IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නායකයො දෙන්නා තමන්ගේ පිලසුද්ද කරගෙන යන්න ඕනෑ

සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න

රටේ ගිනියම් වන දේශපාලනය සම්බන්ධයෙන් උණුසුම් වන ප්‍රකාශ කරන සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ රෝ කුමන්ත්‍රණයක් තියෙන බව කියනවා?   


පිළිතුර:- එහෙම එකක් ජනාධිපතිතුමා නම් කිව්වේ නෑ.   


ප්‍රශ්නය:-  එහෙම කතාවක් කැබිනට් එකේදී ජනාධිපති මෛත්‍රී කිව්වා කියලයි වාර්තා වුණේ?   


පිළිතුර:- නෑ, ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වේ මට එරෙහිව තියෙන මේ වැඩපිළිවෙලට පාතාලයෙ පුද්ගලයෙක් පැමිණීම සම්බන්ධ කරන්න සමහර පුද්ගලයන් උත්සාහ කරනවා කියලා. එහෙම නැතිව ජනාධිපතිතුමා කිව්වේ නෑ රෝ එකේ කියලා. රෝ එකට ඒ පුද්ගලයාව සම්බන්ධ කරලා ඉන්දියාව තමන්ට විරුද්ධව ඉන්නවා වගේ මතයක් හදන්න හදනවා කියලයි ජනාධිපතිතුමා කිව්වේ. හැබැයි එතුමාම කිව්වා ‘එහෙම එකක් නෑ.’ කියලයි.   


ප්‍රශ්නය:-  නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් ‘ද හින්දු’ පුවත්පතේ පළවුණා?   


පිළිතුර:- ඔය හින්දු පත්තරයට කියලා තියෙන්නේ ඇමැතිවරුනේ. ඒ නිසානේ කැබිනට් ලේකම් වෙනම නිවේදනයක් නිකුත් කළේ. මේක වෙච්ච දවසෙම පහුවැනිද‌ා කැබිනට් ලේකම් මට කතා කරලා කිව්වා ‘බලන්න පත්තරවල තියෙන ප්‍රවෘත්ති. මේවා බොරුනේ’ කියලා. ඒ වගේම එතුමා කිව්වා, ‘මම දැඩි කලකිරීමක ඉන්නේ. මෙවැනි කැබිනට් මණ්ඩලයක ලේකම්වරයාවීම ගැන’ත් කියලා. ඒ වගේම කිව්වා ‘මට පුළුවන් නම් දැන්මම අස්වෙලා ගෙදර යනවා’ කියලා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් ලේකම් හැටියට ඉන්නවනේ. ඔහු හරිම කලකිරීමෙන් හිටියේ.සමහර ඇමැතිවරුන්ගේ හැසිරීම ගැන.   


ප්‍රශ්නය:- ඒ ප්‍රවෘත්ති ඔබ දැකලා තිබුණේ නැද්ද?   


පිළිතුර:- ඇත්තටම ඒ වෙනකොට ඒ ප්‍රවෘත්ති මම දැකලා තිබුණේ නැහැ. මම ඒවා බැලුවේ පස්සේ. මට එද‌ා ගුවන් විදුලියෙ වැඩ සටහනක් තිබුණා. මම ඒකට යනකොට ජනාධිපතිතුමා මට කතා කළා. ඒ වෙලාවේ මම කිව්වා ‘මම උදේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා තියෙනවා. මම එතැනදී නිවැරැදි කරුණු ඉදිරිපත් කරන්නම්’ කියලා.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී මොකද කිව්වේ?   


පිළිතුර:- ජනාධිපතිතුමා කිව්වා ‘ඒක බොහොම හොඳයි’ කියලා. ඊට පස්සේ මම කැබිනට් ලේකම්තුමාට කතා කරලා කිව්ව ‘වහාම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන්න’ කියලා. ඒ මාධ්‍ය නිවේදනයේ ‘රෝ’ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.   


ප්‍රශ්නය:- ද හින්දු පුවත්පතේ වාර්තාකාරිණිය කියනවා ‘ඇමැතිවරුන් හතර දෙනෙකුගෙන් අහලා තමයි ඒ ප්‍රවෘත්තිය ලිව්වේ’ කියලා?   


