේ තමයි තවුහිද් ජමාද් කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ‘‘ඒක දේව වාදය’’ යනු තවුහිද් ජමාද් තේමාවයි. 


මේ අන්තවාදයට එරෙහිවන අයට කරන්නේ දින තුනක් දීලා ඔහුට පාපොච්ඡාරණය කරන්න කියනවා. නැවත ආගමට ආවේ නැත්තම් “ඔහු මරා දැමිය’’ යුතුයි. මෙහෙම කියලා තියෙන්නේ උසස් පෙළ (අ.පො.ස) සැමට ඉස්ලාම් කියන ග්‍රන්ථයේ, තවුහිද් හඳුන්වා තියෙන්නේ එහෙමයි. (මවුලවියා එම් සුහාරා යන අය ලියා තිබෙන එම ග්‍රන්ථය කොමිසම වෙත ඉදිරිපත් කරයි). 
“හදීස්” හදාරා යහගුණ ඇත්තෝ වෙමු කියලා ඉස්ලාම් ධර්මය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ 2011 පෙළපොත 7 ශ්‍රේණියේ පොතේ තියෙනවා. හදීස් කියන්නේ ගහපන්, මරපන්, කොටපන්, පිළිම විනාශ කරපන් කියලා, එතකොට කොහොමද “හදීස්” හදාරා යහගුණ ඇත්තෝ වෙන්නේ? 2016 නොවැම්බර් 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ සාකච්ඡාවක් දාලා තියෙනවා. එ්කේදී කියනවා ශාඛා 90 ක් ඉන්නවා. ලියාපදිංචි අය දහදාහක් ලියාපදිංචි නොවන සාමාජිකයන් 50,000 ක් විතර ඉන්නවා කියලා කියනවා. ඔහු තමයි ප්‍රසිද්ධියේ එහෙම ප්‍රකාශ කළේ. ඔහු තමයි සහ්රාන් එක්ක කාත්තංකුඩියට ගිහින් තවුහිද් ජමාත් පිහිටෙව්වේ. අදටත් මේ අබ්දුල් රාසික් නිදැල්ලේ ඉන්නවා. 


පුලස්තති මහේන්ද්‍රන් එයා “මොහොමදු හස්තුන් සාරා” නමින් ආගමට ගත්තා. එයාගේ අම්මා පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා පොලිසිවලට. කටුවාපිටිය මරාගෙන මැරුණු හස්තූන් එක්ක “සාරා” විවාහ කරලා දුන්නේ අබ්දුල් රසික් කියන තැනැත්තා. 


“මුස්ලිම් විවාහ නීතිය” සංශෝධනය කළා. ඒකට මේ අය විතරක් විරුද්ධ වුණා. රට පුරා උද්ඝෝෂණ තිබ්බා. අඩු වයස් ගැහැනු දරුවන් විවාහ කර ගැනීමේ නීතිය විශේෂයෙන්ම විශ්ව දේව නීතිය ප්‍රචලිත කිරීමෙන්ම අයිතිය ඉල්ලමින්. (ශ්‍රී ලංකා තවුහිද් ජමාද් කියන ටීෂර්ට් හැඳි මාලිගාවත්ත ප්‍රදේශයේදී 2016 වර්ෂයේ පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳ වීඩියෝවක් කොමිසම හමුවේ ඉදිරිපත් කරයි.) 


ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් තමයි මේ වීඩියෝවේ ඉන්නේ. දැන් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ඔවුන් කියන්නෙ පවතින නීති වැඩක් නෑ. අවුරුදු හතකින් හරි ගැහැනු දරුවෙක් මල්වර වුණාද එයා විවාහයට සුදුසුයි කියලා. ඒ අය ඉල්ලන්නේ “ශරියා නීතිය” යැයි උන්වහන්සේ පැවසූහ.

 

සටහන : නිමන්ති රණසිංහ



අදහස් (0)

මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ඥ‌ානසාර හිමිගේ හෙළිදරව්ව

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 146 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 40 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 64 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site