IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිනීමරුවන් රකින්නේ නෑ

(විනීතා එම්. ගමගේ)

ආණ්ඩුව රණවිරු දඩයමේ යෙදෙන බවට ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (23) ප්‍රකාශ  කළේය.

තම ආණ්ඩුවට අභූත චෝදනා නැගුවත් දරුණු අන්දමින් රණවිරු දඩයම සිදුවූයේ කලින් පැවැති රජය සමයේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින වත්මන් රජය කිසිවිටෙකත් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ යැයි ද විජයවර්ධන මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී විජයවර්ධන මහතා මෙසේ ද කීය.
“අපේ රජය අස්ථාවරයි කියා විවිධාකාර කටකතා මේ දවස්වල පතුරුවනවා. කවුරුත් දන්නවා ඒකාබද්ධ විපක්ෂය තමයි මේ කටකතා පැතිරවීමට කටයුතු කරන්නෙ කියලා. මේ ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් බුද්ධාගමට හිමි තැන නැති කරන්නයි හදන්නේ කියල කියනවා. ඒකීයභාවය ඉවත් කරනවා කියලත් කියනවා.

මේ කතා ඔක්කොම අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ ආණ්ඩුවේ කිසිම අස්ථාවරභාවයක් නැහැ. බුදධාගමට හිමිතැන නැති කරන්නෙ නැහැ. මේ පතුරුවන කතා සියල්ල බොරු. මේ ජාතික ආණ්ඩුව තුළ පක්ෂ ගණනාවක් එකතු වෙලා තියෙනවා. මේ පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවම ඡන්ද පිටියේ දෙපැත්ත බෙදිල සටන් කරපු පක්ෂ දෙකක්. ඉතින් නොයෙක් මතවාද තියෙන්න පුළුවන්. ඒ මතවාද තිබුණට රටේ ජනතාවගේ ජය වෙනුවෙන් අපි ඒ මතවාද අතරින් ආණ්ඩුව ආරක්ෂා කරගෙන පෙරට යනවා.

පුංචි පුංචි ගැටලු ආපු වෙලාවට ඒවා විසඳ ගන්නවා මිස ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ රට ඉදිරියට ගෙනයන්නයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ.

මම දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විශේෂයෙන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ගම්මන්පිල මන්ත්‍රීතුමා ප්‍රබල ලෙස මේ රජය විවේචනය කරනවා. ඔවුන්  කියන්නේ අපේ ආණ්ඩුව රණවිරුවන් දඩයමේ යනවා කියලයි. පැහැදිලිවම කියන්න ඕන අපට කිසි වුවමනාවක් නැහැ කිසිම රණවිරුවෙක් අත්අඩංගුවට ගන්න. ඒක අපේ රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. මේක මට දිගින් දිගට කතා කරන්න බැහැ. මොකද මේක නඩු විභාගයක් පවතින ප්‍රශ්නයක්.  

කොමදෝරු දසනායකගේ ප්‍රශ්නය ඇත්තෙන්ම ඇති වුණේ 2009 දි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ නාවික හමුදාවේ නිලධාරී සම්පත් කියන පුද්ගලයාට විරුද්ධව දාපු පැමිණිල්ලේ දීර්ඝකාලීනව පැවැති නඩු විභාගයකින් පසුවයි මේ කොමදෝරු දසනායක අත්අඩංගුවට ගත්තේ.

අපි දේශපාලන වශයෙන් කිසිම මැදිහත්වීමක් නැහැ. කොටින්ම මමත් කනගාටුවෙනවා මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීම ගැන. ඔහු ඉතා හොඳ දක්ෂ නිලධාරියෙක්.

මම හිතනවා එතුමා වරදක් කර නැත්නම් අධිකරණයේ දී නිදහස් වේවි කියලා. ඒ වගේම නීතියට මුහුණ දීලා වරදක් කළා නම් දඬුවම් විදින්නත් වේවි. මේකෙදි කිසිම දේශපාලන පළිගැනීමක් හෝ මැදිහත්වීමක් නැහැ.
අපි නිරන්තරව රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් මිනීමරුවන් වෙනුවෙන් පෙනීසිටින්නේ නැහැ. ඉස්සර නම් අපි දන්නවා අධිකරණ තීන්දු දුන්නේ කොහෙන්ද කියලා. එදා අධිකරණයෙන් නොවෙයි තීන්දු දුන්නේ, අරලිය ගහ මන්දිරයෙන් හෝ ජනාධිපතිවරයා ඉන්න තැනකින් කියා එදා මිනිස්සු කිව්වේ.

