IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා සචින් තෙන්දුල්කාර්

මතකයෙන් නොමැකෙන තරු

ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය.
   
ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ.   


ඉන්දීය කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු වූ සචින් දකුණත් පිතිකරුවෙකි. අඩි 5 අඟල් 5ක් උස මේ ක්‍රීඩකයා පිතිකරණයට අමතරව දකුණත් පිට දඟ පන්දු, පා දඟ පන්දු සහ ගුග්ලි පන්දු යවන්නකු ලෙස පිටියේ දස්කම් පෑවේය. ඔහුගේ ගිණුමට ටෙස්ට් කඩුලු 46ක් සහ එක්දින කඩුළු 154ක් බැර වී ඇති අතර එක්දින තරගවලදී ඉනිමක කඩුළු 5 බැගින් ලබා ගත් අවස්ථා ගණන 2කි.   


1989 නොවැම්බර් 15 දින පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන් සචින්, 2013 නොවැම්බර් 13 වැනි දින බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ සිය අවසන් තරගය වූ 200 වැනි ටෙස්ට් තරගයට සහභාගි විය. සචින් ලබා ඇති වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව නොදැවී 248කි. ඔහු එම වාර්තාව පිහිටුවනු ලැබුවේ 2004 බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදීය.   


ඔහු සහභාගී වූ පළමු එක් දින තරගය 1989 දෙසැම්බර් 18 වැනි දා පැවැත්වුණු අතර අවසන් එක්දින තරගය 2012 මාර්තු 18 පැවැත්විණි. එක් දින තරග සඳහා ඔහුගේ අංකය වූයේ අංක 10යි. සචින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලට සහභාගී වී ඇත්තේ එක් වරක් පමණි. ඒ 2006 දෙසැම්බර් 1 වැනි දින දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයටය. ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා වූයේ සචින් තෙන්දුල්කාර්ය. 2012 මාර්තු මස බංග්ලාදේශයට එරෙහිව ලකුණු 114 ලබා ගනිමින් ඔහු එම සීමාවට ළඟා විය. සචින් තම ප්‍රථම ශතකය වාර්තා වූයේ 1990දී එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදීය. ඔහු එහිදී නොදැවී ලකුණු 119ක් රැස්කර ගැනීමට සමත් විය. ටෙස්ට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව ශතක වාර්තා කරනු ලැබ ඇති සචින්, ඒ සියලු රටවලට එරෙහිව ලකුණු 150 ඉක්මවා රැස්කරන ලද දෙවැනි ක්‍රීඩකයාද වේ.   


සචින්ගේ ප්‍රථම එක්දින ශතකය වාර්තා වූයේ එක් දින තරග 79කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය. ඔහුගේ පළමු එක්දින ශතකය 1994දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද අතර එක් දින තරගයක ද්විත්ව ශතකයක් ලද ප්‍රථම ක්‍රීඩකයා වන්නේද තෙන්දුල්කාර්ය. ලකුණු 90ත් 99ත් අතර රැස්කර සිටියදී 18 වතාවක් දැවී ගොස් ඇති තෙන්දුල්කාර් 17 වතාවක් ලකුණු 80ත් 89ත් අතර රැස් කොට තිබියදී දැවී යාමට හසු වී තිබේ.   


1973 අප්‍රේල් 24 දා බොම්බායේ දී උපත ලද සචින්ගේ පියා රමේෂ් තෙන්දුල්කාර්ය. ඔහු මහරාශ්ට්‍රයේ සුප්‍රකට මරාති ලේඛකයෙකි. මව රාජිනී රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත කාන්තාවක විය. රමේෂ් තෙන්දුල්කාර්ගේ ප්‍රියතම ගායකයා හා සංගීතඥයා වූයේ බෙංගාලි ජාතික සචින් දේව් බර්මන්ය (සංගීතඥ ආර්.ඩී. බර්මන්ගේ පියා). එම සංගීතඥයා සිහිවීම පිණිස ඔහු තම බාල පුත්‍රයාට සචින් ලෙස නම් තැබීය. සචින්හට තම පියාගේ ප්‍රථම විවාහයේ නිතින් හා අජිත් නමින් සොහොයුරන් දෙදෙනෙක් හා සවිතා නමින් සොහොයුරියක සිටී.   


