IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


’’ගොවිතැන තරුණ පරපුරට ආඩම්බර වෘත්තියක් කරනවා’’

(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)

එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.

රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව ශ්‍රීලනීපය නියෝජනය කරමින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ කීවේය.

“අපට කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටුව දිනනවා. අද පොහොට්ටුව දිනලා අවසන්. මේ ඓතිහාසික අනුරාධපුරයට විශාලම ජනතාවක් ආවේ අද දවසෙයි. අපි මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වූ මොරගහකන්ද ව්‍යාපාරය අපි කඩිනම් කරනවා. එදා අපි කිව්වා 2015 දී අපට බලය දෙන්න, ඔබේ හැම නිවසකටම අපි පානීය ජලය දෙන බව. ඒත් අපට බලය දුන්නේ නැහැ. ඉදිරියේදී නතර කළ තැනින් වැඩ ආරම්භ කර ඔබට බීමට ජලය ගෙදරට ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔබට පානීය ජලය ලබා දීම ආණ්ඩුවේ යුතුකමක් වුණත් මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හතුරාගෙන් පළිගැනීම හැර කිසිවක් මේ ආණ්ඩුව කළේ නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රාහී ගමන්මග දැකපු නිසා ඔහු හිරේ දාන්න හැදුවා. අවසානයේ ගෝඨාභයට රටක් නැහැලු. අධිකරණය ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන තීන්දුවක් දුන්නා.

මේ ආණ්ඩුව මොනතරම් බංකොලොත් ද කියනවා නම් කරගන්න දෙයක් නැතිව රට විකිණීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. අපි වරායන්, ගුවන් තොටුපොළවල් හදලා රටට වටිනාකමක් දුන්නත් මේ ආණ්ඩුව ඒ දේවල් විකුණනවා. ජාතික සම්පත් විකුණාගෙන කන මේ ආණ්ඩුව පළවා හැරිය හැකි පළමු අවස්ථාවේම පළවා හැරීම අපේ යුතුකමක්. ගොවි ජනතාවගේ ණය අපි කපා හරිනවා. එය ස්ථිරයි. ඒවගේම පොහොර සහනාධාරය 350ට දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනතුරු පොහොර නිකන් දෙනවා. එදා බඩඉරිඟුවලින් පවා ස්වයංපෝෂිත වූ රට වෙනත් රටවලට අත පාන තැනකටයි මේ ආණ්ඩුව ඇද දැම්මේ.

එජාප ආණ්ඩුව කළ සියලු වැරැදිවලට, බැංකු මංකොල්ලයේ සිට කරපු වැරැදිවලට නියෝජ්‍ය නායකයාගේ සිට වගකිවයුතුයි. ඒ අය රට විනාශ කිරීමේ වගකීම බාරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා. අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා කරන මේ සටන විජයග්‍රහණය කරා ගෙනයන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්‍රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තූතියි. 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතැන එක්ව සිටීමෙන්ම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපට සහාය දෙන්නට මෙහි පැමිණ සිටින තමුන්නාසේලා සියලුම දෙනාට මම මගේ අවංක ස්තූතිය හා ප්‍රණාමය පුදකරනවා.

මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව් මේ රටේ මිලිටරිකාරයන් ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාරගත් අවස්ථාවේ වව්නියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කරගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.
විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්‍රස්තවාදීන්  විසින් විනාශ කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවෝ 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ වැව් බැඳි රාජ්‍යය කියලා.  වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුන දේශීය සංස්කෘතියක් අපිට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්.
මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒකයි  ආණ්ඩුව  කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසෙන් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි. එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.
ඒත් අද වර්තමාන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පොහොර සහනාධාරය නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වුණාම ඒ පොහොර සහනාධාරය දුන්නා. ඔය ජනතාවගෙන් පොහොරවලට 350ක් ගන්නවා වෙනුවට පොහොර ටික නිකම් දෙන්න කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.

