IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැති සංශෝධනයෙන් පසු එජාපය ඇතුළේ අරගලයක්

එජාපයේ රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් මේ දිනවල දේශපාලන බෝම්බයක් පත්තු කිරීමට උත්සාහ දරමින් සිටිති. පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක යන මේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමඟ පක්ෂය තුළ ආරම්භවූ කතිකාවක් ජන සමාජය ඉදිරියට ගෙන ආ බවක් පෙනෙන්නට තිබේ. එනම් මැතිවරණ පරාජය පිළිගෙන අග්‍රාමාත්‍යවරයා ඉවත්විය යුතු බවය. එසේ නොවන්නේ නම් විශ්වාසභංගයකින් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන බවද මේ දෙපොල කියති.   



පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තුළද අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවිය. පළාත් පාලන ආයතන 340 ක් සඳහා පැවැති ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබුණේ ආයතන 41 ක ජයග්‍රහණයක් පමණි. බලයේ සිටින පක්ෂයක් වශයෙන් මෙය බරපතළ පරාජයක් වශයෙන් සලකනු ලබයි.   


ඉදිරි පළාත් සභා ඡන්දයට හා මහ මැතිවරණයට මේ පරාජය දැඩිව බලපානු ඇතැයි යන විශ්වාසය මත මේ අර්බුදකාරී තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වේ.   


දැනට පක්ෂය පවත්වා ගෙන යන ක්‍රමවේදය වෙනස් කර පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු බවට පසුපෙළ සමහර මන්ත්‍රීවරු දැඩි මතයකින් පසුවෙති. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව බහුතරයකගේ මතය වී ඇත.   


රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පැමිණ දැනට වසර 23 ක කාලයකට ආසන්නය. නායකත්වය පිළිබඳව පක්ෂය අර්බුදයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ සියලු අර්බුදයන් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂමව මැඩ පවත්වා ගත් බව නොරහසකි. මෙවර පවතින අර්බුදකාරී තත්ත්වය ඒ සියල්ල අබිබවා යන්නක් බව සඳහන් වේ.   


පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට හා පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවට දැඩි මතයක් පක්ෂයේ අර්බුදයට හේතුවී ඇත.   


​ෙම් පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ නිවෙස්වල හා යම් යම් ස්ථානවල කට්ටි කට්ටි වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇති බව දැනගන්නට ඇත.   


විශේෂයෙන් පක්ෂයේ අර්බුදකාරී බව වටා පවතින කරුණු ගණනාවකි. එහිදී ප්‍රාදේශීය මට්ටමින් විධිමත් සංවිධානයක් නොවීම, ජීවන වියදම පහත දැමීමට විධිමත් වැඩපිළිවෙළක් නොවීම, පොහොර සහනාධාරය නොදීම, පොදු ප්‍රශ්නවලට ඇහුම්කන් නොදීම, පිරිසකට විශේෂත්වයක් දැක්වීම යනාදී කරුණු නිසා පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීමක්, වෙනසක් අවශ්‍ය බවට පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් ප්‍රකාශ කර සිටිති.   


මෙහිදී පක්ෂයේ දැන උගත් මන්ත්‍රීවරු පිරිසක් කොළඹදී රැස්වී රාත්‍රී භෝජනය ගන්නා අතරතුර දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ලංකා ජාතික සභාව, මුස්ලිම් ලීගය, සිංහල මහ සභාව ඇතුළු සියලු ජාතීන් නියෝජනය කරන කණ්ඩායම් එකතුවී පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්ෂය සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් තුනටම පොදු පක්ෂයක් වුවත්, අද වෙන විට දෙමළ හා මුස්ලිම් ජාතීන්ගෙන් පමණක් යැපෙන තත්ත්වයට පක්ෂය පත්වී තිබෙන බව පෙන්වාදී ඇත. සිංහල ජනතාව ක්‍රමයෙන් පක්ෂයෙන් ඉවත්වන බව බෙහෙවින් පැහැදිලි වෙන බවද පෙන්වා දී ඇත.   


