IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඩුබායි ගිය අවතාරය

 

භූත, ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ ආදී නොයෙක් නොයෙක් කතාන්දර බොහෝය. ඒවා ඔබ අසා ඇතුවාට සැක නැත. භූතයින් ගල් ගැසීම, මළවුන් ආරූඪ වීම, ගෙවල් ගිනිතැබීම, බඩු එහා මෙහා කරවීම, නිදන ඇඳන් බිමට ඇද දැමීම, ඇඳ පිටින් එසවීම, ගොම්මනේදී පෙනී සිටීම, ප්‍රේත භූත කුම්භාණ්ඩ බැල්ම වැටීම, විවාහය ප්‍රමාද කරවීම, විවාහ කඩාකප්පල් කරවීම යනාදිය අප සමාජයේ මුල් බැසගත් විශ්වාසයන්ය. හුදෙක්ම මිත්‍යා විශ්වාසයන්ය. මේ ද එවන් සිදුවීමකි.
   

නිපුනි කුඩා කලම සිටම හැදී වැඩුණේ ඇයගේ ආච්චි සහ සීයා ළඟය. නිපුනිගේ දෙමාපියන් රැකියාවට ගොස් නිවසට පැමිණෙන්නේ රෑ බෝ වී නිසා ඇය බලා කියා ගැනීමට කවුරුන්වත් නොසිටියහ. මේ නිසාම නිපුනි ආච්චිගේ නිවසේ නැවැත්වීමටත් සති අන්තයේ නිවසට රැගෙන යාමටත් නිපුනිගේ දෙමාපියන් කටයුතු කළහ. නිපුනිගේ හොඳම මිතුරාත් මිතුරියත් වූයේ සීයාත් ආච්චිත්ය. දෙමාපියන්ට වඩා දැඩි සෙනෙහසක් ඇය ආච්චිටත් සීයාටත් දැක්වූවාය. ආච්චි හා සීයා ද නිපුනිට ඉමහත් සෙනෙහසක් දැක්වූහ. සතියේ දවස් පහක්ම ඇය මෙලෙස හැදී වැඩුණේ ආච්චි, සීයා ළඟය.   


නිපුනි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ද සමත් වූවාය. ඇය අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටියත් විශ්වවිද්‍යාල වරම් ලබාගැනීමට ලකුණු ප්‍රමාණවත් නොවීය. තවදුරටත් අධ්‍යාපන කටයුතුවලම නියැළීමට නිපුනිට කැමැත්තක් නොවීය. ඇය පාඨමාලාවක් හැදෑරීමට සිතා ගත්තාය. ඒ නිසාම ඇය පරිගණක ඩිප්ලෝමා පංතියකට ගියාය. එහිදී ඇයට විසල් හමුවිය. විසල් කෙරේ ආදරණීය සිතක් නිපුනිට ඇති වූ අතර විසල්ටද ඇය ගැන ආදරයක් ඇතිවිය. දෙදෙනා එකම පරිගණක පංතියේ අධ්‍යාපනය ලැබූ බැවින් ඔවුන් ආවේ ගියේ එකටමය.   


නිපුනි ආච්චිටත් සීයාටත් විසල් ගැන සියලු විස්තර කියා සිටියාය. විසල් නිපුනිව පරිගණක පංතිය වෙත රැගෙන යාම සඳහා ආච්චිගේ නිවසට පැමිණියේය. මෙසේ කාලය ගත වූ අතර විසල් රැකියාවකට ගියේය. නිපුනි ද රැකියාවකට ඉල්ලුම් කළ අතර ඇයටද පරිගණක අංශයේ රැකියාවක් ලැබුණි.   


දින සති මාස ගෙවෙමින් විසල් හා නිපුනි විවාහ වූහ. දෙදෙනාම රැකියාවකට ගියත් ආර්ථික අපහසුතා ඇති විය. මේ නිසාම දෙදෙනාම විදේශ රැකියාවක් සඳහා යාමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගියහ. එහි නිවසක් කුලියට ගෙන එහි පදිංචි වී දෙදෙනාම රැකියාවන්වල නියැළුණා.   


