IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජපන් ප්‍රහාරයට බියෙන් දකුණේ ජනයා අවුරුද්දට කැලෑ වැදුණු හැටි

 

 

මා උපන්, හැඳුණ වැඩුණ පිටිවැල්ල ඉතා කුඩා ගමකි. දකුණු දෙසට ගිං ගඟද උතුරු දෙසට බූස්ස ගම ද, පිහිටා ඇත. එහි මායිම් දෙකෙන් අපේ ගමට පැහැදිලි මායිම් දෙකක් සැපයේ. කරුණු එසේ වුවද අනිත් භෞතික මායිම් දෙක ජපන් ආක්‍රමණික යුධ සමයේ අපේ ගමට අතිශය භයානක මායිම් දෙකක් විය. බස්නාහිර මායිම් වන්නේ ඉන්දියන් සාගරයයි. ඉන්දියන් සාගරයේ ආධිත්‍යය ලබා ගැනීම පිණිස ජපන් අධිරාජ්‍යය විශාල ආක්‍රමණික යුද්ධයක් ආරම්භ කොට ඇති බව කවුරුත් දන්නා පැහැදිලි කරුණකි.   


නැගෙනහිර දෙසින් පිහිටා ඇත්තේ එවකට මිත්‍ර හමුදා භටයින් සහ යුධ සිරකරුවන් රඳවා තිබූ බූස්සේ යුධ කඳවුරයි. එකී බූස්ස යුධ කඳවුර අපේ ගමට යාව පිහිටා ඇති අතර, වෙන්වීමට මායිම වශයෙන් ඇත්තේ විශාල උසකින් පිහිටි කම්බි වැටය. මායිම වශයෙන් පිහිටා ඇති ඉන්දියන් සාගරය ස්වකීය ග්‍රහණයට නතු කර ගැනීමට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන් සමඟ යුධ වැදී ඇත. ඒ සඳහා වූ මිත්‍ර හමුදා භටයෝ මෙන්ම සිරකරුවෝද කඳවුරේ ලැඟුම් ගෙන සිටියෝය. එසේ වීම අපේ මේ ගමට මහත් යුධ තත්ත්වයක් ඇති කෙරුණි. මෙම ගමට මායිම්වන ඉන්දියන් සාගරයේ වෙරලාසන්න කොටස අපේ ගමේ ජීවත්වන ගම්වැසියන්ගේ බොහෝ පිරිසක් මසුන් මැරීමේ කටයුතු සඳහා උපයෝගී කර ගනිති.   
1942 වසරේ සිංහල අවුරුදු සමය ළඟා වනවාත් සමඟ ඉන්දියන් සාගරය ස්වකීය ග්‍රහණයට ලබා ගැනීම පිණිස එවකට ජපන් ආක්‍රමණික හමුදාවෝ ඉන්දියන් සාගරයට අවතීර්ණව ස්ථානගතව සිටියහ. කොග්ගල ගුවන් තොටුපළින් ගුවන් ගතව ඔත්තු බැලීමේ නියැලෙන මිත්‍ර හමුදාවේ කැනේඩියානු නාවික භටයකුට දෙවුන්දර සිට සැතපුම් 300 ක් පමණ ඈත මුහුදේ ලංකාව දෙසට ඇදෙන ජපන් නාවික හා ගුවන් හමුදාවන් දැක ගැනීමට හැකිවිය. ඒ පිළිබඳ පණිවුඩය ඔහු වහා ගොඩබිමට සැලකිරීමෙන් පසු ජපන් ආක්‍රමණිකයන්ට මුහුණ දීමට මිත්‍ර හමුදාවෝ යුහුසුලු වූහ. පණිවුඩය හේතුවෙන් අපේ ගම මෙන්ම මුහුදට සම්බන්ධ වෙනත් පෙදෙස් ද කඩි ගුලකට බඳුව ක්‍රියාශීලී විය.   


