IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පදික වේදිකාවේ අසරණයෝ

කොලොම්පුරේ ජීවිතේ

පොල් විකුණන ප්‍රියන්ත

 

මා පිටකොටුවේ “කැලෑපොළේ” සැරිසැරූ එවේලේ සවස 5 පසුවී ගොස් මඳ වේලාවක් වුවත් හාත්පස පැවතියේ මූසල අඳුරු පැහැයකි. වැහි වලාකුළු අහස වසා නොතිබුණත් මුළු කොළඹම අළු පැහැයට හැරී තිබුණි. බිම් කඩ වසා අධිපතිව හිඳින දැවැන්ත නුග ගස් නිසා කැලෑපොළ තවත් අඳුරු පැහැයට හැරෙන්නට විය.   
​​බේරේ පැත්තේ සිට එක රෑනට පියඹා එන කොක් රංචු පෙනෙන නොපෙනෙන දුරින් තිබෙන ලොකු කුඩා තුරු මුදුන් සුදු රෙද්දකින් වසාලූවක් සේ ලැඟුම් ගනිමින් සිටියේ හැන්දෑව ඇරඹෙන බව අපට පවසන්නට මෙනි. කැළෑ පොළේ මහනුගය අත්පත් කරගෙන සිටියෝ කපුටෝ හා වවුලෝය. චිරි චිරිස් හඬින් කපුටු වර්චස් හාත්පස සිසාරා වැටෙන්නට පටන්ගෙන තිබිණි.   


කපුටන්ට අණක් ගුණක් නැත. පිටකොටුව අන්තයෙන් කැළෑ පොළ ඇරඹෙමින් තිබෙන නමුත් ටෙක්නිකල් හන්දිය අන්තයේ වෙළඳාමේ නිරත ඇතැමෙක් දවසේ ව්‍යාපාර නිමකර යන්නට සැරසෙති. කුමක් ද මේ අරුමය? මම එතැනට ළං වුණෙමි.   
තැඹිලි ගෙඩි දහස් ගණනින් පැටවූ ලොරි පොළට එන විට පොල් තොග රැගෙන විත් සිටින පිරිස සිය බිස්නස් හමාර කර සිටින සේය. මෙය අරුම පුදුම පොළකි.   
වැඩ ඉවරද? මම ලොරියක් අසල හුන් තරුණ පහේ අයෙකු ඉලක්ක කර ගතිමි.   
‘‘ඔව් යන්නයි හදන්නේ’’ පිළිතුර ඉතාම කෙටිය. පැහැදිලිය.   
​‘‘පොළ පටන් ගන්නේ දැන් නේද?’’ කැලෑ පොළේ හිටියට අපි කැලෑ පොළට අයිති නෑ. අදහස නොතේරුණු විලසින් මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි.   
ඔහු නමින් එස්. ප්‍රියන්ත නම් විය. වයස අවු. 28කි. ගම හලාවතය. කැලෑපොළ පටන් ගන්නේ හවසට නේ. අපි බිස්නස් පටන් ගත්තෙ පාන්දර 3ට 4ට. ඉතින් හවස 4 - 5 වෙනකොට අපේ ඩියුටිය ඉවරයි’’ තවමත් මා ඔහු දෙස බලාගත්වනමය.   


