IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඒ ගොල්ල එකතු වුණා කියලා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ

රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කොහොමද? ජයග්‍රහණය සම්බන්ධයෙන් තබා ඇති බලාපොරොත්තු මොනවාද? මේ ඒ ගැන විමසමින් රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය : කොහොමද මැතිවරණ ව්‍යාපාරය?   


මැතිවරණ ව්‍යාපාරය බොහොම සාර්ථකව යනවා. ජනතාව ඉල්ලපු අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ලැබුණා. අද මම දන්නවා හැම තරාතිරමකම ජනතාව, තරුණ පරපුර, ගමේ ජනතාව, නාගරික ජනතාව, ගොවියෝ, ධීවරයෝ, කම්කරු පංතිය, උගතුන්, වියතුන්, බුද්ධිමතුන් සියලු දෙනා බොහොම උද්යෝගයෙන් පෙරට ඇවිත් තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂයත් එක්සත් ජාතික පෙරමුණත් අනුබද්ධ සියලු සංවිධානත් ඉතාම උනන්දුවෙන් මැතිවරණ සටනට අවතීර්ණ වෙලා ඉන්නවා.   


ප්‍රශ්නය : සජිත් ඉල්ලන සටන ජයගත්තා වගේම ජනාධිපති සටනෙනුත් ජය ගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?   


අනිවාර්යයෙන්ම අපි මේ ජනාධිපතිවරණය ජය ගන්නවා. අද මේ රටේ ජනතාවට අමුතු දේශපාලන උත්තේජනයක් ඇති වෙලා තියෙනවා. ලොකු ඕනෑකමක් ඇතිවෙලා තියෙනවා. 1977 න් පස්සේ යූ.එන්.පී.කාරයා හොඳට කෙළින් වෙලා, නැගිටලා වැඩ කරන මැතිවරණය තමයි මේක.   


ප්‍රශ්නය : යූ.එන්.පී. කාරයෝ එහෙම වුණාට යූ.එන්.පී. නායකයෝ කොහොමද? ඔවුන්ගෙනුත් පූර්ණ සහයෝගය ලැබෙනවාද?   


අනිවාර්යයෙන්ම. පක්‍ෂ නායකයන් බොහොම එකමුතුව සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් වැඩ කරනවා. මම ගරු අගමැතිතුමාටත් ඒ සම්බන්ධයෙන් මගේ ස්තූතිය පිරිනමනවා. එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්‍ෂකත්වය දුන්නා වගේම අද මැතිවරණ ව්‍යාපාරයට එතුමා නායකත්වයත් දෙනවා.

   
ප්‍රශ්නය : ඔබ එහෙම කිව්වත් සජිත් නාමයෝජනා බාර දෙන අවස්ථාවට පක්‍ෂ නායක රනිල් හෝ පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් එහෙම ආවේ නෑ.   


නාමයෝජනා බාර දෙන තැනට ඒ වෙලාවේ නොහිටියාට ඒ වෙලාවෙත් අපේ නායකයෝ එයට අදාළ වැඩපල සාකච්ඡාවල තමයි හිටියේ. ඉතින් මම ගියේත් නැහැනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්‍ෂකත්වය අරන් දෙන්න කරපු සටනේ ඉදිරියෙන්ම හිටපු මම, රවීන්ද්‍ර සමරවීර, තලතා අතුකෝරළ අපි කවුරුවත් එතැනට ගියේ නෑ. අපි හිටියේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේම වෙනත් වැඩවල.   


ප්‍රශ්නය : පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත වහලා. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ වොක්ෂෝල් වීදියෙ කාර්යාලයක.   


නෑ. අපි තාමත් ඉන්නේ සිරිකොතේ. සිරිකොතේ ඉඳලා තමයි අපි මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ. පක්‍ෂ යාන්ත්‍රණය, පක්‍ෂයේ සංවිධානාත්මක වැඩපිළිවෙළ තියෙන්නේ සිරිකොතේ. වොක්ෂෝල් වීදියේ ඔය අනුබද්ධ සංවිධානවල වැඩ කටයුතු වගේම ප්‍රචාරක මෙහෙයුම් වගේ ඒ කටයුතු කෙරෙනවා.   


ප්‍රශ්නය : සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්‍ෂකත්වය දුන්නේ අන්තිම මොහොතේ. එහෙම දුන්නෙත් නොදී බැරිකමට?   


