IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සමහරු ජනපතිවරණයට මා එනවා කියලා හිතාගෙන මට පහර දෙනවා

හිටපු ආරක්ෂක ලේකම් වියත් මග සභාපති 
ගෝඨාභය රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරවරුන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේ‍ෂ අවධානය යොමු වී තිබේ. හිටපු ආරක්ෂක ලේකම් වියත් මග සංවිධානයේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ කතා බහ ඒ සම්බන්ධයෙනි.
  
ප්‍රශ්නය:- මේ මොහොතේ රටේ දේශපාලනය ඔබ දකින්නේ කොහොමද?  


පිළිතුර:- රටේ පාලනය නම් ඉතාම නරක තත්ත්වයක තියෙන්නේ. ආර්ථිකය කඩාවැටිලා. ඒ වගේම කිසිම සංවර්ධනයක් නැහැ. සෑම ක්ෂේත්‍රයකම ඉන්න අය ඉන්නේ හරිම අමාරුවෙන්. ඒ නිසා රටක් වශයෙන් අපි ඉතාම පහළ තත්ත්වයක ඉන්නේ. ජාතික ආරක්ෂාව බිඳවැටිලා. ජාත්‍යන්තරයට අපේම ආණ්‍ඩුව ගිහිල්ලා සිවිල් වැසියන් මැරුවා කියන යෝජනාවකට සම අත්සන්කරුවකු වීම රටේ කීර්ති නාමයට ලොකු කැළලක් වුණා.  


ප්‍රශ්නය:- ඇමැති රාජිත සේනාරත්නත් කිව්වා ‘හමුදාව අතින් සිවිල් වැසියන් ඝාතනය වුණා’ කියලා.  


පිළිතුර:- ඒක තමයි. තාවකාලික වාසියක් හොයන මේ ගොල්ලො එහෙම කිව්වට ජාත්‍යන්තරය බලන්නේ රටක් වශයෙන්. රටේ හමුදාව වශයෙන්. ඒ අනුව බැලුවම රට වේගයෙන් පහළ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. මේක තමයි රටේ ඇත්ත තත්ත්වය. සමාජයේ ඕනෑම කෙනෙක් හමුවුණාම ඒ හැම කෙනෙක්ම අහන්නේ කවදාද මේ රජය පෙරළන්නේ කියලයි.  


ප්‍රශ්නය:- මමත් ඒ ප්‍රශ්නය ඔබෙන් ඇහුවොත් කවදාද මේ රජය පෙරළන්නේ?  


පිළිතුර:- ආණ්‍ඩුව පෙරළන වැඩේ මගේ අතේ තියෙන එකක් නොවෙයිනේ. මම එහෙම දේශපාලනිකව ක්‍රියාකාරීව සම්බන්ධවෙලා වැඩ කරන ​ෙකනෙක් නොවෙයිනේ. ඒකට ඉතින් ඒකාබද්ධ විපක්ෂය ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තියෙනවා. කොහොම වුණත් මේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පෙරළන්න මැතිවරණයක් එනකම් ඉන්න වෙනවනේ. ඒ නිසා ඔබ අහන ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්න බෑ. මොකද මගේ අතේ නොවෙයිනේ ඔය එකක්වත් තියෙන්නෙ.  


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිවර මේ මොහොතේ ආණ්‍ඩුවට එරෙහිව කරමින් සිටින අරගලය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?  


