IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැතිතුමා ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා කීපයක් පිළිබඳ මේ සාකච්ඡාව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟයි.  


• මේ දවස්වල කරළියේ ප්‍රධාන මාතෘකාවෙන්ම අපේ කතාව පටන් ගමු. අගමැතිට ගේන්න යන විශ්වාසභංගය.  


විශ්වාසභංගය අපි අනිවාර්‌යෙන්ම පරාජය කරනවා. අගමැතිතුමා ඒ පුටුවෙ ඉන්න ඕනෑ කියන ස්ථාවරයේ ඉන්නවා. එක්සත් ජාතික පාක්ෂිකයින් අපේ ආණ්ඩුව ඒ මතයේ ඉන්නේ. අගමැතිතුමා එතනින් ඉවත් කළොත් කවුද එතෙන්ට එන්නේ. අපි දකින්නේ නෑ. ඊට වඩා හොඳ ආදේශකයක්.  


ඒක නිසා අගමැතිතුමා ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා.  


• මේ විශ්වාසභංගය ගෙනාපු අය කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් හිතාගන්න බැරි පිරිසක් මේකට සහාය දෙයි කියලා. ඇත්තටම එහෙම අය ඉන්නවද?  


එහෙම හිතාගන්න බැරි තරමෙ පිරිසක් නම් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉඳීවි. ඔය විජේදාස රාජපක්ෂ වගේ මිනිස්සු. ඒ ඇරෙන්න එක්සත් ජාතික පක්ෂය එක්ක දැනට වැඩ කරන කට්ටිය සියලු දෙනා පක්ෂයක් හැටියට එක මතයක ඉන්නේ.  


• මේ විශ්වාසභංග කතාව ආවේ පාලිත රංග බණ්ඩාරලාගෙන්. දැන් ඒක වෙන කට්ටියක් අරගෙන. දැන් රංග බණ්ඩාරල සයිලන්ස් මොකද?  


එක්සත් ජාතික පක්ෂය ඇතුළත විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුණා. පක්ෂයේ ප්‍රතිසංවිධාන ඇතිවිය යුතුයි කියලා හැම දෙනාම පිළිගත්තා. ඒ වගේම නායකත්වයට වෙනසක් අවශ්‍ය නෑ කියන මතයෙ තමයි බහුතරයක් හිටියේ. ඒ අනුව බහුතර මතය පරිදි පක්ෂය ප්‍රතිසංවිධානය වෙනවා. නායකත්වය ආරක්ෂා වෙනවා. අපිත් බලාගෙන ඉන්නෙ ඇඟට දැනෙන ප්‍රතිසංවිධානයක් සිද්ධවෙයි කියලා තමයි. මේ මාසේ ඇතුළත ඒ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට ප්‍රකාශ කරලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.  


• අගමැතිතුමාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනා අත්සන් ලැයිස්තුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කරලා නෑ. ඒක ගෙනාපු අය ඒකට එක එක හේතු කියනවා.  


 එයා හැමදාම කෙරුවෙ ඕක තමයි. කවුරු හරි ඉස්සරහට දාල බිල්ලට දීල වැඩේ කරගන්නවා. වගකීමක් ගන්නේ නෑ. ප්‍රතිඵල භුක්ති විඳිනවා. මෑත කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔහුගේ ක්‍රියාකලාපය දිහා බැලුවම පේනවා ඔහු වගකීමෙන් වැඩ කළාද නැද්ද කියලා. වැදගත් ඡන්දයක් විමසපු කිසිම දවසක පාර්ලිමේන්තු ආවෙ නෑ. මේ සැරෙත් ඒකම කරාවි.  


• බොහෝ දෙනා බලාගෙන ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඇඟට දැනෙන වෙනසක් දිහා. කාලයක් තිස්සේ කතාවට සීමාවුණු මේ දේ ඇත්තටම සිද්ධ වෙයිද?  


