IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දළදා වතුර ගැලූ ඓතිහාසික දළදා පෙරහර

දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.


මේ දැක්වූ අන්දමට උතුමාණන්වහන්සේ කැඳවාගෙන ඇවිත් මාලිගාවේ වහල්කඩ ළඟදි කූනමෙන් බිමට බැස්සවිට බෝර්තු උසාවියේ මහත්තැන් උතුමාණන්වහන්සේට පෙනී සිට කථාකොට කැඳවාගෙන ගොස් මාලිගාවේ පිට ශාලාවේ පොරොත්තු කළෝය. ඉන්පසු පල්ලේ ගම්පහේ අධිකාරම් මහත්මයා සහ ආදායමේ කොමසාරිස් උන්නාන්සේත් සියලු රදලවරුත් මාලිගාවේ හේවිසි මණ්ඩපයට ගොස් එහිදී මාලිගාවේ තේවා භාණ්ඩ රදලවරුන්ට දී පාර්ශ්ව දෙකක්ව සැදී සිටින්නට නියම කළෝය. එවිට උතුමාණන් වහන්සේ කැඳවාගෙන බෝර්තු උසාවියේ මහත්වරු උඩමාලයට ගියවිට ශ්‍රී ද‌ංෂ්ට්‍රා ධාතුමන්දිරයේ දියවඩන නිලමේ කරවන දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාළහාමි විසින් පේශ ලේන්සු දෙකක් සහ රත්රන් ​බෝපත් සහිත මුතු බැඳි ලේන්සුවක්ද උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයෙහි එළා ධාතුන්වහන්සේ වැඩ සිටින කරඬුව උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩමවනවා හා සමගම ශංඛනාද දී පඤ්චතූර්ය ඝෝෂා පැවැත්වූහ. ඒ හා සමගම කාලතුවක්කු වෙඩි සහ කොඩි තුවක්කු වෙඩි ද තබන්නට පටන්ගත්තෝය. එහි රැස් වී සිටි දහස්ගණන් සමූහයාද සාධුකාර දෙන්නට පටන්ගත්හ. මේ ත්‍රිවිධ වූ කෝලාහලය එකවිටම පටන්ගත්කල මේඝ ගර්ජනාවක් මෙන් මහත්​ ඝෝෂාවක් විය.   


මේ අතරේ උඩුවියනක් යටින් පියවිලි පිටින් මාලිගාවේ වට්ටෝරු රාලලා දෙන්නා දෙපැත්තෙන් වඩන තලාතු දෙකක් අල්ලද්දී ගරුතර උතුමාණන් වහන්සේ මහත් ගෞරවයෙන් දළදා කරඬුව ශ්‍රී හස්තයෙන් වැඩමවාගෙන පෙරහර කරන ඇතා ළඟට පැමිණෙන අතර එදා ඒ අනගි විසිතුරු පූජෝත්සව දුටු සිංහල බෞද්ධයන්ගේ සිත් සතුටෙන් පිනාගොස් සතුටු කඳුලෙන් නෙත් පිරී ගියේය. කාලතුවක්කු වෙඩි සහ කොඩි තුවක්කු විසි පහක් ගණන්ගත නොහැකි තරම් මහත් ඝෝෂා පැවැත්වූහ. මෙසේ මහත් ගෞරවයෙන් කරඬුව වැඩමවාගෙන විත් ඇතා ළඟ සිටි පල්ලේ ගම්පහේ මහනිලමේ අතට වැඩම වූ විට ඇතා උඩ උන් මාතලේ දිසාමහත්මයා සහ උඩපළාතේ දිසාමහත්මයාත් රන්හිළිගේ ඇතුළට කරඬුව වැඩඩමවා ඇතා පිටින් බිමට බැස්ස විට තේවා භාණ්ඩ අරගත් සෑම රදළවරුම උතුමාන්වහන්සේට පොරොත්තුවීමට තබා තිබුණු මණ්‍ඩපයට උතුමාණන් වහන්සේ කැඳවාගෙන ගොස් පොරොත්තු කළාහ. එවිට පල්ලේ ගම්පහේ මහනිලමේ සහ රදලවරුන් මළුවට ඇවිත් මහනිලමේ විසින් පෙරහර දෙන හැටියට මෙසේ නියම කරන ලදී. කෙසේද යත්,   


