IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මොන ප‍්‍රශ්න ආවත් කුණු ප‍්‍රශ්නය ඉවර කරනවා

(ඩයනා උදයංගනී)

පෙර පැවැති කිසිම රජයකට විසඳන්නට නොහැකි වූ කැළි කසළ ගැටලූව කුමන විවේචන ආවත්, තවත් රජයකට උරුම නොවන සේ විසඳා අවසන් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) පැවසීය.

කිසිම රජයකට කැළි කසළ කළමනාකරණය ගැන ස්ථිරසාර වැඩපිළිවෙළක් නොතිබූ බව දේශපාලන කුහකකමක් නැතිව සිතන සෑම අයකුට හෘද සාක්‍ෂියට අනුව පිළිගත යුතුයැයි කී ජනාධිපතිවරයා නගර සභා, ප‍්‍රාදේශීය සභා සියයට 99ක් කළේ කැළි කසළ එක්කර ගොඩක් ගැසීම පමණක් බව ද සඳහන් කළේය.

කුණු ගේන්න එපා යැයි කියමින් සමහර මැති ඇමැතිවරුත් පාරේ නිදා ගන්නා බව කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමන්ට පැවසීමට ඇත්තේ ‘ඔවුන් දන්නා ප‍්‍රමාණය තමයි’ යනුවෙන් බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කසළ කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවල සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් කොළඹ 07, පදනම් ආයතනයේදී ඊයේ (17) පැවති වැඩමුළුව අමතමිනි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

ඩෙංගු මදුරු මර්දනය මෙන්ම කැළි කසළ මර්දනය පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ ඔබේ නායකත්වය තුළ ඉතා හොඳින් ඉටුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කී ජනාධිපතිවරයා ඔවුන් පළාත් පාලන ආයතනයක් සතු බලතල ක‍්‍රියාත්මක කරමින් තමන් නියෝජනය කරන බලප‍්‍රදේශය තුළ කළ යුතු කාර්යයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී කියා සිටියේය.
වැඩමුළුවේදී සාකච්ඡා වූ කරුණු ඇතුළත් යෝජනාවලිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අතින් මෙහිදී ජනාධිපතිවරයාට පිරිනැමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

”අද පළාත් පාලන ආයතන 335ක් නියෝජනය කරමින් කොමසාරිස්වරුන් හා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. අපි පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් කැඳවනු ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය වසරේදීත් ඔවුන් කැඳවනු ලැබුවා. ඡන්දයෙන් පත්වූ සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සහ මන්ත‍්‍රී මණ්ඩලය සිය කාර්ය මණ්ඩලයත් සමඟ ඉටු කළ කාර්යය පළාත් පාලන ආයතනවල නියමිත නිල කාලය අවසන්වීමෙන් පසුව දැන් තමුන්නාන්සේලා අතට පත්වී තිබෙනවා.

හිටපු සභාපතිවරු බොහොමයක් කියන්නේ පළාත් පාලන ආයතන විසුරුවා හැරියා කියලයි. නමුත් විසුරුවා හරින්න මට හෝ කාටවත් හැකියාවක් නැහැ. ඒ ආයතනවල නිල කාලය අවසන්වීමයි සිදුවුණෙ. නිල කාලය අවසන් වූ පසු තව කාලය දිගු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඇති නීතිරීති යටතේ අපි පළාත් පාලන ආයතනවලට මාස තුනක්, හයක් වශයෙන් ලබාදීමත් සිදුකළා. නමුත් එක දිගට එසේ පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. අපේ බලාපොරොත්තුව තිබුණෙ හැකි පමණ ඉක්මනින් පළාත් පාලන මැතිවරණ පවත්වා ඒ මැතිවරණවලින් පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් තෝරාපත්කර ගැනීමටයි.