මෙහෙමයි හලාවත, කුරුණෑගල, වෙන්නප්පුව, කිරිමැටියාන, ලුණුවිල, මේ වගේ පැතිවල ඉඳලා පාන්දරට එක තොගයක් එනවා. රෑ 6-7 වෙනකොටත් කොළඹට පොල් තොග ගෙනෙන පිරිසකුත් ඉන්නවා. මේ ඔක්කොම එකම පිරිසක්. ඒ තවත් සරල කළොත් එකම මුදලාලි පිරිසකගේ ලොරි. දැන් මම මෙතනට ආවේ ඊයේ හවස 6ට විතර. බිස්නස් පටන් ගන්නෙ පාන්දර 4ට විතර. අපි හවස ඇවිත් ලොරි නතර කරගෙන බලාගෙන ඉන්නවා. මෙතන විකුණන්නෙ පොල් තොග මිලට කලවමේ.   
ඔවුහු දවසේ ව්‍යාපාර කටයුතු හලාවතින් ආරම්භ කරනුයේ උදේ 6ට පමණය. ප්‍රදේශය පුරා පැතිර තිබෙන පොල් වතු සොයා ගොස් තොග ගණනට පොල් මිලට ගනිති. ඉන් පසුව ඒවා ලෙලි ගස්සවා ගනිති. ඒ කර්තව්‍යයට දවසේ කුළිය කරන අය වතුවලම සිටිති. ලොකු කුඩා පොල් ගෙඩි 1000ක් ලෙලි ගසා ගොඩ ගසන්නට එතරම් වේලාවක් ගත නොවන්නේ කඩිනමින් වැඩ කිරීමේ පළපුරුද්ද නිසාවෙනි.   


එක ලොරියක ලෙලි ගැසූ පොල් 4000ක් 5000ක් අසුරාගෙන මධ්‍යහ්නයේදී ඔවුහු කොළඹ ගමන් ආරම්භ කරති. හලාවත, කුරුණෑගල ලුණුමිශ්‍ර සාරවත් පොලොවේ ඉපදී හැදී වැඩෙන පිරිපුන් පොල් දස දහස් ගණනක් ඔවුහු සමග ලොරියෙන් කොළොම්පුරයට පැමිණෙන්නේ ඔන්න ඔහොමය.   
අපි මෙතන විකුණන්නේ අත්පිට මුදලට. තොග මිලට. මේ දවස්වල හොඳ ලොකු පොල් ගෙඩියක් රු. 40-45 පමණ වෙනවා. අපේ තාත්තා තමයි බිස්නස් එක පටන් ගෙන තියෙන්නේ. අවුරුදු 15ක් තිස්සේ. 

 
අපි මේ බිස්නස් එක කරනවා ලොරි දෙකකින්. අපි පොල් ගේනවා. අද මම හලාවතට යනකොට තාත්තා එහෙන් පිටත්වෙලා. මම කොළඹ එන්නෙ දවසක් ඇර දවසක්. හෙට තාත්තා බිස්නස් ඉවර කරලා හලාවතට එනකොට මම කොළඹ දවස ගානෙම නොකඩවාම මේ රටාවට තමයි බිස්නස් එක කෙරෙන්නේ. එක දවසක් හරි කැඩුනොත් කස්ටමස්ලා කැඩෙනවා. මේ අවුරුදු 15ක් පුරා අපෙන්ම විතරක් බඩුගන්න විශාල පිරිසක් කොළඹ සිටිනවා.   
අගනුවර හා තදාසන්න ප්‍රදේශවලට පොල් බෙදාහැරෙන්නේ මෙතැනිනි. කොළඹ හා අවට ප්‍රදේශවලට පොල් සිල්ලරට අලෙවි කරන කඩ හිමියන්, බ්‍රෝකර්වරුන්, තොග මිලට පොල් ලබාගන්නේ කැලෑ පොළෙනි. අනතුරුව ලොකු, මධ්‍යම හා කුඩා වශයෙන් තෝරා බේරා මිල ගණන් නියම කරනුයේ ඔවුන් විසිනි.   
කැලෑ පොළෙන් රු. 30, 35, 40,ට කලවමේ ලබාගන්නා පොල් ගෙඩිය රු. 50, 55, 60, 65 වී ගෙදර කුස්සියට විත් එතැනින් හිරමණයට යන්නේ ඔය ආකාරයටය. පොල් ගෙඩිය, දෙක කැලෑ පොළේ ලොරි හිමියන්ගෙන් කිසි විටෙක ලබාගත ​නොහැකිය. එය එහි වෙළෙඳුන් අතර සම්මුතියකි.   