අද අධිකරණය ස්වාධීනයි. ඊට කවුරුවත් ඇඟිලි ගහන්නේ නැහැ. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. යුද සමයේ අපරාධ චෝදනා ලබල තියෙනවා නම් අනිවාර්යයෙන් නීතිය ඉදිරියට යන්න වේවි. රත්නායක කියන හමුදා නිලධාරියා ඔබට මතක ඇති. ඔහු අවුරුදු 20 කට හිරේ දැම්මා. ඔහුට අවුරුදු විස්සක සිරදඬුවමක් ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ ඒකත් අපේ ආණ්ඩුව කළ එකක් කියලයි. නමුත් ඒ විමර්ශනය ඇරඹුණේ 1998 දියි. චන්ද්‍රිකා මැතිනිය ඉන්න කාලෙදි ඇරඹුණු එකක්.

විමල් වීරවංශ සහ ගම්මන්පිල මහත්වරුන් කරන චෝදනා අපි ප්‍රතික්‍ෂේප කරනවා. හෙළා දකිනවා. ඔවුන් මේ චෝදනා කරන්නේ දේශපාලන වුවමනාවටයි. බලයට තියෙන කෑදරකමටයි. ජනතාව අවුස්සලා, චෝදනා කරලා කුමන්ත්‍රණ දියත් කරන්නේ බලය ගන්නයි. විවිධාකාර චෝදනා එල්ල කළත් කිසි සත්‍යතාවයක් නැහැ.

අපි රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරල තියෙනවා. මේ අවුරුදු දෙකහමාරෙදි ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීල තියෙනවා. හැම ප්‍රශ්නයකටම නොවෙයි, නමුත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීලා තියෙනවා. ඔවුන්ගේ වයස අවුරුදු 55න් පසුවත් වැටුප අනුව විශ්‍රාම වැටුප සේවා කාලය අවසානයේ දි සියයට 85 කින් වැඩිවෙන විදියට ලබාදෙනවා. එය මුලික ගැටලුවක් හැටියට ඔවුන් ඉදිරිපත් කළ එකක්.

ඒ වගේම ආබාධිත රණවිරුවෙක් පැවැති දුබලතාව උත්සන්න වී මිය ගියොත් යුද්ධයේ දී මියගිය රණවිරුවෙක් සේ සලකා ඔවුන්ගේ යැපෙන්නන් වෙත සියලු හිමිකම් සමීපතම ඥාතීන් වෙත ලබාදෙනවා. වසර 10ක් හෝ දොළහකට අඩු සේවා කාලයක් තිබිය දී ආබාධිත වෙලා ඉන්න අයටත් තම සේවා කාලය සම්පූර්ණ කළ අය සේ සලකා විශ්‍රාම වැටුප් ලබාදෙනවා.

ඒ වගේම සිවිල් ආරක්ෂක බළකායේ හිටපු 40000ක් රජයේ සේවකයින් ලෙස සලකා ඒ අයට හිමිකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ සියල්ලම අවුරුදු දෙක හමාරක් තුළ කළ දේවල්. අපේ අමාත්‍යාංශය හා නිවාස අමාත්‍යාංශය එකතුවෙලා රණවිරු සුමිතුරු කියල නිවාස වැඩපිළිවෙළක් ආබාධිත රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාව වෙනුවෙන් ඉදිකරමින් පවතිනවා.

මේවා අවුැරුදු දෙක හමාරකින් කළාට අපි කිසිදෙයක් කරන්නේ නැහැ, රණවිරුවන්ගෙන් පළිගන්න කටයුතු කරනවා කියලයි ඒකාබද්ධ විපක්ෂයේ අය කියන්නේ. මම ගම්මන්පිල මන්ත්‍රීතුමාගෙන් හා වීරවංශ මන්ත්‍රීතුමාගෙන් අහන්නේ 2009 දීයි යුද්ධය අවසන් වුණේ. 2015 දී ඒ අයට බලය අහිමිවුණේ. ඒ කාලය තුළ ඇයි රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාදෙන්න බැරිවුණේ. ඇයි පාර්ලිමේන්තුවේ හඬක් නැගුවෙ නැත්තේ මේ අයගෙ විශ්‍රාම වැටුප  ලබාදෙන්න කියලා. අද කෑ ගහනවා. ඒ කාලෙ කිසිම දෙයක් නොකර ඉඳල දැන් අපට චෝදනා කරනවා.

