IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


​ගොළු දරුවා කතාකරවූ විස්මිත සැත්කම

 

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් 60/1 පනික්ක මාවතේ පදිංචි සින්නතම්බි අන්සාර්ට සහ ඔහුගේ බිරිඳ වන පාතිමා තිරුදියාට උපන් පළවෙනි දරුවා අන්සාර් පර්විස් විය. තම පළවෙනි දරුවා පුතෙකු වීම පිළිබඳව ඔවුන් දෙදෙනාට තිබුණේ ඉමහත් සතුටකි. තම දරුවා ටිකෙන් ටික ලොකු මහත් වෙන්නට විය. නමුත් දරුවාගේ යම් වෙනසක් ඇති බව දරුවා ලොකු වෙන්නට පටන්ගද්දී මෙම දෙමව්පියන්ට වැටහෙන්නට පටන් ගත්තේය. එසේ තේරුම් ගියේ දරුවා බහ තෝරන වියේ සිටම ඔහුගේ මුවින් වචන පිට නොවීමයි.  


පසුව මෙම දෙපල තම දරුවා වෛද්‍යවරුන් වෙත පෙන්වූහ. වෛද්‍යවරුන් විසින් කරන ලද පරීක්ෂණවලදී මෙම දරුවාට කතා කිරීමට නොහැකි බව තහවුරු කර ගැනීමට හැකිවිය. මෙම කරුණ දැනගත් පසු සින්න තම්බි අන්සාර් සහ ඔහුගේ බිරිඳ පාතිමා දැඩි කම්පනයකට පත්වූහ. පසුව ඔවුන් දෙදෙනා මෙම දරුවා හොඳ කිරීමට විවිධ උත්සාහයන් ගත්තද ඒ කිසිවකින් යහපත් ප්‍රතිඵලයක් ගැනීමට නොහැකි විය.  


ලංකාවේ විවිධ පළාත්වල වෛද්‍යවරුන්ට දරුවා පෙන්වුවත් නියම ප්‍රතිකාරයක් ගැනීමට නොහැකි විය. දරුවා කථා කිරීමට නම් ශල්‍යකර්මයක් කළ යුතු අතර එය විදේශ රටකදී කළ යුතු අතර එයට විශාල මුදලක් වැයවෙන බව වෛද්‍යවරුන් පවසා තිබේ.   


අයිස් ක්‍රීම් නිෂ්පාදනය කිරීමෙන් ජීවත්වෙන සින්න තම්බි අන්සාර්ට මෙම අභියෝගය සිහිනයක් විය. ඔහුට මෙම දුක කියන්නට සිටියේ අල්ලා දෙවියන්ම පමණකි. පල්ලියට යන සෑම මොහොතකම තම දරුවා සිහිපත් කර දේව මෙහෙය කිරීම දිනපතා ඔහුගේ සිරිත විය.   
සින්න තම්බි අන්සාර්ගේ දරුවා ගේ රෝගී තත්ත්වය පිළිබඳව එරාවුර් ගම්මානයේ ජනතාව අතර ප්‍රචාරය වෙන්නට විය. මෙම ගම්මානයේ හදිසි මරණ පරීක්ෂක වන මීරා සයිබු මොහොමඩ් නසීර් මහතාට ද මෙම දරුවා සිටින තත්ත්වය දැන ගැනීමට හැකිවිය. පසුව ඔහු සින්න තම්බි අන්සාර් ගේ නිවසට පැමිණ මෙම දරුවා ගැන සොයා බැලීය.  


පසුව ඔහු මැදිහත්ව කොළඹ ලංකා හොස්පිට්ල් ආයතනය වෙත මෙම දරුවා රැගෙන ගොස් විශේෂඥ වෛද්‍ය දේවානන්ද මහතාට පෙන්වනු ලැබීය. මෙම දරුවා පරීක්ෂා කරන ලද උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවානන්ද මහතා පවසා ඇත්තේ මෙම දරුවා සුව කිරීමට නම් ශල්‍යකර්මයක් කර අතිවිශේෂිත වූ ශ්‍රවණ උපකරණයක් ඔහුගේ කනේ තැන්පත් කළ යුතු අතර ඒ සඳහා ලක්ෂ හතළිහක මුදලක් වැයවෙන බවය.  


