IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මම ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් මිනිහෙක්

අලුත් පක්ෂයක් හරහා නැවැත දේශපාලන කරළියට එනවා යැයි කියන මර්වින් සිල්වා සමඟ ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවකි මේ.

 


● හැඩතල එහෙමත් වෙනස් කරගෙන මර්වින් සිල්වා මොකාටද මේ එන්න හදන්නේ?
අනේ මම මොකාට එන්නද? මම ගිරුවාගම් දොළොස්දාහේ මාගම්පත්තුවෙ ඉපදුණු මර්වින් සිල්වම තමයි. කිසි දෙයක් වෙනස් වෙලා නෑ. මම හැමදාම ජනතාව එක්ක ඉඳපු මිනිහනේ. මම මිනිස්සුන්ට වැඩ කෙරුවෙ. ඒ අපේ රුහුණෙ ගතිය.

 


● අලුත් පක්ෂයක් හදන්න යනවා කියලා ආරංචියි. දේශපාලන ඉන්ටවල් එක ඉවරද?
මට ජීවිතේ කවදාවත් ඉන්ටවල් තිබුණේ නෑ. මම ඉන්ටවල් ගත්ත මිනිහෙක් නෙවෙයි. මම හැමදාම වැඩ කරපු කෙනෙක්. අනික දේශපාලනයෙන් ඉන්ටවල් ගන්න මම අයින් වුණෙත් නෑනේ. මම අයින් කළා. බැසිල් රාජපක්ෂලා, ඩලස් අලහප්පෙරුමලා කුමන්ත්‍රණය කරලා මාව අයින් කළා. මම විතරක් නෙවෙයි ඡන්ද ගන්න පුළුවන් මිනිස්සු අයින් කළේ. සජින් වාස්, දුමින්ද සිල්වා, සරණ ගුණවර්ධන වගේ ඡන්ද ගන්න අය කැපුවා.

 


● මේ අය නඩු හබ පටලවා ගත්තු අයනේ ඉතිං?
නාම යොජනා දෙන වෙලාවේ මේ අයට නඩු තිබුණෙ නෑ. නඩු තිබුණත් ඒවා අහලා තීන්දු දීලා නෑ. ඒවා පස්සේ කරන්න පුළුවන්. එහෙම නම් චෝදනා තිබුණු කී දෙනෙකුට නොමිනේෂන් දුන්නද? ඇයි අපි කීප දෙනාට විතරක් වෙන හැන්දකින් බෙදුවේ? මේක බැසිල්ගෙ කුමන්ත්‍රණයක්. මම මන්ත්‍රීකම තියෙද්දි තමයි බැසිල්ටයි ගෝඨාභයටයි කියන්න තියෙන දේ කිව්වෙ. ඒකයි ඒ අය මාත් එක්ක තරහ වුණේ.


බැසිල්ලා ගමේ ඉන්න කාලෙත් ඔහොමයි. අපේ ගෙදර ඉඳන් මේ අය දේශපාලනය කළේ. මගේ පස්සෙන් ආවෙ දේශපාලනය කරද්දී බැසිල්ලා. ගෝඨාභයලා ගුටි කද්දී මමයි බේරුවේ ගැටමාන්නෙදි. ඒ කාලේ මම නැති රැස්වීමක් මහින්ද තිබ්බෙ නෑ. එහෙම කරපු මටයි මේ අය ආපිට හැරිලා ගැහුවෙ. මහින්ද රාජපක්ෂටත් කරන්න දෙයක් නැති වුණා. එයා පවුලෙ අයට යට වුණා. එයාට තනි තීරණ ගන්න බැරි තත්ත්වයකට ආවා.

 


● මර්වින් සිල්වාගේ අලුත් පක්ෂෙ ගැන අහපු එකට හරි උත්තරයක් තාම ආවෙ නෑ. මොකක්ද මේකෙ නම?
තාම නමක් දාලා නෑ. නම දාන්නේ පස්සේ. නම දාපු ගමන් කියන්නම්.

 


● මේ වගේ පක්ෂයක් පිහිටුවන්නේ ඇයි?
මම වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අසාධාරණයට ලක්වුණු අයට මේ සඳහා මම ආරාධනා කරනවා. සිංහල ජාතිය මුල්කරගෙන සියලු ජාතිය සුරැකීම, බුද්ධාගම මුල් කරගෙන සියලු ආගම් සුරැකීම වගේ කාරණා පදනම් කරගත්තු පක්ෂයක් මේක.