වසර දෙකක කාලයක් ඩුබායි රටේ සේවය කළ නිපුනි හා විසල් තම දෙමාපියන් බැලීම සඳහා ලංකාවට පැමිණියහ. ඒ වනවිටත් නිපුනිගේ ආදරණීය ආච්චි අම්මා රෝගාතුරව සිටියාය. නිපුනිගේ ආච්චි නිතරම කිව් දෙයක් වූයේ මැරෙන්න පෙර ඇයව එක් වතාවක් හෝ ඩුබායි එක්කගෙන යන ලෙසයි. එය නිපුනිට නිතරම සිහිපත් විය.   


‘‘අනේ දැන් ආච්චිව මං කොහොමද එක්කගෙන යන්නෙ? ආච්චි හොඳටම ලෙඩින්නෙ” නිපුනි දුක්වූවාය. මාසයක් පමණ ආච්චි බලාගත් නිපුනි, විසල් සමඟ ඩුබායි බලා පිටත් වූහ. වසර දෙකක කාලයක් රෝගාතුරව සිටි ආච්චි මියගියාය. ආච්චි මිය යනවිට නිපුනි ඇය ළඟ නොසිටියාය. නිපුනිට ආච්චි මියගිය පුවත ඇයගේ දෙමාපියන් විසින් දන්වන ලදී. කෙසේ හෝ ආච්චිගේ මළගමට යා යුතු බව අදිටන් කරගත් නිපුනි විසල් සමඟ මළගෙදර පැමිණියාය. තම ආච්චි තමා කොතරම් හොඳින් බලාගත්තාද? කොතරම් සෙනෙහසක් පෑවාද? තමන් හුරතල් වූයේ ආච්චි අම්මා එක්ක නොවේද? යන්න මතක් වෙවී දුක උහුලා ගනු බැරිව නිසා ඇය හැඬුවාය. දවස් පහක් පමණ මළගෙදර සිටි නිපුනිත් විසලුත් නැවත ඩුබායි බලා පිටත් විය. ඒත් නිපුනිගේ දුක අඩුවක් නොවීය.   


මේ අතර සත් දවසේ ද‌ානයට කලින් ද‌ා පුදුම සිදුවීමක් විය. එදින රාත්‍රී හතට හාමුදුරුවන් වැඩ බණ කියා අවසන් වූ පසු පැමිණි අයට සංග්‍රහ කිරීමට බුලත් පුවක් තබා තිබුණේ ආච්චිගේ කාමරයේය. ආච්චි මියගිය පසු කාමරය සුද්ද පවිත්‍ර කොට තිබුණි. බුලත් විටක් ගෙන එන්නට එක් දැරියක් ආච්චිගේ කාමරය වෙත ගියාය. එක්වරම ඇය ‘‘අනේ අම්මේ, මැරිච්ච ආච්චි ඉන්නවා” කියමින් කෑ ගසාගෙන දුවගෙන ආවාය.   


මළගෙදර පැමිණි සියල්ලෝම දුවගෙන ගියේ ආච්චිගේ කාමරය වෙතය. නමුත් එහි කිසිවකුත් නොවීය. කුඩා දැරිය පවසන්නේම මැරුණ ආච්චි කාමරයේ බිම හාන්සි වී සිටි බවයි. සියලුදෙනාම දැරිවිය අස්වැසුවේ ‘මැරුණ කෙනෙක් එහෙම පේන්න එන්නේ නැහැ’යි කියමිනි.   


