IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අනෝතප්ත විලේ ජලය වාලම්පුරියෙන් මවන සාමිගේ විශ්මිත අන්දරය

 

වාලම්පුරිය වූ කලී හක්ගෙඩියකට බොහෝ සමානය. මෙහි ඇති විශේෂත්වය ​වන්නේ හක්ගෙඩිය දක්ෂිණාවර්තව කැරකී ඇති අතර වාලම්පුරිය වාමාවර්තව කැරකී ඇත. මෙය බෙල්ලකුගේ කටුවක් වුව ද පුරාණයේ සිටම මිනිසුන් මේ කෙරෙහි අධික විශ්වාසයක් තබා ඇත. 

 
වාලම්පුරිය විටෙක සිතුමිණකි. එනම් සිතූ පැතූ සම්පත් ලබාදෙන මැණිකක් වැනිය. මෙය නිවෙසේ තබා ගතහොත් එම නිවෙසට වාසනාව උදා වේ. එය යස ඉසුරින් පිරි ජීවිතයකට මගපාදයි. කිසිදු කරදරයක්, අනතුරක්, අණවිණ කොඩිවින බලනොපායි. නිවෙසේ ඇති වාලම්පුරියේ බලයෙන් නිවෙසේ ජීවත් වන්නවුන්ගේ යසස, කීර්තිය වැඩේ. අධ්‍යාපනය ලබන දරුවන් සිටී නම් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ. නිවෙසට යහපත උදා වේ. වාලම්පුරියක් නිවෙසේ තබාගැනීමෙන් මෙවැනි සම්පත් උදාවන බව අතීතයේ සිටම අද දක්වා ජනසමාජයේ විශ්වාසයක්ව පවතී.   


වාලම්පුරියක් හෙවත් ජය සංඛයක් යනු හුදු මුහුදු බෙල්ලකුගේ කටුවකි. මෙම කටුව සෑදී තිබෙන්නේ හුණුගල් වැනි ද්‍රව්‍යයකිනි. මෙහි කැල්සියම් ගුණය බහුලය. මෙහි විශේෂතාවක් ද පවතී. එනම් සියලුම බෙලිකටුවක්ම පාහේ දකුණට කරකැවී ඇති අතර වාලම්පුරිය වාමාවෘත්තව කරකැවී තිබීමය. මේ නිසා එක් අංශයකින් මෙය දුර්ලභ වූ දෙයකි. අනෙක් අතට වැදගත් වන්නේ වාලම්පුරිය හෙවත් ජයසංඛය විෂ්ණු දෙවියන්ගේත්, ලක්ෂ්මි දෙවඟනගේත් සුරත රැඳි පූජනීය වස්තුවක් වශයෙන් හැඳින්වීමය.   


වාලම්පුරියේ පවතින ගුප්ත ස්වභාවය නිසා විෂ්ණු දෙවියන් හා ලක්ෂ්මී දෙවඟනට භක්තිවන්ත වූවන් වාලම්පුරියකට දක්වන පුදසත්කාර හේතුවෙන් දෙවියන් පිනවීම නිසා ලබන දේව ආශිර්වාදය අතිමහත්ය. වාලම්පුරියක් ඔහේ නිකම්ම තබාගෙන සිටීමට වඩා එය ජීවම් කොට බලගන්වා සතියේ සෑම සෙනසුරාදා දිනකම කහ දියරෙන්, කිරෙන් හා සුවඳ පැණින් නහවා අභිෂේක කිරීමෙන් විශේෂ බලයක් හා වාසනාවක් ශ්‍රියාවක් ඇතිවෙයි. මේ නිසා බොහෝ උදවිය තම නිවෙසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැන්පත්කොට පුදසත්කාර කරති.   


වාලම්පුරිය පිළිබඳ පැතිරී ඇති දුර්මත රාශියකි. ඇතැමුන් මෙහි ලේ නහර පවතින බවත් එවැනි වාලම්පුරි වටිනාකමින් වැඩි දුර්ලභ ඒවා බවත් පවසති. මෙය හුණුගල් වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කටුවක් හෙයින් මෙහි කෙසේ නම් ලේ නහර ගමන් කරන්නේදැයි සිතිය හැකි ද යන්න ඔබට සිතන්නට අවස්ථාව ඇත.   