පිළිතුර:- පොදුජන පෙරමුණ - පොහොට්ටුව කවුරුත් විමතියට පත් කළ ජන මතයක් ගොඩනගලා පෙන්නුවානේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වැනිදා පරාජයට පත් වුණාට පස්සෙ එතුමාගේ පක්ෂය වන ශ්‍රීලනිප නිදහස් පක්ෂයත් එතුමාට අහිමි වුණා. එතකොට 2015 අගෝස්තු මාසයෙ තිබුණ මහ මැතිවරණයේ දී එතුමා තමයි නායකත්වය දීලා ඡන්ද සටන මෙහෙයැව්වේ. ඒ වෙලාවෙත් පක්ෂ​ෙය සම්පූර්ණ සහයෝගය ලැබුණේ නෑ. එහෙම කරලත් ආසන 95 ක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ ජයග්‍රහණයෙන් පස්සෙත් කොටසක් රජයට සම්බන්ධ වුණා. ඒත් වාසනාවකට වගේ 54 දෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සමග විපක්ෂයේ හිටියා. හැබැයි ඉතින් පනස් ගාණක් විපක්ෂයෙ හිටියත් ඉතාම අඩු ආසන සංඛ්‍යාවක් තියෙන රටේ එක කොටසක් විතරක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ නායකකම ලැබුණේ. ඒ විපක්ෂ නායකයාගේ පක්ෂය අපි දැක්කා. විශ්වාසභංග යෝජනාවලදිත් ආණ්‍ඩුව එක්ක එකට හිටගෙන ඡන්දය දුන්නා. එහෙම තත්ත්වයක් තිබියදී කවුරුත් බලාපො​රොත්තු නොවුණ ආකාරයට මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකිවුණා ජනතාව එතුමා වටා රොක් කරගන්න. ඊළඟට එතුමාට පුළුවන් වුණා එතුමාගේ සහයෝගයෙන් බිහිවුණු අර නව පක්ෂය පළාත්පාලන ඡන්දයේදි විශාල ජයග්‍රහණයක් ලබන්න. කවුරුත් දන්නවා එතුමාට අපේ පවුලේ අයට එතුමාට සහාය දෙන අයට. එෆ්.සී.අයි.ඩී. එක, සී.අයි.ඩී. එක නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් දෙපාර්තමේන්තුව මේවා ඔක්කොම පාවිච්චි කරල විශාල පීඩනයක් ගෙනාවා. යම් මන්ත්‍රීවරයෙක් ආණ්‍ඩුවත් එක්ක ඉන්නකම් කිසිම ප්‍රශ්නයක් නෑ. ආණ්‍ඩුවෙන් එළියට ආවොත් පහුවැනි දා ඉඳලම පරීක්ෂණ ආරම්භ වෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තිබියදී මෙපමණ දුරට ජනතාව පෙළගැස්සවීමට පුළුවන්වීම ලොකු ජයග්‍රහණයක්.  


ප්‍රශ්නය:- ඔබගේ වියත් මග සංවිධානය විපත් මග හැටියට තමයි ඇමැති මංගල සමරවීර දකින්නේ?  


පිළිතුර:- කවුරු මොනවා කිව්වත් මේ වියත් මග ති​ෙයන්නේ හොඳ සංකල්පයක් මතයි. අපි මේ වියත් මග ආරම්භ කළේ දැනට අවුරුදු දෙකකට විතර කලින්. ඊට කලින් ඉඳලම වියතුන් සමග සාකච්ඡා කරමින් ඉදිරියේදී දැනට තියෙන දේශපාලන ක්‍රමය අනුව ජනතාවට විශාල වශයෙන් පොරොන්දු දීලා බලාපොරොත්තු රාශියක් දීලා කණ්ඩායමක් බලයට ආවා. හැබැයි ඒ රජය ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දැම්මා. ඒකනේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පේන්නේ.  


ප්‍රශ්නය:- ආණ්‍ඩුවේ එ් පරාජයට හේතු වශයෙන් දකින්නේ?  