නමුත් තවත් පිරිසකගේ මතය වූයේ මියගිය අයවලුන් හත් දවසේ පැමිණෙන බවය. එසේ පෙනෙන්නට පැමිණි අවස්ථා ඇති බවත් ඔවුන් කියා සිටියහ. ආච්චි භූමද‌ාන කළ සොහොන සාද‌ා තිබුණේද ආච්චිගේ නිවසේ වත්තේමය. පාන්දර දෙකට පමණ කාන්තාවෝ කෑම උයන්නට වූහ. එක් වරම ආච්චිගේ සොහොන දෙසින් ‘‘බුදු අම්මෝ” කියා කෑ ගසන හඬක් ඇසුණි. එකෙණෙහිම එක් මැදිවියේ කාන්තාවක් නිවස දෙසට දුවගෙන ආවාය. ඇය ආච්චිගේ ඥාති සොහොයුරියකගේ දියණියකි.   


‘‘අපේ නැන්දා සොහොන උඩ ඉඳගෙන ඉන්නවා” යැයි ඇය සියල්ලන්ටම පැවසුවාය. සියලුදෙනාම භයින් බිරාන්තව සොහොන දෙසට ගියත් එහි කිසිවකුත් නොවීය.   


මෙසේ දින කිහිපයක් ගතවිය. මියගිය ආච්චි සොහොන ළඟ, කඩුල්ල ළඟ, කාමරයේ, කුස්සියේ සහ ළිඳ ළඟ සිටි බව ඇතැම් අය දැක තිබේ.   


මේ අතර නිපුනි හා විසල් තමන් විවාහ වී වසර පහක් පිරීම නිමිත්තෙන් ඩුබායි රටේ මිතුරු මිතුරියන් හට සාදයක් පැවැත්වූහ. එහිදී ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීමද සිදුවිය. උත්සවය නිමා වී දින කීපයකට පසු නිපුනි හා විසල් පරිගණකයට දමා ගත් ඡායාරූප බලන්නට වූහ. එක් ඡායාරූපයක අමුතු දෙයක් තිබුණි. නිපුනි පමණක් එම ඡායාරූපයට පෙනී සිටි අතර පසෙකින් මීදුමක් සමඟ රතු පැහැති පැල්ලමක් වැනි දෙයක් පෙනෙන්නට තිබුණි.   


මෙම රතු පැහැති පැල්ලම කුමක්දැයි බැලීමට ඡායාරූපය විශාල කළහ. එහි වයසක කුදු කාන්තාවකගේ ඡායාවක් වැනි දෙයක් පෙනෙන්නට විය. මෙය කාගේ හෝ ඡායාවක් ද නැතහොත් මියගිය ආච්චි ද යන්න ඔවුනට සැකයක් ඇති විය. මියගිය ආච්චි කිහිපදෙනෙකුටම දර්ශනය වූ බව මොවුන්ට ද දැනගැනීමට ලැබී තිබුණි. ඒ නිසා මේ ඡායාරූපයේ ඉන්නේද මියගිය ආච්චි යන්න මොවුහු සිතූහ.   


නිපුනි හා විසල් ලංකාවට පැමිණියහ. තමන්ගේ පස් අවුරුදු සංවත්සරයේ ඡායාරූපද රැගෙන එන්නට නිපුනි අමතක නොකළාය. එම ඡායාරූප තම දෙමාපියන්ට හා ඥාතීන්ට පෙන්වූ පසු ‘‘ඔව්නේ මේ ඉන්නේ අම්මානේ, මේ ඉන්නේ ආච්චිනේ, මේ ඉන්නේ නැන්දානේ ” යනුවෙන් ඡායාරූපයක කුදු ගැහුණු වයසක කාන්තාවකගේ යැයි සිතිය හැකි ඡායාව බලා සියලු දෙනා කියන්නට වූහ.   

 


සමහරෙක් පැවසුවේ නිපුනිට ආදරෙන් සිටි ආච්චි නිපුනි බැලීමට ඩුබායි යන්නට ඇති කියාය. 

තවත් අයෙක් පැවසුවේ ජීවත්ව සිටියදී ඩුබායි යන්නට කැමැත්තෙන් සිටි නිසාත් ඇයට යන්නට අවස්ථාවක් නොලැබුණු නිසාත් මියගිය පසු ආච්චි නිපුනි සිටින තැනට යන්නට ඇති බවයි.   