පිළිතුර:- ඒ වාර්තාකාරිණියත් එද‌ා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔය කතාව මගෙත් එක්තත් කිව්වා. ඊට පස්සේ මම කිව්වා ‘මම දන්නේ නෑ ඇමැතිවරුන් හතර දෙනෙක් එහෙම කීම ගැන. ඒ කවුරු කිව්වත් ඒ වාර්තාව වැරැදියි. අපි ඒක නිල වශයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ’ කියලා. 

 
ප්‍රශ්නය:- ඇමැති මහින්ද අමරවීර කියනවා ‘රෝ’ එකත් එක්ක සම්බන්ධ ඇමැතිවරුන් හතර දෙනෙක් ඉන්නවා. එයින් දෙන්නෙක් හඳුනාගෙන තියෙන්නේ කියලා?   


පිළිතුර:- ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරන එකට ඒ පක්ෂයේම ඉන්න සන්ධානයේම ලේකම්වරයා තව කතාවක් කියනවා. මේක තමයි මේ ගොල්ලන්ගේ වැඩේ. මම දන්නේ නැහැ මොකට මෙහෙම කියනව ද කියලා. ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරනවා රෝ එකේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. තව එක්කෙනක් රෝ එකක් ගැන කතා කරනවා. ඇමැතිවරයෙක් මෙහෙම කතා කළාම ජාත්‍යන්තර සබඳතා ගැන කිසිම අවබෝධයක් නැතිව ඒක විශාල ප්‍රශ්නයක් රජයකට. මොකද අපේ ආසන්නම අසල්වැසියා ඉන්දියාව. දැන් ඉන්දියාවත් එක්ක ප්‍රශ්න හද‌ාගත්ත මහින්ද රාජපක්ෂලා අද ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට දුව දුව ගෝඨාභය රාජපක්ෂලා ඒ පරණ පව් වලින් මිදෙන්න හදනවා. එහෙම කාලයක අපේ කට්ටිය ඉඳගෙන ප්‍රශ්න ඇති කරනවා ආණ්ඩුවට. රාජපක්ෂලාට ලෙහෙසි පහසු කරලා දෙනවා.   


ප්‍රශ්නය:-  හින්දු පත්තරයෙ මාධ්‍යවේදිනිය ප්‍රවෘත්තිය ලියන්න කලින් ඇමැතිවරුන් හතර දෙනෙකුගෙන් සනාථ කරගත්තා කියලා කිව්වා?   


පිළිතුර:- ඔව්. එහෙම කියලා තිබුණා.   


ප්‍රශ්නය:- ඒ ඇමැතිවරුන් හතර දෙනාගෙන් ඔබත් එක්කෙනෙක්?   


පිළිතුර:- නෑ... නෑ... මට කතා කළේ නෑ. ඒ නිසා තමයි ඒ ප්‍රවෘත්ති නිවේදනයෙ කියලා තිබුණේ ‘ජනාධිපතිතමා දැනුම් දුන්නා’ කියලා. මීට පස්සේ මෙහෙම ප්‍රවෘත්තිත් ලියනවා නම් කැබිනට් ප්‍රකාශක ඇමැතිවරුන්ගෙන් අහලා දැනගන්න කියලා.   


ප්‍රශ්නය:- ඒ නිසාම තමයි මම ඇහුවේ ඔබ සම කැබිනට් ප්‍රකාශක. ඔබෙන් නොවිමසා ඉන්න හේතුවක් නෑ?   


පිළිතුර:- නෑ මට කතා කළේ නෑ. ඒක මං වගකීමෙන් කියනවා.   


ප්‍රශ්නය:-  ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. නමුත් ඒ පරික්ෂණ හරිම මන්දගාමියි කියලා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ම කියැවුණා.   


