(නිමල කොඩිතුවක්කු)

යල් පැන ගිය බව පවසමින් රටට වැදගත් ආඥා පනත් 10ක් සංශෝධනය කරමින් මුළු රටම විදේශිකයන්ට බිලිදීමේ තැතක වත්මන් රජය නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඉකුත්දා (14) පැවසීය.

ජනතාවට යම්කිසි අයිතිවාසිකම් ප්‍රමාණයක් හෝ  ඉතිරිවී තිබුණේනම් එය අහෝසි කිරීම මෙහි අරමුණ වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙසේද කීය.

මෙවර ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වුණු ලිබරල්කරණය වේගවත් කිරීම වෙනුවෙන් අණපනත් කිහිපයක් වෙනස් කිරීමට යන බව සඳහන් කර තිබෙනවා. මුදල් ඇමැතිවරයා කියන්නේ පැරණි යල්පැන ගිය අණ පනත් වෙනස් කළ යුතුයි කියලා. පනත් කෙටුම්පත් දහයකට ආසන්න ප්‍රමාණයක් වෙනස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැයේ ඒ අණ පනත් මොනවාද කියලා නිශ්චිතව සඳහන් කර තිබෙනවා. යල්පැන ගිහින් තිබෙනවා නම් ඒකට වගකිවයුත්තෙත් මේ පක්‍ෂ දෙකමයි. මොකද, මෙතෙක් කල් රට පාලනය කළෙත් දැන් හවුල් ආණ්ඩුව විදිහට පාලනය කරන්නෙත් මේ පක්‍ෂ දෙකයි. පනත් පැරණි වූ පමණින් නරක් වෙන්නේ නැහැ. නමුත් යල්පැන ගොස් තිබෙනවා නම් පනත් සංශෝධනය කළ යුතු බව අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව පැරණි යැයි කියමින් සංශෝධනය කරන්න යන්නේ ආණ්ඩුවේ ලිහිල්කරණ ආර්ථිකයට ගැලපෙන ලෙසයි. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග අනුව සියල්ල විකුණලා දාන්නයි ආණ්ඩුව හදන්නේ.

මේ අණ පනත් ජන ජීවිතයට සෘජුවම බලපාන දේවල්. අපේ රටේ ගොවි ජනතාවට ඉතා වැදගත් ඉඩම් පනත වගේම සිසුන්ට, වැඩ කරන ජනතාවට බලපාන පනත්වලින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂාවී තිබෙනවා. එයට පහර එල්ල කිරීමටයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. වර්තමාන ආණ්ඩුව කතා කරන ලිබරල්කරණය ලෝකයේ කොහේවත් තියෙන දෙයක් නෙවෙයි. අද ඇමරිකාව පවා ආර්ථිකයේදී ආරක්‍ෂණවාදී වැඩපිළිවෙළක ඉන්නවා. වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා වීසා දෙන එක පවා සීමාකර තිබෙනවා. යුරෝපයේ බොහෝ රටවලුත් එහෙමයි. එසේ තිබියදී අපි වගේ රටවල් සියලු දේවල් නිදහසේ අලෙවි කරන වීදි ගණිකාවන් බවට පත්වෙලා. සියලු දේවල් නිදහස් කරලා දෙන්නම් කියලා ආයෝජකයන්ට කතා කරනවා. එහෙම ආරාධනා කළ පලියටම ආයෝජකයෝ එන්නේ නැහැ. අද ලෝකයේ ආර්ථිකය අස්ථාවර වෙලා. එනිසා පොදුවේ රටවල්වලට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ.

අයවැයේ සඳහන් වෙනවා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කරනවා කියලා. පැය අටේ වැඩ දිනය නීතිගත කර තිබෙන්නේ මේ පනත අනුවයි. අපේ රටේ වැඩ කරන ජනතාවට පැය අටෙන් පසුව අතිකාල දීමනා ලැබෙන්නේ මේ පනත නිසා. කාන්තාවන්ට, රාත්‍රී වැඩ මුරය ලබාදීමේදී විශේෂ අවසරයක් ලබාගත යුත්තේ මේ පනත මගින්. ඒවගේම ළමා ශ්‍රමය තහනම්කොට තිබෙන්නේ මේ පනත අනුවයි. ඒ නිසා මේ සාප්පු හා කාර්යාල පනත වැඩ කරන ජනතාවට විශේෂ පනතක්. මුදල් ඇමැති ඒක වෙනස් කරන්න හදනවා. සේවකයින් වෙනුවෙන් නොව ආණ්ඩුවේ ලිහිල්කරණය වෙනුවෙන්. ඇමරිකානු ආධාර මුදල් වියදම් කරලා අපේ රටේ කම්කරු නීති කිහිපයක් වෙනස් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. නමුත් ඒවා තරමක් හෝ පස්සට තල්ලුවෙලා තිබෙන්නේ වෘත්තීය සමිති අරගල නිසා. අද තොරතුරු තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙනවා. එම තාක්‍ෂණය භාවිතා කරලා පැය අටේ වැඩ දිනය පැය හතක් කරන්නයි අපි උත්සාහ කළ යුතු වන්නේ.  නමුත් මේ ආණ්ඩුව කරන්න යන්නේ සාප්පු හා කර්යාල පනත වෙනස් කරලා පැය අටේ වැඩ දිනය තමන්ට ඕන විදිහට සකස් කර ගන්න අවස්ථාව හදන්නයි. මේ වෙනුවෙන් ආණ්ඩුව යොදා ගන්නා මතය තමයි නම්‍යශීලී වැඩ කිරීම. එය අටේ සිට හතර දක්වා හෝ නමයේ සිට පහ දක්වා ආවරණය කළ හැකි වැඩ මුරයක් බවට පත්කිරීම කිව්වත් එයට මුවාවෙලා පැය අටේ වැඩ දිනය අවලංගු කරන්නයි ආණ්ඩුව හදන්නේ.  