පළමුවෙනුව පෙරමුණට යහලේතැන්නේ ඇත්නාම්බාද ඊළඟට කෙන්ගල්ලේ ඇත්නාම්බාද ඊළඟට රජවැල්ලේ ඇත්නාම්බාද ඊළඟට හස්තියා කොඩිය සහ වෙනත් අත් කොඩි පිලී ඇතුව රිදී අකුස්සක් ඇතින් ගත් ගජනායක නිලමේ කරවන දුනුවිල රාජ කරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්‍ඩිත මුදියන්සේ රාළහාමි සහ ඒ පේරුවේ පයිණ්ඩකාරයන් ඇතුළු හමුදාවද,   


දෙවනුව කොඩි තුවක්කු ද කොඩි තුවක්කුව ඇති මහා කොඩිය සහ වෙනත් අත්කොඩි ඇතුළු වූ රිදී පටිස්ථානයක් අතින්ගත් කොඩි තුවක්කු ලේකම කරවන රන්කොත්දිවෙල දිවාකර විජයකෝන් මුදියන්සේ රාළහාමි ඇතුළුව එම ලේකමේ පයිණ්ඩකාරයන් සහ හමුදාවද,   


තුන්වෙනුව සතර කෝරළේ මහදිසාවේ ඉර සඳ කොඩිය සහ අත්කොඩි ඇතුළුව කටුපුල්ලේ රන්කම් කළ රිදී වේවැලක් අතින්ගත් එම දිසාව කරවන මොල්ලිගොඩ රාජකරුණා සෙනරත් වාසලමුදියන්සේ රාළහාමි ඇතුළුව එම දිසාවේ පයිණ්ඩකාරයන් සහ හමුදාවද,   


සතරවෙනුව සත්කෝරළේ මහදිසාවේ සිංහයා කොඩිය සහ අත්කොඩි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල සහ හමුදාවද,   


පස්වෙනුව මාතලේ දිසාවේ සුදුකොඩිය සහ අත්කොඩි ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් මාතලේ දිසාව කරවන දූල්ලෑවේ නවරත්න වික්‍රමසිංහ සමරකෝන් ජයතිලක පණ්‍ඩිත මුදියන්සේ රාළහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල සහ හමුදාවද,   


සයවෙනුව සබරගමු දිසාවේ පටරෙදිකොඩිය සහ අත්කොඩි ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් සබරගමු දිසාව කරවන දෙළොස්වල කොතලාවල විජයසුන්දර වික්‍රමසිංහ තෙන්නකෝන් මුදියන්සේ රාළහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාලලා සහ හමුදාවද,   


සත්වෙනුව කෝරළ තුනේ දිසාවේ භේරුණ්ඩයාකොඩිය සහ අත්කොඩි ඇතුළුව එම දිසාව කරවන ඇහැලියගොඩ දසනායක රණසිංහ මුදියන්සේ රාළහාමි ඇතුළුව එම දිසාවේ මෙහොට්ටාලලා සහ හමුදාවද,   
අටවෙනුව වලපනේ දිසාවේ මයුරයාකොඩිය සහ අත්කොඩි ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් එම දිසාව කරවන මුල්ලේගම හේරත් දවුණ්‍ඩ වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්‍ඩිත රාජපක්ෂ මුදියන්සේ රාළහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාලලා සහ හමුදාවද,   


නවවෙනුව උඩපලාත දිසාවේ නෙළුම්මල් කොඩිය ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් එම දිසාව කරවන උනම්බුවේ රාජකරුණා රාජපක්ෂ තෙන්නකෝන් වාසල මුදියන්සේ රාළහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාලලා සහ හමුදාව දැයි මෙසේ පිළිවෙළින් සෑදීගොස් උතුමාණන් වහන්සේ පොරොත්තුව සිටිය මණ්‍ඩප ඉදිරියේ දී සියලු රදලවරු සහ හමුදාවත් පොරොත්තුව සබරගමුවේ දිසාමහත්මයාත් කෝරළ තුනේ දිසාමහත්මයාත් අනිකුදු දිසාවල මොහොට්ටාල්ලා සහ කොඩිපිළිත් පෙරමුණේට ඇර පළමු කී අනිත් රදළවරු දළදා කරඬුව කැටුව යන ලෙස පොරොත්තු වූහ.   