අපේ ගම පිහිටා ඇත්තේ ඉහත සඳහන් කළ යුධමය අතින් ඉතා වැදගත් ස්ථානයකය. එය ඉහත දැක්වූ පරිදි ජපන් ආක්‍රමණිකයා ගොඩ බැසීම සඳහා ඉතා වැදගත් ස්ථානයකි. එසේම එවකටත් ඉහත දක්වන ලද පරිදි ජපන් ආක්‍රමණික හමුදාවෝ ඉන්දියන් සාගරයේ දෙවුන්දර වෙරළේ සිට සැතපුම් 300ක් පමණ ඈත මුහුදේ ඔවුන්ට කෙළින්ම ගොඩබිමට ගොඩ බැසිය හැකිය. ඒ බූස්සේ පිහිටා ඇති යුධ කඳවුර නිසාය.   

 

 


අපේ ගමේ මුහුදු වෙරළට ජපන් හමුදාවන් ගොඩ බැස්සොත් අපේ ගම මතින් ගමන් කළ යුතු වන්නේය. එය සැතපුම් කාලක දුර ප්‍රමාණයකි. මේ කරුණු හේතුවෙන් අපේ ගමට ආශ්‍රිත මුහුදු පෙදෙස තදින්ම ආරක්ෂා කළයුතු බව මිත්‍ර හමුදාවෝ කලින්ම සනිටුහන් කරගත්හ. ඒ සඳහා මුහුදු වෙරළ ආසන්නයේ පදිංචි සියලු දෙනාම ඉවත් වන ලෙස හමුදා නිලධාරීහු නියෝග කළහ.   


හමුදා ආක්‍රමණිකයට ගොදුරුවන අපේ ගමේ වෙරළාසන්නව ජීවත්ව සිටි සියලු දෙනා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්ව පිටිසර පෙදෙස්වලට යාම ආරම්භ කළහ. වැසියන්ට ඉවත්ව යාමට දෙන ලද කාල සීමාව ඉතා කිට්ටු බැවින් ගම්වැසියෝ නිවෙස්වල තිබූ ගෙන යා හැකි වටිනා බඩු රැගෙන දරුවන් සමඟ පිටිසර බද පෙදෙස් කරා ගියහ. ඉන් අනතුරුව හමුදා භටයින් රාශි ගතව වෙරළ දිගේ ආරක්ෂක කානු කැපීම ආරම්භ කළහ. එසේ කරන ලද්දේ සතුරු ජපන් ආක්‍රමණිකයාට මුහුණ දීම පිණිස භටයින්ගේ ආරක්ෂාව සඳහාය.   
මේ කටයුතු සියල්ල සිදුවූයේ 1942 වර්ෂයේ සිංහල අලුත් අවුරුදු කාලය ළඟා වෙනවාත් සමගය. සෑම නිවසක්ම අලුත් අවුරුදු උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියහ. නිවෙස්වල කාන්තාවන් කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම් සෑදීම පිණිස රැස් කරන ලද කජු ආදිය හැලිවල දමා දුම අසල ඔවුන් රැස්කොට තිබුණි. අවුරුදු දින වාදනය කිරීම පිණිස රබන් ආදිය රත් කොට තිබුණි. නිවස තුළ ආරක්ෂා කොට තිබූ රන් බඩු සහ රං ආභරණ ආරක්ෂිත පෙට්ටිවල බහා තිබුණි. ඒ ආකාරයෙන්ම වූ බඩු රැගෙන ඔවුහු පිටිසර ගත වූහ.   
ජපන් ආක්‍රමණිකයින් විසින් සිංගප්පූරුවේ පර්ල් වරායට දැවැන්ත ප්‍රහාරයක් සිදුකොට එහි නවතා තිබූ නැවු රාශියක් සහ හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් විනාශ කර දැමූ ආරංචියද අපේ ප්‍රදේශවල බහුලව ප්‍රචාරය විය. එය අපේ ගමේ සියලු දෙනා දැන සිටිය බැවින්, ඔවුහු අසීමිත ලෙස බියපත්ව සිටියහ. එසේ කිසිවකුට මුහුදු වෙරළට පැමිණීම තහනම් කොට තිබුණ අතර, එය යම් කෙනෙක් කඩ කරනු ලැබුවහොත් ඔහු වෙඩි තබා මරා දමන ලෙසටද හමුදා නිලධාරීන්ට අණ ලැබී තිබුණි. එසේම සෑම නිවසකම රාත්‍රී කාලයේ පහන් දැල්වීම ද සපුරා තහනම්ව තිබුණි. එබැවින් රාත්‍රි කාලයේ නිවෙස්වල සියලු කටයුතු කරන ලද්දේ තද කළුවරයේය. මේ තහනම අදාළ වූයේ වෙරළබඩ ජීවත්වූ ජනයාටය. එය අපට ද තදින්ම බලපෑවේය.   