ඒ වන විට ප්‍රියන්තගේ ලොරිය හිස් වී තිබිණි. ඔහුගේ ගෝලයා බිම කූඩයක තිබෙන කුඩා ප්‍රමාණ​යේ පොල් තොගයක් ගෝනියකට අඩුක් කරමින් සිටී. මේවා මොනවද. මම විමසීමි. මේ ඉතුරු වෙන ඒවා ඇතුළේ වතුර සෙලවෙන්නෙ නැතිනම් ගෙඩිය බර නම් තොග වෙළෙන්ඳො ගන්නේ නෑ. ප්‍රමාණයෙන් කුඩා ගෙඩිත් ඉතුරු වෙනවා. මේවා මිළට ගන්න පිරිසකුත් ඉන්නවා. හෝටල් බත් කඩවලට දෙන්නේ මේවා. මේ පොල් ගන්න හෝටල් අපිට තියෙනවා. යන ගමන් ඒ තැන් වලට බාලා යනවා. ඉතුරු වෙන දවසුත් තියෙනවාද? අපොයි ඔව්. බිස්නස් සවුත්තු දවස් වලට ඉතුරු වෙනවා. අපිට මෙහේ මේවා දාලා යන්න තැන් නැහැ. ඉතිරි ඒවා ආපහු අරගෙන ගිහින් ඊළඟ දවසෙ ගේනවා.   
එහෙම වුණාම පාඩුයි. තොග ප්‍රමාණයත් අඩු වෙනවා. ඒත් ඉතින් ලාබ පාඩු විඳගන්ඩ ඕනනේ. ප්‍රියන්ත සිනා මුසුව පිළිතුරු දෙන ගමන් මාදෙස බලයි. මොවුන්ගේ පොල් ව්‍යාපාරය ජීවන චක්‍රය මෙනි. හලාවතින්, කොළඹට, කොළඹින් හලාවතට විවේකයෙන් නිදහසේ සිය මව් පිය සහෝදර සහෝදරියන් හා එක්වන්නට නිවාඩු නැත. අතිකාල දීමනා බටා නැත. ලොරියේ රෝද හය හා මහ මඟ ජීවිතය දිය වේ. අම්මා අතින් රසට හදන රසමසවුලකින් සප්පායම් වීමේ වාසනාවද මොවුන්ට අහිමිය. තුන් වේලෙන් දෙවේලක් හෝ කඩ කෑමය.   
උදේ පාන්දර ඉඳන් පොල්වතු ගානේ ඇවිදලා පොල් එකතු කරගෙන හවසට මෙතැනට ඇවිත් එළිවෙනකල් නිදි වරන්න ඕන. අව්ව, වැස්ස, පින්න මේ හැම දේකටම ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්න ඕන. මේ ජීවිතේ හැටි එහෙමයි. අවම පහසුකම්වලින් තමයි මෙතන අපි බිස්නස් කරගෙන යන්නේ. අපි විතරක් නෙමෙයි. පොල් ලොරි 10 ක් විතර දිනපතා මෙතැනට එනවා. උදේ 9, 10 වෙන කොට ලොරිය හිස් කර ගත්තෙ නැතිනම් අපි පරාදයි. තොග වෙළෙන්දො බොහොම සාමයෙන් වෙළෙඳාම කරගෙන යනවා. වැඩිදුර අධ්‍යාපනයක් ගැන හිතන්නේ නැතුව වෙළෙඳාම තෝර ගත්තේ. ඇයි ප්‍රියන්තට මගෙන් පැනයකි.   
අපේ පවුලෙ මේ ක්ෂේත්‍රයට පුරුදු වුණේ මම විතරයි. තාත්තා තනිවම මහන්සි වෙනවා දැකලා මටත් වැඩේට බහින්න හිතුණා. අපොස සා.පෙළත් පාස්. එතැනින් තමයි මේ වැඩේට බැස්සේ කාටවත් යටත් නැති රස්සාවක්නෙ.   