නමුත් පළාත් පාලන ආයතනවල නියෝජිතයින් තේරීම පිළිබඳ අලූත් පනත සහ ඒ තුළ තිබූ අඩුපාඩු, කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතුවල ඇති වී තිබුණු අක‍්‍රමවත්භාවය නිසා ඒ සම්බන්ධව රට තුළින් විශාල විරෝධයක් ඇතිවුණා. කොට්ඨාස නිර්ණයේදී සාධාරණ සහ විධිමත් ක‍්‍රමයකින් කටයුතු කළ යුතු බව කීවා. අපිට ඒ සඳහා අවුරුදු එක හමාරක් ගතවුණා. අභියාචනා 1500කට වඩා ලැබී තිබුණා. මැතිවරණ කොමිසමත්, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයත් ඊට අයත් අනෙකුත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ආදී අමාත්‍යාංශත් ඒකාබද්ධව ඒ අභියාචනා සඳහා නිවැරදි කිරීම් කිරීමේදී අපට සෑහෙන කාලයක් ගතවුණා.

නමුත් දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්වුණෙ සහ අදත් දැඩි ලෙස විවේචනයට ලක්වෙන්නේ ආණ්ඩුව ඡුන්ද පවත්වන්නේ නැහැ කියලයි. ඒත් ආණ්ඩුව ඡන්ද නොතිබීම නෙවෙයි වෙන්නේ. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව කලින් සම්මත වී තිබූ පනත හරියට සකස් කර තිබුණා නම්, කොට්ඨාස විධිමත් ලෙස නිර්ණය වී තිබුණා නම්, අපිට පසුගිය වසරේ මැතිවරණය පවත්වන්න තිබුණා. නමුත් මේ හේතු මත මේ ආයතනවල සම්පූර්ණ වගකීම තමුන්නාන්සේලා අතට පත්වුණා. පළාත් සභාව, පළාත් ලේකම්තුමන්ලා ඇතුළු අනෙකුත් සියලූ ආයතන ප‍්‍රධානීන්ට වගකීම පැවරුණා.

පළාත් පාලන ආයතන සම්බන්ධ කටයුතුවලදී අද අපි දකින එක් පැත්තක් තිබෙනවා. සමහර පළාත් පාලන ආයතන තවමත් මෙහෙයවන්නේ හිටපු නගරාධිපතිවරු හා සභාපතිවරුනුයි. පළාත් පාලන ආයතනවල තිබෙන සම්පත්, වාහන මෙන්ම වෙනත් භාණ්ඩ ඔවුන් රැුගෙන යනවා. එයට හේතුව හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරු තමුන්නාන්සේලා සමග තිබූ මිත‍්‍රශීලීභාවය හා හිතවත්කම වෙන්න පුළුවන්. පසුගිය දිනවල පළාත් පාලන ආයතනයක් සතුව තිබූ වාහනයක් රැගෙන ගිය පිරිසක් නිවසකට පහර දී ඇති බවට වාර්තා වූ සිද්ධියක් සම්බන්ධයෙන් අපිට පරීක්‍ෂණ පවත්වන්න සිදුවුණා. මේ වගේ දේවලූත් සිදුවෙනවා.

ඒ නිසා මූලික වශයෙන්ම මේ ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් පළාත් සභාව සමග කටයුතු කර පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරුන් දෙන උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. එහිදී බොහෝ විට ඔබේ වගකීම නිසි ලෙස සිදුකිරීමේ හැකියාව සහ ශක්තිය තිබෙනවා.

උතුරේ කොමසාරිස්තුමා සේවක ප‍්‍රශ්න පිළිබඳව සඳහන් කළා. මෙතැන ඉන්න වැඩි පිරිසක් බොහෝ පළාත් පාලන ආයතනවල කම්කරු සේවයේ යෙදී සිටින සේවකයින්ගෙන් යම් ප‍්‍රමාණයක් ඒ සේවාවන්වල නොයෙදී සභාපතිවරු, නගරාධිපතිවරු සිටි කාලයේ නම් ඔවුන් සම`ග ගමන්බිමන් යාම, පුද්ගලික කටයුතු කිරීම, මෙන්ම ඔවුන් කියන දේශපාලන හා වෙනත් කටයුතුවලට යන බව බොහෝ දෙනෙක් දන්නා දෙයක්. ඒ වගේම අදත් සමහර පළාත් පාලන ආයතනවල හිටපු නගරාධිපතිවරු සහ හිටපු සභාපතිවරුන්ට අවශ්‍ය ලෙස ඔවුන්ට වැඩ කටයුතු සඳහා එක්කරගෙන යනවා. සියලූ ආයතනවල නැතත් ඇතැම් ආයතනවල මේ කටයුතු සිදුවෙනවා.

