IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආරක්ෂක අංශ පරීක්ෂණ කරගෙන ගිය නිසා අපි වැඩිය හොයා බැලුවෙ නෑ

වනාතවිල්ලුවේ පුහුණු කඳවුර ගැන පරීක්ෂණ නතර කරන්න කීවේ කවුද?

ඇමැති රිෂාඩ් බදියුදීන් පිළිතුරු දෙයි

 

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති 
රිෂාඩ් බදියුදීන්

 

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නිතර නම කියැවෙන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

• ප්‍රශ්නය - අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ඔබට අනුව මොකද්ද? 


පිළිතුර - ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. අපේ මව්බිමට වෙච්ච ඉතාම වේදනාබර ඛේදවාචකයක්. ඒ ගැන තාම වේදනාවෙන් ඉන්නේ. අපේ රටට ඇයි එහෙම වුණේ කියලා හිතන්නවත් බෑ. මුස්ලිම් කොල්ලෝ ටිකක් මේකට සම්බන්ධවීම නිසා තවත් අපට වේදනාවක්. මුස්ලිම්වරුන් වෙනුවෙන් මමත් ලැජ්ජා වෙනවා අපේ ආගමේ නාමයෙන් මේ වගේ අපරාධයක් කිරීම ගැන. අපේම පුරවැසියන්ට අපේ රට බලන්න ආපු අපේ රටට උදව් කරන්න ආපු විදේශිකයන්ට ඇයි මේ වගේ අපරාධයක් කළේ කියලා ඇත්තටම හිතා ගන්න බෑ. මේක ම්ලේච්ඡ ත්‍රස්තවාදයක්. 


• ප්‍රශ්නය - ඔය ඔබ කියන විදියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධාන ඔබේ මුස්ලිම් සමාජය තුළින් පැන නගින්නේ කොහොමද? ඒකට පසුබිමක් තියෙනවද? 


පිළිතුර - ඇත්තටම ඔබ දන්නවා ඉතිහාසය ගත්තොත් 1971දී සිංහල සහෝදරවරු කැරැල්ලක් ගැහුවා. 87-90 කාලයේදීත් සිංහල තරුණයෝ කැරැලි ගැහුවා. 83 දී දෙමළ තරුණයෝ ත්‍රස්තවාදයට ගියා. ඒ හැම වේලාවකදීම මුස්ලිම් සමාජය ඒ ත්‍රස්තවාදය පැත්තේ නොවෙයි හිටියේ. ඒ ගොල්ලෝ හිටියේ ආණ්ඩුවත් එක්ක. රටත් එක්ක. ඒ නිසා අපි හිතුවේ නෑ මුස්ලිම් කොල්ලෝ කවදාහරි මේ පැත්තට යයි කියලා. 


මේ ඔක්කොම අය උගත්, පිටරටවල ඉගෙන ගත්ත සල්ලි තියෙන අය. එයාලගේ ඔළු හදලා තියෙන්නේ වෙන විදියකට. ඔක්කොම සම්පත් තියෙන බබාලා ඉන්න නෝනලා ඉන්න රස්සා තියෙන අය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. අයිඑස්අයිඑස් වගේ ලෝක ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක මේගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ කණ්ඩායමක් ඉන්නවා කියලා ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ. මේ මරාගෙන මැරුණු කොල්ලන්ගේ අම්මලා තාත්තලා දන්නේ නෑ දරුවෝ මේ වගේ කියලා. ඒ වගේම තමයි. මේ මුස්ලිම් කොල්ලන්ගේ හැසිරීම් පැත්ත. එල්ටීටීඊ කාඩර් කෙනෙක්නම් ගමේ අය දන්නවා. ඒ අයට වෙනම ඇඳුම් තිබුණා. කඳවුරු තිබුණා. මේ කණ්ඩායමේ එහෙම කිසිම දෙයක් නෑ. ඩෙනිම් කලිසම් ඇඳගෙන ගෙදරින් එළියට බැහැලා ගිහින් තමයි මේවා කරලා තියෙන්නේ. සීසීටීවී කැමරා බලනකොට අපිට පුදම හිතෙනවා. කොහොමද මේගොල්ලේ මේක කළේ කියලා. 


• ප්‍රශ්නය - ඔබ කොහොම කිව්වත් මේ වගේ සංවිධානයවීමක් ඔබේ සමාජය තුළ සිදුවෙන බව ඔබ වැනි ඇමැතිවරයකු දැන සිටියේ නෑ කියන කතාව පිළිගන්න පුළුවන්ද? 


