IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ආදරෙයි කියලා මුලින්ම කීවෙ වික්ටර්

ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි අමෙන්ද්‍රා රත්නායක කියන කතාව

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තැනක වැජඹෙන ප්‍රවීණ ගායන ශිල්පියකු මෙන්ම සංගීතවේදීයකු ලෙසද ආචාර්ය වික්ටර් රත්නායකට රසිකයන්ගෙන් හිමිවන්නේ විශාල ප්‍රසාදයකි, ගෞරවයකි. මේ නිසා ඔහුගේ ඇවතුම් පැවතුම් ගැනද රසිකයෝ විශාල උනන්දුවක් දැක්වූහ. පසුගිය කාලයේ ආචාර්ය වික්ටර් රත්නායකයන් කාගේත් කතාබහට ලක්වූයේ ඔහුගේ ඒ පෞද්ගලික ජීවිතයේ වෙනසක්වීම නිසාය. ඒ ඔහු තම දෙවැනි විවාහය සිදුකර ගැනීමය. මේ විවාහයත් සමඟ බොහෝ දෙනාගේ චෝදනා, ගැරහිලි එල්ලවූවද ඔහු ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නට විය. අවුරුදු තිස් ගණනක වයස් පරතරයක් ඇතිව ඔහු තම දෙවැනි විවාහයේ බිරිඳ ලෙස තෝරාගත්තේ හෂිණි අමේන්ද්‍රාය. දකුණු ලකේ උපන් හෂිණි අද හෂිණි අමේන්ද්‍රා රත්නායක ලෙස වික්ටර්ගේ ආදරණීය ප්‍රිය භාර්යාව වී සිටින්නීය. බොහෝ දෙනාගේ චෝදනාවලට, ප්‍රශංසාවලට ලක් වූ මේ යුවළගේ අලුත් තොරතුරු දැනගැනීමේ අටියෙන් පසුගිය දිනක ඔවුන් දෙදෙනා වෙසෙන ඔරුවල නිවසට ගියෙමි.

 
එහිදී වික්ටර් රත්නායක සංගීතවේදියාණන්ගේ ප්‍රිය බිරිඳ හෂිණි, ‘‘ආදරය, ප්‍රේමය හා විවාහය’’ ගැන කෙළින් කතාබහකට එක්වූවාය. මෙහිදී වික්ටර්ගේ පළමු විවාහයේ දූ දරුවන් ගැන කතා කිරීමට ඇය මෙන්ම වික්ටර්ද කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ගේ කැමැත්තට ඉඩදෙමින් අපේ සටහන ආරම්භ කරන්නෙමු.  

හෂිණි, මුලින්ම ආදරය, ප්‍රේමය ඔයා හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයටද කියා අප දැනගන්න කැමතියි.  
‘දෙන්නෙක් අතර ඇතිවන සෙනෙහස අවබෝධය හරහා තමයි ආදරය, ප්‍රේමය නමැති බන්ධනය හටගන්නේ. එය බොහොම ශක්තිමත් බන්ධනයක්. දෙන්නෙක්ගේ අන්‍යොන්‍ය අවබෝධය තුළ තමයි මෙය රඳ‌ා පවතින්නේ. මේ බන්ධන ශක්තිමත් වන්නේ දෙදෙනා තුළ ඇතිවන සෙනෙහස හා අවබෝධය මත කියලයි මට හිතෙන්නේ’  


ඔයාට මුලින්ම ආදරයක් ඇතිවුණේ කොයි කාලයේද? පාසල් අවධියේද?  
‘නෑ. පාසල් කාලයේ ප්‍රේමයක් ඇතිවුණේ නෑ. පාසලෙන් අයින් වුණාට පස්සේ තමයි ප්‍රේමයක් මුලින්ම ඇතිවුණේ. පාසල් අවධියේදී ඒ ගැන සිතුවේවත් නෑ. මුල්ම ඇති වූ ආදරය අමිහිරි මතකයක්. මම ඒ ගැන මතක් කරන්න කැමති නෑ. ඒ කියන්නේ පොඩි වයසේදී නොතේරුම්කමට ඇතිවූ සම්බන්ධයක්. ඒක බොහොම අමිහිරි මතකයක් පමණයි. එය හාරා අවුස්සන්න මා කැමති නෑ.’  