 


● ඔබ කිව්වනේ ඔබ වගේම සජින් වාස්ට, දුමින්ද සිල්වට, සරණ ගුණවර්ධනට අසාධාරණයක් වුණා කියලා. ඒ අයට මේ පක්ෂයට ආරාධනා කළාද?
තාම මම ඒ අයට ආරාධනා කරලා නෑ. දැනට හැමෝටම ඕපන් ඉන්විටේෂන් එකක් තියෙන්නේ.

 


● ඔබත් එක්ක මේ අය එකතු වුණොත් මේක මරු පක්ෂයක් වෙයිනේ?
ඇයි එහෙම කියන්නේ? මේ අයට තාම වැරදිකරුවෝ කියලා නඩු තීන්දු දීලා නැහැනේ. අනික මම ඒ අයට තාම කතා කරලත් නෑ. මම ඒ නම් හතර කිව්වේ මං වගේම ඒ අයටත් පක්ෂයෙන් අසාධාරණයක් වුණා කියන්නයි.

 


● ඔබ කියලා තිබුණා අලුත් පක්ෂෙට ගන්නෙ සල්ලිකාරයො විතරයි කියලා. ඒ මොකද?
මම කිව්වේ මුදල් තියෙන, මුදල් වියදම් කරන, පගා ගහන්නෙ නැති, කොමිස් ගන්නේ නැති, හොරකම් කරන්නෙ නැති, සල්ලිකාරයෝ පස්සේ නොයන ජනතා සේවයට කැපවෙන අයට ආරාධනා කරනවා කියලා. සල්ලි තියෙන අය ආවම සල්ලි හොයන්න හොරකම් කරන්න ඕනැ නෑනේ. එතකොට සල්ලිකාරයෝ  එක්ක එකතුවෙලා ටෙන්ඩර් මගඩි කරන්න ඕනෑ නෑනේ.

 


● ඔය කොන්දේසිවලට යටත්ව නම් අද දේශපාලනයට එන්න සූදානම් අය මර්වින් සිල්වට හොයාගන්න ගොඩක් අමාරු වෙයි.
ඔව්, මම දන්නවා. ඒක අමාරු වැඩක්. ඒත් අපි එහෙම අය හොයනවා.

 


● ඊළඟ ඡන්දෙට ඔය පක්ෂෙ ඉල්ලනවද?
ඊළඟට එන ඕනෑම ඡන්දයකට අපි සූදානම්. මම මේ පක්ෂෙ නායකයා නෙවෙයි. මම සභාපති විතරයි. පක්ෂෙට නායකයෙක් ඉදිරියේදී පත් කරගන්නවා. බුද්ධිමත් උගත් තරුණයො අතරින් නායකයෙක් පත්වෙයි. මේ  පක්ෂෙ මූලික අරමුණ තරුණ ජවයට ඉඩදීම. කොටින්ම මම ආරම්භ කළාට මේ පක්ෂය තරුණයින්ට බාරයි.

 


● මාලක සිල්වට නායකකම දුන්නොත් කොහොමද?
ඒක මම නෙවෙයි තීරණය කරන්නේ. අපි රට පුරා ගම් මට්ටමින් ජන සභා පිහිටුවනවා. ඒ හරහා තමයි අපි පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවන්නේ. ඒ හරහා තමයි ආසන සංවිධායකවරු පත් වෙන්නේ. මගේ පුතාටත් ඕන්නම් පුළුවන් ගමකට ගිහින් සංවිධායකවරයෙක් වෙන්න.

 


● මේ පක්ෂය හරහා මාලක සිල්වා දේශපාලනයට ගේන්න උත්සාහ කරනවද? එක වතාවක් මාතර පැත්තෙත් එහෙම එක්ක ගියා නේද?
මම මාලක සිල්වා දේශපාලනයට ගේන්න පක්ෂ හදන මිනිහෙක් නෙවෙයි. මම මේ පක්ෂය හදන්නේ ඊට වඩා පුළුල් අර්ථයකින්. මාලක එනවද නැද්ද කියන එක එයාගේ තීරණයක්.