පිළිතුර - මෙතැන සම්බන්ධ වෙලා ඉන්න සහරාන් මවුලවි ගැන අර අයිඑස්අයිඑස් එකත් වැඩියෙන් පෙන්වන කතාව ගැන අපේ ආගමේ විද්වතුන්ගේ සංගමය තවුහීත් ජමාත් සංවිධානය අපේ ආගමේ නොවෙයි කියලා කිව්වා. සියලුම මවුලවිතුමන්ලා අපේ ආගමේ විද්වතුන්ගේ සංගමයේ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ විද්වතුන්ගේ සංගමයට මේගොල්ලෝ සම්බන්ධ වෙලා හිටියේ නෑ. ඒත් විද්වතුන්ගේ සංගමයේ මවුලවි සභාපතිතුමා අපේ අසාද් සාලි ආණ්‍ඩුකාරතුමා එක්ක ගිහිල්ලා අපේ ආරක්ෂක ලේකම්තුමා හමුවෙලා එයාගේ කතා ඇතුළත් සී.ඩී. තැටි බාර දුන්නාලු. 


• ප්‍රශ්නය - ඒ කොයි කාලයේදීද? 


පිළිතුර - මට ආරංචි ජනවාරිවල දුන්නා කියලා තමයි. අසාද් සාලි නම් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඉන්න කාලෙත් දුන්නා කියලා. ඒවා ගැන මම දන්නේ නැහැ. 


• ප්‍රශ්නය - ඔබ ඒවට සම්බන්ධ වුණෙත් නැහැ? 


පිළිතුර - නෑ. මවුලවිතුමයි, ආණ්‍ඩුකාරතුමයි තමයි ගියේ. මේගොල්ලෝ අයිඑස්අයිඑස් එකත් එක්ක සම්බන්ධයි කියලා දැනුම් දුන්නා. මම ආරක්ෂක අංශවලට ඇඟිල්ල දිගු කරන්නේ නෑ. ඒත් ආරක්ෂක අංශවලට ඔවුන් අල්ලාගන්න බැරි වුණා. 


• ප්‍රශ්නය - අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වෙනතුරුම ඔබ මේ ගැන මුකුත්ම දන්නේ නෑ? 


පිළිතුර - නෑ... ඇත්තටම දන්නේ නෑ. 

• ප්‍රශ්නය - එහෙම නම් කවුද වනාතවිල්ලුවේ පුහුණු කඳවුර හා ආයුධ ගබඩාව සොයා ගැනීමෙන් පස්සේ ඒ පරීක්ෂණ නතර කරන්න බලපෑම් කළේ? 


පිළිතුර - වනාතවිල්ලුව කඳවුර අල්ලපු දවසේ ඉඳලා මම කාටවත් කතා කරලා නෑ. ආරක්ෂක අංශයට හෝ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කතා කළේ නෑ. ඔය ත්‍රස්තවාදයෙන් හොඳටම බැට කෑවේ මම. 


ඔබ දන්නවා 1990දී එල්ටීටීඊ සංවිධානය ලක්ෂයක් මුස්ලිම් ජනතාව නැගෙනහිරෙන් එක දවසෙන් එළවලා දැම්මා. අපි අවුරුදු ගාණක් කඳවුරුවල දහදුක් විඳපු මිනිස්සු. ඒ විදියට ත්‍රස්තවාදයෙන් බැට කාපු මුස්ලිම් සමාජය නියෝජනය කරන කෙනෙක් මම. ඒ නිසා මම දන්නවා ත්‍රස්තවාදයේ බරපතළකම. 


එ් නිසා මම කවදාවත් ඔය ත්‍රස්තවාදී කල්ලිවලට උදව් කරලා නෑ. වනාතවිල්ලුවේදී අල්ලපු අය අතහරින්න කියලා හරි පරීක්ෂණ නතර කරන්න කියලා හරි කවදාකවත් මම කතා කරලා නෑ. 


• ප්‍රශ්නය - මේ පුහුණු කඳවුර මොකද්ද කියලවත් ඔබ හොයලා බැලුවේ නැද්ද? 