පිළිතුර:- ඒ එක එක්කෙනා කියන කතානේ. දේශපාලනයෙ තියෙන කතා මම පිළිගන්නේ නැහැ. සිදුවන සිදුවීම් සොයා බලා විද්‍යාත්මකවයි අපි ඇමැතිවරුන් හැටියට කරුණු ඉදිරිපත් කළ යුත්තේ. විශේෂයෙන්ම ආණ්ඩුවක වැඩ රාජකාරි ගැන කතා කරනකොට ඇමැතිවරු කතා කරන්න ඕනෑ විද්‍යාත්මකවයි. එතකොට ඩී.අයි.ජී. නාලක සිල්වාව ගෙන්වලා පැය 9 ක් ප්‍රශ්න කරලා තිබුණා. ඊට පස්සෙත් කතා කරලා තිබුණා. නාලක සිල්වාගේ හඬ පට ඉදිරිපත් කරලා තියෙනවනේ. ඒකේ කොහේවත් නෑ ඝාතන කුමන්ත්‍රණයක් ගැන, ඝාතනය කිරීමක් ගැන නෑ. ඒකේ තියෙනවා අගමැතිතුමාට උදව් කිරීම ගැන. ඒ වගේම වෙන වෙන කතා තියෙනවා. නමුත් ජනාධිපතිවරයෙක් ඝාතනය කිරීමක් ගැන ඒකේ නැහැ. අනිත් එක මේවා ඉදිරිපත් කරන පුද්ගලයා කවුද? මම ඇත්තටම ජනමාධ්‍යයටත් කියනවා ජනමාධ්‍යවලින් මෙවැනි පුද්ගලයන් පුම්බනවා. මේ පොලිස් ඔත්තුකාරයෙක්. පොලිස් ඔත්තුකාරයො කියන්නේ කවුද? අර නන්නත්තාර නිර්ධන පන්තිය කියලා ඉන්නේ. කාල්මාක්ස් පැහැදිලි කළානේ නන්නත්තාර නිර්ධන පන්තියක් ගැන. ඔය ලුම්පන් චරිතයක්නේ එයා. හැබැයි මාධ්‍ය ලියන්නේ කොහොමද?දූෂණ විරෝධි බළකාය කියලයි.   


ප්‍රශ්නය:- ඔහු වැදගත් වෙන්නේ ඔහු හෙළිකරන කරුණු මතයි?   


පිළිතුර:- ඉතින් එයා කවුද? මම අහන්නේ ඒකයි. මාධ්‍යවලටත් ලැජ්ජාවක් නෑ. ඒ මනුස්සයාට නම් කොහොමත් ලැජ්ජාවක් නෑ. මොකද ඒ පන්තියට ලැජ්ජාවක් නෑනේ. ඒ පන්තිය හැමද‌ාමත් කළේ ගානක් හම්බවෙන වැඩක් කරන එකයි. එයාට ලක්ෂ 5 ක් දීලා තියෙනවා කලින් දීපු ඔත්තුවකට. ඔත්තුවලින් ඔහු පාවා දෙන්නේ කාවද? ඔහුගේම ඉන්න කට්ටියයි. ඩෑන් ප්‍රියසාද්ව පාවා දීලා තියෙනවා. දෙවැනි සැරේ මහසෝන් බළකාය පාවා දීලා තියෙනවා. ඒ ඔත්තුව නිසා තමයි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහනුවර සිද්ධිය ඉක්මනින් පාලනය කරන්නේ. මෙන්න මේ විදියට තමන්ගේම මිනිසුන් ගැන ඔත්තු සපයනු මිනිහෙක් කියන කතාවලට ප්‍රචාරයක් දීම හරිද? මෙවැනි පුද්ගලයෙකුට ඔප්පු කළ හැකි හඬ පට තියෙනවා. ඒ හඬපටවල තියෙන ඒවායි චෝදනා අතරයි පරතරයක් තියෙනවා.   


ප්‍රශ්නය:-  ඔබ කලින් කිව්වා හඬ පටයේ තියෙන හඬ සමඟ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ හඬ සැස​ඳෙන්නේ නැහැ කියලා?   


පිළිතුර:- මම ඒ දවස්වල කිව්වේ ගැලපෙනවද නැද්ද කියලා තාම තීරණය කරල නැහැ කියලා. නමුත් දැන් තීරණය කරලා තියෙනවා සැසඳෙනවා කියලා. ඒ නිසානේ මම හඬ පටය පිළිගන්නේ.එහෙම නැත්නම් මම ඒක පිළිගන්නෙත් නෑ.   