ඒ නිසාද ඔයා ඉක්මණින්ම විවාහ දිවියට පත්වෙන්නේ?  
‘ඔව්. මම ඒ අාදරය කළ ප්‍රථම පුද්ගලයා එක්ක තමයි පළමු විවාහය සිදුකරගත්තේ.’


ඔහුගෙන් වෙන්වුණේ ඔයා බලාපොරොත්තු වූ ආදරය නැති වූ හින්දද? නැත්නම් වෙනත් හේතුවක් හින්දද?  
‘ඇත්තටම මම කැමති නෑ ඒ ගැන කතා කරන්න. ඒවා දැන් අතීතයට ගිහින් ඉවරයි. ඒවා අපි කතා නොකර ඉමුනේද? මම ඒ අමිහිරි මතකය දැන් අමතක කරලයි ඉන්නේ. ඒ විවාහය ගැන කතාකරන්නවත් මා කැමති නෑ’.  

එහෙම නම් ඔයාට වික්ටර් රත්නායක ගැන ආදරයක් ඇතිවුණේ කොයි කාලයේද?  
‘අපි දෙන්නා බොහොම කාලයක් ආශ්‍රය කළා. විවාහ වුණේ ඊට පස්​ෙස්. වික්ටර් මට මුලින්ම හමුවුණේ මීට අවුරුදු 8-9 කට පෙර ප්‍රසංගයකදී. එද‌ා බොහොම හිතවත් වුණා. ඒ හිතවත්කම කාලයත් සමඟ ආදරයකට පෙරළුණා’.  


හිතවත් වූ පලියටම ආදරයක් ඇතිවන්නේ නැහැනේ. ඔහු ගැන ආදරයක්, සෙනෙහසක් ඔයාට කොහොමද ඇතිවුණේ?  
‘මම පොඩි කාලේ ඉඳලම වික්ටර්ගේ සිංදුවලට ආසයි. අම්මා කියනවා මම පොඩි කාලයේ අඬනකොට නළව ගන්න වික්ටර්ගේ කැසට් පීස් එකක් දුන්නා කියලා. වික්ටර්ගේ පිංතූරේ දකිනකොට අඬන එක නතර වුණා කියලා අම්මා මට කියනවා. පාසල් යන කාලේදීත් වික්ටර්ගේ පිංතූර පොත් අස්සේ දාගෙන ඉන්නවා. එච්චරටම මම හරිම ආදරේ ගායකයෙක්. ගීතවලටත්, පුද්ගලයාටත්, චරිතයටත් මගේ පුදුම ආදරයක් තිබුණේ. ඒ බැඳීම කොහෙන් ආවාද දන්නේ නෑ. ඒ හරහා අපි දෙන්නා දැන හඳුනාගත්තාට පස්සේ පවුල් අතරත් සම්බන්ධතා ඇතිවුණා. ටික ටික අපි හිතවත් වුණාම මේක ආදරයට පෙරළුණා’.  