පිළිතුර:- සාකච්ඡා කරනකොට ඒකට හේතු වශයෙන් දැක්කේ කිසිම ප්‍රතිපත්තියක් නැතිව වැඩපිළිවෙළක් නැතිව හුදෙක් බලයට ඒමේ අරමුණ ඇතිව ඕනෑම එක්කෙනෙක් එකතු කරගෙන විවිධ අයට විවිධ පොරොන්දු දීලා බලයට ඇවිල්ලා රටක් දියුණු කරන්න බැහැ. ඒක තමයි හේතුව. ඒ නිසා අපි ඉදිරියෙ එන ඕනෑම රජයකට ඉදිරිපත් කළ හැකි රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්, ක්‍රමවේදයක්, ඒවා ක්‍රියාත්මක කරන්න තියෙන දුෂ්‍කරතා මොනවද කියන මේ හැම දෙයක් ගැනම පොදු කතිකාවක් යොදා ගැනීම සඳහා තමයි අපි වියත් මග හැදුවේ. උගත්තු, බුද්ධිමත්තු රාජ්‍ය පාලනයෙන් අයින් වෙලා. අපිට දේශපාලනය අවශ්‍ය නෑ කියලා ඔවුන් ඈත් වුණා. රජයන් පවා ඒ අය හඳුනාගෙන ඔවුන්ගේ සේවය ලබා ගන්න අපොහොසත් වුණා. මේ නිසා අපි සංවිධානයක් හදාගත යුතුයි කියන සංකල්පය මත තමයි අපි වියත් මග ආරම්භ කළේ.  


ප්‍රශ්නය:- ඔබ හිතනවද ඔය යන ගමන සාර්ථකයි කියලා.  


පිළිතුර:- ඔව්. ඒක හුඟක් සාර්ථකයි. අපට පුළුවන් වුණා රටේම ඉන්න වියතුන් මේකට සම්බන්ධ කර ගන්න. එළියට පේන සම්මන්ත්‍රණයක් වගේ දෙයකට වඩා වැඩ කොටසක් පසුගිය කාලය තුළ නිශ්ශබ්දව අපි කළා.  


ප්‍රශ්නය:- ඒ නිසාද දන්නේ නෑ ඇමැති මංගල කියනවා ගෝඨා-භයක් තියෙනවා කියලා.  


පිළිතුර:- මම කැමැති නෑ ඔය එක එක්කෙනා කියන ඒවාට උත්තර දිදී ඉන්න. කවුරුහරි මට ගහනවා නම් ඒක මේ අලුත් දේශපාලන තත්ත්වය තුළ වෙච්ච දේවල්. නමුත් මට හුඟ දෙනෙක් කිව්වා ඕවට උත්තර දෙන්න යන්න අවශ්‍ය නෑ. අපට අවශ්‍ය මේ මඩ ගහන දේශපාලනයෙන් ඒ සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඈත් වෙච්ච රටට වැඩක් වන දේශපාලනයක් තමයි අපට අවශ්‍ය කියලා. කවුරු මොනවා කිව්වත් හරි මගක අපි යන්නේ. මම පුද්ගලයෙක් වශයෙන් රටට පෙන්වලා තියෙනවා මම කොහොමද රාජකාරි කළේ කියලා. මම පසුගිය රජයේ නිලධාරියෙක්. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනුත් වැඩ කළා. මම මේ දෙකෙන්ම මගේ කැපවීම මගේ හැකියාව මගේ ප්‍රායෝගික භාවය මේ හැම දෙයක්ම මම පෙන්වලා තියෙනවා. අවුරුදු තිහක් තිබුණු යුද්ධය අවසන් කරන්න කවුරු මොනවා කිව්වත් මම අවුරුදු තුනකට අඩු කාලයකින් කළා. ඊළඟට සංවර්ධනය අතින් ඕනෑම කෙනෙකුට පැහැදිලියි. මම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනකොට සමහරු හිතන්න ඇති මෙයා හමුදාවේ හිටපු කෙනෙක් නිසා ආරක්ෂක ලේකම්කම කමක් නෑ නමුත් ඇයි මේ නාගරික සංවර්ධනයත් එයාට දුන්නේ. මොකක්ද එයාට තියෙන පළපුරුද්ද කියලා. නමුත් මම පෙන්නුම් කළානේ කාටවත් කරන්න බැරිවුණු දේවල් මට කරන්න පුළුවන් කියලා. කොළඹ නගරයේ වගේම තදාසන්න නගරවල තිබුණු තත්ත්වය ගාල්ල, මහනුවර වගේ නගරවල තිබුණු තත්ත්වය මම වෙනස් කළා. ඉතින් ඒ හැකියාව මගේ දැක්ම මම ප්‍රයෝගිකව පෙන්වලා තියෙනවා. ඒ විදියටම මේ රටේ අනාගතය වෙනුවෙන් මට යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන්නම් ඒක කරන්න තමයි වියත් මග හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක නව වැඩපිළිවෙළක්.  