අනෙක් මතයක් නම් ටෝච් එළියක් ඇල්ලූ විට ලේ පාටට පෙනෙන බවයි. ඕනෑම බෙලි කටුවකට එළියක් ඇල්ලූ විට එක්තරා අඳුරු දුඹුරු පැහැයක් ගැනීම ස්වාභාවිකය. එය වාලම්පුරියක් නොව සාමාන්‍ය බෙලි කටුවකට පොදු වූවක් බව පෙනේ.   


වාලම්පුරියට සමන්පිච්ච කැකුළු දමා තිබීමෙන් නියම වාලම්පුරියක් නම් සමන් කැකුළු පිපෙන බව ද පවසති. සාමාන්‍ය වශයෙන් සමන්මල් පොහොට්ටු සවස් කාලයේ කඩා පැන් ස්වල්පයක් ඉස තැබීමෙන් සවස හත පමණ ​වනවිට සමන්පිච්ච මල් පිපී සුවඳ හමයි. එය සාමාන්‍ය ධර්මතාවකි.   


මේ ආදී වශයෙන් නොයෙකුත් විස්මිත කතා මේ වටා ගෙතී ඇත්තේ මෙහි පවත්නා විශේෂතාව හා වටිනාකම අධික කරවීමේ අභිප්‍රායක් වශයෙනි.   


කපා කොටා ඔපමට්ටම් කරන ලද දිලිසෙන වාලම්පුරියකට වඩා ස්වාභාවික වයිරම් සහිත කටු උල් සහිත දිගු වලිගයක් (වලිගයක් යනු කටුවෙන්ම නිර්මාණය වූ සිහින්ව ගිය කොටසයි) ඇති වාලම්පුරියක බලය අධික බවට විශ්වාසයකි.   


දුර්ලභ වස්තූන් කෙරෙහි පවතින ගුප්තමය ස්වභාවය නිසාම බොහෝ දෙනා විසින් වාලම්පුරිය වෙනුවෙන් ද නොයෙකුත් මති මතාන්තර එක්කොට තිබේ. එහෙත් ඒ හැම එකක්ම විමසුම් නුවණින් වටහා ගැනීම වැදගත්ය. මිනිසා බුද්ධිමත්ව එය කල්පනා කළ යුතුව ඇත.   


සත්තකින්ම සෑම දෙයකම පොදු සත්‍යතාවක් පවතී. නමුත් බොහෝ විට මේවා බාහිර කතාන්දර පමණි. කතාන්දරයෙන් ආටෝප සාටෝප වී ආවරණය වී ඇති සත්‍යතාව හඳුනාගැනීම වැදගත්ය. වාලම්පුරිය කෙරෙහි ද මෙය අතිශයින් වැදගත් බව කිව යුතුව ඇත.   


කඩුගන්නාව ප‍්‍රදේශයේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයෙකි සාමි. ඔහු කා අතරත් හැඳින්වුණේ ‘සුන්දර සාමි’ යනුවෙනි. සුන්දර සාමි සතු විශේෂ හැකියාවන් බොහෝය. ස්ත‍්‍රී පුරුෂ වශී ගුරුකම්, අංජනම් බැලීම, හැරගිය ස්වාමියා බිරිඳ ගෙන්වා දීම, විවාහයට දෙමාපියන්ගේ කැමැත්ත ලබාගැනීම, විභාගවලින් ජය ලබාදීම, දේවාරූඪයෙන් පේන කීම, නඩුහබ දිනවීම, මළවුන් ගෙන්වීම, භූතයන් සිර කිරීම, සතුරන්ගෙන් පළිගැනීම ආදී බොහෝ දේ සම්බන්ධයෙන් සුන්දර සාමි ප‍්‍රසිද්ධය. සුන්දර සාමිගේ සුවිශේෂී හැකියාව වූයේ අනෝතප්ත විලේ ඇති ශුද්ධ වූ ජලය පේ කර, මොහු අත ඇති වාලම්පුරියෙන් මවා පෙන්වීමයි. මෙම මවා පෙන්වන ජලයෙන් රෝගීන් සුවපත් කිරීම නිසා බොහෝ ජනයා සුන්දර සාමි කරා පැමිණෙති.   