පිළිතුර - ආරක්ෂක අංශ ඒ පරීක්ෂණ කරගෙන ගියා. කිහිප දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. තව ඉතිරි වෙච්ච දෙන්නෙක් ගැන තොරතුරු වාර්තා වුණා. ඒ පරීක්ෂණ ආරක්ෂක අංශ කරගෙන ගිය නිසා අපි වැඩිය හොයලා බැලුවේ නෑ. 


• ප්‍රශ්නය - අන්තවාදී මුස්ලිම් සංවිධාන ගැන ලොකු කතාබහක් සමාජය තුළ තිබුණා. ඔබ ඒ ගැන සංවේදී වුණේ නෑ? 


පිළිතුර - මම කියන්නේ ආරක්ෂක අංශ ඒ පරීක්ෂණ කරගෙන ගිය නිසා ඒ ගැන හොයලා බැලුවේ නෑ කියලයි. නමුත් ඔය ගැන කබීර් හෂීම් ඇමැතිතුමයි මමයි කැබිනට් එකේදී කතා කළා. කබීර් හෂීම් ඇමැතිතුමාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකුට වෙඩි තිබ්බා. ඊට පස්සේ කැබිනට් එකේදී කබීර් හෂීම් ඇමැතිතුමයි මමයි කතා කළා. කබීර් හෂීම් ඇමැතිතුමා කිව්වා මේ වෙලා තියෙන දේවල් භයානකයි කියලා. 


• ප්‍රශ්නය - දෙමටගොඩ මොහොමඩ් ඊබ්‍රහිම් ඔබ අඳුරන්නෙත් නෑ? 


පිළිතුර - ඔහු ලංකාවේ ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්. එයා කොළඹ ට්‍රේඩර්ස් ඇෂෝසියේටඩ් එකේ ප්‍රයිඩන්ට්. එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ට්‍රේඩර්ස්ලා නියෝජනය කරමින් ඒකේ නිලධාරීන් එක්ක ඇවිත් මාව හමුවෙලා සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැටලු මට ඉදිරිපත් කරනවා. මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් එක්ක කතා කරලා තියෙනවා.

 
• ප්‍රශ්නය - අද ඔහු අත්අඩංගුවේ? 


පිළිතුර - ඔව්? 


• ප්‍රශ්නය - ඔබ පිළිගන්නවා ඔහු සමග සමීප සම්බන්ධයක් තිබුණා කියලා? 


පිළිතුර - අර මම කියපු සම්බන්ධය තමයි. ඔවුන්ගේ ව්‍යාපාරික ගැටලු ගැන කතා කරන්න තමයි මාව හමුවෙනවා නම් හමුවෙන්නේ. ඒ වගේම ඔහු මාව අන්තිමට හමුවෙලා තියෙන්නේ 2017 වසරේදී. 


• ප්‍රශ්නය - ඔහුගේ පුතා තමයි ඉන්සාෆ් ඊබ්‍රහිම්? 


පිළිතුර - ඔව්! 

• ප්‍රශ්නය - ඔහු තමයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු? 


පිළිතුර - ඔව්! 

 

මම කවදාවත් මගේ මන්ත්‍රී කණ්ඩායම පෙන්වලා බලපෑම් කරලා නෑ. ඕනෑම නායකයෙක්ගෙන් අහලා බලන්න. අපි දීර්ඝ කාලයක් මහින්ද මහත්තයා එක්ක හිටියා. යුද්ධ කරන්න ත්‍රස්තවාදය නැති කරන්න අපි එතුමාට උපරිම සහයෝගය දුන්නා. මාවිල්ආරුවේ සිට වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා ත්‍රස්තවාදය නැති කරන්න උපරිම සහය දීපු කෙනෙක් මම. ඒ වගේම මගේ පක්ෂය. 2015දී අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දුන්නා. තාම ඒ පැත්තේ අපි ඉන්නවා.


• ප්‍රශ්නය- ඔහු ඔබගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්? 


පිළිතුර - පට්ටපල් බොරු. ඔහු මගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් තියා මොනම ලේකම් කෙනෙක්වත් නොවෙයි. 


• ප්‍රශ්නය - නමුත් මන්ත්‍රී එස්.බී. දිසානායක මාධ්‍ය හමුවකදී එහෙම කිව්වා? 


පිළිතුර - මම ඒකයි කිව්වේ සම්පූර්ණයෙන්ම බොරු කතාවක් කියලා? ඔහු කවදාවත් මගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හැටියට කටයුතු කරලා නෑ. 