මම දන්න විදියට වෙන්න ඕනෑ නායකයා මාරුවීම නෙවෙයි. නායකයාට විතරක් පක්ෂයක් ඉදිරියට ගෙනියන්න බෑ. නායකත්වය ගැන මට නම් ප්‍රශ්නයක් නෑ. ඔහු ප්‍රවීන නායකයෙක්. ඒ එක්කම පහළින් හොඳ ජවසම්පන්න කණ්ඩායමක් ඉන්න ඕනෑ. පක්ෂයේ බර කරට අරගෙන යන්න පුළුවන් පිරිසක් තමයි ඒකට අවශ්‍ය වෙන්නේ. ඒ කණ්ඩායමේ විවිධ මාදිලියේ අය ඉන්න ඕනැ. ජනතාවට පිළිගත හැකි මුහුණු ඒ අතර ඉන්න ඕනෑ එහෙම කණ්ඩායමක් නැතුව පක්ෂයට ඉදිරියට යන්න අමාරුයි. ඒක අනිවාර්‌යෙන්ම සිදුවිය යුතුයි. ඒක නොවුණොත් පක්ෂය දිගින් දිගටම පල්ලම් බහීවි.  


• පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අතරේ චරිත කීපයකම නම් කියවුණා. ඒ අයට වැඩි වගකීම් පැවරෙයි කියලයි ආරංචි. ඒ නම් අතරෙ ඔබේ නමත් තිබුණා. ඔබට එහෙම දැනුම් දීමක් ලැබුණද?  


මට එහෙම කවුරුවත් දැනුම් දීමක් කරල නෑ. මට ආරංචි විදියට එවැනි යෝජනාවක් ඇවිත් තියෙනවා. ඒ පිළිබඳ කතාබහක් තියෙනවා. පක්ෂයේ වගකිව යුතු පුද්ගලයෙකුගෙන් තාම දැනුම් දීමක් ලැබුණෙ නෑ.  


• ඔබට එවැනි පක්ෂයේ ප්‍රධාන තනතුරක් ලැබෙනවාට පක්ෂයේ අනෙක් අය කැමැතිද?  


පක්ෂයේ බහුතරයක් මට යම්කිසි වගකීමක් දෙනවට කැමැතියි. මම එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් නොහිටියට මම ඔය පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කරලා තියෙනවනේ. 2010 ජනාධිපතිවරණයට පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීම තමයි ලොකුම කැපකිරීම. ඒ වෙලාවේ මම ඉදිරිපත් නොවෙන්න මහින්ද රාජපක්ෂ නිතරගයෙන් දිනන්න තිබුණා. එහෙම වුණා නම් ඒ මැතිවරණයත් එක්ක එක්සත් ජාතික පක්ෂය විශාල අර්බුදයකට යන්න තිබුණා. ඒ නිසා පක්ෂ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනා මම කරපු කැප කිරීමට ගරු කරනවා. විවිධ හේතු නිසා ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ මම කෙළින්ම එක්සත් ජාතික පක්ෂයට ඇතුළු වුණේ නෑ. මට වෙනම අරමුණක් තිබුණා. මම ඒ ගමන ගියා. ඒත් පසුව මම තීරණය කළා එක්සත් ජාතික පක්ෂය එක්ක දේශපාලන ගමන යන්න.  


• ජෝන් අමරතුංගත් කියලා තිබුණා රනිල් වික්‍රමසිංහ ළඟට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා තමන් නිසා අගමැතිකමට වුණත් තමන් සුදුසුයි කියලා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?  


ඒ ගැන මගේ අදහස නෙවෙයි මෙතනදී වැදගත්. පක්ෂයේ බහුතර මතය විමසන්න ඕනෑ. ජෝන් අමරතුංග කියන්නේත් ජ්‍යෙෂ්ඨයෙක්. යම් වගකීමක් දරන්න පුළුවන් පළපුරුද්ද තියෙනවා. නමුත් අගමැතිකම වගේ එකක් ලැබෙන්න පක්ෂෙ බහුතරයක් හරහා ඒක එන්න ඕනෑ.  


• ඔබ දිගින් දිගටම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් මේ වෙලාවෙ අවශ්‍ය නෑ කියලා. හැබැයි එහෙම සටන් පාඨයක් පක්ෂයේ පිරිසකගෙන් එනවා. ඔබ රනිල් වික්‍රමසිංහ රකින ප්‍රතිපත්තියකද ඉන්නේ?  