ඒ වගේම ආණ්ඩුව රේගු පනත සංශෝධනය කරන්න යෝජනාකොට තිබෙනවා. අපේ රටේ තිබෙන රේගු ආඥා පනත 1869දී හදපු එකක්. එය 1969දී 1973දී, 1978දී සංශෝධනයකොට තිබෙනවා. මුල් රේගු පනතේ තිබුණු සංශෝධන 167න් වගන්ති 128ක්ම අලුතෙන්ම සකස්කොට තිබෙනවා. හිටපු මුදල් ඇමැති රවී කරුණානායක කිවුවා වගේම මේ පනත් පැරණියි කියන ප්‍රකාශයම කරමින් තමයි මංගල සමරවීරත් මේ පනත් සංශෝධනය කරන්න යන්නේ. අපේ රටේ රේගු පනත කියන්නේ රට වටේ හදල තියෙන ආරක්‍ෂක වැටක්. රේගුවේ පරීක්‍ෂණවලින් තොරව භාණ්ඩ ගෙන්වීම බරපතළ තත්වයක්. දැනටමත් ලංකාවේ ප්‍රධාන සමාගම් 47ක ආනයන භාණ්ඩ පරීක්‍ෂණයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. රේගුව කටයුතු කළ යුතු වන්නේ නිත්‍යානුකූල වෙළඳාම දිරිගැන්වීමයි. නමුත් ආණ්ඩුව ඕන කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන් විදිහට රේගු පනත වෙනස් කරන්න හදනවා. ඒ මගින් ඇමතිට පගාව දීලා ඕනෑම කුණු බඩුවක් ගේන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම 1939 ගෙනාපු අධ්‍යාපන ආඥා පනතින් ලංකාවේ පාසල්වල මුදල් අයකිරීම තහනම් කිරීම, පාසල් පවත්වාගෙන යාම රජය සතු වගකීමක් බවට පත්කිරීම, පුද්ගලික අධ්‍යාපන ආයතනවලට වැට බැඳීම සිදුකොට තිබෙනවා. එය ප්‍රගතිශීලී පනතක්. ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කන්නන්ගර ප්‍රතිමාව තබාගෙන නෙවිල් ප්‍රනාන්දුගේ වැඬේ කරනවා. ඒ නිසා ආණ්ඩුව කරන්න ඕන නෙවිල්ගේ ප්‍රතිමාවක් හදාගන්න එකයි. අද පාසල්වල මුදල් අය කරන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. නමුත් පනත අනුව තහනම්. ඒක වෙනස් කරන්න ආණ්ඩුව හදනවා. පෞද්ගලික පාසල් ආරම්භ කරන්න පනතින් තහනම් වුවත් අදටත් පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා. ලෝකයේ කොහේවත් රටක් පෞද්ගලික අධ්‍යාපනයෙන් දියුණුවෙලා නැහැ. යුරෝපයේ බොහෝ රටවල්වල තිබෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ ලබාදෙන අධ්‍යාපනයයි. පනත වෙනස් කරලා ආණ්ඩුව අධ්‍යාපනයේ වගකීමෙන් නිදහස් වෙන්න හදනවා.  

ඒ වගේම මේ ආණ්ඩුව කුඹුරු පනත හා රජයේ ඉඩම් ආඥා පනත සංශෝධනය කරන්න යනවා. ආණ්ඩුව ගේන ප්‍රධාන තර්කය තමයි, අපේ රටට ආයෝජකයන් එන්නේ නැත්තේ ඉඩම් නැති නිසා කියලා. නමුත් ආයෝජන කලාපවල තාප්පවලින් වට කරලා වැටවල් ගහලා ඉඩම් අක්කර සිය ගණනක් අලි ඉන්න කැලෑ බවට පත්වෙලා තිබෙනවා. ෆැක්ටරි හදනවානම් ඕනෑතරම් ඉඩම් තිබෙනවා. ලෝකයේ පිළිගැනීම වන්නේ රටේ  ඉඩම් රටේ මිනිස්සුන්ට කියන එක. මේ ආණ්ඩුව කරන්න යන්නේ විදේශිකයින්ට සින්නක්කරව ඉඩම් ලබාගන්න නීති හදලා දෙන්නයි. ඒත් හුණ්ඩුවක් වගේ තියෙන අපේ රටේ ඉඩම් ධනවත් විදේශිකයන්ට ගන්න නීති හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මහින්ද රාජපක්‍ෂලා ෂැංග්‍රිලා සමාගමට ඉඩම් දුන්නේ නීතියට පිටින් ගිහින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙනයි. නමුත් මෛත්‍රී - රනිල් ආණ්ඩුව නීති හදලා විදේශිකයන්ට ඉඩම් දෙන්න යනවා.