මුල්කාලයේ ඔයා වික්ටර්ට ආසාවෙන් හිටියා කිව්වානේ, ඉතිං ඒ කාලයේ වික්ටර්ව බලන්නවත් ගියේ නැද්ද?  
‘නෑ. මම වික්ටර්ගේ ‘‘ස’’ ප්‍රසංග අනත්තවත් බලන්න ගියා. නමුත් ළඟට ගිහින් කවද‌ාවත් ඔහු එක්ක කතාකරන්න ගියේ නෑ. මම බයයි. මම එතකොට පාසල් යන පොඩි ළමයෙක්. මට එද‌ා ඔහු දැවැන්ත චරිතයක්. පස්සේ එක ප්‍රසංගයකදී ඔහු හමුවී කතා කරන්න මට ලොකු ආසාවක් ඇතිවුණා. එහෙම කතාකරලා තමයි හිතවත්කම ඇතිවුණේ’

.  
කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?  
‘ආදරෙයි කියලා මුලින්ම ප්‍රකාශ කළේ වික්ටර් තමයි, හැබැයි ඒ වනතුරු දෙන්නා අතර අප්‍රකාශිත ආදරයක් තිබුණා. නමුත් වචනයෙන් මුලින්ම ප්‍රකාශ වුණේ වික්ටර්ගෙන් තමයි’  


එද‌ා ඔයාට මොකද සිතුණේ?  
‘මට මුළු ලෝකයම දිනාගත්තා වගේ සතුටක් දැනුණා. අපි දෙන්නා තෑගි බෝග හුවමාරු කරගත්තා. ආදරයේ සතුට වැඩිකමට හින්ද‌ා වෙන්නැති අපි ඒ දේවල් හුවමාරු කරගත්තේ’.  


ඔයාගේ ගෙදරින් මේ සම්බන්ධය ගැන දැනගත්තාම මොකද කිව්වේ? ඔවුන් කැමති වුණාද?  
‘අපෝ නෑ. සෑහෙන කාලයක් ගෙදරට හොරෙන් තමයි අපේ සම්බන්ධය ගෙනගියේ. දැනගත්තේ අපේ බැඳීම ගොඩාක් වැඩිවුණාට පස්සෙයි. එතනදී ඔවුන් කලබල වුණා. විවිධ යාළුවෝ මාර්ගයෙන් මගේ සහෝදරයෝ මාර්ගයෙන් මෙය නවත්වන්න බැලුවා. වෙන වෙන විවාහ යෝජනා ගේන්න බැලුවා. සෑහෙන දේවල් ඔවුන් කළා අපේ සම්බන්ධය නවත්වන්න. ඒත් අපේ ස්ථාවරයේ දිගටම හිටියා’.  
ඔය දෙන්නා කාලයක් මේ සම්බන්ධය ගෙනගියා. ඇයි එක පාරටම විවාහ වෙන්න අදහස් කළේ?  
‘විවාහ වෙන්න අදහස ආවේ බොහොම පස්සේ. අපේ සම්බන්ධය හරිම ශක්තිමත්. විවාහය කියන්නේ එක කොන්දේසියක් මත පමණයි කියන සංකල්පයේ තමයි අපි දෙන්නම හිටියේ. නමුත් අර විවිධ විවිධ ප්‍රශ්න සමාජයෙන්, වික්ටර්ගේ ඥාතීන්ගෙන් එල්ලවීමෙන් පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. අපි දෙන්නාම කැමැත්තෙන් තමයි විවාහ වුණේ. එතකම් අපි ‘‘ලිවිං ටු ගෙදර්’’ ලෙස තමයි ජීවත් වුණේ’.  


● විවාහයෙන් පස්සේ ඔහු ගැන ඔයාට දැන් මොකද හිතෙන්නේ? එද‌ා ආදරය, ප්‍රේමය අදත් ඔහු තුළින් ඔයා දකිනවාද?  
‘අපේ ප්‍රේම සම්බන්ධතාව ඉතාම මුල් අවධියේදී තිබුණේ. අපි පොතේ අත්සන් කරලා නැති කාලෙත් දෙන්නා විවාහ වුණා වගේ තමයි හිටියේ. විවාහය අත්සන් කළ එක විතරයි වෙනසකට තිබෙන්නේ. එද‌ා ප්‍රේමය ආදරය අදත් ඒ විදිහටම අපි දෙන්නා අතර තිබෙනවා. එහි වෙනසක් වෙලා නෑ’.