බිස්නස් කරන අතරතුරම ප්‍රියන්ත වෙබ් අඩෙවියක් ද පවත්වාගෙන යන බවට මා විසින් පවසන මේ කථාව ඇතැම් විට පාඨක ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් සත්‍යය එයයි. මගේ උණත් දැනුම පාවිච්චි කරලා මේක කරගෙන යනවා. අන්තර්ජාලයෙත්, යූ ටියුබ් හරහාත් මේ වෙබ් අඩවිය නැරඹීමට පුළුවන්. එදිනෙදා පුවත් විශේෂාංග ලිපි, කලා කටයුතු, මේ ආදී ඕනෑම විෂයක් මම මෙයට ඇතුළත් කරලා තියෙනවා. බිස්නස් එක කරගෙන යන අතරතුරදී ලැබෙන පුංචි විවේකයක් ප්‍රියන්ත මේ වෙනුවෙන් කැප කරයි. වේලාවක් අවේලාවක් කියලා නෑ. සමහර විට මෙතන මේ ලොරියෙ ඉඳගෙනත් මම තොරතුරු හොයනවා. වෙබ් එක කරගෙන යන්නේ මුදල් හම්බ කරන්නම නෙමෙයි. විනෝදාංශයක් හැටියටයි. බිස්නස් වැඩ වලට මොළය වෙ​හෙසන අතරතුරදී. මේකෙන් පොඩි වෙනසක් ලැබෙනවා. දැන් ඉතින් අදට බිස්නස් එක ඉවරයි. කෑම කඩවල් වලිනුත් එපා කියන පොල් අපි වේලලා කොප්පරාවලට විකුණනවා. ලොරිය අසල බිම ගෝනියට අඩුක් කර තිබෙන පොල් ගොඩ දෙස බලාගෙන පැවසූ මේ තරුණයා මා දෙස බලන්නේ තවත් දෙයක් දැන ගැනීමට අවශ්‍ය දැයි දෑස් වලින් විමසමිනි. හිරිමල් තාරුණ්‍යය දිවි රැකුමට කැප කරමින් සිටින මොහු වැන්නන් උසස් අධ්‍යාපනයට යොමු වූයේ නම් ඇතැම් විට අනාගත ලොවට අලුත් අලුත් දෑ හඳුන්වා දෙන හපනෙකු වෙනවා නියතය. එහෙත් ජීවිතය ජය ගැනීමට දෛවය විසින් මොහුට කප්රුක් උරුම කර දී ඇත.   
එතැනින් නික්මී ඉදිරියට බැලිමි. හැන්දෑ අඳුර පිටකොටුව ටිකෙන් ටික තම ග්‍රහණයට ගෙන තිබුණත් සවස 6 තෙක් මේ සාවියේ මා රැඳී සිටිය යුතුය. එක්තරා සුවිශේෂී කටයුත්තක් වෙනුවෙනි. මා දන්නා හඳුනන පුද්ගලික බස් කොන්දොස්තර මිතුරා සිය සේවය අවසන් කර පිටකොටුවට පැමිණෙන්නේ ඒ වේලාවටය. මම රැඳී සිටියෙමි. ටික වේලාවකට පසුව පිටුපසින් පැමිණි හිත මිතුරු අතක් මගේ කර මත රැඳිණි. මම ඔහු සමග ගමන් ගිනිමි. අඳුර අස්සෙන් තට්ටු ගෙවල් සහිත පටු මාවතින් අඳුරේම පඩි පෙළක් නැග කිසියම් ස්ථානයක ඉහළ මාලයකට පැමිණියෙමු. කහ පාට මලානික එළියක් විහිදු එකම එක විදුලි බුබුලකින් එහි ස්වභාවය දැකගත හැකි විය. දිය සෙවළ බැඳුණු දුර්වර්ණ වී ගිය බිත්ති හතරකින් වට වූ එය අඩි 10 x 12 තරම කුටියකි.   