මේකෙන් පෙනෙන්නේ මේ අය රණවිරුවන්ට ආදරයක් ඇති නිසා මේවා කරනවා නොවෙයි, බලය ලබාගැනීමට මේ කටයුතු කරන බවයි. මෙතුමාලගේ මේ දේශපාලනය ගැන අපි කනගාටුවෙනවා. අපි මේ ජාතික ආණ්ඩුවක් හැටියට එකතුවෙලා කටයුතු කරද්දි අපට සහාය දෙනවා නම් ජනතාව ඔවුන් දකින්නේ රටට ආදරය ඇති ජනතාවක් ලෙසයි. දැන් බලයට තියෙන කෑදරකමට මේ කතා කරන්නේ.

සමහර රණ බිමේ සිටි අය හමුදාවෙන් පැන ගිහින් විවිධ අපරාධවලට හවුල් වෙලා තිබෙනවා. එහෙම නම් ඒ අයටත් දඬුවම් කරන්න එපා ද? රණවිරුවො කියල අතහරින්න ද? රටේ නීතියක් තියෙනවා නේ. ඒ අය නීතියට පිටින් ගිහින් නිදහස් කරන්නද? රටේ නීතියට අනුගතව කටයුතු කරන්න ඕන.  අපි මැදිහත් වෙන්නේ නැහැ. අධිකරණයට ස්වාධීනව එහි කටයුතු කරගෙන යන්නට ඉඩ දීල තිබෙනවා. ඒවාට රජය ඇඟිලි ගහන්නේ නැහැ. අපට කිසිසේත්ම රණවිරුවන් අත්අඩංගුවට ගන්නවත්, රණවිරුවන් දඩයම් කරන්න වත් උවමනාවක් නැහැ.

ඇත්ත වශයෙන්ම රණවිරු දඩයම පටන් ගත්තේ ඒ අයගෙ පාලන කාලයෙදීයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා කියලනේ කකුලෙන් ඇදන් ගිහින් හිරේ දැම්මේ. ඊළඟට මහේෂ් සේනානායක මහතා විශේෂ බළකායේ විශාල වැඩ කොටසක් කළ නිලධාරියෙක්. ඔහුටත් ඉන්න බැරිවුණා. අන්තිමට යුද හමුදාවෙන් එළියට දාල රට හැර යන්නත් වුණා.

ඒ වගේම තමයි ටේ‍රවි සින්නයියා මහතා. පාවෙන අවි ගබඩාවක් විනාශ කළ පුද්ගලයෙක්. එතුමාටත් ඉන්න බැරිවෙන්න කටයුතු කරල රටෙනුත් යන තැනට කටයුතු කළා. අපි මේ රට හැර  ගිය අය යළි ගෙන්වල ඔවුන්ගේ සේවය ගන්න කටයුතු කරල තියෙනවා. යුද හමුදාපති ලෙස මහේෂ් සේනානායක පත්කරල තියෙනවා. ටේ‍රවි සින්නයියා නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරනවා.

මේ දේශලපාලන පළිගැනීම්වලට ලක් වූ රණවිරුවන් සියලු දෙනා අපි හමුදාවට අරගෙන තියෙනවා. නාවික හමුදාවට අරගෙන තියෙනවා. ගුවන් හමුදාවට අරගෙන තියෙනවා. ඒවගේම හමුදාවේ ගෞරවය රැකගන්නත් කටයුතුකරල තියෙනවා. හමුදාවේ ගෞරවය නැතිවන කටයුතු කරන්න අපි සූදානම් නැහැ. කවුරු හරි වරදක් කරල තියෙනවා නම් දඬුවම් විඳිය යුතුයි. කොමදෝරු දසනායක වුණත් එහෙමමයි.

කීප දෙනෙක් කළ වැරැදිවලට හමුදාවට චෝදනා නගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රකින්න ඕන. ඉදිරියේ දී සාම සාධක හමුදාවේ සේවය සඳහා අපේ හමුදාවන්හි අය යවන්න ඕනෑ. ඒ නිසා කීර්තිනාමය රකින්න කටයුතු කළ යුතුයි.

සිවිල් සංවිධානයකින් චෝදනා ආවත් එය කළු පැල්ලමක්. ඒ නිසා ඒ වැනි පැල්ලම් ඇති වන්නට අපි ඉඩ දිය යුතු නැහැ. ඒ නිසයි චෝදනාවක් ආවාම පරීක්ෂණයක් කරන්නේ. ” යැයි ද හෙතෙම සඳහන් කළේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඊට රාජ්‍ය අමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.