වී, තේ, රබර්, ගම්මිරිස් ඇතුළු හැම භෝගයකින්ම ආදායම අඩුවෙලා. අස්වැන්න සාධාරණ මිලකට විකුණාන්න බැරිව නොහැකිව ගොවි ජනතාව ණයගැතියන් බවට පත්වෙලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හා ගොවි ජනතාවගේ සියලුම ණය අපි කපා හරිනවා. මේ ගොවි ජනතාව යළි නගාසිටවන්නට අපට අවශ්‍යයි. රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්න බැහැ. රට ස්වයංපෝෂිත කිරීමට අපේ ඉදිරි රජයක් තුළ සෑම රාජ්‍ය අනුග්‍රහයක්ම අපි ලබා දෙනවා. රට සංවර්ධනය වෙනවා කියන්නේ සියලුම ජන කොටස් සංවර්ධනය වෙන එකයි. අපි දුෂ්කර පළාත්වල දිලිඳු ජනතාව ඉදිරියට ගෙන ආ යුතුයි.

වගාව සඳහා අවශ්‍ය වෙලාවට වතුර නොලැබීම අද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්.
 
ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවැත්වූවා. රජයේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.

ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියකුගේම කෘෂි වගාවන් රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට  අවම වශයෙන් රුපියල් 52ක සහතික මිලක් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවීන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබා ගන්නට ගබඩා පහසුකම් නැතිකම.
 
ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන්  කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ. පස සකස් කිරීම, ජලය කළමනාකරණය, වැඩි ඵලදාවක් දෙන බීජ භාවිතය, පොහොර භාවිතය,  අස්වනු නෙලීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේදී නාස්තිය අඩු කරගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම්වලට නව තාක්ෂණය භාවිතකොට වැඩි ආදායමක් උපයා ගැනීමට අපි අපේ ගොවි ජනතාවට උදව් කරනවා.

පිරිසුදු පානීය ජලය නැතිකම මේ පළාතේ ජනතාවට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරය හා මේ අවට පළාත්වල වකුගඩු රෝගය වැඩිවීමටත් ජලයේ අපිරිසුදුකම හේතුවක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස මම දකිනවා. ඒ නිසා  තමුන්නාන්සේලාගේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අපි බලයට පත් වූ වහාම ආරම්භ කරනවා.

වසර ගණනාවක් තිස්සේ කතා කරමින් සිටින තවමත් නිසි පිළිතුරක් නැති ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. රජයක් වශයෙන් අපි මේ ප්‍රශ්නයට වැඩි උනන්දුවකින් මැදිහත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අලි වැටවල් සාදනවා වාගේම අලින්ගේ ස්වාභාවික ගමන්මඟ අවහිර නොවන ලෙස අලිමංකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. අවසාන විසඳුම සොයාගත යුත්තේ විද්‍යාත්මකව මේ ගැටලුව අධ්‍යයනය කළ අයගේ සහභාගීත්වයෙනුයි. ඒ වගේම අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයකුත් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරවන්නට මම පොරොන්දු වෙනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා ඔබේ ආරක්ෂාව අපි අපේ වගකීමක් කරගන්නවා.

අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ වසර 5ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිfදාස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක් සේවය කළානම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් - අතමිට සරු හෙටක් අපි සහතික කරනවා. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් අපි ගොඩනගනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බරවිය හැකි සෞභාග්‍යවත් දේශයක් අපි පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යවත් රට ගොඩනගන්න ඔබේ සහාය මට ලබා දෙන්න. මව්බිමට ජය වේවා.”
 
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:
අද මේ මංගල වේදිකාවට අපි ඇවිත් සිටින්නේ ශ්‍රීලනිපයේ සුබපැතුම් අරගෙනයි. අපි අතර බහින්බස්වීම් තිබුණත් ඒ සියලු බේද අමතක කරලා නොවැම්බර් 17 වෙනිදාට රටේ අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්න අපි තීන්දු කළා. අපි දෙගොල්ලේ දෙපැත්තකට වෙලා සිටින අවස්ථාවේ වාමාංශික ජනතාව අපේ එකතුව බලාපොරොත්තු වුණා. ඒ එකතුවේ මංගල රැලියයි මේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න අවශ්‍ය ඇයි කියන දේ ගැන හිතුවා. එතුමා රට හදන්න, අනාගතය වෙනුවෙන් කරන යෝජනා අපි දැක්කා. ශ්‍රීලනිප අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය තහවුරු කිරීමයි. ශ්‍රීලනිපය රටට සේවය කරපු පක්ෂයක්. ජාති බේද නැති පක්ෂයක්. අපි මේ සමගියත් සමග නැවත වතාවක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිපය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි: “යුද්ධය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් වැනි බෝම්බකරුවන් රටින් තුරන් කර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා.
 
ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාරයක් සහිත නගරයයි මේ. අනුරාධපුරයේ වකුගඩු රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒ අපි පාවිච්චි කරපු වස විසයි. වස විසෙන් තොර ආහාර නිෂ්පාදන යුගයක් කරා ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.”

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:  ජය සමරන්න 16 වැනිදා වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජය තහවුරුයි. 11 වැනිදාට ඇල්පිටියේ ජනතාව 16 වැනිදා ජයේ පෙරවදන ලියනවා. මේ අපි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියේ. කෘෂිකාර්මික රටකට පණ දුන්න රට රැක්ක මිනිස්සු රැක්ක භූමියකයි අපි ඉන්නේ. හැම අතින්ම අසරණ වූ රටට ප්‍රතාපවත් නායකයෙක් ඉල්ලා සිටිනවා.
 
රටේ දුප්පත්බව අඩු කරලා පරිගණක සාක්ෂරතාව වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා රට දියුණු කළා. එදා මහින්ද-ගෝඨාභය සුසංයෝගය රටට තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම් දුන්නා. දරුවන්ට නිදහසේ පාසල් යන්න පරිසරය හැදුවා. 2006න් පස්සේ රටේ විශාලම ප්‍රශ්නයට පිළිතුරු දුන්න විදියටම මේ සුසංයෝගයට අද රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්. අන්තවාදයට එරෙහිව නායකත්වය දෙන්නෙත් මේ සුසංයෝගයයි. මහින්ද-ගෝඨා සුසංයෝගය අපේ රටේ අනාගතයයි.”

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරුමණේ නායක වාසුදේව නානායක්කාර මහතා:“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයෙන් අරඹන දවසයි අද. ප්‍රේමදාස මහතා ක්‍රමානුකූලව විකාර රූපයක් බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය මහතා රටේ තීන්දුකාරයා වෙමින් තිබෙනවා. ප්‍රේමදාස මහතා නොයෙකුත් දේ කියනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවාලු. ආර්ථිකය 1.6 දක්වා පහළ දැමූ අයයි මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රේමදාස මහතාගේ ජවනිකාව හුදු විකාර රූපයක් පමණයි කියන කාරණය.
ඔබ ගෝලීයකරණය ගැන අහලා තියෙනවා. අපේ රටවල සම්පත් පැහැර ගන්න අධිරාජ්‍යවාදීන් තල්ලුකරලා එවපු දෙයක් මේ ගෝලීයකරණය කියන්නේ. මේ නිසා අපේ දේශීයත්වය පිළිකන්නට ගියා. දේශප්‍රේමී නායකත්වය පහළට වැටුණා. අපෙන් වුණු අඩු පාඩු හදාගෙන අලුත් මිනිසෙක් ඉදිරියට ගෙන එන අලුත් පරිච්ඡේදයක් ලියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ රටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කරනකොට මේ අය පිටරටින් සෞභාග්‍යය ගේන්න පුළුවන් කියලා හිතනවා. අපේ දේශීය සම්පත් රැකගනිමින් අපේ උරුමයන් රැකගැනීමට අපි සියලු දෙනාම කැපවෙමු.”