ළමා වියේදී සචින් නිතර පාසල් මිතුරන්ගේ හිරිහැරවලට ලක් විය. තමාට හිරිහැර කළ සිසුන් සමඟ ඔහු ඉඳහිට ගුටිබැටද හුවමාරු කර ගත්තේය. කුඩා කල ටෙනිස් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දැක් වූ සචින්ගේ වීරයා වූයේ ජෝන් මැකන්රෝ නම් ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයාය. තම බාල සොහොයුරා පාසලේදී මුහුණ දෙන හිරිහැරවලින් බේරා ගැනීම සඳහා ඔහුගේ වැඩිමහලු සොහොයුරු අජිත්, 1984දී සචින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට උත්සාහ කළේය. ඔහු සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරුවකු වූ රාමකාන්ත් අච්රෙකාර් වෙතට තම සොහොයුරා කැඳවාගෙන ගියේ එහෙයිනි. එහෙත් සචින්ට පුහුණුකරුගේ අවධානය දිනා ගැනීමට නොහැකි විය. තම සොහොයුරාට අවස්ථාවක් ලබා දෙන ලෙසට අජිත් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ රාමකාන්ත් ඔහුට පුහුණුව ලබා දීමට එකඟ විය. අජිත් සචින්ට වඩා දස වසරකින් වැඩිමහලු වූ අතර සචින්ගේ ක්‍රීඩා ජීවිතයට විශාල බලපෑමක් කළ පවුලේ සාමාජිකයා වූයේ ඔහුය.   


කල් ගතවත්ම සචින් පුහුණුකරුගේ සිත් දිනා ගැනීමට සමත් වෙමින් දක්ෂතා ප්‍රකට කරන්නට විය. දාදාර් ප්‍රදේශයේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම සිටියේ ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේය. එම පාසල අති දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කිරීම පිළිබඳව කීර්තියක් ඉසිලීය. රාමකාන්ත් සචින්හට එම විද්‍යාලයට ඇතුළු වන ලෙසට දිරිමත් කළේය. තෙන්දුල්කාර් අධ්‍යාපනය ලැබුවේ බන්ද්‍රාහි ඉන්දියානු අධ්‍යාපන සංගමයට අයත් ඉංග්‍රීසි පාසලකය. ඔහු දිනපතා උදය වරුවේත්, සවස් වරුවේත් රාමකාන්ත් යටතේ පුහුණු විය. ඇතැම් දිනවල කඩුල්ල මත රුපියලේ කාසියක් තබන රාමකාන්ත් කවුරුන් හෝ පන්දු යවන්නකු සචින්ගේ කඩුල්ල දවා ගතහොත් ඔහුට එම රුපියල හිමි වන බවට කියා සිටියේය. කිසිවකුට ඔහු දවා ගත නොහැකි වූ අතර රුපියල හිමි වූයේ තෙන්දුල්කාර්ටය. තෙන්දුල්කාර් සතුව රුපියලේ කාසි 13ක් ඇති අතර අදටද ඔහු ඒවා තමා ලද වටිනාම ත්‍යාග ලෙස සලකා ආරක්ෂා කරගෙන සිටී.   


ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට එක් වූ සචින් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය තරුවක් විය. පාසල් ක්‍රිකට්වලට අමතරව ජෝන් බ්‍රයිට් ක්‍රීඩා සමාජයටද ඔහු ක්‍රීඩා කළේය. වයස අවුරුදු 14දී මදුරාසි වේග පන්දු පුහුණු ඇකඩමියට එක්වූයේ වේග පන්දු යවන්නකු ලෙස පුහුණුව ලැබීම සඳහාය. එහි පුහුණුකරුවකු වූයේ ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වූ ඩෙනිස් ලිලීය. ලිලී සචින්ගේ වේග පන්දු පිළිබඳව සෑහීමට පත් නොවූ හෙයින් සචින්ට පැවසුවේ පිතිකරුවකු ලෙස ඔහුගේ හැකියාවන් වර්ධනය කර ගන්නා ලෙසටය.   