දසවෙනුව දළදා මාලිගාවේ කොඩිපිළි ද, ඊළඟට සිංගාරක්කාරයෝද, ඊළඟට නැට්ටුවන් සහ බෙරකාරයෝද ඊළඟට තලිකාරයෝද, ඊළඟට තම්බෝරුකාරයන් සහ පුරම්පේත්තුකාරයෝද, ඊළඟට නාගසින්නම්කාරයෝ ද ඊළඟට සක්දුරකාරයෝ ද ඊළඟට අත්පන්දම්කාරයෝ ද, ඊළඟට කීලපන්දම්කාරයෝද, ඊළඟට නීලපන්දම්කාරයෝ ද යුතු ලෙස දෙපසැ සෑදී සිටියෝය.   


විසිවෙනුව රිදී ධවල ඡත්‍රයක් අතින් ගත් මොරපේ දේවාලයේ බස්නායක නිලය කරවන මඩුගල්ලේ කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ රාළහාමිද රිදී පළිහක් අතින්ගත් පත්තිනි දේවාලයේ බස්නායක නිලය කරවන පමුණුවේ විජයරත්න අර්ථනායක ධර්මධ්වජ පණ්ඩිත මුදියන්සේ රාළහාමි ද ශුබ්‍රවර්ණ සෙමර වල්විදුනාවක් අතින් ගත් කොඩිතුවක්කු ලේකම කරවන රන්කොත්දිවෙල දිවාකර විජයකෝන් මුදියන්සේ රාළහාමිද යන මේ තුන්පල රත්රන් වැඩ ඇති රක්තවර්ණ කාප්ප සැට්ටයක් පොරවාපු කිරිඔරුවේ ඇත් නාම්බා පිට ද ඊට දකූණුපැත්තෙන් රිදී ධවලඡත්‍රයක් අතින්ගත් වේගිරියේ සහ ඇම්බැක්කේ දේවාලයේ බස්නායක නිලය කරවන මාම්පිටියේ අමෘත හස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක මුදියන්සේ රාළහාමිද රතුවිල්ලෝඩි සේසතක් අතින්ගත් අතපත්තු ලේකම කරවන ඇරැව්වාවල සේනානායක බාහුනාරායණ රාජගුරුවාසල පණ්ඩිත මුදියන්සේ රාළහාමි ද රිදී පළිහක් අතින්ගත් සඟරුවන්කෙත දේවාලයේ බස්නායක නිලය කරවන ගොලහැල සමරදිවාකර චන්ද්‍රශේකර කුරුප්පු මුදියන්සේ රාළහාමි ද යන මේ තුන්පල රිදී වැඩ ඇති රතු කාප්ප සැට්ටයක් පොරවාපු වල්ලියා යන ඇත්නාම්බා පිටද ඊට වම් පැත්තෙන් රිදී ධවල ඡත්‍රයක් අතින්ගත් වඩන තුවක්කුකාර ලේකම කරවන තල්ගහගොඩ කරුණා ජයතිලක රාජගුරු මුදියන්සේ රාළහාමි ද රතුවිල්ලෝඩි සේසතක් අතින් ගත් කිරිඳිගල්ලේ දේවාලයේ බස්නායක නිලය කරවන ගෝනිගොඩ විජයකෝන් විජයරාජ මුදියන්සේ රාළහාමිද රිදී පළිහක් අතින් ගත් ගනේගොඩ දේවාලයේ බස්නායක නිලය කරවන අංගම්මන රන්පන්හිඳ දිවාකර මුදියන්සේ රාළහාමි ද යන මේ තුන්පල රිදී වැඩ ඇති රතුකාප්ප සැට්ටයක් පොරවාපු බුලත්ගමයා යන ඇත්නාම්බා පිටද,   