කාලයක් තිස්සේ පීඩා විඳිමින් තිබූ නොයෙක් ලෙඩ රෝග, සුව කිරීමට නොහැකි ලෙඩ රෝග සුන්දර සාමිගේ වාලම්පුරියේ ඇති ශුද්ධ වූ ජලයෙන් සුවපත් විය. වයස තිස්දෙකක කාන්තාවක් වූ අනෝමා පැවසුවේ කාලයක සිටම ඇයට වරින් වර ඇති වෙන හිසරදය සුව වූයේ සුන්දර සාමි හමුවීමෙන් පසු බවයි. නොයෙක් වෛද්‍යවරුන් කරා ගිය ද දරාගත නොහැකි හිසරදයකින් පීඩා විඳි අනෝමාට සුන්දර සාමි විසින් ඔහු අත ඇති වාලම්පුරියෙන් පේ කරන ලද ශුද්ධ වූ ජලය පානය කරන්නට සැලැස්වීමෙන් සුවපත් වූ බව ඇය පවසන්නීය.   


සුන්දර සාමි ලෙඩ සුව කිරීමට බලය ඇති තම අතේ වූ වාලම්පුරිය පේ කරන්නට පටන් ගත්තේය. පුදුමයකි! අනෝතප්ත විලේ ශුද්ධ වූ ජලය එහි මැවුණි. එය මහත් වූ භක්තියකින් තමා වෙත පැමිණි රෝගීන්ට බීමට සැලැස්විය. අනෝමාට ද එක් උගුරක් බීමටත් ස්වල්පයක් අතට ගෙන හිස මත තවරා ගැනීමටත් සාමි නියම කළේය. මෙසේ දින තුනක් ශුද්ධ වූ ජලය බීමෙන් හා හිස ගෑමෙන් රෝගය සුව වූ බව අනෝමා පැවසුවාය. සුරංග පාදයේ හිරි ගතියකින් පීඩා වින්දේ මාස තුන හතරක සිටය. සුන්දර සාමි සුරංගට ශුද්ධ වූ ජලය බීමට දුන්නේ දින තුනක් පමණි. අසනීපය සුව විය.   


සුන්දර සාමිගේ කතාන්දරයේ අපගේ කතා නායිකාව නයනාය. ඇය උසස් පෙළ හදාරන අතර, ව්‍යාපාරික පවුලක එකම දියණිය වූවාය. ඉගෙනීමට බොහෝ දස්කම් දැක්වූ ඇය සරසවි වරම් ලැබුවාය. නමුත් සරසවියට යාමට එතරම් කැමැත්තක් ඇය තුළ නොවීය. නයනාගේ මවත් පියාත් ඇවිටිලි කිරීම නිසා ඇය විශ්වවිද්‍යාලයට ගියේ දෙමාපියන්ගේ වදෙන් බේරීමටය. (කොළඹ විශ්වවිද්‍යාලය) නමුත් සති කිහිපයක් එතරම් උනන්දුවකින් තොරව සරසවියට පිය නැගූ නයනා නිවෙසට පැමිණියේ තමන් සමඟ සරසවියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු සමඟය. වමනය, ක්ලාන්ත ගතිය සහ සිහි නැතිවීම වරින් වර හටගත් නිසා යෙහෙළියන් දෙදෙනා ඇයව නිවෙසට ගෙනත් ඇරලූවේ දින කිහිපයක් විවේක ගෙන පැමිණෙන මෙන් පවසමින්ය.   


“අනේ අම්මේ මට රස්සාවක් හොයලා දෙන්න. මට බෑ කැම්පස් යන්න” නයනා මවට පැවැසුවාය. ‘පිස්සු ද කීයෙන් කී දෙනාට ද මේ වගේ වාසනාවක් ලැබෙන්නේ. ඒකටත් පයින් ගහලා රස්සාවකට යන්න හදන්නේ පිස්සුවක් හැදීගෙන එනවා ද?   