 
වික්ටර් දැන් ඔබගේ ස්වාමි පුරුෂයා. එද‌ා පෙම්වතා අද ස්වාමිපුරුෂයා. දැන් බිරිඳක් ලෙස ඔයා තමන්ගේ සැමියා දෙස බලන්නේ කොයි ආකාරයටද?  
‘මුල්ම කාලයේ අපි බොළඳ පෙම්වතුන් විදිහට තමයි ප්‍රේම කළේ. ඒක ඉතිං හැමෝම අතින් කෙරෙන දෙයක්නේද? දැන් එහෙම නෑ. අපි​ බොහොම අවබෝධයෙන් ශක්තිමත්ව බැඳිලා ඉන්නවා. එදා දැකපු වික්ටර්ම තමයි අදටත් මට පේන්නේ. වෙනස එදා පෙම්වතා අද සැමියා. එච්චරයි. ඔහුත් එක්ක පහසුයි ජීවත්වෙන්න. බොහොම විවෘතයි. ඉක්මනින් දෙයක් ඔහු අවබෝධ කරගන්නවා’.

 
විවාහ ජීවිතේ සතුටින් නේද ගෙනියන්නේ?  
‘ඇත්තෙන්ම ඔව්. හරිම සතුටින් තමයි අපි දෙන්නා දැන් ජීවත්වෙන්නේ. කාලයක් හිටියෙත් මේ විදිහට හින්ද‌ා ලොකු වෙනසක් මට නම් දැනෙන්නේ නෑ’.  


දැන් ඔයාගෙන් ගෙදරින් ප්‍රශ්නයක් නැද්ද?  
‘නෑ. දැන් ඒ ප්‍රශ්න විසඳුණා. අපි දෙන්නා විවාහ වුණාට පස්සේ මුලින් සති කීපයක් ඔවුන් විරුද්ධ වෙලා හිටියා. ඒ අය දැන් අවබෝධ කරගෙන අපි දෙන්නාගේ කටයුතු කරන්න ඉඩහසර ඔවුන් දැන් ලබාදීලයි තිබෙන්නේ’.  


ඔයා වික්ටර්ගේ කලා කටයුතුවලට කොහොමද දැන් ද‌ායක වෙන්නේ?  
‘ඔහුගේ සියලු කටයුතුවලට මගේ උපරිම ද‌ායකත්වය ලබාදෙනවා. මමත් අපරදිග සංගීතය හද‌ාරලා තිබෙනවා. එයාගේ ඔය කොටේෂන් ලියලා දෙන ඒවා, සංගීත කටයුතුවලට සහයෝගය දෙනවා. ගෙදර බොහෝ කටයුතුවලින් වික්ටර් නිදහස් කරනවා. කඩේ යන ඒවා, ගෙදරට බඩුගේන ඒවා මමම කරගන්නවා. මට හැකි උපරිම සහයෝගය, නිදහස ඔහුට ලබාදෙනවා’.  


ඔයා ප්‍රසිද්ධ තැන්වලට ගියාම සමාජයෙන් කොයි වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?  
‘වික්ටර් රත්නායකගේ බිරිඳ විදිහට ලොකු පිළිගැනීමක් එළියේදී මට තිබෙනවා. ගොඩාක් දෙනා මාව දැකලා ඇවිත් කතා කරනවා. ‘‘ඔයා වික්ටර්ගේ බිරිඳ නේද කියලා’’ හරිම ආදරෙයි මිනිස්සු’.  