අපේ පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්. ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් නිසා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඇත්තටම මේ පාර අපේක්‍ෂකයෝ තුන්දෙනෙක් ඉදිරිපත් වුණා. නමුත් ජනතා හඬට ඇහුම්කන් දීලා ජනතාවගේ ඉල්ලීමට අවනත වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේක්‍ෂකයා කරලා තියෙනවා. පොහොට්ටුවේ එහෙම නොවෙයිනේ. පොහොට්ටුවේ පවුලෙන් පිට අපේක්‍ෂකයෙක් නෑ. එතැන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? ගෝඨාභයට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන කොට චමල් ගිහිල්ලා ඇප බඳිනවා. මහින්ද රාජපක්‍ෂ පිටිපස්සේ ඉන්නවා. චමල්ට ප්‍රශ්නයක් වුණොත් ඒත් ඉදිරිපත් කරන්නේ තවත් රාජක්‍ෂ කෙනෙක්. රාජපක්‍ෂලාට පිටින් කෙනෙකුට අවස්ථාවක් පොහොට්ටුවේ තියෙනවාද? කෝ ප්‍රජාතන්ත්‍රවාදය? අපේ පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. පොහොට්ටුවේ තියෙන්නේ පවුල්වාදයයි.   


ප්‍රශ්නය : ජනාධිපති මෛත්‍රී එක්කත් සජිත් ප්‍රේමදාස සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡා අසාර්ථක වුණා?   


මෙහෙමනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහයෝගය ගන්න මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ මහත්වරු තුන්දෙනාම ජනාධිපතිතුමා හමුවුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ බය වුණා සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්‍ෂකත්වය ලැබුණාම. ඒගොල්ලො දැන් දන්නවා අපේ අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස වුණාම ඒගොල්ලන්ට දිනන්න බැහැ කියලා. ඒ නිසානේ රාජපක්‍ෂ සහෝදර සමාගමම ගිහින් ජනාධිපතිතුමාව මුණ ගැහෙන්නේ. ඊට කලින් එහෙම ගියේ නෑනේ. දැන් බයට ගිහින් සහයෝගය ඉල්ලනවා.   
ප්‍රශ්නය : මගේ ප්‍රශ්නය වුණේ මෛත්‍රී - සජිත් සාකච්ඡා බිඳ වැටීම ගැනයි?   


මැතිවරණයක දී එහෙමනේ. අපි බලනවා කාගේ සහයෝගය ද ගන්න පුළුවන් කියලා. එහෙම බලලා ඒ අයත් එක්ක සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක්. දැන් මෙතැන දී ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉල්ලනවා. ජාතික හෙළ උරුමය ඉන්නේ අපිත් එක්ක. දෙමළ පක්‍ෂ වගේම මුස්ලිම් පක්‍ෂ මේ සියල්ලම අද ඉන්නේ අපිත් එක්ක. ඔවුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න කැපවෙලා කටයුතු කරනවා. අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රටේ සෑම ජන කොටසකටම පිළිගන්න පුළුවන් තරාතිරමේ භේදයක් නැති නායකයෙක්.   


ප්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොහොට්ටුව එක්ක එකතුවීම ඔබලාට අභියෝගයක්?   


මේ දෙගොල්ලොම එකට එකතු වෙලානේ ගිය පාර මහ මැතිවරණයට ඉදිරිපත් වුණෙත්. ඒත් අපි ඒ මැතිවරණය ජයග්‍රහණය කළා. දැන් ඒ කණ්ඩායමෙනුත් පිරිසක් මේ වෙනකොටත් අපිට ඇවිල්ලා ඉන්නවා. තව කණ්ඩායමක් හෙට අනිද්දා එන්න ඉන්නවා. ඒ නිසා ඒ ගොල්ලො එකතු වුණා කියලා අපට කිසිම ප්‍රශ්නයක් නෑ.   
ප්‍රශ්නය : පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් රටේ තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂට තියෙන ඉල්ලුමත් එ්කමයි?   
එහෙමනම් මට කියන්න... ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ආරක්‍ෂක ලේකම් කාලේ යුද හමුදා මූලස්ථානය ඇතුළටම ඇවිත් හමුද‌ාපති සරත් ෆොන්සේකා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ කොහොමද? මෙයා ආරක්‍ෂාවට විශේෂඥයෙක් නම් මෙයා ආරක්‍ෂක ලේකම් යුද හමුදා මූලස්ථානය ඇතුළටම ඇවිත් හමුද‌ාපතිවරයටම බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂටම පිත්තල හන්දියේ දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ම මහ පාරේ මරලා දැම්මා. මතක තියාගන්න, ඒ කාලේ රටේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, රටේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ.   