ප්‍රශ්නය:- ඔබ මේක නව වැඩපිළි​වෙළක් කියලා කිව්වත් ඇමැති මලික් සමරවික්‍රම කියනවා ඔබ ඉදිරිපත් කළ ආර්ථික දර්ශනය ඔවුන්ගේ ආර්ථික දර්ශනය කියලා.  


පිළිතුර:- අපි කිව්වේ 2030 වෙනකොට ලෝක ආර්ථිකය වෙනස් වෙනකොට අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා. ලෝකයෙ ඔය විවිධ විශ්ලේෂණ ආයතන පෙන්වන ආකාරයට ජාත්‍යන්තර ආර්ථික 2030 වෙනකොට වෙනස් වෙනවා. චීනයෙ වර්ධනය, ඉන්දියාවේ ආර්ථික වර්ධනය, ජපානයෙ වර්ධනය, ඉන්දුනීසියාවේ වර්ධනය, ඊට අමතරව මේ කලාපයෙ තියෙන කුඩා රටවල පවා ඇතිවන වර්ධනයත් සමග බටහිරට තියෙන ආර්ථික දියුණුව කොහොමද ආසියාවට මාරු වෙන්නේ කියන එකයි අපි සාකච්ඡා කළේ‍. 2030 දක්වා කාලය තුළ අපි කොහොමද ඊට සමගාමීව අපි ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණයයි අපි කතා කළේ. එහෙම නැතිව කාගෙවත් ආර්ථික ක්‍රමයක් අපි ඉදිරිපත් කළේ නෑ. ඉතින් ඒ ආර්ථික දැක්ම එයාලටත් ගැළපෙනවානම් ඒවා ක්‍රියාත්මක කළාට කිසිම ප්‍රශ්නයක් නෑ. මම දක්වපු කරුණු විවිධ රටවල් පාවිච්චි කරපුවා. මම ඒ ඒ රටවල් දියුණු වෙන්න අනුගමනය කරපු ක්‍රමවේද අධ්‍යයනය කරලා තමයි මම මේක ඉදිරිපත් කළේ. ඉතින් ඒවා ඒ අයටත් ගැළපෙනවානම් ක්‍රියාත්මක කරන්න. මේවා මේ මම හොයාගත්ත දේවල් නොවෙයි. විවිධ රටවල් අධ්‍යයනය කරලා ඒ පාඩම් හරියට ඉගෙන ගෙන මෙන්න මේ වගේ දෙයක් තමයි කළ යුත්තේ කියලයි මම පෙන්නුවේ.  


ප්‍රශ්නය:- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියනවා සිවිල් යුද්ධයක් කොහොමත් එක පාර්ශ්වයක් පරාජය වුණාම අවසන් වෙනවා. ලංකාවෙ වුණත් වුණේ එ්ක තමයි. ඒ කාලයෙ රටේ ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂ හිටියා, එච්චරයි. එහෙම නැතිව ජනාධිපතිවරයගේ මල්ලි ආරක්ෂක ලේකම් වුණ නිසා නොවෙයි කියලා.  


පිළිතුර:- ඒවා ඉතින් ඉබේ වෙන්නේ නැහැනේ. ඔය කියන්නේ කොටි සංවිධානය පරාජය වීම ඉබේ වුණා කියලනේ. එහෙම ඉබේ වෙනවානම් මීට කලින් ඕක වෙන්න තිබුණානේ. ඔය වගේ ප්‍රකාශ කරනකොට කවුරු වුණත් එයා වැදගත් පුද්ගලයෙක් නම් වගකීමක් තියෙන පුද්ගලයෙක් නම් හරි අධ්‍යයනයක් කරලා කියන්න ඕනෑ.  


ප්‍රශ්නය:- කොහොමත් සිවිල් යුද්ධයක් මහ දිග කාලයක් ඇදගෙන යන්න බෑ.  