ඔය දෙන්නාගේ වයස් පරතරය අවුරුදු තිස් ගණනකටත් වැඩියි. ඒ පරතරය ඔයාට ප්‍රශ්නයක් වුණේ නැද්ද?  
‘අනේ නෑ. මට දැන් ඔය ප්‍රශ්නය අහද්දී තමයි හැමවෙලේම මතක් වෙන්නේ. මෙතරම් පරතරයක් අපි දෙන්නා අතර තිබෙනවා නේද කියලා. මොකද වික්ටර් එක්ක එකට ජීවත්වෙද්දී එය මොහොතකටවත් අද‌ාළ වෙන්නේ නෑ. ඒ කාලේත් මට සිතුණේ නෑ. අපි දෙන්නා අතර මෙතරම් පරතරයක් තිබෙනවා කියන එක. අදත් මට දැනෙන්නේ නෑ. මට හිතෙන්නේ මට වඩා අවුරුදු 3කින් වැඩිමල් මනුස්සයෙක් එක්ක ඉන්නවා කියන හැඟීම තමයි. එච්චරට හොඳට එයා මාව තේරුම් අරගන්නවා. අවබෝධ කරගන්නවා. වයස් පරතරය අපට නම් දැනෙන්නේ නෑ. වයස කිසිම තැනකදී අපට නම් ගැටලුවක් වුණේ නෑ. මොකද වික්ටර් දැන් තරුණයෙක් වගේ තමයි. ඒ නිසා වයස ගැන මතක් වෙන්නෙවත් නෑ. ආදරය, ප්‍රේමයේදී වගේම ලිංගිකත්වයේදීත් ඔහු මට තරුණයෙක් වගෙයි කියලයි දැනෙන්නේ’.  


ඔය දෙන්නා ළමයෙක් හද‌ාගන්න බලාපොරොත්තු වෙනවාද? ඔයා ඒ ගැන කියලත් තිබුණ නේද? දැනටමත් එහෙම තත්ත්වයක් උදාවෙලාද තිබෙන්නේ?  
‘ඒ කතාව මම කියූ දෙයක් නොවෙයි. එය වැරැදියටයි පත්තරේක පළවුණේ. ඒ පළකරපු කතාවේ හැටියට මට නීති මාර්ගයෙන් කටයුතු කරන්නත් තිබුණා. මා නොකියූ දෙයක් ඔවුන් විශාල ලෙස හුවා දැක්වූවා. කාන්තාවක් සාමාන්‍යයෙන් විවාහ වූ පසු ඊළඟ බලාපොරොත්තුව දරුවෙක් නේද? එතකොට එය ලැබුණොත් මම සතුටින් බාරගන්නවා කියලයි එද‌ා මම පැවසුවේ’.

මම අහන්නේ ඒ අදහස දැන් ඔයාටත්, වික්ටර්ටත් තිබෙනවාද?  
‘ඔව්, එහෙම දෙයක් ලැබුණොත් ඉතා සතුටින් භාරගන්නවා. මම හිතන්නේ වික්ටර් වුණත් එහෙමයි. අපි දෙන්නා හරිම කැමැත්තෙන් ඉන්නේ, දරුවෙක් ලැබුණොත් හරිම සතුටින්, වාසනාවන්තව අපි භාරගන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා හා සමානවයි. ඒක කාලයට ඉඩදීලයි අපි දෙන්නා ඉන්නේ’.  


වික්ටර් එක්ක සබඳතාව තිබෙද්දී ඔයාට වෙනත් අයගෙන් අනියම් යෝජනා එන්න ඇති නේද?  
‘එහෙම විශේෂයෙන් කියලා ආ යෝජනා නම් මට මතක නෑ. හැබැයි අපේ සමාජයේ සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක්ට මුහුණපාන්න සිද්ධවෙන දේවල් මටත් මුහුණ දෙන්න වුණා. විවාහ වුණාට පස්සේ නම් එහෙම කරදරයක් නෑ. ඔහුගේ බිරිඳ විදිහට තමයි දැන් සලකන්නේ. විවාහයට පෙර නම්, සමාජයේදී අනෙක් අයට වගේම අනියම් යෝජනා, වෙනත් දේවල්වලට මට මුහුණ දෙන්න සිදුවුණු එක ඇත්තයි. දැන් ඒ යෝජනා එන්නේ නැති තරම්’.   