ප්‍රශ්නය:-  ඔබ ඒ හඬ පට ඇහුවද?   


පිළිතුර:- ඔව් ඇහුවා. ඒක අනුව ඝාතන කුමන්ත්‍රණ නෑ. නමුත් අනවශ්‍ය කතා බොහෝ කියලා තියෙනවා නාලක සිල්වා.   


ප්‍රශ්නය:-  ඔබට හැඟෙන විදියට නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නෑ?   


පිළිතුර:- මම අහපු ඒවා අනුව එහෙම ජීවිතවලට හානි කරන බරපතළ දේවල් නැහැ. නමුත් කොහොම වුණත් ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමට තරම් කරුණු තියෙනවා. රිමාන්ඩ් කිරීමට තරමට සාධක ඒකේ තියෙනවා කියලා නම් මට මතක නැහැ.   


ප්‍රශ්නය:- ඉන්දීය අගමැතිවරයා පවා මේ රටේ තත්ත්වය ගැන කනස්සල්ල පළ කළා කියලා පුවත් පළවුණා?   


පිළිතුර:- ඇත්ත වශයෙන්ම. අපේ අගමැතිතුමාගෙන් අහලා තියෙනවා ඇයි මම මේ රටට මෙච්චර උදව් කරලත් මම මේ රටත් එක්ක තමයි වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ. මේ රටේ නායකයන්ව තමයි මම වැඩියෙන්ම හමුවෙලත් තියෙන්නෙත්. ඒ විතරක් නොවෙයි. මං කරපු තරම් කරලා තියෙන්නෙත් මේ රටට. ඉදිරියටත් මම ලෑස්තියි ශ්‍රී ලංකාවට උදව් කරන්න. ඒ නිසා අපේ රටවල් දෙක අතර හොඳ මිත්‍රත්තවයක් තිබිය යුතුයි. එහෙම තිබියදිත් ඇයි අපි ගැන මෙහෙම සැක කරන්නේ කියලා?   


ප්‍රශ්නය:-  රෝ එකත් එක්ක සම්බන්ධතා තියෙන ඇමැතිවරු ඉන්නවද නැද්ද කියලා ඔබෙන් ඇහුවොත්?   


පිළිතුර:- ​රෝ එකත් එක්ක කියන්නේ කොහේද රෝ තියෙන්නේ ඉතින්. රෝ එකත් එක්ක සම්බබන්ධතා තියෙන අයව අපේ මේ ඇමැතිවරුන්ට හොයා ගත්තහැකිද? අපි හිතමු රෝ එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. සී.අයි.ඒ. එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම පාරවල් ගානේ සම්බන්ධතා තියෙනවද? එහෙම සම්බන්ධතා කොයි රටේ ඇමැතිවරුන්ද හොයාගෙන තියෙන්නේ? ඇමැතිවරයෙක් හැටියට එයාට එහෙම කියන්න තියෙන සාධක මොනවාද? ඕවා කරන්න ඕනෑ අපේ බුද්ධි අංශනේ. අපේ බුද්ධි අංශවල තත්ත්වයත් අපි දන්නවනේ. ඒ වගේ තත්ත්වයක් තියෙන රටක අපි කොහොමද කියන්නෙ ඇමැතිවරුන් හතර දෙනෙක් රෝ එකත් එක්ක සම්බන්ධයි කියලා. ඕවා මේ ආවට ගියාට කියන කතා හා මඩ ගැහිලි.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී කැබිනට් එකේදී කළ ප්‍රකාශය හින්දු පත්තරයට දුන්නේ ආණ්ඩුවේ ඉහළම තැනකින් කියලත් කියනවා?   