පිළිතුර:- අපි මෙහෙම බලමු. 2009 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ වෙමින් නොවෙයිනේ තිබුණේ. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තව තවත් ඉහළට යන කාලයක් ඒක. මතක තියාගන්න මේක සිවිල් යුද්ධයකුත් නොවෙයි. ත්‍රස්තවාදයක්. ඒ ත්‍රස්තවාදයෙ ඉහළම අරමුණු ඉටු කරගන්න ඔන්න මෙන්න කියලා තිබුණ තත්ත්වයක්. එහෙම වෙලාවක ඉබේ කඩාගෙන වැටෙන්නෙ නෑ. වව්නියාවෙන් ඉහළ උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබුණේ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක ප්‍රදේශයක් එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබුණේ.  මුහුදෙන් විශාල ප්‍රදේශයක එල්.ටී.ටී.ඊ.ය පාලනය ක​ෙළ්. ඒ වගේම ඔවුන්ගේ හමුදාමය ශක්තිය ගත්තොත් යුද හමුදාව පැත්තෙන් බලන්න. අහස් යාත්‍රා බිම දාන්න පුළුවන් මිසයිල තිබුණා. ඒ මිසයිල ජාත්‍යන්තරයේ පාවිච්චි කරන මිසයිල. ඒ වගේම අපට හා සමාන කාලතුවක්කු ඔවුන්ට තිබුණා. මෝටාර් අපට තිබුණු එ්වාමයි. පෞද්ගලික අවිය අපේ සෙබළු පාවිච්චි කරන අවියමයි. ඒ වගේම තිස් පන්දහසක් පමණ වූ නිත්‍ය හමුදා ශක්තියක් ඔවුන්ට තිබුණා. නාවික හමුදාවට සමාන නාවික හමුදාවක් තිබුණා. දැක්කනේ කොච්චර ඩෝරා යාත්‍රා පිපිරෙව්වද කියලා. ඒ වගේම ලෝකයේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට නොතිබුණු ගුවන් යානා තිබුණා. ඊටත් අමතරව උතුරු නැගෙනහිර ඔවුන් අල්ලගෙන හිටපු බල ප්‍රදේශ පමණක් නොවේ. රටේ අනෙක් ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹට ඇවිල්ලා ඒ අයගේ ක්‍රියාකාරකම් කරන්නට පුළුවන් විදියෙ බුද්ධි ජාලයක් ඇති කරගෙන තිබුණා. සටන් විරාම ගිවිසුමට මුවාවෙලා ආරක්ෂක නිවාස කොළඹ හැමතැනම හදාගෙන හිටියා. අපි ආයුධ ගෙනැල්ලා කොළඹ ගබඩා කරලා තිබුණා. ඒගොල්ලන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ ස්ථානගත කරලා තිබුණා. දැන් බලන්න එදා ඔවුන්ගේ හැකියාව කොයිතරම්ද කියලා. එතකොට ලංකාවේ තිබුණු ආරක්ෂාව අතින් ඉහළම තැන තියන යුද හමුදා මූලස්ථානය ඇතුළට ගිහිල්ලා යුද හමුදාපතිවරයාට ප්‍රහාරයක් එල්ල කළා. කාටද ඒ ප්‍රහාරය එල්ල කරන්නේ යුද හමුදාපතිවරයාට. ඔහුට මාස 6 ක් හමුදාපතිවරයා වශයෙන් ඉන්නත් බැරිවෙන විදියට තමයි ප්‍රහාරය එල්ල කළේ. එහෙම ශක්තිමත් සංවිධානයක් තමයි අප පරාජය කළේ. එතකොට කොහොමද ඒක ඉබේ පරාජය වුණා කියන්නේ. ජාත්‍යන්තරයෙන් ඔවුන්ට තිබුණ සහයෝගය ගත්තොත් සෝල්හයිම්ගෙ පොත කියෙව්වොත් ඒකේ තියෙනවා එවකට ජාත්‍යන්තරයේ හෝ වේවා ශ්‍රී ලංකාව තුළ ඉන්න හමුදා නිලධාරීන් හා අන් අයකු වේවා කවුරුත් කිව්වේ මේ යුද්ධය දිනන්න බෑ. ඒක කරන්න පුළුවන් කියලා එකම පුද්ගලයා තමයි කීවේ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. එයා විතරයි එහෙම කිව්වේ කියලා. සෝල්හයිම් කියන්නේ ජාත්‍යන්තරය පවා මතයක හිටියෙ එල්.ටී.ටී.ඊ. ය පරාජය කරන්න බැහැ කියලයි. මේ ආයුධ ජාත්‍යන්තරයෙන් ගත්තේ. ආයුධ නිකම් පුද්ගලයකුට ගන්න බැහැනේ. ඒකට ක්‍රමවේදයක් ඔවුන්ට තිබුණා. ජාත්‍යන්තරයේ මුදල් එකතු කරලා ආයුධ ගත්තේ. ඒවා ලංකාවට ගේන්න යාන්ත්‍රණයක් තිබුණා. මේවා මේ ගරාවැටෙන සංවිධානයක ලක්ෂණද. ඉතින් මෙන්න මේවට තමයි කියන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා.  