දැන් පවුල් ජීවිතේ සතුටුයිද? ආදරය ප්‍රේමය හා ලිංගිකත්වය ගැන දැන් ඔයාට මොකද හිතෙන්නේ?  
‘හරිම සතුටින් අපි දෙන්නා පවුල් ජීවිතය ගතකරන්නේ. මම හරි වාසනාවන්තයි. මෙවැනි සැමියෙක් ලැබුණු එක ගැන. කිසිම දෙයක් මම වචනයෙන් ප්‍රකාශ කරන්න ඕනේ නෑ. මගේ මුහුණේ ඉරියව්වකින් ඔහු ඉක්මණින් මාව තේරුම් අරගන්නවා. ඒ අවබෝධය ඔහුට තිබෙනවා. සැමියා හැරුණු කොට මට ඔහු හොද යාළුවෙක්. වෙලාවට පියෙක්, සහෝදරයෙක් වගේම, ගුරුවරයෙක්. මම නොදන්නා දේවල් දවස ගානේ ඔහුගෙන් ඉගෙන ගන්නවා. ලෝකයේ ඉන්න වාසනාවන්තම බිරිඳ මම වෙන්නැති කියලා මට වෙලාවකට හිතෙනවා. ඒ තරම් පුදුමයක් මට තිබෙන්නේ’.  


මේ බැඳීම පෙර ආත්මයේ ඉඳන් ආ දෙයක් විදිහටද ඔයා හිතන්නේ?  
‘ඔව්. වික්ටර්ට කවුද එහෙම කතාකරලා කියා තිබුණා. නාඩි වාක්‍යයෙන්ද දන්නේ නෑ. තත් කාලයෙන් බලන කෙනෙක්ද කොහෙද මෙයා ගැන බලලා පෙර ආත්මයේ බිරිඳ තමයි මේ දැන් ලැබිලා තියෙන්නේ කියා තිබුණා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ තරම් බැඳීමක් අපි දෙන්නා අතර තිබෙන්නේ.

 
තම බිරිඳ පවසන අදහස් දෙස වික්ටර් පසෙකට වී කල්පනා කරන්නට විය. බොහෝ වෙලාවට ඇය ඔහු දෙස බලන්නට විය. අවසානයේදී අපි වික්ටර්ගෙන් ඇය පිළිබඳවත් අසන්නට අමතක කළේ නැත’.  


ඔබට දැන් අලුත් බිරිඳ ගැන මොකද හිතෙන්නේ?  
‘ඇත්තෙන්ම බිරිඳ කියන යෙදුම පරිසමාප්තාර්ථයෙන්ම මා හිතන්නේ හෂිණිට ඔබිනවා. මොකද මා පිළිබඳව එතරම්ම අවබෝධයක්, වැටහීමක් තිබෙනවා. එයත් සංගීතය හද‌ාරලා තිබෙනවා. පෙරදිග නොවෙයි බටහිර සංගීතය, ඒ අනුව මගේ දේවල්වලට සහනද‌ායී තත්ත්වයක් ඇයගෙන් මට තිබෙනවා. ස්වර ලිපි ඇය අවශ්‍ය විදිහට සකස් කර ලියා දීලා, පිටපත් කරලා, සියලු දේ කරලා දෙනවා. ඒක මම හිතන්නේ නිර්මාණකරුවකුට බිරිඳකගෙන් ලැබෙන විශාල පිටිවහල හා ආදරය කියන්න පුළුවන්. එයට අන්‍යොන්‍ය අවබෝධය ඉතාම වැදගත්. හෂිණි එය හොඳින් කරනවා. බොහෝ විට පෙර ආත්මයෙන් මා පතාගෙන ආ බිරිඳ හෂිනි කියලා මට හිතෙන අවස්ථා බොහොමයි’.   