පළාත් පාලන ආයතනවල කොමසාරිස්තුමන්ලා සහ ලේකම්තුමන්ලා තමාගේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් දැනට වඩා තිබෙන ආයතනික බලතලත් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවය මම බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම කෙනෙක්ම වෙහෙස මහන්සි වී වැඩ කරන අයයි. තමන්ගේ වගකීම ඉටුකරන්න උපරිම වශයෙන් වෙහෙස වී කටයුතු කරන පිරිසක්. නමුත් ඔබ සෑම කෙනෙක්ම වැඩ කර තිබෙන්නේ දේශපාලන නායකත්වයන් සමගයි. ඒ දේශපාලන නායකත්වයන්වල තිබූ චරිත ලක්‍ෂණ, ගුණාත්මකභාවය, ඒ අයගේ හැසිරීම් අනුව ඇතැම් වෙලාවට ඇතැම් ආයතනවල රාජ්‍ය නිලධාරීන්ටත් හැසිරෙන්න සිදුවුණා. එහෙම කරන්න වෙනවා. ඒ තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය.
එහෙම ඒ අය කියන විදියට හැසිරෙන්න බැරි නම් සමහර වෙලාවට එතනින් යන්න වෙනවා. ඒකයි ඇත්ත. නමුත් අද එහෙම ප‍්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සේලාට තමුන්නාන්සේලාගේ වගකීම නිවැරදි ලෙස හා විධිමත් ලෙස ඉටුකරන්න අවස්ථාව ලැබී තිබෙනවා. අපේ රටේ කැළි කසළ කළමනාකරණය පිළිබඳව මෙතෙක් කිසිම රජයකින් ස්ථිර වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වී තිබුණෙ නැහැ. කැළි කසළ කළමනාකරණය පිළිබඳව ලංකාවේම පළාත් පාලන ආයතන තුනක නැත්නම් හතරකට විධිමත් වැඩපිළිවෙළක් තිබෙන්න ඇති. මම දන්න තරමින් ආයතන පහකට වඩා අඩුයි.

කසළවලින් කාබනික පොහොර නිෂ්පාදනය කර අලෙවි කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව බස්නාහිර පළාත් කොමසාරිස්වරිය පැවසුවා. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් ඇතිකළ යුතුයි. අපි රජයේ ප‍්‍රතිපත්තියක් ලෙස රසායනික පොහොර දීම නවත්වා ගොවි ජනතාවට ඒ වෙනුවට මුදල් ලබාදුන්නේත් කාබනික පොහොර භාවිතය සඳහා උනන්දු කරවීම සඳහායි. එහිදී මොන විදියේ විවේචන, ගල්මුල් ආවත්, මොන දේශපාලන විවේචන ආවත් රටේ යහපත සඳහායි අපි ඒ පියවර ගත්තේ.
රසායනික පොහොර මේ රටට ආවේ 1950 දශකයේදීයි. එදා එම පොහොර භාවිතා කරන ලෙස කී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ම අද අවුරුදු 50කට පස්සේ කාබනික පොහොර හොඳ බව කියනවා. දැන් කාබනික පොහොර සඳහා ගොවි ජනතාව උනන්දු කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ආදී අමාත්‍යාංශ එක් වී ආරම්භ කළ යුතුයි. මම අද තිබෙන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාකච්ඡුාවේදීත් මේ ප‍්‍රශ්නය සාකච්ඡා කරන්නම්.