ප්‍රශ්නය : එහෙම තිබ්බ රට තමයි රාජපක්‍ෂවරුන් බේරලා දුන්නේ?   


ඒක මේ කාගෙවත් පෞද්ගලික ප්‍රාතිහාර්යයක් නොවෙයි. ත්‍රිවිධ හමුද‌ාවේ පොලීසියේ වීරෝද‌ාර සෙබළුන්ගේ කැපවීම තුළ ලැබුණු ජයග්‍රහණයක්. මම කියන්නේ ඒකයි. මේ අය ආරක්‍ෂාවට විශේෂඥයෝ නම් කොහොමද එහෙම වුණේ.   


ප්‍රශ්නය : නමුත් පාස්කු ප්‍රහාරයෙන් ඔප්පු වුණේ මේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්‍ෂාව අයාලේ ගිය බවයි?   


පාස්කු ප්‍රහාරය ගත්තොත් ඒක අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක්. ලෝකයේ රටවල් 21ක අනූපස් පොළකට ප්‍රහාර එල්ල වුණා. ස්කොට්ලන්යාඩ් පොලිසිය, ලෝකයේ බලගතුම පොලිසිය. ඒ පොලිසිය තියෙන එංගලන්තයෙත් බෝම්බ පිපුරුවා. ප්‍රංශයේ ලෝකයේ ලොකුම පැරැණිම දේවස්ථානයේ බෝම්බ පිපුරුවා. ඉතින් මේ තත්ත්වය ජාත්‍යන්තර තත්ත්වයක්. ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රට දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා.   


ප්‍රශ්නය : පාස්කු ප්‍රහාරයට තවමත් වගකීම බාර ගන්න කෙනෙක් නෑ.   


ඒ වගකීම බාර ගන්න ඕනෑ කවුද කියලා රටේ ජනතාව දැන් දන්නවා. එක්සත් ජාතික පක්‍ෂය නොවෙයි ඒ වගකීම බාර ගන්න ඕනෑ. වගකීම බාර ගත යුත්තේ කවුද කියලා රටේ ජනතාව දන්නවා. ඒ කවුද කියලා මම මෙතැන කියන්න යන්නේ නෑ. කොහොම වුණත් අද රට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා. ලෝකයේ වැඩියෙන්ම ධනපතියන් ඉන්නා බෝරා ප්‍රජාවේ ආගමික උත්සවය ලංකාවේ තිබුණේ. මේ රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තවත් සහතික මොකටද? ලෝක සංචාරක ආයතනය ලංකාව ලෝකයේ හොඳම ගමනාන්තය කියලා ප්‍රකාශයට පත් කළා. මං අහන්නේ ආරක්‍ෂාවට ගෝඨාභය හොඳයි කියලා කියන්නේ නැවතත් යුද්ධයක් එනවා කියලා හිතාගෙන ද? ඉතින් අපි යුද්ධයක් ගෙනල්ලා ඒ යුද්ධය පවත්වාගෙන යනව ද? ජාතික සමගිය ඇති කරලා මේ රටේ යුද්ධයක් නැතිව රට ආරක්‍ෂා කරනව ද කියන සටනේ අපි ඉන්නේ.   

 

  • පහුගිය ජනාධිපතිවරණ දිහා බැලුවොත් චන්ද්‍රිකා කුමරතුංග මැතිනිය ජනාධිපතිවරණයට ඉල්ලනකොට පක්‍ෂ නායකත්වයෙ හිටියෙ සිරිමාවෝ මැතිනිය. මහින්ද රාජපක්‍ෂ මහත්තය ඉල්ලනකොට පක්‍ෂ නායකත්වයේ හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ප්‍රේමදාස මහත්තයා ඉල්ලුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පක්‍ෂ නායකත්වයේ ඉන්නකොට. වැඩිය ඕන් නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේ කඳවුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපේ කඳවුරේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා.


ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ආරක්‍ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනැම දෙයක් කිරීමේ නිදහස දීම?   