මේ අතර නිපුනි එක් වරම අසනීප වූ අතර ප්‍රතිකාර කළද සුවයක් නොවීය. ඇය ආච්චිගේ ස්වරූපයෙන් කතා කරන්නට විය. ආච්චි නිපුනිට ආරූඪ වී ඇත. සියල්ලෝ එලෙස සිතූහ. ඒ අනුව කට්ටඬියකු ගෙන්වා නිපුනිගේ ශරීරයෙන් ආච්චි යැවීමට ඔව්හු උත්සහ කළහ. දින තුනක් සාමාන්‍ය තත්ත්වයෙන් සිටි නිපුනිට නැවතත් ආච්චි ආරූඪ විය.   


ආච්චිගේ අවතාරය තැන් තැන්වල පෙනී සිටීමත් නිපුනිගේ ශරීරයට ආරූඪ වීමත් නිසා නිපුනිගේ පවුලේ අය අසරණ තත්ත්වයකට පත්විය. මෙය කිසිවකුටත් බලා සිටින්නට නොහැකි වූ බැවින් මේ සම්බන්ධව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙතට නිපුනිව යොමු කිරීමට වැඩිහිටි අයෙක් කටයුතු කළේය. අද‌ාළ තත්ත්වය විද්‍යාකුලපති මහතා පැහැදිලි කළේ මෙසේය.   


මිනිසෙකුට හොඳින් පෙනෙන ශරීරයකුත් එසේ නොපෙනන සිතක් හෙවත් මනසකුත් තිබෙනවා. ශරීරයේ ඉතාම වැදගත් අවයවයක් තමා මොළය. මොළය විසින් ශරීරයේ අනෙක් අවයවවල යම් පාලනයක් නියාමනයක් සිදු කරනවා. විද්‍යාව අනුව, මනස යනු මොළය ආශ්‍රය කරගෙන පවතින මොළයේම යම් ක්‍රියාකාරිත්වයකි. ඇත්තටම මෙහිදී මොළය කියා තනි අවයවයක් පමණක් උලුප්පා දැක්වුවත්, මොළයට තවත් හවුල්කාරයන් කිහිප දෙනෙක් ඉන්නවා. මොළය හා එම හවුල්කාරයන් සියල්ලම පොදුවේ ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. ඒ අනුව මනස යනු මුළු ස්නායු පද්ධතියම ආශ්‍රය කරගෙන පවතින ‍තත්ත්වයක් බව මින් පැහැදිලි වෙනවා.   
සත්වයකුට පවතින්නේ එක සිතකි. එම සිතට සුවිශේෂී ලක්ෂණ ගණනාවක් පවතී. තර්ක කිරීම, විශ්ලේෂණය කිරීම, සිතීම මතක තබා ගැනීම, සතුට-දුක-තනිකම-උනන්දුව වැනි දහසකුත් හැඟීම් හා භාවයන් ඇතිකර ගැනීම, යම් යම් දේ සාධාරණීකරණය කිරීම වැනි නොයෙක් ඥානන ක්‍රියාවන් මනසින් සිදු කරනවා. විද්‍යාව ඔස්සේ තවදුරටත් මේවා අධ්‍යයනය කරගෙන යන විට, මනස තුළ මේවා සිදුවන්නේ විවිධ මට්ටම් හෝ ආකාරවලින් බව පෙනී ගියා.   


ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙ​ෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට මනස කොටස් තුනකට බෙද‌ා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යයනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ.   


අවිඥානය සම්පූර්ණයෙන්ම වට කරගෙන උපවිඥානය පිහිටා ඇත. හරියට පොල් ගෙඩියක මදය වට කරගෙන පොල් කට්ට පිහිටනවා වාගේය. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටා ඇත. ඇත්තටම රූපමය ආකාරයට ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත් සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක් මනුෂ්‍යයෙක් ජීවත්වන විට මෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යයනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. 