මම නැවතත් පැහැදිලිව කියන්නේ මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නායකයා මාරු කළා කියලා බෑ. රනිල් වික්‍රමසිංහ අයින් කරලා ඒ තැනට පත් කරන පුද්ගලයා කවුද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නය. පහුගිය ඡන්දය දිහා බැලුවත් කැපකිරීම් අතින් රනිල් වික්‍රමසිංහ අයින් කරලා එතෙන්ට දාන්න පුළුවන් චරිතයක් මම දැක්කේ නැ. හොඳ ශක්තිමත් දෙවෙනි පෙළක් රනිල් වික්‍රමසිංහ වටා නැති එක නම් ලොකු දුර්වලතාවක්. දෙවැනි පෙළක් නිර්මාණය කිරීම සිද්ධවිය යුතුමයි.  

 
• පහුගිය කැබිනට් රැස්වීමේදී පාඨලී චම්පික, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ආණ්ඩුවෙ මේ යන ගමන ගැන විවේචන ඉදිරිපත් කරපු බව ආරංචියි. මේ යන විදියෙ වෙනසක් නැත්නම් වෙනත් ගමනක් යන්න වෙනවා කියලා ඒ අය කියනවා.  


මමත් හිතන්​ෙන් ආණ්ඩුව යම් යම් අවස්ථාවල මීට වඩා කාර්යක්ෂම කටයුතු කළ යුතුව තිබුණා කියලා. සමහර ප්‍රශ්නවලදී ආණ්ඩුව ක්‍රියාකරපු ආකාරය ගැන අපෙත් පැහැදීමක් නෑ. ඒක මගේ පුද්ගලික මතය. ඒ වගේ වැරදි නැවත කරන්න ආණ්ඩුවට බෑ. වැරදි කර කර ඉන්න ලොකු කාලෙකුත් නෑ. තව හැම දේටම තියෙන්නේ අවුරුදු දෙකකටත් අඩු කාලයක්. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් මේ අසාර්ථකවීම්වලට වගකිව යුතුයි. ඒවා නිවැරදි කරගැනීම ගැන තමයි චම්පික රණවක ඇමැතිතුමා වගේ අය කැබිනට් රැස්වීමේදීත් කිව්වේ.  


• ආණ්ඩුවේ වැඩ ගැන ඔබලගෙ විවේචනවලට හොඳ ප්‍රතිචාරයක් තියෙනවද?  


නායකයින් දෙන්නා මේ ගැන සිහි බුද්ධියෙන් කල්පනා කළ යුතුයි. අපි හොරු ඇල්ලීම ගැන එහෙම කාලයක් තිස්සේ කරපු කියපු දේවල්වලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ කියලත් හිතෙනවා. එම නිසා තමයි ආණ්ඩුවට විවිධ චෝදනාවලට ලක්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. අද සමහරු මේ ආණ්ඩුවට පතෝල ආණ්ඩුව, ඇල්වතුර ආණ්ඩුව කියල කියන්නේ ආණ්ඩුවේම වරදින්. එහෙම අහගන්නේ නැති විදියට වැඩ කරන එක ආණ්ඩුවේ වගකීම.  


• සරත් ෆොන්සේකාගෙ නම පහුගිය දවස්වල කියවුණේ නීතිය හා සාමය ඇමැතිකම ලැබෙන්න යනවා කියලා. ඒත් ළඟට ඇවිත් ගියා විතරයි. ඇත්තටම මොකද වුණේ?  