මේ අතර පක්ෂයේ මධ්‍යස්ථ පිරිසක් රැස්වී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව විමර්ශනය කර ඇති බව දැනගන්නට ඇත.   
මහින්ද රාජපක්ෂ පාලන සමයේ පත්කරන ලද කෘෂි නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුවූ බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා මෙහිදී පෙන්වාදී තිබේ. ජනතාවට සමීප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන ආකාරයට පක්ෂය ප්‍රතිසංවිධානය වියයුතු බවට ඔහු පෙන්වාදී ඇත. එක්සත් ජාතික පක්ෂ රජය රටේ ජනතාවට කොයිතරම් සේවයක් කළත්, ජනතාව ඡන්දය දීම ප්‍රතික්ෂේප කර ඇති බවද පෙන්වාදී ඇත. උදාහරණයක් ලෙස කුරුණෑගල ආසනයට එක්සත් ජාතික පක්ෂය කළ සේවාවන් ඔහු පෙන්වාදී ඇත.   


ඔහු කියන පරිදි කුරුණෑගල ආසනයට රුපියල් කෝටි 500 ක සංවර්ධන කටයුතු සිදුකර ඇත. මාර්ග කි.මී. 40 ක් දුරට කාපට් කර තවත් කි.මී. 100 ක දුරකට තාර දමා ඇත. වැව් 15ක් හා අමුණු 15ක් ප්‍රතිසංස්කරණය කර ඇත. ක්‍රීඩා පිටි 20ක් හදා ඇත. පාලම් 12ක් හදා ඇත. මරණාධාර සමිති 400කට උපකරණ ලබාදී ඇත. පාසල් 35කට ලක්ෂ 600 බැගින් ලබාදී ඇත. පන්සල් 20කට ලක්ෂ 90 බැගින් ලබාදී ඇත. රැකියා 200ක් ලබාදී ඇත.   


ජනාධිපතිවරණයේදී ඡන්ද 6000කින් හා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 5000කින් ජයග්‍රහණය කළත්, පළාත් පාලන මැතිවරණය 7000කින් මෙවර පරාජය වී ඇත.   


මෙම සාකච්ඡාවේදී සියලු දෙනාගේම අදහස වී තිබුණේ පක්ෂයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව යැයි කියති.   


පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මහරගම මහ නගර සභාව උදාහරණයකට දක්වමින් කරුණු පෙන්වාදී ඇත. 127,000 ක ඡන්දදායකයන් පිරිසක් සිටින මහරගම විජේදාස රාජපක්ෂ හිටපු ඇමැතිවරයා වැනි යෝධයකු සිටි ප්‍රදේශයකට වෙනත් අයකු පත් කිරීම නොකළ යුතු දෙයක් ලෙසට සාකච්ඡා වී ඇත.   


විශේෂයෙන් සංවිධායකවරුන් පත්කිරීමේදී සමහරුන්ට පක්ෂ ප්‍රබලයන්ගේ ආශිර්වාදය ලැබුණත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වැනි අයට එවැනි ආශිර්වාදයක් ලබා නොදීම පිළිබඳව සාකච්ඡා වී ඇත.   


තරුණ මන්ත්‍රී කණ්ඩායම මුළුමනින්ම නොසලකා හැරීම, ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා නොකිරීම, ඔවුන් ගණන් නොගැනීම පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැති පළමු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රබල දුර්වලකම් වශයෙන් සාකච්ඡා කර තිබිණි.   


පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ගේ වැඩි ජවයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වුවත්, ඒ ජවය බල්ලන් බළලුන්ගේ තත්ත්වයට පත්කර තිබෙන බවද මෙහිදී සාකච්ඡාවී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිටිනුයේ තරුණ මන්ත්‍රීවරුන් 35ක් වුවත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 106න් 50ක්ම තරුණ මන්ත්‍රීවරු බවද පෙන්වාදී තිබිණි.   


මේ මන්ත්‍රීවරුන්ගෙන් එහෙයි කියනු ලබන සුළු පිරිස හැර අනෙක් සියලුදෙනාම නොසලකා හැර ඇති බවට ඔවුහු චෝදනා කරති.  
දැඩි ආවේගශීලීව මෙහිදී අදහස් ප්‍රකාශ වී ඇති අතර වයඹ පළාතේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ මේ විදියට අපේ මිනිස්සු ඉස්සරහට ගිහිල්ල ඡන්දය ඉල්ලන්න බැහැ යනුවෙනි.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී කරු ජයසූරිය, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ප්‍රකාශ කර තිබුණේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පක්ෂයේ ඒකමතික සහයෝගයක් ඇති බවය.  


රනිල් වික්‍රමසිංහ මහතා තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව මාධ්‍ය ප්‍රධානීන් හමුවේදීද ප්‍රකාශ කර සිටියේය.  


එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු බවට අළු යට ගිනි පුපුරු මෙන් තැන් තැන්වල සාකච්ඡා කෙරුණ විනා කැබිනට් සංශෝධනය වනතුරුම තත්ත්වයේ වෙනසක් සිදුවූ බවක් පෙනෙන්නට නොතිබිණි. පසුගිය ඉරිදා (25) කැබිනට් ඇමැතිවරු දිව්රුම් දීමෙන් පසු ඇතැම් මැති ඇමැතිවරු කරන ලද ප්‍රකාශයන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය යළි එළියට පැමිණි ස්වරූපයක් පෙන්නුම් කළේය.  


පක්ෂයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක ඇතුළු කීපදෙනෙක්ම ප්‍රකාශ කර තිබිණ. ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයන් සමඟ එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් පවතින බව වඩාත් තහවුරු විය.  


ඒ තත්ත්වය ගිය සඳුදා (26) වඩාත් ස්ථාවර කළේය. ඒ වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා කරන ලද ප්‍රකාශයකි.  
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුණේ නැතිනම් සෙසු මන්ත්‍රීවරුන් එකතු කරගෙන විශ්වාසභංගයක් ගෙනත් හෝ නායකත්වය වෙනස් කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර ඇත. වරප්‍රසාද ගැන නොසිතා ජාතික අවශ්‍යතා ගැන සිතා මෙයට එකතු වෙන ලෙස ඔහු සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.  


එම වැඩපිළිවෙළට සහාය ලබාගැනීමට ඔහු පක්ෂයේ එක් එක් පසුපෙළ මන්ත්‍රීවරුනට පෞද්ගලිකව කථා කර තිබෙන බව ද දැනගන්නට ඇත.  


සඳුදා ඔහු මේ පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට දුරකථනයෙන් කතා කළේය. ඒ කතා කරන අවස්ථාවේ එම මන්ත්‍රීවරයා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත වෙමිනි. පාලිත රංගෙ බණ්ඩාර මහතා දුරකථනයෙන් කරන කතාවේ හඬ පිටතට ඇසෙන්නට සලස්වා මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාට එය ඇසෙන්නට සලසා ඇත. මෙහිදී පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන එකට සහාය දක්වන්න, කිසි ප්‍රශ්නයක් වීමට ඉඩ නොතබන බවට ඉහළම කෙනෙක් පොරොන්දු වී සිටිනවා. අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. එ්ක බොහොම විශ්වාසවන්තයි. ඒ නිසා මේකට උදව් කරන්න. දැනටම 20ක් විතර එක්ක කතා කළා. ඒ හැමෝම සහායදීමට එකඟ වුණා. ඔබත් මේකට උදව් කරන්න. මෙයාලා කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙත් නැහැ. පක්ෂයට නැගිටින්න දෙන්නෙත් නැහැ. කවුරු හරි මේක පටන් ගන්න ඕනෑනේ. ඒ නිසා මම මේක පටන් ගත්තා. යනුවෙන් ප්‍රකාශ කර ඇත.  


ඒ අනුව විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව මාධ්‍යයෙන් තොරතුරු අනාවරණය කිරීමට පෙර, අග්‍රාමාත්‍යවරයා කල් ඇතිව තොරතුරු දැන ගත්තේය. කිසි ප්‍රශ්නයක් නැහැ. ව්‍යවස්ථාවට අනුව ඕනෑ කෙනෙකුට කටයුතු කරන්න පුළුවන්. යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ බව ද පැවසේ.  


පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා කරන ලද මෙම ප්‍රකාශයත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් ඔහුට සහාය දැක්වීමට සූදානමින් සිටින බවට ආරංචි මාර්ග පවසයි.  


එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි අර්බුදයක් මතුවෙමින් පැවතියත් මෙතෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමක් කර නැත. පක්ෂය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ජ්‍යෙෂ්ඨයන් ද අතන මෙතැන කතා කරනවා විනා නායකත්වය හමුවේ, පක්ෂපාතී බව ප්‍රකාශ කරන්නේ යැයි පසුපෙළ මන්ත්‍රී පිරිසක් චෝදනා කරති.  


පක්ෂය ප්‍රතිසංවිධානය වියයුත්තේ පක්ෂයෙන්මය. එහෙත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා හමුවීම්, දුරකථන සංවාද හැරුණු විට වෙනත් සිදුවී ඇති දෙයක් නොමැති බවද පෙනෙන්නට ඇත.  