උපවිඥානයේ තමයි දිගු කාලීන මතකය පවතින්නේ. තවද හැඟීම් හා භාවයන් තැන්පත් වන්නේද එහිමයි. අපේ පුරුදු සියල්ලම ගබඩා වී පවතින්නේ උපවිඥානයේ. මෙලෙස උපවිඥානය සතු තවත් ලක්ෂණ ගණනාවක් පවතිනවා. ඔබේ හොඳ සහ නරක ජීවන තත්තවයන් දෙකටම වග කියන්නේ මෙම උපවිඥානයයි. උදාහරණයක් ලෙස ඔබ සිගරට් බොන නරක පුරුද්ද ඇති කරගෙන තිබේ නම් එම පුරුද්ද පවතින්නේ මෙම උපවිඥානයේය. සවිඥානයටද සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම තමන් දරන මතය සාධාරණ බව තහවුරු කිරීමට වෑයම් කිරීම බාහිරින් හෝ ශරීරය අභ්‍යන්තරයෙන් වුවද මනසට ලැබෙන පණිවුඩ යටි සිතට යෑමේදී විකෘති කිරීම ඒ අතර ප්‍රමුඛ වේ.   


ඉහත කෙටි විස්තරය සලකා බැලූ පසු දැන් අපට පුළුවන් මෝහනය යනු ඇත්තටම කුමක්දැයි විද්‍යාත්මකව බැලීමට මෝහනය යනු උඩු සිතේ බලපෑම ඉතා අවම කර යටි සිත සමග ඍජු සම්බන්ධයක් ගොඩනඟා ගැනීම හා මෝහනයට පත්වන තැනැත්තාට අවශ්‍ය (කැමැති) යෝජනා පමණක් යටි සිතට (උඩු සිතෙන් ඇති කරන කිසිම විකෘතියකින් තොරව) ඇතුළු වීමට ඉඩ සැලැස්වීමයි.   


මෝහනය පිළිබද ඉහත අර්ථකථනය දුටු විට එහි කොටස් දෙකක් පවතින බව පෙනේ. බොහෝ අය මෝහනය ලෙස දකින්නේ ඉන් පළමු කොටස පමණයි. එහෙත් ඇත්ත වශයෙන්ම මෝහනයට ඉහත කොටස් දෙකම අවශ්‍යයි. උඩු සිත තුනී කිරීම හෝ මගහැරීම හෝ එහි බලපෑම අවම කිරීම ඉතාම අත්‍යවශ්‍ය වේ. දෙවැනි කාර්යය ඉටු කිරීමට මෙම පළමු කාර්ය සිදුවිය යුතුමයි. ඊට හේතුව මෙයයි. ඔබට සිගරට් බොන පුරුද්ද අත්හැරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව යටි සිතේ පැලපදියම්ව පවතින අදහස්, තොරතුරු වෙනස් කළ යුතුය. ඒ සඳහා කියන යෝජනා නිකංම ඔබ සාමාන්‍ය සිහියෙන් සිටින විට කියපු විට උඩු සිත විසින් ඒවා යටි සිතට ඒ විදියටම යන්නට දෙන්නේ නැහැ. ඊට හේතුව උඩු සිතේ පවතින ලක්ෂණයක් බව දැන් ඔබ දන්නවා. ඇත්තටම උඩු සිතේ මෙම ක්‍රියාවට අවධි සාධකය යන විද්‍යාත්මක නම භාවිතා වෙනවා. මෝහනයේදී මෙම අවධි සාධකය මැඩ පවත්වනවා. ඒ විතරක් නොවේ, අවධි සාධකය තුනී කළාට පසුව වුවත් මෝහනයට පත් තැනැත්තාට යෝජනා කරන ඒවා නිකම් භාර ගන්නේ නැත. ඔහුට අවශ්‍ය කරන යෝජනා පමණයි ඔහු භාර ගන්නේ. මින් ඇත්ත වශයෙන්ම යම් ආරක්ෂාවක් ඔහුට ලැබෙනවා. එහෙම නැති වුවොත් ඕනම කෙනෙක්ට වෙනත් කෙනෙකු මෝහනයට පත්කර තමන්ට අවශ්‍ය දේවල් ඔහු ලවා කරවා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම චිත්‍රපටිවල නම් එබඳු දර්ශන තිබෙනවා. එහෙත් ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා නිපුනිව මෝහන නිද්‍රාවට පත් කළේය. ‘‘මම දැන් තුනට ගණන් කරනවා. තුන කියනවාත් සමඟ ආච්චි ඔබේ සිරුරට එනවා” යනුවෙන් කියා වෛද්‍යවරයා එකේ සිට තුනට ගණන් කළේය. නිපුනි ආච්චි මෙන් කතා කළාය. නිපුනි ආච්චි සම්බන්ධයෙන් නොදන්නා රහස් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇයගෙන් විමසුවේය. නිපුනිට එහිදී උත්තර දෙන්නට නොහැකි විය. ඇය බොරු පවසන්නට විය. ‘‘ඔබට ආච්චි වැහී නැහැ. මෙය ඔබේ සිතේ ඇති වූ මතයක් පමණයි” කියමින් වෛද්‍යවරයා ඇය මෝහන නිද්‍රාවෙන් අවදි කළේය.   