මීරා සයිබු මොහොමඩ් නසීර් මහතා හදිසි මරණ පරීක්ෂක තනතුර දරන අතරම විවිධ කරදරවලට පත් ජනතාව වෙනුවෙන් උදව් කරන පුද්ගලයෙකි. ඔහු සින්න තම්බි අන්සාර් ගේ නිවසට පැමිණ මෙම දරුවාට ශල්‍යකර්මයක් කිරීමට වැයවෙන රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදල එකතු කිරීමට තීරණය කළේය.  


පසුව මේ පිළිබඳව දැන්වීමක් සකස් කර තමන්ගේ මුහුණු පොතේ ප්‍රදර්ශනය කළේය. මීරා සයිබු මොහොමඩ් නසීර් මහතාගේ සහ සින්න තම්බි අන්සාර්ගේ නමින් බැංකු ගිණුමක්ද විවෘත කර එම ගිණුම් අංකය ද එහි පළ කරනු ලැබීය.  


මෙම ගිණුමට තම දරුවා වෙනුවෙන් මුදල් දැමීම ආරම්භ කළේ ළමයාගේ පියා වන සින්න තම්බි අන්සාර්ය. අන්සාර් තමන් සතුව තිබූ කුබෝටා ට්‍රැක්ටරයක් විකුණා රුපියල් ලක්ෂ හයක මුදලක් ගිණුමේ තැන්පත් කළේය. පසුව මුහුණු පොතේ පණිවිඩය දැක පරිත්‍යාගශීලින්ද මුදල් තැන්පත්කර තිබූ අතර ලක්ෂ දහය දක්වා මුදල් එකතු විය. තවත් ලක්ෂ තිහක් පමණ එකතු කර ගැනීම ඔවුන්ගේ ඉලක්කය විය.  


මේ අතර මඩකළපුව මහ රෝහලේ සිටින උගුර, කන, නාසය, පිළිබඳ වෛද්‍යවරයෙක් පිළිබඳව මීරා සයිබු මොහොමඩ් නසීර් මහතාට දැන ගැනීමට හැකිවිය. ඒ අනුව මීරා සයිබු මොහොමඩ් නසීර් මහතා සහ සින්න තම්බි අන්සාර් මෙම දරුවාද රැගෙන මඩකළපුව මහ රෝහලට ගොස් දරුවා උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතාට පෙන්වීය. පසුව වෛද්‍යවරයා මෙම දරුවාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කර මාස කිහිපයක් මූලික පරීක්ෂණ කරනු ලැබීය. මෙම දරුවාට ශ්‍රවණ උපකරණ තැන්පත් කිරීමෙන් පසුව කථා කිරීමේ හැකියාව ලබාගත හැකි බව උගුර, කන, නාසය, පිළිබඳ විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතා දරුවාගේ පියා වන සින්න තම්බි අන්සාර් මහතාට දැන්වීය.  

 


ඒ අනුව මෙම ශ්‍රවණ උපකරණය ඕස්​ට්‍රේලියාවේ සිට ගෙන්වීමට මඩකළපුව මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉබ්‍රාහීම් ලෙබ්බේ මහතාට විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතා විසින් දැනුම් දී ඇත. පසුව වෛද්‍ය අධ්‍යක්ෂවරයා මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන්වීමෙන් පසුව ලක්ෂ 35ක මුදලක් වියදම් කර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම උපකරණය මඩකළපුව මහ රෝහල වෙත එවා තිබේ.  