• ප්‍රශ්නය - ඔබ ඔහු හඳුනන්නෙත් නෑ? 


පිළිතුර - ඊබ්‍රහිම් මහත්මයාගේ පුතා කියලා මාධ්‍යවළ ගියාට පස්සේ තමයි මමත් හරියටම දැන ගත්තේ. අනික ඒ අය ත්‍රස්තවාදීන් කියලා අපි හඳුනාගෙන හිටියෙත් නෑ. ඊබ්‍රහිම් මහත්තයා හොඳ ව්‍යාපාරිකයෙක් කියලා අපි දන්නවා. එයාට පුතාලා හය දෙනෙක් ඉන්නවා කියලා මම මාධ්‍යයෙන් දැක්කා. ඔය කා එක්කවත් පෞද්ගලික ගනුදෙනු මට තිබුණේ නැහැ. 


ඊබ්‍රහිම් මහත්තයා එක්ක හෝ ඒ පුතාලා එක්ක, පෞද්ගලික හරි ව්‍යාපාරික හරි සම්බන්ධතාවක් මට තිබුණේ නැහැ. ඒ දේශපාලනඥයන් හැටියට හැමෝම දන්නවා. එහෙම දන්නවා මිසක් වෙන සම්බන්ධකම් මට නෑ. 

• ප්‍රශ්නය- කොළඹ දී පුපුරවා හැරිය බෝම්බ හදලා තියෙන්නේ ඉන්සාෆ්ගේ තඹ කම්හලේ. ඒ තඹ දීලා තියෙන්නේ ඔබේ අමාත්‍යාංශයට අයත් මණ්ඩලයකින්? 


පිළිතුර - ඒකත් වැරැදි චෝදනාවක්. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය කියන්නේ සුළු කර්මාන්තකරුවන්ට උදව් කරන ආයතනයක්. ඒකෙන් අමු ද්‍රව්‍ය දෙනවා. තාක්ෂණික සහාය දෙනවා. මාර්කටින් සපෝට් දෙනවා. ඒ පිරිසට ඕනෑම කොම්පැණියක් උදව් ඉල්ලුවොත් ඒ උදව් ලබා දෙන ආයතනයක්. 


හැම සුළු කර්මාන්තකරුවන්ම හැම අවුරුද්දකම ලියාපදිංචි කරනවා. එහෙම රෙජිස්ටර් කරන කොට ග්‍රාම සේවකගේ නිර්දේශය, ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අරගෙන ඇවිත් තමයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ලියාපදිංචි වෙන්නේ. ඒකෙන් පසුව ඔවුන්ගේ ධාරිතාව මනින්න තව කමිටුවක් තියෙනවා. ඒ කමිටුව තමයි වාර්තාව දෙන්නේ මෙන්න මේ කෙම්පැණිවලට මෙච්චරක් අමුද්‍රව්‍ය දෙන්න කියලා. ඒක උඩ තමයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් මෙතුමාට හිස් පතොරොම් කොපු දීලා තියෙන්නේ. 2009 අවුරුද්දේ ඉඳලා මේක ක්‍රියාත්මක වෙනවා. 


• ප්‍රශ්නය - ඉන්සාෆ් ලිපින දෙකකින් එකම තැනකට මේ හිස් පතොරොම් කොපු ලබාගෙන තියෙනවා. ඔබ ඒකට උදව් කළා? 


පිළිතුර - කොහොමටවත් නෑ. ඔය මම කියපු ක්‍රියාදාමය මගේ අවධානයට හෝ මගේ අවසරයට එන්නේ නෑ. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඒ ආයතනයේ නිලධාරීන් තමයි මේක කරන්නේ. එතැනදී මෙයාට වැඩියෙන් දෙන්න, අරයට අඩුවෙන් දෙන්න කියලා මම කවදාවත් කියලා නෑ. මගෙන් කවුරුවත් එහෙම ඉල්ලලත් නෑ. මගේ අවසරය අවශ්‍ය දෙයකුත් නෑ. 


නමුත් දැන් මේ සිද්ධියෙන් පස්සේ මේ ගැන ලොකුවට කතා වෙනවා. මේකෙදී කොතැන හරි වරදක් වෙලාද නැද්ද කියලා හොයලා බලන්න අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යටතේ කමිටුවක් පත් කළා. නිලධාරීන් තුන් දෙනෙක් ඒ කමිටුවේ ඉන්නවා. මේ සතියේ දීම මට වාර්තාවක් ලැබෙයි. ඒකේ කොතැන හරි වරදක් වෙලා තියෙනවා නම් ඇමැතිවරයා හැටියට මම අවශ්‍ය පියවර ගන්නවා. 