නීතිය හා සාමය ඇමැති ධුරය මාරු විය යුතුයි කියලා මතයක් ර​ෙට් ඇති වුණා. එතෙක් ඇමැති ධුරය දරපු ඇමැතිවරයාත් ඒකට එකඟ වෙලා ඇමැතිකම අත්ඇරියා. එයින් පස්​ෙස් එක්සත් ජාතික පක්ෂෙ අති බහුතරයක් හිටියෙ එම නීතිය හා සාමය ඇමැතිකම මට ලැබිය යුතුයි කියන මතයේ. මගේ අතීත ක්‍රියාකාරකම් උඩ මා කෙරෙහි තියපු විශ්වාසය මත තමයි ඒ අය එවැනි අදහසකට ආවේ. අගමැතිතුමත් ඒක පිළිගත්තා. අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් මාරු කිරීම පිළිබඳ ඉදිරිපත් කරපු යෝජනාවලදී නීතිය හා සාමය ඇමැතිකමට මාව තමයි නම් කරලා තිබුණේ. රටේ බොහෝ දෙනෙක් ඒ අදහසට එකඟතාවක් තිබුණා. සමාජ මාධ්‍ය ජාල තුළත් මේ කරුණ ඉස්මතු කරල තිබුණා.   


මම පහුගිය පෙබරවාරි 20 වැනි දා ඉඳලා දවස් පහක විදේශ සංචාරයක් සැලසුම් කරලා තිබුණා. ඒ බව දැනුම් දෙන්න මම ජනාධිපතිතුමාට කතා කළා. එතකොට එතුමා හිටියේ පොළොන්නරුවේ. මම ඒ විස්තරේ කියන්නත් ඉස්සෙල්ලා ජනාධිපතිතුමා මට කිව්වා ඔබතුමාට ලොකු වගකීමක් බාරදෙන්නයි යන්නේ කියලා. ඒ වෙලාවෙ මට හිතුණා වෙන දෙයක් නෙවෙයි ඒ නිතිය හා සාමය ඇමැතිකම වෙන්න ඇති කියලා. මොකද අගමැතිතුමා ඒ යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා තිබුණේ. මම එවෙලෙ කිව්වා මට මොන වගකීමක් දුන්නත් තියෙන අමාත්‍යාංශය අයින් කරන්න එපා කියලා. මොකද අපි ඒකෙ වැඩ පටන් අරගෙන සාර්ථක වෙන්න පටන් ගත්තා විතරයි. එතකොට එතුමා කිව්වා එහෙමම කරන්න බෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නෙම වෙන අමාත්‍යාංශයක් දෙනවා කියන එකනේ. ඉතිං මට ඒ ගැන සැකයක් තිබුණෙ නෑ. ඒ අතරෙ මම විදේශගත වුණා. මම ඉන්දුනීසියාවට ගියේ. රාජිත සේනාරත්න මට එහාටත් කෝල් කරලා කිව්වා නීතිය හා සාමය ඇමැතිකම මට දෙන්න කරපු යෝජනාවට ජනාධිපතිතුමා එකඟ වුණා ඉක්මනට නැවත ලංකාවට එන්න බැරිද කියලා. ඒ අතරෙ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම් මට කතාකරලා කිව්වා ඇමැතිකම යෝජනා වෙලා තියෙන නිසා හැකි ඉක්මනින් නැවත එන්න කියලා. අගමැති ලේකම්වරයත් කතා කරලා ඉක්මනට එන්න පුළුවන් ද කියලා ඇහුවා. මම හැමෝටම කිව්වෙ නියමිත දවස් ටික ඉඳල තමයි එන්න වෙන්නේ කියලා. ඒ අතරෙ මට ආරංචි වුණා නීතිය හා සාමය ඇමැතිකම අගමැතිවරයා යටතට දීලා කියලා. එතකොට මට හිතුණා වැඩේ වෙන පැත්තකට පෙරළිලා තමයි කියලා.  


• ඊට පස්සේ මොකද වුණේ?  


මම මගේ විදේශ සංචාරය ඉවර කරලා 25 වෙනි දා ලංකාවට ආවා. ආවට පස්සේ මම අගමැතිතුමා මුණු ගැහුණු වෙලාවෙ කිව්වා ජනාධිපතිතුමා කිව්වා කියලා මට නීතිය හා සාමය ඇමැතිකම ලැබෙනවට පොලිසියේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරින් විරුද්ධ වුණා කියලා. ඒ වගේම මේකට සමහර සංඝයාවහන්සේලා, සමහර මාධ්‍යවේදීන් විරුද්ධවෙලා තියෙනවා කියලත් කිව්වලු. අගමැතිතුමා කිව්වලු ඇමැතිකම එතුමට දිගටම තියාගන්න බෑ කියලා. පස්සේ මේ ගැන කතා කරමු කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. මලික් සමරවික්‍රමත් මට කිව්වා මේ ගැන කතා කරපු වෙලාවක එතුමටත් ජනාධිපතිතුමා කිව්වලු ඊළඟ සතියේ මේ ගැන තීරණයක් ගන්නවා කියලා.  