 

 


මේ ආශ්‍රිතව තවත් දරුණු තත්ත්වයක් උදා විය. අපේ පිටිවැල්ල ගමේ නැගෙනහිර මායිම් යාවූයේ බූස්සේ යුධ කඳවුරටය. එහි නිවහන කොට සිටියේ මිත්‍ර හමුදා භටයින් සහ සිරකරුවන්ය. මිත්‍ර හමුදා භටයන් වශයෙන් යටත් විජිත වශයෙන් පැවැති අප්‍රිකානු රටවල වැසියන්ද වූහ. ඔවුන් වර්ණයෙන් අතිශයින්ම කාලවර්ණ විය. රාත්‍රි කාලයේ වෙරළ ආසන්නයේ ඔවුහු මුර සංචාරයේ යෙදුණහ. ඔවුන් ජාතියක් වශයෙන් අපේ ගමේ අය හඳුන්වන්නේ කාබේරි වශයෙනි. එසේ වුවත් ජාතියක් වශයෙන් ඔවුහු කාපිරි නම් වේ.   
වෙරළාසන්නයේ ඔවුන් මුර සංචාරයේ යෙදෙන මේ අප්‍රිකානු භටයන් රාත්‍රි කාලයේ කෙසේවත් හඳුනා ගත නොහැකිය. වාරකන් කාලය උදාවී ඇති බැවින්ද මා දැල් වට කිරීමක් නොවන බැවින්ද පාසල් යෑම නතර වී ඇති බැවින්ද පවුලේ සියලු දෙනා කලුවරේ නිවසට වී සිටිති. සංචාරයේ යන කාබේරි යුධ භටයෝ රාත්‍රි කාලයේ නිවෙස්වලට රිංගීමට උත්සාහ කරති. ඒ ඔවුන්ගේ කාම ආශාවන් සපුරා ගැනීම පිණිසය. ඔවුහු නිවස ඉදිරියට පැමිණ දොරට තට්ටු කර නිවසට ඇතුළුවීමට උත්සාහ දරති. දොරට තට්ටු කිරීම හේතුවෙන් දොර පළු විවෘත වීමක් නොවූවහොත් දොර කෙසේ හෝ කඩා ඇතුළුවීමට තැත් කරති. මේ අන්තරාදායක තත්ත්වය බලාපොරොත්තුවෙන් නිවස ඇතුළේ සිටින නිවැසියන් සන්නද්ධව සිටින අතර ඔවුන් ආක්‍රමණිකයාට පහරදී එළවාගත් බොහෝ අවස්ථා විය.   


අපේ ගමේ නිවැසියන් මුහුදුබඩ නිවෙස් අතහැර පිටිසර පෙදෙස්වලට යාම හේතුවෙන්ද ජපන් ආක්‍රමණික භයානක තත්ත්වය වැඩිවීම හේතුවෙන් මෙසේ කටයුතු ක්‍රමයෙන් පහවිය.   