අපි ඔයා ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ද ඉන්නේ. ඒකත් නැති කරන්න ද හදන්නේ. අනික මොන රස්සාවල් ද? මොනවයින් අඩුපාඩුවක් ද? ඒ නිසා ඉගෙන ගන්න” නයනාගේ මව ඇයට පැවැසුවේ තරමක් තරවටු ස්වරයෙන්ය. නයනා දින දෙකක් පමණ නිවෙසේ සිට නැවත සරසවියට ගියාය. එහෙත් දින තුනක්වත් ඇයට සුවෙන් සිටීමට නොහැකි විය. නැවත වරක් ක්ලාන්තය හා උණ තත්ත්වයෙන් පීඩා විඳි ඇය යෙහෙළියක සමඟ නිවෙසට පැමිණියාය. ව්‍යාපාර ක්‍ෂෙත‍්‍රයේ දක්ෂයකු වූ නයනාගේ පියා ඇයව වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අතර, පසුදා දේශන සඳහා සරසවිය වෙත ඇයව පිටත් කර හැරියේ තමාට අයත් වාහනයකිනි. එදින ද වමනය හා ක්ලාන්තයෙන් පීඩා විඳි ඇය තම පියා විසින් ලබාදුන් වාහනයේ රියැදුරාට පැවැසුවේ තමන්ට නිවෙසට යාමට අවශ්‍ය බවයි. දේශන අවසන් වීමට පෙරම තම දියණිය නිවෙසට පැමිණීම නිසාත් ඇයගෙන් විද්‍යාමාන වන දුර්වල ස්වභාවය නිසාත් දෙමාපියන් ඇය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළහ. රෝගියා පරීක්‍ෂා කළ වෛද්‍යවරයා පැවැසුවේ ඇය මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසත් ඇයට කායික අසනීපයක් නොමැති බවත්ය. නයනාගේ දෙමාපියන් වෛද්‍යවරයාගේ කීම පිළිගත්තේ නැත. නිවෙසට පැමිණි ඔවුහු සුපුරුදු පරිදි පසු දින නයනාව සරසවිය වෙත පිටත් කර හැරීය. මෙදින ද සවස් වීමට පෙරම නයනාට වමනය ඇති විය. ක්ලාන්තය ඇති විය. ඇය නිවෙසට පැමිණියාය.   


නයනාට කිසිදු අසනීපයක් නොමැති බව වෛද්‍යවරයා පැවැසූ වදන් දෙමාපියන්ගේ දෙසවන් පුරා දෝංකාර දුණි. ඒ අනූව ඔවුන් සුන්දර සාමි සොයා ගියේය.   


“අපේ කෙල්ල ඉගෙන ගන්නවට කවුරු හරි මොනවදෝ කරලා” නයනාගේ දෙමාපියන් කීය. දේවාරූඪයට පත් වූ සුන්දර සාමි පැවැසුවේ නයනාට බන්ධනයක් කර ඇති බවත් එය ඉවත් කළ යුතු බවත්ය. “ඔය බන්ධනවලට මම බය නැහැ. මම ඕක අයින් කරලා දෙන්නම්” සුන්දර සාමි නයනාගේ දෙමාපියන්ගේ සිත් සැනසීය. විශාල ප‍්‍රමාණයේ වාලම්පූරියක් අතට ගත් සුන්දර සාමි එය වටේට කරකැවීය. එහි කිසිවක් නොමැති බව සැමටම පෙනෙන පරිදි එය වටේට කරකැවීය. ඉන්පසු දෙවියන්ට කන්නලව් කරන්නට වූයේ අත වූ වාලම්පූරිය අහසට ඔසවමින්ය. එසේ කරමින් ඒ තුළ ටිකෙන් ටික ජලය ඇති බව හා ජලය සෙලවෙන බව සියල්ලන්ටම පෙන්වීය. මෙසේ කළ සුන්දර සාමි නයනාගේ අත් දෙක අල්ලා වාලම්පුරිය තුළ ඇති ශුද්ධ ජලය ඇගේ අත්ලට දැමුවේ එයින් ටිකක් බීල හිසේ සහ උදරයේ තවරා ගන්නා ලෙස අණ කරමිනි. දේවාරූඪයෙන් රෝග සුව කිරීමේ බලය ඇති වාලම්පුරියට අනෝතප්ත විලේ ශුද්ධ වූ ජලය දේව හාස්කමෙන් ගෙන්වා එය පේ කර ලබාදෙන බව සුන්දර සාමිගේ දේවගැත්තෝ මහා හයියෙන් සාධුකාර දෙමින් සියල්ලන්ටම ඇසෙන ලෙස පැවැසූහ.   
මෙසේ දින කීපයක්ම සුන්දර සාමි දුන් ශුද්ධ වූ ජලය නයනාට පානය කරන්නට සැලැස්වීමෙන් අනතුරුව ඇය සරසවියට ගියේ සුපුරුදු පරිදිය. දින කීපයක් සරසවියට ගිය නයනාට නැවතත් පෙර ලෙස අසනීප ලක්‍ෂණ මතුවිය. ක්ලාන්තය හා වමනය ද ඇය උණ ගතියෙන් ද පෙළුණාය. නයනාගේ දෙමාපියන් නයනාව නැවත සුන්දර සාමි වෙත රැගෙන ගියෝය. පූජාවන් පවත්වන අතරතුරදී නයනා කිල්ලකට හසුවී ඇති හෙයින් තම හාස්කම බලරහිත වී ඇති බව සුන්දර සාමි ඔවුන්ට පැවැසීය. ඒ නිසා නැවතත් පූජාවන් පේ කිරීමට අවශ්‍ය වන බවත්, රෝගය නිට්ටාවටම සුව කිරීමට රුපියල් හැත්තෑදහසකට අධික මුදලක් අවශ්‍ය වන බවත් හේ පවසා සිටියේය. දේව කන්නලව් කර පූජාව සිදු කිරීමට ලැහැස්ති වන ලෙස නයනාගේ දෙමාපියන්ට සුන්දර සාමි පැවැසුවේය.   