උතුරේ කොමසාරිස්තුමා කී සේවක ප‍්‍රශ්නයේදීත් තාවකාලික බඳවාගැනීම් කරන්න අපි පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයේදී තීරණයක් ගත්තා. ඒ කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන්මයි. සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සිටි කාලයේදී ඔවුන් යොමු කළෙ වෙනත් කටයුතු සඳහා මිස බඳවා ගන්නා කාර්යයට නෙවෙයි. ඒ නිසා ප‍්‍රශ්නයට විසඳුම් ලැබුණෙ නැහැ. තාවකාලිකව හෝ බඳවා ගන්නා අයට බඳවාගන්නා අවස්ථාවේදී ඔවුන් බඳවා ගන්නා කාර්යය ගැන දැනුම් දිය යුතුයි. ඔවුන්ට වෙනත් බලාපොරොත්තු ඇතිකර වෙනත් කාර්යයන්ට යොමු කරවීම තුළ අදාළ දේ කෙරෙන්නේ නැහැ. ඒ බොහෝ පළාත් පාලන ආයතනවල මම දකින අසන දෙයක්. ඒ නිසා අපට ඒ කටයුතු වඩාත් නිවැරදි කරන්න පුළුවන් විය යුතුයි.

කිසිම රජයකට කැළි කසළ කළමනාකරණය ගැන ස්ථිරසාර වැඩපිළිවෙළක් නොතිබූ බව මේ රටේ දැනුම් තේරුම් ඇති කවුරුත් පිළිගන්නවා. දේශපාලන කුහකකමක් නැතිව සිතනවා නම් හැම කෙනෙක්ම එය හෘද සාක්‍ෂියට අනුව පිළිගත යුතුයි. සෑම නගරයකම, ගමකම, නගර සභා, ප‍්‍රාදේශීය සභා සියයට 99ක් කළේ කැළි කසළ එක්කර ගොඩක් ගැසීමයි. ඒ ගහපු ගොඩ ඇඟට කඩා වැටෙනතුරු ප‍්‍රශ්නය විසඳුණේ නැහැ. මීතොටමුල්ලේදී කුණුගොඩ කඩා වැටුණේ ජනතාවගේ ජීවිත අහිමි කරමින් පමණක් නොව ආණ්ඩුව උඩටත් කඩා වැටුණා. මෙහි වැරදිකාරයා වුණේ ආණ්ඩුවයි.

ඉතා අසරණ අහිංසක මිනිසුන්ගේ ජීවිත ගණනාවක් මෙයින් අහිමි වුණා. ඒ වගේම කුණු කඳු ආශ‍්‍රිතව දූෂිත තත්ත්වයක් ද ඇති වී තිබෙනවා. කැළි කසළ රත්තරන් කියන අයත් ඉන්නවා. මේ කැළි කසළ කළමනාකරණයත් සමඟ නොයෙකුත් ජාවාරම්කාර, කොමිස් ගන්නා කණ්ඩායම් ඉන්නවා. මුතුරාජවෙලට කසළ ගෙනයන තුන්වන දවස වෙන විට මේ අය එහාට ගියා. කුණු එකතුවීම පාලනය ඒ අය අතට ගත්තා. ඒ අය ඉවත් කරන්න පොලිස් විශේෂ කාර්ය බළකාය පවා දමන්නට අදාළ ඇමැතිවරුන්ට සිදුවුණා.

කුණු ගොඩ සමඟ ඉන්න ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයින් මේ කාරණාවට බාධාවක් බව සෑම කෙනෙක්ම දන්නා දෙයක්. වර්ගීකරණයක් නොමැතිව මහා කුණු කන්දක් ගෙන ගොස් දැමූ විට එතන ඇති ප්ලාස්ටික් බෝතල් ආදිය එකතු කරන්න පිරිස් සිටින බව මට වඩා හොඳින් ඔබ දන්නවා. මීතොටමුල්ල කුණු කන්ද අසලින් ඉවත් වෙන්න කිව්වත් ඇතැම් අය ඉවත් නොවුණේ ඒ අයගේ ජීවන වෘත්තිය තිබුණේ එම කුණු කන්ද ආශ‍්‍රිතව නිසයි.