දැනටමත් නිලධාරීන්ගෙන් ඇහුවම කියන්නේ. ‘‘අපි පිළිවෙළක් ඇතිවයි ඒවා කරලා තියෙන්නේ’’ කියලා. වැරැදි දෙයක් වෙලා තියෙනවද කියලා තමයි මේ පරීක්ෂණයෙන් බලන්නේ. මේ සම්බන්ධ සියලුම තොරතුරු අපි ආරක්ෂක අමාත්‍යාංශයට දීලා තියෙන්නේ. 

• ප්‍රශ්නය - ඊබ්‍රහිම් හෝ ඔහුගේ පුතා ඉන්සාෆ් හෝ ඔබ පෞද්ගලිකව දන්නේ නෑ කියනවා. ඒත් ඉන්සාෆ්ගේ බිරියගේ පියා ඔබේ පක්ෂයේ භාණ්ඩාගාරික? 


පිළිතුර - ඔව්. එයා මගේ පක්ෂයේ භාණ්ඩාගාරික තමයි. එතකොට ඉන්සාෆ්ගේ තාත්තා ඊබ්‍රහිම් ජනතා විමුක්ති පෙරමුණේ 2015 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්. මම දන්න විදියට ඔය අලව්දීන් මහත්මයා. ඉන්සාෆ්ගේ බිරියගේ තාත්තා හොඳ වැදගත් අපේ පක්ෂයට උදව් කරන පක්ෂයේ සෑහෙන කාලයක් තිස්සේ ඉන්න ව්‍යාපාරිකයෙක්. 


අපේ පක්ෂයේ නායක මණ්ඩලයෙත් එතුමා ඉන්නවා. එතුමා මේ වගේ වැරැද්දක් කළා කියලා මම කියන්නේ නෑ. දැන් එ් ගැන පරීක්ෂණ කෙරෙන නිසා එතුමා ගැන මුකුත් කියන්න බෑ. 


• ප්‍රශ්නය - ඇයි ඔබ ඒ ප්‍රශ්නය මග හරින්නේ? 


පිළිතුර - මග අරිනවා නෙවෙයිනේ. දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා කිව්වා එතුමාට අවුරුදු පහක් තිස්සේ කෑම හදපු මනුස්සයා තමයි එතුමාට බෝම්බ ගහන්න උදව් කළේ‍ කියලා. එයා, එතකොට ශ්‍රී ලංකා යුද හමුදාපති. එහෙම යුද හමුදාපති කෙනෙකුටත් බැරි වුණා. තමන්ට මේ කෑම උයලා පිහලා දෙන්නේ තමන්ව මරන්න ඉන්න සංවිධානයක උදව්කරුවෙක් කියලා. ඒ අය එහෙම තමයි ඉන්නේ. එහෙම ලෙහෙසියෙන් හොයන්න බෑ. එතුමා වගේ යුද හමුදාපති කෙනෙකුටත් බැරි වුණා නම් අපි වගේ දේශපාලනඥයකු මේවා දැන ගන්නේ කොහොමද? ‘‘ඇයි ඔයා මේවා දන්නේ නැත්තේ’’ කියලා ඇත්තටම අපෙන් අහන එක සාධාරණ නැහැ. ත්‍රස්තවාදයට ආගමකුත් නෑ. ජාතියකුත් නෑ. පක්ෂයකුත් නෑ, කුලයකුත් නෑ. ඒක තමයි ත්‍රස්තවාදයේ හැටි. 


මෙතැන රටට ලොකු අපරාධයක් වෙලා තියෙනවා. මේ තත්ත්වය නැති කරන්න මේ පරීක්ෂණ කරන්න ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හැමෝම සහයෝගය දෙන්න ඕනෑ. අපේ පක්ෂයේ භාණ්ඩාගාරිකතුමා මේවට සම්බන්ධ නෑ කියලා තමයි අපි හිතන්නේ. නමුත් පරීක්ෂණ යනවා. පරීක්ෂණවලින් එතුමා සම්බන්ධයි කියලා හෙළිවුණොත් අනිවාර්යයෙන්ම එතුමට දඬුවම් දෙන්න ඕනෑ. අපි ඒකට විරුද්ධ නෑ. ඔය පරීක්ෂණ ගැන අපි කාටවත් කතා කරලා නෑ. කතා කරන්නෙත් නෑ. පරීක්ෂණ ස්වාධීනව යනවා. 