 


● මාලක පක්ෂෙට කතා කළාද?
තාම එහෙම කිසිම දෙයක් කතා කළේ නෑ. පුතා පුතාගේ වැඩ කරනවා. මම මගේ වැඩ කරනවා. මගේ පුතාට මේ රටේ දේශපාලනය කරන්න බැරිකමක් තියෙනවද? එයාට කොමිස් ගැහුවා කියලවත්, ස්ත්‍රී දූෂණ කියලවත් අල්ලස් ගත්තා කියලවත් ඒ වගේ වෙන මොකක් හරි චෝදනාවක් තියෙනවද? මිනිහට තියෙන්නෙ කොලුකමට ගහගත්තා කියලා විතරනේ. මමත් ඒ කාලේ ගමේදි ඔය වගේ ගුටිකෙලිවලට පැටලුණා. මම ඒ කාලේ ප්‍රසිද්ධ නැති නිසා ඒවා මීඩියාවල ගියේ නෑ.

 


● ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයත් මේකට ගන්නවද?
ඕනෑ කෙනෙකුට එන්න පුළුවනි. හැබැයි අපේ ප්‍රතිපත්ති පිළිගන්න ඕනෑ. සැප ගන්න බලාගෙන නම් කවුරුවත් අපේ පක්ෂයට එන්න එපා.

 


● මර්වින් සිල්වා කියන මේ කතා විශ්වාස කරලා ඔය පක්ෂෙට කට්ටිය එකතු වෙයි කියලා ෂුවර්ද?
ඇයි එහෙම ෂුවර් කරන්න බැරි? මම මෙතෙක් දේශපාලන කරලා මිනිස්සුන්ට කොච්චර සේවය කරලා තියෙනවද? දැන් මගේ තියෙන වරද මොකක්ද? මගෙන් යම් යම් වැරදි වෙන්න ඇති. මම ඒවට ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මම දැනුවත්ව ජනතාවට වැරදි කරලා නෑ. නොහික්මුණු පුද්ගලයින්ට මගේ අතින් යම් යම් දේ සිද්ධ වුණා. ඒක මගේ රුහුණේ ගතිය. ඒව මම හිතලා කරපු දේවල් නෙවෙයි.

 


● මේ වෙද්දී අලුත් පක්ෂයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳයි. මං ගැන රටම දන්න නිසා මේ ගැන හොඳ අවධානයක් ලැබිලා තියෙනවා. දේශපාලන මිත්‍රයොත් මේ ගැන මාත් එක්ක කතා කළා. මහා ගංගාවල් වුණත් පුංචි දිය උල්පතකින්නේ පටන් ගන්නේ. අපි බලමු මේ පක්ෂය ඉදිරියට යන හැටි.

 


● දැනට කවුද මර්වින් සිල්වට අමතරව මේකත් එක්ක ඉන්න චරිත?
ඒ සියල්ල ඉදිරියේදී රටට කියනවා. අපේ පළවෙනි උත්සවේ තියෙන්නේ අනුරාධපුරේ. අසූහාරදාහේ පහන් පිංකමකින් තමයි අපි පක්ෂෙ වැඩ පටන් ගන්නේ. අපි දුටුගැමුණු රජතුමා ඉදිරියේ දිවුරුම් දෙනවා පක්ෂය වෙනුවෙන්.

 


● මේකත් දුටුගැමුණු ඉස්සරහට දාගෙන යන වැඩක්ද?
මේක ඉස්සරහට දෑමක්වත් පස්සට දෑමක්වත් නෙවෙයි. අපේ ළඟ තියෙන්නේ මහත්මා ගතිය, ධර්මපාල ප්‍රතිපත්ති. පැරණි රජවරුන්ට  ගරු කිරීම වරදක්ද? මම දුටුගැමුණු රජතුමාට කැමැතියි.

 


● ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට “ඇටෑක්” එකටද මේ අලුත් පක්ෂය හැදුවේ?
අපිට කාටවත් ඇටෑක් කරන්න ඕනැ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට කාලයක් තිස්සේ දරදිය ඇද්ද මිනිහෙක්. මට පක්ෂය කළගුණ සැලකුවෙ නෑ. පක්ෂෙ නායකත්වයට පත්වුණු හැම දෙනාම මට කෙනහිලිකම් කළා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගැන හොඳටම දන්නවා. එතුමට මේක නිවැරදි කරන්න පුළුවන්. ඒත් අවුරුදු දෙකක් යනතුරු කිසි දෙයක් කළේ නෑ. මම කාටවත් රිදවන්න පක්ෂ හදන්නේ නෑ. මම සහ අපේ පක්ෂෙ අය පාර්ලිමේන්තු යන ගමන දැන් ඔය කාටවත් නවත්තන්න බෑ.