පිතිකරණය වෙත යොමු වූ සචින්ට ඉන්දියාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් තමා සතු සැහැල්ලු පා ආවරණ යුගලක් තෑගි කළේය. “ගවස්කාර්ගේ ත්‍යාගය මගේ ජීවිතයට විශාල බලපෑමක් හා දිරියක් ලබාදුන්නා” යනුවෙන් සචින් ප්‍රකාශ කළේ ඉන් වසර 20කට පසු ගවස්කාර් තබා තිබූ ටෙස්ට් ශතක 34රේ වාර්තාව බිඳ දමන ලද අවස්ථාවේදීය. එම පා ආවරණ යුගලය සචින් පුහුණු සැසියකට සහභාගී වූ අවස්ථාවක කිසිවකු විසින් සොරකම් කරනු ලැබ තිබිණි.   


1987දී රංජි කුසලාන තරගාවලිය සඳහා බොම්බාය නියෝජනය කිරීමට සචින් තෝරා ගැනුණද එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත. 1988 දෙසැම්බරයේ ඔහුට බොම්බාය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව සැලසිණි. ගුජරාටයට එරෙහිව පැවැති පළමු තරගයේදී නොදැවී ශතකයක් ලබා ගනිමින් තම ස්ථානය තහවුරු කර ගැනීමට සචින් සමත් විය. පළමු පන්තියේ ක්‍රිකට් තරගයකට පළමු වරට මුහුණ දෙමින් ශතකයක් ලද ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එකතු වන්නට ඔහුට හැකි විය.   


1992දී සචින්ට එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර එවක 19 හැවිරිදි වූ ඔහු යෝක්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළ පළමු විදේශික ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය. යෝක්ෂයර් කණ්ඩායම සමඟ තරග 16කට සහභාගී වූ අතර ලකුණු 1070 රැස් කළේය.   


1989 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය සඳහා සචින් තෝරා ගැනිණි. ඔහු ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 16ක් විය. ප්‍රථම තරගයේදී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි. ඔහු වකාර් යුනිස්ගේ පන්දුවකට දැවී ගියේය. එතැනින් ආරම්භ වූ සචින්ගේ ක්‍රීඩා දිවිය නිම වන විට ඔහු ටෙස්ට් හා එක්දින තරග 664කට සහභාගී වී ලකුණු 34,357ක් රැස්කරගෙන තිබිණි.   


සචින් ක්‍රීඩා සමාජ කීපයකට ක්‍රීඩා කළේය. ඒ අතර ඉන්දියානු ක්‍රිකට් සමාජය, මුම්බායි ක්‍රිකට් සමාජය, යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩා සමාජය, මුම්බායි ඉන්ඩියන් සහ මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය ප්‍රධාන වේ. 

 
සචින් 1995දී ළමාරෝග පිළිබද වෛද්‍යවරියක වූ අංජලී සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු 22කි. ඔවුනට සාරා නමින් දියණියක හා අර්ජුන් නමින් පුත්‍රයෙක් සිටී. හින්දු භක්තිකයකු වන සචින් සතුව ‘තෙන්ඩුල්කාර්’ සහ ‘සචින්’ නමින් අවහල් දෙකක් තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව සිටින 51 වැනි ධනවතා ඔහුය. 2013 වසරේ ඔහු ඉපයූ ආදායම ඩොලර් මිලියන 22කි. ඔහු සතු සමස්ත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 160ක් වන අතර ඉන්දියාවේ සිටින ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සැලකේ.   


2012දී ඉන්දීය ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තෙන්දුල්කාර් ඉන්දීය රාජ්‍ය සභාවට පත් කෙරිණි. ක්‍රියාකාරී ක්‍රීඩකයකු එයට තෝරා ගැනුණු පළමු අවස්ථාව එය විය.   


සෑම වසරකම මුම්බායේ අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් 200 දෙනකු වෙනුවෙන් අනුග්‍රහය දක්වන සචින් පිළිකා රෝගීන් සඳහාද අරමුදලක් පිහිටුවා තිබේ. රට පුරා ඇති පාසල් 140කට මූලික පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමටද ඔහු කටයුතු කරයි.   