 

අාබාධිත පරමනාදන් මහතා දරු පවුලත් සමග පදික වේදිකාවේ   

 

 


නිශ්ශබ්දතාව රජයමින් තිබූ එහි මුළු මුළුවල කීප දෙනෙකු එක්ව සිටිනු දක්නට ලැබිණ. මේ එක පොකුරක පුද්ගලයින් හතර පස් දෙනෙකුවත් කල්ලි ගැසී සිටියහ. ඔවුන්ගේ හිස් බිමට නැඹුරුව තිබූ අතර ඒ හරි මැදින් වරින් වර සිහින් ගිනිපුපුරු පෙනුණේ අඳුර මැදින් නිවි නිවි දැල්වෙන තාරුකා එලි මෙනි. අමුතු සුවඳක් සහිත සැර දුමක් මගේ නාසයට ද දැනුණි. අඳුරේම මගේ අතින් අල්ලා ගත් මිතුරා ශාලාවේ එක් කෙළවරක මුල්ලකට කැඳවාගෙන ගියේය. එතැන පුද්ගලයෙකු බිම වාඩි වී සිටී. කළු පැහැ කෙසඟ සිරුර වරින් වර ගැස්සෙයි. උඩුකයේ කිළිටි වී ගිය කහ පැහැ බැනියමකි. බෙන්ස් ලකුණක් සහිත රිදී පැහැති මාලයක් එල්ලෙමින් තිබෙනු අඳුර අතරින් වුවද මම දුටුවෙමි. මගේ මිත්‍රයා මේ කෙසඟ මිනිසා මගින් බිම හිඳගති. මම ද ඔවුන් සමීපයට ගොස් කෙසඟයාගේ අනෙක් පසින් ඈඳි ගතිමි.   


ඒයි රිචා මාගේ මිතුරාගේ හඬින් කෙසඟයා ඕනෑවට එපාවට මෙන් හිස එසවීය. මචං මේ මම මිත්‍රයා තමාව හැඳින්වීය. අර මම කිව්ව මගේ යාළුවත් ඉන්නවා. ආ කෙසඟයාගේ කටහඬ සිහින්ය. ඇසෙන නෑසෙන ගානය. මෙතන නෙමෙයි අපි එහා පැත්තට යමු. කෙසඟයා නැගිට අසල අඩවල් කර තිබූ ලැලි දොරක් සීරුවෙන් ඈත්කර අනෙත් පසට ගියේය. අපි ද ඒ කුරුබිලියෙන් එහා පැත්තට රිංගා ගතිමු. හතර අතින් කොන්ක්‍රීට් බිත්ති වලින් වටව තිබූ කුඩා ඉඩ කඩ යන්තමින් අප තිදෙනට හිටගෙන සිටීමට හැකි විය. මෙතන මුරට ඉන්න එකා එන්න කලින් වැඩේ ඉවරයක් කරමු. කෙසඟයාගේ සිහින් හඬ අඳුරේම ඇසිණි. මේක ආතල් පොට් එක මූණාස් මුදලාලිගෙන් (සැබෑ නම නොවේ) කුඩු ගන්න ගොඩක් දෙනෙක් ඒවා පාවිච්චි කරන්නේ මෙතන. මමත් ඉන් එක්කෙනෙක්. මෙතනින් බඩු මිලට ගන්නත් පුළුවන්. ගිනිකූරෙන් එකක් රු. 1500 යි. (මත්කුඩු ලබා දෙන්නේ ගිනිකූරේ වෙඩි බෙහෙත් ඉවත් කර එය මත්කුඩු වල ඔබා ගිනි කූර මත රැඳෙන ස්වල්පයකි) මගේ අැඟ දැන් මේකට හුරු වෙලා. මේ වගේ ෂොට් 5 ක් වත් ඕන නැතිනම් ආතල් එක එන්නේ නෑ.   
ඔහු ඉපිද හැඳී වැඩී ඇත්තේ අගනුවරට තදාසන්න ප්‍රදේශයක පවුලේ එකම පිරිමි දරුවා වශයෙනි. පියා නීතිඥවරයෙකි. මව ගුරුවරියකි. වැඩිමල් සහෝදරියන් දෙදෙනෙකි. කුඩා අවධියේ පටන්ම හැම දෙනාගේම හුරතලය මැද හැදුණු වැඩුණු රිචා අකුරු කළේ අගනුවර උසස් යැයි පිළිගැනෙන පාසැලකය. ජිවිතයේ කාර්ය බහුලත්වය නිසා දරුවන් ගැන සෙවීමට බැලීමට දෙමව්පියන්ට කාලය හරස් විය. තාත්තා අපිත් එක්ක කතා කළේ කලාතුරකින් ගෙදර ඉන්න වෙලාවට. එයා කන්තෝරු කාමරෙත් එළියට ආවේ නෑ. මේකට පුරුදු වුණේ ටියුෂන් පන්තියේ. යාළු ගැන්සියෙන්. බොරු උවමනාවල් හදාගෙන සල්ලි ඉල්ලන කොට අම්මා මට ඕන තරම් සල්ලි දුන්නා. මම යාළුවන්ටත් එක්ක ඒවා වියදම් කළා. දැන් මට වයස 21 යි. එහෙත් ඔහුගේ පෙනුම නම් මැදි වියේ මිනිසෙකුගේ මෙනි.   