• ඔබ මේ ගැන කෙළින්ම ජනාධිපතිතුමාගෙන් ඇහුවෙ නැද්ද?  


මම මුණ ගැහිලා ඇහුවා. එතකොටත් කිව්වෙ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේකට අකමැතියි කියලා. මම ඇහුවා ඔබතුමා අගමැතිතුමාට සංඝයාවහන්සේලා සහ මාධ්‍යවේදීන් මේ පත් කිරීමට විරුද්ධයි කියලා කිව්වද කියලා. එතුමා කිව්වා ඔව් එහෙම කිව්වා කියලා. මම ඇහුවා ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොලිසියට ඕනැ හැටියටද කියලා. ඔය තැන්වලත් දූෂණවලට සම්බන්ධ අය ඉන්නවා කියල මම කිව්වම එතුමා ඔව් ඔව් කියලා හිනා වුණා. ඒ කතාව එතනින් ඉවර වුණා. ඇමැතිකම රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාට දුන්නා. ඒක දීපු ගමන් ජනාධිපතිතුමා පිටරට ගියා. ජනාධිපතිතුමා නැවත ආවට පස්​ෙස මම එතුමාට කෝල් එකක් ගත්තා. එතුමගේ කාර්ය මණ්ඩලයෙන් දැනුම් දුන්නා ඉරිදා හවස පහට මුණගැහෙන්න කියලා. මම එතුමා මුණ ගැහෙන්න ගියා. මුණ ගැහුණම එතුමා දිග කතාවක් කිව්වා. ඔබට මේ විස්තර ඔක්කොම පත්තරේ ලියන්න පුළුවන්ද මන්දා.  


• කියමුකො බලන්න...  


ඒ වෙලාවෙත් කිව්වේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අකමැති වුණා කියලා. හමුදාවේ ඉන්න අය අතරිනුත් මට අකමැති අය ඉන්න පුළුවන් නිසා මේ පත්කිරීම හරහා පොලිසියයි හමුදාවයි අතර අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් කියලා. දැනටත් ඒ දෙගොල්ලො අතරෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා එතුමා කිව්වා. පොලිසි​ෙය හමුදාවෙ සමහර අය අත්අඩංගුවට අරගෙන තියෙනවනේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වගේ අදහසක් එතුමට තිබුණේ. මම කිව්වා හමුදාවෙත් දූෂිත නිලධාරීන් ඉන්නවා. ඒ අය මේකට අකමැති ඇති කියලා.  


 ඊට පස්සේ ජනාධිපතිතුමා කිව්වා රජයේ සේවකයො කීප දෙනෙකුත් මේ පත්කිරීමට විරුද්ධයි කියලා කිව්වා. ඒ අය කියලා තියෙන්නේ මට ඇමෙරිකාවට වගේ රටවල්වලට යන්න වීසා නැති හින්දා මේ පත්වීම මට දෙනවට ඒ අය විරුද්ධයි කියලලු. ඒ අය කිව්වලු මට ඒ වගේ රටක විදේශීය සම්මන්ත්‍රණයකට වත් යන්න බැරි වෙයි කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා මට විදේශ වීසා නැති වුණේ රටට වැඩ කරපු නිසා. යුද්දෙ ඉවර කරන්න වැඩ කරපු එකේ ප්‍රතිඵලයක් විදියට තමයි මට විදේශ වීසා නැති වුණේ. එහෙම ප්‍රශ්නයකට කරන්න තියෙන්නේ ඒ වීසා ගන්න ජනාධිපතිතුමා මැදිහත් වෙන එක මිසක් කාගෙවත් අකමැත්තකට මට දෙන්න සාකච්ඡා වෙච්ච ඇමැති තනතුරු නොදී ඉන්න එක නොවෙයි. මේ ප්‍රශ්නය මම ඇහුවට පස්සේ සාකච්ඡාව ඉවර වුණා. මම තවදුරටත් ඒ කතා බහ ගෙනිච්චෙ නෑ. මම අවසාන වශයෙන් කිව්වා මම ඒ ක්‍රියාකරපු විදිය පිළිගන්නේ නෑ. මම බොහොම කලකිරීමෙන් ඉන්නේ ඒ ගැන. මගේ දේශපාලන න්‍යාය පත්‍රය මට අවශ්‍ය විදියට ඉදිරියට ගෙනියනවා කියලා.  