එක් විසිවෙනිව කසකාරයෝ ද ඊළඟට පල්ලේ ගම්පහේ මහනිලමේ ද මාතලේ දිසාමහත්මයාද උඩපළාතේ දිසා මහත්මයාද දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ ගජනායක නිලමේද,   


විසි දෙවිනිව ගිනිදල්වාපු රිදී පන්දම්ද, ඊළඟට විසිතුරු කොට තනන ලද රන්තහඩු පට කඩදාසි ආදියෙන් කරන ලද විසිතුරු මල්ගස්ද,   


සූවිසිවෙනිව, පෙශපට්ට වස්ත්‍රාදි නොයෙක් අනගි පිළි වර්ගවලින් සර්වාංගය වැසූ සැට්ටයක් සහ කුම්භස්ථලයට රන් බොක්කාල දෙකක්ද, පෙර කුඹයට අනගි මැණික් බඳනා ලද ස්වර්ණමය වූ ලක්ෂ්මී රූපයක්ද නොයෙක් ප්‍රකාරයෙන් කැටයම් වැඩකළ රත්රන් නෙත්ති මාලයක් ද දළදෙකට කොණ්ඩායම් එල්වන ලද ගල්බැඳි රන්කොපු දෙකක්ද කර්ණ යුගළයට රත්රන් මිටි සහිත සුදු පැහැති සෙමෙරවලින් කළ වල්විදුනා දෙකක් ද ඉදිරියේ කකුල් දෙකට ගිගිරි වළලු දෙකක්ද රන් සැත් රන් පොරොදු ආදී හස්ත්‍යාභරණද යන මෙයින් සැරසූ සියලු හස්ති ලක්ෂණයෙන් සම්පූර්ණ වූ හතළිස් පහේ ඇත්නාම්බා පිට වතපුටුව බැඳ ඊ පිට රන්හිලි ගෙයක් පණවා ඒ තුළ රිදී දවම්වැලිවලින් එල්ලූ තොටිල්ල මැද පෙශ ලේන්සු පහක් අතුරා ඊ පිට දහස්ගණන් අගනා මැණික් බැඳි නොයෙක් රන්දමින් සැරසූ නවරත්නයෙන් බැබලූ රන් දළදා කරඬුව වැඩමවා ඒ පෙළහර කරන ඇත්නාම්බාගේ මස්තකයට විසිතුරු මල්වියනක් අල්වාගෙන එම ඇතාගේ අවට දළදා මාලිගාවේ වට්ටෝරුකම් කරන අයවල් වඩන තලාතු අරගෙන බිමින් ගමන් කළෝ. ඊට දකුණු පැත්තෙන් දෑසමන් මල්පිරූ රන්තැටියක් අතින්ගෙන මහ ගබඩා නිලමේ කරවන දුනුවිල රාජකරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්‍ඩිත මුදියන්සේ රාළහාමි ද,  


රන්කම් කළ රතුවිල්ලෝඩි සේසතක් අතින්ගත් පස්ගම දේවාලයේ බස්නායක නිලය කරවන වෑගොඩපල නිලමේ ද රන්පළිහක් අතින්ගත් නානායක්කාර ලේකම කරවන කඩිගමුවේ තිලකරත්න මුදියන්සේ රාළහාමිද යන මේ තුන්පළ රත්රන් වැඩ ඇති කාප්ප සැට්ටයක් පොරවාපු කෙන්ගල්ලේ කුඩා ඇත්නාම්බා පිට ද ඊට වම් පැත්තෙන් දෑසමන් මල්පිරූ රන්තැටියක් අතින්ගත් උඩගබඩා නිලමේ කරවන දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාළහාමිද, රන්කම් කළ පට විල්ලෝඩි සේසතක් අතින් ගත් කතරගම දේවාලයේ බස්නායක නිලය කරවන දොඩම්තලේ කඳුරේ මුදියන්සේ රාළහාමිද, රන් පළිහක් අතින්ගත් වහලගොඩ දේවාලයේ බස්නායක නිලය කරවන දිවෙල්ගම නිලමේද යන මේ තුන්පල රන්වැඩ ඇති රතු කාප්ප සැට්ටයක් පොරවාපු ඇම්බැක්කේ ඇත්නාම්බා පිටද, ඊළඟට කවිකාර මඩුවේ ඇත්තෝද,  