දැන් පවුල් ජීවිතේ ගෙනියද්දී ඔබට මොකද හිතෙන්නේ?  
‘එහෙම විශේෂ දෙයක් කියන්න තරම් නෑ. අපි දෙන්නාගේ මේ බැඳීම, එකමුතුවීම, එක වහලක් යට හිඳීම ටික කාලයක්. නමුත් අපි පොතක ලියලා විවාහ වුණා කියන එක එතරම්ම අමුත්තකුත් නොවෙයි. නමුත් එහෙම බැඳුණාම ස්ථාවර බවට පත්වෙනවා. ඕනෑම තැනක සැමියා හා බිරිඳ හැටියට අපි දෙන්නා එක පවුලක් වශයෙන් ඕන දෙයකට මුහුණ දෙන්න ශක්තිය තිබෙනවා. ඒ නිසා කසාද බැන්දාය කියන එක හෝ විවාහ වුණාය කියන එක තැනට ආවාට පස්සේ ස්ථාවරය වැඩිවුණා. ඕක එතරම් අවශ්‍ය නෑ කියලයි අපි දෙන්නා කතාවෙලා හිටියෙත්. නමුත් සමාජය අපි දෙන්නා දෙස බලන විදිහ වෙනස් නේද?’  


ඒ කියන්නේ ඔයාලා දෙන්නා ‘‘ලිවිං ටු ගෙදර්’’ සංකල්පයේ ඉඳලා තිබෙන්නේ? ඒක ගැන මොකද කියන්නේ?  
‘‘ලිවිං ටු ගෙදර්’’ කියන්නේ එකක් ‘‘මැරේජ් ලයිෆ්’’ කියන්නේ තව එකක් ‘‘ලිවිං ටු ගෙදර්’’ හිටියාට හැමදාමත් කරන්න පුළුවන් දෙයක්ද? ඊට වඩා අපි පරිණත අය වියයුතුයි නේද? වයසින් නොවෙයි, සිතුවිලි, ආකල්පවලින් අපි එහෙම ටිකක් පරිණත වෙන්න ඕනේ. නැතුව හැමද‌ාම ලේන්සු බෙද‌ා ගන්න, ටොෆි, චොකලට් බෙද‌ාගන්න ඒ යුගයේ ඉන්න බැහැනේ. අපි දෙන්නාත් ‘‘ලිවිං ටු ගෙදර්’’ හිටියා තමයි සමාජ සම්මතය අනුව, සමාජය අපි දෙස බලන අයුරු වෙනස්. ඒ හින්දයි ඒ ශක්තිමත් අවබෝධයෙන් අපි දෙන්නා ‘‘මැරේජ් ලයිෆ්’’ එකකට ගියේ.  


දෙදෙනා හොඳින් පවුල් ජීවිතය අවබෝධ කරගෙන තිබෙන අයුරු ඒ කතා බහේදී මට අවබෝධ වුණි. වික්ටර් තම ප්‍රථම විවාහයේ දරුවන් ගැන කතාකිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. පසුගිය කාලයේ පවුල් ප්‍රශ්න නිසා පොලිසි යෑමටත්, එහිදී විවාහ සහතිකය පවා පෙන්වීමටත් මේ දෙදෙනාට සිදුවුණි. ඒ නිසාම ඔවුන් තම අතීත සිදුවීම් මකා දමා අලුත් පරිච්ඡේදයක් ජීවිතයේ පටන්ගෙන තිබේ. ඉතිං ඒ අලුත් පිටුව වාසනාවන්ත වේවායි කියා පතමින් මගේ ‘‘ආදරය, ප්‍රේමය හා විවාහය’’ යන පිටුවේ අද පරිච්ඡේදයට තිත තබන්නෙමි.  

සටහන් කළේ/ඡායාරූප ගත්තේ  
සමන්ත යහම්පත්

 



අදහස් (0)

ආදරෙයි කියලා මුලින්ම කීවෙ වික්ටර්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10902 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3225 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site