ප්‍රශ්නය:- ඔබට විවිධ ​චෝදනා තියෙනව. නමුත් නීතිමය රැකවරණය ලබා ගනිමින් ඔබ බේරිලා ඉන්නවා කියලා ඇමැති මංගල කිව්වා.  


පිළිතුර:- නෑ. මම සාධාරණ නොවන විදියට දේශපාලනික හේතු මත අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අධිකරණයට යාමට ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තියෙන අයිතිය මම ක්‍රියාත්මක කළා පමණයි. මට විරුද්ධව දැනටත් නඩුවක් යනවා. මම සීඅයිඩී, එෆ්සීඅයිඩී ඔය හැම එකකටම ගිහිල්ලා ඔය තියෙන හැම පරීක්ෂණයකටම සහභාගි වෙලා තියෙනවා. හැබැයි අපි දැක්කනේ ඔය මම කියපු ආයතන ක්‍රියා කරපු ආකාරය. මොකක්ද මේ රටේ තියෙන නීතිය. මේ රජය බලයට පත්වුණේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා කියලනේ. එතකොට ආණ්‍ඩුවට සම්බන්ධ පක්ෂ නායකයන් එකතු වෙලා ඒ ස්ථානයට නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් ගෙන්වාගෙන සී.අයි.ඩී. එකේ අය ගෙන්නගෙන එෆ්.සී.අයි.ඩී. එකේ අය ගෙන්නගෙන කණ්ඩායමක් වශයෙන් තීරණය කරනවා කාවද අත්අඩංගුවට ගන්නේ, කාටද නඩු දාන්නේ කියලා. එතකොට මේකටද නීතියෙ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරනවා කියන්නේ. මේක තනිකරම තමන්ගේ දේශපාලනික හතුරන් කියලා හිතන අයට තමන්ට පළිගන්න ඕන අයගෙන් පළිගැනීමේ ක්‍රමවේදයක්. දේශපාලනඥයන්ට පුළුවන්ද තීරණය කරන්න මෙයාව අත්අඩංගුවට ගන්න මෙයාට විරුද්ධව නඩු දාන්න කියලා. එහෙම කොහොමද කියන්නේ. මොකක්ද ඒ නීතිය. නීතිපතිවරයා කොහොමද ගේන්නේ දේශපාලනඥයන් ළඟට. රාජිත ඇමැතිතුමා හෝ චම්පික ඇමැතිතුමා හෝ අනුර කුමාර මන්ත්‍රීතුමා හෝ වැලිඅමුණලා වැනි එන්.ජී.ඕ. කරන පුද්ගලයන්ව වාඩි කරගෙන කාවද අත්අඩංගුවට ගන්නේ කියලා ඒ පරීක්ෂණ කරන නිලධාරීන් එක්ක තීන්දු ගන්නේ. නීතිපතිවරයාව එතැනට ගෙන්වන්නේ කොහොමද? ඒ නිසා ඔව්. ඔබ කියපු විදියට මම කළේ මට තිබුණ අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීමයි.  