සවිසිවෙනුව රත්රන් වැඩ ඇති රතු විල්ලෝඩි සේසතක් ගත් ජන්තුරේ දේවාලයේ බස්නායක නිලය කරවන වේරගොඩ වික්‍රමසිංහ මුදියන්සේ රාළහාමිද රිදී සේසතක් අතින් ගත් කැන්දවල දේවාලයේ බස්නායක නිලය කරවන මුල්ලේගම හේරත් දවුණ්‍ඩ වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ මුදියන්සේ රාළහාමිද රිදී පළිහක් අතින්ගත් මහබද්ද ලැබී තිබුණු වට්ටාරන් තැන්නේ මොළගොඩ රාජපක්ෂ අතපත්තු වාසල රාළහාමි ද යන තුන්පළ රත්රන් වැඩ ඇති රතු කාප්ප සැට්ටයක් පොරවාපු නැලිගමයා යන ඇත්නාම්බා පිට ද ඊට දකුණු පැත්තෙන් රන් ​සේසතක් අතින් ගත් ගබඩා නිලය කළ මුල්ලේගම නිලමේ ද රිදී පළිහක් අතින්ගත් නානායක්කාර ලේකම කළ මත්තගොඩ නිලමේ ද සුද සෙමෙර වල්විදුනාවක් අතින්ගත් නුවර කලාවියේ දිසාව කළ නුගවෙල නිලමේද ඊට වම්පැත්තෙන් රන් සේසතක් අතින්ගත් මහදේවාලයේ බස්නායක නිලය කරවන උනම්බුවේ රාජකරුණා රාජපක්ෂ තෙන්නකෝන් වාසල මුදියන්සේ රාළහාමි ද රිදී පළිහක් අතින්ගත් කතරගම දේවාලයේ බස්නායක නිලය කළ මඩුගල්ලේ බස්නායක නිලමේ ද සුදුසෙමෙර වල්විදුනාවක් අතින්ගත් විල්බාවේ දේවාලයේ බස්නායක නිලය කරවන අංගම්මන රන්පන්හිඳ දිවාකර මුදියන්සේ රාළහාමිද යන මේ තුන්පල රිදී වැඩ ඇති රතු පච්චවඩම් සැට්ටයක් පොරවාපු ගෝඹරයා යන ඇත්නාම්බා පිටද,  


සත්විසිවෙනිව දකුණු පැත්තට මහලේකම් ඇත්කඳලිහිණියා ඇති කොඩිය සහ එම ලේකම පයිණ්ඩ තිබෙන අයවල් සහිත හමුදාවද,  


අටවිසිවෙනිව මල්වත්තේ විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහානායක අනුනායක, කාරක මහා සංඝයා ඇතුළු දොළොස් නමක් ද,   


විසිනවවෙනිව වෙඩික්කාර ලේකම් මහත්මයා සහ එම ලේකමේ රතු පටකොඩිය ඇතුළුව එම පේරුවේ පයිණ්ඩ තිබෙන අයවල් සහ හමුදාවද,  


තිස් වෙනිව නානායක්කාර ලේකමේ පයිණ්ඩ තිබෙන අයවල් සහ හමුදාවද,  


එක්තිස්වෙනිව වඩන තුවක්කුකාර ලේකමේ සුදු පටකොඩි ඇතුළුව එම ලේකමේ පයිණ්ඩ තිබෙන අයවල් සහ හමුදාවද,  