කුඹුරු පනත මගින් අපේ රටේ වී වගාවට අවශ්‍ය කුඹුරු ඉඩම් ප්‍රමාණය ආරක්‍ෂා කොට තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නිසා වී වගාව සඳහා එම ඉඩම් ප්‍රමාණය ආරක්‍ෂා කරගත යුතු වෙනවා. ආණ්ඩුව මේ පනත වෙනස් කිරීම මගින් අපේ රටේ කුඹුරු ඉඩම් ඕනෑම දේකට යොදා ගැනීමට අවස්ථාව හදලා දෙනවා. අපේ රටේ වී වගාවට තිබෙන ඉඩම් ප්‍රමාණය අහිමි වීමෙන් ආහාර සුරක්‍ෂිතතාවය බිඳ වැටෙනවා.

මෙම පනත් සංශෝධනයට එරෙහිව අරගලයකට එන්න කියලා. මේ ආණ්ඩුවේ අමනෝඥ තීරණයට අත උස්සන්න පාර්ලිමේන්තුවේ අය හිටියට අපි මේක පාරේ සටනේදී පරාජය කරනවා. ඒ වෙනුවෙන් අපි ජනතාව දැනුවත් කරනවා. යල් පැන ගිය අණපනත් කියලා ආණ්ඩුව කටයුතු කරන්නේ අපේ රටේ ආර්ථිකය බිලි දෙන්න නීති වෙනස් කරන්නයි යනුවෙන්ද ඒ මහතා පැවසීය

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඊට බිමල් රත්නායක මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා මේ රටට ආයොජකයින් එන්නේ නැති බවට රජය චෝදනා කරනවා?
පිළිතුර : ආයෝජකයෝ එන්නේ නැත්තේ වෘත්තීය සමිති නිසා කියලා ආණ්ඩුව කියන කතාව සම්පූර්ණ බොරුවක්. රටක කම්කරු නීති ශක්තිමත් වීම අත්‍යාවශ්‍ය දෙයක්. අපේ රටේ ආණ්ඩු කම්කරු අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන්වලට අත්සන්කොට තිබෙනවා. නමුත් එම නීති රට තුළ හදන්න කටයුතු කර නැහැ.

ප්‍රශ්නය : සෙවනගල යළි දයා ගමගේට පවරා දීමට තීරණයක් ගෙන තියෙනවද?
පිළිතුර : සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, හිල්ටන් හෝටලයෙන් 50% කොටස් විකුණන්න යනවා. මත්තල විකුණන්න යනවා. ආණ්ඩුවට අයිති හයට් හෝටලය විකුණන්න යනවා. මේ එකක්වත් අයවැයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුව අයවැයට පිටින් මේවා කරනවා.

ප්‍රශ්නය : ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා කියලා තිබුණා ගල් අරක්කු මිල අඩු කරන්න ඕනෑ කියලා?
පිළිතුර : එවැනි ඇමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශ කිරීම ගැන අපි ලැජ්ජා වෙනවා. මහින්ද රාජපක්‍ෂලාගේ අනුරාධපුර රැලියේදී අපි දැක්කා බීලා මිනිස්සු වැටිලා ඉන්නවා. මේ වගේ ජනතාව වහල්ලු ලෙස තබාගන්නයි ජෝන් සෙනෙවිරත්නලාට අවශ්‍ය වෙලා තිබෙන්නේ.

ප්‍රශ්නය : අයවැය යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා?
පිළිතුර : අපේ රටේ අයවැයවල්වලින් ඉදිරිපත් වන ප්‍රාග්ධන යෝජනාවලින් 40%ක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පසුගිය අයවැයෙන් ශිෂ්‍යයන්ට ටැබ් දෙන්න යෝජනා කළත් සිම් කාඞ් එකක්වත් දුන්නේ නැහැ. මේ අයවැයෙන් ඉදිරිපත්කොට තිබෙන සංවර්ධන යෝජනාවලින් හතරෙන් එකක්වත් කෙරෙයි කියලා අපි හිතන්නේ නහැ. අයවැයෙන් වෙන් කරපු මුදල් ඇත්තටම නැහැ. අපි හිතන්නේ මේ  අයවැය හදලා තිබෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කියලා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හදපු අයවැයක් නෙවෙයි. අපි මේ සමස්ත අයවැයටම විරුද්ධයි.