ප්‍රශ්නය:- එතකොට ඔබට තිබෙන චෝදනා?  


ප්‍රශ්නය:- ඒ ගැන පරීක්ෂා කරලා නිත්‍යනුකූල විදියට කටයුතු කරන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නෑ. මම උසාවියට ගිහින් කිව්වේ අසාධාරණ ලෙස දේශපාලන හේතු මත අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලයි.  


ප්‍රශ්නය:- ඔය ඔබ ඉල්ලන සාධාරණත්වය හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ලැබුණේ නෑ.  


පිළිතුර:- ඒක මගේ කාර්යයක් නොවෙයි. ඒක උසාවි නියෝගයක්. මම කිසි ලෙසකින් හෝ ඔය ගැන කිසිම පුද්ගලයෙක් එක්ක සාකච්ඡා කරල නෑ.


ප්‍රශ්නය:- ඔහුව අත්අඩංගුවට ගත්තද? කුදලන් ගියාද?  


පිළිතුර:- මං ඒකයි කිව්වේ මගේ කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි මේකේ ඇත්ත දන්න අය හොඳට දන්නවා. මගේ සම්බන්ධයක් නැහැ කියලා.  

 

ප්‍රශ්නය:- ඔබ ඒක අනුමත කරනවද?  


පිළිතුර:- මෙතැනදි කවුරුත් අමතක කරලා තියෙන කාරණයක් තමයි ඔය සරත් ෆොන්සේකා කියන පුද්ගලයා යුද හමුදාපති වශයෙන් සේවය කරන අතරතුරදීම තමයි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා පවත්වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ඒක හරිද? රටක යුදහමුදාපතිවරයා හොරෙන් සාකච්ඡා පවත්වනවා විපක්ෂයත් සමග ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී පොදු ​අපේක්ෂකයා බවට පත්වෙන්න. එහෙම වෙන රටක වුණානම් මොකක්ද සිද්ධ වෙන්නේ. රටේ හමුදාපතිවරයා, ඒක මේ කුමන්ත්‍රණයක්නේ. සේවයේ සිටින හමුදාපතිවරයා. එ් විතරක් නොවෙයි. ඔහු තමයි ත්‍රිවිධ හමුදාවටම අණ දෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා. ඒ නිලයේ ඉන්න ගමන්ම විපක්ෂයත් එක්ක කුමන්ත්‍රණය කරනවා. එහෙම කුමන්ත්‍රණ කරලනේ ජනාධිපතිතුමා හමුවෙලා කියන්නේ මම අස්වෙනවා කියලා. රාජකාරියෙ යෙදී සිටියදී මෙයා නිකම් රාජ්‍ය නිලධාරියෙක් නොවෙයි හමුදාපතිවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා. මේවා ගැන කවුරුත් කතා කරන්නෙ නැහැනේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය, හමුදා පාලනයකට රට ගෙනියන්න හදනවා කියලා කියන අය, ගෝඨාභය හමුදාවේ අයත් එක්ක තමයි වැඩ කරන්නේ කියලා කියන අය ඇයි මේ ගැන කතා කරන්නේ නැත්තේ. මේක ප්‍රජාතන්ත්‍රවාදයද? අපි යුද්ධ කළේ මුළු රටම එක අරමුණකට ගෙනැල්ලා. දේශප්‍රේමීන් එක් කරගෙන මේ සටන කළේ. එහෙම කරලා තමන්ගෙ පෞද්ගලික අවශ්‍යතාවය මතම බලයට ඒමේ අවශ්‍යතාව මතම රාජකාරියෙ යෙදී සිටියදී විපක්ෂය සමග කුමන්ත්‍රණය කිරීමම මොනතරම් වැරදිද? මුළු රටම දේශප්‍රේමයේ ධජය අතට අරගෙන සිටියදී පාවා දුන්නේ... සුදු කොඩි ගැන කියලා ගෝඨාභය යටතේ තමයි බුද්ධි අංශ තිබුණේ. එයා තමයි මේවා කළේ‍ කියලා බොරු කියනකොට තමන්ගේම හමුදාවම අසීරු තත්ත්වයට පත් කරලා තමයි ඔය තත්ත්වයට පත්වුණේ. මම ඕකට කිසිසේත්ම සම්බන්ධ නොවුණෙත් ඒකයි. ඒකයි මේ මගේ ප්‍රශ්නයයි කිසිලෙසකින් හෝ එකට සම්බන්ධ කරන්න බැහැ.  