හමුදා අණට කීකරුවද ස්වකීය ආරක්ෂාව දැඩි ලෙස අවබෝධ කොට ගෙන අපේ ගමේ වැසියෝ ඉහත කී අයුරු වටිනා බඩු බාහිරාදිය රැගෙන අපේ ගමට ආසන්න ගමක් වූ බද්දේගමට ගියහ. අපේ පවුලේ අය සමඟ තවත් පවුල් තුනක අය ගමන් ගත්හ. ඔවුහු අපේ අම්මාගේ පවුලේ අය වූහ. මෙසේ යන ගමන් පිළිබඳ අපට ද අවබෝධයක් තිබුණි. අපේ පියා ඒ ප්‍රදේශය හොඳින් දැන සිටියා පමණක් නොව බොහෝ අය පියාගේ මිතුරෝ වූහ. වෙරළාසන්නයේ පදිංචිව සිටි අපට එල්ලවී ගෙන එන අවදානම් තත්ත්වය කලින්ම අවබෝධ කොටගත් මගේ පියා ඉවත්වීමට අණ ලැබීමට ප්‍රථම බද්දේගම නගරය පෙදෙසට පැමිණ හිස්ව තිබූ නිවාස තුනක් පදිංචිය සඳහා කුලියට ගෙන තිබුණි. එය බද්දේගම නගරයට යන පෙදෙසිනි.  


අපි එක් නිවසක පදිංචි වූ අතර අනික් පවුල් තුන නිවාස තුනක පදිංචිය සඳහා තෝරා ගත්හ. කරුණු මෙසේ සිදුවෙමින් පවතිද්දී සිංහල අලුත් අවුරුදු කාලය ළඟා වෙමින් පැවැතුණි. සිංහල අවුරුද්ද උත්සවාකාරයෙන් පැවැත්වීම පිණිස අම්මා අවශ්‍ය කළමනා සූදානම් කොට තිබුණි. කජු මද මුංගෙඩි අග්ගලා සෑදීමට අවශ්‍ය වූ අමුද්‍රව්‍යයන් වන බැවින් කජු ගස් යට වැටී තිබුණ කජු ගෙඩි අහුලා මුට්ටියක දමා රැස් කොට තිබුණි. එසේම කැවුම් කොකිස් මුං කැරලි ආදිය ද කොකිස් ආදියද සකස් කිරීම පිණිස අවශ්‍ය හාල් වේලා පිටි සකස් කොට තිබුණි.   


හරාය කාලයේ පිංගඟ පලේ වැඩ කෙරුණ මාදැල්වලින් ලබාගත් හුරුල්ලන් ලුණු දමා කෑමට සකස් කොට ගෙන තිබුණි. අපේ නිවාස තුනම පිහිටා තිබුණේ එකම ඉඩමේය. එකී ඉඩමේ කොස් දෙල් ආදිය බහුලව හටගෙන තිබුණි. ඉඩම් හිමි ඒබ්‍රහම් සෙනෙවිරත්න මගේ පියාගේ කුලුපග මිතුරකු වූ බැවින් එකී ගස්වල පලදාව අපට කෑමට අතහැර තිබුණි. එසේම එකී ඉඩමේ සිටුවා තිබූ බතල, මංඤ්ඤොක්කා ආදිය ද අපේ කෑමට අතහැර තිබුණි. සහල් ප්‍රවාහනය සම්බන්ධයෙන් තහනම් කොට තිබුණි.   


රජෙස් කන්ද පහළ කුඹුරු කොටසක් අපේ පියාට හිමිව තිබුණි. එකී කුඹුර කොටස අඳ අයිතියට කරනේලිස් නමැත්තෙක් අස්වැද්දීය. මේ හව්අස්සේ කෑම බෑම හීන වෙමින් පවතින වකවානුව කරනේලිස් රාත්‍රි කාලයේ වී හාල් ආදිය අපට ලබා දුන්නේය. එකී හාල් ප්‍රමාණය අපේ පවුල් තුනටම ප්‍රමාණවත් විය. මේ අතර වාරයේ මගේ පියා ද දිනපතා වෙරළාසන්නව පිහිටි අපේ නිවස මෙන්ම ගමේ පදිංචි එහෙත් පිටිසර පෙදෙසකට නොගොස් නැවතී සිටි ඥාතීන්ගේ සුවදුක් සොයා බැලීමට යාමට පුරුද්දක් කොට ගෙන තිබුණි. ඒ බොහෝ සෙයින්ම හිස් ගෙවල්වලට සංචාරක භටයන් මෙන්ම සොරුන්ද කඩා වැදී ගේ තුළ වටිනා බඩු ආදිය සොරාගෙන යන බවට දූෂමාන ආරංචි පැතිරෙමින් තිබුණි. යුද තත්ත්වය පිළිබඳව ද පියා දිනපතා ආරංචි රැගෙන ඒමට ද අමතක නොකළේය. අප ගම අතහැර පැමිණීම ආසන්න කාලයේ ජපන් ආක්‍රමණික හමුදාව විසින් විසින් පර්ල් වරායට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කොට ඇමරිකන් නවුකාවලට කරන ලද ප්‍රහාරය පිළිබඳ ආරංචිය ද අප වෙත ගෙන ආවේය.   