ඒ නිසා පළාත් සභාවට, පළාත් පාලන ආයතනවලට වඩා කුණු කන්දක අයිතිකාරයින් වී සිටින්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයිනුයි. ඒ අයට නොසලකා මේ දේ කරන්න බැහැ. මීතොටමුල්ලට කුණු දැම්මේ කොළඹ නගර සභාව පමණක් ද එහෙම නැත්නම් සම්බන්ධයක් නැති ආයතන මොන තරම් කුණු ගෙනගොස් දමා තිබෙනවා ද යන්න හෙළි වුණේ එය කඩාවැටී කුණු දැමීම තහනම් වුණාට පස්සෙයි.

ඒ නිසා කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් එන දේශපාලන මතවාදය මෙන්ම මේ තුළ තිබෙන පෙනෙන සහ නොපෙනෙන බොහෝ දේ ඇති බව මට වඩා හොඳින් ඔබ දන්නේ යැයි මම විශ්වාස කරනවා. අද ඩෙංගු මදුරු මර්දනය මෙන්ම කැළි කසළ මර්දනය ඔබේ නායකත්වය තුළ ඉතා හොඳින් ඉටුකෙරෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා මෙන්ම පළාත් පාලන ආයතනයක් සතු බලතල ක‍්‍රියාත්මක කරමින් තමන් නියෝජනය කරන බලප‍්‍රදේශය තුළ කළ යුතු කාර්යයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඇතැම් අවස්ථාවල සභාපතිවරයෙක් සහ මන්ත‍්‍රී මණ්ඩලයක් සිටි අවස්ථාවේදී පනත යටතේ තිබූ කළ යුතු වුවත් නොකළ දේවල් රාශියක් තිබෙනවා. මේ සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම ඔබ ඉතා ඉහළින් මේ වගකීම ඉටුකරාවි යැයි මා සිතනවා.

අද මේ සම්බන්ධයෙන් කොමසාරිස්ලා ඉදිරිපත් කරන ගැටලූ මටත් එවන ලෙස මම ඉල්ලා සිටිනවා. අපි සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවිය යුතුයි. කැළි කසළ දැමීම සම්බන්ධයෙන් ස්ථාන සෙවීමේදී අපේ රටේ ලෝකයේ කොහේවත් නැති සංස්කෘතියක් ඇති වී තිබෙනවා. කොහේ ගෙනියන්න හැදුවත් අපට ඇහෙන්නේ කුණු ගේන්න එපා කියන සටන් පාඨයයි. වගකිව යුතු දේශපාලනඥයිනුත් මෙහි ඉන්නවා.
කුණු ගේන්න එපා කියලා සමහර මැති ඇමැතිවරුත් පාරේ නිදා ගන්නවා. ලෝකේ කිසිම රටක එවැනි මැති ඇමැතිවරු නැහැ. ආණ්ඩුවේ ඇමැතිවරුත් මේ දේ කරනවා. මට කියන්න තිබෙන්නේ දන්නා ප‍්‍රමාණය තමයි කියලයි. ඊට වඩා ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඒ වගේම ගෞරවණීය ස්වාමීන් වහන්සේලා සහ පියතුමන්ලාත් මා හමුවීමට පැමිණ අපේ පැත්තට කුණු දාන්න එපා කියනවා. ඒ අවස්ථාවල මම කියන්නේ ප‍්‍රශ්නයක් තිබෙන බව දන්නවා. එහෙනම් ඔබ වහන්සේලාම කුණු දාන්න ස්ථානත් යෝජනා කරන්න කියලයි.
රටේ සංවර්ධන කටයුතු සඳහා පස් කපනවිටත් විරෝධතා එනවා. ඇතැම් විරෝධතා පිටුපස තිබෙන්නේ දේශපාලනයයි. පස් කපනවාට  විරුද්ධව එන අයටත් මම කියන්නේ හොඳයි එහෙනම් සංවර්ධන කටයුතු සඳහා පස් ලබාගන්න සුදුසු ස්ථාන අපට දන්වන්න කියලයි. බොහෝ වෙලාවට අපි රජය පැත්තෙනුත් අඩුපාඩු තිබෙනවා. මෙවැනි විරෝධතා බොහෝ විට ඇතිවන්නේ අපි නිසිලෙස ජනතාව දැනුම්වත් නොකිරීම නිසයි. කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය දැනුවත් කිරීම අපි රටක් ලෙස කර නොමැති නිසයි.