ප්‍රශ්නය- ඔබ කියන්නේ සුදු වෑන් දැන් නැහැ කියලයි. එහෙනම් ඇයි මහ දවල් සයිටම් විරෝධයේ සිටිය විශ්වවිද්‍යාල සිසුවා පැහැර ගන්න හැදුවේ.  
පිළිතුර- ඇත්තෙන්ම ඒ සිද්ධිය පිළිබඳව මමත් කනගාටුවෙනවා. ඒ සිද්ධිය මම හෙළා දකිනවා. එම නිලධාරින්ට තිබුණා නිල ඇඳුමක් ඇඳන් ගිහින් ඒ අත්අඩංගුවට ගැනීම කරන්න. ඒ  ගැන සාගල ඇමැතිතුමා පරික්ෂණයක් කරන්න පටන් අරන් තිබෙනවා. කොහොම වුණත් අපේ ආණ්ඩුවේ සුදු වෑන් සංස්කෘතියක් නැහැ.


ප්‍රශ්නය- යාපනයේ යළිත් සිද්ධියක් වෙලා තිබෙනවා. මේවායින් තහවුරු වෙනවා නේද යාපනයේ අවි ගත් කණ්ඩායම් ඉන්නවා කියලා.  
පිළිතුර- අවි ගත් කණ්ඩායමක් එතන හිටිය ද කියල පොලිසිය තවම පරීක්ෂණ කරගෙන යනවා. මම හිතනවා ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට ගනියි කියලා. අද උදේ ආරංචි වුණා පොලිස් නිලධාරියෙක් මියගියා කියලා ඒ අයගේ පවුලේ සාමාජකයින්ට කනගාටුව පළකළ යුතුයි. කොහොම  වුණත් යාපනයේ අවි ගත් කල්ලි නැහැ කියන එක කිව හැකියි. ඒ පොලිස් නිලධාරියා ගේ අවිය උදුරගෙනයි වෙඩි තියල තියෙන්නේ.


ප්‍රශ්නය- පසුගිය සති දහය දොළහ තුළ යාපනයේ සිද්ධීන් කිහිපයක් වුණා. ඒ සිද්ධි සම්බන්ධව කිසි කෙනෙක් අත්අඩංගුවට ගෙනත් නැහැ. ඇයි ඒ
පිළිතුර- ඒ  ගැන කෝස්ට් ගාඞ් ගැන නාවික හමුදාවත් පොලිසියත් එක්ව පරීක්ෂණ කර අත්අඩංගුවට ගන්න කටයුතු කරමින් සිටිනවා. එස්. අයි. මහතා ගැනත් මේ වනවිට කටයුතු  කරමින් ඉන්නවා.  


ප්‍රශ්නය- ඇයි යාපනයේ ආරක්ෂක කැමරා සවි නොකරන්නේ. බලපෑමක් තියෙනවද?
පිළිතුර- නෑ කිසිම බලපෑමක් නැහැ. ඒ කැමරා සවිකරන්නේ නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශයෙන්. එය හොඳ යෝජනාවක් ඉදිරියේ දී කරන්න බලමු.


ප්‍රශ්නය- ඉතා වටිනා යුධ නෞකාවක් ළඟදී ලබාගත්තා නේද? මේ තරම් වටිනා නැව් අපට අවශ්‍ය ද?  
පිළිතුර- ඔව්. දැන් අපි බලන්නේ අපේ මුහුද ආරක්ෂා කරගන්න. මේ ලබාගෙන තිබෙන්නෙත් මුහුදු නාවික ආරක්ෂක කටයුතු සඳහා සුදුසු බලය සහිත නෞකාවක්. අපි ඉදිරියේ දී නාවික හමුදාව නූතන නාවික හමුදාවක් ලෙස ගොඩනගා ගත යුතුයි. මෙය දැනට අපේ නාවික හමුදාවට තිබෙන ලොකුම නෞකාව.


ප්‍රශ්නය- ඔබ ආණ්ඩුව ස්ථාවරයි කිව්වට ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ආණ්ඩුව අස්ථාවරයි. කොටසක් කඩාගෙන ඒ අයට එකතුවෙනව කියලයි නේද?
පිළිතුර- නැහැ. අපේ ආණ්ඩුවේ අස්ථාවර බවක් නැහැ. ආණ්ඩුව ස්ථාවර නිසා ඒ අයගෙන් කඩාගෙන මෙහේට එනව. ඒකාබද්ධ විපක්ෂය අස්ථාවරවීම නිසා යැයිද ඔහු කීය.



අදහස් (0)

මිනීමරුවන් රකින්නේ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 57 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site