අර්ජුන සම්මානය, රජිව් ගාන්ධි කෙහෙල් රත්න සම්මානය, පද්ම ශ්‍රී සම්මානය, මහරාශ්ට්‍ර භූෂණ සම්මානය, පද්ම විභූෂණ සම්මානය හා ඉන්දියානු පුරවැසියකු ලැබිය හැකි ඉහළම සම්මානය වන භාරත රත්න යන ජාතික සම්මානවලින් හා තවත් සම්මාන 17කින් සචින් තෙන්දුල්කාර් පිදුම් ලබා තිබේ.   


ඉන්දියාව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ නිජබිම වේ. එය ලොවට දායාද කළ ක්‍රීඩකයන් අතුරින් සචින් තෙන්දුල්කාර් නාමය සදානුස්මරණීයය.   

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 


එංගලන්තය පන්දු 100යේ ක්‍රිකට් තරග හඳුන්වාදීමට සූදානම් වෙයි   

විස්සයි විස්ස තරගවලට සමාන පන්දු 100යේ තරගාවලියක් 2020 වසරේ සිට හඳුන්වාදීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ආරම්භයේදී ගෘහස්ත තරගාවලි සඳහා පමණක් නව ක්‍රමය භාවිත කිරීමට අපේක්ෂා කෙරෙන අතර පළමු තරගාවලිය කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් 2020දී පැවැත්වීමට නියමිතය.  
 
නව තරගාවලියේදී එක් කණ්ඩායමකට පන්දු හයකින් සමන්විත ඕවර 15කට හා පන්දු 10කින් යුතු වයිල්ඩ් කාඩ් ඕවරයකට මුහුණ දීමට සිදුවේ. දැනට පැවැත්වෙන විස්සයි විස්ස තරගයකට පන්දු 120කි. නව තරගයට විස්සයි විස්සට වඩා පන්දු 20ක් අඩුය. වයිල්ඩ් කාඩ් පන්දු 10යේ ඕවරය වඩාත් සුදුසු අවස්ථාවක ප්‍රයෝජනය ගැනීමට කණ්ඩායම් නායකයාට හැකිය.   


මින් ඉහත පන්දුවාර 40, 50, 60, සහ 20 වශයෙන් අත්හදා බැලුණු එක් දින ක්‍රිකට් තරග අතරට පන්දු 100යේ තරගද එක්වනු ඇත. නව තරගාවලිය සෘජුවම තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දෙන්නකි. තරුණයන් වැඩි වැඩියෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කර ගැනීම තම අරමුණ බවද, එංගලන්තයේ උපන් ක්‍රිකට් ක්‍රීඩාව කලින් කලට නවීකරණය වූ බවද පන්දු 100 තරග හඳුන්වා දීමට තමන් උනන්දු වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් වෙනසක් කිරීමට බවද එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.   


මෙම තරගාවලිය සඳහා කාන්තා හා පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වලට සහභාගී විය හැකි වන අතර එය 2020 ග්‍රීෂ්ම සෘතුවේ සති පහක කාලයක් තුළ සදම්ප්ටන්, බර්මිංහැම්, ලීඩ්ස්, ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ් හා නොටිංහැම් යන නගරයන්හි පැවැත්වීමට නියමිතය. සවස 2.30 සහ 6.30ට වශයෙන් දිනකට තරග දෙකක් පැවැත්වෙනු ඇත. ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබා ගැනීම සඳහා රූපවාහිනී හා ගුවන් විදුලි ආයතන විසින් ගෙවිය යුතු මුදල පවුම් බිලියන 1.2කි.   


මෙම තරගාවලි සඳහා ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගවලදී මෙන් වෙන්දේසි මගින් තෝරා නොගැනෙන අතර ඔවුනට ස්ථිර වැටුපක් හිමි වේ. එක් කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් කරගත හැකිය. ක්‍රීඩකයන් 13 දෙනකු කලින් තෝරාගත හැකි වන අතර තවත් දෙදෙනකු වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ තරගාවලිය පැවැත්වෙන අවස්ථාවේ තෝරා ගත හැකිය.   

 

 


ප්‍රියන්ජන්

 



අදහස් (0)

ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා සචින් තෙන්දුල්කාර්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site