මීට පෙර කසළ කළමනාකරණය පිළිබඳ ස්ථිරසාර විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක නොකළ නිසයි මේ ගැටලූ මතුවෙන්නේ. ඒ නිසා අපි මීට පෙර රජයන්ට නොහැකි වූ කාර්යය බැනුම් අසා විවේචන ආවත් තව ඉදිරි රජයකට එන්නේ නැති විදියට අවසන් කරන බව බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මේ කටයුතුවලදී ඔබ සෑම කෙනෙක්ම දක්වන උනන්දුව මා ඉතාමත් අගය කරනවා. තමුන්නාන්සේලාට තව මාස 6ක් පමණ ඔය විදියටම වැඩ කරන්න සිදුවේවි. ජනවාරි, පෙබරවාරි වනවිට බොහෝ විට පළාත් පාලන ආයතනවලට සභාපතිවරුන්, මන්ත‍්‍රී මණ්ඩල පත්වේවි.

මේ පිළිබඳ වගකීම, අයිතිය තිබෙන්නේ පළාත් සභාවට, පළාත් පාලන ආයතනයට, රේඛීය අමාත්‍යාංශයට, පාර්ලිමේන්තුවට, ජනාධිපතිට කියන තර්කයට නොගොස් මෙය අපේ රට, අප විසින් කළ යුතු කාර්යයක් යන තැන සිට කටයුතු කරනවා නම් ප‍්‍රශ්න අඩුවන බවයි මම විශ්වාස කරන්නේ. බලතල හා ව්‍යවස්ථාපිත තත්ත්වයන් පිළිබඳව ආයතනික වශයෙන් වාද විවාද තර්ක විතර්ක කිරීම තුළ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
ප‍්‍රශ්නය විසඳෙන්න නම් සෑම කෙනෙක්ම අඩියක් පස්සට තබා ප‍්‍රශ්නය විසඳාගන්න ඉඩ දිය යුතුයි. අපි ඒ විදියට වැඩ කළොත් මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. පළාත් පාලන ආයතන 335ක් නියෝජනය කරමින් පැමිණි ඔබ සෑම කෙනෙක්ම වෙහෙස මහන්සි වී වැඩ කරන පිරිසක්.

අපි පහුගිය දිනවල පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ඇති කළ යුතු ක‍්‍රමවේදය හා ලේකම්වරුන්ගේ සේවාවන් සම්බන්ධයෙන් බොහෝ පළාත් පාලන ආයතනවල ප‍්‍රශ්න තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ සේවාවන් හෝ වගකීම් දැරීමට වඩාත්ම සුදුසු ආකාරයට ඔබ සෑම කෙනෙකුගේම අදහස් ලබාගෙන ස්ථිරසාර වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. මේ සියලූ කටයුතුවලදී ඔබ සෑම කෙනෙක්ම දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරනවා.
ඩෙංගු මදුරු උවදුර හා කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවලින් කළ යුතු කාර්යයන් පිළිබඳ ඔබ දක්වන උනන්දුව සහ අනුග‍්‍රහය පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. මේ රැුස්වීම කැඳවීමේදී පළාත් පාලන සහ පළාත් පාලන අමාත්‍යතුමා ඇතුළු කාර්යමණ්ඩල පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා. ජනතාවට ඉටු කළ යුතු කාර්යයේදී අවංකව සේවාවන් ඉටුකර සාමූහිකව වැඩ කරමුයි ඉල්ලා සිටිනවා.” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