• ප්‍රශ්නය - මරාගෙන මැරෙන බෝම්බකරුවන් හිටපු නිවෙසක් එඬේරමුල්ලෙන් හොයා ගත්තා. ඒ නිවෙස ඔබේ සහෝදරියට අයිතියි? 


පිළිතුර - මගේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මැරුණා. එක නංගි කෙනෙක් එංගලන්තයේ ඉන්නේ. ඒ නංගිගේ මහත්තයාගේ පියාට අයිති නිවෙස් තුනක් තියෙනවා. ඒකෙන් එක නිවෙසක් කුලියට දීලා තියෙනවා. අන්තර්ජාලයේ දැන්වීමක් පළ කරලා තමයි ඒ නිවෙස කුලියට දීලා තියෙන්නේ. ඒ නිවෙස කුලියට ගත්ත අය අතුරුදන් කියලා ආරංචියි. මේ සිද්ධියෙන් පස්සේ තමයි අපිත් දැනගත්තේ. 


නංගි අවුරුදු පහක් වෙනවා රට ගිහින්. අන්තර්ජාලයේ දැන්වීමක් දානකොට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුයි. පොලිසියෙන් අවසර ගත යුතුයි කියලා නීතියක් නෑ. ඒ නිවෙසේ භාරකරුවා තමයි අන්තර්ජාලයේ දැන්වීම දාලා තියෙන්නේ. නංගි හරි, නංගිගේ මහත්තයා හරි නොවෙයි ඒ දැන්වීම දාලා තියෙන්නේ. පරීක්ෂණ කෙරෙනවනේ. එතැනදී අපේ පාර්ශ්වයෙන් වරදක් තියෙනවද කියලා හොයා ගන්න පුළුවන්. පෙබරවාරි මාසයේ තමයි කුලියට ඇවිත් තියෙන්නේ. අවුරුදු දෙකකට ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. 


• ප්‍රශ්නය - පල්ලිවල තිබිලා කඩු කිණිසි තොග පිටින් හමුවෙනවා? මේ මොනවද වෙන්නේ? 


පිළිතුර - ඇත්තටම ඒක වැරැදියි. ආගමික ස්ථානවල කඩු කිණිසි තියාගන්න එක වැරැදියි. පරීක්ෂණ කෙරෙනවා ඒ ගැනත්. පල්ලිය තුළ ඒ වගේ දේවල් තියා ගන්න එක සම්පූර්ණයෙන්ම වැරැදි වැඩක්. 

 

• ප්‍රශ්නය - ඔබ හිතන විදියට මොකද්ද ඒ සූදානම? 


පිළිතුර - මාධ්‍යවලින් තමයි මමත් දැක්කේ. මොනවා වුණත් ඒක වැරැදියි. 


• ප්‍රශ්නය - තුර්කියේ ඉඳලා ත්‍රස්ත සංවිධානයක 50ක් ලංකාවට ආවා. ඔබ ඒ ගැන දන්නවද? 


පිළිතුර - ආරක්ෂක අංශවලින් තමයි ඒක අහන්න ඕනෑ. 


• ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයා කියනවා මේ ත්‍රස්තයන් 50 දෙනා ගැන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්නා. නමුත් මුස්ලිම් ඇමැතිවරු දෙන්නෙක් ඒ පරීක්ෂණවලට බාධා කරනවා කියලා ආරක්ෂක අමාත්‍යංශය කිව්වා. කියලා. 


පිළිතුර - මම දන්න විදියට එහෙම කියපු තුර්කි එම්බසිඩර් ගෙන් තමයි අහන්න ඕනෑ කවුද බාධා කළේ කියලා. මම නම් එහෙම බාධා කළේ නෑ. 


• ප්‍රශ්නය - දැන් බුර්කාව තහනම් කරලා තියෙන්නේ? 


පිළිතුර - හදිසි නීතිය යටතේ ඒක කරලා තියෙන්නේ. අපේ විද්වත් මණ්ඩලයත් කිව්වා බුර්කාව දාගෙන එළියට එන්න එපා කියලා. මාධ්‍යයෙත් මම දැක්කා ජනාධිපතිතුමා ඒක ගැසට් එකකින් තහනම් කරලා කියලා. 