පිළිතුර:- නෑ. ඉතින් කියන මිනිහා නම කියන්නේ නැතිව කියන්නේ. ඕනැම බොරුවක් කියන්න පුළුවන්නේ එතකොට. නම එක්ක කිව්වොත්නේ නියම සාධක එක්ක කියන්න වෙන්නේ. කැබිනට් මණ්ඩලයේ වෙන දේවල් වගකීමෙන් එපැයි කියන්න.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී කියනවා ‘‘එද‌ා පොදු අපේක්ෂකයා විදියට යූඑන්පීයත් එක්ක අත්වැල් බැඳ ගත්තේ ඩී.එස්.-ඩඩ්ලි ප්‍රතිපත්ති තියෙනවා කියලා හිතාගෙන. ඒත් ඇවිත් තියෙන්නේ වැරැදි තැනකට’’ කියලා?   


පිළිතුර:- ඩී.එස් - ඩඩ්ලිගේ ප්‍රතිපත්ති යූඑන්පී එකෙත් නෑ. බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා එකෙත් නෑ හොඳේ. එතකො එන්.එම්ගේ කොල්වින්ගේ ප්‍රතිපත්ති සම සමාජ පක්ෂයෙත් නෑ. විජේවීරගේ ප්‍රතිපත්ති ජේවීපී එකෙත් නෑ. මේක තමයි යථාර්ථය. ඉතින් එක පක්ෂයක විතරක් තියෙයියැ. ඩී.එස්.ගේ ඩඩ්ලිගේ කාලය අද ලංකාවෙත් නැ. ජේ.ආර්. හැත්තෑ හතෙන් පස්සේ ගෙනාවේ අලුත් වැඩපිළිවෙළක්. ඒකට විරුද්ධයි කියන එකෙකුටවත් බැරිවුණානේ මේක වෙනස් කරන්න. ජේ.ආර්ගේ විවෘත ආර්ථිකය වෙනස් කරපු එක්කෙනෙක් ඉන්නවද? කවුද ඒක අයින් කළේ?   


ප්‍රශ්නය:- ඇයි විධායක ජනාධිපති ක්‍රමය?   


පිළිතුර:- ඔව්. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න තාමත් බැරි වුණානේ. 225 ක් ඉඳලා ඒකෙන් 125කේ හොයාගන්න බැරි වුණානේ තාම. විධායක ක්‍රමය එපා කියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කියනවනේ විධායක ජනාධිපති ක්‍රමය ඕනැ කියලා. එතකොට පළාත් සභා ගත්තොත් පළාත් සභා එපා කියලා රටම ගිනි තියපු මිනිස්සු අද පළාත් සභාවල වාඩිවෙලා ඉන්නේ. පළාත් සභා එපා කියලා අපිට බෝම්බ ගහපු කට්ටිය පළාත් සභාවල ඉන්නේ. ඉතින් මේක තමයි තත්ත්වය. එක දෙයක් එක විදියට ඉදිරියටම යන්නේ නෑ. ඒ ඒ කාලවලට අනුව වෙනස් වෙනවා.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී ඒක නොදැන ද එහෙම කිව්වේ?   


පිළිතුර:- මම දන්නේ නෑ මොන අර්ථයෙන් කිව්වද කියලා.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී කිව්වා ‘දැන් තියෙන්නේ හොරකම් කරන යූඑන්පී එකක්’ කියලා.   


පිළිතුර:- අනේ ඒ කාලෙත් එහෙම කිව්වනේ. ඩී.එස්. සේනානායක කියන්නේ කැලෑ ජෝන් කියලා. දකුණේ තරුණයන්ව එහේ පදිංචි කරවලා මැලේරියාවෙන් මරන්නයි හදන්නේ කියලනේ කිව්වේ. ඉතින් ඒක දූෂණයටත් වඩා බරපතළ චෝදනාවක්නේ. ඩී.එස්. මැරුණම පෙළපාලි ගිය රටක් නේ මේක. අපේ රටේ ඔක්කොම මිනිස්සු හොඳ වෙන්නේ මැරුණට පස්සෙනේ. මැරෙනකන්ම බණිනවා. ඩඩ්ලිට කිව්වේ ‘පච බාහු පිටි බාහු’ කියලා. ඩඩ්ලි ඔච්චර හොඳ නම් ආසන 8 ට බස්සයි ද? පච බාහු කියපු ඩඩ්ලි අද හොඳයි කියලා කියනවා. බණ්ඩාරනායක මහත්තයා ඉන්න කාලේ කිව්වේ මූව මරන්න එකෙක් නෑ කියලා. මැරුවට පස්සේ හොටු බාල්ද ගණන් හූරමින් පෝලිම්වල හිටියා. ඒක තමයි ලංකාවේ සංස්කෘතිය. අද කාලේ ඉන්න නායකයන්ගේ හොඳ පේන්නේ එයා මළාට පස්සේ.   