නෑ. අපි ආරක්‍ෂාව සැහැල්ලුවෙන් අරගෙන නෑ. නමුත් ජාතික ආරක්‍ෂාවයි කියලා තෝරාගත්ත ජාතිකයන්ට පීඩාවක් එල්ල කරන්නෙත් නෑ. ජාතික ආරක්‍ෂාව කියන්නේ කාව හරි පීඩාවට පත් කිරීමක් නම් මම ඒක ජාතික ආරක්‍ෂාව කියලා පිළිගන්නේ නෑ. හැම කෙනෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ පරිසරය තිබිය යුතුයි. මම මේ රටේ හිටපු නීතිය හා සාමය ඇමැතිවරයා. මේ රටේ අද අපරාධ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. මිනී මැරුම් අඩුවෙලා තියෙනවා. ළමා අපචාර අඩුවෙලා තියෙනවා. ස්ත්‍රී දූෂණ අඩුවෙලා තියෙනවා. මංකොල්ලකෑම අඩුවෙලා තියෙනවා. ඒවත් ජාතික ආරක්‍ෂාවෙම අංග නේද? ඒ කාලේ කුඩු වෙළෙඳ‌ාම කළේ ආණ්ඩුවේ හිටපු කට්ටිය. ඔය ඔබ කියන අයට සම්බන්ධ කට්ටිය. අද කුඩු අල්ලන එක වැඩිවෙලා තියෙනවා. ඒ කාලේ අල්ලපු ලොකුම කුඩු තොගය කිලෝ 300යි. අද කුඩු කිලෝ 1100ත් 1200ත් අල්ලනවා. ඒකත් ජාතික ආරක්‍ෂාවෙම පැතිකඩක් නේද?   


ප්‍රශ්නය : මෙවර ඡන්දෙදි දෙවැනි මනාපයටත් වැඩි සැලකිල්ලක් තියෙනවා. කොහොමද මේ කඩුල්ල පනින්න හිතාගෙන ඉන්නේ?   


මේ රට බුදු දහම ප්‍රමුඛ කරගත් සිංහල ජාතිය ප්‍රධාන කරගත් සියලු ජාතීන් ජීවත්වන රටක්. අපේ පක්‍ෂය මුල ඉඳලම එතැන හිටියේ. ඒ නිසා සිංහල බෞද්ධ ඡන්ද ප්‍රධාන කරගත් අනෙකුත් සියලු ජාතීන්ගේ සහයෝගයෙන්, ආශිර්වාදයෙන් ඔය ඔබ කියන කඩුල්ල අපට පහසුවෙන්ම පනින්න පුළුවන්. ඒක කරන්නත් පුළුවන් වෙන්නේ අපේ එක්සත් ජාතික පෙරමුණට විතරයි. දැන් බලන්න අපේ එක්සත් ජාතික පෙරමුණ දිහා. සිංහල බෞද්ධ පදනම තියෙන ජාතික හෙළ උරුමය ඉන්නේ අපිත් එක්ක. රාජිත සේනාරත්න වමේ පතාක යෝධයෙක්. හකීම්, රිෂාද් බදියුදීන්, දිගම්බරන්, මනෝ ගනේෂන් මේ සියලු දෙනාම ඉන්නවා. ඉතින් මේක තමයි ජයග්‍රහණය.   


ප්‍රශ්නය : පොඩි පක්‍ෂවල සහාය ගන්න ඒ පොඩි පක්‍ෂවල ලොකු කොන්දේසිවලට යටත් වෙන්නත් වෙනවා?   


කිසිම කොන්දේසියක් ද‌ාලත් නෑ. ද‌ාන්නෙත් නෑ. එහෙමනම් 2010 දී හකීම්ලා, බදියුදීන්ලා සහයෝගය දුන්නේ කොන්දේසි ද‌ාලද? ඇයි ඒ දවස්වල කොන්දේසි තිබ්බේ නැද්ද? ඇයි අපෙන් විතරක් කොන්දේසි ගැන අහන්නේ?   


ප්‍රශ්නය : දෙමළ ජාතික සන්ධානය තවම ශබ්දයක් නෑ?   