මුස්ලිම් සමාජයම නියෝජනය කරන විද්වත් මණ්ඩලයක් තියෙනවනේ. ඒකත් එක්ක සාකච්ඡා කරලා රට තුළ සාමයෙන් සහජීවනයෙන් කටයුතු කරන්නේ කොහොමද අනෙකුත් ආගමික නායකයින් සමගින් සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් හදනවා නම් හොඳයි. 

• ප්‍රශ්නය - ඔබ ඔබේ මන්ත්‍රී කණ්ඩායම පෙන්න පෙන්න ආණ්ඩු අල්ලේ නටවනවා? 


පිළිතුර - එහෙම කරන්නේ නෑ. සමහර අය කිසිම සාක්ෂියක් නැතිව මට දිගටම චෝදනා කරනවා. ඒ අයට පුළුවන් අධිකරණයට ගිහින් ක්‍රියා මාර්ග ගන්න. මාධ්‍යයට ඇවිත් වීරයෝ වගේ කතා කරන්නේ නැතිව සාක්ෂි සාධක සහිතව අධිකරණයට යන්න. ඒත් කවුරුවත් එහෙම කරන්නේ නෑ. 


මම කවදාවත් මගේ මන්ත්‍රී කණ්ඩායම පෙන්වලා බලපෑම් කරලා නෑ. ඕනෑම නායකයෙක්ගෙන් අහලා බලන්න. අපි දීර්ඝ කාලයක් මහින්ද මහත්තයා එක්ක හිටියා. යුද්ධ කරන්න ත්‍රස්තවාදය නැති කරන්න අපි එතුමාට උපරිම සහයෝගය දුන්නා. මාවිල්ආරුවේ සිට වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා ත්‍රස්තවාදය නැති කරන්න උපරිම සහය දීපු කෙනෙක් මම. ඒ වගේම මගේ පක්ෂය. 2015දී අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දුන්නා. තාම ඒ පැත්තේ අපි ඉන්නවා. 


ඔක්තෝබර් 26 වැනිදායින් පස්සේ සමහර අය උපරිමයෙන්ම ට්‍රයි කළා. එස්.බී. දිසානායක වගේ අය උපරිමයෙන්ම ට්‍රයි කළා අපිව ඒ පැත්තට ගන්න. ඒත් අපි ගියේ නෑ. ඒ තරහත් තියෙනවා. අපි අපේ මන්ත්‍රීතුමාලා ගෙන්වලා කිසිම බලපෑමක් කරලා නෑ. 


• ප්‍රශ්නය - අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ ඔබ අත්අඩංගුවට ගත යුතුයි කියලා ඇතැමුන් කියනවා. 


පිළිතුර - මේ සිද්ධිවලට සම්බන්ධ හැම දෙනාම අත්අඩංගුවට අරගෙන උපරිම දඬුවම් දිය යුතුයි. ඒක තමයි විය යුත්තේ. කිසිම සාක්ෂියක් නැතිව සමහර හාමුදුරු දෙතුන් නමක් කියනවා මාව අත්අඩංගුවට ගන්න කියලා. මේ ප්‍රශ්න විසඳෙන්නේ මාව අත්අඩංගුවට ගත්තාම නම් මාව අත්අඩංගුවට ගන්න. මාව අත්අඩංගුවට ගත්තාට ප්‍රශ්නය විසඳෙනවා නම් මම පොලිසියට බාරවෙන්නම්. 


මේක ලෝක ත්‍රස්තවාදයක්. මේ වෙලාවේ පක්ෂ පාට අමතක කරලා පරණ තරහා අමතක කරලා ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කළ යුතු මොහොතක්. ඒ පරීක්ෂණවලට ඉඩ දෙන්න. එතකොට මේකේ ඇත්ත අනාවරණය වෙයි.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (1)

ආරක්ෂක අංශ පරීක්ෂණ කරගෙන ගිය නිසා අපි වැඩිය හොයා බැලුවෙ නෑ

Demuni de silva Friday, 10 May 2019 06:48 PM

ඔයා ඇත්ත කියනවනම් මම ඒක පිළිගන්නවා. එස්.බී. ගැන කතා කරන්න එපා.මොකද හැමෝම එයා ගැන හොදින් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 443 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 932 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 122 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site