දෙතිස්වෙනිව පඩිකාර ලේකම් මහතා ඇතුළුව එම ලේකමේ රතු පටකොඩිය සහ එම පේරුවේ පයිණ්ඩ තිබෙන අයවල් සහිත හමුදාවද යන මෙකී රදලවරු සහ හමුදාවත්, මෙකී පිළිවෙළින් පෙරහර කිරීමට මාලිගාවේ වාහල්කඩ ගාවින් නික්ම ස්වර්ණකල්‍යාණ වීථිය, යටිනුවර වීථිය, රිදී වීථිය, නාගහ වීථිය, උඩුනුවර වීථිය යන මේ වීථිවල පෙරහර කර දෙවනුව, මළුවේ මණ්‍ඩපයට පැමිණ දළදා කරඬුව රන්හිළිගෙයට වැඩමූ වූ පළමු කී රදලවරුන් දෙපළ විසින් නැවත දළදා කරඬුව මුදා ඇතු පිටින් රැගෙන මහ නිලමේ අතට වැඩමවූ පසු මහනිලමේ විසින් මණ්‍ඩපයේ දොරකඩ ළඟට ගෙනගොස් එහි පොරොත්තුව සිටි ගරුතර උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩමවනවා හා සමගම පළමු කී පරිද්දෙන්ම පඤ්චතූර්ය ඝෝෂාව ඇතුළු වූ මහජනයාගේ සාධුකාර නාදයද කාලතුවක්කු සහ කොඩි තුවක්කුවල මහත් වූ වෙඩි හඬද යන මෙයින් එකකෝළාහල විය.  


ඉක්බිති ගරුතර උතුමාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මල්වත්තේ විහාරයේ මහානායක ස්ථවිරයන්වහන්සේගේ ශ්‍රී හස්තයට කරඬුව ලැබුණේය. උන්වහන්සේ යට කී අලංකෘත ආසනයට ඒ දළදා කරඬුව වැඩමවා රන්කම් කළ තිරවලින් වසා දළදා වහන්සේ වැඩසිටින ඒ රුවන් කරඬු තුනම අැර ධාතුන්වහන්සේ එළියට වැඩමවා මුල කී රන්හිළිගෙය තුළ පාළාපෙත්ත පිටට වැඩමවූ සේක. ඉක්බිති පළමුකොට උතුමාණන්වහන්සේට දක්වා තිර ඉවත් කොට එහි රැස්ව සිටි ඉංග්‍රීසි මහතුන්ට සහ රාජදේවීන් වහන්සේ ඇතුළු වූ අනිකුදු ඉංග්‍රීසි නෝනා මහත්වරුන්ටත් දැක්වූයේය. ඊට පසු රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාට දැක්වීය. මේ වැඩ ඉවරවන විට එදා හිරු අස්තයට පැමිණියේය. පසු දින පූර්වභාග දස පෑ වේලාවට සියලුම රදළවරු යහපත් වූ සුදු අයිත්තමින් සැරසී ගරුතර උතුමාණන්වහන්සේගේ ගමන් මාලිගාවට ගොස් පෙරකී පරිද්දෙන්ම උතුමාණන්වහන්සේ මහත් පෙරහරින් කැඳවා ගෙනැවිත් කරඬුව හැර දළදා වහන්සේ එළියට වැඩමවා උතුමාණන්වහන්සේ ඉදිරිපිට දී රදළවරු පිලීකට්ටු වරාගම් ආදී මාහැඟි වස්තු පූජාකොට වන්දනාමාන කළෝය. ඉන්පසු උතුමාණන් වහන්සේට අනේකවිධ නෘත්‍ය ගීතාදිය පවත්වා සතුටුකරවා ඉක්බිති පාතරට හමුදාවටද ඊළඟට දිසාවෙල සේනාවට ද ඊළඟට උඩරට සේනාවටද දැක්කෙව්වේය. මෙසේ සත් දිනක් මේ මාහැඟි පූජෝත්සවය පැවැත්තේය.  