ප්‍රශ්නයක් තිබෙනවා නම් පක්ෂය ඇතුළෙ විසඳගන්න ඕනෑ  

ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු. රත්නායක  


ප්‍රශ්නයක් තිබේ නම් එය පක්ෂය ඇතුළතම විසඳා ගතයුතු බව ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු. රත්නායක මහතා කීය.  
ඒ මහතා මෙසේද කීය.

  
නිවසක කුළුණු දෙදරායාමෙන් සිදුවෙන්නේ එම නිවසේ ශක්තිය හීනවී කඩාවැටීමයි. ඒ ලෙසට පක්ෂයක ස්ථිරතාවය රැකගැනීමට නම් මහ කුළුණ ආරක්ෂාකාරී විය යුතුයි. ඒ බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ සියලුදෙනා එක්වී ශක්තිමත් කළ යුතුයි. එසේ නොමැතිව හිතුමතේ ප්‍රකාශ නිකුත් කිරීම නොකළයුත්තක්. දැන් බලන්න, පාලිත රංගෙ බණ්ඩාර මහතා, අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු බවට යෝජනා කර තිබෙනවා.  


ඔහු රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් පත්කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා විසිනි. තමන්ට යමක් කළයුතු නම් ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. පක්ෂය අභ්‍යන්තරයෙ කතා කරන්න පුළුවන්නේ. එහෙම නැතුව පළමුවෙන්ම මාධ්‍යයට කතා කරල වැඩක් නැහැ.  
රනිල් වික්‍රමසිංහ මහත්තය පක්ෂ නායකයා, අග්‍රාමාත්‍යවරයා වශයෙන් බොහොම ඉහළ සේවාවක් කරනවා. දූෂණ වංචා නැහැ. ක්ලීන් සූට් කියල කියන්නෙ ඒ නිසයි. ඔහුට විරුද්ධව පක්ෂයෙ කවුරුන් හෝ කැරලි ගහනවා නම්, ඒක ඉතාම වැරදි දෙයක්. 

 


පක්ෂ ගණනාවක් විශ්වාසභංගයට සහාය දක්වන්න එකඟවුණා  


රාජ්‍ය ඇමැති 
පාලිත රංගේ බණ්ඩාර


රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරගෙන් ඒ ගැන විමසුවෙමි


පක්ෂයේ අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා කවුරුන් හෝ ආරම්භයක් දිය යුතු නිසා විශ්වාසභංග යෝජනාවක් පිළිබඳව තීන්දුව තමන් ගත් බව රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා කීය.  


ඒ මහතා මෙසේ ද කීය.  


පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂ ගණනාවක් විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට දැනටමත් එකඟතාවය දක්වා තිබෙනවා.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට අදහස් කළේ, මේ පක්ෂය තුළ පවත්නා අර්බුදකාරී බව විසඳා ගැනීමට කොතැනින් හෝ ආරම්භයක් තිබිය යුතු නිසයි.  


පක්ෂයේ වර්තමාන සංයුතිය වෙනස් විය යුතුයි. තරුණ කොටස්වලට මීට වඩා තැනක් ලැබිය යුතුයි. මීට අමතරව පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු රාශියක් තියෙනවා. මේවා විසඳාගෙන ඉදිරි මැතිවරණවලදී ජනතාව අතරට යා යුතුයි.  


පළාත් සභා ඡන්දයට අපි මුහුණ දෙන්න නම් ඊට පෙර අනිවාර්යයෙන්ම පක්ෂය ප්‍රතිසංවිධානය වීම අවශ්‍යයි. ඒ වෙනසට නායකත්වය සූදානම් නැත්නම්, පක්ෂය ඒ සඳහා සූදානම් කරවීමට අපට සිදුවෙනවා.  


මේ විශ්වාසභංගයත් එක්ක සමහර විට දේශපාලන වශයෙන් මට බරපතළ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේවි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. මට පක්ෂයෙන් කොයිතරම් කෙනෙහිලිකම් ආවත් මම පක්ෂය දාලා ගියේ නැහැ. මොන ප්‍රශ්න ආවත් ඉදිරියටත් එහෙමයි. සමහර විට මට දේශපාලනයෙන් සමුගන්නත් වේවි. ඒත් ප්‍රශ්නයක් නැහැ. පක්ෂයට රටට යහපතක් කරල මොනව වුනත් කමක් නැහැ.  

දයාසීලි ලියනගේ

 



අදහස් (0)

ඇමැති සංශෝධනයෙන් පසු එජාපය ඇතුළේ අරගලයක්

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 153 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 41 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 65 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site