ප්‍රශ්නය:- එළිපිට කොමිස් ඉල්ලන, පගාව ඉල්ලන ඇමැතිවරුන් අද බිහිවෙලා?   


පිළිතුර:- ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය. ඒක ඇත්ත. අපි යහ පාලනය කරන්න ආවාම ඔය සියලු අයියලා ඒ බස් එකට නගිනවා. 1917 දී නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම වෙනස සිදුවුණේ. පන්ති විරහිත සමාජයක් මුල්වරට ලෝකයේ බිහිවුණේ ඒ වෙනසෙන්නේ. ඒත් ඒකේ ප්‍රශ්න තිබුණේ නැද්ද? ට්‍රොස්කි ඝාතනය වුණානේ. තව කී දෙනෙක් ඝාතනය වුණාද? කී දෙනෙක් කොමියුනිස්ට් පක්ෂයෙන් එළියට වීසි කළා ද? ඉතින් එහෙම තමයි. මේක මේ ශුද්ධ වූ සියලු දෙනා ඇවිත් වාඩිවෙච්ච තැනක් නොවෙයි. අර ඉන්දියාවේ නිදහස් සටන වෙලාවෙත් ජවහර්ලාල් නේරු, මෝතිලාල් නේරු, මහත්මා ගාන්ධිලා ඔක්කොම එකතු වෙලා විශාල විරෝධතාවක් කළා ප්‍රවාහනය නවත්තලා. කෝච්චි පාරවල්වලත් මිනිස්සු වාඩි වුණා. උදේට ශරීර කෘත්‍ය කරන්න යන මිනිස්සුත් රේල් පාරට තමයි යන්නේ. සිවිල් නීති කඩ කළා කියලා ඒ අයවත් අල්ලලා හිරේ දැම්මා. නිදහස් සටන ජය ගත්තම නිදහස් සටනේ වීරයන්වයි අර උදේ වැඩේට ගිය මිනිසුන්වයි මහජනතාව පිළිගත්තේ මල්මාලා ද‌ාලා. ඒ අයවත් ජාතික වීරයෝ වුණා. අන්න ඒ වගේ ඇවිත් ඇමැති මණ්ඩලයේ වාඩිවෙච්ච අයත් ඉන්නවා. ඒ අයට යහ පාලනය තේරෙන්නේ නෑ. යන ගමන් තමයි මේවා ශුද්ධ වෙන්න ඕන. ඒකට අඬදබර කරගෙන කෑකොස්සන් ගහගෙන කතා පවත්වලා හරියන්නේ නෑ. ඒකට අවශ්‍ය නිශ්චිත පරීක්ෂණ කරලා තමන්ගේ පිල ශුද්ධ කරගෙන යන්න ඕන. නායකයෝ දෙන්නම ඒක කරන්න ඕනෑ.   


ප්‍රශ්නය:-  කොහොම වුණත් ජනාධිපති මෛත්‍රී යූඑන්පියට කීකරු නැහැ වගේ?   


පිළිතුර:- යූඑන්පී කාරයො හිතනවා තමයි එයා යූඑන්පී එකට කීකරු නැහැ කියලා. ශ්‍රීලංකා කාරයෝ හිතනවා රනිල් ශ්‍රී ලංකා එකට කීකරු නැහැ කියලා. ඕක තමයි ප්‍රශ්නය. මේක හද‌ාපු පරමාර්ථ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා ඉන්නවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.   


ප්‍රශ්නය:- මොකක්ද ඇත්තටම පරමාර්ථය?   