වළ ගැසී ගිය දෙකම්මුල් කළුව ගොස් නහර වැල් ඉල්පුණු මුහුණේ යටට ගිලී ගිය දෑස් කුහර දෙක තුළ වූ දුඹුරු පැහැවී ගිය දෑස් වියළි කළු පැහැ වූ දෙතොල් මත් රකුසා මොහුගේ තාරුණ්‍යයේ සාරය උරා බී ඇති ඉක්මන විදහා පෑය.   


මට දවසකට රු. 5000/- ක වත් මේවා ඕන. මේ වගේ පොට් එකක ඉන්න කොට පොලිසියට අහුවුණාට පස්සේ තමයි ගෙදර අය දැන ගත්තේ මම කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා. උසාවියෙන් මාව පුනරුත්ථාපන කඳවුරකට යැව්වා. එතනට ගිය මුල් දවසෙ අම්මා මාව බදාගෙන මහා හයියෙන් ඇඬුව හැටි මට තාමත් මතක් වෙනවා. එතනදී මට දස වධ දුන්නා. දවස් කිහිපයකට පස්සේ මම එතැනින් පැනලා ආවා. මගෙන් පවුලට වුණු ලැජ්ජාවට මෙහේ තිබුණු ඉඩමයි ගෙයයි විකුණලා තාත්තා මුළු පවුලම අරගෙන බදුල්ල පැත්තට ගියා. ඒ අය ඉන්න තැන මම දන්නේ නෑ. හොයන්න උනන්දු වුණෙත් නෑ. ඒ හැම දේකටම වඩා මට ලොකු වුණේ මේක. පුනරුත්ථාපනයෙන් පැනලා මම කොළඹට ඇවිත් එක එක ජොබ් කළා. මුට්ට කර ගැහුවා වරායේ කුලී වැඩ කළා. ප්‍රයිවට් බස් කොන්දොස්තර වැඩේ කළා. මම කුඩ්ඩෙක් කියලා දැන ගත්තම රස්සාවල් නැති වුණා.   
ඔහු කියවාගෙන යන එ් අතරමඟ දී ගැස්සෙයි. පපු කුහර ගැලවී යන්නට මෙන් කැස්සක් මතු වේ. අඳුර මැඳින් යළිත් වතාවක් කුරුබිලියෙන් ඇතුළට ගිය ඔහු වතුර බෝතලයක් ගෙන නැවත මතු වේ. මේවා බීලා වැඩක් නෑ. ඩම් එකක් දැම්මා නම් හරි. ගොඩ, ගොඩ ගා වතුර උගුරු කීපයක් කටට හලාගෙන කියයි.   