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා:
“අනාගත ලංකාව වෙනුවෙන් කරන දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන වගේම ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් දුන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. එජාපය අපේ රටේ නිදහස, ස්වාධීනත්වය වික්කා. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා දේශපාලනයට පළිගැනීම ගෙනාවා. ජනතා විරෝධී අණපනත් 14ක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔබේ ඉඩම් පවා අහිමි කරන ඒ පනත් වැළැක්වීමට කටයුතු නොකළ සජිත් පරාජය කිරීමේ යුතුකම ඔබට තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ඇරඹෙන්නේ නව යුගයකට, බලාපොරොත්තු සුන් වූ රටකට යෝධ සවියක් වෙමින් ජනතාවගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ගමනයි. මාතෘ භූමියට ජයවේවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. චන්ද්‍රසේන මහතා:
“මේ වේදිකාව හදන අවස්ථාවේ කිව්වා සෙනඟ පුරවා ගන්න බැරි වෙයි කියලා වේදිකාව ඉදිරියට ගන්න කිව්වා. ඒත් මම විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාව නිසා මේ පිට්ටනිය ජනතාවගෙන් පිරෙන බව. මේ ටිකේම වැස්සා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාවට අද වැස්ස නතර වුණා. වසර 5ක් විනාශ වුණ රට ගොඩනගන්න රජෙක් බිහි වෙනකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් අවසන් කරලයි ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදුන්නේ.”
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙයාන් සේමසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, අනුරාධපුර නගරාධිපති එච්.සී. සෝමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, වෘත්තීය සමිති නායක බන්දුල සමන්කුමාර, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අඹේපොල, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම, මහත්මීහු ද රැලිය ඇමතූහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (4)

’’ගොවිතැන තරුණ පරපුරට ආඩම්බර වෘත්තියක් කරනවා’’

kamal Thursday, 10 October 2019 09:22 AM

ගොවිතැන තරුණ පරපුරට ආඩම්බර වෘත්තියක් කරනවා නම් ඉස්සෙලම අයියගේ පුතුනුවන්ව ගොවියන් කරලා පෙන්නන. ඡන්ද උන විකාරේන කියන ඒවා නේද මේ?

:       59       15

Chathuri Thursday, 10 October 2019 11:15 AM

අපිට ඡන්දෙ දෙන්න වතුර දෙන්නම්ලු... මේක පුදුම කතාවක්නේ... රටේ නායකයා එන්නේ ජනතාවගේ අවශ්‍යතා සපුරන්න. මිසක් වෙන මොනවටද? මියගිය සොහොනට මිලියන ගණන් වියදම් කෙරුවේ. ජනතා, මුදල්, දැන් ජනතාව ළඟට ගිහින් කියනවා ඡන්දෙ දෙන්න වතුර දෙන්න. මල්ලි තරුණ කට්ටිය ගොවියෝ කරන්න යනවා.. ගොවියෝ වෙන එක හොඳයි... ඒත් ඉන්න ගොවියන් වහබොනවා... ණය ගෙවාගන්න බැරිව..! ඇළ දොළ හිඳිලා, විශ්‍රාම වැටුපක් නැහැ එක ගොවියෙකුට, ඵලදාව විකුණගන්න ක්‍රමයක් නැහැ. නමුත් නායකයන් පොඩි උණක් හැදුණත් යන්නේ පිට රට රෝහලට... තරුණ කට්ටිය, ගොවියන්, බේබිලා තුන්දෙනා නූගත්කමට ඉන්නේ රජයේ ඉහළ පුටුවල , තරුණයන් වහ බීලා මැරුණම, නාමල් බේබි ජනපති කරන්න ලේසිනේ..., රාජපක්ෂලයි, පොහොට්ටු නඩෙයි ගොවියෝ වුණා නම් හොඳයි. උගත් තරුණයින් ගොවියන්, මෝඩ රැළ ඉහළ පුටුවලට...

:       3       3

විජිත් Thursday, 10 October 2019 01:35 PM

අපි බලාගෙන ඉමු චතුරි, ශ්‍රී ලංකාවේ ජිවත්වන මෝඩ අඳ බාලයින් කී දෙනෙක් මේ දුෂිතයින්ට ඡන්දය දේවිද කියලා.......

:       0       17

ravinThursday, 10 October 2019 02:04 PM

විජිත්, මේගොල්ලෝ කියන බයිලා අහන්නේ බයියෝ විතරයි දැන්. දැන් මිනිස්සුන්ට ඇත්ත තේරිලා. එයාලත් එකයි මෙයාලත් එකයි කියලා තමයි මිනිස්සු කියන්නේ. යුද්දෙට බයේ රට දාලා පැනලා ගිය කෙනා අද වීරයා වගේ කතාකරන්නේ. තව නඩු නමයක් තියෙනවා මහත්තයෝ.

:       60       27

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 132 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1174 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site