 


● මර්වින් සිල්වා මේ පක්ෂෙන් පාර්ලිමේන්තු යන්න ඡන්දෙ ඉල්ලන්නේ කොහෙන්ද?
මට ලංකාවේ ඕනැම තැනකින් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන බයක් නෑ.

 


● ජනාධිපතිවරණයට එහෙම ඉල්ලන්නත් අදහසක් තියෙනවද?
අනේ නෑ. එහෙම ආසාවක් තුන්හිතකවත් නෑ. මට මහ ලොකු තනතුරු ඕනෑ නෑ. අපේ පක්ෂෙ, තනතුරු වලට පත්වෙන්නේ ජනතා කැමැත්තට අනුව.

 


● මර්වින් සිල්වා නළුවෙකුට අඳින්න සූදානම් කියලා ආරංචියි.
ඔව්නේ. එහෙම ආරාධනාවක් ආවා. මගේ ඇඟේ එදා ඉඳලා කලාව තිබුණා. මම මේ සැරේ කරන්නේ “චව්චව්” චරිතය. මේක කරන්න එපා කියලා සමහරු මට කිව්වා. මට ඒවයි ගාණක් නෑ. මම ඕනෑ චරිතයක් රඟපාන්න පුළුවන් මිනිහෙක්නේ.

 


● දැන් ඔබට මීඩියා එක්ක තිබුණු ඔරොප්පු ඉවරද?
මට එහෙම එකක් මාධ්‍ය එක්ක තිබුණේ නෑ. මට මාධ්‍යවල යම් යම් ප්‍රතිපත්ති එක්ක ප්‍රශ්න තිබුණා. මම කැමැති නැති මාධ්‍ය මගේ වැඩවලට ආවම මට කේන්ති යනවා. මම එපා කියපු අය මගේ වැඩවලට එන්නෙ මොකද?

 


● එදා සිරසෙ මාධ්‍යවේදීන්ගේ වෘෂණ කෝෂ පවා මිරිකපු ඔබ අද සිරසට ගිහින් දේශපාලනය කතා කරනවා.
දේශපාලනයට සදාකාලික හතුරොවත් මිතුරොවත් නෑ කියලා කතාවක් තියෙනවනේ.

 


● ඔය තර්කය උඩ මර්වින් සිල්වා හෙට මහින්ද හෝ බැසිල් හෝ චන්ද්‍රිකා හෝ ළඟ ඉන්නත් පුළුවන්?
මගේ දේශපාලන පක්ෂය සූදානම් කරගත්තට පස්සෙ තවත් දේශපාලකයෙක් ළඟට යන්න ඕනැ නෑ. යාළුකම් පවත්වන්න අපිට පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක මගේ අමනාපයකුත් නෑනේ. හැබැයි චන්ද්‍රිකා මැතිණිය නම් මට එපා....එපා.... එපා මයි. මේක වෛරයක් නෙවෙයි. එපා වීමක්. 

 


● සරත් ෆොන්සේකා නම් කියන්නේ දැන් කැලණිය තිබුණට වඩා ෂෝක් කියලා.
එතුමට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. ඇත්ත දැනගන්න කැලණියෙ ජනතාවනේ. ඕනෑ කෙනෙකුට ඒ ගැන සමීක්ෂණයක් කරලා සත්‍ය තොරතුරු දැනගන්න පුළුවන්.

 


● අමතක නොවන පරිප්පුවක් කෑවට පස්සෙ ජාතික රූපවාහිනිය පැත්තෙ එහෙම ඔබ ගියේම නැද්ද?
ඒක මගේ ඕනෑකමට වුණු දෙයක් නෙවෙයි. ඒක සෙට් කරපු වැඩක්. කවුරුත් දන්නවා ඒක වුණේ කාගෙ වුවමනාවටද කියලා. මට ජාතික රූපවාහිනිය එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මම ඔය සිද්ධියට පස්සේත් වතාවක් ගියා ජාතික රූපවාහිනියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මම ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් මිනිහෙක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 445 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 934 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 122 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site