මගේ ජිවිතේ හැම දෙයක්ම නැති වුණේ මේ ඇබ්බැහිවීම නිසයි. මට දැන් මේකෙන් ගැලවෙන්නයි ඕන. ඒත් එ්ක කරන්නේ කොහොමද අපිට උදව් කරන්නේ කවුද? මේ සමාජයට අපි කුඩ්ඩො. මේ විදියට වැඩි කලක් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. කමක් නැහැ මොහොතින් මොහොත මැරි මැරී ජීවත් වෙනවට වඩා ඒක සැපයි. දැන් මම මුදල් හොයන්නෙ බස්වල වතුර බෝතල් විකුණලා. හම්බ කරන හැම සතේම මේකට තමයි. ඩ්‍රම් එකක් ගත්තාම කන්න බොන්න ඕන නෑ. මෙතනම වැටිලා ඉන්නවා. මහත්තයා මම මේ කියන දේවල් ඔක්කොම ලියන්න. කරුමක්කාර දේට පුරුදු වෙන්න එපා කියලා අපේ වයසේ අයට කියන්න. මගේ කතාව අහලා දැකලා එක්කෙනෙක් හරි මේ කරුමයෙන් ගැලවුණොත් මට සතුටක් දැනේවි. මෙසේ ඉල්ලීමක් කළ රිචා හිටි තැනම බිම වාඩි වී හති අරින්නාක් මෙන් හුස්ම ගන්නට විය. මම මිතුරාවත් ඇඳ ගෙන ඒ ඒ අඳුරු කුටියෙන් පිට වී අලුත් වාතයට දෙනාස් පුඩු හුරු කර ගත්තෙමි. රිචා ද අපේම තරුණ පරපුරේම කොල්ලෙකි. ඔහු මෙන් තාරුණ්‍යය මත් රකුසාට බිලි කළ තව දස දහස් ගණනක් මේ විපරිත සමාජය තුළ අතරමංව සිටී දැයි සිතමින්ම මිතුරාගෙන් සමුගෙන අැවිද ආවෙමි. අඳුරු ගුබ්බෑයමෙන් පිට වූ සැනින් මා පිට​කොටුවේ සුරපුරයට නැවත ඇදගෙන වැදුනෙමි. සිතක් නැත්තෙකු මෙන් ඇවිද ආවෙමි.   


කොටුව දුම්රියපොළට ආසන්නව පදික වේදිකාවෙ රෝද පුටුවක් මත සිටිනා ආබාධිතයෙකි. ඔහුගේ දෙකකුල් දණ හිසට පහළින් කපා දමා ඇත. ඔහුට තුරුළුව සිටින සිඟිත්තිය පියාගේ හිස අත ගාමින් සිටී. ඒ අසල බිම ඇතිරූ ඉටි රෙද්දක කාන්තා හා ළමා ඇඳුම් තොගයකි. තරුණ පෙනුමැති කාන්තාවක් එතැනට වට වී සිටින මිනිස් පොදියට ඇඳුම් අලෙවි කරමින් සිටී. මම ආබාධිත තැනැත්තා සමග සිනාවක් හුවමාරු කර ගතිමි.   


මම රස්සාව කළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක. එක දවසක් වැඩ කරන අතරතුරදී වැරදීමකින් අධිබල විදුලි කම්බියක පැටලුණා. ඒකෙන් කකුල් දෙක කරවෙලා ගියා. රෝහලෙන් ගෙදර එන කොට කකුල් දෙකම නෑ. ඒත් දරු පවුල ජීවත් කරවන්න ඕනනේ. ගාමන්ට් එකෙන් හම්බ වුණු වන්දියෙන් ජංගම වෙළෙඳ කුටි කරත්තයක් හැදුවා. මයියොක්කා බැඳලා විකුණන්න පටන් ගත්තේ ආමර්වීදියේ. ඒ බිස්නස් එක ටික ටික සරු වෙනකොට ඥාති වෙන මල්ලි කෙනෙකුට පවරලා. බිරිඳයි. මමයි මේ වැඩේට බැස්සා. පරමනාදන් මහතා කතාව ඇරඹුවේ එසේය. ඔහුගේ වයස අවුරුදු 46 කි. ඇඟලුම් කම්හල් රැකියාවේදී ජීවිතයෙන් අඩක් අහිමිව ගියේ 2013 වසරේදීය. එහෙත් ඔහු දෛවයට පැරදුණේ නැත. දරුවන් දෙදෙනා හා බිරිඳගේ හෙට දවස් සැපවත් කළ යුතුය. ජංගම වෙළෙඳ රථය මල්ලිට පවරා ඇඳුම් අලෙවියට මුල පිරුවේය. දෙවන ජීවිතය වන ආදරණීය බිරින්දෑ පරමනාදන්ට තනි වීමට ඉඩ නොදී එදා මෙන්ම ඔහුගේ සෙවණැල්ලම විය. මේ දෙදෙනා පිටකොටුවේ පදික වේදිකාවට වැටුණේ ඔය විදියටය.   