දෙමළ ජාතික සන්ධානය කවදාවත් ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දෙන්නේ නැහැ. උතුරේ දෙමළ ජනතාව ඒ තීන්දුවේ ඉන්නේ. දෙමළ ජනතාව විශ්වාසය තියන්නේ ජාතික සමගිය ආරක්‍ෂා කරන කඳවුරට. ජාතිවාදය ඔවුන් ප්‍රතික්‍ෂේප කරනවා වගේම ජාතිවාදය වපුරන කඳවුරට විරුද්ධයි. පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය බැලූ බැල්මට පෙනෙනවා ඔවුන් ජාතිවාදය වපුරනවා කියලා. ඔවුන් ජාතිවාදය මත පදනම් වෙලා ඉන්නේ කියලා. අපි ජාතික සමගිය ආරක්‍ෂා කරන පක්‍ෂයක්. අපි යුද්ධෙන් පාඩම් ඉගෙන ගත්ත රටක්. එහෙමනම් ජාතික ආරක්‍ෂාව ජාතික සමගිය තිබිය යුතුයි. ජාතික සමගිය තුළින් ජාතික ආරක්‍ෂාව ඇති කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය.   


ප්‍රශ්නය: ෆෙඩරල් ව්‍යවස්ථාව, කලාප, සභා වගේ රට බෙදන කාරණා ඔය අතරේ හැංගිලා නෑ?   


කිසිසේත්ම නෑ. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ. අපි ඒකීය රටක් තුළ බලය බෙදීම ගැන තමයි අපේ පක්‍ෂය දිගින් දිගටම කතා කළේ. අපේ පක්‍ෂයේ ප්‍රතිපත්තිය ඒකයි. 

 
ප්‍රශ්නය : ඔබ පක්‍ෂ ප්‍රතිපත්තියක් ගැන කතා කළත් සජිත් ප්‍රේමදාස තවමත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලත් නෑ.   .


අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන යනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉක්මනින්ම ඉදිරිපත් කරනවා. මේ වෙනකොටත් එතුමා එතුමාගේ ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, නිවාස ප්‍රතිපත්තිය, තරුණ ප්‍රතිපත්තිය, කාන්තා ප්‍රතිපත්තිය, ඒ වගේම ගොවි ප්‍රතිපත්තිය, ධීවර ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. ඒවා අපි ලිඛිතව ළඟදීම ඉදිරිපත් කරනවා.   


ප්‍රශ්නය : සජිත් ප්‍රේමද‌ාස කතා කරන්නේ සහනාධාර දීම ගැන මිසක් නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන කතා කරන්නේ නෑ කියලත් චෝදනාවක් තියෙනවා?   


සහනාධාර දීලා දුප්පත් ජනතාවගේ ඡන්දය ගත්තේ ඔය කතා කරන රාජපක්‍ෂලානේ. සහනාධාර දිය යුතු මිනිහාට සහනාධාර දිය යුතුයි. ඒක වරදක් ද?   


ප්‍රශ්නය : ගෝඨාභය රාජපක්‍ෂ අභියෝගයක් තර්ජනයක් නොවේ නම් මොකටද නඩු දාලා ඔහුගේ ගමන වළක්වන්න උත්සාහ කළේ?   


නෑ. අපි නඩු දැම්මෙත් නෑ. අපි ද‌ාන්නෙත් නෑ. සිවිල් සමාජයයි නඩු ද‌ාලා තියෙන්නෙ. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා නීතියට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අධිකරණයට යන්න. දැන් බලන්න අධිකරණයේ ස්වාධීනත්වය. ඉස්සර ඔය වගේ තීන්දුවක් දුන්නා නම් අග්‍රවිනිශ්චයකාරයා ගෙදර යවනවා. එහෙමනේ. අපි එහෙම කළේ නෑ. මහින්ද රාජපක්‍ෂ දැන් කියනවනේ නීතියේ සාධාරණත්වය දැන් තියෙනවා කියලා. ඒනිසා එහෙම නඩු ද‌ාන්නත් අයිතිය තියෙනවා. නීතියට එකඟව තීන්දු දීමේ ස්වාධීනත්වය අධිකරණයටත් තියෙනවා.   


ප්‍රශ්නය : අපි නඩු දැම්මෙත් නෑ. අපි දන්නෙත් නෑ කියලා ඔබ කිව්වත් ඇමති රාජිත සේනාරත්න ප්‍රසිද්ධියේ කිව්වා “අපේ දෙන්නෙක් තමයි නඩු දැම්මේ” කියලා?   