පිළිතුර:- යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමනේ පරමාර්ථය. එතකොට ඒකට බාධා ඇතිවෙනවා. හැම රටකම ඕක දකින්න තියෙනවා. කැම්පේන් කරලා ඕක කරන්න බැහැ. ජනතාව දැනුම්වත් කරන ගමන්ම නරක අයව හෙළිදරව් කරමින් මේ ගමන යන්න ඕනෑ. කවුද හරි කියලා හොයන්නේ නැතිව කුමක්ද හරි කියලා හොයන්න හිත් හද‌ාගත්තොත් ඔය හුඟාක් ප්‍රශ්න බේරාගන්න පුළුවන්. අපි මේ ආණ්ඩුව හදලා ලෝකයට පෙන්නන්න හැදුවේ මෙහෙම ප්‍රතිවිරෝධීව පක්ෂ දෙක එකතුවෙලා හදන ආණ්ඩුවට ලොකුම හා හොඳම උද‌ාහරණය විදියටයි. ඒ නිසා තමයි ඉන්දියාවෙ අගමැති මෝදි මැතිතුමා කිව්වේ අනේ මටත් ඉන්දියානු කොංග්‍රසයත් එක්ක හදන්න පුළුවන් වුණා නම් කොච්චර ෂෝක් ද කියලා.   


ප්‍රශ්නය:- හැබැයි දැන්නම් එහෙම හිතන එකක් නෑ.   


පිළිතුර:- ඒක හරි. ඒ මිනිස්සු දැන් හිතනවා ඇති එහෙම එකක් එහෙ නොවිච්චි එක හොඳයි කියලා මේ කට්ටිය හැසිරෙන විදියට. අපිට මහන්සි වෙලා පෙන්වන්න තිබුණේ මුළු ලෝකටයම මෙන්න උද‌ාහරණය කියලා. ඒක හරියට අපි කළා නම් ඔය විරුද්ධ පක්ෂයේ ඉන්න අයත් ගොඩක් සම්බන්ධ වෙනවා. ඒ මූලික පරමාර්ථයෙන්නේ අපි පිට පැනලා තියෙන්නේ. ඒ නිසා මම ඉන්නේ මුළු මහත් සමගිය වෙනුවෙන්.   


ප්‍රශ්නය:- පොදු අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන තෝරා ගැනීම ඔබට වෙච්ච වැරැද්දක් කියලා දැන් හිතෙනවද?   


පිළිතුර:- නෑ ඒකෙ වැරැද්දක් නෑ. ඒක තමයි ඒ වෙලාවේ තිබුණ උචිතම හා නිවැරැදිම තීන්දුව. එතුමාට දැන් සනාථ කරන්න​ වෙනවා ඒක නිවැරැදිම තීන්දුව කියලා. ඒක හරිද, වැරැදිද කියලා කියන්න මට බැහැ. ඒක ඉතිහාසය විසින් තීන්දු කරන දෙයක්.  


ප්‍රශ්නය:-  කොහොම වුණත් මෛත්‍රී - රනිල් සමගි කිරීම නම් හිතන්නත් අමාරුයි වගේ?  


පිළිතුර:- එහෙම අමාරු දේවල් දේශපාලනයේ නැහැනේ. එහෙම බැහැයි කියපුවානේ අපි පුළුවන් කියලා පෙන්නුවේ. මහින්ද රාජපක්ෂ පරාජය කරන්න බැහැ නේද කියලා ඔබතුමාලා ඒ කාලෙත් මගෙන් ඇහුවා. මහින්ද මහත්තයත් ඇහුවා මාව පරාජය කරන්න ලංකාවේ කවුද ඉන්නේ කියලා. නමුත් අපි ඒක වැරැදියි කියලා පෙන්නුවා.  


ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. ය සිරිකොත ශාඛා කාර්යාලයක් කියලා ඔප්පු වුණා කියලා මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා?  


පිළිතුර:- දැන් හැම නඩුවක්ම දිනන්නේ නැහැනේ. ඔයිට වඩා දේවල් ලංකාවේ වෙලා තියෙනවා? ජොන්ස්ටන්ගේ නඩුවේ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි නීතිපති දෙපාර්තමේන්තුව වහාම ප්‍රකාශ කළේ ඒ තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයට යනවා කියලා.​ ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. අපි ඒ තීන්දුව පිළිගන්නවා.  