ජුලි මස තුන්වැනි දින සින්න තම්බි අන්සාර්ට සහ ඔහුගේ බිරිඳ වන පාතිමා තිරුදියාට සුවිශේෂ දිනයක් විය. එදින තම දරුවාගේ ශල්‍යකර්මය කිරීමට දරුවා රෝහල් ගත කරන ලෙසට විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතා විසින් දැනුම් දුන් අතර, එදිනම අන්සාර් පර්විස් දරුවා මඩකළපුව මහ රෝහලේ උගුර, කන, නාසය, පිළිබඳ වාට්ටුවට ඇතුළු කරනු ලැබීය. ජුලි මස පස් වැනි දින විශේෂඥ වෛද්‍ය වඩිවේල් ජීවදාසන් මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් අන්සාර් පර්විස් දරුවා ශල්‍යකර්මයට භාජනය කරනු ලැබීය. පැය හතරක ශල්‍යකර්මයෙන් අනතුරුව කන තුළ තැන්පත් කරන ලද උපකරණය ක්‍රියාත්මක වෙන බවට ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්ෂණයේදී තහවුරු විය.  


සින්න තම්බි අන්සාර්ට සහ ඔහුගේ බිරිඳ වන පාතිමා තිරුදියාට එදින නිදි නැති රැයක් විය. තම පළමු පුතුට තව මාස කිහිපයකින් කතා කිරීමට හැකි බව වෛද්‍යවරයා පැවැසීමෙන් පසුව ඔවුන් සිටින්නේ දැඩි සතුටින්ය.  


සින්න තම්බි අන්සාර් තම පුතාගේ තත්ත්වය ගැන අදහස් දක්වමින්,  
“අපි අවුරුදු ගාණක් අපේ දරුවා වෙනුවෙන් දුක් වින්දා. අපි කවදාවත් හිතුවේ නැහැ අපේ දරුවා කථා කරන තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ වෙනකොට අපේ දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වෙලා තියෙනවා කියලා වෛද්‍යවරයා අපිට කිව්වා. මම මගේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ දරුවා වෙනුවෙන් මුලින්ම කැප වුණ හදිසි මරණ පරීක්ෂක වන මීරා සයිබු මොහොමඩ් නසීර් මහතාට විශේෂ ස්තුතියක් කරන්න කැමැතියි. එයා තමයි මේ පිළිබඳව ගොඩක් මහන්සිවෙලා කටයුතු කළේ. මඩකළපුව රෝහලේ උගුර, කන, නාසය, පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා අපිට කිව්වෙත් ඒ මහත්තයා. ඒ වගේම උගුර, කන, නාසය විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතාට ඒ සියලු කාර්ය මණ්ඩලයට මඩකළපුව මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉබ්‍රාහීම් ලෙබ්බේ මහතාටත් ස්තුතිවන්ත වෙනවා. අද අපි ඉන්නේ හරිම සතුටින්.  


හදිසි මරණ පරීක්ෂක මීරා සයිබු මොහොමඩ් නසීර් මහතා මෙසේ කීය.  


“මට දැනගන්න ලැබුණා කථා කරන්න බැරි දරුවෙක් ඉන්නවා කියලා. පස්සේ මම ගිහින් බලල අපි කොළඹ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් පෙන්නුවා. ශල්‍යකර්මය කරන්න ලක්ෂ හතළිහක් විතර යනවා කිව්වා. පස්සේ මුහුණු පොත මගින් මුදල් හොයන්න පටන් ගත්තා. අපිට ලක්ෂ දහයක් විතර හම්බ උනා. පස්සේ තමයි මඩකළපුව රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා එයා මේ ශල්‍යකර්මය කරනවා කියලා දැන ගත්තේ. පස්සේ අපි ඒ වෛද්‍යවරයාට පෙන්නුවා. ඊට පස්සේ තමයි මේ සියල්ල සිද්ධ වුණේ. මේ වගේ දක්ෂ වෛද්‍යවරු මේ වගේ ප්‍රදේශයක ඉන්න එක හරිම සතුටක්. අපි එකතු කරපු සල්ලි ළමයාගේ තාත්තා අත් ට්‍රැක්ටරය විකුණලා ලක්ෂ හයක් දුන්න. ඒ මුදල් මම නැවත එයාට දෙනවා. ඉතිරි ලක්ෂ හතර ඒ දරුවාගේ බෙහෙත්වලට වියදම් කරනවා”   
උගුර, කන, නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතා මෙසේ කීය.  