නිවෙසට පැමිණි නයනාගේ දෙමාපියන් මේ පිළිබඳව තම ඥාතීන්ට පැවැසුවේය. “ඔය මනස්ගාත කරල විනාස වෙන්නෙ නැතිව ඔය ළමයව මනෝ වෛද්‍යවරයකුට පෙන්වන්න” ඥාතිවරයා නයනාගේ දෙමාපියන්ට කීවේ මොවුන් පත්වී ඇති තත්ත්වය හොඳින් වටහාගෙනය. ඒ අනූව නයනාව මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   


සියලු කරුණු කෙරෙහි හොඳින් අවධානය යොමු කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තම මතය මෙසේ පැවැසුවේය.   


“නයනා මුල සිටම සරසවි අධ්‍යාපනයට අකමැතියි. නවක වධය සම්බන්ධයෙන් ඇයට භීතියක් ඇති වී තිබුණා. ඒ නිසා ඇය සරසවියට යාමට බිය වූවා. ඇය මුල සිටම ඒ සම්බන්ධව දෙමාපියන්ට පැවැසුවත් ඔවුන් එය විශ්වාස කළේ නැහැ. ඉන්පසුව යටි හිතේ තිබූ මෙම තත්ත්වය ශාරීරික රෝගී තත්ත්වයක් ලෙස පිටතට පැමිණ තිබෙනවා. මෙය හඳුන්වන්නේ (Somateform Disorder) යනුවෙනුයි. මෙම මනෝකායික රෝගී තත්ත්වය කොපමණ කායික විද්‍යා පරීක්‍ෂණ කළත් නිරෝගී කෙනකු ලෙසයි පෙන්වන්නේ. ඒ නිසා වෛද්‍යවරුන්ට එය හඳුනා ගැනීමට නොහැකි වී ඇත. මෙය මානසික හේතුන් නිසා ඇති වූ කායික ගැටලුවක් පමණයි. මෙහිදී මෙම මානසික තත්ත්වය වෙනස් කිරීමට සිදුවේ. ඇයගේ සිතේ තිබෙන භීතිය සිතින් ඉවත් කිරීමට අවශ්‍ය විය. මේ වනවිට ඇය සරසවියේ 4 වැනි වසර පසුකර අධ්‍යාපනය ලබන්නීය.   


යමෙක් අකමැති දෙයක් තවත් අයකුගේ පෙළඹවීම මත සිදුවනවිට මෙවැනි තත්ත්වයන් ඇති විය හැකිය. පාසල් වයසේ පසුවන දරුවන් පාසල් යාමට බිය හෝ අකමැත්ත නිසා ඔවුන් දෙමාපියන්ගේ පෙළඹවීමෙන් ඒ සඳහා යොමු කළ විට ඊට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් ලෙස වමනය යෑම, උණ සෑදීම, ශාරීරික අප‍්‍රාණික බව, සිහි නැති වීම ආදී බොහෝ දේ සිදුවිය හැකිය. මෙය මානසික හේතුන් නිසා හටගන්නකි.   