ප්‍රශ්නය:- ඔබ තමයි පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා?  


පිළිතුර:- ඔය ප්‍රශ්නය ඇත්තටම මම තීරණය කළ යුතු දෙයක් නොවෙයි. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා තමයි අද ජනතා බලවේගය ගොනුවෙලා තියෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත වරක් ඉදිරිපත් වෙන්න බැරි නිසා එතුමා වෙන පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ. එතකොට ඒක තීරණය කළ යුත්තේ එතුමානේ. විවිධ අය ගැන එතුමාගේ හිතේ ඇති. ඒ අයගෙන් කවුද සුදුසු, වඩාත්ම සුදුසු පුද්ගලයා කවුද කියලා එතුමා තීරණය කරයි. හිටපු ජනාධිපතිතුමා වටා තිබෙන බලවේගයට අමතරව දැන් සංවිධානය වුණු පක්ෂයක් තියෙනවනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට. ඒ පක්ෂයෙ තීරණයකුත් එන්න ඕනෑනේ. ඒ තීරණ අනුව තමයි මම ඉදිරිපත් වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ.  


ප්‍රශ්නය:- ඔබේ තීරණය?  


පිළිතුර:- බොහෝ දෙනෙක් මගේ නම ඉදිරිපත් කරනවා. මගෙන් අහනවා. විපක්ෂයත් හිතාගෙන ඉන්නවා මමයි එන්නේ කියලා. ඉතින් මට පහර දෙනවා. දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා පසුගිය ජනාධිපතිවරණයෙදි හෝ මහ මැතිවරණ කාලයෙදි ගෝඨාභය රාජපක්ෂ කෙනෙක්ව දැක්කෙවත් නෑනේ. ඇයි මේ ඉතාම හදිසියේ එයා දූෂිතයෙක්, එයා මිනීමරුවෙක්. මේ ඔක්කොම කියන්න ගත්තා. ඉතින් ඒ අය හිතනවා ඇති මෙයා තමයි එන්නේ කියලා.  


ප්‍රශ්නය:- ඒ හිතන එක හරි.  


පිළිතුර:- ඒක තීරණය කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඒ තීරණය අනුව තමයි පොදු විපක්ෂයක් ඉන්නවා. ඒක ඇතුළේ පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරලනේ එතුමා ඒක කරන්න ඕනෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තියෙනවා.  


ප්‍රශ්නය:- පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂනේ. ඔහුගෙන් ඔබට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.  


පිළිතුර:- මාව ඉදිරිපත් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කළොත් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සහයෝගය ලැබෙන එක ගැන කිසි ප්‍රශ්නයක් නෑ. කවුරු මොනවා කිව්වත් බැසිල් රාජපක්ෂ මහත්තයාට විශාල හැකියාවක් තියෙනවා කියලා පෙන්නුවනේ. ඇමැති කාලේ විතරක් නොවෙයි නව පක්ෂයක් බිහි කරලා ඉතාම කෙටි කාලයකදි ඡන්දයකට මුහුණ දීලා ජයග්‍රහණය කරනවනේ. ඒක අමාරු කාර්යයක්. අැත්තටම විප්ලවයක්. ඉතින් එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගන්න තීරණයත් එක්ක ඉන්න බව මට විශ්වාසයි.  

 

 

 

 

 


සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  



අදහස් (0)

සමහරු ජනපතිවරණයට මා එනවා කියලා හිතාගෙන මට පහර දෙනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 445 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 934 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 122 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site