“අපි මඩකළපුව මහ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ අංශය මගින් මෙවැනි ශ්‍රවණ උපකරණ තැන්පත් කිරීම් තුනක් කළා. මේ අපි කළේ හතරවෙනි එක. කලින් කරපු තුනම සාර්ථකයි. මෙම ශල්‍යකර්මයෙන් පසුව අපි පරීක්ෂා කිරීම් කළා. මෙම ශල්‍ය කර්මයත් සාර්ථක වෙලා තියෙනවා. මේ ශල්‍යකර්මය ඉතාම ඉවසීමෙන් කරන්න ඕනැ. කන ඇතුළේ මේ කුඩා උපකරණය තැන්පත් කරන එක ලේසි දෙයක් නෙවෙයි. මේ දරුවාගේ ශල්‍යකර්මය සාර්ථකයි. දැන් අපි මේ දරුවාට කථන පුහුණුවක් ලබාදෙනවා. ඉදිරි කාලයේදි මේ දරුවාට කථා කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මේ ශල්‍යකර්මය කරන්න අවශ්‍ය ශ්‍රවණ උපකරණය ගෙන්න ගන්න මඩකළපුව මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉබ්‍රාහිම් ලෙබ්බේ මහතා විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ උපකරණය නැත්නම් මේ දරුවාගේ ශල්‍යකර්මය කරන්න වෙන්නේ නැහැ. දැනට මඩකළපුව මහ රෝහලේ මෙම සැත්කම් කරන්න අවශ්‍ය පහසුකම් තියෙනවා”  
මඩකළපුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉබ්‍රාහිම් ලෙබ්බේ මහතා මෙසේ කීය.  


“අපේ රෝහලේදී තවත් සාර්ථක ශල්‍යකර්මයක් සිදුකළා. මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහලකින් කළා නම් විශාල මුදලක් වැයවෙනවා. නමුත් මෙම ශල්‍යකර්මය රජයේ වියදමින් කළා. ඒ උපකරණයට ලක්ෂ 35ක් ගියා. මෙම ශල්‍යකර්මය ඉතා ඉවසීමෙන් කළ යුතු දෙයක්. අපේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වඩිවෙල් ජීවදාසන් මහතා දක්ෂ ​ෙවෙද්‍යවරයෙක්. මීට පෙරත් ඔහු මේ වගේ සැත්කම් කරලා තියෙනවා. මඩකළපුව මහ රෝහලේ වසරකට දරු උපත් 6000ක් සිද්ධ වෙනවා. ඒ සෑම දරුවකුගේම විශේෂ පරීක්ෂණයක් කර ඒ අයට ඇති ශ්‍රවණාබාධ හඳුනාගැනීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වෙනවා.  


වසර අටක් කථා කිරීමට නොහැකිව සිටි අන්සාර් පර්විස් දරුවා දැන් කට හරිමින් කථා කරන්නට උත්සහ කරමින් සිටී. අප ඔහුගේ නිවසට ගිය අවස්තාවේද ඔහු අපට යමක් කියන්නට උත්සාහ කළේය. නමුත් ඒ වචන තවම පැහැදිලි නැත. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟම අන්සාර් පර්විස් දරුවාට කතා කිරීමට හැකි වෙමින් තිබේ. මෙවැනි කථන රෝග ඇති දරුවන්ට ශල්‍යකර්ම මගින් එය ලබාදීමට මඩකළපුව මහ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ අංශය නිරන්තරයෙන් සූදානම්ව සිටී.  


මෙම තොරතුරු සොයා යාමේදී මා හට සහය දුන් මාධ්‍යවේදී එස්.ටී. නසාර් මහතාට විශේෂ ස්තුතිය පිරිනමමි.  

 

සටහන - ඡායාරූප අම්පාර 
වසන්ත චන්ද්‍රපාල  

 



අදහස් (0)

​ගොළු දරුවා කතාකරවූ විස්මිත සැත්කම

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 392 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 77 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 165 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site