විභාගය ආසන්නයේදී, පාසල් යෑමේදී, සරසවියට යෑමේදී, රැකියාවකට යෑමේදී, අකමැති පරිසරයක ජීවත් වීම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වේ. එවැනි තත්ත්වයකුයි නයනාට ඇති වී තිබෙන්නේ.”   


“අපි සුන්දර සාමි ගැන දැන් කතා කරමු.”


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා කීවේය. සුන්දර සාමි වාලම්පුරියෙන් වතුර මැව්වේ කෙසේ ද? විශාල ප‍්‍රමාණයේ වාලම්පුරියක් අතට ගත් විද්‍යාකුලපති මහතා එහි කිසිදු ද්‍රව්‍යයක් හෝ ජලය නොමැති බව සනාථ කරන්නට එය කරකවා පැමිණ සිටි පිරිසට පෙන්වීය. ඒ අනූව එහි කිසිවක් නොමැති බව සියල්ලෝ පිළිගත්හ.


ඉන්පසුව වාලම්පුරිය ඔසවා සොලවමින් මමත් දැන් වාලම්පුරියෙන් වතුර මවනවා කියමින් වාලම්පුරිය සෙලවූවේය. එවිට වාලම්පුරිය තුළ වතුර තිබෙන බව කාටත් දැකගැනීමට ලැබුණි.   


මෙම ක‍්‍රියාවලිය සියල්ලෝ පුදුම වී බලාසිටියෝය. “මෙන්න මම මැවූ වතුර” කියමින් වාලම්පුරියෙන් වතුර බේරෙන්නට හැරීය. වාලම්පුරියෙන් වතුර වැගිරෙන බව දැකි සියල්ලෝ පුදුම වූහ.   


මෙහි ඇති පුදුමය සහ විද්‍යාත්මක සත්‍යතාවය මම දැන් පැහැදිලි කරන්නම්. එය ඉතා සරලයි. සාමාන්‍ය හක් බෙල්ලකුගේ වාමාර්ථව කටුව කැරකී තිබෙනවා. නමුත් සමහර හක් බෙල්ලන්ගේ කටුව දක්ෂිණාවර්ථව කැරකී තිබෙනවා. එය තමා වාලම්පූරි ලෙස හඳුන්වන්නේ. මම එම වාලම්පුරියට මුලින් වතුර පුරවලයි ගෙනාවේ. මෙලෙස වතුර පිරවූ වාලම්පුරිය මම වටේ කරකවමින් ඔබලාට පෙන්වූවා. මම කැරකුවේ දක්ෂිණාවර්ථව. එසේ කරකවනවිට සිදුවන්නේ එය දක්ෂිණාවර්ථව සැකසී ඇති නිසා ජලය තවත් ඇතුළටම ගමන් කිරීමයි. නමුත් වම් පැත්තට කැරකුවහොත් එයින් ජලය පිටතට පැමිණෙනවා. මෙලෙස දක්ෂිණාවර්ථව කරකවා එහි ජලය නැති බව ඔබලාට පෙන්වූවා. නමුත් මෙහි ජලය පිරී තිබුණා. මම කළේ ජලය පිටතට ගැනීම පමණයි. මෙය ඔබට මට පමණක් නොව ඕනෑම අයකුට කිරීමට පුළුවන්. සුන්දර සාමි මිනිසුන් රැවටීම කළ ශුද්ධ වූ ජලය මවා පෙන්වීම ඇත්තටම බොරුවක් බව ඔබට දැන් පැහැදිලිව පෙනෙන්නට ඇති. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සැමට සත්‍ය පහදා දුන්නේය.

 

(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)


සටහන හා ඡායාරූප   
හබරාදුව
නිමල් අල්ගෙවත්ත 



අදහස් (0)

අනෝතප්ත විලේ ජලය වාලම්පුරියෙන් මවන සාමිගේ විශ්මිත අන්දරය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5241 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1520 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site