කවුරු නඩු දැම්මත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි නම් ඒකට සම්බන්ධ නෑ. ඒක මම වගකීමෙන් කියනවා, මම මුලින් කිව්වා වගේම නීතියට පිටින් කවුරුහරි කටයුතු කරනවා නම් ඒකට එරෙහිව අධිකරණයට යන්න මේ රටේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා. දැන් ඔය පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා තියෙනවනේ. ඇත්තම කතාව ඒකනේ. එතුමා ඇමෙරිකන් පුරවැසියෙක්නේ. මං අහනවා ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ ඉන්නේ නැතිව මේ රටේ පුරවැසිභාවය අයින් කරලා ඇමෙරිකාවේ පුරවැසියෙක් බවට දිවුරුම් දීලා, ඇමෙරිකාව රකින බවට, ඒ ආගම රකින බවට දිවුරුම් දීලා එක එක වෙලාවට පාට මාරු කරන්නේ ඇයි කියලා?   


ප්‍රශ්නය : ඔය සම්බන්ධයෙන් ඔබලා ඉදිරියටත් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවාද?   


මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා ඒකට. නමුත් පක්‍ෂයක් විදියට අපි ඒක කරන්නේ නෑ. නමුත් රටේ ජනතාවට අයිතිය තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.   


ප්‍රශ්නය: මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් 35ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මොකද හිතන්නේ?   


ඒක කොහොමත් වැඩියි. සටන තියෙන්නේ අපේක්ෂකයන් කිහිපදෙනක් අතර විතරනේ. ප්‍රධාන සටන තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතරයි. තව ඕන නම් අපේක්‍ෂකයන් එක්නෙකෙක් දෙන්නෙක් ඉඳියි ලක්‍ෂයක් විතර ගන්න. අතින් අය නිකම්ම නිකන් නාමිකව ඉදිරිපත් කරපු අය. ඒක තේරුමක් ඇති වැඩක් නොවෙයි.   


ප්‍රශ්නය: ඡන්ද සටන හරියට මෙහෙයවන්න නම් සජිත් ප්‍රේමදාසට පක්‍ෂ නායකත්වයත් හිමිවිය යුතුයි කියලා අදහසෙ ඔබ ඉන්නේ?   


මෙහෙමයි. පහුගිය ජනාධිපතිවරණ දිහා බැලුවොත් චන්ද්‍රිකා කුමරතුංග මැතිනිය ජනාධිපතිවරණයට ඉල්ලනකොට පක්‍ෂ නායකත්වයෙ හිටියෙ සිරිමාවෝ මැතිනිය. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඉල්ලනකොට පක්‍ෂ නායකත්වයේ හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ප්‍රේමදාස මහත්තයා ඉල්ලුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පක්‍ෂ නායකත්වයේ ඉන්නකොට. වැඩිය ඕන් නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේ කඳවුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපේ කඳවුරේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙමනම් ඇයි මේ සැරේ විතරක් ඒක වෙනස් කරන්නේ?   


ප්‍රශ්නය : පොහොට්ටුව නම් කියනවා “අපේ අගමැති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ” කියලා. කවුද ඔබලාගේ අගමැති අපේක්‍ෂකයා?

   
මහින්ද රාජපක්‍ෂ මහත්තයට ලජ්ජා නැද්ද දෙපාරක් ජනාධිපති වෙලා ඉඳලා අපහු අගමැති වෙන්න හදන්නේ? රාජපක්‍ෂ පවුලෙන් පිට අය නැත්ද මෙතැනට? අපි නියම වෙලාවට ඒක කියන්නම්. අනික මේක මහ මැතිවරණයක් නොවෙයිනේ. මේක ජනාධිපතිවරණයක්නේ?   


ප්‍රශ්නය : “අපේ අනාගත අගමැතිත් රනිල් වික්‍රමසිංහ” කියලා කියන්නේ නැත්තේ අකමැති නිසා ද? භයට ද?   


නෑ. කිසිම අකමැත්තක් නෑ. භයකුත් නෑ. එතුමාටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. ඒ මැතිවරණය ආවම අපි ඒ අයිතිය ගැන කතා කරමු.   


ප්‍රශ්නය: ජනාධිපතිවරණයෙන් සජිත් දිනුවත් රට කරවන්නේ අගමැති හැටියට රනිල් කියලත් කතාවක් තියෙනවා?   


ඔය ඔහොම කියන අය ඔහොම කියන්නේ අපේ මැතිවරණ ව්‍යාපාරයට බලපෑම් කරන්නනේ. අනේ මහත්තයෝ එහෙම කරන්න හොඳ නෑනේ. මාධ්‍ය එහෙම කරන එක හරිම නෑනේ.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ඒ ගොල්ල එකතු වුණා කියලා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1075 6

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 52 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 431 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 924 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 118 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site