”අපට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන්නේ පළාත් පාලන ආයතනවල අවශ්‍යතා අනුව වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි. 13 වැනි සංශෝධනය අනුව කැළි කසළ කළමනාකරණයේ වගකීම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙනවා. විශේෂයෙන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මහ ඇමැතිවරුන් සමඟ එක්ව ඒ ඒ පළාතේ අවශ්‍යතා සපිරීමට කැප වී සිටිනවා.
රේඛීය අමාත්‍යාංශය පළාත් සභාවල බලයට ඇඟිලි ගසන්න යන බවටත් ඇතැමුන් චෝදනා කරනවා. අපි කැපවී සිටින්නේ පළාත් පාලන ආයතනවල ගැටලූ විසඳීමටයි. අද අපි පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු ඩෙංගු සහ කසළ සඳහා සම්බන්ධ සියලූ ආයතනවල නිලධාරීන් ගෙන්වා ඒ ඒ පළාත්වලට ගැළපෙන වැඩපිළිවෙළක් සකස් කළා. ඒ වගේම මේ රටේ අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ප‍්‍රතිපත්තියක් තිබුණේ නැහැ. මීතොටමුල්ල නායයෑම ගැන කතා කළොත් කොළඹ කසළ සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තිබෙනවා.

අපේ රටේ වසර 65ක් තිස්සේ සිදුවුණේ කුණු කඳු ගොඩගැසීමයි. නමුත් මේ වනවිට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩපිළිවෙළක් ආරම්භ වෙමින් තිබෙනවා. පළාත්වල අවශ්‍යතා අනුව කසළ කළමනාකරණ වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබාදී තිබෙනවා. අපි මේ වනවිට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සනීපාරක්‍ෂක බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. කම්කරුවන් ලෙස බඳව ගන්නා අයත් කාර්යාලවල සේවය කිරීම නිසා අපට සේවකයන් පිළිබඳ ගැටලූවක් ඇති වී තිබෙනවා. ඒ සඳහාත් තාවකාලික බඳවාගැනීම් කිරීමේ චක‍්‍රලේඛයක් දැන් නිකුත් කර තිබෙනවා.

රියදුරන් සම්බන්ධ ගැටලූව විසඳීම සඳහාත් අපි චක‍්‍රලේඛ සුදුසු පරිදි සකස් කරමින් යනවා. ඩෙංගු සහ කසළ කළමනාකරණයේදී අපට සම්පත්වල අඩුවක් සිදුවුණොත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒවා ලබාගත හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. සමහරු පළාත් පාලන ආයතනවල නිලධාරීවාදයක් ඇති බව කීවත් කොමසාරිස්වරුන් ඒ කාර්යය නිසි ලෙස ඉටු කරනවා. දැන් පළාත් පාලන ආයතනවල කටයුතු ඉතා කාර්යක්‍ෂමව සිදුවෙනවා. අනාගතයේදී පත්වන දේශපාලන අධිකාරියටත් තමුන්නාන්සේලාගේ ක‍්‍රියාදාමය තුළින් ක‍්‍රමවේද ගොඩනැගිය හැකි වේවි.

1947 මහ නගර සභා ආඥා පනතෙහි නෛතික රාමුවේ යම් යම් වෙනස්කම් කිරීමටත් අපි කටයුතු කරගෙන යනවා. ඩෙංගු සහ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විශාල කැපකිරීමක් කරන බව අපි දන්නවා. අද මේ වෙනුවෙන් පැවති සාකච්ඡුාව ඉතා සාර්ථකයි. පොලිතින් තහනම් කිරීමෙන් ද රටට විශාල සෙතක් වෙනවා. ඔබතුමා ගත් මෙම පියවර තුළින් කැළි කසළ කළමනාකරණය තවත් හොඳින් කළ හැකි වේවි. දැනටමත් කසළ වෙන් කිරීම නිසා අපට විශාල පහසුවක් තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේය.

රෝහිත බෝගොල්ලාගම, කේ.සී. ලෝගේෂ්වරන්, නිලූකා ඒකනායක ඇතුළු පළාත් ආණ්ඩුකාරවරුන්, ඉසුරු දේවප‍්‍රිය, ශාන් විජේලාල් ද සිල්වා, සරත් ඒකනායක ඇතුළු ප‍්‍රධාන අමාත්‍යවරුන්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

මොන ප‍්‍රශ්න ආවත් කුණු ප‍්‍රශ්නය ඉවර කරනවා

upali Tuesday, 18 July 2017 08:13 AM

ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවොත් සතුටුයි.. සුරඟන කතා අහල අපිට එපාවෙලා.

:       0       103

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1177 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 941 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2163 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site