 

 


අපි පදිංචි වූ නිවස හැර අනික් නිවෙස් දෙකේ පදිංචිව සිටියේ අපේ අම්මාගේ සොහොයුරියන් දෙදෙනාගේ පවුල්ය. නිවෙස් ආසන්නයේ පිහිටා ඇති බැවින් අපි සියලු දෙනා එක්ව සතුටින් සහ සමගියෙන් ජීවත් වූහ. අපේ පියා අපේ නිවසට ගෙන එනු ලැබූ කෑම ආදිය මෙන්ම ඉහත කී පරිදි ඉඩමේ හටගන්නා කොස් දෙල් අල බතල ආදිය එක හැළියේ එක කුස්සියේ එකට තම්බා සතුටින් බුක්ති වින්දෙමු. ගමේ ජීවත්ව සිටියදී මේ පවුල් මෙතරම් එක්ව කුලුපගව සාමයෙන් සතුටින් ජීවත්වූ බව මට එතරම් මතක නැත. මේ ක්‍රියා කාලපය එවකට පුංචි අපට මෙන්ම පවුල්වල සෙසු අයට ද විශාල සතුටක් ගෙන දුන් කරුණක් විය.   


සිංහල අවුරුදු දිනය උදා විය. එය 1942 අප්‍රේල් මස උදා වූ සිංහල අවුරුදු දිනයයි. පෙර වසරවල සිංහල අවුරුදු දිනය උදාවීමත් සමඟ මුළු ගමට ප්‍රාණවත් ලෙස ක්‍රියාශීලීව බෙහෙවින් නොයෙක් වැඩ කටයුතුවල යෙදිණ. අපි සියලු දෙන එදින අවදි වූ මුත් පෙර වසරවල මෙන් ප්‍රාණවත් ගතියක් නොදැනුණි. අම්මා සහ බාලම්මා ගිනි උදුන වටකර ගනිමින් කැවිලි සාදනවා නින්දට ගිය අපට නින්දෙන් මෙන් ඇසුණි.   


නින්දෙන් නැගිට ගත් අපට දැන ගැනීමට හැකිවූ දෙය අපටම අදහා ගත නොහැකිය. අම්මා බාලම්මලා මෙන්ම අක්කලාද එක්වී එකතුව අපි පදිංචි නිවසේ කිරිබත් කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි සමඟ විශාල කෑම මේසයක් සකස් කොට තිබුණි. තාත්තා උදෑසනින් නැගිට අපටද කෑ ගසනු ඇසුණි. අපි සියලු දෙනා අවදිවී නෑම පිණිස ගිං ගඟට යනවා මට මතකය. ගඟ අද්දරට වී ප්‍රවේශමෙන් අප සියලු දෙන ඉවුරට ගෙන ඇඳුම් ඇඳ ගන්නා ලෙස විධානය කෙරුණි.   


පසුගිය වසර මෙන් නොව අපට අවුරුද්දට ඇඳ ගැනීමට අලුත් ඇඳුම් කිසිවක් නොවීය. අපි ඇඳ ගත්තේ අම්මා සහ බාලම්මලා ගෙදරින් ගෙන සෝදා වේලා සකස් කොට තිබූ පාසලට අඳින ඇඳුම්ය. අනික් නිවෙස් දෙකේ පදිංචිව සිටි බාලම්මලාගේ දරුවන්ද ඇඳීමට සිදුවූයේ පියාගේ අලුත් ඇඳුම් නොව අපේ අම්මා, අක්කා, බාලම්මලා සහ ඔවුන්ගේ දරුවන් සොයා සකස් කරගත් ඇඳුම්ය.   