ප්‍රශ්නය:-  ඔබේ පක්ෂය දැන් එක්සත් ජාතික පක්ෂය?  


පිළිතුර:- නෑ මම එක්සත් ජාතික පෙරමුණේ. ඒක විවිධ පක්ෂ එකතුවෙලා හදපු පෙරමුණක්.  


ප්‍රශ්නය:-  එක්සත් ජාතික පක්ෂය වළපල්ලට ඇදලා ද‌ාන නායකයෝ දෙතුන් දෙනෙක් පක්ෂයේ ඉන්නවා කියලා මන්ත්‍රී රවි කරුණානායක ඉරිද‌ා ලංකාදීපයට කිව්වා?  


පිළිතුර:- රවි කරුණානායක මැතිතුමා ඕවා කලින් කිව්වේ නැහැනේ. දැන් නේ කියන්නේ. ඉතින් එහෙම නායකයෝ ඇති. එතුමා දීර්ඝ කාලයක් පක්ෂයේ ඉන්න කෙනෙක්නේ. එහෙම අය ඇති. ඔය ඔක්කොම ද‌ාගෙන තමයි යන්න වෙන්නේ. යන ගමන් තමයි හලන්න වෙන්නේ.  


ප්‍රශ්නය:-  මන්ත්‍රී රවීට ඇමැතිකමක් දෙනවා කියලා ප්‍රවෘත්ති පළ වුණා. ඒත් තාම නෑ. කවුරුහරු කැපිප්ලක් ද‌ානව ද?  


පිළිතුර:- එතුමා යහ පාලන ආණ්ඩුව ගේන්න විශාලම වැඩකොටස කරපු පුද්ගලයා. ඇත්තටම මම මුලින්ම මේ පිළිබඳව සාකච්ඡා කළේ රවීත් එක්ක. රවී දෙවැනි පාරටත් මාත් එක්ක සාකච්ඡා කරලා හිත් හද‌ාගත්තට පස්සේ තමයි පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියන ස්ථාවරයට යූඑන්පීය ගෙනාවෙත්. ඒක අපිට බොහොම පහසු වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තීරණයක් ගන්න. ඊට පස්සේ රවි බොහොම කැපවුණා ජයග්‍රහණය වෙනුවෙන්. එතුමාට මේ අනවශ්‍ය දේවල් නිසා තමයි ඔය ප්‍රශ්නය ඇතිවුණේ. අපි කතා කරලා එතුමාට ආපහු ඇමැතිකමක් දෙන්න හදනකොට අලුත් චෝදනාවක් ඇවිල්ල ඒක වැළකෙනවා. තුන් වරක් එහෙම වුණා. නමුත් නෛතික ප්‍රශ්න නැත්නම් රවිට ඇමැතිකම දිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.  


ප්‍රශ්නය:-  යූඑන්පී ජනාධිපති අපේක්ෂත්වය ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා?  


පිළිතුර:- ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා අපි තෝරනවා. තෝරනව විතරක් නොවෙයි ජයග්‍රහණය කරලත් පෙන්වනවා.  


ප්‍රශ්නය:- ඔබ කියනවා තාජුඩීන් ඝාතකයන් එල්ලනවා. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කරපු අය එල්ලනවා කියලා. ඔබ ද රටේ නීතිය?  


පිළිතුර:- ඔයා කියන්නේ එහෙම කරන්න එපා කියලද? මම කියන්නේ ඝාතකයා එල්ලුම්ගස් යවන්න කියලනේ. ඝාතකයා එල්ලුම් ගස් යවන්නේ නැතිව ගෙදර යවනවද? එහෙම නීතියක් තියෙනවද රටේ.  


ප්‍රශ්නය:-  ඔබ කලින්ම තීන්දු ප්‍රකාශ කරනකොට?  


පිළිතුර:- මම කියන්නේ ඝාතකයන්ට දඬුවම් දිය යුතුයි කියලයි. ඉතින් මොකක්ද වැරැද්ද? 

 

 

සාකච්ඡා කළේ :
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

නායකයො දෙන්නා තමන්ගේ පිලසුද්ද කරගෙන යන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 443 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 933 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 122 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1652 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site