මේ දවස්වල මුර කළ අන්දම නම්, විහාර දෙකෙන් භික්ෂූන් වහන්සේලා සත් නමක් සහ මහානායක ස්ථවිරයන් වහන්සේ නමකුත් කරඬුව වැඩ සිටින ආසනය ළඟ ද ඒ ළඟම තිරපෙළක් ඇද, ඊට පිටින් දිසාමහත් කෙනෙක් සහ රදළවරු හත්පළකුත් රිදී පටිස්ථාන අරගෙන ද ඊළඟට තිරපෙළක් ඇද ඊට පිටින් බෝර්තු උසාවියේ රාළලා ද ඊට පිටින් ජාහේවා පන්නකාර කොමදයක් සහ සුදුමහත් කෙනෙක් ද ඊට පිටින් කටුපුල්ලේ ඇත්තෝ හතළිස් අට දෙනෙක් ද ඊට පිටින් වාපන ඇඳගත් කොස්තාපල්වරු පනස්තුන්දෙනෙක්ද මුර සිටියේය.  


තවද, උතුමාණන් වහන්සේට ආරක්ෂා පිණිස උන්වහන්සේ පො​රොත්තුව සිටි මණ්‍ඩපය අවට තම්බෝරුකාරයෝද මහ ග්‍රැනියර් උන්නාන්සේ සහ ඉංග්‍රීසි හේවාපන්නේ කොමන්දයක් ද මුලාදෑනියෙක්ද මුර සිටියෝය. තුන්වනදා රෑ දස පැය වේලාවට උතුමාණන් වහන්සේ සහ අනිකුදු මහත්වරු රැස්ව මේ මනෝහර ධාතු පූජෝත්සවය පිණිස කොළඹින් ගෙන්වන ලද ඉතා අගනා ඉංග්‍රීසි සිංහල ගිනිකෙළි රැසක් පූජාකළෝය. මෙපමණක් නොව ඌවේ කම්බාකාරියෝද කඩු පලිස් හරඹද, ලී කෙළි ද යනාදී නොයෙකුත් නැටුම් ගැයුම් මේ දවස්වල පැවැත්වූවෝය. මේ පූජෝත්සවය පිණිස රැස්වෙන්නට යෙදුනා වූ උඩපාත දෙරටෙහි සෙනඟින් බැලු බැලූ දිසාවෝ අතුරු සිදුරු නොව මහ වතුරක් මෙන් ගලාගොස් තිබුණාහ. ඒ ඒ පැත්ත අත්පොළසන් සාධු නාදාදියෙන් පිරී තිබුණෝය.  


මෙසේ ජුලි මස තුන්වෙනි කුජ දින වනතුරු මහ මළුවට දළදා වහන්සේ වැඩමකරවා සියලු දෙනාටම කැමැති අන්දමකින් වැඳපුදා ගැන්මට ඉඩහැර තිබී එම දින පෙරවරු එකොළොස් පැයට නැවතත් පළමු කී පරිද්දෙන් මනෝහර පෙරහරින් දළදා වහන්සේ සහිත රුවන් කරඬුව මාලිගාවට වැඩමවා එහි හේවිසි මණ්‍ඩපයෙහි පැනවූ මාහැඟි විසිතුරු ආසනය පිට තිබෙන රන්කමින් සැරසූ රන්හිළිගෙයි එල්වා තිබුණු පාළාපෙත්ත පිටට ධාතුන් වහන්සේ වැඩම වූයේය.  


පසුවූ දවස්වල වැස්සා වූ මහ වැස්සෙන් ගංගා ඇළදොළ ඔයවලින් මෙතෙරවිය නොහී නැවතී සිටි සෙනඟට ඇවිත් වැඳ පුදා ගැන්මට ඉඩහැර තිබී ජුලි මස දහ අටවෙනි බුද දින දළදා වහන්සේ මාලිගාවේ උඩුමහල්තලයේ මහාකරඬුව තුළට වැඩමවා මේ පූජෝත්සවය මෙතෙකින් හමාර කරන්නට යෙදුණේය.  

 

 


සටහන යූ.ජී. විජේසූරිය



අදහස් (0)

දළදා වතුර ගැලූ ඓතිහාසික දළදා පෙරහර

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site