දරුවෝ දෙන්නා තමයි මගේ පන. මේ ඉන්නේ මගේ චූටි දූ. අද මෙයා ඉස්කෝලේ ගියේ නැහැ. ගෙදර කවුරුවත් නැති නිසා අපිත් එක්ක ආවා. සිඟිත්තිය ළං කරගෙන ඇයගේ හිස සිඹිමින් පරමනාදන් කියයි. බිරිඳ තවමත් වෙළඳාමේය. අතරතුරදී නෙත් කොනින් පියා සහ චූටි දූ දෙස බලා සිනාසෙයි. පදික වේදිකාවේ කලබලයෙන් යන එන කවුරුත් මේ පවුල දෙස බලා විනාඩියක් හෝ නැවතී ඇඳුමක් දෙකක් මිලදී ගන්නේ හුදෙක් අනුකාම්පාවකින් පමණක්ම නොව මේ දිරිය පවුලේ අධිෂ්ඨානයට ගරු කරමින් යැයි මට සිතේ.   
හැමදාමත් අපි මෙතැනට එන්නේ නැහැ. සතියට දවස් දෙක තුනක් විතරයි. ලොකු ගානක් ලාබ තියාගෙන විකුණන්නෙත් නැහැ. මෙතන වැඩිපුරම තියෙන්නේ කුඩා දරුවන්ගේ ඇඳුම්. කෑල්ලකින් රු. 50 ක් වගේ තමයි තියනේනේ. අපට ඒ ඇති. කකුල් දෙක පෙන්නලා හිඟා කනවට වඩා මේක කොච්චර නම්බුද? මේ දිරිය මිනිසා ඒ දෙස බලා පවසයි. මම සිඟිත්තියට ළං වුණෙමි. චූටි දූගෙ නම මොකක්ද? මුලින් සබකෝල ගතියක් පෑවත් තාත්තාට, මුවා වීගෙන නම, ගම, පාසැල, ඇය ගිරවියක මෙන් කියාගෙන යයි. කුණු කරවල කෑලි කකුලේ බැඳගෙන හෝ බොරුවට වෙළුම් පටි ඔතාගෙන තුවාල බෙහෙත් ගල්වා බොරු තුවාල පෙන්වා නොඑසේනම් ආබාධිත කකුල් අත් පෙන්වා හන්දිගානේ එසේත් නොමැති නම් බස් රථ තුළට ගොඩ වී හතර අතට වඳිමින් ඇසේ කඳුළු උපදින්නට දුක කියමින් සිඟමන් යදින පුද්ගලයන්ට පරමනාදන් වැනි දිරිය මිනිසුන් අභියෝගයකි.   


ආබාධිත වුවත් දිරියෙන් දිවිය ජය ගන්නා මෙවැනි මිනිසුන් අතරේ අපට විටිනාකමක් ඇත් දැයි සිතමින්ම ඔවුන්ගෙන් සමුගෙන නික්ම ආවෙමි.   

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර 



අදහස් (0)

පදික වේදිකාවේ අසරණයෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site