තාත්තා, බාප්පලා සමඟ කලින් දින දොඩන්දූවට ගොස් විශාල පරවෙක් සහ පැරැව් කූඩයක් ගෙන තිබුණි. එකී මාළු අම්මා, අක්කා බාලම්මලා සමඟ එක්ව ගොරක තුන පහේ මිශ්‍රිතව විශාල මාළු තොගයක් සකස් කොට, කොටසක් උදෑසන කිරිබත් සහ කැවිලි මේසයට තබා තිබුණි. අනික් කොටස දිවා ආහාරයට වෙන් කොට තැබුවායයි අම්මා කියනු ඇසුණි. නිවාස තුනේම නිවැසියන් අපි සියලු දෙනා අවුරුදු දා උදෑසන කිරිබත් කැවිලි කෙසෙල් ගෙඩිවලින් රසවත් කොට තිබූ මේසයෙන් නොයෙක් දේ කාබී අවුරුදු දා උදෑසන කෑමවලින් සන්තර්පනය විය.   


මෙහි පදිංචි අපට අසල්වැසියකු අපට සලකන ලද්දේ යුද්ධයෙන් අවතැන් වූ පිරිසක් ලෙසිනි. අසල්වැසියන් බොහෝ දෙනෙක් උදෑසන කැවිලි මේසයට විවිධ කැවිලි කිරිබත් ආදිය එවා තිබුණි. එබැවින් කෑම ආදිය අතින් අපට කිසිඳු අඩුවක් නොවීය. දිවා ආහාරය ද එලෙසින්ම අපට සකසා ගැනීමට හැකිවීම කෑම අතින් අප සියල්ලටම මෙසේ අඩුවක් නොදැනුණත්, අවුරුදු සැණකෙළි ස්වභාවය අපට විඳ ගැනීමට නොහැකි විය.   


යුධ බිය අප සියලු දෙනා කෙරෙන් තුරන්ව නැත. වෙහෙසී හදා තනාගත් නිවෙස් අතහැර දමා යාමට සිදුවූ අපට මහත් පාළු ගතියක් දැනෙන්නට විය. අවුරුද්ද කොලු ගැටව් වූ අපට පංචි දැමීම, ඔට්ටෙ තැබීම, ඔන්චිලි ආදිය පැදීම කල්ලි ගැසීම ආදි ක්‍රියා කිසිවක් නොවීය. අප සියලු දෙනාට විශාල පාළු ගතියක් දැනෙන්නට විය. අපේ ගමේ සමහර අය ඈත ගම්මානවල ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් තිබුණි.   


අපේ වැඩිමහල්ලන් සියලු දෙනාගේ අතේ මිටේ මුදල් බෙහෙවින් ගැවසී තිබුණි. ඒවායින් එතරම් ප්‍රයෝජනයක් නොවීය. ගමේ බූරුව පිටි බෙහෙවින් විය. මෙදා ඒ කිසිවක් නොවීය. සාමාන්‍යයෙන් වෙනත් අවුරුදුවලදී ගමේ තරුණියන් කබා කුරුක්කු හැඳ ගමේ එහා මෙහා නිවෙස්වල යති. රබාන වටා වාඩිගෙන නොයෙක් රබන් පද වයමින් ඔංචිලි පදිමින් ඔවුහු අවුරුදු දා බෙහෙවින් සතුටු වෙති. බොහෝ තැන්වල ගැහැනු පංච කෙලිති. පිරිමි බූරුවා ගසති. මෙදා ඒ කිසිවක් නොවීය. ඒ සියල්ල කපාගෙන මහත් කම්මැලි ගතියෙන් ගත සිතත වෙලා ගනිමින් නිදිබර ගතියක් ඇති කෙරුණි. අවුරුදු දිවා භෝජනයෙන් පසු බොහෝ දෙනා නින්දට වැටුණහ.   