• නීතිය හා සාමය ඇමැතිකම රංජිත් බද්දුම බණ්ඩාරට හිමි වීම ගැන ඔබ අසතුටුද?  


ඒක රංජිත් මද්දුම බණ්ඩාරට ලැබීම ගැන මගේ අසතුටක් නෑ. රංජිත් මද්දුම බණ්ඩාර දක්ෂයෙක්. මගේ හොඳ මිත්‍රයෙක්. හැබැයි ඒ ඇමැතිකම මට දෙන්න ආපු යෝජනාව ප්‍රතික්ෂේප කරපු ආකාරය මම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.  


• නීතිය හා සාමය ඇමැතිකම ඔබට ලැබෙනවට රාජපක්ෂ කණ්ඩායම ප්‍රමුඛ එ්කාබද්ධ විපක්ෂය විරුද්ධ වුණා. මේ ප්‍රතික්ෂේප වීම යට ඔවුන්ගේ බලපෑමක් තියෙනවා කියලා ඔබ හිතනවද?  


අනිවාර්‌යෙන්ම එහෙම බලපෑමක් වෙන්න පුළුවන්. මේ ඇමැතිකම මට ලැබෙනවට විරුද්ධ වුණා කියලා ජනාධිපතිතුමා කියපු පිරිසක් පොහොට්ටුවට සහයෝගය දෙන අයනේ. හොරු ඇල්ලීමට එකඟ කවුරුවත් මගේ පත්වීමට අකමැති නෑ.  


• ඊළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂත් බහින්න සූදානමක් ගැන කියවෙනවා මොකක් වෙයිද?  


ජීවිතයෙන් වැඩිම කාලයක් පිටරට ඉඳපු එකද එයාට ලංකාවේ ජනාධිපති වෙන්න තියෙන සූදුසුකම? එයා ආවොත් රට ආපහු පහුගිය කාලෙට යාවි. සුදු වැන් ඒවි. ආරක්ෂක අංශවල අය එක්ක කල්ලි හදා ගනීවි. කුණු කඳුවලින් වංචා කරාවි. මුදල් හම්බ කරාවි. එක සොහොනක් ගැහුවා විශාල මුදලක් හොරකම් කරලා. තව ඒ වගේ සොහොන් ගහ ගනීවි. රටට ඉතිං දෙයියන්ගේම පිහිටයි. එහෙම වුණොත්. අපිවත් හිරේ දාවි. පහුගිය වතාවෙ කරපු දේවල් නැවත අනිවාර්‌යෙන්ම සිද්ධ වේවි. ඔය පිටින් පෙන්නන සහෝදරකම ඒ අය අතරෙ නෑ. අපිට ගහන්නත් කලින් මහින්ද රාජපක්ෂට ගහන්නත් බැරි නෑ.  


• ඔබත් ඉදිරි ජනාධිපති තරගෙට එන්න සූදානම් කියලා තිබුණා.  


 රටේ අවශ්‍යතාව උඩ එවැනි ඉල්ලීමකට ඇහුම්කන් දෙන්න මම සූදානම්. මම කිසිම දෙයක් ඉල්ලගෙන ගියේ නෑ. 2010 මට යෝජනා කළා ජනාධිපතිවරණයට තරග කරන්න. මම ඒ යෝජනාව පිළිගත්තා. රටේ අවශ්‍යතාවක් තියෙනවා ඒ ගැන අපි හිතලා බලමු ඉදිරියට.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 
 
 



අදහස් (0)

අගමැතිතුමා ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1077 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 445 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 934 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 89 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 122 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 313 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site