තත්ත්වය එසේ නම් ගමේ අය ආච්චිව දැක්ක බව, ආච්චි පෙනී සිටි අයුරු, ආච්චි ඩුබායි ගිය අයුරු මේවා සත්‍ය නොවේද? මේවාට වෛද්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.   


යමෙක් බියකින් හෝ මානසික වැටීමකින් සිටින විට හෝ තද විශ්වාසයකින් සිටින විට හෝ ඔවුනට ඒ දේවල් දැනෙන්ට පුළුවන්. මැවී පෙනෙන්නට පුළුවන්. එය මනෝ භ්‍රාන්තියකි. දෘෂ්ටි මායාවකි.   


එසේ නම් ඡායාරූපයට පෙනුනේ කුමක්ද? ඡායාරූපය ගෙන්වා සුපරීක්ෂාකාරීව එය බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා එයද පැහැදිලි කළේය.   


යමෙකු බියකින් හෝ මානසික වැටීමකින් හෝ තදබල විශ්වාසයකින් හෝ සිටින විට ඒ සියල්ල එසේ පෙනෙයි. එය දෘෂ්ටි මායාවකි. මනෝ භ්‍රාන්තියකි. ඡායාරූපය ගැනීමේදී කැමරාව ඉදිරියේ දුමක් හෝ දුඹුරු පාට යමක් තිබී ඇත. එය ඡායාරූපය ගැනීමේදී ආලෝකය පරාවර්තනය වී මෙලෙස පෙනී තිබුනා විය හැකියි. ඡායාරූප විශාල කර බලන විට මේවා විවිධ හැඩතල ලෙස දකින්නට හැකි වෙනවා.   


දෘෂ්ටි මායාවක් මිස මියගිය අයෙකු පියවි ඇසට පෙනීසිටීමට කෙසේවත් හැකියාවක් නැහැ. මියගිය පුද්ගලයන් ගෙන්වීම, කතා කිරීමට ද කළ නොහැකියි. ඒවා බොරුකාරයන්ගේ සටකපට වැඩ පමණයි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පැහැදිලි කර දුන්නේය.   


ඉන්පසු කිසිම දවසක මේ වනතෙක් මියගිය ආච්චි නිපුනිට ආරූඪ නොවීය. ගමේ කිසිවකුටවත් ඥාතිවරුන්ටවත් මියගිය ආච්චි ඉන්පසු පෙනී සිටියේ නැත. සත්තකින්ම මියගිය ආච්චි දකින්නට කිසිවකුටවත් නොහැකිය.   

 

 

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත   

 



අදහස් (0)

ඩුබායි ගිය අවතාරය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site