එසේ විනෝද කෙළි සෙල්ලම් කිසිවක් නොමැතිව අවුරුදු කාලය කෙළවර විය. හාරය කාලය අවසාන වනවාත් සමඟ ගමේ ජනයාගේ අතේ මිටේ බෙහෙවින් මුදල් ගැවසුණි. ඒ මුදල් මුහුදු කර්මාන්තයෙන්ද, ලණු කර්මාන්තයෙන් ගමේ කාන්තාවන්ද උපයා ගත් මුදල් වේ. ඔවුන් ඒ මුදල් රැස්කරගෙන සිටියේ අවුරුදු කාලයේ දරුවන් සමඟ විනෝදයෙන් ගත කිරීමටය.   


එහෙත් ඒ කිසිවක් අප සිතූ ආකාරයට සිදු නොවීය. ජපන් ආක්‍රමිකයෝ ලංකාවට එල්ල කළ ප්‍රහාරය පළමු ව කොළඹ සීමා කෙරුණි. එහි ප්‍රහාරය දින එකකට පමණක් සීමා විය. එකී ආක්‍රමණික ප්‍රහාරය මුහුදට හා ගුවනට පමණක් සීමා විය. එයට මිශ්‍ර හමුදාවෝ සාර්ථක අන්දමින් මුහුණ දුන්හ. ජපන් පාබළ හමුදාවේ කිසිවෙක් ලංකා පොළෝ තලයට ගොඩබැස්සේ නැත. කොළඹට දුන් ප්‍රහාරය මිත්‍ර හමුදා ගුවන් යානා මගින් සාර්ථකව ව්‍යර්ථ කරන ලදී.   


එදින අවසානයේ ජපන් ආක්‍රමණිකයෝ ආපසු ගොස් ඉන්දියන් සාගරයේ අස්ථාන ගත වූහ. කොළඹ ප්‍රහාරය අවුරුද්දකට ප්‍රථම අප්‍රේල් 05 වන දින සිදුවිය. ඉන්පසු ජපන් ආක්‍රමණිකයෝ නැවත තිරිකුණාමල වරායට ප්‍රහාරයක් එල්ල කළහ. එයද තිරිකුණාමලයේ වරායට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් විය. එහිදීද පාබළ හමුදා කිසිවෙක් ගොඩබිම් ආක්‍රමණය කිරීමක් නොකළේය. ඉන්පසුව ආක්‍රමණික හමුදාවෝ අපේ රටින් කිසිඳු කොටසක් අල්ලා ගන්නේ නැත. එකී ප්‍රහාරයට ගුවන් යානා සියයක් පමණ සහභාගී විය. එකී ගුවන් යානා ඉන්දියන් සාගරයේ සිට තිරිකුණාමලට යාත්‍රා කළේ අප නැවතී සිටි නිවෙස මතිනි. ඒවා සියල්ල අපට දැන ගැනීමට හැකි විය.   


ජපන් ආක්‍රමණිකයන්ගේ මේ ප්‍රහාර කිසිවක් අපේ ගමට හෝ බූස්සේ හමුදා කඳවුරට එල්ල නොකරන ලදී. එයින් අපට කිසි හානියක් සිදු නොවීය. මේ ප්‍රහාරයන් පිළිබඳ ආරංචි සියල්ල අපට දැන ගැනීමට හැකි විය. ඉන්පසු ආක්‍රමණික හමුදා ඉන්දියන් සාගරයෙන් ඉවත්ව පැසිපික් සාගරය වෙත අවතීර්ණ වූ බව පසුව ඔවුහු නියැළුණ සටන්වලින් එළිදරව් විය. මේ අනුව අපේ නිවෙස් පිහිටි මුහුදුකර පෙදෙසට නැවත සාමය උදාවිය. පිටිසරට වැදුනු සියලු පිටිවැල්ල වාසීන් සතුටින් ස්වකීය නිවෙස්වල පදිංචියට පැමිණියෝය.

 

 

 

 



අදහස් (0)

ජපන් ප්‍රහාරයට බියෙන් දකුණේ ජනයා අවුරුද්දට කැලෑ වැදුණු හැටි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5238 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site